Tuesday, April 18, 2017

දිනුවොත්, දිනපු විදිහ වැඩක් නෑ. පැරදුණොත්, ඒකට හේතු වැඩකුත් නෑ

ජීවත් වෙනවා කියන්නේ, ක්‍රිකට් මැච් එකක විකට් කීපර් කෙනෙක් වෙනවා වාගේ වැඩක්. කිසිම වෙලාවක බෝලේ එන්නේ අපි හිතන විදිහට නෙවෙයි. දේවල් සිද්ධ වෙන්නේ අපි හිතාගෙන ඉන්න පැත්තෙන් නෙවෙයි. ඊළග මොහොත සුභයි කියලා හිතාගෙන ඒකට ලෑස්ති වෙලා ඉන්නකොට එකපාරටම ඔන්න එක්කෝ බවුන්සර් එකක්. නැත්තං පතාර වයිඩ් එකක්. බැරි වෙලාවත් ඒක අතඇරියොත් පිටිපස්සෙන් ආයේ කවුරුවත් අපි වෙනුවෙන් බෝලේ අල්ලන්න ඉතුරු වෙලා නෑ. අනිවාර්යෙන්ම හතරක් තමයි. ෆිෆ්ටි ඕවර් මැච් එකක බෝල 299ක් හො`දට රැකලා තිබුණත් අන්තිම බෝලේ මිස් වෙන්න පුළුවන්. ඒක මැච් එකේ තීරණාත්මකම බෝලේ වෙන්න පුළුවන්.
අනිත් කෙනෙකුට වරදක් වුණොත් එයා ලගට ඊළග බෝලේ එනකල්ම වෙලාව තියනවා ඒ වරද හදාගන්න. වරදම නෙවෙයි. ඒ වරද නිසා ගැස්සුණු හිත හදාගන්න. ඒත් විකට් කීපර් කෙනෙකුට බෝල දෙකක් අතර තියෙන්නේ පොඩි වෙලාවයි. අපේ ජීවිතෙත් එච්චරම තමයි. එකක් ගැන හිත හිත ඉන්න ඒ වෙනුවෙන් මිඩංගු කරන්න ලොකු කාලයක් නෑ. එකක් ඉවර වුණු ගමං ඊළ`ග එකට සෙට් වෙන්න ඕනේ.

ඒක නෙවෙයි.

දැන් අවුරුදු ඉවරයිනේ. අවුරුද්දට දවස් ගාණක් නිවාඩු හම්බුණානේ. උඩිනුත් නිවාඩු තිබිලා යටිනුත් නිවාඩු තිබිලා මැදින් වැඩ කරන දවසක් දෙකක් තිබුණම ඒ දෙකත් එහෙ හෙමෙ කරලා සැන්ඩ්විච් නිවාඩුවකුත් හදාගෙන අත දිගෑරලා ඒ අත්දැකීම් අවුරුද්ද වි`දලා ආයෙත් සාමාන්‍ය වැඩ පටන් ගන්නේ අද නේ. ඔව්.. ඊයේ තමයි. ඊයේ ඉතිං වැඩි වෙලාවක් ගතවෙන්න ඇත්තේ අවුරුදු වල ප්‍රගති සමාලෝචන වලටනේ. ඒක නෙවෙයි, දැන් අවුරුදූ සීසන් ඉවරයි.

අලුතෙන් පටන් ගමු.

අපිට ආයෙත් අලුතෙන් පටන් ගන්න පුළුවන් වෙලාවක් තමයි මේ. ඒක අර සමහර කැම්පේන් වගේ නෙවෙයි. ඒ කියන්නේ හැමදාම පළවෙනි වෙඩි මුරේ තියනවා වගේ ඒවා. අලුතෙන් පටන් ගන්න එක පෝස්ටරේක ගහන ලයින් එකකට වඩා වෙනස්. තොග ගාණට පෙට්ටියක දාලා වළලා දාන්න පුළුවන්- එහෙම කරන්න ඕනේ හැම දෙයක්ම ආයේ අහුමුලු වල කෑලි ඉතුරු කරගන්නේ නැතුව වීසි කරලා දාන්න. මම කියන්නේ වැරදුණු දේවල්, මිස් වුණු දේවල්, මතක් කරන්න හරි ආයේ ආයෙත් දකින්න අකමැති දේවල්. මේ හැම දෙයක්ම. ඒක හරියට විකට් කීපර් කෙනෙක් මෙච්චර වෙලා ආපු හැම බෝලයක්ම අමතක කරලා දානවා වගේ වැඩක්.

හැබැයි එකක් මතක තියාගන්න. මීට කළිං වුණු වැරදි ආයේ ආයෙත් සිද්ධ වෙන්න බෑ. එහෙම වුණොත් ටීම් එකෙන් කැපෙනවා. කොච්චර දක්ෂ ප්ලෙයර් කෙනෙක් වුණත් කිසිම ටීම් එකකට අත්‍යාව්‍ය නෑ. එක්කෙනෙක් අයින් වුණා කියලා ටීම් එකක් නවතින්නේ නෑ. හරියට ඔෆිස් එකකට කිසිම කෙනෙක් අත්‍යාවශ්‍ය සේවකයෙක් වෙන්නේ නෑ වගේ. මේ සිස්ටම් එකටත් කිසිම කෙනෙක් අත්‍යාවශ්‍ය නෑ. අපි ෆෙල් වුණොත් අපිව පැත්තකින් තියලා මේ සිස්සට් එක දුවනවා. ඔයා හරි මම හරි වෙනුවට වෙන කෙනෙක් විකට් කීප් කරන්න දාගෙන ටීම් එක ඊළග මැච් එකට යනවා.

ඒ විතරක් නෙවෙයි.. අපි මේ මොහොතේ ෆෙල් නම් අපේ හිස්ටි්‍ර රෙකෝර්ඩ්ස් කොච්චර හො`ද ද- ලොකු ද කියන එක එච්චර වැදගත් වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි, අපි මේ මොහොතේ හොදට සෙල්ලං කරනවානම්, අපි මීට කළිං කොච්චර ෆෙල්ද කියන එකත් මේ සිස්ටම් එකට අදාල නෑ. ඒකයි කියන්නේ පරණ අන්-කොන් තියාගෙන ඒවා පිරිපහදු කරන්න හිත හිත ඉන්නවාට වඩා- ඒවා නොවුණා සේ හිතලා අපි අලුතෙන් පටන්ගමු කියලා.

අතෑරලා ගිය ගල්ෆ්‍රෙන්ඩ්ලා / බෝයිෆ්‍රෙන්ඩ්ලා ඔයත් අතෑරලා දාන්න. ඒ ගැන වද වෙන එක නවත්තලා අපි අලුත් එකක් ට්‍රයි කරමු. ෆෙල් වුණු එක්සෑම් ටික අමතක කරලා, සබ්ජෙක්ට් එක විතරක් ඔළුවේ තියාගෙන අපි රිපීට් ලියමු. ටිකක් හයියෙන් දුවමු. අපිට දිනන්න උවමනාවක් තියනවානම් අපිම දුවනවා මිසක් වෙන කවුරුත් අපිව ගොඩ දාන්නේ නෑ කියලා මතක තියාගෙන අපි දුවමු.

ඇඩොල්ෆ් හිට්ලර් එයාගේ හමුදාවට හැමදාව කියපු කතාවක් තිබුණා. 'උඹලා දිනුවොත්, මට දිනපු විදිහ වැඩක් නෑ. හැබැයි උඹලා පැරදුණොත්, මට ඒකට හේතු වැඩකුත් නෑ' කියලා. ඇත්තටම අපි දවස ගාණේ පොර බදින මේ සිස්ටම් එකටත් ජීවිත යුද්ධෙටත් මේක අදාලයි. සිස්ටම් එකට වැදගත් වෙන්නේ අපි ඒ ඒ මොහොතේ දිනනවද පරදිනවද කියන අවසාන උත්තරේ විතරයි.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

No comments: