Friday, March 31, 2017

පක්ෂයේ තරුණ පරපුරට දේශපාලනය ඉගැන්වීමට තීන්දු කිරීම; "පමා වී හෝ දේශපාලන වසන්තයක් උදාවෙතැයි අපේක්ෂා තබා ගත හැක"

පක්ෂයේ තරුණ පරපුරට දේශපාලනය ඉගැන්වීමට තීන්දු කිරීම;
"පමා වී හෝ දේශපාලන වසන්තයක් උදාවෙතැයි අපේක්ෂා තබා ගත හැක"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන අධ්‍යාපන පීඨයක් හෙවත් පොලිටිකල් ඇකඩමියක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. කිසි තර්කයකින් තොරවම එය ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. පමා වී හෝ රටට දේශපාලන වසන්තයක් උදා වෙතැයි යාන්තමින් හෝ අපේක්ෂා තබා ගත හැකි තීන්දුවකි.

මෙවැනි සංකල්ප යහපාලන මූලධර්මයන් සාක්ෂාත් කර ගැනීමේ දී අත්‍යාවශ්‍ය සාධක වේ. යහපාලනය පිළිබද මූලික ඉගැන්වීමේ දී හමුවන සාධාරණ මැතිවරණ, ජනතා නියෝජනය හා පාලන සහභාගීත්වය යන අංගයන් සැල්කීමේ දී දේශපාලනය ඇකඩමික පසුබිමකින් ඉගෙන ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. දේශපාලනික අවබෝධයක් හා ශික්ෂණයක් නොමැති පිරිසකට නායකත්වය දෙමින් අනෙකාගේ නියෝජිතයෝ විය නොහැක. එසේම, සෙසු බහුතරයක් වෙනුවෙන් තනිව සහභාගී විය නොහැක. එපමණක් නොව නීතියේ පාලනය, ප්‍රතිචාර දැක්වීම, ආචාරශීලී පැවැත්ම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව, විවෘත හා විනිවිදභාවය වැනි ගැඹුරු යහපාලන සංකල්පයන් ක්‍රියාත්මක කිරීම ඔ්නෑම ගොනෙකුට කළ හැකි ඒවා නොවේ. අවම වශයෙන් ඒ ඒ මූලධර්මයන් මගින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි පවා නොදැන කෙසේ නම් යහපාලනය ක්‍රියාක්මක කරන්නද. එපමණක් නොව වෘත්තීයභාවය, නිර්මාණශලීභාවය, දිගු කාලීනබව හා ප්‍රතිපත්ති වල තිරසාර බව, විධිමත් මුල්‍ය හා රාජ්‍ය කළමණාකාරණය වැනි දේ යහපාලනයේ කේන්ද්‍රීය හරයන් වනවා සේම ඒවා ස්වයං ඥාණයෙන් පහළ නොවන පුළුල්ව උගත යුතු දේය. දේශපාලන විද්‍යාවට හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් විෂයකට යාන්තමින් අත ගා තිබුණ ද එවැන්නක් පාලනයේ දී භාවිත වන ආකාරය සම්බන්ධයෙන් ඇගඩමික පසුබිමකින් හැදෑරීම උපරිම ඵල නෙළීම කෙරෙහි ඇති කරන්නේ ඉහළ දායකත්වයකි. ඒවා නිසි ලෙස ඉගෙනගත් පසු අත්දැක අවබෝධ කරගැනීමෙන් පසු ජාත්‍යන්තර කුමන්ත්‍රණ, පාවාදීම්, රට විකි”ම වගේ ජනප්‍රිය සටන්පාඨ වලින් එහා ගොස් විද්‍යානුකූල සංවාදයකට මුල පිරිය හැකි වනු ඇත.

එසේ වන්නේ ඇයි...

ගෙවුණු දශක ගණනාව පුරාම රට පාලනය කළ පාලකයින් විසින් විවිධ සාධනීය හා නිෂේධනීය දේ රටට දායාද කළ බව සැබෑවකි. සර්ව සාධනීය හෝ සර්ව නිෂේධනීය පාලකයෝ හෝ නායකයෝ කොහේවත් පහළ වී නැත. පහළ වන්නේ ද නැත. අසංස්කෘතික දේශපාලන සංස්කෘතිය ද නායකයෝ හා පාලකයෝ විසින් එසේ උරුම කර දුන් නිෂේධනීය ජාතික උරුමයකි. ජාතික උරුමයකැයි කියා සිටින්නේ, ඔවුනොවුන්ගේ අනුප්‍රාප්තිකයෝ ද පූර්වගාමීන් මෙන්ම එම ඍණාත්මක ලක්ෂණයක් කර පින්නාගෙන යුග යුග තරණය කිරීම විනා කිසිවෙක් එය උරෙන් බිම තබා පාගා සුණු විසුණු කොට සංස්කෘතික හා විනයවත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අඩිතාලමක් දැමීමට ද තිරසාර වැඩසටහනක් වෙනුවෙන් ද පියවර නොගත් නිසා ය.

කෙනෙකුට පොලිටිකල් ඇකඩමියක් හරහා ඉගැන්වීමට දේශපාලනයක් නැතැයි සිතෙන්නට පිළිවන. තාත්තාගෙන් පුතාටම ස්වාමියාගෙන් බිරිදට ද මවගෙන් දියණියට ද මාමාගෙන් බෑණාට ද සොර සැමියාගෙන් සොර අඹුවට ද වශයෙන් පඹ ගාලක පැටලී නමුත් පරවේණි හෝ පොල්මක්කාර උරුමයක් ලෙස පවතින දේශපාලනයේ ඉගෙන ගැනීමට ඇත්තේ කුමක්දැයි සිතෙන්නට පිළිවන. ප්‍රතිපාදන වලින් ප්ලාස්ටික් පුටු ටිකක් ඛෙදා- ටකරන් ඛෙදා බහුකාර්ය ගොඩනැගිල්ලක් සාදා කරනු ලබන දේශපාලනයේ ඉගෙන ගැනීමට ඇත්තේ කුමක්දැයි සිතෙන්නට පිළිවන.

පහළ මෙන්ම ඉහළ ද බොහෝ දේශපාලනඥයෝ රටේ හතර මායිම දන්නේ නැත. ව්‍යවස්ථාවක් නීතියක් රීතියක් රෙගුලාසියක් ක්‍රමවේදයක් දන්නේ නැත. සිතා සිටින්නේ මැති ඇමතිවරු වූ පමණින් සියල්ල කළ හැකි බවය. දේශපාලන දර්ශනයක්, ආර්ථික දර්ශනයක් හෝ වෙනත් දේ ගැන තැකීමක් ඇත්තේ ම නැති තරම්ය.

දේශපාලනය ඉගැන්විය යුත්තේ එනයිනි. එසේම, ජනතාවක් තබා හරක් පට්ටියක් හෝ පාලනය කිරීමට මැදිහත් වන්නෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ පිළිබද න්‍යායික හා ප්‍රායෝගික පරිචයක් ලබා ගත යුතුය. ඇතැම් අයගේ විශ්වාසයේ හැටියට දේශීය හෝ විදේශීය උපාධියක්, පාඨමාලාවකින් ලබා ගත් ඩිප්ලෝමාවක් වැනි එකක් ඇති නම් එතැනින් එහා ඉගෙන ගන්නට දෙයක් නැත. තමන් සියල්ල දන්නේය. ඔවුන් පමණක් නොව, සල්ලි තියනවා නම් බලය තියනවානම් ඉගෙන ගැනීමට දෙයක් නැතැයි සිතා සිටිති. එක් පැත්තකින් කල්පනා කරන විට ඔවුන් දන්නා ඔවුන් හුරු පුරුදු වූ දේශපාලනය එයයි.
අළුයම අවදි වී මෙම සංස්කෘතිය වෙනස් කළ යුතුයැයි කල්පනා කර සවස් වන විට මුළු ක්‍රමය ම පරිවර්තනය කරමින් ධවල වර්ණ යුගයක් උදා කළ නොහැක. එය දිගුකාලීන හා සූක්ෂම වැඩපිළිවලකි. ඉවසීමෙන් යුතුව කළ යුත්තකි.

අප කොතැනද

ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ පාලකයින් හා නායකයින් වීමට පෝළිමේ සිටින්නන්ට අවශ්‍ය දැනුම, අවබෝධය, අත්දැකීම් හා පරිචය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන්නේ නව යොවුන් වියේ පටන් වීම විශේෂත්වයකි. ඇදුම් පැළදුම ගමන බිමන කතා බහ සිට ව්‍යවස්ථා සම්පාදනය, ජාත්‍යන්තර වෙළද කටයුතු, මුල්‍ය හා ආරක්ෂක වැනි සෑම විෂයක්ම කෙරෙහි තම අනාගත නායකයින්ට අවබෝධය ලබා දෙන්නේ මේ ඇකඩමි හරහාය. ඔවුන්ට දේශභ්‍යන්තරිකව මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද ඒ අවබෝධය ලබා දීමට ඔවුහු පසුබට නොවෙති. ඒ වෙනුවෙන් විශාල ප්‍රමාණයෙන් මුදල් පවා වෙන් කරනුයේ එය දැවැන්ත ආයෝජනයක් වන හෙයිනි. අප දශක ගණනක් පුරා සිදු නොකළේද එම ආයෝජනයමය. අප නොසිතුවේද ඒ ගැනමය. රටක් ලෙස කළ යුතු මෙවැනි කටයුත්තකට තමන්ගේ පක්ෂයෙන් හෝ ආරම්භයක් ලබා ගැනීම ජනාධිපතිවරයා වෙත යළිත් ප්‍රශංසාව පුද කළ යුතු කාර්යයකි.

2012 වසරේ දී ඉන්දියානුවකු වන වින්සන් පලතින්ගල්ගේ මූලිකත්වයෙන් එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පළමු දේශපාලන ඇකඩමිය ආරම්භ කළේ තම රටට දේශපාලන නායකයින් නිපදවීමේ අභිලාෂය පෙරදැරි කර ගනිමිනි. දේශපාලනකළමණාකරණය, නීති හා ව්‍යවස්ථා කටයුතු , ක්‍රමෝපාය සංවර්ධනය, උපක්‍රමික මහජන සබදතා සංවර්ධනය සහ ගැටුම් කළමණාකරණය වැනි විෂයන් පිළිබද අදටත් එහි ඉගැන්වීම් සිදු කෙරේ. ඒ මතු දිනක දූෂිත ඉන්දියානු දේශපාලනය වෙනුවට පරිණත නායකයින් ජනිත කරවාගැනීමේ අධිශ්ඨානයෙනි. ඉන්දියාව සිය දේශපාලන ආර්ථික විද්‍යාලය පිහිටවනු ලැබූයේ 1970 තරම් ඈත අතීතයේ දී ය. ඔවුහු 2006 දී දිල්ලියේ පිහිටි දේශපාලන නායකත්ව ආයතනය ආරම්භ කළේය. මේ හැරුණු විට ජාතික හා ප්‍රාන්ත මට්ටමින් පිහිටුවා ඇති මෙම වර්ගයේ ඇකඩමි හා උසස් අධ්‍යාපන ආයතන සිය ගණනකි.

නමුත්, ඉන්දියාවට මාස කිහිපයකට පමණක් වයසින් බාල ස්වදේශීය දේශපාලනයකට හිමිකම් කියන අප අද වන විට මේ අංශයෙන් ඔවුන්ට වඩා සිටින්නේ ගව් ගණනක් පසුපසිනි.

ජනාධිපතිවරයාගේ පොලිටිකල් ඇකඩමි සංකල්පය වඩා වැදගත් වන්නේ ඒ නිසාය. සමස්තය දේශපාලනීකරණය වූ පොළවක සමස්තයේ ගමන දේශපාලනය මත තීරණය වන පොළවක, මේ සා විශාල පරිවර්තනයක් සිදු විය යුතු නම් එය ආරම්භ විය යුත්තේ ද දේශපාලන පරිවර්තනයක් ලෙසිනි. එම පරිවර්තනය සදහා ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ද දේශපාලන ක්ෂේත්‍රමය. එනම් ප්‍රාදේශීය සභාව, පළාත් සභාව මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම අංශයකම මේ විනය යළි ස්ථාපිත කළ යුතුය. එය හුදු පුද්ගලබද්ධ ගුණාංගයක් පමණක් නොව, සමූහ ආචාරශීලීත්වයක් ලෙස ප්‍රගුණ කළ යුතුය.

මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස අපේ දරු මුණුපුරන්ට හෝ ගණිකාවන් මැඩම්ලා හා ඩීලර්ලා, කුඩු කසිප්පු ගංජා මුදලාලිලා, ස්ත්‍රී දූෂකයින් මංකොල්ලකාරයින් පාතාලයින් හා හෙංචයියන් වෙනුවට රාජතාන්ත්‍රිකයින් හා නායකයින් විසින් ඉහළ සිට පහළට පාලනය කරන රටක ජීවත් වීමේ වාසනාව උදා වනු ඇත. එසේම, දියාරු වී ගිය හරසුන් වාචාල හිස්බස් ඇති නූගත් සංවාද වෙනුවට හරවත් වැදගත් සංවාද දැක ගැනීමට හැකි වනු ඇත. පාර්ලිමේන්තුවේ දී අම්මා මුත්තා අමතා අසැභි වචන කියා සෙංකෝලයරැගෙන දිවීම වෙනුවට දියුණු දේශපාලන උපක්‍රම හා ප්‍රවේශයන් තුළ ප්‍රශ්න විසදනු දැක ගත හැකි වනු ඇත.

අණපනත්, නීති, ව්‍යවස්ථා, පරමාධිපත්‍ය, ස්වාධිපත්‍ය වැනි වචන මහප්‍රාණ බර කර මිමිණුව ද නීති සම්පාදකයින් ලෙස ඔවුන්ට ඇත්ත වශයෙන්ම ඒ විෂයන් පිළිබද ඇත්තේ අඩු අවබෝධයක් බව ප්‍රාදේශීය සභාවේ දී පළාත් සභාවේ දී පමණක් නොව පාර්ලිමේන්තුවේ දී පවා දක්නට හැක. එවැනි විෂයන් ගැන බොහෝ අය ඉගෙන ගන්නේ පාර්ලිමේන්තුවේ ද ටික කාලයක් සිටි පසුවය. ලේකම්වරු ලියා දෙන කතා කියවීම තුළින් පමණක් ඥාණ පාලකයක් විය නොහැක. ඇතැම් දේශපාලනඥයින් පවා අධිකරණය තීන්දුවක් දුන් පසු උසාවි වලට ගල් ගසන්නේ, විනිසුරුවරුන්ට බැණ වදින්නේ, චූටි නෝනා ඛේබි නෝනා කියා අගවිනිසුරුවරුන්ට පවා කොලොප්පම් කරන්නේ මේ නූගත් බවේ අතුරු මුහුණතක් ලෙසය. මේවා වෙනස් කළ යුතුය. ඒ ඒ වේලාවේ ඒ ඒ ගැටලුවලට විසදුම් දෙනාව් මෙන්ම ඒවා වෙනුවෙන් තිරසාර විසදුම් දිය යුතුය.

පෙර කී පරිදි මෙට අද අරඹා හෙට ඵල නෙළිය හැකි දෙයක් නොවේ. තවත් දශක කීපයක් ගත වේවි. සැබෑවටම මේ වටිනාකම් ඵල දරණ විට ඔබත් මමත් මියගොස් සිටිනු ඇත. නමුත්, අපේ දරුමුණුපුරන්ට හෝ මේ වසන්තයේ පහස නෙලාගනු හැකි වනු ඇත.

එහෙයින්, ජනාධිපතිවරයා තම මහගෙදරින් ආරම්භ කිරීමට සූදානම් වන මේ දේශපාලන වෙනසට සුභ පැතිය යුතුය. එසේම, මෙය තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් සිදු වන දිගු පිම්මක් වනු ඇත. යහපාලනය යහපාලනය කියමින් හන්දි ගාණේ මොර දීම වෙනුවට යහපාලනය තහවුරු කිරීමට ප්‍රායෝගික යාන්ත්‍රණයක් දියත් කිරීම වඩාත් ප්‍රශංසනීය වේ. ඩාලි පාරෙන් ඇරඹෙන මේ දේශපාලනය සංස්කෘතිකව හීලෑ කිරීමේ හා විනයවත් කිරීමේ වැඩපිළිවල සිරිකොතට ද පැලවත්තේ ජවිපේ කාර්යාලයට ද එතැන් පටන් ගම් දනව් වල පිහිටවෙන සෑම සාමූහික සංවිධානගතවීමකටම පූර්වාදර්ශයක් වේවා.

Bharatha Prabhashana Thennakoon
#lka #BTColumn #Maithri #Youth

No comments: