Tuesday, March 14, 2017

අයියෝ අපි





අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක්, ඓතිහාසික සංස්කෘතියක්, අපිරිමිත හර පද්ධතියක් වගේ එකී නොකී කප්පරක් ආඩම්බරකාර සාධක කර ගහගෙන ඉන්න අපි, රටක් හැටියට ඔය සෙල්ලිපි, ගල්කණු, ලෙන් වගේ ඉතිහාස කාරණා ටික පැත්තකින් තිබ්බහම අර කලින් කියපු දේවල් සියල්ල හිමි අනෙක් රටවල් එක්ක සංසන්දනය කරනකොට අද වෙනකොට අත්කරගෙන තියන සාපේක්ෂ වටිනාකම් මොනවද.

අපි නක්කලේට වගේ කියන කතාවක් තියනවනේ, 'ඇමරිකාවට තියෙන්නේ අවුරුදු දෙසීයකට ටිකක් වැඩි ඉතිහාසයක් විතරයි' කියලා. ඒ විරක් නෙවෙයි, 'අපි උඩින් ගියේ සුද්දා වැද්දා කාලේ' කියලා. 'ඉන්දියන්කාරයෝ තාම වැසිකිලි යන්නේ මහපාර අයිනේ' කියලා. අතීත කාරණා හැටියට ගත්තහම ඒවා පට්ට ඇත්ත වෙන්න පුලූවන්. ඒත්, ඒ වගේම ඇත්ත ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. මොකද සුද්දා අනුන්ගේ රටවල් අල්ලනකොට අපිට බැරි වුණානේ අපේ රටවත් බේරා ගන්න. අපේ අතීත සිද්ධීවල වැඩි හරියක් තියෙන්නේ, මේ දූපත ඇතුලෙම අපි අපිම දෙකට-තුනට ඛෙදිලා කුලල් කා ගත්ත අවස්ථාවන්. අපි ඒවා සමරනවා සහ ඒ ගැන උදම් අනනවාට වඩා ඉස්සරහට ගිහිං තියනවා නම්- ඒ ටික දුරයි.

දැන් ඉතිං දේශප්‍රේමී සළුව කරෙන් අතට අරගන දෙස් දෙවොල් තියන්න එපා අභිමානය අවතක්සේරු කරනවා කියලා. හැබැයි, අපි අපි ගැන හරිහමං තක්සේරුවකට එන්න ඕනේ. අපිට ඇත්තටම අපි ගැන හරි තක්සේරුවක් නැතුව ඉස්සරහට යෑමක් නෑ. ඉස්සරහට යාමක් කෙසේ වෙතත් ඉන්න තැනවත් ඉන්න අමාරුයි.

අපි මේක මෙහෙම ගලපාගමු.

අපිට ඉන්දියාව කීවහම මතක් වෙන්නේ මොනවද. හරියට වැසිකිලියක් නැති පවුල් කෝටි ගාණක් ඉන්න රටක්. නොකා නොබී හාමතේ ඉන්න මිනිස්සු ගණන මිලියන ගාණක්. නිවාස, ඇඳුම් වගේ අත්‍යාවශ්‍ය දේවල් නැති මිනිස්සු ඉන්නේ කෝටි ප්‍රකෝටි ගාණට. ඒත් දැන් බලන්න- මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කා කවුද? ඉන්දියන්කායෙක්. එතකොට ගූගල්? ඒ්ත් ඉන්දියන්කාරයෙක්. මාස්ටර්කාඩ්, ඇඩෝබී, නොකියා, ක්වෝරා, සිටිබෑන්ක්.. මේ ඔක්කෝගෙම මහපුටු උසුලන්නේ ඉන්දියන්කාරයෝ.

බලන්නකෝ ඉතිං. අපි දන්න සහ හිතං ඉන්න විදිහෙයි ඉන්දියාව ගැන දේවල් හොයපුවහම හම්ඛෙන දේවලූයි පොඩ්ඩක් වෙනස්. හාත්පසින්ම. ලෝකේ තියන දැවැන්තම වාහන ඇතුළු නිෂ්පාදන සමාගම් ඉන්දියාවේ තියනවා. ඉන්දියාව දැන් දැන් උත්සාහ කරන්නේ හඳට යන්න. ලෝකේ ඕනම තැනකට විනාඩි ගාණකින් පහර දෙන්න පුළුවන් මිසයිල් හදන්න. මුහුද යටට කිමිදිලා කෙළවර හොයන්න. ලෝකේ තොරතුරු තාක්ෂණ ආධිපත්‍යය අත්පත් කරගන්න. ඒ විතරක් නෙවෙයි- කලාපයේ සිනමාව, කලාව, සාහිත්‍ය වගේ දේවල් වල පළමු තැන අත්පත් කර ගන්න. එතකොට අපි.. ඔව්. පාර අයිනෙ වැසිකිලි යන ඉන්දියන්කාරයින්ට කොලොප්පං කර කර ඉන්නවා. ඉන්දියන් ටීම් එක පැරදියං පැරදියං කියලා පත පතා ඉන්නවා.

අනෙක් අතට-අපි තාම උත්සාහ කරන්නේ ගාන්ධිලා, නේරුලා, පටේල්ලා ෆලෝ කරන්න. (හැබැයි අපිට අමතකයි අපි ධර්මපාල තුමාලා හැදුවේ ගාන්ධිලාට ගොඩක් කාලෙකට කළිං කියලා.) අපි එහෙම ට්‍රයි කරනකොට 21 වෙනි සියවසේ ඉන්දියන්කාරයෝ ට්‍රයි කරන්නේ සත්‍යා නඩෙල්ලා වගේ වෙන්න. අෙජ් බන්ගා, සුන්දර් පිචායි, වික්‍රම් පණ්ඩිත් වගේ වෙන්න.

උත්සාහය විතරක් නෙවෙයි, ඔවුන්ගේ භාවිතාවත් එහෙමයි. අමතක කරන්න එපා ඉන්දියාව තමන්ගේ න්‍යශ්ඨික තාක්ෂණයේ පියා තමන්ගේ රටේ ජනාධිපතිකමට පත් කරගන්නේ මීට දශකයයකටත් එහා දවසකදි. එතකොට අපි..? අපි තාම හොයන්නේ ජාතික ඇඳුම අඳින කෙනෙක්. රැවුල තියන කෙනෙක්. සරල කෙනෙක්. ළමයි ඉන්න කෙනෙක්. වාසගම හොඳ කෙනෙක්. ඉංග්‍රීසි පුළුවන් කෙනෙක්.

අනිත් පැත්තෙන් ගත්තහම ඉන්දියාව කියන්නෛ් අපිටත් වඩා එහාට ඔය අභිමානය කියන එක ඔප්පු කරගන්න පුළුවන් රටක්. අපේ රාජාවලිය පටන් ගන්නේ විජයගෙන් වුණත් අපි දන්න බිම්බිසාරලා, සුද්දෝදනලා රජ වෙන්නේ ඊට ගොඩක් එහා කාලෙකදි. ඉන්දියාව ඒ අභිමානය සහ ඉතිහාසය කියන පංගුව තියා ගත්තේ ඉස්සරහට යන්න ගැම්මක් ගන්න මිසක් එක තැන පල් වෙන්න- අලස බව වසා ගන්න අවශ්‍ය ආරක්ෂාව හදාගන්න උපක්‍රමයක් හැටියට නෙවෙයි.
'ඉතිං..' -- 'නෑ නිකං හිතලා බලන්න.'

By Bharatha Prabhashana Thennakoon
#lka #BTColumn
#young #mawbima #article

No comments: