Tuesday, April 4, 2017

බෝලේ දානකොට බෝලෙට ගහන්න ඕනේ.

කෙල්ලෙක්ට කොල්ලෙක් හරි කොල්ලෙක්ට කෙල්ලෙක් හරි ඉන්නවා කියලා දැනගත්තම වැඩිහිටියෝ හරි දෙමව්පියෝ හරි දෙන දාර්ශනික උපදෙස් වල තියන අවසන් හරය තමයි zඉස්සරලා හොදට ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන්Z කියන එක. ඒ විතරක් නෙවෙයි, ඉස්කෝලේ භාහිර වැඩකට ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා හීනියට ඒ වෙනුවෙන් වැඩි බරක් තියනකොටත් කියන්නේ අර කතාවම තමයි.

හරි අපි හිතමු ඔය ඉගෙන ගෙන ඉවර වෙනවා කියන එක වැඩිහිටි උපදේශ සීමා අර්ථයෙන් ගත්තහම කැම්පස් ගිහිං උපාධියක් ගන්නවා වගේ උපරිමයකට යටත් කියලා. උපාධියක් අරං ඉවර වෙලා අපි ලව් කරන්න බලනකොට බ්‍රෑන්ඩ්නිව් තියා හො`ද තත්ත්වයේ රීකන්ඩිෂන් සහකාරයෙක්- සහකාරියක් හොයාගන්න එකම එච්චර ලේසි නෑනේ. (මේක කියවපු ගමං මගෙත් එක්ක පරළ වෙන්න උවමනා නෑ. හොදින් සුපිපුණු සුවද හමන රෝස මලක වුණත් ගිණි පාන්දර වහනකොටයි කිසි බඹරෙක් නොවැහුවත් ගිණි මද්දහනේ වහනකොටයි තියෙන්නේ අත්දැකීම් දෙකක්නේ. ඒකයි..) අනිත් එක අවුරුදු විසි පහේදි- විසි හයේදි දාසයේ දාහතේ වගේ ලව් කරන්න පුළුවන්ද.

හරි ඔය පෙම් පලහිලව් පැත්තකින් තියමුකෝ. අවුරුදු විසි පහේදි අලුතෙන් ක්‍රීඩාවක්, පාසල් මූලික බාහිර වැඩ එහෙම පටන් ගන්න පුළුවන්ද. (ඔව්.. දැන් ඔය වගේ එකකට ඕන තරම් ගූගල් උදාහරණ ඇති. මම මේ කතා කරන්නේ සම්මත උෂ්ණත්ව පීඩන යටතේ හැදෙන සාමාන්‍ය ගෑණු මිනිස්සු ගැන. බහුතරය ගැන.) එකොළහ දොළහ පන්තියේ කරන- රොත්ත පිටින් ගිහිං අල්ලපු පන්තියට ගහලා අතුගාන කොස්ස උස්සන් එන එක, ඩියුටි යන ප්‍රිෆෙට්ස්ලට විසිල් ගහලා හූ කියලා රාජකාරියට බාධා කරන එක වගේ කොලුකම් උගත් බුද්ධිමත් පුරවැසියෙක් හැටියට කළොත් කුදලගෙන ගිහිං එක්කෝ පිස්සන් කොටුවට එහෙම නැත්තං මහඋළු ගෙදරටනේ.
ඉස්කෝලෙන් කට්ටි පණින්න ඕනේ ඉස්කෝලේ යනකොට තමයි. එහෙම නැත්තං ඒ ඇරියස් එක ඔෆිස් වලදි කවර් කරගන්න ගිහිං ඉන්ටර්ඩික් වෙනවා. ඔෆිස් එකෙන් කළිං පැන්නත් බොසාට මාට්ටු නොවී ගේමක් ගහලා ගොඩ දාගන්න අර අත්දැකීම් ගොඩක් වැදගත් වෙයි. මිනිස්සු අ`දුරාගන්න, වැඩක් කරට අරගෙන කරන්න, නායකයෙක් වෙන්න, ලිස්සලා යන්න ඕන තැන්වල ලිස්සලා යන්න, වංගුවක් දාගන්න වෙට්ටුවක් දාගන්න, දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න... ඔව් මේවා සිලබස් කවර් කරලා ඉගෙන ගන්න බෑ. අනික සිලබස් ඉවර කරලා එක්සෑම් ඔක්කොම ගොඩදාලා මුල ඉ`දලා ඉගෙන ගන්නත් බෑ.

මෙහෙමයි...

ජීවිතේ කිසිම දෙයක් ඉගෙන ගෙන ඉවර වෙලා කරන්න කියලා තියා ගන්න හො`ද නෑ. ඒක භයානකයි. ඒ වගේම සමාජ විහිළුවක් වෙනවා. ඒ ඒ වයස්වල කරන්න ඕන දෙවල් ස්වයං සීමිත උපරිමයකට යටත්ව සිද්ධ කරන්න ඕනේ. එහෙම කරන්න දරුවන්ට ඉඩ දෙන්න ඕනේ. තේරෙන සිංහලෙන් තවත් කියනවා නම් අනිත් ළමයි සෙල්ලම් බත් උයනකොට ඉස්සරලා ඉගෙනගන පස්සේ සෙල්ලම් කරමු කියලා කණෙන් ඇදගෙන ගිහිං ශිෂ්‍යත්ව පංතියේ වාඩි කරවලා ටොකු ඇණ ඇණ උගන්නලා විභාගේ පාස් වෙලා ආපහු සෙල්ලම් බත් උයන්න යනකොට අර ළමයි සරුංගල් යවනවා. අර ළමයා අර පිළිවෙළටම කාලෙකදි සරුංගල් අරින්න එනකොට අනිත් ළමයි ඒ ඒ වයසට ගැලපෙන වෙන වැඩක. අවසානේ ඒ ළමයි අත්දැකීම් ටිකක් එකතු කරගන්නකොට අර ළමයා ජීවිතේ මිස් වෙච්ච කෑල්ල ගැන ලතවෙනවා.

සහතික කඩදාසි ටිකක් ඉතුරු වෙච්චි මහ පොළවේ ජීවිතේ හිස් තැන් ටිකක් ඉතුරු කරගෙන ජීවිතේ ගෙවන ළමයෙක් හදනවද නැද්ද කියන එකේ තේරීම තියෙන්නේ අපේ අතේ. (ඒ කියන්නේ මේක කියවන අනාගත අම්මලා අප්පච්චිලා හරි ඔය වගේ තීරණාත්මක තීන්දු ගන්න තව කල් තියන අම්මලාට හරි අප්පච්චිලාට හරි) ක්‍රිකට් වලදි වුණත් බෝලේ දානකොට බෝලෙට ගහන්න ඕනේ. බෝලේ ගියාට පස්සේ ගහන්න හිටපු ෂොට් එක කැමරාවට ගහලා පෙන්නුවාට ලකුණු හම්ඛෙන්නේ නෑනේ. හොද කෝච්ලා හැටියට දෙමව්පියෝ හරි වැඩිහිටියෝ හරි උගන්නන්න ඕනේ රිස්ක් එකක් අරං බෝලෙට ගහන ගමන් විකට් එක තියා ගන්න. ලූස් බෝල වලට එලවලා ගහන්නත් අමාරු බෝල ටික විතරක් ලීව් කරන්නත් කියලා දෙන්න. ඉස්සරලා විකට් එකේ ඉ`දලා පස්සේ ලකුණු ගහපං පුතා කියලා කීවට ඒක කරන්න බෑ.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

No comments: