Monday, July 22, 2013

උතුරේ දේශපාලනය සහ දකුණේ දේශපාලනය හෙවත් සිංහලයාට නොදත් දෙමළ දත් අමුතු දේශපාලනය

පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම දේශපාලන පක්ෂයන් විසින් අදාල මැතිවරණයේ දී ගණු ලබන ස්ථාවරයන් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රසිද්ධ කිරීමටත් කටයුතු කරයි. එසේම, මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයින් සම්බන්ධයෙන් ද ඔවුන් ඉගි දක්වන්නට ද ඇතැම් අය ඉගි ඉක්මවා ගොස් නිශ්චිත ප්‍රකාශයන් සිදු කරන්නට ද කටයුතු කළේය සහ කරමින් සිටින්නේ ය. මෙහිලා ලියුම්කරුවා විසින් කියවන්නා (reader) පොළඹවනු ලබන්නේ මේ වන විට පවත්නා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යම් ගැඹූරක් දක්වා රැගෙන යාමට ය. 

අප පළමුව ම දේශපාලන පක්ෂයන් විසින් ජනමතය පිළිබද දක්වන ආකල්පය හා ජනතාව විසින් දේශපාලන පක්ෂයන් කෙරෙහි දක්වනු ලබන ප්‍රතිචාරය පිළිබද අවධානය යොමු කළ යුතුය. මෙරට ආණ්ඩු බලය මෙහෙයවනු ලබන දේශපාලන සංධානය විශ්වාස කරන පරිදි 'ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පොදු සතුරා' වූ ප්‍රභාකරන් ඝාතනය කිරීමේ කෘතගුණය ජනතාව විසින් සදාකාලිකවම අදාල රෙජීමය වෙත දක්වා සිටිය යුතු වේ. එය සෑම මැතිවරණයකදී ම කුමන තත්ත්වයක් තුළ වුව ද ජනතාව විසින් කළ යුතු අනිවාර්යයකි. එසේ නොවන්නේ නම් එම කෙළෙහිගුණ නොදන්නා ක්‍රියාවකැයි පහසුවෙන්ම ලඝු කොට දැක්විය හැකිය.

මේ තත්ත්වය හා අමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන් දෙකෙහි මනෝභාවය එකිනෙක කියවා ගැනීම වටින බවට සිතමි. ඔසාමා බින් ලේඩාන් යනු ලෝක දේශපාලනයට අනුව මනුෂ්‍යත්වයේ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ද යහපාලනයේ ද සාමයේ ද පොදු සතුරායි. එම පොදු සතුරා ඝාතනය කිරීම යනු අමෙරිකාවට හෝ වෙනත් අයෙකුට පැවරී ඇති වගකීමක් ලෙස කල්පනා කළා මිස එය ත්‍යාග ලැබිය යුතු විස්කමක් නොවන බව ඔවුහු වටහා ගත්හ. විශේෂයෙන්ම ඔබාමා පාලනය ද ලෝක පුරවැසියන් ද එය හොදින් තේරුම් ගත්තේය. ඔසාමා ඝාතනය යනු වීරක්‍රියාවක් නොව අනිවාර්ය වගකීමක් බවට ලෝකය පත් විය. අමෙරිකානුවන් විසින් 2011 දී ඝාතනය කරනු ලබන ඔසාමා බින් ලේඩාන් 2012 මැතිවරණයේදී මාතෘකාවක් නොවන්නේ එහෙයිනි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පැවරුණු රාජකාරියක් නිමා කිරීම පුරසාරම් දෙඩීමට හෝ වැඩි ලාභයක් හිමි වීමට තරම් ආශ්චර්යයක් නොවන බව අමෙරිකානුවකු වූ ඔබාමා සේම සියලු අමෙරිකානුවන් හා විශ්වීය පුරවැසියන් ද වටහා ගෙන තිබිණි. දැන් අප මෙරට දේශපාලන තත්ත්වය කෙරෙහි යළි හැරී බැලුණහොත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉහතදී ලියුම්කරුවා විසින් ලියා සිටි පරිදි ප්‍රභාකරන් ඝාතනය කිරීම පමණක් යනු දිවි ඇති තෙක් පාලන බලය පවරා දීමට තරම් මහා විශාල ක්‍රියාවකි. නමුත්, ලෝකය ඔසාමා ඝාතනය සම්බන්ධයෙන් ඔබාමාට සීමා සහිතව කෘතඥපූර්වක වෙමින් එම ඉලක්කය සපුරා ගනු නොහැකි වූ පාකිස්ථානයට හෝ වෙනත් අරමරිකානු ජනාධිපතිවරුන් කෙරෙහි දෝශාරෝපණය එල්ල කළේය. සරලවම කියන්නේ නම්. අමෙරිකානු පස තුළ මනාලයෙකුට මනාලියක සොයා දීම කපුවාගේ රාජකාරිය බව අමෙරිකානුවා වටහා ගනියි. නමුත්, මෙම පස තුළදී දක්නා හැක්කේ මනාලිය සොයා දීමේ පුද පඩුරු ලෙස අවසානයේ දී මනාලිය සමග යහන් ගත වීමට වුව ද කපුවාට වරම් දීමේ තත්ත්වයකි.

ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික කාරණා වලදී වත්මන් රෙජීමය අසමත් භාවය පෙන්නුම් කර ඇත. එසේම, ස්වදේශීය දේශපාලන ප්‍රතිපත්තීන් හා පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ දී ද අසමත් වන රෙජීමය විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හා විදේශයන් හෝ ජාත්‍යන්තර සංධානයන් සමග ගණු දෙණු කිරීමේ දී ද දක්වන්නේ අන්ත අසරණ අසමත් භාවයකි. ලියුම්කරුවා එසේ කියා සිටින්නේ, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කොමිෂන් සභාවක් විසින් කරනු ලබන නිර්දේශයන් හෝ ක්‍රියාවට නැංවීමට වත්මන් රෙජීමය අසමත් වී තිබීම ඊට එක් නිදසුනක් ලෙස දක්වමිනි. එනම් උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබද කොමිෂන් සභාව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ සාමාජිකත්වයක් යටතේ සාක්ෂි ඒකරාශී කරමින් යෝජනා මාලාවක් සකස් කෙරිණි. නමුත්, දැන් දක්නට ඇති තත්ත්වය නම් එම යෝජනා හෝ විධිමත් පරිදි ක්‍රියාත්මක නොකිරීමයි. එව-බලව යැයි කියා සිටීමෙන් පසු මෙරටට පැමිණි ජගත් මහලේකම් වරයා ද මානව හිමිකම් නියෝජිතයින් ද විසින් යෝජනා කළ දේ ක්‍රියාත්මක කිරීමට හෝ අවම වශයෙන් අවධානය යොමු කොට කටයුතු කිරීමට හෝ අසමත්ව තිබේ. 'විදේශ අතපෙවීම් වලකනු' යැයි කියා සිටින්නේ - බලහත්කාරයෙන් අතපොවාගනු ලැබීමෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වයන් තමන්ට අවාසිසහගත තත්ත්වයක තිබීයදී පමණි. 

ලෝකය පිළිගත් සංවර්ධන දර්ශකයන් හෝ ඉලක්කයන් අනුව යන රාජ්‍යයන් අතුරින් වත්මන් රෙජීමය ගණු දෙණු කරමින් සිටින්නේ චීනය සමග පමණි. වත්මන් රෙජීමයට අමෙරිකාව, රුසියාව, එංගලන්තය හෝ ප්‍රංශය හෝ ජර්මනිය වැනි රාජ්‍යයන් නොරුස්නා තත්ත්වයකට පත්ව තිබෙන්නේ, එම රාජ්‍යයන් විශ්වීය මූලධර්මයන් තුළ මිස පටු බේදබින්නතා මත පිහිටා කටයුතු කරන සීෂෙල්ස්, උගන්ඩාව හෝ ටැන්සානියාව වැනි රටවල් නොවන නිසාය. අඩුම තරමින්, උතුරු කොරියාවට හිතවත් කරමක් පෙන්වන දේශපාලන ප්‍රතිපත්තියක පිහිටා සිටින රෙජීමය ලක්ෂයකට අධික ශ්‍රමිකයින් පිරිසක් දකුණු කොරියාවට පිටත් කර යවයි. මේ දෙබිඩි ප්‍රතිපත්තිය, කොරියාව දෙදරා යන මොහොතකදී දෙපාර්ශවයේ ම උදහසට ලක් වීමට තරම් වරදක් නොවන්නේ ද. කෙනෙකුට අනුව මෙය ශේප් න්‍යාය වුව ද ශේප් න්‍යාය අනුව අභිලාෂයන් ජයගත් ලොව පවත්නා රටවල් දහයක් නම් කරන්න යැයි කියා සිටි විට එම ලේඛනය පුරවනු හැක්කේ කා හට දැයි ප්‍රශ්න කරමි.

රෙජීමය හොදින්ම දන්නා කරුණක් නම්, අවසාන වශයෙන් මාවිල්ලාරු සොරොව්ව විවෘත කිරීමේ දර්ශනය ද කැබිතිගොල්ලෑවේ බෝම්බය ද ගෞරවනීය සාමය යන පාඨය ද ප්‍රභාකරන්ගේ නන්දිකඩාල් කළපුවේ වැතිරී ඇති සිරුර ඇතුළත් දර්ශනය යන දේ වලින් පමණක් ඡන්දය දිණිහ හැකි බවය. අඩුවැඩිය වෙනුවෙන් ලක්ෂ 15 ක් වියදම් කර තැනූ දියවන්නාවේ බස් නැවතුම්පොළ ද දියවන්නා උද්‍යානය ද ස්වභාවික සාරය මිහිදන් කරමින් කොන්ක්‍රීට් කළ පාරවල් ද තැනින් තැන ජනාධිපතිවරයාගේ තේජමාන රූපය ද ප්‍රදර්ශනය කිරීම ප්‍රමාණවත් බව ඔවුහු දනියි.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය යන එක්සත් ජාතික පක්ෂය යනු ආණ්ඩු පෙරළීමේ දේශපාලනය වෙනුවට ජනතාව විසින් ආණ්ඩුව පෙරළා දෙන තුරු බලා සිටීමේ අලස දේශපාලනය වෙනුවෙන් පත්තියම් වූ පක්ෂයකි. එහෙයින්, ආණ්ඩුව විසින් 'දාන කොලේට - අපෙනුත් කොළයක්' යන තැන පිහිටා මෙම කාඩ් ක්‍රීඩාවේ නියැලෙයි. තුරුම්පු වාසියක් විනා වල්වාසියක් හෝ තමන්ගේ කර ගැනීමට එජාපය උත්සාහ නොදරයි. ජවිපෙ වෙත කිරීමට දැන් රාජකාරියක් ඉතිරිව නැත. ආණ්ඩුව ද එජාපය ද ජවිපෙ ද ආණ්ඩුවේම වීමේ ඛේදවාචකය වැඩියෙන්ම බලපා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වෙතයි. එනම් ජවිපෙ යනු විමල් යැයි සිතා සිටි ජවිපෙ ආකර්ෂණීය දේශපාලනයට වහ වැටුණු කාඩර්වරුන් දැන් විමල්ගේ ඕනෑම ගොන් පාර්ට් එකක් වෙත හුරේ දමනා මහත්වරුන් වී තිබේ. දෙමළ ජාතික සංධානය පිළිබද කතා කිරීම මෙම ආඛ්‍යානයේ මූලික කොටසක් වන නිසා ඒ පිළිබද කතාව පසුවට ඉතිරි කරමි.

අප දැන් ඡන්දදායකයා විසින් රෙජීමය හෝ දේශපාලන පක්ෂ කෙරෙහි දක්වන ආකල්පය පිළිබදව කියවා බලමු. 'මොනව උණත් යුද්ධෙ ඉවර කළානෙ' යන පදනම මත පිහිටා සිටින දේශීය ඡන්දදායකයා දේශපාලනයේ හසරක් නොදත් කුරුණෑගල ජොහාන් ප්‍රනාන්දු වුව ද මහින්ද වෙනුවෙන් බලයට ගෙන ඒමට කැපවී සිටියි. වසරකට තුන්වරක් පමණක් පළාත් සභා යන අනර්කලී හා ජයසූරිය පත් කළ දකුණේ වැසියන්ගන් වයඹ හෝ මධ්‍යයම වෙනස් වන්නේ කතා කරන භාෂා ශෛලියෙන් පමණක් මිස කිසිදු දේශපාලනික බුද්ධිමත්භාවමය වශයෙන් දැන් දැන් බහුතරය විසින් පෙන්නුම් නොකරයි. විකල්පය හෝ ගැඹුර පිළිබදව ද දේශපාලනයේ යටිපෙළක් කියවන්නට උත්සාහ ගන්නා යම් ප්‍රමාණයක් තවමත් මෙම සෑම පළාතක් තුළ කැහි ගෑණිය වෙනුවට හොටු ගෑණිය ද නොවන අනෙකෙක් සොයමින් සිටියි. 

එසේම දැන් පොදු ව්‍යවහාරයට අනුව උතුර නොවන දකුණට ඡන්දය දීම යනු ත්‍රිල් එකක් හෝ ආතල් එකක් මිස දේශපාලනික ක්‍රියාවක් නොවේ. එහෙයින්, ඡන්දය දීම පිණිස සලකා බලන්නේ රූප සොභාව ද කාගේ කවුරු ද යන එන වාහනය ද හැදුණුම්කමේ දුර කොපමණ ද ආදී වූ දේශපාලනික නියෝජිතයකු තෝරා ගැනීමට තරම් දියුණු නොවන කසාදයක් වෙනුවෙන් ගැහැණියක හෝ මිනිසෙකු තෝරා ගන්නා උපක්‍රමයන්ය. නුවරුන් දිලුම් අමුණුගමගේ ද කොළඹුන් දුමින්ද සිල්වාගේ ද දකුණේ මිනිසුන් අනර්කලීගේ ද කුරුණෑගලුන් ජොහින් ප්‍රනාන්දුගේ ද රූපයට ද කඩවසම් බවට ද ඡන්දය දුන්නේ ය. දෙමින් සිටින්නේ ය. තවදුරටත් එසේ කරන්නේ ය. එස් බී නාවින්න හා කෙහෙළිය රඹුක්වැල්ල ඡන්දය දිනුවේ ගේමට ගේම චන්ඩින් නිසාය. ගාමිණි ලොකුගේ ද එසේමය. විමල් වීරවංශ කටහැකර කම හා ජාතිවාදී චින්තනය නිසා ඡන්දය දිණුවේ ය. තව ද ඔබ දන්නා උදාහරණ ගලපාගනු වටියි. 

දැන් අප උතුර වෙත අවධානය යොමු කරමු. උතුර යනු දෙමළ ජනතාවගේ බහුතරයකින් යුක්ත වූ පළාත බව කියා සිටිය යුතු නොවේ. එසේම, වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති වැල්විටිතුරෙයි දී ඉපදුණු ප්‍රශ්න විසදාගැනීම වෙනුවෙන් ලොව පවත්නා නොදියුණු ම ක්‍රමය අනුගමනය කළ මිනිසා උපත ලබන්නට ද පෙර සිටම දේශපාලන අවශ්‍යතාවක් සහිත මිනිසුන් ජීවත් වූ පළාතයි. 1948 දී ඩොමීනියන් නිදහස ලබනා විට ද 1956 දී දෙවන ධර්මපාල (බණ්ඩාරණායක) විසින් සිංහල බෞද්ධ ඒකමතය සමාජගත කරන මොහොක වන විට ද 1965 වන විට ද 1970 සමගි පොරමුණු ආණ්ඩුව බිහි වන විට ද 1974 දී ජාති මූල විශ්වවිද්‍යාල ප්‍රවේශ ගැටළුව මතුවන විට ද 77 දී විවෘත ආර්ථිකය පරාරෝපණය වන විට ද 83 දී දෙමළා ගිනි තබා විනාශ කිරීමට යත්න දරණ විට ද 88-90 බලය බෙදීම අවශ්‍ය නැතැයි කැරළි ගසන විට ද 94 දී සියලු මිනිසුන්ගේ ගැලවුම්කාරිය බිහිවන විට ද 2001 දී සංවාදශීලී දියුණු ගැටුම්නිරාකරණ විධික්‍රමයන් පිළිබද විශ්වාස කළ එජාප ආණ්ඩුව බිහි වන විට ද 2005 දී සිංහල සංධාන ආණ්ඩුව බිහි වන විට ද 2008 දී යුද්ධය අවසන් වන විට ද 2010 දී දෙවන සපුමල් කුමාරයා (ෆොන්සේකා) සිරගත කරන විට ද 2010-2013 දක්වා සියලු ත්‍රස්තවාදීන් දේශපාලන නායකයින් වී ත්‍රස්තවාදී සටන පාවා දෙන විට දී ද සිංහලයාට සිංහල ආණ්ඩුව කොකා පෙන්වන විට දී ද දෙමළ සමාජයේ මූලික ගැටළු තවමත් ශේෂ වී තිබේ. එහෙයින්, දේශපාලනය යනු උතුරට - දකුණට මෙන් විහිළුවක් - ජෝක් එකක් හෝ උත්ප්‍රාසය මුසු ආතල් කාරණාවක් පමණක් නොවේ. ඔවුහු සැබෑ දේශපාලන අවශ්‍යතාවයකින් පෙලෙයි. අධ්‍යාපනය ද ආරක්ෂාව ද ආගම ද සෞඛ්‍යය ද සනීපාරක්ෂාව ද ප්‍රවාහනය ද නිදහස ද අයිතිවාසිකම් ද යහපාලනය ද ආදී සියල්ල රදා පවතින්නේ දේශපාලනය මතයි. එනම්, 1960 තරම් කාලය වන විට සියලු කළු දකුණු අප්‍රිකානුවන්ට අවශ්‍යය තිබූ දේශපාලන අවශ්‍යතාවන් 1930 සිටම පැවතී ක්‍රමයෙන් වැඩි වී 2013 දී උච්චතම තැනකට පැමිණ තිබේ. එහෙයින්, උතුරේ වැසියන් දේශපාලනය පිළිබද උනන්දු කොට්ඨාශයක්ව සිටියි.

උතුරේ ජනතාව විසින් ඉල්ලා සිටින්නේ මොනවා ද කියන කාරණය යම් දුරකට අප කියවා ගත යුතුය. එනම් යටකී පරිදි සියල්ල තීරණය වන අධ්‍යාපනය ද ආරක්ෂාව ද ආගම ද සෞඛ්‍යය ද සනීපාරක්ෂාව ද ප්‍රවාහනය ද නිදහස ද අයිතිවාසිකම් ද යහපාලනය ද ආදී සියල්ල දේශපාලනය මත රදා පවතියි. එහෙයින්, ඔවුහු සොයන්නේ ද දේශපාලනඥයින් මිස අනෙකෙකු නොවේ. ව්‍යඹට දකුණට සබරගමුවට හෝ මධ්‍යමට නළුවන් නිළියන් හෝ චණ්ඩින් ඔට්ටු වුන ද උතුරට ඔවුන්ගේ වලංගුතාවක් නොමැත. ඔවුන් සොයන්නේ 1977 දී පළමු අදියර ලෙස ද 2005 දී සම්පූර්ණ වශයෙන් ද දකුණේ දේශපාලනයෙන් ප්‍රවේශය අහිමි වී ගිය රාජතාන්ත්‍රික දේශපාලනඥයින්ය. තවදුරටත් කේ.පී. යනු දකුණට පොරක් වුව ද උතුරට පොරක් නොවන්නේ කේ.පී. යනු රාජතාන්ත්‍රික දේශපාලන චරිතයක් නොවන නිසාය. කේ.පී. ව්‍යඹට හෝ මධ්‍යයමට දමා ඡන්දය දිනා ගැනීම ගැන විශ්වාස කළ හැකි වුව ද කේ.පී. යනු උතුරේ දී දේශපාලන විසදුමක් වෙනුවෙන් ක්‍රියාමාර්ග තේරීමට අසමත් වන අවලංගු චරිතයකි.

යටකී තත්ත්වයන් තුළ උතුරට තරග කරන දේශපාලන පක්ෂයන්ට ද උතුරේ දේශපාලන අවශ්‍යතාවට සරිලන අපේක්ෂකයින් ස්ථානගත කිරීමට සිදුව තිබේ. සී. වී. විග්නේෂ්වරන් යනු ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පසු මෙරට බිහිවන රාජතාන්ත්‍රික දෙමළ දේශපාලනඥයා බැව් අවිවාදිතව පිළිගැනීමට අනාගතයේ දිනක අපට සිදු වනු ඇත. එනම්, විග්නේෂ්වරන් යනු විශ්වීය චින්තනයක් සහිත මිනිසෙක් වන නිසාය. අප අමතක කළ නොයුතු කාරණයක් නම් 1942 දී නිදහස් අධ්‍යාපනය හදුන්වා දුන් කන්නංගර ද 1945 දී ඡන්දය පැරදුණු බවයි. එනම්, දකුණට හෝ සිංහල සමාජයට රාජතාන්ත්‍රිකයින් නොරුස්සනා බවට හොද උදාහරණයක් එය සපයයි. මිලින්ද මොරගොඩ පරද්දවා විමල් වීරවංශ ද රෝහිත බෝගොල්ලාගම පරදවා ගාමිණි ලොකුගේ දිනවන්නේ ද රනිල් වික්‍රමසිංහ පරදවා මහින්ද රාජපක්ෂ දිවන්නේ ද ඒ බව තවදුරටත් සනාථ කරමිණි. යළිත් උතුරට හැරුණහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතීන් මගින් තමන්ට පුරවැසියන් ලෙස හිමි විය යුතු දේ පිළිබද දෙමළ ජනතාව හොද දැනුම්වත් භාවයක් දක්වයි. ඔවුහු ඒවා ඉල්ලා සිටියි. සිංහල ජනතාව ඒවා නොදනියි. සිංහලයා දන්නේ බොදු බල සේනාව, සිංහල රාජය හෝ ස්වාධීන රූපවාහිනීය විසින් ගුලි කර දෙන තාවකාලික දේශපාලන ආතල් එකක් සූප්පු කිරීමට පමණි. හලාල් වෙනුවෙන් මරාගෙන මැරුණු ඔවුන් හට දැන් හලාල් අමතක වී ගොස් ගව ඝාතනය එතැනට පැමිණ තිබෙන්නේ එහෙයිණි. (තමවත් හලාල් ලාංඡනය සහිතවම වෙළදපොලේ ඇත.) 

උතුරේ මිනිසුන් අමුතු දේශපාලනයක් දැන ගැනීමට හේතුව කවරේ ද යන්න සොයා බැලීම උතුර නොවන අනෙකා නියෝජනය කරන්නෙක් ලෙස පැවරෙණ වගකීමක් හා කුකුසක් මතු කරන්නකි. මා පෞද්ගලිකවම එම්. ඒ. සුමන්තිරම් හා සී. වී. විග්නේෂ්වරන් යන පිළිවෙලින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා හා උතුරේ ප්‍රධාන අමාත්‍යධුර අපෙක්ෂකයා සමග කතා කළෙමි. උතුරේ දේශපාලන පක්ෂ - දේශපාලන පක්ෂයක් විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබදව දැනුම්වත් වී සිටියි. පළමුව ඔවුන් කියා සිටින්නේ දෙමළ සමාජයේ අවශ්‍යාතාවන් පිළිබදව තමන්ගේ සාමාජිකයින් හොදින් අධ්‍යයනය කරන බවයි. එනම්, දූරදක්නා අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරයි. ඒ අනුව යමින් ඔවුන් විසිරී ඇති දේශපාලන ඥානයන් හා මතයන් ඒකරාශී කරමින් විධිමත් දේශපාලන වටිනාකමක් සහිතව ඒ අවශ්‍යතා සකස් කරයි. ඉනික්බිති උතුරේ ජනතාව පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරයි. ඉනික්බිති සමාජයේ මෙලෙස ගොඩනැගෙන බලය දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීමේ අධිකාරී බලයක් බවට පත් කරයි. මේ සියල්ල වෙනුවෙන් අවශ්‍ය කරන ඡන්දදායකයා දේශපාලනය පිළිබද දැනුවත් කිරීමේ කුදු මහත් සියලු කටයුතු සිදු කරමින් සිටියි. ශාඛා සමිති, ආසන බලමණ්ඩල හෝ දිස්‍ත්‍රික් සභා යනු කඩේ යාමට උගන්වන තැනක් වෙනුවට දේශපාලනිකව සිතීමට උගන්වන තැනක් බවට පත් කරගෙන ඇත. 

උතුර ඡන්දයට එන්නේ මේ සන්නද්ධ විඥානයක් සහිතය. විමල් වීරවංශ විසින් මෙසේ අසා සිටියි, 'විග්නේෂ්වරන් අද ඡන්දෙ ඉල්ලනවනම් - එයා අධිකරණයේ ඉන්නකොට දුන්නු තීන්දු ගැන අපිට සැකයි'. බහුතර දකුණ 'ඇත්ත තමයි' යැයි ගිලගන්නා විට, 'එසේ නම්, ජනාධිපති උපදේශක මොහාන් පීරිස් අගවිනිසුරු වූ විට ද හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා ජනාධිපති නීති උපදේශක වන විට ද එම තර්කය වලංගු නොවන්නේ ද'යි අසා සිටියි. බහුතර දකුණේ හුරේ දැමිල්ලට විමල් වීරවංශලා දකුණේ දී චූන් වුව ද උතුරේ දී කෙරෙන මේ ප්‍රශ්න කිරීම් හරහා නිඩහ වීම හෝ එහේ නොගොසින් සිටීම හැර වෙනකක් ශේෂ නොවේ. 

චෙල්වනායගම් සැම විටම ප්‍රභාකරන් 'නුසුදුසු නළුවෙක්' බව විශ්වාස කළේය. ඒ අනුව ගිය අමිර්තලිංගම් ද එසේම ය. අද වන විට විග්නේෂ්වරන් ද ප්‍රභාකරන් යනු වැරදි දේ තේරූ දුශ්ප්‍රාඥයකු බව කියයි. නමුත්, වැඩේ ගොඩ දමා ගනු ඇත්තේ ප්‍රභාකරන් නමැති සුදුසු හා සාර්ථක නළුවෙක් විසින් යැයි විශ්වාස කළ රෙජීමය ඔහු ඝාතනය කොට ප්‍රශ්නය ඉවර කිරීමට සිතා ගත්තේය. ඒ තම තම නැණ පමණය. මන්දයත් රෙජීමය ද ප්‍රභාකරන්ගේම වෙනත් ආකාරයේ පිටපතක් වූ හෙයිණි. නමුත්, රාජතාන්ත්‍රිකභාවය තුළ ප්‍රශ්න කිරීමට හෝ විසදා ගැනීමට තවමත් ප්‍රශ්නය ඉතිරී වී තිබේ. ප්‍රභාකරන් නිහඩ වූව ද උතුර තවමත් කතා කරමින් සිටින්නේ ප්‍රභාකරන් යනු එක දෙමළෙක් මිස දෙමළ සමස්තය නොවන බව ද ප්‍රභාකරන් යනු ප්‍රශ්නයක් විසදා ගැනීමට ආ අයෙක් මිස ප්‍රශ්න සමූහය විසදා ගැනීමට පැමිණි අයෙක් නොවන බව කියා සිටිමිණි. එනම්, දෙමළාට හෝ සිංහලයා විසදා ගැනීමට ප්‍රශ්නයක් නැත. ඇත්තේ, පුරවැසියාට හා පාලකයාට විසදාගැනීමට ප්‍රශ්නයක් පමණි. ඒ ප්‍රශ්නය විසදා ගැනීමට දෙමළ කතා කරන මිනිසුන් නොබියව හා උද්‍යෝගයෙන් කටයුතු කරයි. දකුණ හෙවත් සිංහල කතා කරන ජනතාව චූන් වීමකින් ප්‍රශ්න අමතක කරයි.

ලියුම්කරුවාට වැටහෙන පරිදි, උතුරේ දේශපාලනය සහ දකුණේ දේශපාලනය හෙවත් සිංහලයාට නොදත් දෙමළ දත් අමුතු දේශපාලනය නම් මෙයයි.

සැ.යු. - දියුණු මිනිසුන්ගේ සංවාදයට විවෘතයි.

No comments: