Sunday, May 5, 2013

පෞද්ගලික විශ්වවිද්‍යාල - අධ්‍යාපන අනාථ නිවාසයකින් ඔබ්බට

පෞද්ගලික විශ්ව විද්‍යාල කියූ සැණින්ම ඇතැමුන්ගේ සිත් තුළ මැවෙන්නේ, ‘නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ - විනාශයීය සාධකයක්‘ විදියට. තවත් සමහරුන්ට අනුව, ‘සල්ලි තියන මෝඩයින්ගෙ තෝතැන්නක්‘ එසේම, මෙම පද්ධතිය ‘අධ්‍යාපනයේ නිදහස පුළුල් කිරීමේ වේදිකාවක්‘ විදියටත් ඇතැමුන් කියවා ගන්නව. ඒ වගේම, කොට සායවල් ඇදල කොන්ඩය ස්ට්‍රේට් කරනු ලැබූ යුවතියන්ගෙන් හා ‘රොක්‘ වුණු තරුණයින්ගෙන් යුක්ත පද්ධතියක් විදියටත් තවත් සමහරු මේ පද්ධතීන් විග්‍රහ කර ගන්නව. මේ සියල්ල අතර වාරයේදී - පොදු සමාජය තුළ පෞද්ගලික හෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යන නමට පවා වෛර කරමින් සිටින පුද්ගලයින්ගේ දර්ශනයට අනුව - මෙය ‘උසස් පෙළ පවා අසමත් අධ්‍යාපන අනාතයින්ගේ - අනාථ නිවාසයක්‘.

පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ නිසි මතකය අසූව දශකයේ මැද භාගයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දක්වාත් - විදේශ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ නියෝජිතායතන දක්වාත් විහිදෙනව. ලියුම්කරුවා විසින් මෙම ලිපිය ලිවීම දක්වා පොළඹවනු ලබන්නේ - මේ වන විට යම් තාක් දුරට නිවී තිබෙන නමුත් අළු යට ගින්දර මෙන් සැගවී තිබී යම් අවස්තාවක යළි පිබිදිය හැකි - පෞද්ගලික විශ්වවිද්‍යාල යනු ‘නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කර දමන අධ්‍යාපන අනාථ නිවාසයන්‘ බවට පවසමින් ඒවා වසා දැමිය යුතු බවට වන විරෝධය පිළිබද - නිවී ඇති තාවකාලික මොහොතේ විග්‍රහ කර ගැනීමක් විදියටයි.

ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් මුලසුන දැරූ කොළඹ යුනිවර්සිටි කොලීජියේ සිට මේ දක්වා ජාතික විශ්වවිද්‍යාල නමින් නම් කර ඇති ඍජුවම රජය විසින් පාලනය කරන විශ්වවිද්‍යාල පහළවක් හෝ දා හතක් තිබේ. ‍අද වන විට මෙම ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් අවසර ඇත්තේ වාර්ශිකව මෙරට පුරවැසියන් විසි පන්දහසක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි පිරිසකට පමණි. නමුත්, වාර්ෂිකව පළමු උපාධිය ලැබීම සදහා සුදුසුකම් ලබන පුරවැසියන් ප්‍රමාණය එක් ලක්ෂ පනස් දහසක් හෝ ආසන්න ගණනකි. මේ අනුව, පළමු උපාධිය සදහා ජාතික වශයෙන් තීරණය කර ඇති අවම සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ පිරිසෙන් - ඇත්ත වශයෙන්ම ඒ සදහා ප්‍රවේශ ලබන පිරිස මෙන් ආසන්න වශයෙන් හතර ගුණයක් වත් - මෙරට අධ්‍යාපනයේ අවස්ථා අහිමි වීම හේතුවෙන් ප්‍රවේශ වරම් අහිමි කර ගනියි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද සාකච්ඡා කරන හා ඒවා සාධනීය පද්ධතීන් ලෙස විග්‍රහ කරනු ලබන පිරිස කියවා ගනු ලබන්නෙත් දකින්නේත් මෙම එක් ලක්ෂ විසි පන් දහසක් පමණ වන පිරිසය.

ඒ පිළිබද වැඩි දුර කියවීම පසෙකින් තබා - දැන් අනෙකාගේ විවේචනය කියවා ගනිමු. ඔවුන් විසින් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටින්නේ - පෞද්ගලික විශ්වවිද්‍යාල යනු සුදුසුකම් ලබන එක් ලක්ෂ පනස් දහසක් තරම් වන සුදුස්සන්ගෙන් වියුක්ත වුණු සෑම කැලැන්ඩර වර්ෂයකදී ම උසස් පෙළ විභාගයට පෙනී සිටින හෝ පෙනී නොසිටින නමුත් - විශ්වවිද්‍යාල ප්‍රවේශ සදහා සුදුසුකම් නොලබන ලක්ෂ තුනක් තරම් වන පිරිස පිළිබදවයි. ඔවුන්ට අනුව එම පිරිස සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අනාථයින්ය. ඔවුන්ට කිසි ලෙසකින්වත් පළමු උපාධියක් හෝ ඉන් එහා ගිය අධ්‍යාපනයක් ලැබීමට වරම් හිමි නොවිය යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් හෝ වෙනකක් මගින් උපාධියක් හෝ වෙනත් ඒ හා සමාන සුදුසුකමක් ලබා දීම කිසි ලෙසකින්වත් සුදුසු නොවේ.

දැන් ඒ පිරිස පසෙකින් තබා කතාවේ මුඛ්‍ය හරය වෙත යොමු විය යුතුයි. ඔවුන් මෙන්ම යම් අවශ්‍යතාවක් වෙනුවෙන් අප ද එම ලක්ෂ තුන හමාරක් තරම් වන උසස් පෙළ අසමත් හෝ ඉන් පහළ අධ්‍යාපන සුදුසකම් ඇති පිරිස් පසෙකින් තබමු. දැන් අප කියවා ගත යුතුව ඇත්තේ - ඉතිරි ලක්ෂ එක හමාරක පිරිස පිළිබදව ය. යටකී විරුද්ධ මතදාරීන් විසින් සචේතනාත්මකව අත්හරිනු ලැබ ඇති එම ලක්ෂ එකහමාරක පිරිස අතර සරසවි නොගොස් ඉතිරි වන එක් ලක්ෂ විසි පන්දහසක් පිළිබද අප කතා කළ යුතුය. ඔවුන් ජාතික වශයෙන් පිළිගත් අවමයන් සම්පූර්ණ කර තිබුණ ද ඔවුන්ට ඇත්ත වශයෙන් ම එම වරම අහිමි වන්නේ - ජාතික වශයෙන් ඇති ගැටළුවක් නිසාය. එහෙයින් - එම එක් ලක්ෂ විසි පන් දහසක් පමණ වන පිරිස ජාතික ගැටළුවක් නිසා යළි නිවැරදි කළ නොහැකි බරපතල අසාධාරණයකට මුහුණපායි. එහෙයින්, පෞද්ගලික හෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යනු පළමුව ම අධ්‍යාපනයේ අවස්ථා සීමා වීම නිසා අසාධාරණයට පත් වූ පිරිස වෙනුවෙන් ලබා දිය හැකි යම් සාධාරණ විසදුමකි. (එය සම්පූර්ණ හෝ සමස්ථ විසදුම නොවන බව අප ද පිළිගනිමු. නමුත්, අත්‍යාසන්න වශයෙන් හෝ ලබා දිය හැකි විසදුම ලෙස මෙය පිළිගත යුතුව ඇත.)

එහෙයින්, විරුද්ධ මත දාරීන්ගෙ පළමු තර්කයට අනුව - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල යනු තවදුරටත් අධ්‍යාපන අනාථයින්ගෙ සරණාගත කදවුරු නොවේ. අධ්‍යාපනයේ අවස්ථා සීමා වීමේ ජාතික වරද නිවැරදි කිරීම වෙනුවෙන් ලබා දිය හැකි තාවකාලික හෝ යම් සාධාරණ විසදුමකි.

මෙහිලා සමාජගත වන දෙවැනි තර්කය වන්නේ - අධ්‍යාපන අනාථයින්ගේ සරණාගත කදවුරු තුළ උපාධි පිරිනමනු ලබන්නේ සුපිරි වෙළදසැල් න්‍යායට අනුව (සුපර්මාර්කට් තියරියටය) ය. මුදල් මත පමණක් සීමා වන වෙළදාමක් වන අතර මුදලේ ප්‍රමාණය මත කාලය හා ගුණාත්මක භාවය තීරණය කරයි. එහිදී ද වැඩි මුදලට ගුණාත්මකභාවය හෝ ප්‍රමිතිය ප්‍රතිලෝම වේ. මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගෙනෙන තර්කය එවැන්නකි. ඔවුන්ට අනුව - ‘වැඩි මුදලක් අය කරමින් නුසුදුස්සන් වෙනුවෙන් අප්‍රමිතිගත උපාධියක්‘ ලබා දෙයි. 

No comments: