Sunday, May 12, 2013

ෆේස් බුක් වෙබ් අඩවිය වෙනුවෙන් ලියූ ස්ටේටස් කිහිපයක්

මහින්දට වඩා රනිල් කොච්චර හොදයි ද. නෑ රනිල්ට වඩා මහින්ද හොදයි. රනිල්ටයි මහින්දටයි දෙන්නටම වඩා සරත් හොදයි. නෑ. එහෙම වෙන්නෙ නෑ. සරත්ට වඩා මේ දෙන්නම හොදයි. වෙලාවකට මේ ඔක්කෝටම වඩා ප්‍රභාකරන් හිටියනම් හොදයි කියල හිතෙනව. හැබැයි, ප්‍රභාකරන් නැති වෙච්ච එක කොච්චර හොදයි ද. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැතුව ඉන්නව. හැබැයි පරමාධිපත්‍යය පාවිච්චි නොකළහම, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යනව. සමහර මිනිස්සු ඡන්දෙ දෙනව. පරමාධිපත්‍යයේ වටිනාකම නොදැන ඡන්දෙ පාවිච්චි කළාව, ප්‍රජාතන්ත්‍රවාදය නතර වෙන්නෙ අවීචි මහා නරකාදියෙ.

මැති-ඇමතිලා පඩි ගන්නව. මිනිස්සු බදු ගෙවනව. මිනිස්සු පඩි ගන්නව. මැති-ඇමතිලා ලක්සරි වාහන ගන්නව. සමහර අපරාධකාරයො හිරේ යනව. සමහර උන් නිදහස් වෙනව. එකම වරද කරපු සමහරු හිරේ. ඒත්, තවත් සමහරු විදේශ චාරිකා වල. හැම එකාම වර්ගය ආගම ජාතිය කුලය පංතිය වෙනුවෙන් කඩේ යනව. එහෙම නොකරන උන් පොන්නයො වෙනව. ලොක්කො සිංහලෙන් කැහැපොට ගහනව. හැබැයි ඉංග්‍රීසියෙන් ආයාචණා කරනව. කටවල් වල හැටියට, අපිට හිතෙන්නෙ සමහරු සරම උස්සන්නෙ, සුද්දන්ගෙ කටට හුජ්ජ කරන්න කියල. හැබැයි, ඇත්තටම එහෙම කරල තිබයන්නෙ, යටින් ඇදගෙන ඉන්න කළිසම පෙන්නන්න.

මිනිස්සු පන්සල් යනව හිත හදාගන්න. පන්සලේ හාමුදුරුවො ගොඩනැගිලි හදන්න සල්ලි එකතු කරනව. එහෙම නැත්තම්, දේශපාලනේ කරනව. ගෙවල් ගදන්න ඉන්න මැති ඇමතිලා - දේශපාලනඥයෝ වගේ අය බණ කියනව. මේ හැම එකක්ම විකාරයක්. අන්තිමේට, මිනිස්සු ආරාම වලට යනව. ආරාමෙ වටේට කොන්ඩම්. මිනිස්සු පල්ලි යනව. පල්ලිය වටේට පිස්තෝල. මිනිස්සු කෝවිල් යනව. කෝවිල වටේට හොරු. මිනිස්සු හිගා කනව. හිගන්නො ඔක්කොම කියන්නෙ බොරු. ඔක්කොමත් හරි, ඉස්පිරිතාලවලට ලෙඩ්ඩු ඇතුල් කරන්නෙ ලෙඩා ගෙදර ඉන්නකොට.

අන්තිමේ දි, අපි ලංකාවෙ. හැබැයි ලංකාව අපේ නෙවෙයි. එහෙම නෙවෙයි කියල හිතාගෙන හිටියට, එහෙම නෙවෙයි නෙවේ.


---

බොහෝ උදවියගෙ ඔළු ඇතුලෙ, ප්‍රථම ප්‍රේමය තවමත් හොල්මන් කරනව. ඒ තත්කාලීන ප්‍රේම සබදතාව සහ ප්‍රථම ප්‍රේමය කියන දෙකම එකක් වුණත් එකක් නොවුණත් පොදු ලක්ෂණයක්. හැබැයි, තත්කාලීන ප්‍රේම සබදතාව පළමු ප්‍රේමය නොවන විට දී, පළම්‍ර ප්‍රේමය මිහිදන් කරල ඒ වෙනුවෙන් පාංශකූල දීල මතක වස්ත්‍ර පූජා කරල ගණු දෙණු ටික කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අවසන් කරන්න වෙනව. එහෙම නොවුණොත්, තත්කාලීන ප්‍රේම සබදතාවත ඉතිහාසයට එක් වීම වළක්වාගන්න සෑහෙන තරමේ අරගලයක් කරන්න වෙනව.

මමයි මගේ පළමු පෙම්වතියයි කියන දෙන්නගෙම පළමු ප්‍රේම සබදතාව ඒක වුණාට, අපි දෙන්නගෙන් කාගෙවත් පළමු ප්‍රේමය ඒක නෙවෙයි. එහෙම වෙන්න පුළුවන් ද. අපි දෙන්නගෙම භෞතිකව තිබුණු පළමු එක ඒක වුණාට, මනෝ මූලිකව ගත්තම ඒ අනුයාතව දහවෙනි ප්‍රේමයටත් වඩා වැඩි එකක්.

පළමු විරුද්ධ ලිංගික ආකර්ෂණයක් සහිත දැක්මේ ඉදල පළමු ස්පර්ශය පළමු සිපගැනීම පළමු චුම්බනය පළමු රමණය වගේම ඇතැම් වෙලාවට ජීවිතය පිළිබද අවසන් තීරණයක් දක්වා දිශාභිමුඛ කරපු පළමු අත්දැකීමත් උරුම වෙන්නෙ පළමු ප්‍රේමය හරහා. හැබැයි, සමහර වෙලාවට, පළමු ප්‍රේමයෙන් යටකී කිසිවක් සම්පූර්ණ නොවුණා වුණත් වෙන්න පුළුවන්. නමුත්, පළමු ප්‍රේමය කියන්නෙ විරැද්ධ ලිංගික ආකර්ෂණයක් නම්, ඒක මුළින්ම දැනෙන්නෙ මොන්ටිසෝරි පංතියෙදි වෙන්න ඇති. පළමු සිප ගැනීම නම් ඒකත් වෙනම තැනෙක දි වෙන්න පුළුවන්. පළමු රමණය හෝ සංසර්ගය නම්, බඩු පොට් එකකදි පවා පළමු ප්‍රේමය හට ගත්ත පුළුවන්.

අද වෙනකොට සැබෑ ප්‍රේමය ස්ථානගත වෙලා තියෙන්නෙ බොහෝ දෙනෙකුගෙ භෞතික පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නෙවෙයි. වර්චුවල් ප්‍රේමයක් හිතේ මවාගෙන - අපි තත් කාලීන ප්‍රේම සබදතාවක් තුළ ඒකෙ රියලිටි එක හොයනව.


---

කැළණියෙ පැත්තෙ පෙට්ටි කඩේකට වෙලා ප්ලේන්ටියක් බොමින් කැරකි කැරකි ඉන්න වෙලාවක, ලගට ආ එකෙක් ආණ්ඩුව පතුරු ගැසීමට පටන් ගත්තේය. කිසිවක් නොකියා අසා සිටිමි. ලයිට් බිල් - බස් කාස්තු - අල පරිප්පු සීනි - නීතිය - අධ්‍යාපනය - යුද්ධය - අසාධාරණය. කෙටි කතා පොතක කෙටි කතා වගේ. ආරම්භයක් අවසානයක් නැති මැදක් - මදයක් නැති අපභ්‍රන්සයක්. එකක් පැහැදිළියි. ඒ, ඒ මින් පෙර ආණ්ඩුවට ඡන්දය දුන් එකෙක් බවයි. එසේ කියා සිටිය හැක්කේ - යටකී මිනිසා වචනයට නගමින් තුනී කර ගන්නට තතනන්නේ ලැජ්ජාවක් - කේන්තියක් හා කළ වරදකට පසුතැවීමක් වන හෙයිණි.

මා, 'ඇයි ඡන්දෙ දුන්නේ' යැයි පමණක් අසා සිටිමි. ඒ ප්‍රශ්නය මගින් පළමු ප්‍රේමය පිළිබද ආදරණීයව සිහි කරනා වයෝවෘද මිනිසෙකු මෙන් ද අතීත හපන්කම් කියනා ගැමියෙකු මෙන් ද ළමා කාලය සිහි කරන තරුණයෙකු මෙන් ද කුළුදුල් රමණය සිහි කරනා වනිතාවක මෙන් ද ඔහුගේ මුහුණ දිදුළන්නට විය. 'වෙන කාට දෙන්න ද මහත්තය. මොනව උණත් යුද්දධ ඉවර කළානෙ' යැයි කියා සිටියේය.

ස්වස්ථානික වූ දා පටන්, මෙරට පුරවැසියාගේ ඡන්ද අයිතිය භාවිත කරමින් සිටින්නේ - ගෑණි හොයල දුන්නෙ කපුව නිසා, ගෑණි කපුවට නොදී කොහොම ද - න්‍යාය මත පිහිටායි. තමන්ගේ සංවාසය වෙනුවෙන් පහණ දැල්වූ වුන් වෙනුවෙන් කෘත පඩුරු ලෙස නිමේෂයක් හෝ සංවාසයට දොරගුළු විවර කර දිය යුතු යැයි මෙරට පුරවැසියා විශ්වාස කරයි. ජනසම්මතවාදය බිහි වීමේ සිට අද දක්වා ම අප විසින්, 'නියෝජිතයා' යනු වහළෙක් මිස හාම්පුතා නොවන බව වටහා ගැනීමට නොහැකි වූ අති අසාර්ථකම සමාජ දේශපාලන විඥානයක් සහිත ඡන්ද දායකයින් පිරිසක් ඡන්ද හිමි නාමලේඛණයේ ස්ථානගත වී ඇති, සබුද්ධිකත්වයෙන් හීන හා ධින අසල්වැසියෝ ඇසුරු කරමින් සිටිමු.

අප තරම්, 'චාටර්' චරිත 'පට්ට' කරගත් වෙනත් ජාතියක් නොවෙත්. දේශප්‍රේමය - ජාතික හැගීම - සංවර්ධනය - විජාතික බලවේග - පාවාදීම් - පොන්නකම - නායකත්වය - දෑත් ශක්තිමත් කිරීම ආදී වචන වෙනුවෙන් සමාජ භාවිතයේ දී අති අසභ්‍යයම අර්ථනිරූපණයන් දුන් මිනිස්සු වෙන නොවෙත්.

අපි පව්. නෑ. අපිට පව්. එහෙමත් නෙවෙයි, අවසාන විග්‍රහයෙදි - අපිටත් පව්. එසේනම්, පව් නොවෙන අනෙකා කවුද. මේ පව්කාරකම තුළ අනෙකෙක් නොමැත. අපි හැමෝම අඩු වැඩි වශයෙන් 'පව්'.


---

උඹල අපි කන මාළු පාන් වල මාළු තියනව ද බං' මේ කොහේදී හෝ ඇහිච්ච කතාවක්. ඇයි එච්චර ද. හාල් කිලෝවක් කිලෝ එකක් බරයි ද පාන් රාත්තල රාත්තලයි ද සක්‍ර දෙවියන්ගෙ හොට් සීට් එක රත්වෙනව ද පොලීසිය නීතිය සාමය රකිනව ද අඩුම තරමෙ ඉන්ටර්සිටි කියන්නෙ ඉන්ටර් සිටි බස් වලට ද. නෑ. අද වෙනකොට මේ හැම එකක්ම බ්‍රෑන්ඩ් නේම් එකක් විතරයි. ඒ කියන්නෙ, පාන් රාත්තල කියන්නෙ ඒකෙ නම මිසක් - පාන් වලින් රාත්තලක් තියන නිසා පාන් රාත්තලට එහෙම කියනව නෙවෙයි. පොලීසිය නීතිය හා සාමය රකිනව ද. නෑ. එහෙම නෙවෙයි. පොලීසිය කරමින් ඉන්න වැඩේ හදුන්වන එහෙම නැත්තම් ඒකෙ බ්‍රෑන්ඩ් අයි.ඩී. එකට තමයි නීතිය හා සාමය රැකීම කියන්නෙ. එතකොට, මාළු පාන් සම්බන්ධ විග්‍රහයත් ඒ වගෙයි. ඒක මාළු පාන් වුණේ මාළු තියන නිසා නෙවෙයි, ඒ හැඩැති බනිසයේ බ්‍රෑන්ඩ් නේම් එක මාළු පාන් වීම නිසා.

'උඹලගෙ අපේ පුරවැසි කමට පරමාධිපත්‍යයක් තියනව ද බං.' පරමාධිපත්‍යය කියන හෙඩිමෙන් මේ මොහොතේත් පට්ට ගසමින් සිටින්නේ, පොදු පුරවැසියා විසින් 'තමා ඇන්දවීම හා පීඩාවට පත් කිරීම සදහා ස්වේච්ඡාවෙන්ම අවිනයවත් පිරිසක් පත් කිරීමේ යාන්ත්‍රණයට' යි. අවසාන වශයෙන් පරමාධිපත්‍ය කියන්නෙත්, මාළු පාන් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් විතරයි. ඒක එහෙම වෙන්නෙ, අපි ඡන්දෙ දෙන්නෙ - අපි නොදැනුවත්වම අපිට ඕනෙ මිනිස්සුන්ට නෙවෙයි. පොදු පුරවැසියගෙ පරමාධිපත්‍යය පක්ෂ නායකයින්ට හයර් කරනව. පුරවැසිය වෙනුවෙන් පක්ෂ නායකයො අපේක්ෂකයො තෝරනව. පුරවැසියො අපරානුමත කරනව.

ඒ විතරක් නෙවෙයි. අපිට පරමාධිපත්‍යය අයිතිය දෙනවද නැද්ද කියන එක තීරණය කිරීමේ අයිතියත් අපි හයර් කරලයි තියෙන්නෙ. උතුරට හරි නැගෙනහිරට ඡන්දෙයක් තියනව ද කියල තීරණය කරන්න ඕනෙ ඡන්ද අයිතිය තියන පුරවැසිය මිසක්, විමල් වීරවංශ, ගුණදාස අමරසේකර හෝ ගලගොඩඅත්තේ ඥාණසාර නොව. එවැන්නක් තීරණය කිරීමට තුනෙන් දෙකක් ඇති මහින්දගේ රෙජීමයට හෝ අවසරයක් නැත. දැන් අපිට හිමිව ඇති පරමාධිපත්‍යයත් මාළු පාන් පරමාධිපත්‍යයකි. මහින්ද විමල් හෝ ඥාණසාරලා තෝරන දේ දෙස බලා සිට, සිනහවීම පමණක් වන අයිතිය පරමාධිපත්‍යය ලෙස බ්‍රෑන්ඩ් වී ඇත.

යටත් විජිතයෙන් අඩසියවසකට පස්සෙත් අපේ රටේ මිනිස්සු ඡන්දෙ දෙද්දි සැලකුවෙ - ළමයි ඉන්නව ද නැද්ද. රැවුළ තියනව ද නැද්ද. සරම අදිනව ද නැද්ද. කුණුහරප කියනව ද නැද්ද. නැළවිලි කවි දන්නව ද නැද්ද. නෑයො ඉන්නව ද නැද්ද වගේ දේවල් මිසක් සමාජ-ආර්ථික-දේශපාලන කාරණා නෙවෙයි. ඒකත් හරියට, මාළු පාන් ගන්නකොට බලන්නෙ - බේකරි කාරයා සිංහල ද මුසලිම් ද මිසක් මාළු පාන් ගෙඩියෙ මාළු තියනව ද නැද්ද නෙවෙයි වගේ නිර්ණායකයක්. මේ නිසාම, උඹල අපි කන මාළු පාන් වලින් මාළු නැති වෙනකල් උඹල අපි දන්නෙම නෑ. ඒ වගේම - මේ රටෙන් දේශපාලනය හා පරමාධිපත්‍යය නැති වෙලා, අපේ රටේ අපි හයර් වෙනකල් දන්නෙම නෑ


---

කැළණි ගග අසබඩ පළතුරු කඩේකට වී බඩ ඉරිගු කරළක් උළා කමින් සිටින විට එහි මුණ ගැසුණු ගමන් සගයකුට 'බ්ලොග් එකට ලියපු ආර්ටිකල් ටිකෙන් කරපු පොතට පබ්ලිෂ් කරන්න ස්පොන්සර් කෙනෙක් බලන්න ඕනෙ' යැයි කියා සිටිමි. 'බ්ලොග් එකේ ලියපුව ඇයි ප්‍රින්ට් කරන්නෙ' යැයි හේ ප්‍රශ්න කළේය. මේ කොදෙව්ව තුළ සිරවී සිටින පොදු පුරවැසියා අන්තර්ජාලයටත් වඩා වැඩියෙන් අන්තර්ජාලය කෙරෙහි විශ්වාස කරයි. නමුත්, දේශීය ජල තීරයෙන් එහා තත්ත්වය මීට වඩා වෙනස්. විශ්වීය මිනිසා අවසාන වශයෙන් හැම දේම රෆ් කොපි එකක් බලට පත් කර ගන්නව. පොත ඒකෙ එක මාධ්‍යයක්. මිනිස්සු වෙනස් කරන්නෙ හරි දිශානතියකට මෙහෙයවන්නෙ හරි අතට අහුවෙන දෙයක් මිසක් සම්පූර්ණයෙන්ම වර්චුවල් වුණු දේවල් වලින් නෙවෙයි. ට්විටර් - යූ ටියුබ් වලින් අරගලයෙ පිඹුරුපත් ඇදපු අරාබිකරයේ තරුණයො අවසානෙ දි තහීර් චතුරස්‍රයටට එකතු වෙනව. ඊ මේල් ෆේස්බුක් වලින් විපල්වය ගොඩ නගපු ඇමරිකානු තරුණයා වෝල් ස්ට්‍රීට් එකට එනව. පොත සම්බන්ධ විග්‍රහයත් මේ වගේ. විකිපීඩියා ආර්ටිකල් ටික වදින විදියට පරිශීලනය කරන්නෙ ප්‍රින්ට් එකක් දාගෙන.

මේ දූපතට වුණේ මොකද් ද. තාක්ෂණය කියල විකෘතිය - ප්‍රකෘතියක් කරගන්න උත්සාහ කළා. දැන් නතර වෙලා තියෙන්නෙ විකෘතියත් ප්‍රකෘතියත් නොවන අතර මැදක. ඒක හරියට මේ වගේ. 2005 න් පස්සෙ ලංකාවෙ රාජතාන්ත්‍රික දේශපාලනේ නිවා වෙලා සමාජ-ආර්ථික දේශපාලනය වෙනුවට ජනමූල සංස්කෘතික දේශපාලනය හෙවත් ආගමික-වාර්ගික-සදාචාර දේහපාලනයක් පැළපදියම් වෙනව. විදේශ ප්‍රතිපත්ති වෙනුවට විජාතික බලවේග - යුක්තිය හා නීතිය වෙනුවට දේශප්‍රේමය හා කැක්කුම - සිංහල බෞද්ධකම - මතට තිත - අපේ උරුමය වගේ සංස්කෘතික කාරණා ටිකක් මාර්කට් වෙනව. අවසානෙදි ඉතිරි වෙන්නෙ හැගීම් මූලික ජන දේශපාලනයත් නොවන රාජතාන්ත්‍රික දේශපාලනයත් නොවන ප්‍රකෘතියට විකෘතිය මිශ්‍ර වුණු අඹ-පක-දෙල් දේහපාලනයක්.

පොතට වුණෙත් ඒක. හැම දේම ඉන්ටර්නෙට් එකේ තියනව කීවට - අන්තිමේදි ඉන්ටර්නෙට් එකේ ඇති දෙයක් නෑ. ඉන්ටර්නෙට් එකේ තියන නිසා පොත් ලියන එකත් - කියවන එකත් නතර වුණා. අන්තිමේදි විෂයමූලව ඉන්ටර්නෙට් පරිහරණයත් නතර වුණා, පොත් පත්තර කියවිල්ලත් නතර වුණා. ඒක හරියට මේ වගේ, අපි වවමු රට නගමු කියල, පස බුරුල් කරපු තත්ත්වයක් විතරක් තියනකොට ආනයනික පරිප්පු ආනයනය නතර කරනව වගේ. අනිතමේදි වවපු පරිප්පුවකුත් නෑ. ගෙනාපු පරිප්පුත් නෑ. අන්තිම විග්‍රහයෙදි පරිප්පු ම නැති වෙනව.

කියවීමක් වෙනුවෙන් ඉන්ටර්නෙට් යන වුන්ට - සකර්බර්ග් ෆේස් බුක් හැදුව. අන්තිමේ දි මිනිස්සු කියවනව. හැබැයි, කියවන දෙයක් නෑ. සිංහල සාහිත්‍ය සමිතියෙ ඇම්ඩන්ගෙ කතා විචාරය කරනව වගේ දෙයක්. නීතීඥයො ගොන්පාර්ට් කළාම, නීතිය පිළිබද විග්‍රහ කරන්නෙ ත්‍රීවීල් කාරයො. දොස්තරල දේශද්‍රෝහීන් කළාම බෙහෙත් දෙන්නෙ කොන්දොස්තරල. සිනමාකාරයින්ගෙ චිත්‍රපටි තහනම් කළාම ධාවනය වෙන්නෙ විෂුවල් කරපු මහින්ද චින්තනය. ගී පද රචකයො එළවළු කඩ දා ගත්තම, සිත්තර කතා කාරයො සිංදු ලියනව. ආචාර්යවරු රට ගියාම, ලෙක්චර්ස් කරන්නෙ ශිෂ්‍ය සංගම් නායකයො. ඒ කියන්නෙ දේශන වෙනුවට තියෙන්නෙ තෙල්. මේ කතාවෙ අවසානෙත් ඉහළ විග්‍රහයම තමයි. රාජතාන්ත්‍රිකයො දේශපාලනයෙදි ගොන් පාර්ට් කළාම, සුරංගනා කතා කාරයොයි - සංස්කෘතියයි දේශපාලනයයි පටළවාගත්ත සිවුරු දාගන්න බැරි වෙච්ච ආගමික මනෝභාවයන් ටික දේශපාලනය කරනව. සිවුරු අරින්න බැරිව ඉතිරි වෙච්ච හාමුදුරුවරු ටික සමාජ ව්‍යාපාර කරනව.

මේ අව්වස්සෙ, කොහොම හරි පොත පබ්ලිෂ් කරනව. හැබැයි, ප්‍රාග්ධනය සහ වෙළදපොළ සාධක විසින් ඒ පොත සොෆ්ට් කොපියකින් රෆ් කොපියක් වෙලා අතට අහුවෙන දවස තීරණය කරාවි.

Sunday, May 5, 2013

පෞද්ගලික විශ්වවිද්‍යාල - අධ්‍යාපන අනාථ නිවාසයකින් ඔබ්බට

පෞද්ගලික විශ්ව විද්‍යාල කියූ සැණින්ම ඇතැමුන්ගේ සිත් තුළ මැවෙන්නේ, ‘නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ - විනාශයීය සාධකයක්‘ විදියට. තවත් සමහරුන්ට අනුව, ‘සල්ලි තියන මෝඩයින්ගෙ තෝතැන්නක්‘ එසේම, මෙම පද්ධතිය ‘අධ්‍යාපනයේ නිදහස පුළුල් කිරීමේ වේදිකාවක්‘ විදියටත් ඇතැමුන් කියවා ගන්නව. ඒ වගේම, කොට සායවල් ඇදල කොන්ඩය ස්ට්‍රේට් කරනු ලැබූ යුවතියන්ගෙන් හා ‘රොක්‘ වුණු තරුණයින්ගෙන් යුක්ත පද්ධතියක් විදියටත් තවත් සමහරු මේ පද්ධතීන් විග්‍රහ කර ගන්නව. මේ සියල්ල අතර වාරයේදී - පොදු සමාජය තුළ පෞද්ගලික හෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යන නමට පවා වෛර කරමින් සිටින පුද්ගලයින්ගේ දර්ශනයට අනුව - මෙය ‘උසස් පෙළ පවා අසමත් අධ්‍යාපන අනාතයින්ගේ - අනාථ නිවාසයක්‘.

පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ නිසි මතකය අසූව දශකයේ මැද භාගයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දක්වාත් - විදේශ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ නියෝජිතායතන දක්වාත් විහිදෙනව. ලියුම්කරුවා විසින් මෙම ලිපිය ලිවීම දක්වා පොළඹවනු ලබන්නේ - මේ වන විට යම් තාක් දුරට නිවී තිබෙන නමුත් අළු යට ගින්දර මෙන් සැගවී තිබී යම් අවස්තාවක යළි පිබිදිය හැකි - පෞද්ගලික විශ්වවිද්‍යාල යනු ‘නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කර දමන අධ්‍යාපන අනාථ නිවාසයන්‘ බවට පවසමින් ඒවා වසා දැමිය යුතු බවට වන විරෝධය පිළිබද - නිවී ඇති තාවකාලික මොහොතේ විග්‍රහ කර ගැනීමක් විදියටයි.

ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් මුලසුන දැරූ කොළඹ යුනිවර්සිටි කොලීජියේ සිට මේ දක්වා ජාතික විශ්වවිද්‍යාල නමින් නම් කර ඇති ඍජුවම රජය විසින් පාලනය කරන විශ්වවිද්‍යාල පහළවක් හෝ දා හතක් තිබේ. ‍අද වන විට මෙම ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් අවසර ඇත්තේ වාර්ශිකව මෙරට පුරවැසියන් විසි පන්දහසක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි පිරිසකට පමණි. නමුත්, වාර්ෂිකව පළමු උපාධිය ලැබීම සදහා සුදුසුකම් ලබන පුරවැසියන් ප්‍රමාණය එක් ලක්ෂ පනස් දහසක් හෝ ආසන්න ගණනකි. මේ අනුව, පළමු උපාධිය සදහා ජාතික වශයෙන් තීරණය කර ඇති අවම සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ පිරිසෙන් - ඇත්ත වශයෙන්ම ඒ සදහා ප්‍රවේශ ලබන පිරිස මෙන් ආසන්න වශයෙන් හතර ගුණයක් වත් - මෙරට අධ්‍යාපනයේ අවස්ථා අහිමි වීම හේතුවෙන් ප්‍රවේශ වරම් අහිමි කර ගනියි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද සාකච්ඡා කරන හා ඒවා සාධනීය පද්ධතීන් ලෙස විග්‍රහ කරනු ලබන පිරිස කියවා ගනු ලබන්නෙත් දකින්නේත් මෙම එක් ලක්ෂ විසි පන් දහසක් පමණ වන පිරිසය.

ඒ පිළිබද වැඩි දුර කියවීම පසෙකින් තබා - දැන් අනෙකාගේ විවේචනය කියවා ගනිමු. ඔවුන් විසින් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටින්නේ - පෞද්ගලික විශ්වවිද්‍යාල යනු සුදුසුකම් ලබන එක් ලක්ෂ පනස් දහසක් තරම් වන සුදුස්සන්ගෙන් වියුක්ත වුණු සෑම කැලැන්ඩර වර්ෂයකදී ම උසස් පෙළ විභාගයට පෙනී සිටින හෝ පෙනී නොසිටින නමුත් - විශ්වවිද්‍යාල ප්‍රවේශ සදහා සුදුසුකම් නොලබන ලක්ෂ තුනක් තරම් වන පිරිස පිළිබදවයි. ඔවුන්ට අනුව එම පිරිස සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අනාථයින්ය. ඔවුන්ට කිසි ලෙසකින්වත් පළමු උපාධියක් හෝ ඉන් එහා ගිය අධ්‍යාපනයක් ලැබීමට වරම් හිමි නොවිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් හෝ වෙනකක් මගින් උපාධියක් හෝ වෙනත් ඒ හා සමාන සුදුසුකමක් ලබා දීම කිසි ලෙසකින්වත් සුදුසු නොවේ.

දැන් ඒ පිරිස පසෙකින් තබා කතාවේ මුඛ්‍ය හරය වෙත යොමු විය යුතුයි. ඔවුන් මෙන්ම යම් අවශ්‍යතාවක් වෙනුවෙන් අප ද එම ලක්ෂ තුන හමාරක් තරම් වන උසස් පෙළ අසමත් හෝ ඉන් පහළ අධ්‍යාපන සුදුසකම් ඇති පිරිස් පසෙකින් තබමු. දැන් අප කියවා ගත යුතුව ඇත්තේ - ඉතිරි ලක්ෂ එක හමාරක පිරිස පිළිබදව ය. යටකී විරුද්ධ මතදාරීන් විසින් සචේතනාත්මකව අත්හරිනු ලැබ ඇති එම ලක්ෂ එකහමාරක පිරිස අතර සරසවි නොගොස් ඉතිරි වන එක් ලක්ෂ විසි පන්දහසක් පිළිබද අප කතා කළ යුතුය. ඔවුන් ජාතික වශයෙන් පිළිගත් අවමයන් සම්පූර්ණ කර තිබුණ ද ඔවුන්ට ඇත්ත වශයෙන් ම එම වරම අහිමි වන්නේ - ජාතික වශයෙන් ඇති ගැටළුවක් නිසාය. එහෙයින් - එම එක් ලක්ෂ විසි පන් දහසක් පමණ වන පිරිස ජාතික ගැටළුවක් නිසා යළි නිවැරදි කළ නොහැකි බරපතල අසාධාරණයකට මුහුණපායි. එහෙයින්, පෞද්ගලික හෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යනු පළමුව ම අධ්‍යාපනයේ අවස්ථා සීමා වීම නිසා අසාධාරණයට පත් වූ පිරිස වෙනුවෙන් ලබා දිය හැකි යම් සාධාරණ විසදුමකි. (එය සම්පූර්ණ හෝ සමස්ථ විසදුම නොවන බව අප ද පිළිගනිමු. නමුත්, අත්‍යාසන්න වශයෙන් හෝ ලබා දිය හැකි විසදුම ලෙස මෙය පිළිගත යුතුව ඇත.)

එහෙයින්, විරුද්ධ මත දාරීන්ගෙ පළමු තර්කයට අනුව - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යනු තවදුරටත් අධ්‍යාපන අනාථයින්ගෙ සරණාගත කදවුරු නොවේ. අධ්‍යාපනයේ අවස්ථා සීමා වීමේ ජාතික වරද නිවැරදි කිරීම වෙනුවෙන් ලබා දිය හැකි තාවකාලික හෝ යම් සාධාරණ විසදුමකි.

මෙහිලා සමාජගත වන දෙවැනි තර්කය වන්නේ - අධ්‍යාපන අනාථයින්ගේ සරණාගත කදවුරු තුළ උපාධි පිරිනමනු ලබන්නේ සුපිරි වෙළදසැල් න්‍යායට අනුව (සුපර්මාර්කට් තියරියටය) ය. මුදල් මත පමණක් සීමා වන වෙළදාමක් වන අතර මුදලේ ප්‍රමාණය මත කාලය හා ගුණාත්මක භාවය තීරණය කරයි. එහිදී ද වැඩි මුදලට ගුණාත්මකභාවය හෝ ප්‍රමිතිය ප්‍රතිලෝම වේ. මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගෙනෙන තර්කය එවැන්නකි. ඔවුන්ට අනුව - ‘වැඩි මුදලක් අය කරමින් නුසුදුස්සන් වෙනුවෙන් අප්‍රමිතිගත උපාධියක්‘ ලබා දෙයි. 

මකුණන් කන සිනමාශාලා සහ හීන මවන සිනමාව

ශ්‍රී ලාංකේය සිනමාව සෑම විටම අධිතක්සේරුවක හෝ අතක්සේරුවක සිට ක්‍රියා කර ඇත. මෙලෙස කියා සිටීමට කරුණු දෙකක් බලපෑවේය. ඇතැම් සිනමා කෘති ප්‍රතිභාව හෝ නිර්මාණමය ලක්ෂණයන්ගෙන් හෝ සමාජ දේශපාලන ආර්ථික විග්‍රහමය වශයෙන් 'මෙලෝ රහක්' නැති තත්ත්වයක සිට තාක්ෂණික භාවිතයන්, සංගීතය හා නිර්මාණ ප්‍රතිභාවය පිළිබද පම්පෝරි ගැසීමක නිරත වේ. එසේම, තවත් කෘති කිහිපයක් සම්බන්ධයෙන් වන ජාතික තක්සේරුව ගණගාටුව උපදවන තත්ත්වයේ තිබේ. එනම්, නිර්මාණශීලීත්වය හෝ ප්‍රතිභාව මෙන්ම සමාජ ආර්ථික දේශපාලන විග්‍රහමය වශයෙන් ඉහළ තැනෙක තිබුණ ද ඒවා අවතක්සේරු කරමින් හෝ කොන් කරමින් වාරණය කිරීමට භාජනය වේ.

කුමන පාන්කඩ නිර්මාණයක් වුව ද රෙජීමයේ න්‍යාය පත්‍රය ස්වකීය න්‍යාය පත්‍රය කරගත් පසු දශක ගණනක් පැරණි සිනමා වාර්තාවන් පවා අභිබවමින් ඉමහත් ලාභ උපයන තත්ත්වයට පත්වෙයි. එසේ ලාභ ඉපැයීමට අවශ්‍ය වටපිටාව සකසා දීමට රෙජීමය ඍජුව හා වක්‍රව උපකාර කරමින් සිටියි. නමුත්, සිනමා නිර්මාණයේ න්‍යායපත්‍රය එකක් නොව දෙකක් වන විට මීඩියා විචාරකයින් හා සිනමාවේ ගොඩ් ෆාදර්ස් ලා ලෙස රෙජීමයේ අනුග්‍රහය ලබන්නන් විසින් කෙලෙසා දමනු ලදුව, රසිකයා හමුවට නොයවාම දඩු කදේ ගසා දමයි.

දැන් අප ලාංකේය සිනමාවේ තත්ත්වය වැඩිපුර කියවා ගත යුතුය. සිනමා නිර්මාණයක් හරහා සිනමා නිර්මාණ බෙදාහරින සමාගම් හා චිත්‍රපට ශාලා කෝටි කීයක් හරි හම්බ කළ ද තවමත් අපේ සිනමා ශාලා තුළ තිබෙන්නේ, සිනමාවේ ප්‍රීතිය අභිබවමින් මකුණන් විසින් වද දෙන පුටු පෙළක්ය. චීෆ් බෝර්ඩ් ගසා වෙන් කරන ලද බොක්ස්ය. ඒවායින් ද අසුන් ගත හැකිව තිබෙන්නේ දෙකෙන් එකකට මදක් වැඩි පුටු ප්‍රමාණයකි. ශබ්ද පරිපාලනය හෝ ශබ්ද තාක්ෂණය සම්බන්ධයෙන් කතා කිරීමේ දී, ඇතැම් ප්‍රත්‍යන්ත සිනමා ශාලා වලට වඩා හොද ශබ්ද තාක්ෂණයක් අද වන විට අගනුවර නිවෙස් වල පිහිටුවා ඇති කුඩා සිනමා ශාලා තුළ දක්නට ලැබේ. තවමත් අපේ සිනමාව දුවන්නේ ඩිජිටල් නොවූ දශක ගණනක් පැරණි තැටි තාක්ෂණය උපයෝගී කර ගෙනය.

සාමාන්‍ය සිනමා ශාලාවක ගැලරිය වෙනුවෙන් අය කෙරෙන රුපියල් 150 හෝ 200 තරම් වන ප්‍රවේශ පත්‍රයකින් නිශ්පාදකයා හෙවත් සිනමා නිර්මාණයේ ආයෝජකයා වෙත ගලා යන්නේ හරි අඩක් තරම් වටිනා මුදලකි. සෙසු ප්‍රවේශ පත්‍රයන් සම්බන්ධ තත්ත්වයත් එයයි. නමුත්, සියයට 50 ක පමණම ආදායමක් ලබා ගෙන මිට මොළවා ගන්නා සිනමා ශාලා හිමිකරුවන් අද වන විටත් භාවිත කරමින් සිටින්නේ කළු ජූලියටත් පෙර තත්ත්වයේ වූ සිනමා ශාලාවන් ය. සිනමා ශාලා තුලට රසිකයා ගෙන්වා ගැනීමට නම් ඒවා හොද තත්ත්වයේ තිබිය යුතුය. 

එවැනි තත්ත්වයක් තුළ සිට අපේ සිනමාව ගැන කවරක් නම් කතා කරන්න ද


අගල් දාහතක හරි විසි එකක හරි හිරවෙලා චිත්‍රපටියක් බලනවාට වඩා වෙනස් වූ සිනමා කෘතියක් හුදෙකළාව රසවිදීම වෙනුවෙන් පසුගිය දිනක සිනමා ශාලාවකට ගියෙමි. එහි යන විට සවස 6.30 පමණ වූ හෙයින්, දොර වසා ඇත්තේ ප්‍රවේශපත්‍ර අවසන් වීමෙන් දෝයි සැක සහිතව සීරුවට සිනමා ශාලාවේ එහා මෙහා පෙණෙන යකඩ ගේට්ටුවට තට්ටු කළ විට සරමක් හා බැණියමක් ඇදගත් එකෙකු පැමිණ 'ඇයි' යැයි විමසා සිටියේය. පොළේ ගිය බඩු මල්ල අතේ ඇති විට 'පොළේ ගියා ද'යි අසනු මින් පෙර අසා ඇති මුත්, යටකී 'ඇයි' යන ප්‍රශ්නයේ යම් විකෘතියක් දැණිනි. 'ෆිල්ම් එක බලන්න' යැයි මා කිසා සිටි විට, 'සෙනග නෑ. 6.30 ෂෝ එක ඔයාට විතරක් පෙන්නන එක පාඩුයි. දවල් වලාවක එන්න' යැයි හේ විචාලේ ය.


මෙරට සිනමාවේ බිද වැටීමට වගකිව යුත්තේ 83 හා 88-90 සිද්ධීන් බව නොරහසක්. නමුත්, ඉන් වසර විසි පහකට පසුව මෙන්ම පශ්චාත් නන්දිකඩාල් යුගයේ දී ද සිනමාවට මෙවන් ඉරණමක් අත්වීමට වගකිව යුත්තේ තුට්ටු දෙකේ චිත්‍රපට නිර්මාණය කරමින් - සිනමා කෘතීන් 'අමර-සමර සමග මල් කඩන්න එන්න' වර්ගයේ චිත්‍රපට නිර්මාණය කළ ලොසින්ජය සිනමා කරුවෝ ද. නැතිනම්, අබාලා නිර්මාණය කළ දේශපාලනික කොබාලා ද. හදගමලාගේ ප්‍රසන්නලාගේ චිත්‍රපට තහනම් කළ දවාලට සරම අදිනා රාත්‍රියේ ක්ලබින් බහිනා මීඩියා දේශප්‍රේමී රැගුම් පාලකයෝ හා දේශහිතෛශීන් ද, එසේත් නොමැති නම් අනෙකාගේ සොරකමට පවා වන්දි ගෙවමින් දඩ කමින් සිටිනා සිවිල් පුරවැසියා ද.

කෙසේ නමුත්, එකක් වැටහේ. මෙලෝ රහත් නැති නමුත්, රාජ නමස්කාරය ලබනා සිනමා කෘති අවුරුදු ගණනක් වුව ද සිනමා ශාලාවල වාත වෙමින් ආදායම් උපදවයි. මානව ශාස්ත්‍ර හැදෑරීමක් වෙනුවෙන් නිර්මාණය වූ සිවිල්-දේශපාලන-සමාජ-ආර්ථික ගැඹුරක් සහිත ඒවා හෙණ ගහන්නාක් වාගේ ආවේ කවදා ද ගියේ කවදා ද නොවැටහෙණ වේගයෙන් එල්ලී-ගැලවී යයි.

මේ බුදු බණ ද ඉතිහාසය ද ළමා නිරුවත ද සංස්කෘතියේ නාමයෙන් තුට්ටු දෙකට වෙන්දේසි කරමින් සිනමා ශාලා සෙල්ලම් ගෙවල් කළ උන්ගේ ද නිදි යහනේ පිනවා ගත නොහැකි අසහනය පිණවා ගැනීම වෙනුවෙන් සිනමා ශාලාව බඩු පොට් කළ විදේශ ඩබල් හා ත්‍රිබල් ආනයනය කළ උන්ගේ ද සාපයයි.