Sunday, July 28, 2013

"නෙළුම් පොකුණ" - රගහලක් ද කෞතුකාගාරයක් ද අනෙකක් ද

ඊයේ දහවල මහජන පුස්තකාලයට ගොඩ වැදී ආපසු එමින් සිටිය දී විහාරමහා දේවි උද්‍යානය අසල ඇති පෙට්ටි කඩයක් අසල නැවතුණෙමි. අනෙකක් වෙනුවෙන් නොව, ප්ලේන්ටියක් බීම පිණිස ය. දිවි නැගුම බට්ටාගෙන් මිලදී ගත් ප්ලේන්ටියත් රැගෙන තාප්ප සිදලනු ලැබූ විහාර මහා දේවි උද්‍යානයේ ඉඩමේ ඌ සිමෙන්ති බංගුවක අසුන් ගෙන වටපිටාවේ ඇති දේ බලන්නට වූයෙමි. පසෙකින් පෙනෙන්නේ සුවිසල්ව ඉදිවුණු ලංකාවේ විශාලතම රංගශාලාව වූ නෙළුම් පොකුණයි. කෙළින් බැලූ විට පාළුවට යමින් තිබෙන ජෝන් ද සිල්වා සමරු රගහලත් ජාතික කළාභවනත් පෙනෙන්නට තිබේ. දකුණු පසින් දුර බැලූ විට අව්වට වේලෙමින් ද වැස්සට හැකිලෙමින් ද යහමින් කේවල් වෙමින් ද තිබෙන වීදි සිත්තරුන් විසින් අදිනු ලැබූ චිත්‍ර සිය ගණනක් පෙනේ. 

මේ පෙනෙන්නට ඇති දේ එකින් එක බලාගෙන යන විට ම විසින් මා ප්‍රශ්න කරනු ලැබූ සිද්ධියකි. එනම්, නෙළුම් පොකුණ යනු ලංකාවේ විශාලතම කළා ගාරය නම් වීදි සිත්තරුන් වීදියේ සිතුවම් තබාගෙන අළෙවි කරන්නේ හෝ ප්‍රදර්ශනය කරන්නේ 'අහවල් කෙන්ගෙඩියකට ද'යි කියන ගැටළුව පළමුව මතුවිය. මේ ගැන කල්පනා කරමින් සිටිය දී තංගල්ලේ සිට කොළඹට විනෝද චාරිකාවක් පැමිණි බස් රථ කිහිපයක් ජාතික කෞතුකාගාරය බලා අවසන් කොට නෙළුම් පොකුණ බැලීමට පැමිණ ඇත. ඔවුන් පෙර අවස්ථාවේ කෞතුකාගාරයේ සිටි බව සනාථ වන්නේ 'කඩා වැටුණෙ මොන පඩිපෙළ ද අම්මෙ' යි කොල්ලෙකු විසින් අසනු ලැබූ සිද්ධියක් මගිනි. 

දැන් නෙළුම් පොකුණ දෙසට හැරෙමු. නෙළුම් පොකුණ යනු කවරක් ද. එය නමින් නම්, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලයි. මෙම රගහල සමාජ ගත වූයේ කවරක් ලෙස ද. එනම්, ලංකාවේ විශාලතම රංග ශාලාවයි. තව ද කළාකරුවන්ගේ නිර්මාණ ජනගත කිරීම වෙනුවෙන් ඉදිවන වේදිකාවකි. කළාව රසවිදීම වෙනුවෙන් රට පුරා නිර්මාණය කිරීමට නියමිත ශාලාවන්ගේ ආරම්භයයි. විශාල පිරිසකට එකවර නාට්‍යය නැරඹිය හැකිය. මෙය නම් ආසියාවේ ආශ්චර්යය කරා රට යන ගමනේ කළාවේත් සාහිත්‍යයේත් ප්‍රගමනය වෙනුවෙන් ඉදි කරනු ලැබූ නොව - පහළ වූණු අසම සම නිර්මාණයයි. අනෙකක් තබා හෙලිකොප්ටර් මගින් නාට්‍යය නැරඹීමට පැමිණෙන මෙරට හුදී ජනයා වෙනුවෙන් අපහසුවකින් තොරව හෙලිකොප්ටරයෙන්ම නාටඨට ශාලාව අසලට පැමිණිය හැකි පරිදි ඉදි කළ හෙලිපෝර්ට් එකකින් ද සමනවිතය. එයම පමණක් - මෙය නම් අසිරිමත් රගහලක් වන්නට සාක්ෂියක් නොවන්නේ ද යි කෙනෙකුට අසා සිටිය හැකිය. 

දැන් අප විසින් සොයා බැලිය යුතු වන්නේ නෙළුම් පොකුණේ පෙන්වන නාට්‍යය හෝ කෙරෙන කළා කටයුතු පිළිබදවයි. නෙළුම් පොකුණ නම් වූ මහා රංගශාලාව තුළ පෙන්විය හැක්කේ ද පෙන්විය යුත්තේ ද මහේෂාක්‍යය පංතියක් ඉලක්ක කරගත් නාට්‍යයන් පමණකි. මෙයට හේතු දෙකක් ඇත. එනම්. ලක්ෂ ගණනක් වියදම් කර නෙළුම් පොකුණ කුලියට ගෙන නාට්‍යයක් පෙන්වීමේ දී එලෙස වියදම් කරන මුදල උපයා ගැනීමට ද ලාභයක් ලැබීමට ද අවශ්‍ය වන්නේ ප්‍රවේශ පත්‍ර වලින් වන හෙයින්, ප්‍රවේශ පත්‍ර මගින් අදාල සියලුම ඉලක්කයන් ආවරණය කරගත යුතුය. එවැනි අධිමිල ප්‍රවේශ පත්‍රයක් රැගෙන නාට්‍යයක් නැරඹීමට පැමිණිය හැකි පිරිස සීමිත රටකි - ශ්‍රී ලංකාව. එසේම, නෙළුම් පොකුණ යනු මහින්ද චින්තනයේ කළා වේදිකාවයි. එහෙයින්, එලෙස යමෙකු නාට්‍යයක් පෙන්වන්නේ නම් හෝ වේදිකා ගත කරන්නේ නම් එය මහින්ද චින්තනය අනුව යන්නක් මිස වෙනත් කිසිවක් නොවිය යුතුය. එහෙයින්, නෙළුම් පොකුණේ නාට්‍යයක් පෙන්වීමේ හැකියාව ඇත්තේ පළමුව, පිටපත හා මහින්ද චින්තනය යන දෙකක් නොව එකක් ය යන පදනමේ පිහිටා රචනා කොට ඇති නාට්‍යයකට හෝ විශාල මුදලක් වියදම් කොට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නරඹීමට පොළඹවනු ලබන හෝ එසේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා හිතවතුන් ඉන්නා නාට්‍යකරුවෙකුට පමණි. මෙහිදී කියා සිටිය යුතු කරුණ වන්නේ කුඩා පරිමාණයේ හෝ නවක නාට්‍යකරුවෙකුට හෝ සමුදායකට මෙහි නාට්‍යයක් පෙන්වීම යනු සිහිනයක් පමණක් වේ. එසේම, විකල්ප ධාරාවේ හෝ විරෝධාකල්ප නාට්‍යකරුවකුට නෙළුම් පොකුණ යනු කිසි සේත්ම තම නාට්‍යය වේදිකා ගත කිරීමට හැකියාවක් නැති වේදිකාවක් පමණි. 

විවෘත කළ දා පටන්ම නෙළුම් පොකුණ තුළ රංගගත වූයේ නාට්‍යය කිහිපයක් පමණි. මේ අතර ආචාර්ය ආරියරත්න ඇතුගලයන් විසින් නිර්මාණය කළ 'මහසමයම' එකකි. ඒ වෙනුවෙන් නෙළුම් පොකුණ හිමි වූයේ කෙලෙසදැයි අමුතුවෙන් කියා සිටිය යුතු නොවේ. ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ද හිටපු රූපවාහිනී සභාපතිවරයා ද වේ. ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතෛශී මිත්‍රයෙකි. එහි රංගනයෙන් දායකවන පාත්‍ර වර්ගයා ද එසේම ය. ඒ සියල්ල පසෙකින් තැබූව ද මහසමයම යනු නෙළුම් පොකුණේ මිය වෙත් කිසිදු ප්‍රත්‍යන්ත ජනපදයක පෙන්වීමට හැකියාවක් නැති කළාත්මකභාවයෙන් කෙසේ වෙතත් ප්‍රායෝගිකභාවයෙන් අසමත් නාට්‍යයකි. තිහ හතලිහක කණ්ඩායමක් වේදිකාවකට නංවාගෙන නාට්‍යයක් පෙන්වීමට සමත් නෙළුම් පොකුණ හැර සෙසු රගහල කුමක් ද. එහෙයින්, මෙය නෙළුම් පොකුණ වෙනුවෙන් නිර්මිත නාට්‍යයක් මිස කළාව හෝ මිනිසා වෙනුවෙන් නිර්මිත නාට්‍යයක් නොවේ. 

රංගශාලාවක් තුළ ප්‍රධාන රංගශාලාවක් මෙන්ම පුහුණු වීම වෙනුවෙන් වෙනම රංගශාලා සමූහයක් ද විවිධ පරිමාණයේ රංගශාලා කිහිපයක් ද තිබිය යුතුය. සිඩ්නි ඔපෙරා නිවාසය ඒ වෙනුවෙන් උදාහරණයකි. හෙලිපේර්ට් එකක් සෑදීමට පෙර ප්‍රධාන බස් නැවතුමේ සිට නාට්‍යය ශාලාවට ඒමට සහ යාමට හැකි පරිදි විශේෂ බස් සේවාවක් ආරම්භ කළ යුතුය. රාත්‍රී දහයට පමණ නාට්‍යයක් බලා අවසන් කරන රසිකයා හැතැක්ම ගණනින් පයින් ගමන් කිරීමට පෙළඹවයි. මේ කතාව කියූ පමණින්, 'අනෙක්වාගේ එහෙම තියනව ද'යි කෙනෙකුට ඇසීමට සිතිය හැකිය. මේ සා මුදලක් වියදම් කරමින් ඉදි කළ රංගශාලවේ සාමාන්‍ය මුදලට ගැනීමට තරම් ආහාරයක්වත් තිබේ ද. එහෙයින්, තවදුරටත් ප්‍රශ්න කර සිටින්නේ මෙය නම් සාමාන්‍ය පුරවැසියා ද සාමාන්‍ය පංතියේ කළා කරුවා ද ඉලක්ක කරගනිමින් ඉදි කළ රංගශාලාවක් වන්නේ ද යන්නයි. එසේ වන්නේ නම්, මෙහි නාට්‍යයක් පෙන්වූ සාමාන්‍ය පංතියේ කළාකරුවා කවුරුන් ද. එය නැරඹීමට දුර බැහැර සිටි රසිකයින් කවුරුන් ද.

නමුත් නෙළුම් පොකුණේ මේ වන විට එකක් සිදු වෙමින් තිබේ. එනම්, ගම්වල සිට හෝ උපනගර වල සිට කොළඹට විනෝද චාරිකා පැමිණෙන පුද්ගලයින් නරඹන ස්ථාන වන කෞතුකාගාරය, සත්තු වත්ත, විහාරමහා දේවි උද්‍යානය, ග්‍රහලෝකාගාරය හා ගාලු මුවදොර පිටිය යන ලයිස්තුවට නෙළුම් පොකුණ ද ඇතුළත් වී තිබීමයි. මා යට කී තංගල්ලේ පාසල් ළමුන් ද කරනු ලැබූයේ එයයි. එසේ නොවේනම්, ඒ අවිහිංසක පුරවැසියන්ගේ දරුවන්ට නෙළුම් පොකුණේ නාට්‍යයක් පෙන්වීම තබා නැරඹීම ද අද මෙන්ම අනාගතයේ ද සිහිනයක් පමණකි. එනම්, නෙළුම් පොකුණ යනු අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් මුදල් නිරපරාදේ වියදම් කළ භාහිර ස්වරූපය පමණක් වියදම් කොට ගොඩ නැගිය යුතුව තිබූ පිටින් බලා සතුටු විය යුතු කෞතුක වස්තුවකි. එහි වේදිකාව මහේෂාක්‍යය නාට්‍යකරුවන්ගේ නිර්මාණ වෙනුවෙනි. එහි ප්‍රෙක්ෂකාගාරය අවම වශයෙන් රුපියල් දහසක් වත් වියදම් කරමින් නාට්‍යයක් බැලීමට හැකියාව හා උනන්දුව ඇති තමන්ගේම වාහනයකින් නාට්‍යය ශාලාට පැමිණෙන පංතියේ මිනිසුන් වෙනුවෙන් පමණි. 

දැන් අප විසින් කියවා ගත යුතු කරුණ නම්, නෙළුම් පොකුණ කවරක් නම් වීමට තිබුණේ ද යන්නයි. එසේත් නැතිනම්, නෙළුම් පොකුණ වෙනුවට ඉදි විය යුතුව තිබූ දේ කුමක් ද යන්නයි. 

පළමුව ලියුම්කරුවාගේ නිර්දේශය අනුව, නෙළුම් පොකුණ යනුවෙන් අගනුවර කේන්ද්‍රකරගත් එක් වේදිකාවක් ඉදි වීම නිශ්ඵල හා අසාර්ථක ක්‍රියාදාමයකි. මෙහි වැඩපිළිවලව තිබිය යුතු වූයේ අවම වශයෙන් රටේ එක් ප්‍රධාන නගරයක් වෙනුවෙන් ඉදිවන සාමාන්‍ය තත්ත්වයෙන් සාපේක්ෂ උසස් පහසුකම් සහිත නාට්‍ය ශාලාවන් විසි පහක්වත් ඉදි කිරීමයි. ඒ සමගම, නාට්‍යය හෝ කළාව පිළිබද ඉගැන්වීම සිදු කරන ඇකඩමික ආකෘතියේ විදිමත් නියාමන ආයතන කිහිපයක් ද ඉදි විය යුතුය. පුරවැසියන් නාට්‍යය හෝ කළාව නැරඹීම හෝ රසවිදීම වෙනුවෙන් උනන්දු කරවන පරිදි මිල පාලනයක් හා කළාවේ අවශ්‍යතාවය නිර්මානය කළ යුතුය. සර්වකාලීනව පට්ට ගසමින් සිටිනා මනමේ, සිංහබාහු, හුණුවටයේ කතාව, ධවල භිෂණ වැනි නාට්‍යයන් කිහිපයක්වත් මාසිකව මෙවැනි රංගශාලා කේන්ද්‍රකරගනිමින් පෙන්විය යුතුය. ඒ සමගම විචාරය කිරීමේ හා කියවීමේ අවස්තාවන් උදා කළ යුතුය. නාට්‍යය කරුවන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම සහිතව නිර්මාණ වෙනුවෙන් උපකාර කළ යුතුය. එසේම, රෙජීමයේ චින්තනය නොවන පදනමක පිහිටා නිර්මාණය කරන නිර්මාණ වෙනුවෙන් ද අසාධාරණයකින් තොරව සමාජගත වීමට අවස්තාව ලබා දිය යුතුය. 

දැන් අප විසින් සලකා බැලිය යුත්තේ, රෙජීමය විසින් එසේ නොකරන්නේ ඇයි ද යන්නයි.

රටක ජනතාව කළාව සාහිත්‍යය රසවිදිමින් සිටින සංවේදී ජාතියක් වූ විට ද දැනුමින් පෝෂණය වූ විට ද රෙජීමයට අවශ්‍ය පිරිදි පුරවැසියා නැටවීමට ඇති හැකියාව පාලනය වේ. එකක්, පුරවැසියා දැනුම්වත් ය. අවනක් කාරණය නම්, රෙජීමයේ හැසිරීම පිළිබද පණිවිඩය කළා කෘතීන් හරහා ක්ෂණයික්න පුරවැසියාට සේන්දු කළ හැකිය. එහෙයින්, පුරවැසියා මුග්ධ පිරිසක් බවට ද මෝගයින් පිරිසක් බවට ද පත් කරමින් කටයුතු කිරීම පරම්පරා හිමිකමට බලය මාරු කර ගැනීමට සිහින මවමින් සිටින රෙජීමයකට වඩාත් තම කටයුතු හා සිහින පහසු කරවයි. මෙවැනි කිසිදු ඵලක් නැති දේ කිරීම තුළින්, 'කළාව වෙනුවෙන් කුමක් කළාද' යන ප්‍රශ්නයේදී කිසිවත් කළේ නැත යන අවලාදයන් බේරීමට පුළුවණ. එපමණක් නොව ලොකුම දේ අප විසින් කළා යැයි උදම් ඇනිය හැකිය. ඒ පිළිතුර හරහා අනුවණ පිරිස් නිහඩ වෙයි. නමුත්, කළාව වෙනුවෙන් කළේ කුමක් ද යි ගැඹුරින් සොයා බලන විට ජනතාව සමීපයේ තිබූ කළාව විශාල මන්දිරයකට දමා අගුළු දමා සමාජයෙන් දුරස් කිරීම සිදු කර ඇති බව පමණකද් පෙනේ. 

5 Click Here to Comment:

ජයශ්‍රී said...

නෙලුම් පොකුණ පිලිබඳ ඔබේ විවවේචනයන් හා එකඟ වන අතර තව එක් කරුණක් මීට එක් කළ යුතු යයි හැඟේ.එනම් නෙලුම් පොකුණ අසලින් යන මාර්ගය එය නමින් නම් කිරීම හරහා ආනන්ද කුමාරස්වාමි නාමය මකාදැමීමට කරන නිර්ලජ්ජිත උත්සාහයයි.

arugeadaviya said...

ඉදිරි සැලැස්මක් නැතිව ඇරඹෙන ඕනෑම ව්‍යාපෘතියක් කෞතුක භාන්ඩයක්ම වෙනවා හැර වෙන මොකක්ද නේද?

Anonymous said...

ඔබ සිමියුලේක්‍රමය නම් වචනය ගැන බෝද්‍රිලාද් කියා ඇති දේ මෙහි දැම්මා නම් ඒක තමයි නෙළුම් පොකුණ, කට්ට පමනයි සාරයක් නැත.

Anonymous said...

වර්තමාන ආණ්ඩුවේම ප්‍රතිමුර්තියකි.ලොකුයි, මහ උජාරුවට පෙනේ එහෙත් හරයක් නැත.

gayathri said...

අද මයි ආවේ.කොයි තරම් ලස්සනට භාෂාව භාවිතා කරලාද යන්න මගේ සිත්ගත් පලමු ලක්ෂණයයි.නෙලුම් පොකුන හදපු එක යහපත්,එහෙත් අනෙකුත් රඟහල් අභාවයට යවන එක අනුමත කළ නොහැක.