Tuesday, July 11, 2017

අපි ඕනම දෙයක්, කස්ටමයිස් කරගත්ත ජාතියක්


ඉස්සර අපි මලගෙවල් මගුල්ගෙවල් ‘අරගෙන කරපු’ මිනිස්සු. ඒ කියන්නේ, දන්න අ`දුරන කාගේ හෝ මලගෙයක් මගුලක් වුණාම රොත්තක් පිටින් එහෙට ගිහිං, අපේ වැඩක් වගේ කරට අරන් කරනවා. අන්තිමේට අවසාන වෙන්නේ ගෙදර අයිතිකාරයෝ දේවල් අපෙන් අහන තත්ත්වෙට පත්වෙලා. අන්තිමේ දී ගමේ මිනිස්සුන්ට ගමේ පාරවල් කියන්නේ අපි.

කතාව ඒක නෙවෙයි. ඒ ජාතියේ මලගෙයක් ඉවර වෙලා දවස් ගාණකට පස්සේ අපි කොළඹ එනවා. ආච්චි මැරුණු අපේ යාළුවාත් එතන හිටියා. අපි වෑන් එක මගදි නවත්තලා පොඩි බජව්වක් දාන්න පටන් ගත්තා. ඒක ටිකක් නැගලා යනකොට අපි නටන්නත් පටන් ගත්තා. අර යාළුවා පාඩුවේ ඉන්නවා. ඉතිං කට්ටිය එයාට ආරාධනා කළා, ‘වරෙං වරෙං නටමු බං’ කියලා. ඉතිං අර හාදයා ආච්චි මැරුණු දුක නිසා නටන්න සිංදු කියන්න බෑ කියනවා. මෙතන මැද්දට පැන්න තව හාදයෙක් කියනවා, ‘මචං ආච්චි මැරුණු නිසා නටන එක හරි නෑනේ. ඒත් ඉතිං උඹ සිංදුවක් කියපං. ඒක අවුලක් නෑනේ’. මේ ගැන කතා වෙනකොට යාළුවෙක් කියනවා ‘මචං අපි  ඕනම දෙයක් කස්ටමයිස් කර ගන්න පොරවල්. ඒක නිසා, අපිට අදාල නෑ, ඇත්තටම වෙන්න  ඕන දේ හරි සිස්ටම් එක පවතින්න  ඕන විදිහ මොකද්ද කියලා’.

අපි හැම වෙලාවෙම අපේ විදිහක් හදාගෙන ඒක සාමාන්‍යකරීණය කරන එකයි අපි කරන්නේ. අරක්කු බොන්නැති, ඉ`දලා හිටලා පාර්ටියකදි විතරක් බියර් එකක් බොන අමද්‍යපවාදීන්, මස් මාළු උම්බලකඩ මොකුත් කන්නැති හැබැයි කැල්සියම්  ඕන නිසා හාල්මැස්සෝ විතරක් කන එහෙම නැත්තං හොදි විතරක් කන වෙජිටේරියන්වාදීන් වගේම හතරවෙනි සිල්පදේ ඇරෙන්න අනිත් සිල්පද ඔක්කොම රකින සිල්වතුන් සියලූ දෙනා මේ, ‘දුක නිසා නටන්න බැරි ඒත් සිංදු විතරක් කියන ජාතියේ’ තමයි. පගා ගන්නෑ කියලා පොරටෝර්ක් දෙන, ඒත් සන්තෝසමකින් විතරක් සෑහෙන හැමෝමත් අයිති වෙන්නේ මේ කැටගරියට තමයි. ඒ කියන්නේ ඒවා කස්ටමයිස් කරගත්තා. දුක සැප නින්දා ප‍්‍රශංසා යස අයස ලාභ අලාභ වගේ  ඕනම එකක්.

ඒ විතරද. ලෙනිල්ලාගේ මාක්ස්ලාගේ සමාජවාදයට පවා අපි කළේ ඒකම තමයි. සමාජවාදී පොත්තට මදේට වෙන වෙන දේවල් දාලා අමුතු එකක් හදාගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරලා මිහි`දු හාමුදුරුවෝ ලංකාවට ගෙනාපු බුද්ධාගමත් අපි කස්ටමයිස් කර ගත්තා. බැලූ බැල්මට මුලදි පොඩි අවුලක් වගේ පෙනුණට කාලයත් එක්ක ඒක සාමාන්‍යකරණය වුණා. දැන් මාක්ස් ලෙනින් ඇවිත් සමාජවාදය කීවත්, බුදුහුහාමුදුරුවෝ වැඩම කරලා බුදුබණ කීවත් අපි ඒවා පිළිගන්නේ නෑ. මොකද ඒ කියන ඒවා අපි කියන ඒවාත් එක්ක ගැලපෙන්නේ නෑ. දැන් අපි පිරිත් කියන්නේ, ගාථා කියන්නේ, බණ කියන්නේ විතරක් නෙවෙයි අපි ඒවා අහන්නෙත් පිළිපදින්නෙත් ඒ කස්ටමයිස් කරපු සීමාව ඇතුළේ ඉ`දලා. හරය අර්ථය ධර්මය ගුණය වෙනුවට සිවුරට පාත්තරේට රූපෙට සක්මනට වන්දනා කරන ආගමක් නිර්මාණය වෙන්නේ මේකේ ප‍්‍රතිඵලයක් හැටියට. ආදරේ වෙනුවට වත්ත වටේටම ඊරිසියා කරන, කරුණාව වෙනුවට වත්ත වටේටම කුහකකමයි පීඩනයයි මුදා හරින නමුත්, රැුවුළෙන් කොන්ඩෙන් තොප්පියෙන් පාටෙන් මායිම් ලකුණු කෙරෙන සමාජවාදයක් බිහි වුණේ ඒක නිසා. අපි ඒ සීමාවෙන් එළියට යන්නෑ. ඒ සීමාවෙන් එයා මෙහා යන අය අපිට අදාල නෑ. අපේ උසට මහතට බරට දිගට පළලට ගැළපෙන්න අපි ඒවා කස්ටමයිස් කරගෙනනේ ඉන්නේ. ලංකාවේ ජනප‍්‍රියම එලිමන්ට්ස් දෙක මේක නිසා, මේක තේරුම් ගන්න පහසුයි. ඒ විතරක් නෙවෙයි, අනෙක් හැම එකකටම කාරණේ පොදුයි.

දැන් බලන්නකෝ කැබිනට් රැුස්වීමක් ඉවර වෙලා එළියට එනකොට, ඒකේ සාකච්ඡුා කරපු දේවල් මොනවද කියලා ඇහුවම හරි මොකක් හරි දෙයක් ගැන මොකද්ද එතනදි එළඹුනු අවසාන තීරණය කියලා ඇහුවහම එක එක්කෙනා දෙන උත්තර. ඒක හරියට පහේ පංතියේ දරුවෙක් ගහක් කතා කරයි කියලා රචනාවක් ලියනවා වගේනේ. එක එක්කෙනා කියන්නේ ඒ ඒ අය කස්ටමයිස් කරගත්ත දේවල්. ලංකාවේ එක දේශපාලන පක්ෂෙක අනුගාමිකයින් පිරිසකට ඇරෙන්න අනෙක් කිසිම පක්ෂෙකට, තමන්ගේ දේශපාලන පක්ෂේ පොලිටිකල් ලයින් එක ගැනවත් පක්ෂේ ආර්ථික වැඩසටහන් ගැනවත් කෙළින් උත්තරයක් දෙන්න බෑ. කියන්නේ තම තමන් කස්ටමයිස් කරගත්ත තමන් හිතාගෙන ඉන්න, හිතන හෝ එහෙන් මෙහෙන් ඇහි`දගත්ත ඒවා. දැන් බලන්නකෝ, එකම පොතක් එකම ලියමනක් එකම වාක්‍යයක් හෝ එකම වචනයක් පවා එක එක්කෙනා තේරුම් ගන්නේ තම තම නැණ පමණ. එක්කෝ තමන්ගේ වාසියේ සීමාවේ උපරිමයට යටත්ව.

මේ දේවල් කස්ටමයිස් කරලා අවබෝධ කරගන්න එක හරි කස්ටමයිස් කරපු එක ධාරණය කරගන්න එකත් වෙනම කතාවක්. හැබැයි, තමන්ගේ වර්ෂන් එක පොදු එක කරන්න යන එක තමයි ගොඩක්  අවුල් වලට මුල. ඒක අනිත් අයට පිළිගන්නවන තත්ත්වයට පත් කරවන්න උත්සාහ කරන එක. මේක සිද්ධ වෙන්නේ ඉස්කෝලේ ගියේ නැති, අකුරු දන්නැති, දැනුමක් තේරුමක් නැති අය අතින් නෙවෙයි. මේ තක්කඩි කස්ටමයිස් කිරීම වැඩියෙන්ම කරන්නේ දැන උගත් බුද්ධිමත් උදවිය තමයි. බොහෝ අය. ඒ අයට මේ වෙනුවෙන්  ඕන තරම් කුටුම්භ සහ ගෝලීය උදාහරණත් හොයාගන්න තියනවා. තමන්ගේ කතාව තවදුරටත් තහවුරු කරන්න ඒ ඒ උදාහරණත් සහාය කරගන්නවා.

මේකෙන් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි නිවැරදි දේ වෙනුවට නිවැරදි නොවන දේ සමාජගත වීම. ඒ නිශ්චිත කාරණාවක් සම්බන්ධයෙන් සමාජගත වෙන්නේ මොන මතවාදයද මොන අදහසද කියන එක තීරණය වෙන්නේ බොහෝ විට අදාල මතය දරණ කෙනාගේ බලය සමග. මේ බලය කියන එක දේශපාලන බලය, වෙනත් විෂයක් තුළින් ලබා ගෙන ඇති දැනුම පිළිබද බලය, ආර්ථික බලය, සමාජ බලය වගේ හැම පැත්තකින්ම. මේ බලය නිසා, තමන් කියන දේට ඉහළ මිලක් තියනවා කියලා දැනගත්තහම නිරායාසයෙන්ම පෙළඹෙනවා දේවල් කියන්න. දොස්තරලාගෙන් නීතිය ගැන ඇහුවම එයාට තේරෙන විදිහට එයා නීතිය ගැන කියනවා. හෙදියකගෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විද්‍යාව ගැන ඇහුවම එයාට තේරෙන විදිහට කස්ටමයිස් උත්රයක් එයා දෙනවා. ඇමති කෙනෙකුගෙන් බුදු බණ ගැන ඇහුවාම එයාට තේරෙන හැටියට එයා බණ කියනවා. හාමුදුරුවන්ගෙන් හරි පියනමකගෙන් හරි රොකට් සයන්ස් ගැන ඇහුවම උන්නාන්සේලා මොනවා හරි තේරෙන ආකාරයට කියනවා. මේ විදිහට තමන් නොදන්න තමන්ගේ සීමාවෙන් එපිට තියන තමන්ට අදාල නැති විෂයන් ගැන විතරක් නෙවෙයි, කළින් කීවා වගේ තමන්ගේ දේවල් තමන්ට අදාල දේවල් ගැන පවා කියන්නේ කරන්නේ කස්ටමයිස් කරගත්ත දෙයක්. ඉතිං සමාජය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා අවසානෙදි මඤ්ඤං වෙනවා.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: