Tuesday, March 21, 2017

පොර ටෝක් දෙන අය - කොර වෙලා චොර වෙන හැටි...


මිනිහෙක් කොච්චර පෞරුෂවත්ද කියලා දැනගන්න ඕනේ නම්, ඒ මිනිහත් එක්ක පොඩි සංවාදෙකට පැටලෙන්න ඕනේ. ඕනම පීඩාකාරී සංවාද නිමේෂයක 'මේන් ලයින්' එකේ ස්ථාවරව ඉන්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි.

මේක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි සුපුරුදු බුකිය. බුකියේ දාන ස්ටේටස් වලට පොස්ට්ස් වලට අදාලව කතාව ආරම්භ වෙන්නේ මාරම දාර්ශනික ප්‍රවේශයකින්. ඇත්තටම ඒවායේ මුල්භාගය අන්තර්ගතයන්ගෙන් බහුලයි. ඒත් පහු පහු වෙනකොට..

ඇයි මෙහෙම වෙන්නේ

සංවාදෙක හරි කතාවක හරි හරයාත්මක බව රඳා පවතින්නේ තමන්ට වඩාත් අවාසි සහගත තැනට කතාව එනකල් විතරයි ද? ඊට පස්සේ මොකද වෙන්නේ. ඔව්, ඊට පස්සේ රටේ නැති මඩ- අවලාද- අසභ්‍ය වචන- පරුෂ වචන- පවුල් ප්‍රශ්න- කයි කතන්දර ගොඩක් අනිත් මිනිහට විරුද්ධව මුදා හරිනවා මිසක් අර සංවාදේ 'ලයින්' එකේ යන්නේ නෑ.

මෙහෙම වෙන එක හේතුවක් තමයි අනිත් කෙනාගේ මතය විඳ දරා ගන්න තියන නොහැකියාව. 'අපි නම් පොයින්ට් එකට කතා කරන්නේ' කියලා ඉඳලා හිටලා පොර ටෝක් එකක් මුදා හැරියට, තමන්ව අභිබවා යන හෝ තමන්ව පරදවන අදහසක් කෙනෙක් කීවොත් ඒක දරා ගන්න අමාරුයි.
දැන් ගන්නකෝ උදාහරණයක් හැටියට විල්පත්තු සංවාදේ. කිසාගෝතමියට නො මළ ගේවලින් අබ ගෝණි පිටින් ලැබුණත්, කුණුහරපයක්- මඩක් පල නොවුණු විල්පත්තු සංවාදයක් මේ බුකියේ කොයි කොණකවත් නෑ. ඒවා එහෙම කියලා තියෙන්නේ- කුඩ්ඩෝ, කසිප්පු මුදලාලිලා, බස් කොන්දොස්තරලා, ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා වගේ අඩු අධ්‍යාපයක් තියන මිනිස්සු නෙවෙයි. මාධ්‍යවේදියෝ, දොස්තරලා, ඉංජිනේරුවෝ, ආචාර්යවරු, දේශප්‍රේමීන්, විරුවන් වගේ අය.

මේ සංවාද වල තව සෙට් එකක් ඉන්නවා, සංවාද අල කරන. කතාව පැත්තකින් යනකොට මැදින් ඇවිත් එක එක්කෙනා එක්ක තියන ඇරියස් කවර් කර ගන්න සෙට්. තව අය පුද්ගලික කෝන්තර පිරිමහා ගන්න. දැන් හිතන්නකෝ පෝර්ට් සිටි වගේ කතාවක කවියෙක් තමන්ගේ අදහස් දක්වනවා කියලා. එතකොට අර මැදින් එන කෙනෙක් කියනවා, 'එලිවැට තියලා කවියක් ලියා ගන්න බැරි මහලොකු කවියා දන්න බම්බුව' වගේ ඒවා- 'පොතක් ලිව්වම උඹ හෙන කෙරුමා කියලද හිතාගෙන ඉන්නේ' වගේ ඒවා. ඊට පස්සේ පෝර්ට් සිටි පැත්තක වේලෙනවා.

මේ වෙනකොට පොදු සංවාද, සාකච්ඡා, හමු වගේ ඒවා ඉතා සීඝ්‍රයෙන් වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙලා. පුද්ගලිකව තමන්ට අවශ්‍ය දැනුම පුද්ගලිකවම එකතු කරගන්න උත්සාහ කරනවා. දෙයක් අහන්න බලන්න ඕනේ නම් යූටියුබ් හරි ෆේස්බුක් හරි ගිහිං එක්කෝ බලනවා. එහෙම නැත්තං කියවනවා. ඒක ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ බණේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති දේශනය දක්වාම වලංගුයි. එතකොට දේවල් දැන ගැනීම සඳහා සාමූහික වීම කියන එක නිශ්ක්‍රීය වෙමින් යන්නේ.

ඉතිං..

භෞතික ලෝකයෙන් මේ වගේ දේවල් චුත වෙමින් තියනකොට ඒවාගේ පරාභවය පිහිටන්නේ වර්චුවල් ලෝකේ. ඒ කියන්නේ සෝ්්ෂල් මීඩියා වගේ තැන්වල. ඉතිං ඒ නිසා මේ වේදිකාව පිරිපහදු කර ගන්න එක ගොඩක් වැදගත් වැඩක්. එහෙම නැති වුණොත් සාමූහික ජීවිතයේ දේවල් හුවමාරු කර ගැනීම, සංස්කෘතික ජීවිතයක වටිනාකම් වර්ධනය වීම, දැනුම අත්දැකීම් වගේ දේවල් පෝෂණය වීම ඉතාම ඛේදනීය පැත්තකට හේත්තු වෙනවා.

ඒක නිසා මේ සංවාද වේදිකාව කුණුහරප වලින්, පුද්ගලික එරියස් වලින්, කයි කතන්දර වලින් සහ අසහනකාරයන්ගෙන් බේරාගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි- දේශපාලනය ගැනත් සාහිත්‍ය ගැනත් විද්‍යාව ගැනත් වෙන මොනවා හරි එකක් ගැන මේ වේදිකාවල කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තං හැමදාම බුකී සංවාද අවසන් වෙන්නේ නෙළුම් කුළුණෙන් පටන් අරං ගණිකා මඩමකින්. එහෙම නැත්තං සයිටම් එකෙන් පටන්අරන් කොණ්ඩම් එකකින්. ප්‍රතිපත්ති දේශපාලනය ගැන කතාවකින් පටන් අරන් 'උඹ උඹලැ අම්මගේ දෙවෙනි කසාදේ ළමයෙක්' වගේ අතිශය සංවේදී හා අසම්බන්ධිත කාරණා වලින්.

පළමුව අපි අනෙකාට සවන් දෙමු. ඊට පස්සේ කාරණාවට කාරණාව හප්පමු. ලයින් එකේ ඉඳං වාද කරමු. එහෙම නොවුණොත්, අවසානෙදි සමාජ ජාලා කියන්නේ ලයින් පේළියක්, වත්තක්, මුඩුක්කුවක් වගේ එකක් බවට පත් වේවි.

වෝල්ටයර් (ඒයා දාර්ශනිකයෙක්) කියලා තියනවා, 'ඔබ කියා සිටින දේ සම්බන්ධයෙන් මම කෙතරම් එකඟ නොවූවත් ඔබට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මම දිවිහිමියෙන් පෙනී සිටිනවා' කියලා. නිකමට කොහේ හරි මේක ලියලා තියාගන්න...

~ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

No comments: