Saturday, July 20, 2013

සංජීව පුෂ්පකුමාරගේ ‘ඉඟිලෙන මාළුවෝ’ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඇයි?

 අද වන විට කොරියාවේ සිට සිනමාකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන විද්‍යාර්ථිකයකු ද ඉගැන්වීම්කරුවකු ද වන සංජීව පුෂ්පකුමාර යනු බිහිසුණු යුද්ධයේ ඛේදනීයභාවය සිය ඇට ලේ මස් නහර වලින් සංවේදනය කරනු ලැබූ ඇසින් කණින් ඇසූ දුටු හා මුවින් විලාප දී පිට කිරීමට යත්න දැරූ මිනිසෙකි. එනම්, වායුසමීකරණ පරිසරයේ හැදී වැඩුණු ජාතික වීරයින් විසින් අභියෝග කරමින් සිටින සංජීව පුෂ්පකුමාර යනු දහවල හමුදාව සමඟ ද රාත‍්‍රිය කොටියා සමඟ ද ජීවත් වූ ද්වීපාර්ශවීය අනාරක්ෂිත ඉතිහාසයක් ඇති පුරවැසියෙකි. එහෙයින් යුද්ධය පිළිබඳ යථාර්තවාදී සංවාදයක් ඇති කිරීමට හෝ වාර්තා චිත‍්‍රපටයක් කිරීමට වුව ද පමණ ඉක්මවා ගිය පවා අයිතියක් හා සුදුසුකමක් ඇත. කුරුණෑගල සිටි හුළුගල්ලට හෝ පරණ යකඩ ගොඩවල් සමඟ ඔට්ටු වෙමින් සිටි රදලියගොඩට හෝ වෙනකෙකුට යුද්ධය පිළිබඳ ඇති සංවේදනීය අත්දැකීම් අභිබවූ අත්දැකීම්, නෙත්දැකීම් හා කණවැටීම් කන්දරාවක් සංජීව හිමිකරගෙන සිටින්නේ ය. ඒ සංජීව යනු යුද්ධය ගැන කතා කිරීමට දක්වන සුදුසුකම පිළිබඳ මගේ අතිශය පටු විග‍්‍රහය යි.

මේ වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර විසින් 2010 තරම් වන කාලයේ දී කියා ඇති ප‍්‍රකාශයක් ද උපුටා දක්වමි.
‘ඒ කාලෙ මම හුජ්ජ කොල්ලෙක්. අපේ නැන්දගෙ මහත්තය හමුදාවේ ඉඳල මැරුණ. එතනින් පස්සෙ නැන්දගෙ ගෙදර ක‍්‍රමයෙන් කඩා වැටෙන්න පටන් ගත්ත. ඔය කියන කවුරුත් එක ටකරමක්වත් දෙන්න හිටියෙ නෑ. දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් නිල් කොට කළිසම පිටින් නැන්දලාගෙ ගෙදර යනකොට, යුනිෆෝම් එකක් ඇඳගත්ත හමුදාකාරයෙක් නැන්දගෙගේ ඇතුළෙ ඉඳල එළියට එනව. ඒක මුල් කාලෙ බලහත්කාරයක්. පස්සෙ කාලෙක නැන්දගෙ පීඩනය පිට කරගන්න පාවිච්චි කරපු උපක‍්‍රමයක්. මේ මම දැකපු එකක් විතරයි. ඒ ඔක්කොම ඔළුවෙ තියාගෙනයි මම කොළඹට එන්නෙ.’ 
                                (ඉරාන මූලික ස්ත‍්‍රීවාදී චිත‍්‍රපට කිහිපයක් පිළිබඳ විග‍්‍රහයක දී ශ‍්‍රී පාලි මණ්ඩපයේ දී ය.)

තවදුරටත් පුළුල්ව සලකා බලන්නේ නම්, සිනමාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයකුට ‘සඳගමන’ පිළිබඳ චිත‍්‍රපටයක් කිරීමට නම් සඳ තරණය කර තිබීම අත්‍යාවශ්‍යය හෝ අවශ්‍යය කාරණයක් නොවේ. සඳ තරණය පිළිබඳ සිනමාකරුවාගේ මනෝමූලික නිර්මිතයන් සමූදායක් කේන්ද්‍ර කරගනිමින් මේ දේ කළ හැකිය. ඒ අර්ථයෙන් ගත් කළ සංජීව පුෂ්පකුමාර කන්තලේ ඉපදුණු එකෙකු වීම යනු යුද්ධය ගැන කතා කිරීමට අතිරේඛ වාසියක් මිස කිසිඳු අවශ්‍යතාමූලික සම්බන්ධයක් නොමැති කරුණකි. කන්තලේ හෝ අනුරාධපුරයේ සියනෑවේ හෝ මාගම්පුර වන  ඕනෑම ස්වදේශිකයකුට යුද්ධය පිළිබඳ කතා කිරීමට තරම් අයිතියක් හා උවමනාවක් ඇත. එනම්, මේ සියලූ වැසියන් ප‍්‍රත්‍යන්තභාවය ද ජාතිය ද ආගම ද කුලය ද යනා දී සියල්ල අභිබවමින් යුද්ධයේ පහස අඩු වැඩි වශයෙන් විඳ සිටීම නිසාය.

ආචාර්ය සෝමරත්න දිසානායක සිරි පැරකුම් ලියන්නේ පරාක‍්‍රමභාහු රාජ්‍යය කාලයේ ජීවත්වීමෙන් ලද අත්දැකීමෙන් නොව. එසේ වන්නට ඇතැයි, ආචාර්ය දිසානායකයන් විශ්වාස කළ නිසාය. පණ්ඩිත් ජැක්සන් ඇන්තනි අබා ලිව්වේ ද ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු ලිව්වේ ද සිද්ධාර්ථ ගෞතම රචකයා එය ලියන්නේ ද එසේම ය. එනම්, එක් පැත්තකින් සලකා බලන විට සංජීව පුෂ්පකුමාර යනු ආචාර්ය දිසානායකට ද පණ්ඩිත් ඇන්තනීට ද ජයන්තට ද ගෞතම රචකයාට ද වඩා මනෝමූලිකත්වය දෙවැනි කොට තබා සිය වස්තු විෂය පිළිබඳ පුද්ගලික විඥානයෙන් දෙයක් ලිවීමට හිමිකමක් ඇති රචකයෙකි.

කිසිවෙක් සංජීව පුෂ්පකුමාර ලියා ඇත්තේ හෝ පෙන්වා ඇත්තේ අසත්‍යය යැයි කියා සිටින්නේ නම්, යටකී සෙසු නිර්මාණ වල ඇති සත්‍යභාවයේ වලංගුතාවය කුමක් ද. කවදුරටත් පොදු සමාජ යථාර්ථය හා සිනමාවේ ඇති දේ ප‍්‍රශ්න නොකරන්නේ සිනමාව යනු යථාර්ථවාදී සත්‍යය වාර්තා කළ යුතු මාධ්‍යයක් නොවන හෙයිනි. යථාර්ථවාදී සත්‍යය වාර්තා කිරීම හෝ නිරූපණය සිනමාවක් නොව, එය තවදුරටත් ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ කැටගරීන්ට අයත් වන්නා වූ දේ ය.

ස්ටීවන් ස්පිල්බර්ග් නම් ලෝකයට සාපේක්ෂව අග‍්‍රගණ්‍යය සිනමාකරුවා (ලෝකයට සාපේක්ෂ යැයි කියා සිටින්නේ, මෙරට ඇතැම් ගුරුකුලයන්ට අනුව ඔහු පොරක් නොවිය හැකි නිසාය) කියා සිටින පරිදි, ‘චිත‍්‍රපටයක් හරහා අප පිවිසෙන්නේ සිහිනයකට ය. සිනමාව රස විඳීමට පෙර ශාලාව අඳුරු කිරීමෙන් පසු අප විසින් සාමූහිකව ද හුදෙකළාවම ද මෙම සිහිනයේ නිමග්න වෙයි. එනම් සිනමාව යනු යථාර්ථය විය හැකි හෝ විය නොහැකි සිහිනයකි. එයට අප කැමති වනවා හෝ කැමති නොවනවා ද විය හැකිය. සිහිනයක් තුළ කැමති මෙන්ම නොකමැති චරිත ද විය හැකිය.’ සංජීව පුෂ්පකුමාරගේ ඉඟිලෙන මාළුවෝ පිළිබඳව ද කියා සිටිය හැක්කේ එයම නොවේ ද. ඉඟිලෙන මාළුවෝ සිනමා නිර්මාණය කෙරෙහි මා ද ඔබ ද අනෙකෙකු ද නොකමැති විය හැකිය. නමුත්, ඇතමෙක් කැමති විය හැකිය. කිසිවෙක් පවා නොකමැති වුව ද නිර්මාණයක් ලෙස (සිහිනයක් ලෙස* එය භුක්ති විඳීම වැලැක්වීමට කිසිවෙකුට අයිතියක් නැත. එනම්, චිත‍්‍රපට යනුවෙන් හඳුන්වන මාධ්‍යයේ නිර්මිත ස්වභාවයම එය වන හෙයිනි.

තව ද පැහැදිලි කරන්නේ නම්,  ඕනෑම වර්ගයක හොඳ හෝ ශිෂ්ඨ මිනිසුන්ගේ නරකක් හෝ අශිෂ්ඨභාවයන් ඇති බව අප දනිමු. අහස බැලූ බැල්මට නිල් පාට විය හැකිය. නමුත්, තවත් හොඳින් බලාගෙන යන විට නිල් අහසේ නිල් නොවන සුදු කළු හෝ වෙනත් වර්ණයන් දැක්ක හැකිය. ඇතමෙකුට අහස නිල් පැහැයැයි කිීමට කළාකෘතීන් ඉදිරිපත් කළ හැකිය. නමුත්, තවත් අයෙකුට අහස නිල් නොවන වර්ණයන්ගෙන් ද යුක්ත බැව් කීමෙ ඇති හැකියාව හෝ අයිතිය ඉන් උදුරා ගත නොයුත්තේ ය. එය සාදාචාර සම්පන්න වන්නේ හෝ යුක්තිසහගත වන්නේ හෝ නොවේ. මේ තත්ත්වය ලංකාවේ හෝ ලෝකයේ කුමන හෝ යුද්ධයක් සම්බන්ධයෙන් ද වලංගු වේ. යුද්ධය මානුෂීය විය හැකිය. නමුත්, තවදුරටත් විමසන කල්හි දක්නා හැකි මානුෂීය යුද්ධයේ අමානූෂීය හෝ මානුෂීය නොවන දේ තිබිය හැකි බවත් එය පෙන්වා සිටීමට හෝ කියා සිටීමට අනෙකාට ඇති අයිතිය ද තහවුරු කළ යුතුය. එනම්, යුධ සිනමාව හෝ පශ්චාත් යුධ සිනමාව යනු ගාමණි හෝ ඉනි අවන් පමණක් නොව ඉඟිලෙන මාළුවෝ හා සුළඟ එනු පිණිස ද වන බව කියා සිටීමේ ඇති අයිතිය කවර හෝ නිර්මාණකරුවකුට හෝ පුද්ගලයකුට තිබිය යුතුය.

ලෝකයේ අනෙක් රටවල් හෝ විශේෂයෙන් ම දියුණු ලිබරල් රාජ්‍යයන් විසින් නිර්මාණ සම්බන්ධයෙන් දක්වන ආකල්පය හා නොදියුණු හෝ ගෝත‍්‍රමූලික සංකල්පයන්ගේ යුතු වන රටවල් විසින් නිර්මාණ සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරයක් කවරක් ද. සල්මන් රුෂ්ඩි විසින් ඉස්ලාමීය සමාජය අභියෝගයට ලක් කරමින් 80 දශකයේ අග භාගයේ කෘතියක් රචනා කරයි. රුෂ්ඩි ඉස්ලාමීය සමාජයෙන් නෙරපනු ලැබූ චරිතයක් බවට පත් කරයි. එයට හේතු වූයේ ද කළා කෘතියක් යනු කවරක්දැයි මැදිහත් සිතින් වටහා ගැනීමට එම සමාජය අසමත් වූ නිසාය. එසේ වුව ද අද තවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිනමා නිර්මාණ හරහා අභියෝගයට ලක් වෙමින් සිටියි. සිනමාවෙන් වියුක්තව ගත් කළ පොදු කළා කෘතීන් තුළ ද එසේම ය. අමෙරිකාව, එංගලන්තය හෝ ප‍්‍රංශය වැනි රටවල් මනෝභාව අතින් දියුණු වන්නේ එම නිසාය. එසේ වුව ද, තම පියා අතින් දූෂණය වන දරුවන් බහුල වන දේශීය සමාජය අශෝක හඳගමගේ ‘අක්ෂරය’ වෙත විලංගු දැමුවේ ය. යුධ කතාවක් යනු බණ කතාවක් තරම් පෙර පර සිද්ධීන් සොඳුරු හා ශාන්ත විය යුතු යැයි විශ්වාස කළ දේශීය ඉතිහාසය විසින් ‘සුළඟ එනු පිණිස’ තහනම් කරමින් ‘ගාමණී’ අනුමත කළේ ය.

අද වන විට මෙරට තුළ දී පුම්බනු ලැබූ හා ගොඩනගණු ලැබූ රණවිරුවාගේ ප‍්‍රතිරූපය නිර්මාණයක් හරහා හෝ අභියෝග කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. ගයනවානම් ගුණ ගායනාවක්ම පමණක් මිස නුගුණ හුවා දැක්විය හැකි නොවේ. නුගුණ පමණක් නොව සත්‍යය ද ගායනා කළ නොහැකිව තිබේ. නමුත්, එලෙස නිර්මිත ප‍්‍රතිරූපයට වහං වී  ඕනෑම ජඩ වැඩක් කිරීමට තරම් ආත්ම ශක්තියක්, ඒ සා විශාල පූජනීයභාවයක් ආරූඪ කර දී ඇති රණවිරුවාට හැකියාව ඇත. නිදසුන් ලෙස කියන්නේ නම්, වාස් ගුණවර්ධන නම් මීළඟට පොලිස්පති වීමේ පෝලිමේ සිටි තැනැත්තා කුලී ඝාතකයෙකි. විශේෂ කාර්ය බලකාය විසින් සරසවි ප‍්‍රවේශ ලැබූ සිසුන් මරා දමති. ජනාධිපති ආරක්ෂකයෝ නිධන් හාරති. ප‍්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් ඇති කළාකරුවන්ගේ කොණ්ඩා මුඩු කොට හිරේ යති. පාරේ යකා නටති. මෙය නම් මුග්ධභාවයක් නොවන්නේ ද. මෙය අනාවරණ කිරීමේ ඇති වරද කිම.

මේ සමඟම නැගෙන තර්කය නම් ‘හැමෝම එසේ නොවන තත්ත්වයක් තුළ එවැනි දේ හැමෝටම අදාල කිරීම වැරදි’ යන්යයි. ඔව්. එය සම්පූර්ණයෙන්ම සත්‍යයයි. සංජීව පුෂ්පකුමාරගේ ඉඟිලෙන මාළුවෝ යනු යුද්ධ හෝ වෙනත් වස්තු විෂයක් කේන්ද්‍රකරගත් විෂය පථයේ සමස්ථය නොවේ. එය නියැදි ප‍්‍රකාශනයක් පමණි. වාස් ගුණවර්ධන යනු එකෙක් පමණි. සංජීවගේ චිත‍්‍රපටයේ එක් දර්ශනයක් යනු ද කෝටියක් සිද්ධීන් ද ප‍්‍රකෝටියක් සිද්ධීන් ද අතරේ තවත් එකක් පමණි. එය එකක් පමණක් ලෙස වටහා නොගැනීම නම් ඛේදවාචකයකි. එය එසේ තේරුම් නොගන්නේ සමස්තය මෙය බව ඔවුන් දන්නා නිසා හෝ දක්නා නිසා දැයි විටෙක ගැටළුවක් ලෙස මතු වෙයි.

සංජීව පුෂ්පකුමාරගේ ‘ෆිල්ම් එකට ගේමක්’ දෙන්නට මැදිහත්ව සිටින්නෝ කවරහු ද. එනම්, අධිකරණය විසින් වරෙන්තු නිකුත් කොට අධිකරණය මඟහරිමින් සිටින තැනැත්තෙකි. ඔහු වරද කිරීම සංජීවට වරදක් කිරීමට කිසි සේත්ම හේතුවක් නොවන බව සෑබෑය. නමුත්, වඩා බරපතල වන්නේ කුමක් ද. වරේන්තුකරුවකු පවා අත්අඩංගුවට නොගන්නා පූර්වාදර්ශයක් ලෝකයට සපයන රටකට එතැනින් එහා කීර්තිනාමය සම්බන්ධයෙන් පෙනී සිටීමට ඇති යුක්තිසහගත හෝ විලිලජ්ජාසහගත අයිතිය කුමක් ද. පළමු වරදකරුවා පළමුව එල්ලීය යුතුය. එසේ නම්, පළමුව රාජ්‍ය දේපල සොරාගන්නා ලැබූ බවට චෝදනා ලැබ වරෙන්තු වී සිටින රාජ්‍ය මාධ්‍යය ආයතනයක ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කොට, දෙවැනි වරදකරුවා කෙරෙහි දෙවනුව අවධානය යොමු කළ යුතුය.

ඇත්ත ජීවිත පවා විනයවත් කර ගැනීමට නොහැකි වූ රෙජීමයක් සිහින (චිත‍්‍රපට) විනයවත් කරන්නට යාම තරම් විහිළුවක් තවත් නැත. පළමුව, මිනී මරණ, ස්ත‍්‍රී දූෂණය කරන, පැහැර ගන්නා, කපා කොටා දමනා, පිහියෙන් අණිනා, දණ ගස්වන, ගස් බඳිනා, උසාවිය මඟහරින යනාදී වූ කෝටියක් තරම් වන ඇත්ත ජීවිතයේ අවිනයවත් දේ විනයවත් කළ යුතුය. සිහින වෙත අත ගැසිය යුත්තේ දෙවනුවයි. වාස් කප්පම් ගත් බව හෙළි කිරීම වැලකීම වෙනුවට වාස් කප්පම් ගත්තේ දැයි සොයා වාස්ට දඩුවම් දෙන්න. බන්ධනාගාරයේ සිටින සන්ධාන මන්ත‍්‍රීවරුන් කෙරෙහි නීතිය ක‍්‍රියාත්මක කරන්න. ලේබල් කොටින් පසුපස හඹා යාම නවතා, ඇත්ත වශයෙන්ම කොටි සංවිධානයේ හෘදය ක‍්‍රියාකාරීන් වූ කරුණා ද කේ. පී. ද තමලනී ද පිල්ලෙයාන් ද දයා මාස්ටර් ද විසින් කරනු ලැබ ඇති අපරාධ වෙනුවෙන් නඩු අසා දඩුවම් දෙන්න. අනෙකා වෙත ඇඟිල්ල දිගු කිරීමට පෙර ඔබේ අතේ ඇති ලේ වසා ගැනීම වෙනුවට පිරිසිදු කිරෙන් සෝදා හරින්න. කෙහෙළිය ලවා අපුල්ලා නොව, අධිකරණය ලවා නඩු අස්සවා සාධාරණය ඉටු කරන්න. දෙවනුව අප සිනමාවේ දේ ගැන කතා කරමු.


සිනමා නිර්මාණය යනු ස්පිල්බර්ග්ට අනුව ‘සිහිනයක්’ වුව ද විචාරය කිරීමේ කාර්යය යනු සිනමා නිර්මාණය කිසි ලෙසකින්වත් රස නොවිඳ හිත ලූ දෙඩවිය හැකි කාර්යයක් නොවේ. එකඟ වීමට හෝ නොවීමට පළමුව එය රස විඳිය යුතුය. ඉඟිලෙන මාළුවෝ ට එරෙහිව පෙළපාලි යන මහින්ද කහඳගම හෝ ඔහුගේ පේමන්ට් කාඩර්වරුන් විසින් ඉඟිලෙන මාළුවෝ නරඹා ඇති ද. අවම වශයෙන් පිටපතවත් කියවා ඇති ද. එය කළු ද සුදු ද යන්නවත් හඳුනයි ද. පළමුව, කොහේ හෝ සිට මේ චිත‍්‍රපටය නැරඹිය යුතුය. දෙවනුව, එකී දර්ශනයක් නැරඹීම හරහා පුරුෂ ලිංගය උත්කර්ෂණය කර ගැනීමේ අභිලාෂය අභිබවමින් එහි ඇති ගැඹුර කියවිය යුතුය. එසේ නොවන තැනක සිට රුපියල් පන්සියයක කොමිස් මුදලකට පෙළපාලි යාමේ න්‍යාය දැන් දැන් ගොන් පාර්ට් එකක් පමණක් බව රට දන්නා බව සියලූ මහින්දලා (කහඳගම ද රාජපක්ෂ ද අබේසුන්දර ද ඉලේපෙරුම ද) තේරුම් ගත යුතුය.


නීතීඥවරයෙකු ද හතළිස් වසකර දේශපාලන අත්දැකීම් ඇති වයෝවෘද්ධභාවයෙන් දේශපාලනය දන්නා ද සංවේදී පුරවැසියකු ද වන රෙජීමයේ මුලසුන වෙත අතිරේක වශයෙන් මෙලෙස සිහි කරමි. වොල්ටයාර් යන දාර්ශනිකයා විසින් මෙසේ කියා ඇත. ‘මා ඔබ කියා සිටින දේ සමඟ කිසිසේත් එකඟ නොවූව ද ඔබට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මා දිවිහිමියෙන් පෙනී සිටිමි.’ වෝලටයාර් විසින් වසර පන්සියයකට පෙර කියා දුන් දේශපාලන ප‍්‍රජාතාන්ත‍්‍රවාදය හෝ දියුණු යැයි පුරසාරම් දොඩවනා රට තුළ ගොඩ නැගීමට ඔබ ද ඔබගේ රෙජීමය ද අසමත්ව ඇත. එනම්, ලෝකයට සාපේක්ෂව මානව හිමිකම් හා මානුෂීය ගුණාංගයන් අතින් අප රට තිබෙන්නේ වසර පන්සියයකටත් පසු පසිණි. එක්සත් ජාතීන් හෝ මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් හෝ පණවා ඇති ප‍්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමට ඔබ අසමත්ව ඇති බව දැන් දැන්වත් පිළිගත යුතු නොවේ ද.

‘කිසිම කෙනෙකු විචාරාත්මක හඩක් නොනගන විට මිනිස්සු නරකට හැසිරෙති’ යැයි මාර්තා නස්බෝම් නම් ලේඛිකාව (ලියනගේ අමරකීර්ති පරිවර්තනය - කළාව කුමට ද) ලියා සිටියි. එනම්, මෙය සංජීවට අදාලව ද රෙජීමයට අදාලව ද යන දෙපැත්තටම වලංගු වේ. එම කෘතියේ දී ම මාර්තා පවසන්නේ ‘තමන්ගේ බලයට යටත් පුද්ගලයින් නිර්මාණුශීකරණය කළ විට හා නිර්පුද්ගලකරණය කළ විට මිනිස්සු නරකට හැසිරෙති’ යනුවෙනි. දැන් රෙජීමයට සාපේක්ෂව සිදු වී ඇත්තේ ද එයයි. රෙජීමය විසින් රෙජීමවාදී කරනු ලැබ ඇති මිනිසුන් නිර්මාණුශීකරණය කරමින්, ඒකමතයක් අනුව හැසිරීමට පොළඹවා ඇත. එහෙයින්, රෙජීමවාදීහු නිර්මානුෂිකව හැසිරෙති. එසේම, පුද්ගල අනන්‍යතාවන් හා වටිනාකම් විනාශ කොට රෙජීමවාදීන් බවට පත් කොට ඇත. එවිට මිනිස්සු රෙජීමය වෙනුවෙන් මිස වටිනාකම් වෙනුවෙන් නොවන තත්ත්වයක හැසිරෙති. එහෙයින් දැන් දැන් දක්නට ඇති බහුතරයක් වන ශ‍්‍රී ලාංකීය පුරවැසියා යනු පරීක්ෂාවට ලක් නොකිරීමෙන් කවුරුන් හෝ අනුව හැසිරෙන අයෙකු වී තිබේ. සොක‍්‍රටීස්ට අනුව, ‘පරීක්ෂාවට ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයකුට ජීවත්වීමට නොවටිනා තත්ත්වයකි.’ එහෙයින්, මේ රෙජීමවාදීන්ගේ හැසිරීම් යනු මනුෂ්‍යයකුට තරම් නොවනා හෝ නොවැදගත් හැසිරීමකි. රවීන්ද්‍රනාත් තාගෝර් ද කියා සිටින පරිදි ‘උගන්වන දේ ඉගෙන ගන්නා ශිෂ්‍යයා යනු මුග්ධයෙකි. ඔහුගෙන් ලෝකයට කුමන සෙතක් නම් වේ දැයි නොදනිමි’. එහෙයින්, සංජීව පුෂ්පකුමාර යනු ගුලිය කෑම හෙවත් ගිරා පෝතක පුරවැසිභාවය ඉක්මවා ගිය සොක‍්‍රටීසීය ආකෘතියේ හදාරන්නෙකි. වෙනත් අයුරකින් කියන්නේ නම්, තාගෝර් ආකෘතියේ ශිෂ්‍යයෙකි. ඉඟිලෙන මාළුවෝ තුළින් සංජීව පුෂ්පකුමාර විiමාන කරන්නේ තමන්ගේ දියුණු දැනුවත්භාවයේ අල්පයක් යැයි හැෙඟ්
.
එහෙයින් ද ක්ෂුද්‍ර සිනමාව කෙරෙහි ඇති ඇල්ම නිසා ද පුරවැසිභාවය යනු ආණ්ඩුවාදීභාවය නොව ගෝලීය චින්තනයක් සහිත ජාතිකත්වභාවය වන බව විශ්වාස කරන හෙයින් ද වරෙන්තුකාරයන් විසින් තවකෙක් වරෙන්තුකිරීමේ මුග්ධභාවයට නොනැමෙන හෙයින් ද නීතිය හා යහපාලනය කෙරෙහි දැඩිව විශ්වාසය තබන හෙයින් ද යුද්ධයක් යනු ස්මාරකයක් නොව ඛේදවාචකයක් බව හැෙඟනා නිසාවෙන් ද ප‍්‍රශ්න විසඳාගැනීමේ දී යුද්ධය යනු අතිශය ප‍්‍රාථමිකම ක‍්‍රමවේදය බැව් දන්නා හෙයින් ඒ වෙනුවෙන් දියුණු ක‍්‍රමෝපායන් උපයෝගී කර ගත යුතු බවට අදහන නිසා ද සංජීව යනු මගේ කවුරුත් නොව මම සංජීවගේ රසිකයෙක් පමණක් වන නිසා ද මම සංජීව පුෂ්පකුමාර වෙනුවෙන් නොව, මේ මොහොතේ ඉඟිලෙන මාළුවෝ හි ඉරණම විසඳීමේ කාර්යයේ දී ඉඟිලෙන මාළුවෝ වෙනුවෙන් පෙනී සිටිමි. එනම්, වක‍්‍රාර්ථයෙන් මම සංජීව පුෂ්පකුමාර හා ඉඟිලෙන මාළුවෝ යන පද්ධතීන් දෙක වෙනුවෙන් එක්ව ද වෙන් වෙන්ව ද පෙනී සිටිමි.

අමෙරිකානු ජනාධිපතිවරයා සිංගප්පූරුව පිළිබඳ කළ ප‍්‍රකාශයකින් මෙම ලියවිල්ල අවසන් කරමි. එනම් සිංගප්පූරුව විසින් කරමින් සිටින දේ හා ශ‍්‍රී ලාංකිකයා විසින් නොකරමින් සිටින දේය. තව ද සිංගප්පූරුව දියුණු වීමට හේතුව හා ශ‍්‍රී ලංකාව සිංහල ලියවිල්ලකදී හැර දියුණු නොවීමට හේතුවයි. ‘සිංගප්පූරුව අනවශ්‍ය දේ වෙනුවෙන් අඩු කාලයක් ගත කරයි. ප‍්‍රයෝජනවත් දේවල් වෙනුවෙන් වැඩි කාලයක් ගත කරයි.’ උගත් පාඩම් වැනි ප‍්‍රයෝජනවත් දේ ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් පවා අඩු කාලයක් හෝ නොයොදවන මෙම රෙජීමය, ප‍්‍රශ්නයක් විසඳීම වෙනුවට ප‍්‍රශ්නය යට ගැසීම යන අනවශ්‍ය දේ වෙනුවෙන් වැඩි කාලයක් ගත කරයි. ආණ්ඩුව පිළිතුරු දිය යුත්තේ, සිනමා නිර්මාණයේ ඇති දේ අසත්‍යය බව ප‍්‍රායෝගිකව ලෝකයට ඔප්පු කිරීමට සමත් වීමකින් පමණක් මිස, ඉඟිලෙන මාළුවෝ තහනම් කිරීමෙන් නොව. ගේට්ටුවලට අගුල් දමා ‘එව-බලව’ කීම නොව, දොරගුළු විවර කොට ‘එව-බලව’ යැයි කියන්න.

සැ. යු. අන්තර්ගතය සම්බන්ධයෙන් නම්, නැරඹු කෙනෙකු සමඟ පමණක් ද විෂය සම්බන්ධයෙන් නම් විෂය මූලිකව පමණක් ද සමාජ ආර්ථික දේශපාලන විග‍්‍රය සම්බන්ධයෙන් නම් පදනම් මූලිකව පමණක් ද වන ශාස්ත‍්‍රීය සංවාදයකට ‘පමණක්’ විවෘතය.

1 Click Here to Comment:

රනා said...

http://www.divaina.com/2013/07/22/feature03.html