Tuesday, June 20, 2017

කුලය කියන්නේ යට ඇදුමක්


කුලය කියන්නේ ආයුධයක්. කුලය කියන්නේ ආභරණයක්. ආයුධයක් හරි ආභරණයක් හරි එතනින් එහාට පවතින්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒක ර`දන කෙනා මතයි. සරලව කීවොත්, කැත්ත කපන්නේ අත හරවන පැත්ත වගේම, තැල්ල හැඩ වෙන්නේ බෙල්ලේ තරමට. ‘යාපනේ ලේ කතාව’ කුලය ගැන ආසන්නම පොදු කතාව වුණාට, උතුරේ දකුණේ උඩරට පහතරට හැම තැනම හැමදාම ‘කුලය’ කියන්නේ කාරණයක්. කුලය කියන්නේ සාධකයක්.

කුලය නිර්මාණය වීමේ මූලිකම සාධකය වූණේ තමන්ගේ ජීවනෝපාය. ඒ අනුවල ගොවිතැන් කළ පිරිස් ගොවිගම ලෙසත් මසුන් මැරීමේ නිරත වූවන් කරාව ලෙසත් හැළි වළං මුට්ටි හදපු උදවිය කුඹළුන් ලෙසත් වෙන් වුණා. එහෙම ගත්තහම මෙම සමාජ තත්ත්වයන් හා වෘත්තීන් ඒ කාලයේදී නිසි බෙදීමකට අනුව සිදු වූ බවත් එවැනි බෙදීමක් සාධාරණ යැයි සිතීමට හැකි තරම් සාධාරණ නිර්ණායක තියනවා කියලත් පේන්න තියනවා.

ඒත්, නිදහස ලැබීමත් එක්ක විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය සහ අලූත් අලූත් වෘත්තීන් ව්‍යාප්ත වීමත් සමග කුලයට හිමි වෘත්තිය හෝ සමාජ අනන්‍යතාව සහ සමාජ යථාර්තයන් අතර වෙනසක් නිර්මාණය වීමට පටන් ගත්තා. ජිවිතේ එක් වරක් හෝ කුඹුරකට බැස නැති ගොවිගම මිනිසුන් ද මුහුදු හුළගක් හෝ නොවැදුණු කරාව පරපුරක්ද නිර්මාණය වෙන්නේ මේ සමගමයි. අද වෙනකොට කරත්ත කාරයාගේ පුතා අද කරත්ත පදවන්නේ නෑ. මැටි වැඩ වේවැල් වැඩ කියන්නේ බිස්නස් එකක්. නටන්නේ බෙර ගහන්නේ තාලේ තියන මිනිහා. බෙරවා ප‍්‍රභූ කී දෙනෙකුට නම් රදල පේරුවේ බෙරකාරයෝ මගුල් බෙර ගහනවද. මුල් යුගයේදී කුලීනයකු හා උසස් කුලයක පුද්ගලයින් දෙදෙනෙකු සම අසුන් නොගන්නා තත්ත්වයක් දකින්න තිබුණත් අද වන විට තත්ත්වය මත මිස කුලය මත ඔහු ආමන්ත‍්‍රණය කිරීම හෝ ගරු කිරීම කළ නොහැකියි. තව ටිකක් තේරෙන්න කියනවානම්, සාජන් කැප්ටන්ට සැලියුට් ගහනවා මිසක් සාජන් උසස් කුලේ කියලා අඩු කුලේ කැප්ටන් සාජන්ට සැලියුට් ගහන්නේ නෑ.
කුලවාදය බහුලවම හා ස්ථායීවම පැවති ඉන්දියාවේ පවා අද වන විට කුලවාදය පිළිබ`ද වෙනස් දැක්මක් ඇති වෙලා. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ පුරෝගාමිකු වුණු අම්බෙඞ්කාර් කියන්නේ කුලීනයෙක්. මායාවතී කියන කුලීන කාන්තාව කුලවතුන් බහුල උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අවුරුදු විස්සක් විතර මහ ඇමතිකම කළා. ලොක් සභා කතානායකවරියක් වුණු මීරා කුමාර් දාලිත් කුලේ. එයාගේ තාත්තා හිටපු ආරක්ෂක ඇමති කෙනෙක්. විසිවෙනි සියවස අවසන් වන විට ඉන්දීය රැුකියා නියුක්තිකයින්ගෙන් සියයට විස්සක් පමණ කුලීනයින්. ඒ රැුකියාවන් එකක් හෝ ඔවුන්ගේ කුලයට අනුව ඇත්ත වශයෙන්ම හිමි රැුකියාවන් නෙවෙයි. ඉන්දියාවේ, ‘ඒ’ ශ්‍රේණියේ රැුකියාවන් වල නිරත අයගෙන් දහයෙන් එකක් කුලීනයන්. ලංකාව සම්බන්ධයෙන් වුණත් මෙවැනි උදාහරණ  ඕනෑ තරම්. මේ කොදෙව්වෙත් මෙහෙම සංගණනයක් කළොත්, බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි.

මහපොළවේ පැවැත්ම වෙනුවෙන් කුලය පවතින්නම අවශ්‍යයි කියලා කවුරු හරි කල්පනා කරනවා නම්, මුලින්ම කරන්න  ඕනේ වෘත්තීය මූලික කුල සම්ප‍්‍රදාය නූතන රැුකියාවන් හා ගැලපෙන පරිදි ප‍්‍රතිසංශෝදනය කරන එක. සරල උදාහරණයක් විදිහට වර්තමාන වෛද්‍යවරයෙක් ගත්තහම ඔහු, අහිගුණ්ඨක ද බඩහැල ද බත්ගම ද බෙරව ද දේව ද ගොවිගම ද හන්නාලි ද හුණු ද කින්නරය ද නවන්දණ්ඩ ද පමුණු ද පණ්න ද පණික්කි ද පට්ටි ද පොර ද රදළ ද රජක ද රොඩිය ද කියන එක අදාල නෑ. දැන් එයා ඉන්නෝ දොස්තර කුලේ. නීතීඥවරුන්, ගණකාධිකරුවරුන්, මාධ්‍යවේදීන්, රියදුරන්, ගුරුවරුන්, ගොවියන්, කර්මාන්තකරුවන් හෝ පාලකයන් වගේ හැමෝම දැන් කුලක ගත වෙන්න  ඕනේ ඒ ඒ කාණ්ඩය ඇතුළේ.

(මේ කතාව අස්සෙම මීට සමපාතව හරි හරියට දුවන තව දෙයක් ගැනත් කියන්න  ඕනේ. ඒ, ඒ දෙක එකක් මිස දෙකක් නොවන නිසා. ඒ තමයි ආගම්වාදය සහ ජාතිවාදය. කුලවාදය මොනතරම් අප‍්‍රසන්න හා හිරිකිත අත්දැකීමක් ඇති කරනවද ඒ තරම්ම අප‍්‍රසන්නබවක් හා හිරිකිතයක් ජාතිවාදය හා ආගම්වාදය විසිනුත් සමාජයට දායාද කරනවා. අවාසනාවන්ත කාරණය, ආගම්වාදය හා ජාතිවාදය එවැනි සමාජ අප්පිරියාවක් බව කුලවාදය අප්පිරියාවක් ලෙස පිළිගන්න බොහෝ අය පිළිගන්න සූදානම් නොවීම. කුලේ සාධකයක් කරගන්නකොට ‘අනේ මේ  ඕවා යල් පැනපුවා’ ‘ ඕවා සමාජයට මහ විනයක්’ කියලා කියන්න කට අරින තරම් එඩිතර කමින් ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් එඩිතර වෙන්නේ නෑ. සමහර විට ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් කුල ප‍්‍රශ්නෙදි තමන්ට අවාසි වුණාට ආගම්ජාති ප‍්‍රශ්නෙදි තියෙන්නේ තමන්ට තියෙන්නේ වාසියක් වීම. වාසිය කාට වුණත් දියුණු සමාජයකට නොහොබිනා දේ නොහොබිනාම බව නම් කිව යුතුමයි.)

‘වංසේ කබල් ගාමින් හිටපු අය’ට එහෙමත් නැත්තං කුලය තීරණාත්මකම සාධකයක් කරගෙන පුම්බගෙන හිටපු පැළැන්තිය ඉතා සීඝ‍්‍රයෙන් බි`ද වැටුණු බව පේන්න තියනවා. සාම්ප‍්‍රදායික කුලය, බලය, ධනය විශ්වාස කරගෙන වලව්වේ දොරකඩට වෙලා හාන්සි පුටුවේ දිගා වෙලා වංසේ නිසා හැම දේම උඩින් පාත් වෙනකල් බලාගෙන හිටපු පංතිය පහුකරගෙන ඊට පස්සෙන් හිටපු පංති- පැළැන්ති ඉස්සරහට ගිහිං. ඒක, ඉස්සරහටත් එහෙමම වෙනවා.

අවසාන වශයෙන් එකක් කියන්න අවශ්‍යයි. කුලය කියන්නේ යට ඇ`දුමක් වගේ එකක්. තමන්ගේ යට ඇ`දුම අනුන්ට පේන්න අ`දින්නේ නෑ. සමහරු ‘බ‍්‍රෑන්ඩඞ්’ නිසා ඒවා එළියට පේන්න අ`දින එක විලාසිතාවක් කරගෙන හිටියත්, ඒකේ සීමාව ඉක්මවා ගිය වහාම ඒ දර්ශනය අප‍්‍රසන්න හැ`ගීමක් ජනිත කරනවා.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්


No comments: