Wednesday, November 28, 2012

Home Town විය යුත්තේ උපන් නගරයම ද

Home Town යනු උපන් නගරයම විය යුත්තේ ද? යන්න ඇතැම් විට කියවීමට කිසිදු පදනමක් නැති ආඛ්‍යානයක් විය හැකිය. නමුත්, මේ සම්බන්ධයෙන් වන යම් කියවීමක් සිදු කරමින් සිටින විටදී, එය හැදෑරීමට හා එසේ නොවන බවට යම් ප්‍රමාණයකින් තර්ක කිරීමට තරම් සාධාරණ පසුබිමක් නිර්මාණය කරන බැව් හැගේ. 

මේ සදහා වන මූලික පසුබිම, ප්‍රකට භාවිතයකින් ආරම්භ කිරීමට තීරණය කළෙමි. Home Town යන වචනය සදහා ඉංග්‍රීසි ශබ්දකෝෂය තුළ ලබා දී ඇති අර්ත නිරූපණය වන්නේ - Hometown or home town is the city or town where one grew up, or the place of one's principal residence. It is not to be confused with birthplace, although the two can be the same place. යන්නයි. ඒ අනුව, කෙනෙකු උපන් පමණින් එය Home Town  නොවන බව මෙයින් තේරුම්ගත හැකිය. පුද්ගලයා හැදී වැඩී ලොකු මහත් වන්නේ හෝ ඔහු මේ වන විට ස්ථීරවම නේවාසිකව සිටින්නේ යම් නගරයක් වේ ද එය ද Home Town ලෙස භාවිත කළ හැකිය. මෙමගින්ම පැහැදිලි කරන අනෙක් කරුණ වන්නේ මෙය උපන් නගරයම විය නොයුතු වන අතර එම නගර දෙකම එකක් වීම ද ගැටළුවක් නොවන බවයි. එමගින්ම. උපන් නගරය හා Home Town යනු දෙකක් වීම ද එලෙසම ගැටළුවක් නොවන බැව් අර්ථ ගැන්වෙයි. 

ඒ අනුව, අනුරාධපුරයේ උපදින අයෙකුට නුවරට පැමිණ එහි හැදී වැඩී පාසල් ගොස් අවසන කොළඹ පැමිණි පසු, Home Town යන්නට නුවර යන නගරය භාවිත කිරීමට තරම් සාධාරණ හෝ තර්ක විරහිත පදනමක් නිර්මාණය වේ. යටකී නිර්වචනයේදී grew up යන්න යළි පැහැදිලි කර ගැනීමේදී, පාසල් යාම, රැකියාවක් කිරීම, බැංකු ගිණුම් ආරම්භ කිරීම, අලුතින් මිලදී ගන්නා ඇතැම් දේ යම් නගරයක් පදනම් කරගනිමින් මිලයට ගැනීම යන කරුණු මත පදනම් වේ. එපමණක් ද නොව, පුද්ගලයකු වාසය කිරීම සදහා වැඩි නැඹුරුතාවක් දක්වන්නේ හෝ එසේ කිරීම සදහා අදහස් කරමින් සිටින්නේ යම් නගරයක ද එය ද  එම පුද්ගලයාගේ Home Town පිළිබද කරුණ ලිහා ගැනීමේ දී වඩා වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් වන ගැටළුව ලිහා ගැනීම සදහා ප්තවත් කරුණු කිහිපයක් ද වැදගත් වේ යැයි හැගේ. ඒ අතරින් පොදු භාෂාව තුළ හැසිරෙමින් සිටින විටදී, ඔහු තුළින් මතුවන ප්‍රත්‍යන්ත භාෂාවන්ගේ ලක්ෂණය එකකි. අප දන්නා පරිදි දකුණට අනන්‍ය භාෂාවක් ඇති අතර ඒ අතරින් ද තවත් කොටස් වශයෙන් හදුනාගත හැකි බලංගොඩ භාෂාව, ගාලු භාෂාව, තංගල්ල හා හම්බන්තොටට අදාල භාෂාව යනාදී වශයෙන් උප භාෂාවේ ද උප භාෂා ඇත. එය වතන ස්වරූපය, ආමන්ත්‍රණ ලීලාව හෝ ඇතැම් වචන භාවිතයේදී ‘කැඩෙන තැන්‘ ආදී වශයෙන් වෙන් කර ගත හැකිය. උඩරටට පොදු උඩරට භාෂා ශෛලියක් ඇති අතර. ඒ අතරින් ද දේශගුණය. භූමිය හා පරිසර සාධක මෙන්ම පොදු ජීවන රටාවන් අනුව මේවා වෙනස් වේ.

දැන් මෙම තත්ත්වයෙන් යම් වෙනස් තැනකට යා යුතුය. එනම් මේ හා සමානම තර්කයක් ගොඩනැගෙන මව් රට (පීතෘ දේශය) පිළිබද වන කරුණයි. කෙනෙකුගේ ‘තමාගේ රට‘ යන්නට උපන් රට හෝ තම මවගේ හෝ පියාගේ රට නොවන වෙනත් රටක් ආදේශ කළ හැකි ද.

ජර්මනියේ පාලකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් යනු උපතින්ම ජර්මානු ජාතිකයකු නොවන අතර ඔහු ඕස්ට්‍රියාවේ උපත ලැබූ ඕස්ට්‍රියානු ජාතිකයෙකි. නමුත්, පසුව ඕස්ට්‍රියානුවකු නොවී ජර්මානුවකු වන්නේ යටකී  Home Town  පිළිබද නිර්වචනය රටකට සාපේක්ෂව කියවා ගැනීමේ දී අවශ්‍යතා තෘප්ත කිරීමෙනි. ඔහු ජර්මානු ඌරුවට අනුව හැදී වැඩී පසුව මුළු හදින්ම ජර්මානුවකු වූ අයෙකි. වත්මන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පියා කෙන්යානුවෙකි. ඒ අනුව, ඔහු ඇමරිකානුවකු නොව කෙන්යානුවෙකි. නමුත්, ඔබාමා ඇමරිකානුවකු වන්නේ - ඔහු හැදී වැඩී පෝෂණය වීමේ වැඩි කාලයක් ඇමරිකානු සංස්කෘතියට අනුව සිදු වීමෙනි. 2004 වන විට ඉන්දීය අගමැති පුටුව සදහා පූර්ණ සුදුසුකම් සපුරණු ලැබූ සෝනියා ගාන්ධි ද ඉන්දියානුවකු නොවේ. ඉතාලි ජාතික කාන්තාවක වූ සෝනියා ඉන්දියානු සම්භවය යන සංස්කෘතික භාවය මත ඉන්දියානුවකු වූ කාන්තාවකි.

ඒ අනුව, ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය තුළ හෝ වෙනත් සමාජ වේබ් අඩවියක තමන්ගේ  Home Town  සදහන් කිරීමේ දී හෝ කියා සිටීමේදී  Home Town යනු තමන් උපන් නගරයම විය නොයුතු බැව් කියා සිටිමි. 

 Home Town යනු උපන් නගරයම බව මනෝමයෙන් සිතීමට අප පෙළඹී සිටීමට ඇති සාධක කිහිපයක් පිළිබදව ද අවදානය යොමු කළ යුතුය. දේශීය සංස්කෘතිය අනුව, පුද්ගලයකු උපදින්නේ ද පසුව ඉගෙන ගන්නේ හා රැකියා කරන්නේ ද වාසය කරන්නේ ද ‘ගමේ‘ය යන විශ්වාසයක් ඇත. එහෙයින්, අපේ ‘ගම‘ හා  Home Town යනු එකක් යැයි සිතීමට පෙළඹීම සාධාරණය. නමුත්, අද වන විට මේ තත්ත්වය වෙනස් වී තිබේ. ඇතැම් විට උපන් නගරය යනු සිය මා-පියන්ගේ ස්ථීර වාසස්තානය පවතින නගරයයි. පසුව කල්යත්ම. අධ්‍යාපන හෝ රැකියා අවශ්‍යතා මත පුද්ගලයින් වෙනත් නගර වෙත සංක්‍රමණය වී ඒවාහි නැංගුරම් දැමීම සිදු වෙයි. ඇතැම් විට, අදාල ප්‍රෙද්ශයේ කුලියට ගත් නිවෙසක් හෝ නොමැති පුද්ගලයින් යම් යම් ප්‍රදේශයන්ගේ මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වෙයි. ඔහු හෝ ඇය එසේ පත්වන්නේ නම්, ඔහු එම නගරයට හෝ පළාතට අයිති කෙනෙක් වෙයි. හම්බන්තොට උපන් බැසිල් රාජපක්ෂගේ  Home Town වී ඇත්තේ ගම්පහයි. බෙලිඅත්තේ උපන් මර්වින් සිල්වා දැන්  Home Town එක බවට කැළණිය පත් කර ගත් අයෙකි. එසේ වුව ද අද වන විටත් මර්වින් සිල්වා වාසය කරන්නේ හම්බන්තොට හෝ කැළණිය නොවන නාරාහේන්පිටයි.

‘අපේ ගම‘ ලියූ මාර්ටින් වික්‍රමසිංහයන් තවදුරටත් කොග්ගල වාසය නොකළේ නම් ඔහුට ද  Home Town යනු කොග්ගල හෝ ගාල්ල වීම අහිමි වීමට තිබිණි. ආර්ජන්ටිනාවේ උපන් චේ ගෙවාරාට ආජන්ටිනානු භාවය අහිමි වී කියුබානුභාවය ද ඔස්ට්‍රියාවේ උපන් හිට්ලර්ට ඕස්ට්‍රියානුභාවය අහිමි වී ජර්මානුභාවය හිමී වූවා සේ ද කෙන්යානු පියාගේ පුතා වූ ඔබාමා ඇමරිකානුවකු වූවා සේම ද අද වන විට වෙනත් ගමක ඉපදුණු බොහෝ අයට එම ගම  Home Town ලෙස භාවිත කිරීමේ හැකියාව අහිමි වී තිබේ. 

Wednesday, November 21, 2012

ගණිකාවෝ ද මනුෂ්‍යයෝය

“ගණීකා වෘත්තිය“ යනු අතිශයින්ම අප්‍රසන්න හා ලොව පවත්නා පහත්ම රැකියාවක් හෝ රැකියාව බව රාමුගත සංස්කෘතියේ අදහසයි. මසකදී ගණිකාවන් දුසිම් ගණනින් ඇසුරු කරන්නන් පවා ගණිකා වෘත්තිය හෝ ගණිකාව පිළිබද දක්වන්නේ පිළිකුල් සහගත අදහසකි. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අභ්‍යන්තරික අදහස එවැන්නක් නොවුණ ද රාමුගත සංස්කෘතියක් තුළ ජනසම්මතවාදී ‘පොරක්‘ වීම සදහා එවැනි අදහසක් දරණු දක්නට ලැබේ. මූලිකවම කියන්නේ නම්, ගණිකාව යන වචනය ‘වල් අලි‘ වැනි වචනයක් වී ඇත. එහෙයින්, අප විසින් මේ කියවීම ආරම්භ කිරීමට පෙර ‘වල් අලි‘ පසුව ‘වන අලීන්‘ බවට පත් කළා සේ ‘ගණිකාව‘ හෝ එම වෘත්තිය ලිංගික ශ්‍රමිකයා හෝ ලිංගික කර්මාන්තය බවට හෝ වෙනත් අර්ථ රසයෙන් උසස් වන තත්ත්වයට පත් කළ යුතුමය. එසේ නොවන්නේ නම්, තවදුරටත් ගැඹුරු කියවීමක් දක්වා ඔබට-මට ලගා වීමට මෙම ජනසම්මතවාදී අදහස් යම් බලපෑමක් එල්ල කරනු ඇත.

අද වන විට ලිංගික ව්‍යාපාරය මුහුණුවර කිහිපයකින් ක්‍රියාත්මක වේ. මෙය ඇත්ත වශයෙන්ම අද වන විට යාවත්කාලීන වූ තත්ත්වයක් නෙවෙයි. මෙවැනි ක්‍රියාවලියක් ගණිකා වෘත්තිය නමින් නම් කිරීමට පවා පෙර සිට පවත්නා තත්ත්වයකි. එහි අප දන්නා බහුල භාවිතය නම්, මුදල් ගෙවා කුලී පදනම මත කෙටි කාලීනව සිදු කරන ආශ්‍රයකි. මෙය ද තවදුරටත් කැටගරි කිහිපයකට වෙන් කළ හැකිය. ඒ පිළිබද සාකච්ඡා කිරීම පසුවට තබමි. අනෙක් ප්‍රධාන කැටගරිය නම්, තමා විසින් විවාහ ජීවිතය තුළ ලිංගික විෂයෙහි තෘප්තිමත් නොවන විට ඒවා ඉටු කර ගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන අනොන්‍ය අවබෝධය මත පදනම් වන කෙටි කාලීන හෝ දිගු කාලීන ආශ්‍රයන්ය. විවාහයට පෙර පෙම්වතියක් හෝ මිතුරියක් ලෙස ඇසුරු කරමින් සිට තමාගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම සිදු කිරීම තවත් කැටගරියකි.

දැන් අප විසින් මුල්‍යමය පදනම මත සිදු කරනු ලබන ලිංගික ව්‍යාපාරය පිළිබද කියවා ගත යුතුය. මෙහි ද ඍජු හා වක්‍ර ගෙවීම මත සිදුවන අවස්ථාවන් ඇත. ඍජු ගෙවුම් ගණිකා වෘත්තිය යනු කෙළින්ම තමා විසින් මුදල් ගෙවීමක් සිදු කර අවශ්‍යතා ඉටු කර ගැනීම හැදින්විය හැකිය. මසාජ් සෙන්ටරයක් තුළට රිංගා ගන්නා පිරිමියා බොඩි මසාජ් එකක් වෙනුවෙන් මුදල් ගෙවා පසුව, අනෙකා විසින් ස්වයං වින්දනය කරවීම වෙනුවෙන් ‘ටිප්‘ එකක් දී එය සිදු කර ගනියි. නැතිනම්, කෙළින්ම ඒ වෙනුවෙන්ම ගෙවීමක් සිදු කරයි. ශුක්‍ර ධාතු පිටකිරීමේ වාර ගණන මත පදනම් වූ සීමාවන් හා එකගතා ඇතිව හෝ නැතිය මෙය සිදු වෙයි. එසේති නැතිනම්, ගණිකා මඩමක් තුළට ගොස් තෝරා ගත් හෝ ලබා දෙන කාන්තාවක සමග මුදල් පදනම මත මෙම කාර්යය සිදු වීම ද දක්නට ඇත. මෙය සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා සාමාන්‍ය වශයෙන් වෙන් කර ගත හැකිය. එහි තත්ත්වය තීරණය වන්නේ ගෙවනු ලබන මුදල හා ඒ වෙනුවෙන් ලබා දෙන ස්ථානයේ ඇති තත්ත්වයන් මතය. එසේත් නොමැති නම්, කාන්තාවක් යම් තැරැව්කාරයකු මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් යෝජනා කරන තැනකට ගොස් හෝ “අරගෙන ගිහිං“ අදාල කාර්යය සිදු කිරීමට අවස්ථාව උදා කර දෙයි. මෙම උප කැටගරියේ ගණිකා ඇසුර සම්පූර්ණයෙන්ම රහස් හා මුල්‍යමය පදනම මත සිදුවන සංවිධානාත්මක ව්‍යාපාරයක ලක්ෂණ ඇත.

යටකී කැටගරියටම අයත් වන්නා වූ තවත් ඍජු ගෙවීම් ගණිකාවන් ඇත. වීදි ගණිකාවන් ඒ සදහා තවත් එක් උදාහරණයකි. සම්පූර්ණ සංසර්ගයක් වෙනුවෙන් අනන්‍ය මිලක් ද, සීමිත ලිංගික කාර්යයන් ප්‍රමාණයක් වෙනුවෙන් වෙනම අනන්‍ය මිලක් ද එහි ඇත. එසේම, අවශ්‍යතා මත මුඛ සංසර්ගය, ස්වයං වින්දනයේ යෙදවීම ආදී වශයෙන් ද උප මිල නියම කිරීම් මේ හා බැදේ. මෙවැනි ගණිකාවන් ඇතැම්විට මිල අධික නොවන කාමර තුළට ගොස් හෝ වෙනත් අයුරින් මේ කාර්යය සිදු කරයි. එක වසා දැමූ හෝ ඉදි වෙමින් පවත්නා ගොඩනැගිලි තුළ ද ඇතැම් විට පාළු මං මාවත් තුළ එලිමහනේ ද මෙම කාර්යය සිදු කරයි.

වීදි ගණිකාවන් හෝ තැරැව්කාරයන් මගින් අදාල මූලික ගණු දෙනුව සිදු කරනු නොලබන කාන්තාවන් අතැමෙක් වීදි හෝ වෙනත් ස්ථානයන්හි රැදී සිට තමන් විසින්ම ඍජුවම තම සේවාදායකයා සොයා ගනියි. වාහනයක යන සේවා දායකයෙකු හෝ ත්‍රී රෝද රථ මගින් හෝ මෙම කටයුතු සදහා අවශ්‍ය මූලික තත්ත්වයන් නිර්මාණය කර ගනියි.

ඍජු ගෙවීම් ක්‍රමයක් පවතින්නේ නම්, වක්‍ර ගෙවීම් ක්‍රමයක් ද පැවතිය යුතුය. මෙය මුදල් මගින් හෝ වෙනත් දේ මගින් සිදු කර ගත හැකිය. තමා ඇසුරු කිරීමට කැමති කාන්තාවක් හෝ තරුණියක් වෙනුවෙන් තමාගේ ආයතනය තුළ රැකියාවක් ලබා දෙන ඇතැම් පිරිමින්. එම කාන්තාව සමග තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගනු ලබන්නේ ද්වීපාර්ශවීය එකගතාවය ඇතුව හෝ පළමුව එසේ නැතිව ආරම්භ කර පසුව කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය. මේ වෙනුවෙන්, එක් සංසර්ගයක් වෙනුවෙන් නියම කරනු ලැබූ මිලක් ලබා නොදුන්න ද මාසික වැටුපක් හෝ කාර්යාලයට ඒමට යාමට වාහනයක් හෝ එවැනි වරදාන වරප්‍රසාද ලබා දෙයි. එසේත් නැතිනම්, තෑගි බෝග හෝ වෙනත් දේ වෙනුවෙන් ද මෙය සිදු වෙයි. 

ම විසින් මෙහිදී සදහන් කරනු ලැබූ පළමු කැටගරිය, එනම් එකගතාවය මත සිදුවන දිගු කාලීන හෝ කෙටි කාලීන සබදතා ද පවතියි. ස්වාමියාගෙන් තෘප්තිමත් නොවන භාර්යාවන් ද භාර්යාවගෙන් තෘප්තිමත් නොවන ස්වාමීන් ද එසේ නොවන කාන්තාවන් හා පිරිමින් ද මෙම කටයුත්ත සිදු කරයි. මේ වෙනුවෙන් ඍජු හෝ වක්‍ර ගෙවීමක් සිදු නොකළ ද මෙය ද එක් පැත්තකින් ගණිකා වෘත්තිය හෝ ලිංගික ශ්‍රමිකත්වය ලෙස ම අර්ථ ගැන්විය හැකිය.

ඍජු ගෙවීමකදී පණවනු ලබන සීමාවන් රැසත් මෙවැනි අවස්ථාවන් වලදී දක්නට නොලැබෙයි. කොන්ඩමයක් භාවිත කරනු වෙනුවට අදාල කාර්යය පූර්ණ වශයෙන්ම ස්වභාවිකව සිදු කර, ගැබ් ගැනීම නැවතීම සදහා ඖෂධ භාවිත කිරීම එක් ක්‍රමයකි. විවිධ තාක්ෂණික ක්‍රමයන් භාවිත කිරීම හෝ ගැබ් ගැනීමක් දක්වා නොයන තත්ත්වයට අදාල ආශ්‍රය කළමණාකරණය කර ගැනීමට මෙම ගණිකා වෘත්තියේදී, ගණිකාව ද සේවාදායකයා ද වග බලා ගනියි.

ඍජු ගෙවුම් ගණිකා වෘත්තියේ දී තම තමන්ගේ ‘ටේස්ට්‘ එ තෝරා ගැනීමේ නිදහසක් සේවාදායකයාට ඇත. වක්‍ර ගෙවුම් හෝ එකගතා ගණිකා වෘත්තිය තුළ මේ නිදහස යම් ප්‍රමාණයකින් සීමා වේ. අතැම් අය දේශිය හෝ විදේශිය වශයෙන් ද විදේශිය වන විට ද රටවල් හෝ කලාප අනුව කැමැත්ත දක්වයි. ඇතැම් අය වයස හා ශාරීරික වර්ණය පිළිබදව ද සැලකිල්ලට ගණියි. ශරීරයේ ප්‍රමාණය ආදී වශයෙන් ද එක් එක් ක්‍රමවේදයන් පිළිබදව ද මෙවැනි අවස්ථාවන් වල දී අවධානයට ලක් වේ.

කෙසේ නමුත්, ගණිකාවක් යනු ‘සල්ලි දීම සංසර්ගය කිරීම‘ යන තත්ත්වයේ සිට පමණක් කියවා ගන්නා තෙක් ගණිකාව යනු පිළිකුල් හා අප්‍රසන්න ස්ත්‍රියක් ලෙස බහුජන සමාජයේ වර්ගීකරණය වෙයි. නමුත්, එම වෘත්තියේ සුඛෝපභෝගී භාවය වැඩි වෙත්ම හා ක්‍රමවේදනයන්ගේ තත්ත්වයන් වෙනස් වන විට එය ගණිකා වෘත්තිය නොවන එකක් බවට පත් වේ. එහෙයින්, අඩු වැඩි වශයෙන් ස්වාමි-භාර්යා ලිංගික සම්බන්ධය නොවන අනෙක් සෑම එකක්ම ගණිකා කටයුත්තක් වන බැව් පිළිගත යුතුය. එහෙයින්, ගණිකාව යනු සමාජයෙන් කොන් කිරීමට ලක් විය යුතු හෝ ගර්හාවට ලක් විය යුතු කාන්තාවක් නොවේ. ජීවිතයේ එක් වරක් හෝ පූර්ණ ලිංගික ඇසුරක් හෝ පූර්ණ නොවන ලිංගික ඇසුරක්. ස්වාමියා හෝ භාර්යාව සමග හැර වෙනත් අයෙකු සමග සිදු කර ඇති සෑම අයෙක්ම අවස්ථානෝචිතව ගණිකාවක් වන්නේය. ගණිකාව යනු කාන්තාවම පමණක් නොවන, පිරිමින් ද යහමින් අයත්වන වර්ගීකරණයකි. 

Monday, November 12, 2012

ලේ පැල්ලම - විවාහය සහ ස්ත්‍රිය

අමුවෙන්ම ලියන්නේ නම්, මෙරට වැනි දේශීය හා රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියට හිමිව ඇත්තේ ඉතාම අඩු තත්ත්වයකි. ලියුම්කරුවා විසින්ම මින් පෙර අවස්ථා ගණනාවකදී ලිපි කිහිපයක් මගින් මෙම සමාජ ක්‍රමය තුළ ස්ත්‍රියගේ වටිනාකම හා තත්ත්වය පිළිබද විවිධ දේ ලියා ඇත. තවදුරටත් එවැනි විෂයක්ම මූලික කර ගනිමින් හැදෑරීමක් වෙනුවෙන් පොළඹවනු ලැබූයේ, “එක මිනිහට ගෑණු දෙන්නෙක් ඉන්නවට වඩා, එක ගෑණිට මිනිස්සු දෙන්නෙක් ඉන්න එකේ අවුලක් තියනව“ යනුවෙන් පෙර දිනක සංවාදයක් අතර තුර මතු වූ කරුණකි. මෙය තිර කියමනක් ලෙස එළියට පැමිණෙන්නේ සීමා සහිත අවස්ථාවන් වලදී වුව ද සෑම සංස්කෘතික රාමුගත හදවතක් තුළම මෙම අදහස පැළපදියම් වී ඇති බැව් සත්‍යයකි.

ස්ත්‍රී පුරුෂ විවාහයක් තුළ දී, පුරුෂයාගේ පිරිසිදු භාවය හෝ පිරිමියා මින් පෙර සල්ලම් වී නොතිබීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන රාමුගත සංස්කෘතික සමාජය කාන්තාවගේ පිරිසිදු භාවය නිර්ණය කර ගැනීම හෝ සනාථ කර ගැනීම වෙනුවෙන් සුදු රෙදි එළීමට පෙළඹී සිටියි. එහෙයින්, ස්ත්‍රියගේ ලේ පැල්ලම යනු සමස්ථ විවාහයේම තත්ත්වය කෙරෙහි හෝ ඍජුවම ‘දීගයේ පැවතීමේ හෝ ඇරීමේ‘ තීරණාත්මක සාධකය ලෙස පවා බලපායි. එසේත් නැතිනම්, මධුසමයේ එළනු ලබන සුදු පිරුවටයේ ලේ පැල්ලමක් නොමැති වීම, කුමන හෝ ස්ත්‍රියක් ‘වෛශ්‍යාවක්‘ හෝ ‘නැට්ටුක්කාරියක්‘ යන ලේබලය ගැන්වීමට පවා සමත් වෙයි. මින් පෙර මුදලට හෝ ‘ටොක් කර‘ ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමග පවා හෝ සහවාසයේ නියැලී සිටින පිරිමියෙකු වුව ද සිය විවාහය දා ස්ත්‍රියගේ ලේ පැල්ලම අපේක්ෂාවෙන් තිගැස්මෙන් හා කුතුහලයෙන් ගත කරයි. 

කන්‍යාභාවය යනු ස්ත්‍රියගේ පරම පූජනීය මිනුම් දණ්ඩක් වන්නේ නම්, පිරිමියා වෙනුවෙන් නියම කර ඇති ඒ හා සමාන ඒකකය කුමක් ද. වෛද්‍ය විද්‍යාක්මකව එක් වතාවකදී පමණක් පිරිමි ලිංගික ක්‍රියාවලියකදී අහිමිවිය හැකි ජීව සංඛේතයක් පිරිමින් සතු වන්නේ ද. ඇතැම් අවස්ථාවන් වලදී විවිධ අයුරින් අරුත් ගැන්වෙන පරිදි එවැනි හැරවුම් ජීව වස්තුවක් පිරිමියා ද සතු වේ. නමුත්, එවැන්නක ඇති-නැති භාවය නිරීක්ෂණය කිරීමට හෝ ‘ආරංච් කර බැලීමට‘ රාමුගත සංස්කෘතික සමාජය නොපෙළඹෙන්නේ කුමන කරුමයක් නිසාදැයි නොදනිමි. ඇතැම් විට, එය එසේ වන්නේ පොදු මහත් සමාජයේම ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ පිරිමියා වීම නිසා විය හැකිය. එසේත් නැතිනම්, ලේ පැල්ලම අහිමි කාන්තාව අහිමි ස්ත්‍රිය වෛශ්‍යාවක් වන තත්ත්වයකදී ලිංගික පිරිසිදු භාවය සම්බන්ධ පුරුෂ ජීව ලක්ෂණය අහිමි පිරිමියා ‘පොරක්‘ ලෙස අභිසෙස් ගැන්වෙන නිසා විය හැකිය. ‘දොරක් ඕනැම යතුරකින් අරින්න පුළුවන්නම් ඒ දොර වැඩක් නෑ. හැබැයි එක යතුරකින් දොරවල් කීපයක් අරින්න පුළුවන්නම් ඒක සුපිරි යතුරක්‘ ලෙස සමාජ ගත කරනු ලැබ තිබීම තුළ මෙවැනි මැනීම් කෙරෙහි පෙළඹීමේ තත්ත්වයක් ඇත.

ගණිකාවක් සම්බන්ධයෙන් ලියනු ලැබූ බ්ලොග් සටහනක මෙසේ සදහන් විය. ‘මම කෝල කරල දවසක් දා ගත්ත. මගෙන් ඇහුව වයස කීයද කියල. මම කීව අවුරුදු 19 යි කියල. එතකොට ඒ කෙල්ල මගෙන් අහනව, -අනේ යකෝ, වටේ ගහන උඹලනෙ ගෑණුන්ගෙ පිරිසිදු කම හොයන්නෙ‘.

මේ පිළිබද තවදුරටත් කියවාගෙන යන විට, ස්ත්‍රිය කෙරෙහි මෙම සංස්කෘතික අසාධාරණය සිදු කිරීමේ පුරෝගාමී වගකීම ඉටු කරන්නේ හෝ පුරුෂ මූලික සමාජයක් තුළ නිර්මාණය වන පුරුෂ-පක්ෂපාත මතවාදයන් සමාජය තුළ ප්‍රචලිත කිරීමේ හා ස්ථානගත කිරීමේ කාර්යය ඉටු කරමින් සිටින්නේ කාන්තාවන්ම බැව් කිව යුතුය. ගැබ්බර මවක් බස් රථයකට ගොඩ වූ විට, ආසනයක් පැණවීම කෙරෙහි වඩාත්ම අසල වන්නේ කාන්තාවන්ම බැව් ඕනෑතරම් දැක ඇත. එසේම, එවැනි කාන්තාවන් කෙරෙහි තවත් බොහෝ කාන්තාවන් විසින් දක්වන හැගීම හා හෙළනු ලබන බැල්ම -විසේට බඩ වෙලා- වැනි එකකි. එසේම, එක දිගට ආසන්න කාලයක් තුළ දරුවන් කිහිප දෙනෙක් වැදූ මව්වරුන් පිළිබද වැඩියෙන්ම අවඥාසහගත ‘කතා හදන්නේ‘ ද කාන්තාවන් විසින්මය. තව ද, ලේ පැල්ලම කෙරෙහි උනන්දුවක් දක්වන විවාහක පුරුෂයා හැරුණු විට වෙනත් පුරුෂයකු නැති තරම්ය. නමුත්, මධුසමයේ සුදු ඇතිරිල්ල පිළිබද වැඩිම සෙවිල්ලක් හෝ අවධානයක් දක්වන්නේ දෙපාර්ශවයේම කාන්තාවන් විසිනි.

ස්ත්‍රියකගේ පැවැත්ම කෙරෙහි හා ස්වාධීනතාවය කෙරෙහි ලේ පැල්ම ඍජුවම බලපාන බැව් රාමුගත සංස්කෘතික සමාජයක් තුළ හොදින්ම දැකිය හැකි කරුණක්. විවාහයට පෙර ස්ත්‍රියකගේ කන්‍යාභාවය යම් අයෙකු විසින් සිදිනු ලැබූයේ නම් හෝ ‘සල්ලම් කළේ‘ නම් ඉනික්බිති අවදිය තුළ ස්ත්‍රියගේ තොන් ලණුව යටකී පුද්ගලයා අත පත් වන්නාක් වැනිය. රහසක් හෙළි නොකර සිටීමේ පදනම හෝ ‘භය‘ මත ස්ත්‍රිය ‘බ්ලැක්මේල්‘ කිරීම කෙරෙහි භාවිත කළ හැකි කදිම යාන්ත්‍රණයක් ලෙස ද මෙය භාවිත විය හැකිය. නමුත්, කිසි විටෙක, කාන්තාවකට පිරිමියෙකු එවැනි පදනමක් තුළ පාලනය කිරීමේ හෝ මෙහෙයවීමේ හැකියාවක් නැත. ‘ලෝකෙට කියනව, මමයි උඹේ කන්‍යාභවය නැති කළේ කියල‘ යනුවෙන් පිරිමියෙකුට කාන්තාවක් අභියෝගයට ලක් කළ හැකි වුව ද කිසිදු විටෙක ස්ත්‍රියකට එවැන්නක් සිදු කිරීමේ හැකියාවක් නැති තරම්ය.

මෙම රාමුගත සංස්කෘතික තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ ද හෝ නොවන්නේ ද යන්න තර්ක කළ හැකි තැනක ඇත. නමුත්, ලේ පැල්ලම යනු ‘සියල්ල‘ නොවන බව පමණක් කිව යුතුය. විවාහයක වටිනාකම් හා තත්ත්වයන් කෙරෙහි රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියගේ කන්‍යාභාවය සැලකිය යුතු බලපෑමක් එල්ල කළ ද එය මත සියල්ල තීරණය නොවන බව වටහා ගත යුතුය. 

Monday, November 5, 2012

පට්ට ගහන - දෝෂාභියෝගය


මෙවැනි උදෘතයක් තුළ කෙරෙන හැදෑරීමක්, අමුවෙන් ලියන්න අවසරයක් හෝ එසේ කිරීමේ හැකියාවක් නැති බව පළමුවෙන්ම කිව යුතුයි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහිව මේ වන විට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කිරි බොන දරුවන් පවා දන්නා ප්‍රකට කරුණක්. මේ සම්බන්ධයෙන් වන සමාජ විග්‍රහයන් හා නෛති මූලධර්මයන් සම්බන්ධයෙන් මේ දිනවල පොදු සමාජය තුළ නැතත් විෂයානුබද්ධ තැන්වල සහ මාධ්‍ය තුළ පට්ට ගහනව. මේකෙ තියන විශේෂත්වය වෙන්නෙ මේ සම්බන්ධයෙන් කෙරෙන විලි ලැජ්ජා විරහිත විග්‍රහයන් දරාගෙන සිටීමට තරම් පවා අපහසු වීමයි.

කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකුට එරෙහි පළමු දෝෂාභියෝගය මෙය නෙවෙයි. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා චිත්ත පීඩාවෙන් යුතුව මිය යන්නේ 77-88 ජේ. ආර්. ආණ්ඩුවේ මහා බලපරාක්‍රමය යටතේ ගෙනා මෙවැනි අභියෝගයක් තුළ අඛණ්ඩ අසාධාරණකම් සමූහයකට ලක්වෙලා. නෙවිල් සමරකෝන් මහතා එවැනි චෝදනාවකට ලක් වීමට කළ වරද, ඔහු පැවැත්වූ දේශනයකදී ආණ්ඩුවේ රැකියාවන් සදහා බදවාගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන හා පදනම්ගත විවේදනයක්. “ආණ්ඩුවේ කන්තෝරු වලට ගන්න යතුරු ලේඛකයින් යතුරු ලියන මැෂිමක් දැකලවත් නෑ. ලිපිකරුවන්ගෙ භාෂා කුසලතාවය අන්තිමයි“ වගේ අදහසක් දෙන දෙයක් ඔහු උත්සවයකදි සදහන් කරනව. මේ හේතුවෙන් උරණ වුණු ජේ. ආර්. රෙජීමය ඔහුව අභියෝගයට ලක් කරනව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 107 වන ව්‍යවස්ථාව මෙවැනි දෝෂාභියෝග සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලස්වලා තියනව. ඒ විතරක් නෙවෙයි, එම ව්‍යවස්ථාවට අනුව තුනෙන් දෙකක බලයක් තියන ආණ්ඩුවකට ව්‍යවස්ථාව පවා වෙනස් කර ගනිමින් ඕනෑම නීතියක් සම්මත කළ හැකියි. නමුත්, එසේ සම්මත කරන නීති හෝ ගනු ලබන ක්‍රියාමාර්ගයන් අවශ්‍ය අවම සුදුසුකම් සම්පූර්ණ වීම පමණක් කියන සාධකය ඉක්මවා ගිහින් වෙනත් මූලධර්මයන් පවා සැලකිල්ලට ගත යුතුයි. 

2001 වසරේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වෙනුවෙන් ද මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු වෙනුවෙන් තිබුණු චෝදනාව “විෂම පැවැත්ම“. ඒ අවස්ථාව වන විට ඔහු චන්ද්‍රිකා රෙජීමයේ උදහසට ලක්ව නොසිටි නිසා සුළුතර එජාපයේ දෝෂාභියෝගයෙන් බේරෙනෙව. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව සදහන් වෙන්නෙ, “ඔප්පු කරනු ලැබූ විෂම පැවැත්ම“ කියන සාධකය. එහෙමත් නැත්තම් “දුබලතාවය“. නෙවිල් සමරකෝන් අ.වි. මහතාට එරෙහි යෝජනාවෙදි පදනම් වෙන්නෙ ඔහු ආණ්ඩුවට හෝ රෙජීමයට පක්ෂ පාතී නොවිම කියන කාරණය. යෝජනාවෙ කියන කාරණා කුමක් වුවත් යථාර්ථ සිද්ධිය එය බව නොරහසක්. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් වෙන්නෙ තැනේ හැටියට ඇණේ ගැසීමේ ක්‍රියාවලියකුත් එක්ක.

දෝෂාභියෝගයට අදාල කරුණු “ඔප්පු කිරීම“ සදහා යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒ වන විට එවැනි නීතියක් සම්මත වී තිබුණේ නැහැ. ජේ. ආර්. රෙජීමය ඒ අවස්ථාවෙදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78(අ) නිර්මාණය කරමින් මෙම ක්‍රියාවලිය නිර්මාණය කරනව. එහි සදහන් වෙන්නෙ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් මසක් තුළ මෙම විමර්ශනය පැවැත්විය යුතුයි යනුවෙන්. මෙහි ඇති පුදුමසහගත කරුණ නම්, විශාල ප්‍රමාණයක් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වෙනත් කිසිවක් සදහා උපරිම දිනයක් හෝ කාල සීමාවක් ලබා දී නොමැති වීමයි. රටේ විසදාගත යුතු බොහෝ දේවල් වෙනුවෙන් දින නියම නොවන මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අගවිනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝග මසක් තුළ විමසිය යුතුයි.

දැන් එකින් එක කරුණු වශයෙන් සහ අවශේෂ සිද්ධින් සමග විසදාගැනීමට කල්පනා කරමි. දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව. ඒ සම්බන්ධයෙන් යම් සාධාරණයක් පැවතිය හැකියි. දෝෂාභියෝගය ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයින් ඉදිරිපත් කිරීම කියන සාධකය. නමුත්, “නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ“ න්‍යාය මෙතැන භාවිත වෙන්නෙ, මෙම නඩුව විමසන්නෙත් පාර්ලිමේන්තුව තුළින්ම වීම හරහා. තමන් ඉදිරිපත් කරන පැමිණිල්ලක් තමන් විසින්ම විභාග කිරීමේ ඇති සාධාරණ හෝ යුක්තිසහගත පදනම කුමක් ද කියන ගැටළුව මෙතැනදි නිර්මාණය වෙනව. 

අනෙක් කරුණ, මේ වෙනුවෙන් පත් කරන සාමාජිකයින් 7 දෙනාගෙන් බහුතරය ආණ්ඩු පක්ෂයේ බව විශේෂයෙන්ම සදහන් කර තිබීම. එහි සභාපතිවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. නඩු සහ බඩු හාමුදුරුවන්ගේ වීමේ බරපතලම තත්ත්වය නිර්මාය වෙන්නෙ ආණ්ඩු පක්ෂයකින් ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර, මාසයක් කල් ගත කර ආණ්ඩුවේ බහුතරයක් අසුන්ගෙන මෙම ප්‍රශ්නය විභාග කරනව. බහුතර ආසන සහිත ආණ්ඩුවක් පවතින මෙවැනි අවස්ථාවක 107 වන ව්‍යවස්ථාවේ සදහන් අවම වශයෙන් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකක් අත්සන් කළ යුතුයි කියන කතාව ඉතාම සරල වෙනව. මෙම සිද්ධියට අදාලව මේ වන විටත් 118 දෙනෙකුම අත්සන් කරල. ඒ කියන්නෙ දෙකෙන් එකකටත් වැඩියි. යෝජනාවේ තිබෙන කරුණු ඔප්පු වුණත් නැතත්, ඔප්පු වුණ බව ඔප්පු කරන්න කාරක සභාව තුළ ඡන්දයක් තියන්න සිද්ධ වුණත් රෙජීමයේ පරාක්‍රමයට යටත් රෙජීමයේ සාමාජික මන්ත්‍රීවරුන් ඔප්පු වුණු බවට ඡන්දය ලබා දෙනව. එවැනි අවස්ථාවක දෙවැනි ඡන්ද විමසීම වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදි කවුරුන් කුමක් සදහන් කළ ද කරුණු ඇත්ත වුණත් බොරු වුණත් බහුතරයකින් සම්මත කරගන්න එක විශාල කාර්යභාරයක් නොවන තත්ත්වයට පත් වෙනව. 

යම් අයෙකුගේ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව කරුණු කිහිපයක් මත රදා පවතිනව. ‘මගේ නිදහස තීරණය වන්නේ මගේ පරිසරය මතයි‘ කියැවෙන්නෙ ඒ නිසා. කළු පැහැති මිනිසෙක් අයෙකුගේ මවගේ බෙල්ලට පිහියක් තබාගෙන, “උඹ ස්වාධීනව හිතල කියපං, මම සුදුයි නේද“ ඇහුවම අදාල පුද්ගලයා විසින් කළු හෝ සුදු බවට ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම සීමා වෙනව. එවිට තීරණය ලබා දෙන්නෙ අම්මා නිදහස් කර ගැනීමට තරම් තෘප්තිමත් උත්තරයක් මිස සාධාරණ උත්තරයක් නෙවෙයි. කිසි සේත්ම එවැනි තර්ජනයක් හෝ බලපෑමක් තුළ ස්වාධිනතාවය පිළිබද විශ්වාස කළ නොහැකියි. ඒ විතරක් නෙවෙයි, එවැනි ස්වාධීනතාවයක් අපේක්ෂා කිරීම පවා වැරදි සහගතයි. මෙම සිද්ධියේදීත් එම ස්වාධීනතාවය සම්බන්ධයෙන් සැකයක් පහළ වෙනව.

අපි දන්න සාමාන්‍ය මහේස්ත්‍රාත් වරයෙක් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් පවා පොදු සිවිල් සමාජය සමග ගැටෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඇතැම් විට තමාගෙ ස්වාමියා විනිසුරුවරයෙක් වූ විට, නීතීඥ වෘත්තියට සමුදුන් කාන්තාවන් මේ රටේ අතිමහත්. සෙසු රැකියාවන් සම්බන්ධයෙනුත් එලෙසමයි. නමුත්, අගවිසිනිසුරුවරිය සම්බන්ධ කාරණාවෙදි, භාර්යාව අගවිනිසුරු වන විට ස්වාමි පුරුෂයා මුල්‍ය ආයතනය ප්‍රධානියෙක්. මුදල (සර්පයා) සම්බන්ධ කටයුතු ඉතාම ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු දෙයක්. මෙතැනදි එම තනතුරු දෙකම එකිනෙකා විසින් බලපෑම් කෙරෙන තත්ත්වයට පත් වෙනව. මේ අවස්ථාව ඍජුව බලපෑම් කිරීම ලැජ්ජාසහගත නිසා අදාල පද්ධතිය වෙනුවෙන් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්න යොදා ගත් උපක්‍රමයක් හා සමානයි. එක්කෝ පත්කරනු ලබන තැනැත්තන්ට ද එසේ නොමැති නම් ඒවා භාරගන්නා පුද්ගලයින්ට ද අවම වශයෙන් ලැජ්ජාවක් හෝ න්‍යායික අවබෝධයක් තිබිය යුතුයි.

එසේම, මෙම අභියෝගය එල්ල කිරීම ඉතාම යුක්ති සහගත බව කිවීම සදහා කරුණු කිහිපයක් භාවිත කරනව. එකක් මෙය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් කියන කාරණය. අපි දන්නව, මේ රෙජීමය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ හෝ පටුනේ සිට පසුපිට දක්වාම මුද්‍රණය කර ඇති සෑම අකුරක්ම අත්හදා බලනා හෝ ක්‍රියාවේ යොදවන තත්ත්වයක් දක්නට ඇති බව. 18 වැනි සංශෝදනය ව්‍යවස්ථාගත කිරීම මෙහි එක් අවස්ථාවක්. නමුත්, සෑම කාන්තාවකටම ඇත්තෙ ස්ත්‍රී ලිංගික අවයව නම්, සංසර්ගය කළ හැක්කෙ පුරුෂයකුට හා ස්ත්‍රියකට නම්, එහෙයින් මව සමග ලිංගික සංසර්ගය කිරීම උචිත නොවන්නේ නොවේ යැයි තර්ක කිරීම මොනතරම් නම් අසංස්කෘතික හා නිර්ලජ්ජිත කරුණක් ද. මෙහිදී ද සිදු වන්නේ එලෙසයි. ජේ. ආර්. පට්ට ගසමින් ජේ. ආර්. ගේ අකුරු වල ඉස්පිළි පාපිළි පවා රෙජීමයේ වාසියට යොදා ගන්නා තත්ත්වයකි. 

නෛතික තත්ත්වය අනුව, විධායකයට ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට නෛතික පදනමකින් තොරව බලපෑම් කළ නොහැක. එසේම. මෙම ආයතන තුන කෙරෙහිම පිහිටා ඇත්තේ පවරා දෙනු ලැබූ පරමාධිපත්‍යයයි. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් හැර ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් හා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අධිකරණ වෙත පවරා දී තිබේ. අගවිනිසුරුවරයකු ප්‍රශ්න කළ හැකි අධිකරණ බලය පාර්ලිමේන්තුවට පවරා ගත හැකි දැයි ගැටළුව නිර්මාණය වන්නේ මෙහිදීය. වැට මායිම බෙදා ගැනීමේ ක්‍රම වේදය වෙනුවෙන් පවා ‘උචිත අධිකරණ‘ පිහිටුවා බලය පවරා ඇති විට මෙවැනි භාරදූර මාතෘකාවක් සම්බන්ධයෙන් මෙවැනි අවිධිමත් පටිපාටියක් නම් කිරීමේ පදනම කුමක් ද. එම පාර්ලිමේන්තු කාරක සභාවට සාමාජිකයින් පත් කිරීමේ බලය තුළ එම මන්ත්‍රීවරුන්ගේ කිසිදු සුදුසුකමක් හෝ දක්වා නොමැත. මේ වෙනුවෙන් නීතිය හෝ නීතිමය මූලධර්මයන් පිළිබද කිසිදු දැනුමත් නොමැති මන්ත්‍රීවරයන් පවා පත් කිරීමේ හැකියාවක් ඇත. මෙය ද මෙම ක්‍රමවේදයේ නිශේදනීය තත්ත්වයකි.

එසේම, 107 ව්‍යවස්ථාව හා 78(අ) ස්ථාවර නියෝග භාවිත කිරීම වලක්වාලමින් 2001 වසරේ ජූනි 6 වැනි දා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කොට පිළිතුරු ලබා නොදුන්න ද ‘බැලූ බැල්මට විමසීමට සාධාරණ පදනමක් ඇත‘ යන පදනමේ සිට 2001 වසරේ 297 හා 298 යන මූලික අයිකිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර ලබා දී ඇත. 

නෛතික පදනමක් නැති වුව ද මෙම දෝෂාභියෝගයේ තවත් ඇතුළාන්ත කතාවක් ඇත. මෙම දෝෂාභියෝගය කතානායකවරයාට භාර දීමේ පූරෝගාමී චරිතය වූයේ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. ඇය විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය කියා සිටියේ, අගවිනිසුරුවරියගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේ ද විෂමාචාර චෝදනා ඇති බවයි. පවිත්‍රා වන්නිආරච්චි යනු කවුරුන්දැයි දන්නෝ හොද හැටි දනියි. තමන්ගේ හෙළුව දෑතින් වසා ගෙන සිටිමින්, තවත් අයෙකුගේ හෙළුව පෙන්වා කොක් හඩලා සිනා සෙමින් ඒ බව උජාරුවට කියා සිටීම මොනතරම්නම් ඛේදනීය තත්ත්වයක් ද.

 කෙසේ නමුත්, පොදු පුරවැසියන් වන අප විසින් අප සන්තක දේපලක් වන පරමාධිපත්‍ය බලය පවරා දුන් ආයතන තුළ ඒවා කෙළෙසින් ක්‍රියාත්මක වන්නේ දැයි බලා සිටීම අප සතු යුතුකමකි. වරදක් ඇත්නම් ඊට දඩුවම් දීම කළ යුතුය. නමුත්, නිසි අධිකරණයකින් වැරදිකරුවකු වන තෙක් ඔහු හෝ ඇය සැකකරුවෙකු පමණක් කියන නීතියේ පූර්ව නිගමනයවත් ආරක්ෂා විය යුතුය. මේ සිද්ධියේදී තීන්දුව ලියා අවසන ගොනු කරනු ලැබූ නඩුවක් තුළ දක්නට ඇති තත්ත්වය දක්නට ලැබීම ද “පරිස්සම් වෙලා - යටත් වෙලා- කියන දේ අහගෙන හිපටල්ලා“ යැයි අධිකරණ පද්ධතියට කෙරෙන අනතුරු ඇගවීමද නරක පූර්වාදර්ශයකි. 

මෙවැනි ස්ද්ධියක් මතු වීමට ආසන්නතම හේතුව වූයේ අධිකරණ සේවා කොමිෂන් සභාව (සභාපති - අගවිනිසුරු) විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපියකි. එහි අධිකරණයට ස්වාධිනව කටයුතු කිරීමට අවස්ථාව අහිමි වී ඇති බවට සන් කර සිටියේය. නීතියට අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී ඇත. එසේ නම්. එවැනි දඩුවම් දීමකින් තොරව මෙවැනි ලිපියක් මගින් සිය අසරණතාවය කියා සිටීමට අධිකරණය පෙළමෙන්නේ ඇයි. විශ්වාස කළ හැකි හේතුව නම්, එවැනි දඩුවම් දීමක් කළ නොහැකි පුද්ගලයකු විසින් එවැනි බලපෑමක් කර සිටින බවයි. මෙරට තුළ එවැනි බලයක් ලබා දී ඇති එකම පුද්ගලයකු පමණක් සිටියි. ඒ විධායකයේ ප්‍රධානියා කෙරෙහි පවරා දී ඇති මුක්තිය හරහාය.

පුද්ගල චරිත වෙනුවෙන් නොව, පද්ධතිමය වටිනාකම් වෙනුවෙන් පෙනී සිට එම පද්ධතිමය හරයන් ආරක්ෂා කර ගත යුතුව ඇත. 

Friday, November 2, 2012

පට්ට කෑලි, ලොන්ත කෑලි

ජන සමාජය දේශිය හෝ විදේශීය වශයෙන් වේවා එසේත් නැතිනම් සංහතිය ලෙස මිනිසුන් වේවා විවිධ දේ ඇසුරින් දියුණු වෙමින් පවතින්නේ යැයි කියනු ලැබේ. එසේ දියුණු වූ සංහතියක් තුළ දක්නය ඇති තාක්ෂණික හෝ නිපුණතාමය ලක්ෂණයන්ගෙන් වියුක්ත වූ අවශේෂ හෝ ආශ්‍රය විෂයන්හිදී ද මෙම දියුණුව සාධාරණ මට්ටමකින් පෙන්නුම් කරන්නේ නම් එවැනි සංහතිමය දියුණුවක් අත්කර ගත්තේ යැයි විස්වාස කළ හැකිය. එසේ නොවන්නේ නම්, එය එක්කෝ දියුණුව යන සංකල්පයේ හෝ වචනයේ වරදක් විය යුතුය. එසේත් නැතිනම්, අප දියුණුව ලෙස හදුනාගෙන ඇති දේවල්හි සහ ඇත්ත වශයෙන්ම සිදුවෙනමින් පවත්නා දේවල් හි වෙනසක් පවතියි.

දිවි නැගුම තුළින් රටේ ආර්ථික සංවර්ධනය පිළිබද හෝ වෙනත් දෙයක් පිළිබද බරට හා පුරසාරම් ලීලාවෙන් කතා කරමින් සිටිනා ඇතැම්හු අගවිනිසුරුවරිය හා තවත් අයෙකු සම්බන්ධයෙන් වන අයතා පෙම් සබදතාවක් පිළිබද ඉතාම නොදියුණු ලෙස තලු මරමින් පට්ට ගසමින් සිටියි. මෙහිලා ඇය විසින් එවැන්නක් කරමින් සිටිනවා ද එසේත් නැතිනම් එසේ නොකරන්නේ ද යන්න පිළිබද තක්සේරු කිරීම, අවතක්සේරු කිරීම හෝ අදිතක්සේරු කිරීම අරමුණු කර නොගනිමි. එසේ වුව ද, එසේ චෝදනා කරනු ලබන ආකාරයේ සිද්ධියක් සම්බන්ධයෙන් දියුණු සමාජයක් බව ලේඛණගතව ඔප්පු කර ගැනීමට උත්සාහ කරගන්නා කොළඹුන් මෙන්ම කොළඹුන් විසින් නොදියුණු යැයි අවලාද නගනා ගම්මුන් ද හැසිරෙන්නේ එකම ආකාරයකින් බැව් හැගේ. ‘දයාවතීගෙ කෙල්ල, සුමනපාලගෙ කොල්ලත් එක්ක පැනල ගිහිල්ලලු. ලබන මාසෙ වෙන එකෙක් එක්ක දීග යන්නලුත්නෙ හිටියෙ‘ කියන කතාවේ සහ ටයි කෝට් දමා ගනිමින්, විෂමාචාරය, ව්‍යභිචාරය හෝ වෙනත් වාග් විලාෂයන් භාවිත කරමින් කෙරෙන මෙම චෝදනා ද වාග් කෝෂමය දියුණු හෝ දියුණු නොවූ වශයෙන් හෝ සංවර්ධනය වූ හෝ ප්‍රත්‍යන්ත වශයෙන් පවත්නා වෙනසක් හැර වෙනස් වූ වෙනසක් දක්නට නොලැබේ.

ලියුම්කරුවා විසින් යටකී ශීර්ෂයෙන් වැඩිදුර කියවාගැනීම ආරම්භ කරනු ලැබූයේ, ‘පට්ට කෑල්ලකට ජැකක් තිබ්බ‘ යැයි නාදුනන එකෙකු විසින් තවත් එවැනිම නාදුනන එකෙකු වෙනුවෙන් කී කතාවක් ඇසීමෙන් පසුවය. ඔහු ඒ වන විටත් බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් අත දරා සිටි අතර ඉනික්බිති පැමිණි ඇමතුමකට ආචාරශීලී හා ගැඹූරු භාවයකින් යුක්තව පිළිතුරු දිණි. මොරටුවේ පිහිටි පල්ලියක් පිළිබද තවත් එකෙකු සමග කතා කරමින් සිටින විට, ‘අම්මටසිරි, ඒකට බහින්නෙ පට්ට කෑලි‘ යැයි කියා සිටියේය. 

වැඩි රූමත් භාවයක් හෝ ‘ෆැෂන්‘ වැඩිපුර නොකරන තරුණියක් සරසවියේ ඇවිදයමින් සිටින විට ඈ වෙත එකෙකු විසින් උසුළු කිරීමෙන් පසු, ‘ලොන්ත කෑලි ෆෝම් කරන්න එපා බං‘ යැයි කියා සිටීමේ අත්දැකීමක් මින් පෙර භුක්ති විද සිටිමි. මහනුවර එක් පාසලක් පිළිබද කතා කිරීමේදී, ‘අපෝ, කොච්චර ලස්සන වුණත්, ඒකෙ යුනිෆෝම් එක ඇන්දම ලොන්ත කෑලි වෙනව‘ යැයි කොළඹට වී නුවර පාසල් කිහිපයක් පිළිබද අත්දැකීම් බෙදා ගැනීමේදී විටෙක අයෙක් කියා සිටියේය.

ලොන්ත කෑල්ලක් සහ පට්ට කෑල්ලක් වෙන් කර ගනු ලබන්නේ කෙසේ ද. ලෙහා ගැනීමට තරම් දෙයක් නැති වුව ද කෑල්ලක් යනු, ඇන්ට පහරක් බවට පත්වන වයසේ නොපසුවන වයස අවුරුදු දහසයත් තිහත් අතර තරම් වන වයසේ හෝ තිහේ දශකයේ මැද භාගයට ලගා වෙමින් සිටිනා එපමණ වයස නොපෙනෙනා ස්ත්‍රීන්ය. මේ සත්‍රීන් පට්ට හෝ ලොන්ත වන්නේ හෝ එසේ වෙන් කර ගන්නේ කෙසේ ද. ‘ලස්සන‘ සාපේක්ෂ බව ප්‍රකට කරුණකි. ඒ අනුව. එකෙකුට පට්ට වන අයෙක් තවත් අයෙකුට ලොන්ත වනු ඇත. 

කෙසේ වුව ද, එකිනෙකාට සාපකේෂව පට්ට හෝ වේවා ලොන්ත හෝ වේවා ස්ත්‍රියක කියවා ගැනීමේ හා ඇය වෙනුවෙන් ලබා දිය යුතු සමාජ වටිනාකම සම්බන්ධයෙන් බරපතල හිඩැසක් තවමත් මෙම සමාජ ක්‍රමය තුළ පවත්නා බව කිව යුතුය. තිසර ජෝඩුවක් වැනි පිරිපුන් දෙතන ද ආකාර්ශනීය ශරීර දේහයක් ද ඊට සරිසල ඇදුමකින් ද සුසැදි කාන්තාවන් පට්ට බවේ සංඛේතීය ලක්ෂණය වේ. වර්ණය ද මෙහිලා වැදගත් සාධකයක් වේ.

නමුත්, කෑල්ලක් පට්ට හෝ ලොන්ත භාවයට ගොනු කිරීමේදී දියුණු සමාජය විසින් අමතක කරනු ලැබූ දියුණු මිනුම් කිහිපයක් පිළිබද සිහියට එයි. ‘පොතක පිටකවරයකින් පොතක් මනින්න එපා‘ යැයි මහත්මා ගාන්ධි විසින් ස්වකීය චරිතාපදානයේ ලියා ඇත. එසේම, මෙය යළිත් වරක් ලුවී ෆිෂර් විසින් රචිත මහත්මා ගාන්ධි නම් පොතේ ද සදහන් කර ඇත. ඒ අනුව, ව්‍යවහාරික භාවිතය අනුව කෑල්ලක් ද පට්ට හෝ ලොන්ත වීම කෙරෙහි බලපාන පිටකවරයේ සදහන් නොවන ලක්ෂන කිහිපයක් පිළිබද අවධානය යොමු කරනු කැමැත්තෙමි. කෑල්ලක් පට්ට වීමට නම්, පළමුව ම කෑල්ල තනිව රවුම් කර කියවා ගැනීම ආරම්භ කළ යුතුය.

හෙරෝයින් භාවිත කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ගුවන් සේවිකාවක පිළිබද අප දණියි. ඇය පට්ට කෑල්ලක් බවට බැලූ බැල්මට කියවා ගත හැකිය. නමුත්, ඇගේ අභ්‍යන්තරය නොදියුණු හෝ දියුණු සමාජයකට සුදුසු නොවන තරම් ලොන්ත වී ඇත. මිනී මැරීමේ චෝදනාවේ සිට සොරකම් කිරීම, ව්‍යභිචාරය, හිතේ හැටියට අරක්කු හා සිගරට් බීම හරහා තම පෙම්වතාට සහ සැමියාට කුණුහරුපයෙන් බැණ වදින තත්ත්වය දක්වා ද වංචාවන් හා දූෂණයන් සම්බන්ධයෙන් නැඹුරුවක් ඇති වීම දක්වා වන සිද්ධීන්ට අනුව, එසේ එවැනි දේ සිදු කරන්නේ නම්, භාහිරින් කුමන පට්ටභාවයක් දක්නට ලැබුණ ද ඒ කෑල්ල කොයිතරම් නම් ලොන්ත වන්නේ දැයි හැගේ. 

සමාජ ක්‍රමයක් දියුණු වීමේ දී කෑලි පට්ට විය යුතුය. නමුත්, යළි යළිත් කියා සිටින්නේ ව්‍යවහාරයේ එන කෑල්ලක් නොදියුණු හා ලොන්ත ලක්ෂණවලින් යුක්ත වන්නේ නම්, ඒ පට්ට භාවයෙන් ඇති ප්‍රතිඵලය කුමක් ද. කෙසේ වුව ද සමාජ ක්‍රමය නිරන්තරයෙන් භෞතික හෝ පාරිසරික දියුණු භාවයන් පෙන්වමින් ‘පට්ට‘ වෙමින් සංස්කෘතිමය වශයෙන් ලොන්ත වෙමින් පවත්නා අවදියක, ‘කෑල්ලක්‘ කෙරෙහි පවත්නා වටිනාකම හෝ පට්ට හෝ ලොන්ත භාවය තීරණය වන්නේ ද ඊට අනුලෝමව සමානුපාතිකවමය.

ඇතැම් විට, නූතන පට්ට භාවයට සාපේක්ෂව අපේ මව්වරුන්ගේ යුගයේ ගැහැණුන් එතරම් පට්ට නොවුණා විය හැකිය. නමුත්, ඔවුන් පට්ට වන්නේ, ඔවුන් තුළ පවත්නා සංස්කෘතික දියුණුවේ හා සාරයන්ගේ පට්ට භාවයත් සමගිනි. ඇසින් දැක පට්ට බව තීරණය කිරීමට තරම් සමාජය ලොන්ත නොවන්නේ නම්, සංස්කෘතිකමය වශයෙන් ලොන්ත වී ඇති ‘කෑලි‘ පමණත් නොව මුළු මහත් සමාජයම පට්ට කර ගැනීමේ ක්‍රියාන්විතයක් දියත් කළ යුතුය. 

ලොන්ත සමාජයක ලොන්ත වූ මිමි අනුව, ඇග පසග මත පට්ට හෝ ලොනත් බව තීරණය කිරීමේ නොදියුණු ලක්ෂණයේදී, තම ස්වාමියාට හොරෙන් වෙනත් අයෙකු සමග නිදි වදින හෝ මල් කඩන පට්ට කදක් සහිත පට්ට කෑල්ලකට වඩා, සංස්කෘතිකමය දියුණුවක් ඇති ඇග පසගින් ලොන්ත වන නමුත් අභ්‍යන්තරයෙන් පට්ට වන කෑලි කොයිතරම්නම් අගනේ ද. එහෙයින්, කෑල්ලක් පට්ට වීම හෝ ලොනත් වීම තීරණය කිරීමේ තීරණාත්මක මිනුම් දණ්ඩ ලෙස, ඔබේ මව විසින් ඔබට දක්වන දයාව, ස්නේහය හෝ කරුණාව මිනුමක් කර ගැන්න යැයි ආරාධනා කරමි.