Tuesday, June 27, 2017

මාලිංග: පට්ට පණ්ඩිතයි.


මාලිංග. වෙලාවකට ‘වීරයෙක්’. තව වෙලාවකට ‘දේශපේ‍්‍රමියෙක්’. තව වෙලාවකට ‘දේශද්‍රෝහියෙක්’. එක වෙලාවකට ‘දකුණේ කොල්ලෙක්’. තව වෙලාවකට ‘අපෝ හෙණ මෝඩයෙක්’. මාලිංග. ‘රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුණත් ලෑස්ති එල කොල්ලෙක්’. තව වෙලාවකට ‘අම්බානිගේ සල්ලි වලට වහ වැටිච්ච චාටර් පොරක්’. ගොඩක් වෙලාවට ‘පට්ට පණ්ඩිතයි’. ඒ හැම එකකින්ම මම ආසා මාලිංගගේ තියන පට්ට පණ්ඩිතකමට.

මාලිංග. එයා ගහපු ක‍්‍රිකට් වල පට්ටන්දරේ ඉන්ටර්නෙට් සර්ච් කරලා හොයා ගන්න. මාලිංග කියන්නේ තමන්ට පැවරුණු වගකීම බොහෝ දුරට සාර්ථකව අවසන් කරලා ඊළ`ග වගකීමක් වෙනුවෙන් ප‍්‍රවේශ වෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක්. මාලිංග ගොඩ දාපු මැචස් ප‍්‍රමාණය සැලකිය යුතුයි. හැබැයි ඒ ගොඩක් ඒවා අවසානේදී තරගයේ වීරයා වුණේ මාලිංග නෙවෙයි. වැඩක් ගොඩ දානවා කියන්නේ වෙන විදිහක වැඩක්. ඒ වගේම, බොහෝ අවස්ථාවන් වල ‘මාලිංගත් ටීම් එකේ ඉන්නවා’ කියන එක තුළ ම නිරායාසයෙන් ප‍්‍රතිවාදියා තුළ හට ගන්න භීතිය හරහා මාලිංගගේ ක`දවුරට වාසිය හිමි වුණා.

සමහරු කියයි, උඩට යන්න යන්න උණ ගහක් වගේ වෙන්න ඕනේ කියලා. තව සමහර කියනවා ශක්තිමත් වෙන්න වෙන්න පාපිස්සක් වගේ වෙන්න ඕනේ කියලා. හැබැයි මේ මහපොළවේ අපි දන්න තථ්‍ය සත්‍යය තමයි එහෙම වෙන්න හරිම අමාරු බව. අවුරුදු දාස් ගාණක් රජුට යටත් වෙලා හිටපු අපි, රටේ නායකයා සරල මිනිහෙක් වුණු පළවෙනි අවස්ථාවේදීම ඔහුත් එක්ක ‘නරි නාටක’ නටන්න පටන් ගත්තා. හැමදාම ගෙම්බර දදා හිටපු ලොක්කෙක් වෙනුවට මිත‍්‍රශිලී ලොක්කෙක් ආවහම අපි ලොක්කගේ කලිසම ඔළුවෙන් ගලවනවා. ඒ නිසා, යට කී නිහතමානීකම හරි නම්‍යශීලී බවට පට්ට සාහිත්‍ය වටිනාකමක් තිබුණට මහපොළෙවේ පැළ කරනකොට ටිකක් අමාරුයි. ඒක තමයි ඇත්ත. අනිත් අතට, අනන්‍ය වටිනාකමක් තියන මිනිහෙක් නිශ්චිත කාරණාවට අදාලව පණ්ඩිත වුණාට අවුලක් නෑ. පණ්ඩිතවීම (මෙච්චර වෙලා වගේම මේ වචනේ පාවිච්චි කරන්නේ ව්‍යවහාර අර්ථයෙන්* ගොන්පාර්ට් එකක් වෙන්නේ හරයක් මදයක් නැතුව පණ්ඩිත වෙන්න ගිහාම. සම හෝ අභිබවිය හැකි ආදේශක ඕන තරම් තියන තැනක පණ්ඩිත වුණාම. කිසිම විශේෂයක් නැතුව පණ්ඩිත වුණාම. පොල් ගෙඩිය කණට කරලා හොල්ලලා බලපුවහම තේරෙනවා කොට්ට පොල්ද කුරුවල්ද නැත්තං පෙණුමේ තරමටම පැහිලාද කියලා. පොලේ පැහිලානං වත්තේ හතර මායිමවත් වල්ලේ හැඩවත් වැඩක් නෑ.

‘ඇයි මීට කළින් දැකලා නැද්ද’ කියලා අහපු වෙලාවේ ලංකාවේ මීඩියා මාර ගේමක් දුන්නා, මාලිංගට කුඩු වෙන්න ගහලා හාන්සි කරන්න. ඊට හේතුව ඒක ඇහුවේ මීඩියා වලින් වීම නිසා. ලංකාවේ මීඩියා පට්ට තරහයි කවුරුහරි තමන්ව ප‍්‍රශ්න කරනවට හෝ තමන්ව මායිම් නොකරනවට. ඒ අධිපති බලය බිෙ`දයි කියලා තියන භීතිය නිසා. ඒක තමයි ඇත්ත. ලංකාවේ මීඩියා හිතාගෙන හිටියේ මාලිංගගේත් පැවැත්ම තියෙන්නේ ටීවී රේඩියෝ පත්තර මත කියලා. නිළියකට දේශපාලනඥයෙකුට ගායකයෙකුට මීඩියා ගොඩක් වටිනවා වුණාට මෙතනදි මීඩියා වලට වටින්නේ මාලිංග වගේ මිනිස්සු . ආයෙත් පුරුදු විදිහට මීඩියා මාලිංගව හොයාගන යන්න පටන් ගත්තා. හැබැයි, මාලිංගගේ වයිඞ් බෝලයක් නෝබෝලයක් ෆුල්ටොස් එකක් දැක්ක ගමන් ආයේ මාලිව කොටු කරගන්න හදන්නේ අර කළිං තිබුණු ඇරියස් එක කවර් කරගන්න බලාගෙන. ඔවුන්ගේ අවිඥානය ඒ වෙනුවෙන් මෙහෙයවනවා කියලායි පේන්න තියෙන්නේ. ‘කැච් අතඇරියාට මැච් පරදින්නෑ’ කියලා කියපු කතාවට උඩදාගෙන ගහන්නේ ඒකයි.

කොහොම වුණත්, මේ කොදෙව්වේ අනන්‍ය ලක්ෂණයක් තියනවා. ඒ තමයි වඩාත් ප‍්‍රමුඛ අවශ්‍යතාව වෙන්නේ ‘මිනිහා කොච්චර වැඬේට අදාළ වැඩ කාරයෙක්ද’ කියන එක නෙවෙයි. දහම් පාසල් ගිහිං තියනවද, රුවුල කපනවද වවනවද කරාබු දානවද නහය විදලද අ`දින්නේ සාරියද ඔසරියද වමත්ද දකුණත්ද කොහේ එකෙක්ද ඉස්කෝලේ මොකද්ද වගේ නහුතයක් අතිරේක ප‍්‍රශ්න. අවසානේ දී වැඬේට අදාලව මිනිහා කොච්චර දක්ෂයෙක් වුණත් යටකී අතිරේක නහුතක් උවමනාවන් සංතෘප්ත කරන්න බැරි වීම නිසා හැරෙන හැරෙන අතේ ඒ මිනිහාව කපනවා. කපන්න කපන්න කතුරු මොට වෙන එක වෙනම කතාවක්. හැබැයි, කතුරු මොට වුණා කියලා කැපෙන කෙ`ද් හැමදාම මොටෙයියෝ දාන්නේ නෑ. පිහිය මොට වෙලා ඉවර වෙන කාලේ වෙනකොටම ක`ද බාල වෙලා කතාව ඉවර වෙනවා. ඊට පස්සේ අර ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ අපේ රටට අබසරණ තමා.

ඇත්තටම වෙන්න ඕන දේ මිනිහා වැඩ කාරයා නම් පොඩි පොඩි දේවල් නොසලකා හැරලා ඉන්න ටිකේ ඒ මිනිහාගෙන් අවශ්‍ය වැඬේ ගන්න උත්සාහ කරන එක. හරියට අම්බානි කරනවා වගේ. වැඬේට අදාල මිල ගෙව්වා තමන්ගේ පිළ වෙනුවෙන් වැඬේ ගත්තා. ඊට පස්සේ මොනවද කරන්නේ කියන එක එයාට අදාල නෑ. දැන් ඉතිං කියයි විනයක් සීලාචාරකමක් නැතුව මොකා වුණත් මොකටද කියලා. මෙලෝ රහක් නැති ඵලක් හරයක් නැති අවිනයවත් අසීලාචාර මිනිස්සුන්ගේ දේවල් පවා ගාණක්වත් නැතුව ඉවසගෙන ඉන්න අපි වැඩකාරයෙකුගේ පොඩි පණ්ඩිතකමක් (උපරිමයකට යටත්ව* ඉවසුවාට පාඩු නෑ කියන එකයි මගේ අදහස. 

‘ගිරව් එළියේ ඉන්නකොට රිලව් බෙනේට රිංගලා. බෙනේ ගැන දන්නේ රිලව් නෙවෙයි ගිරව්’ කියලා මාලි කියලා තිබුණා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ වනාන්තරෙන් එළියට ගිහාම ඔය කියන රිලව් විතරක් නෙවෙයි ගොඩක් අලි කොටි වලස්සු සිංහයෝ පවා පයිසෙකට මායිම් නොවෙන නිකම්ම නිකම් පංචස්කන්ධ විතරයි. සමහර මිනිස්සු ලෝක සිතියමේ ලංකාව තියන තැන හොයන්නෙත් සනත්ලා, මුරලිලා, සංගලා, මහේලලා සහ ‘පට්ට පණ්ඩිත’ මාලිංගලා නිසා කියලා මතක තියා ගන්න ඕනේ.

එතකොට ෆිට්නස්? ඔව්. ෆිට්නස් නැතුවනං ඉතිං බල්ලෙකුට ගලක් ගහගන්නවත් බැරි බව කොයි කවුරුත් වටහා ගෙන වැඩ කළ යුතුයි.

:: භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන් ::

Pre-Add

No comments: