Sunday, June 2, 2013

විපක්ෂය දියවීම(හෙවත් ආණ්ඩුව හා විපක්ෂය යන දෙකම එකක් වීම)

ජනතා නියෝජනයන් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් (ප්‍රජාතාන්ත්‍රවාදී) තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනුවෙන් වන පාර්ශව දෙකක් පවතින බව බැලූ බැල්මටම, ඕනෑම කෙනෙකුට දැක්ක හැකි දේ ය. මෙරට තුළ ද බැලූ බැල්මට එවන් තත්ත්වයක් දක්නට නොලැබෙන්නේ යැයි කාට නම් කිව හැකි ද. නමුත්, මෙරට තුළ මේ එක එකෙහි ක්‍රියාවලීන් ලෝක සම්මතයට සාපේක්ෂව කියවීමේ දී අර්බුදයකට ලක්ව ඇතැයි දක්නා ලැබේ. ලියුම්කරුවා එසේ කියා සිටින්නේ සහේතුක විචාරයක් සහිතවය.

ආණ්ඩුවක කාර්යය යනු රාජ්‍යයේ හවුල්කාරී සාධකයක් ලෙස රාජ්‍යය පාලනය කිරීමයි. එහිදී විපක්ෂය විසින් ඉටු කරමින් සිටින්නේ, ආණ්ඩුව විසින් ගනු ලබන යහපාලනයට හෝ ප්‍රජාතාන්ත්‍රවාදයට එරෙහි හෝ රටේ යහපැවැත්ම සම්බන්ධයෙන් අවධානම් සහගත තීන්දු ගන්නා විටදී ඒවාට එරෙහි වෙමින් ආණ්ඩුවේ දිශානතිය වෙනස් කිරීමේ කාර්යය බව සරල දේශපාලන විද්‍යා සංකල්පයයි. එසේම, රටක මීළග ආණ්ඩුව හෝ විකල්ප ආණ්ඩුව ලෙස සැලකෙන විපක්ෂය විසින් රටේ සෑම කරුණක් අරඹයාම තම සක්‍රීය මැදිහත්වීම දක්වා ඒවා වෙනුවෙන් විකල්ප විසදුම් ඉදිරිපත් කිරීම ද විපක්ෂයක් විසින් සිදු කළ යුතුය. එපමණක් ද නොව, සමාජය තුළ විසිරී පවත්නා මතය ඒකරාශී කරමින් එම මතය ආණ්ඩු වෙත රැගෙන යමින් - ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන කාර්යයේ දී එම මතයන් හා මනෝභාවයන් කෙරෙහි අවධානය යොමු කරවීම ද තවත් වගකීම කි. එලෙස ම, ආණ්ඩුවේ කාර්යයන් පිළිබද විවේචන සංවිධාන කිරීම ද විපක්ෂය මත පැවරී ඇති වගකීම් වේ.

ලියුම්කරුවා විසින් මේ කරමින් සිටින්නේ විපක්ෂයක වගකීම යන ශාස්ත්‍රීය විචාරය නොව. මෙතැනින් ඉදිරියට කියා සිටීමට යත්න දරණ ප්‍රියෝගික යථාර්තයට අදාල ශාස්ත්‍රීය යථාර්ථය පිළිබද බුද්ධි කලම්බනයක් සිදු කිරීම පමණි. දැන් අප විසින් 2010 ට පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ද එම තත්ත්වයේ නූතන ප්‍රවණතා පිළිබදව ද කියවා ගැනීමට වටී.

අද වන විට ශ්‍රී ලංකාවේ විපක්ෂය දියවෙමින් හා දියකරමින් තිබේ. එය රෙජීමය විසින් විටෙක සවිඥානිකවම ද විටෙක අවිඥානිකව ද සිදු කරයි. රෙජීමය විසින් එම සවිඥානිකව කරමින් සිටින්නේ, විපක්ෂ නායකවරයා ද ඇතුළු මුළු මහත් විපක්ෂයේ නායකයන් හා නියෝජිතයින් ස්වකීය මාධ්‍යය භාවිත කරමින් 'දේශපාලන විහිළුකාරයින්' බවට පත් කරමනි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ රජයේ මාධ්‍ය ඇමතිවරයා වූ ජෝසප් ගොබෙල්ස්ගේ න්‍යාය භාවිත කරමින් ජනතා මුදලින් නඩත්තු වන නමුත්, නිර්ධය ලෙස රජයට පක්ෂපාතීත්වයක් දක්වන රාජ්‍යය මාධ්‍යයන් මේ වෙනුවෙන් 'පාවිච්චි' කරමින් සිටියි. එසේම, ඍජු දේශපාලන ධාරාවේ නොවන නමුත් ආණ්ඩුවේ ක්‍රියාකළාපයන් කෙරෙහි තර්ජනයක් වන සෙසු සිවිල් චරිත අඩපණ කිරීම ද යටකී ක්‍රමවේදය ඔස්සේ ම යමින් සිදු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පොදු සමාජයට සාපේක්ෂව එදිරිවාදීන් වෙනුවෙන් අලවනු ලබන ජනප්‍රිය ලේබල් වන දේශද්‍රෝහීභාවය, එන්.ජී.ඕ.භාවය, ඩයස්පෝරාභාවය හා අවසාන වශයෙන් ත්‍රස්තවාදීයා යනේවා කිසිදු හිරිකිතයකින් හෝ විචාරයකින් තොරව අලවමින් සිටියි. එසේම, ආණ්ඩුව විසින් ගනු ලබන පොදු සමාජය වෙනුවෙන් ඉතාම අසාධාරණ වූ තීන්දුවක් වෙනුවෙන් වුව ද පෙනී සිටීමට හැකි පරිදි වරදාන-වරප්‍රසාද හා වෙනත් දේ මගින් ආකර්ෂණයට ලක් කර ගත් පිරිසක් ආණ්ඩුවේ වියදමින් හෝ තම තමන්ගේම වියදමින් නඩත්තු වෙමින් සිටියි. අවශ්‍ය ඕනෑම මොහොතක මොවුන්ගේ වරප්‍රසාද කප්පාදු විය හැකිය යන පූර්ව අවධානම පෙන්වා ඔවුන් රෙජීමය වෙනුවෙන් කඩේ යවා ගත හැකි තැනෙක පවත්වා ගනියි.

එසේම, ඔබ දන්නා වෙනත් උදාහරණ මගින් ද ආණ්ඩුව විසින් විපක්ෂය දිය කිරීමේ රෙජීම ක්‍රමවේදය දියත් කරනුයේ කෙසේ දැයි කියවා ගත හැකිය. එක් පැත්.කින් බැලූ විට මෙය ආණ්ඩුවේ දක්ෂතාවක් වනවා සේම විපක්ෂයේ දුර්වලතාවයේ අවසන් ප්‍රතිඵලය ලෙස ද සැලකිය හැකිය. කෙසේ නමුත්, යළිත් අපි මුළට පැමිණියහොත් කියවා ගත හැකි වන්නේ විපක්ෂය දිය වී ඇත්තේ ආණ්ඩුවේ මැදිහත්වීම මත යන්නය. විපක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත් වූ පසු ආණ්ඩුවේ සහායෙන් සජිත් ප්‍රේමදාස විසින් රනිල්ට එරෙහිව කැරළි ගැසීම දක්වා පොළඹවනු ලබන්නේ රෙජීමයේ උසිගැන්වීමයි. එසේම, මේ දෙදෙනාම කවුරුන් වුව ද එක්සත් ජාතික පාක්ෂිකයින් යැයි හිත හදාගෙන කවුරුන් වෙත සහාය දැක්වුව ද ඒ එජාපයට සහාය දැක්වීමක් යැයි පොදු ජනතාව සිතීමට පටන් ගන්නා විටදී ම හිරගතව සිටි සරත් ෆොන්සේකා නිදහස් කොට යටකී ඒකරාශී වීම පැහැදිලි බෙදීමකට ලක් කරයි. ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී විපක්ෂය තුනකට කැඩී යයි. තුන්දෙනාම එකිනෙකා නායකයින් ලෙස පිළිනොගන්නා මානසිකත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ හැර ජවිපෙ මේ කිසිවෙක් සමග ඒකරාශී නොවන බව දැන දැනත්, එසේ ඒකරාශී වීමකට කිසිදු ඉඩක් නොතබා - 88-90 අතීතය මතක් කර දීම වෙනුවෙන් මාතලේ මිනී වල ගොඩ දමා දෙයි. පෙරටුගාමීහු අර්ථයෙන් හා ධර්මයෙන් කුමන මතයක් දැරූව ද අවසානයේදී ත්‍රස්තවාදී මතවාදීන් ලෙසම සමාජගත කර අවසන් අත්සන තබා ඇත.

විපක්ෂය තුළ විපක්ෂයක් නැති බව දැන් පැහැදිලිය. විපක්ෂය තුළ සිටින්නේ විපක්ෂය තුළ ප්‍රබලත්වය දිනා ගැනීමේ සටනක නිරත දේශපාලනයක් සහිත මිනිසුන් මිස ආණ්ඩුවක් ලබා ගැනීමේ හැකියාවක් හෝ උවමනාවක් දක්වන පිරිසක් නොවේ. නමුත්, රෙජීමයේ පැවැත්ම උදෙසා විපක්ෂයක් අවශ්‍ය බව රෙජීමය විසින් ද ස්වභා ධර්මය විසින් ද තීරණය කරයි. එනිසා ආණ්ඩුව තුළ ම ආණ්ඩුව නොවන නමුත් විපක්ෂය ද නොවන මතවාදයක්-විවිධ අවස්තාවන් වලදී වෙනස් වන පරිදි නිර්මාණය වී තිබේ.

සරලවම කියන්නේ නම්, දුමින්ද ආණ්ඩුවේ ය. ඊට විරුද්ධ හිරුණිකා ද ආණ්ඩුවේ ය. විදුලි බිල වැඩි කළ පවිත්‍රා ආණ්ඩුවේ ය. ඊට දෙහි කපන පාඨලී ද ආණ්ඩුවේ ය. මුස්ලිම් විරෝධී බොදු බල සේනාව ද ආණ්ඩුවේ ය. නමුත්, බොදු බල සේනා විරෝධී විමල් ද ආණ්ඩුවේ ය. නවනීදන් පිල්ලේට 'එව බලව' යැයි ආරාධනා කරන්නේ ද ආණ්ඩුව ය. නමුත්, පැමිණීමට සැරසෙන විට විරුද්ධ වන හෙළ උරුමය ද ආණ්ඩුවේ ය. 13 ට එරෙහි විමල්-පාඨලී ද ආණ්ඩුවේ ය. නමුත් 13 වෙනුවෙන් පෙනී සිටින අනුර යාපා-ඩිව් ද ආණ්ඩුවේ ය. ගිණි තියා ගන්නා ඉන්දරතන වෙනුවෙන් පෙනී සිටිනා හෙළ උරුමය ද ආණ්ඩුවේ ය. ගිණි තියා ගැනීමට විරුද්ධ හෙළ උරුමය ද ආණ්ඩුවේ ය.

ඒ අනුව මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක් ද යන්න ද අප විසින් කියවා ගත යුතුය. එනම්, මේ සියල්ල හරහා තව තවත් ආණ්ඩුව ශක්තිමක් වී රෙජීම ලක්ෂණ ගන්නවා හැර අන් කවරක් සිදු නොවේ. ඊට හේතුව නම්, ආණ්ඩුවට පක්ෂ පිරිස් වලට අසුන් ගැනීමට හෝ පෙනී සිටීමට සිදු වන්නේ ආණ්ඩුවේ පැත්ත වෙනුවෙන් ය. ඒ තුළ අරුමයක් හෝ අමුත්තක් නොමැත. ඒ ඔවුන් ආණ්ඩුව විසින් කුමක් කළ ද ඒ වෙනුවෙන් පෙනී සිටීමේ න්‍යාය මත පිහිටා ය. ලෝක තත්ත්වය ද එසේම ය. නමුත්, ආණ්ඩුවට එරෙහි වන්නන්ට ද උරුම වී ඇත්තේ අවසානයේ දී ආණ්ඩුව පැත්තේ ම අසුන් ගැනීමට ය. දුමින්ද ට පක්ෂ වන්නන් ආණ්ඩුව පැත්තේ හිට ගනියි. දුමින්දට විරුද්ධව හිරුණිකාගේ පැත්තේ හිට ගන්නා උදවිය ද අවසාන වශයෙන් හිට ගෙන තිබෙන්නේ ආණ්ඩුව පැත්තේ මය. විදුලි බිලට පක්ෂ අය ආණ්ඩුව පැත්තේ අසුන් ගන්නා විට, ඊට විරුද්ධව හඩ නගන පාඨලී සමග හිට ගන්නා පිරිස් ද අවසානයේදී ආණ්ඩුව පැත්තේ ම අසුන් ගෙන ඇත. උතුරු පළාත් සභා මැතිවරණය, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝදනය ආදී සෙසු කුදු මහත් දේ වල තත්ත්වය ද එසේම ය.

අවසානයේ දී විපක්ෂයේ අර්ථයේ විපක්ෂයේම අසුන් ගන්නට ඉතිරි වන්නේ කවුරුන් ද යන්න ගැටළු සහගත තැනකට පත් වන තරමට ම අද රට පත්ව තිබේ. එහෙයින්, මෙවැනි තත්ත්වයන් පැවති ලෝකයේ අනෙක් රටවල් වල ලිබියාව වැනි රටවලට සිද්ධ වුණු දේ ලංකාවට සිදු වීමට ඉඩ නොහැරීමට ආණ්ඩුවේ විපක්ෂයට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂයට වගකීමක් ඇත. මන්දයත් මෙවැනි තත්ත්වයක අවසන් වර්ධන තත්ත්වය වන්නේ, මේ කිසිවෙකු නොවන අනෙකෙකු විසින් ආණ්ඩුවට විරුද්ධ වීමය. එය ඇමරිකන් කාරයා, ඉන්දියානුවා, කැරළිකාරයා හෝ ත්‍රස්තවාදියා විය හැක. එවැනි තත්ත්වයකදී එම විපක්ෂය ආණ්ඩුවට පමණක් නොව, සමස්ථ රටටම විපක්ෂ වනු ඇත.

1 Click Here to Comment:

Dhananjaya said...

Ela kiri bun.(y) sirama kathawa. baduth hamuduruwange, Horuth hamuduruwange, Naduth hamduruwange.