Sunday, May 5, 2013

මකුණන් කන සිනමාශාලා සහ හීන මවන සිනමාව

ශ්‍රී ලාංකේය සිනමාව සෑම විටම අධිතක්සේරුවක හෝ අතක්සේරුවක සිට ක්‍රියා කර ඇත. මෙලෙස කියා සිටීමට කරුණු දෙකක් බලපෑවේය. ඇතැම් සිනමා කෘති ප්‍රතිභාව හෝ නිර්මාණමය ලක්ෂණයන්ගෙන් හෝ සමාජ දේශපාලන ආර්ථික විග්‍රහමය වශයෙන් 'මෙලෝ රහක්' නැති තත්ත්වයක සිට තාක්ෂණික භාවිතයන්, සංගීතය හා නිර්මාණ ප්‍රතිභාවය පිළිබද පම්පෝරි ගැසීමක නිරත වේ. එසේම, තවත් කෘති කිහිපයක් සම්බන්ධයෙන් වන ජාතික තක්සේරුව ගණගාටුව උපදවන තත්ත්වයේ තිබේ. එනම්, නිර්මාණශීලීත්වය හෝ ප්‍රතිභාව මෙන්ම සමාජ ආර්ථික දේශපාලන විග්‍රහමය වශයෙන් ඉහළ තැනෙක තිබුණ ද ඒවා අවතක්සේරු කරමින් හෝ කොන් කරමින් වාරණය කිරීමට භාජනය වේ.

කුමන පාන්කඩ නිර්මාණයක් වුව ද රෙජීමයේ න්‍යාය පත්‍රය ස්වකීය න්‍යාය පත්‍රය කරගත් පසු දශක ගණනක් පැරණි සිනමා වාර්තාවන් පවා අභිබවමින් ඉමහත් ලාභ උපයන තත්ත්වයට පත්වෙයි. එසේ ලාභ ඉපැයීමට අවශ්‍ය වටපිටාව සකසා දීමට රෙජීමය ඍජුව හා වක්‍රව උපකාර කරමින් සිටියි. නමුත්, සිනමා නිර්මාණයේ න්‍යායපත්‍රය එකක් නොව දෙකක් වන විට මීඩියා විචාරකයින් හා සිනමාවේ ගොඩ් ෆාදර්ස් ලා ලෙස රෙජීමයේ අනුග්‍රහය ලබන්නන් විසින් කෙලෙසා දමනු ලදුව, රසිකයා හමුවට නොයවාම දඩු කදේ ගසා දමයි.

දැන් අප ලාංකේය සිනමාවේ තත්ත්වය වැඩිපුර කියවා ගත යුතුය. සිනමා නිර්මාණයක් හරහා සිනමා නිර්මාණ බෙදාහරින සමාගම් හා චිත්‍රපට ශාලා කෝටි කීයක් හරි හම්බ කළ ද තවමත් අපේ සිනමා ශාලා තුළ තිබෙන්නේ, සිනමාවේ ප්‍රීතිය අභිබවමින් මකුණන් විසින් වද දෙන පුටු පෙළක්ය. චීෆ් බෝර්ඩ් ගසා වෙන් කරන ලද බොක්ස්ය. ඒවායින් ද අසුන් ගත හැකිව තිබෙන්නේ දෙකෙන් එකකට මදක් වැඩි පුටු ප්‍රමාණයකි. ශබ්ද පරිපාලනය හෝ ශබ්ද තාක්ෂණය සම්බන්ධයෙන් කතා කිරීමේ දී, ඇතැම් ප්‍රත්‍යන්ත සිනමා ශාලා වලට වඩා හොද ශබ්ද තාක්ෂණයක් අද වන විට අගනුවර නිවෙස් වල පිහිටුවා ඇති කුඩා සිනමා ශාලා තුළ දක්නට ලැබේ. තවමත් අපේ සිනමාව දුවන්නේ ඩිජිටල් නොවූ දශක ගණනක් පැරණි තැටි තාක්ෂණය උපයෝගී කර ගෙනය.

සාමාන්‍ය සිනමා ශාලාවක ගැලරිය වෙනුවෙන් අය කෙරෙන රුපියල් 150 හෝ 200 තරම් වන ප්‍රවේශ පත්‍රයකින් නිශ්පාදකයා හෙවත් සිනමා නිර්මාණයේ ආයෝජකයා වෙත ගලා යන්නේ හරි අඩක් තරම් වටිනා මුදලකි. සෙසු ප්‍රවේශ පත්‍රයන් සම්බන්ධ තත්ත්වයත් එයයි. නමුත්, සියයට 50 ක පමණම ආදායමක් ලබා ගෙන මිට මොළවා ගන්නා සිනමා ශාලා හිමිකරුවන් අද වන විටත් භාවිත කරමින් සිටින්නේ කළු ජූලියටත් පෙර තත්ත්වයේ වූ සිනමා ශාලාවන් ය. සිනමා ශාලා තුලට රසිකයා ගෙන්වා ගැනීමට නම් ඒවා හොද තත්ත්වයේ තිබිය යුතුය. 

එවැනි තත්ත්වයක් තුළ සිට අපේ සිනමාව ගැන කවරක් නම් කතා කරන්න ද


අගල් දාහතක හරි විසි එකක හරි හිරවෙලා චිත්‍රපටියක් බලනවාට වඩා වෙනස් වූ සිනමා කෘතියක් හුදෙකළාව රසවිදීම වෙනුවෙන් පසුගිය දිනක සිනමා ශාලාවකට ගියෙමි. එහි යන විට සවස 6.30 පමණ වූ හෙයින්, දොර වසා ඇත්තේ ප්‍රවේශපත්‍ර අවසන් වීමෙන් දෝයි සැක සහිතව සීරුවට සිනමා ශාලාවේ එහා මෙහා පෙණෙන යකඩ ගේට්ටුවට තට්ටු කළ විට සරමක් හා බැණියමක් ඇදගත් එකෙකු පැමිණ 'ඇයි' යැයි විමසා සිටියේය. පොළේ ගිය බඩු මල්ල අතේ ඇති විට 'පොළේ ගියා ද'යි අසනු මින් පෙර අසා ඇති මුත්, යටකී 'ඇයි' යන ප්‍රශ්නයේ යම් විකෘතියක් දැණිනි. 'ෆිල්ම් එක බලන්න' යැයි මා කිසා සිටි විට, 'සෙනග නෑ. 6.30 ෂෝ එක ඔයාට විතරක් පෙන්නන එක පාඩුයි. දවල් වලාවක එන්න' යැයි හේ විචාලේ ය.


මෙරට සිනමාවේ බිද වැටීමට වගකිව යුත්තේ 83 හා 88-90 සිද්ධීන් බව නොරහසක්. නමුත්, ඉන් වසර විසි පහකට පසුව මෙන්ම පශ්චාත් නන්දිකඩාල් යුගයේ දී ද සිනමාවට මෙවන් ඉරණමක් අත්වීමට වගකිව යුත්තේ තුට්ටු දෙකේ චිත්‍රපට නිර්මාණය කරමින් - සිනමා කෘතීන් 'අමර-සමර සමග මල් කඩන්න එන්න' වර්ගයේ චිත්‍රපට නිර්මාණය කළ ලොසින්ජය සිනමා කරුවෝ ද. නැතිනම්, අබාලා නිර්මාණය කළ දේශපාලනික කොබාලා ද. හදගමලාගේ ප්‍රසන්නලාගේ චිත්‍රපට තහනම් කළ දවාලට සරම අදිනා රාත්‍රියේ ක්ලබින් බහිනා මීඩියා දේශප්‍රේමී රැගුම් පාලකයෝ හා දේශහිතෛශීන් ද, එසේත් නොමැති නම් අනෙකාගේ සොරකමට පවා වන්දි ගෙවමින් දඩ කමින් සිටිනා සිවිල් පුරවැසියා ද.

කෙසේ නමුත්, එකක් වැටහේ. මෙලෝ රහත් නැති නමුත්, රාජ නමස්කාරය ලබනා සිනමා කෘති අවුරුදු ගණනක් වුව ද සිනමා ශාලාවල වාත වෙමින් ආදායම් උපදවයි. මානව ශාස්ත්‍ර හැදෑරීමක් වෙනුවෙන් නිර්මාණය වූ සිවිල්-දේශපාලන-සමාජ-ආර්ථික ගැඹුරක් සහිත ඒවා හෙණ ගහන්නාක් වාගේ ආවේ කවදා ද ගියේ කවදා ද නොවැටහෙණ වේගයෙන් එල්ලී-ගැලවී යයි.

මේ බුදු බණ ද ඉතිහාසය ද ළමා නිරුවත ද සංස්කෘතියේ නාමයෙන් තුට්ටු දෙකට වෙන්දේසි කරමින් සිනමා ශාලා සෙල්ලම් ගෙවල් කළ උන්ගේ ද නිදි යහනේ පිනවා ගත නොහැකි අසහනය පිණවා ගැනීම වෙනුවෙන් සිනමා ශාලාව බඩු පොට් කළ විදේශ ඩබල් හා ත්‍රිබල් ආනයනය කළ උන්ගේ ද සාපයයි.

1 comment:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දේශපාලනය පොඩ්ඩක් අමතක කරලා ජැක්සන් ඇන්තනී කීව කථාවක් මේකට උපුටා දක්වන්න කැමතියි . " ලංකාවේ තියෙන්නේ වරෙන් මචන් සිනමාවක්, වෘත්තීමය භාවයක් නෑ...... "

මමත් දකින මූලිකම සාධකයක් තමයි ඕක . ලංකාවේ සිනමාවට ලංකාව ඇතුලේ තියන සීමිත වෙලඳ පොලත් එක්ක වුනත් වෘත්තිමය භාවයකින් කටයුතු කලා නම් මීට වඩා සාර්ථක ගමනක් යන්න තිබුනා . සිනමාත්මක විදිහට රූප රාමු පෙලක් ඉදිරිපත් කරන්නට තියන නොහැකියාව නිසා මට නම් ලාංකීය සිනමාව "සිනමාවක්"ද කියන ප්‍රශ්නය තියනවා . ගැඹුරු සමාජ කතිකාවක් නොවෙන සරල ආදර කථාවක් ,හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් වුනත් සිනමාත්මකව කරන්න පුලුවන් . අපේ බොහෝ සිනමාකරුවන් ඒ කාර්ණයේදී අසාර්ථකයි