Tuesday, July 4, 2017

ජෝතිට :: හරියට ගෙව්වා නම් දැන් කෝටිපතියෙක්

මම ඉපදෙනකොටත් ජෝති පරළොව ගිහිං හිටපු නිසා මම ජෝතිව දැකලා නෑ. ජෝති ගැන මට තියන අතීතතම මතකය වෙන්නේ, අපේ අප්පච්චී පිස්සු හැදිලා වගේ ජෝතිගේ සිංදු වලට ප‍්‍රිය කිරීම සහ බොහෝ විට ඒවා ඇසීමටත් මිමිණීමටත් පුරුදුව සිටීමයි. වෙලාවකට මේ ජෝති රසිකත්වය මට පෙණුනේ විකාරයක් වගේ. කොල්ලෝ කාලේ සත විසිපහ පනහ මිට මොළවාගෙන ජෝති ආපු සංගීත සංදර්ශන බලන්න හැතැක්ම ගණන් පයින් ගාටපු හැටි, එකම චිත‍්‍රපටිය දෙතුන් පාර බලලා බැනර් එකටත් විසිල් ගහපු හැටි ගැන මම අහලා තියනවා.

ඊට ගොඩක් කාලෙකට පස්සේ කොළඹ ඇවිත් මම රේඩියෝකාරයෙක් වුණා. ඇත්තටම ජෝති කියන්නේ කවුද කියන එක හරියටම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කර ගත්තේ ඒ අවදියේදී. කොටින්ම කෙටියෙන්ම කීවොත්, ජෝතිගේ සිංදුවක් දාලා වැඩසටහනක් පටන් ගන්නවා කියන්නේ සෙත් කවියක් කීවා වගෙයි. සිංදු ඉල්ලන වැඩසටහනකට පැයකට ඇමතුම් කීයක් ආවත්, තරගයක් නැතිවම වැඩිම ඉල්ලූමක් තියන තනි ගායකයා වෙන්නේ ජෝති. මගුලට, අවමගුලට, දානෙට, පිංකමට, කොටහළුවට, බජව්වට, දුකට, සතුටට වගේම අවුරුද්දට, පෝයට, නත්තලට වගේ හැම තප්පරේකදිම කියන්න පුළුවන් සිංදු තියන තනි ගායකයා ජෝති.

මීට තිස් අවුරුද්දකට කළිං ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු හැටියට. නමුත්, එච්. ආර්. ජෝතිපාල නැමැත්තා මිය යන මොහොත වෙනකොටත් තමාගේ වටිනාකම නිසි පරිදි හ`දුනාගෙන සිටි මිනිසෙක් ද කියන එක ප‍්‍රශ්නයක්.  ජෝතිගේ වෙළ`දපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර තිහකට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම ඒකට එක හේතුවක්. ජෝතිගේ වටිනාකම ජොති පමණක් නොව රටේ කලා බලධාරීන් හෝ දැන සිටියේ නෑ. ජොතිගේ ආදාහනය දා බෙරැුල්ලට පිරුණු මහ සෙන`ග අද වෙනකොටත් ඓතිහාසික වාර්තාවක්. මහා දැවැන්ත ප‍්‍රබුද්ධ සම්මත කලාකරුවෝ වෙනුවෙන් තෙත් නොවුණු දෙනෙත් හදවත් පවා ජෝති වෙනුවෙන් ක`දුළින් තෙත් වුණු බව ඉතිහාසය කියනවා. මොහොමඞ් රාෆි ජෝති පිළිබ`ද කියන්නේ, ‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවේ’ කියලා. ඇත්ත. ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබුණා.

ආරම්භක ප‍්‍රාග්ධනයක් ඇත්තේම නැති තරම් කෙනෙක් වුණු ජෝති ගායන ලොවට පා තබන්නේ අත්වැඩ දෙන්න. පස්සේ එකඑක්කෙනා වෙනුවෙන් කඬේ යනවා. බත් අදිනවා. ඒ ජෝතිගේ ආරම්භය. නමුත් අවසාන වන විට ජෝති කඬේ යැවූ සියලූ දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමටත් කඬේ යාමටත් සූදානම් වන තත්ත්වයකට පත් වුණා. නමුත්, ජෝති රාජ්‍ය සම්මාන ගරු නම්බු නාම පදවි තානාන්තර නොලද්දේ වේ. ඒත්, ජෝති හුදී ජනයාගේ නොමද සම්භාවනාවට හා ආදරයට ලක් විය. හැම ගම්උදා වේදිකාවකම තිබුණු තරගය වුණේ වැඩියෙන් ඔල්වරසන් දෙන්නේ පේ‍්‍රමදාසටද ජෝතිපාලටද කියන එක. මම හිතන්නේ, ඒ ප‍්‍රශ්නෙට උත්තරේ ‘ජෝතිපාලට’ කියන එක. ජෝති වෙනුවෙන් සම්මානයක් දෙන්න සංස්කෘතික ආණ්ඩුවල කවුරුත් කැමති නැති වුණාට, ජෝතිත් එක්ක බුදිගන්න වුණත් කැමති ගෑණු මිනිස්සු එක දිගට පෝළිමක් ගැහුවොත් ඒ පෝළිම සලාක පෝළිමකටත් වඩා ගොඩක් දිග වෙන්න තිබුණා. මිනිස්සු ඒ තරම්ම ජෝතිට ආදරෙයි.

ජෝතිට අවුරුදු විසි තුනක් වෙද්දී හතළිස් හතර හැවිරිදි එඞී ජයමාන්න වෙනුවෙන් දෛවයෝගයේදී හ`ඩ දෙනවා. පදයක් තාලයට ‘තලා ගැනීම’ ඉක්මවා ගිය කාර්යභාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුයි. ඒ ලක්ෂණ මොනවාදැයි ජෝති දැන සිටියේ සාංසාරික ඥානයකින් කියලායි බොහෝ දෙනාගේ විශ්වාසය. යුගය, වයස, සංවේදීතාව, අවදිය, ජවනිකාව සහ තවත් බොහෝ දේ අනුව අවස්ථානෝචිත හැසිරවීමට ජෝති දක්ෂයෙක් වුණා. එඞී ජයමාන්න වෙනුවෙන් ගයන විධිය සහ ජෝ අබේවික‍්‍රම වෙනුවෙන් ගයන විධිය මුළුමනින්ම වෙනස් බව ජෝති හ`දුනාගෙන සිටියා. ඒ වගේම ගාමිණී ෆොන්සේකාටයි විජය කුමාරතුංගටයි ගයන්න වුවමනා විදිහ ගැනත් ජෝතිට අදහසක් තිබ්බා. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම වීරයාට ගයන විට වීරයෙක්ද වුණා. නළුවෝ ගහගත්තෙත් නළුවෝ වැලපුණෙත් ජෝතිගේ සිංදුවලට.

ජෝති ගැන කියනකොට යටට නොහෑරුවත් උඩින් පල්ලෙන් හරි අතගාන්න  ඕන තව කාරණා කීපයක් තියනවා. ඒ තමයි, ජෝති කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවෙක්. ආරෝහ පරිණාහ දේහයකින් යුතු ආකර්ෂණීය ජෝති සිනමා තිරය වගේම ප‍්‍රසංග වේදිකාව ‘පිරෙව්වා’. කේමදාස මාස්ටර්ට අනුව, ‘ජෝතිපාල තරම් වෙන කිසිම කෙනෙකුට ඉයර් එකට සිං කරන්න බැහැ’. ජෝතිට භාෂා තුනම හො`දට කතා කරන්න පුළුවන්. ඒ නිසාම, ජෝතිට පුළුවන් වුණා ජාති අගම් භාෂා බේද ඉක්මවා හැගීම් දැනීම් ආශාවන් තේරුම් ගන්න. ජෝති සර්වකාලීන හිට් එකක් වෙන්න බලපාපු තවත් කාරණයක් තියනවා. ඒ තමයි, චේ ගෙවාරා, විජය, ලින්කන්, බොබ් මාලේ වගේම ජෝති මිය යන්නේ ජනප‍්‍රියත්වයේ උච්චතම තැන ඉන්නකොට. ඒ නිසාම, ජෝති ගැන අපට තියන අවසන් මතකයේ පවා ඉන්නේ ජවසම්පන්න තරුණ ගැම්මෙන් වේදිකාව අමන්දානන්දයට පත් කරන ජෝති. ජෝතිගේ පෞරුෂය අදටත් වියපත් නොවෙන්න මේ කාරණාව බලපෑවා.

දැන් ගායකයෙක් සිංදුවක් කරලා ඒක හිට් කරගන්න රේඩියෝ ටීවී චැනල් ගාණේ සල්ලි කුට්ටි බෙද බෙදා යන්න  ඕනේ. එහෙම නැත්තං අඩුම තරමේ ඩියුටි ෆ‍්‍රී මල්ලක් දාපු බෝතලයක්වත් අරගෙන යන්න  ඕනේ. හරියට පෙරේතයින්ට දොළපදේණි දෙනවා වගේ. එහෙම නැත්තං යූටියුබ්, ෆෙස්බුක් වගේ ඒවාගේ දාලා ඩොලර් දදා ප‍්‍රමෝර්ට් කරන්න  ඕනේ. ඒක එහෙම වෙන්න බලපාපු හේතු ගොඩක් ඇති. ඒත්, ශ‍්‍රාවකයින්ට වඩා ගායකයෝ වැඩි වුණාම ඔහොම වෙනවා. පේ‍්‍රක්ෂකයොන්ට වඩා නළුවෝ වැඩි වුණාමත් එහෙමයි. අනිත් අතට, තාක්ෂණයයි විද්‍යාවයි කියන දෙක ආශ්වාසය ප‍්‍රාශ්වාසය වගේ සංගීතයට හවුල් කරගත්ත එකේ විපාකයක් හැටියට ගායකයෝ සහ රසිකයෝ අතර පරතරයක් හැදුණා.  ඕනම දෙයක්, යථාර්ථයෙන් දුරස් වෙන්න වෙන්න සාමාන්‍ය සමාජයෙන් දුරස් වෙනවා. නැචුරල් ජෝතිලා එක්ක අලූත් පරපුරේ මාර පොරවල් වුණු ආර්ටිෆිෂල් කට්ටියට හැප්පෙන්න බැරි මේ නිසායි. ඒ බොහෝ අය, සිංදුවක් රෙකෝර්ඞ් කරලා ඉවර කළාට පස්සේ බජව්වකදි රසිකයෙකුට තියා ප‍්‍රසංගයකදි අදාළ ගායකයාටවත් ඒක කියා ගන්න බෑ.

ලංකාවේ බිහිවුණු සුපිරිතරු බොහෝමයක් ජාමේ බේරාගන්න පාවිච්චි කළේ ජෝති. රණසිංහ පේ‍්‍රමදාසගේ වගේම පේ‍්‍රමදාසට එරෙහිව කැරළි ගහපු ටිල්වින් සිල්වාගේත් ප‍්‍රියතම ගායකයා වුණේ ජෝති. අද වන විට විකාශන සිදු කරන සකළවිධ එෆ්.එම්. නාලිකා අඩුම තරමේ දවසකට ජෝතිගේ ගීත විස්සක් වත් ප‍්‍රචාරය කරන බව සත්‍යයක්. සමහර නාලිකා වැටුණු ‘රේටින්’ හදාගන්න ගහගන්න මුක්කුවලින් එකක් තමයි ජෝතිගේ සිංදු ගණන වැඩි කරන එක.

ටීවී රේඩියෝ ටික ජෝති වෙනුවෙන් කර්තෘභාගය ගෙව්වා නම් අද වෙනකොට ජෝති කියන්නේ කෝටිපති ලයිස්තුවේ ඉස්සරහා ඉන්න කෙනෙක්.

Bharatha Prabhashana Thennakoon

No comments: