Friday, April 11, 2014

බොදු බල සේනාව පුරවන්නේ පොදු මිනිසාගේ රික්තය යි...


බොදු බල සේනා සංවිධානය (බොබසේ) විසින් කරමින් ඉන්නා දේ පිළිබදව ඇත්තේ ඒකමතික නොවූ අදහසකි. ඇතැමුන්ට අනුව, බොබසේ කරනා සියලු දේ සාධාරණ ය. තවත් අයෙකුට බොබසේ පදනමේ සිට සියල්ල ආසාධාරණ හා නොගැලපෙන දේවල් ය. තවත් අයෙක් හරි ද නොවන වැරදි ද නොවන ඒ ඒ මොහොතේ වෙනස් වන භාහිරට ස්වාධීන බවක් පෙන්වන ඇත්ත වශනේ ම නපුංසක වන අදහසක සිටියි.


අප විසින් නොකළ දෙයක් ඇත. එනම් බොබසේ ව්‍යාපෘතිය හා පරිසරය පිළිබදව නිසි කියවීමක් සිදු නොකිරීම ය. එවැන්නක් සිදු කිරීමට මා විසින් මා පොළඹවනු ලැබ ඇත. එහිදී ඥානසාර හිමිගේ හෝ වෙනත් පුද්ගලයකුගේ හැසිරීම් ආදිය පිළිබද නොව, සංකල්පීය පදනම පිළිබද අදහස කියවීමට යත්න දරමි.

ශ්‍රි ලාංකික ළදරුවාට කෑම කවන්නේ ද කිරි පොවන්නේ ද අනෙකා පිළිබද ඇති කරනු ලැබූ බියෙනි. එනම්, නොදකින බිල්ලකු හෝ දකින කපුටකු පෙන්වීමෙන් ළදරුවා කෑමට හා කිරට ආශක්ත කර ගැනීමට මෙම සංස්කෘතික සමාජය හුරු වී සිටිති. එනම්, අප ළදරුවන් ලෙස ජීවිතය අරඹන්නේ ම අනෙකා හෙවත් බිල්ලකු සමග ය. එසේ ම, අල්ලපු ගෙදර කොල්ලාට වඩා ලකුණු ගැනීමට ද ඌට වඩා හොද පාසලකට යාමට ශිෂ්‍යත්වය සමත් වීමට ද අප පොළඹවනු ලබයි. එය පැත්තකින් ගත් කළ තරගයක් වෙනුවෙන් ලබා දෙන උත්තේජනයක් මෙන් ම පොදු සතුරකු නිර්මාණය කර දී, පොදු සතුරා පරාජය කිරීමට ආශා කිරීමකි.

ජාතියක් ලෙස ගත් කල, අප ඓතිහාසිකව ම පොදු සතුරකු සමග ජීවත් වී ඇත. කාලිංග මාඝ, චෝල, එළාර, පෘථිගීසි, ලංදේසි, ඉංග්‍රීසි පාලනයන් හා අභියෝගයන් තුළ අප පොදු සතුරා සමග හැපෙමින් ජීවත් වීමට යොමු කරයි. වසර දහස් ගණනක් ජාතියක් ලෙස හුරු කරනු ලැබූ මෙම පොදු සතුරා පිළිබද සංස්කෘතික අදහස මෑත ඉතිහාසයේ හොදින් ම රෝපණය වන්නේ කොටියා සම්බන්ධයෙනි. කොටියා අපේ පොදු සතුරා විය. අප කොටියා ට එරෙහි වෙමින් ද කොටියා අභිබවීම හෝ පරාජය කිරීම පිළිබද අදහසකින් ද ජීවත් වුණෙමු. දැන් වන විට අපට පොදු සතුරා වූ කොටියා අහිමි වී ඇත.

කොටියාගේ වියෝවෙන් පසු ජාතියක් ලෙස මානසික වශයෙන් අප හුදෙකළා වූයෙමු. එනම්. වසර සිය ගණනක් පරිස්සම් කර ගෙන ආ පොදු සතුරා නැමැත්තාගේ තත්කාලීන නියෝජිතයා අහිමි වීම ය. මෙම අහිමි වීමත් සමග අපේ හිත් තුළ විශාල හිඩැසක් නිර්මාණය විය. මෙම හිඩැස පැත්තකින් බැලූ විට සහනයක් වුව ද තවත් පැත්තකින් බැලූ විට දැඩි අසහනයට හේතු වන්නකි. සටන් කරුවකු නොමැති බිමක වාසය කර පුරුද්දක් නැති අපට, දැන් මහා පාළුවක් ද කිතියක් ද දැනී ඇත.

තවත් පැත්තකින් කියවා ගන්නා විට, මෙලෙස පොදු සමාජයේ පොදු සතුරා අහිමි වීම හරහා වැඩිම තර්ජනය එල්ල වන්නේ සංස්කෘතිකව හුරු කරනු ලැබූ පුද්ගල ඔළු වලට නොව, පොදු සතුරකු සිටිනා විට පාලනයන් ගෙන ගිය පාලකයාට ය. පොදු සතුරා අහිමි වූ විට ද මිනිසුන් පොදු සතුරකු සොයන විට ද කොටියා චෝලයා අධිරාජ්‍යයා වැනි පොදු සතුරන් හමු නොවන විට ද ඇත්ත වශයෙන් ම සමාජයට සතුරු කම් කරන මිත්‍ර වේශ සතුරා ජනයාට පෙනෙන්නට පටන් ගනියි. එනම්, ආණ්ඩු හෙවත් පාලකයින් විසින් කරන දේ ය. වංචා දූෂණ අක්‍රමිකතා අසාධාරණයන් ආදිය පෙනේ. ඊට හේතු වන්නේ වෙනදාට බස් එකේ යන විට කොටියා ගැන සිතමින් ගිය පුරවැසියා, කොටියා අහිමි වුව ද සිතීම නවතා නැති නිසා ය. ඔවුන්ට කොටියා නොවන අනෙකෙකු විසින් කරන සතුරුකම් දක්නට ලැඛේ. එවිට, ජනයා ඒවාට විරුද්ධ වෙයි. එය පාලකයාගේ පැත්තෙන් ගත් කළ ඉතාම නරක තත්ත්වයකි. පොදු සතුරා අහිමි වුණු සංසිදුණු පරිසරයක් තුළ ජනතාවට පොදු සතුරා ලෙස ආන්ඩු පෙනීම නිසා ආන්ඩු වල නිරුවත හෙලි විය හැක.

එහෙයින්, ආණ්ඩු විසින් කළ යුතුව ඇත්තේ ද කරනු ලබන්නේ ද අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්නවා වෙනුවට, මෙතක් කල් ද පොදු සතුරා පිළිබද එදිරිවාදී අදහසක සිටි පුරවැසියාට ආණ්ඩුව පොදු සතුරා ලෙස පෙනෙන්නට පෙර, ඒ වෙනුවෙන් විකල්පයක් ලබා දීම ය.

කොටියා අහිමි වූ විට දැනෙන රික්තකය පිරවීම සදහා ආණ්ඩු යුහුසුළු වී ඇත. අනික නම්, අප ජාතියක් ලෙස පුරුදුව සිටින්නේ පොදු සතුරා ලගින්ම සිටින තත්ත්වයක දී ජීවත් වීමට ය. කොටියා නැසුණු පසු, බටහිර-ජිනීවා වැනි දේ පොදු සතුරන් ලෙස පෙන්වීමට විවිධ උත්සාහයන් දැරූව ද ඒවා අසාර්ථක විය. ඊට හේතු වූයේ, එසේ පෙන්වනු ලැබූ පොදු සතුරා ලගින් නොසිටීම නිසා ය. අනිත් කාරණය නම්, පොදු සතුරා නිරන්තරයෙන් සම්බන්ධ වූයේ ජාතිය, ආගම, කුලය වැනි අතිශය සංවේදී දේවල් සමගය. යටකී පශ්චාත් කොටි පොදු සතුරන් තුළින් එම අවශ්‍යතාව ද දක්නට නොතිබිණි. ඔවුන් කතා කලේ මානව හිමිකම්, යහපාලනය වැනි වැඩියේ නොතේරෙන දේවල් ය.

මේ සියලු දේ අස්සේ, ආන්ඩු විරෝධයක් නිර්මාණය වෙමින් තිබිණි. එහෙයින්, වහාම පොදු සතුරකු සොයා ගත යුතු ය. ඔහු, ලගින් ම සිටිය යුතු වනවා වගේ ම පොදු සතුරා සම්බන්ධ විෂයය රට ජාතිය ආගම වැනි සංවේදී සීමාවන් තුළ සිදුවන එකක් ද විය යුතු ය.

බොදු බල සේනා නම් සංවිධානය වෙනුවෙන් මුදල් යොදවමින් ආණ්ඩුව විසින් ම රැකවරණය ද ලබා දෙමින් ගමනක් ආම්භ කරන්නේ පොදු සතුරකු ඇති කිර දිය යුතුය යන කොන්දේසිය පිට ය. දෙමළ විරෝධය මීට පෙර පාවිච්චි වී ඇත. අධිරාජ්‍ය විරෝධය ද එසේ ම ය. එසේ නම්, ලගින් ම පිහිටි දේ අතරින් මෙතෙක් පාවිච්චි වී නැත්තේ මුස්ලිම් විරෝධය බව බොබසේ පූර්ව ශඛ්‍යතා අධ්‍යනයේ දී හදුනා ගත්තේ ය. ඉන් පසු, ඔවුන් මුසල්මානුවා පොදු සතුරා ලෙස සංස්කෘතික සමාජයට ගෙන යාමට කටයුතු කළේ ය. එම අදහස පෞද්ගලික මාධ්‍යය, රාජ්‍ය මාධ්‍යය හා වෙනත් සමාජ ජාලා හරහා සමාජගත කෙරිණි. එම අදහස නඩත්තු කිරීම ද ඔවුන් සිදු කරයි.

බොදු බල සේනාව කරමින් සිටින්නේ කොටියා අහිමි වීමෙන් අහිමි වූ, වසර සිය ගණනක් ඓතිහාසික ව පැවත ආ පොදු සතුරා සමග ජීවත් වීමේ ආතල් එක යළි ලබා දීමේ ව්‍යාපෘතිය යි. එය සාර්ථක ය.

ආණ්ඩුවකට පොදු සතුරකු අවශ්‍ය වන්නේ ඇයි. සතුරකු නැති වූ විට මිනිසුන්ගේ මනස සංසිදේ. එවැනි සංසිදුණු මනසක් ඇති විට, කලාව දේශපාලනය සංස්කෘතිය වැනි දේ පිළිබද හැදෑරීමට කාලය වෙන් කරයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජනයා දැනුම්වත් වීමයි. ජනයා දැනුම්වත් වීම යනු ආණ්ඩුවකට එරෙහිව ඇති විය හැකි විශාලත ම පාඩුවයි. දැනුවත් ජන සමාජයක් තුළ ආණ්ඩු වලට අවශ්‍ය ඔ්නෑම නැටුමක් නැටිය නොහැක. ජනයා ඒවා කෙරෙහි සංවේදී වී පසුව ආණ්ඩු විරෝධයක් ඇති විය හැක. එහෙයින්, ඔ්නෑම ඩෙගාවක් නටමින් රටක් පාලනය කළ හැක්කේ මෝඝ-අනුවණ ජන සමාජයක් තුළ පමණි. ජනයා අනුවණ කිරීමට නම් ජනයාගේ හැදෑරීමේ නිදහස අහිමි කළ යුතු ය. එම නිදහස අහිමි කිරීමට නම් ජනයාට සිතීමට හා ජීවත් වීමට වෙනත් දෙයක් දිය යුතු ය. පොදුවේ සියලුම පුරවැසියන්ට අදාලව පරාරෝපණය කළ හැක්කේ පොදු සතුරකු / බිල්ලකු පිළිබද අදහස පමණි. එය අතීතයෙන් ගත් පාඩම් අනුව ප්‍රත්‍යක්ෂ විසදුමකි. මෙලෙස ආන්ඩුවේ අනුග්‍රහයෙන් බොබසේ වැනි දේ නඩත්තු වන්නේ යටකී අරමුණට අවශ්‍ය පසුබිම සැකසීමට ය. එනම් ආණ්ඩුවේ කොන්තරාත්තුව ආණ්ඩුවේ ඇගේ ලේ නොගෑවී සිදු කර ගැනීමට ය.

ජාති ආගම් හෝ වෙනත් ප්‍රේමයක් යනු මවා පෑමක් පමණි. එමගින් පොදු සතුරා හා මා යන කොටස් දෙකට අමතර ව මා (පොදු සමාජය) තුළ ද කුඩා කණ්ඩායම් ඇති වෙයි. ඛෙදී ගිය මිනිසුන් ඇති බිමක කිසි විට ආණ්ඩුවට තර්ජනයක් නැත.

බොදු බල සේනාව පුරවන්නේ පොදු මිනිසාගේ රික්තය බව මා කියන්නේ ඒ නිසාය.

3 Click Here to Comment:

ට්‍රැ said...

ඔබේ කතාවේ ඇත්තක් තිබේ.ජීවිතයේ එකම අරමුණ සතුරා පරාජය කිරීමයි. සතුරකු නැති මේ ජීවිතය දැන් අයාලේ යයි. ට්‍රැක් එක ඇඳ නැති පිට්ටනිය පුරාම අපිට දුවන්නට සිදු වී ඇත. ඒ නිසා, සතුරකු නිර්මාණය කරගැනීම යුගයේ අවශ්‍යතාවකි.
(අපේ පොදු සතුරා කෙළෙස් බව හාමුදුරුවන්ට, නැ වැරදුනා, චීවරධාරීන්ට අමතකවී ඇත.)

Nuwan Vidarshana said...

kata thibuna paliyata moda katha nokiya indapan ban

මල්කොබා From පොල්වත්තෙ ගෙදර said...

රටේ පාලකයින්ට සිංහල ජාතිය ගැන අමතක වන විට මෙවන් හඩක් නැගීම අසාදාරන නැති බවයි මගේ හැගීම.රටට වෙන්න යන විපත් ගැන කියනවා මිසක් හාමුදුරුවන්ගේ වාසියට කිසි දෙයක් වෙන්නේ නැනේ මෙතන. තව ටික කාලයක් යද්දී මේ රට මුලිම් කොලනියක් වෙයි. එදාට නම් මිනිස්සුන්ට තේරෙයි. මුස්ලිම් මිනිස්සු හිටිය තිහාරියේ මේ වෙනකොට ඇහැට පෙනෙන පල්ලි ගණන 11 විතර කිලෝමීටර් 3-4 ක් ඇතුලත .අත්තනගලු ඔය නැත්නම් වාරණ රජමහ විහාරයත් පල්ලියක් වෙලා .ඔය වගේ තමයි අනිත් පැතිත්. නැගෙනහිර තනිකරම අරාබියක්.මේක සිංහල රට කියන නායකයෙක් බිහි වුන දාට ඔය සංවිදාන බිහිවෙන එක නවතියි.එතකන් මේවා තිබිය යුතුයි.