Monday, April 9, 2012

පෙරටුගාමී සමාජවාදීන් වෙත ලියමි

යල් පැණ ගිය හෝ අභාවිතය නිසා අමතක වී ගිය සමාජවාදයේ මූලධර්මයන් මත පිහිටා කටයුතු කරන්නේ යැයි කියා පෙනී සිටි, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගිය - මුල් කාලීනව ජවිපෙ කැරළිකාරයින් වූ ද පසුව ජන අරගලය වූ ද එකී කණ්ඩායම අද වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් කළ එළි බැස තිබේ. එසේත් නැතිනම් ජනගත වී තිබේ. ජවිපෙ යනු ප්‍රායෝගික නොවන නමුත් වාග් විලාශයෙන් ආකර්ශනීය වූ පක්ෂයක් බැව් ජනමතයක් නිර්මාණය වී සමාජගත වී තිබිණි. තවදුරටත් පවතින්නේ ය. එහෙයින්, තවදුරටත් අවලංගු වූ ජවිපෙ වෙනුවට විකල්ප, විකල්පයක් අවශ්‍ය බැව් මේ රට ඉල්ලා සිටියේ ජවිපෙ දෙකඩ වීමට පවා බොහෝ කාලයකට පෙර සිටය. දැන්, එසේ විකල්පයක් ලෙස පෙනී සිටිය හැකි විකල්පයක් ලෙස දන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය වී ඇති බැව් අසන්නට ලැබීම ලියුම්කරුවාගේ දේශපාලන පිපාසය මෙන්ම පොදු ජන සමාජයේ දේශපාලන රික්තය පූර්ණය කරනු ලැබිය හැකි බැව් යම් ප්‍රමාණයකට විශ්වාස කරමි.

කෙසේ නමුත්, පෙරටුගාමීන් ජනගත වන්නේ යුගික දේශපාලන රික්තයක් පවත්නා යුගයක බැව් සදහන් කරනු කැමැත්තෙමි. එසේ වුව ද, පෙරටුගාමීන් කෙරෙහි අදාල රික්තය පිරවීමේ දේශපාලන ශක්‍යතාවක් හෝ සමාජ අවකාශයක් පවතින්නේ ද යන්න, අප විසින් සිහින්ව හා සීරුවට විමසා ගත යුතු වේ. මේ සදහා එක් එක් විෂයයන් කෙරෙහි අවධානය යොමු කිරීම වටින්නේ යැයි ලියුම්කරුවා විශ්වාස කරයි. 

පෙරටුගාමීන්ගේ වර්තමාන ජන පදනම හෙවත් මැතිවරණයකදී ඉදිරිපත්වන ඡන්ද පදනම කවරක් ද යන්න මුලින්ම සාකච්ඡා කළ යුතු වේ. තවදුරටත් පෙරටුගාමීන් පෙනී සිටින්නේ, ජවිපෙ සාමාජිකයාගේ නව පක්ෂය හෝ එහි වෙස්මුහුණු පැළදගත් වෙනසක් නොමැති වෙනසේ භූමිකාව වෙනුවෙන් නම්, පෙරටුගාමීන් ද මේ වන විට රට තුළ බිදවැටෙමින් පවත්නා ජවිපෙ ඡන්ද පදනමේ බිදවැටුම් කොටස් දෙකෙන් එකකට පමණක් හිමිකම් කියන්නෝ වීම වලක්වාලිය නොහැක. සරලවම කියන්නේ නම්, පෙරටුගාමීන්ට හා ජවිපෙ වෙත ඡන්දය ප්‍රකාශ කර සිටින්නේ ගම් වල සිටි ජේවීපී කාරයින්ගෙන් කොටසක් නම් හෝ ජවිපෙට හිතවත් පිරිස නම්, මෙවැනි නව පක්ෂයක කිසිදු පදනමක් ඇති විය නොහැක. එසේම, ජාතික වශයෙන් නව දේශපාලන පක්ෂයක් ලෙස මාධ්‍ය මගින් උලුප්පා දැක්වුව ද එය ගම් බිම් මට්ටමට විහිදී යන විට මේ වන විටත් ජවිපෙ වෙනුවෙන් ඡන්දය දුන් තවත් ජවිපෙ ඡන්ද පමණක් ආමන්ත්‍රණය කරනු ලබන හා සෙසු පුරවැසියනන් කෙරෙහි සංවේදී නොවන පක්ෂයක් විය හැකිය. එහෙයින්, පෙරටුගාමීන් යනු ගොවියා, කම්කරුවා හා ශිෂ්‍යයාද ප්‍රමුඛ මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් ජයග්‍රහණයක් ගෙන දේමේ අරමුණ ඇති පක්ෂයක් ලෙස හැදින්වුව ද එම ජයග්‍රහණය උදා කර ගැනීම පිණිස පුරවැසියන් හෝ ඡන්ද දායකයින් පෙරටුගාමීන් වටා රොක් වීම සිදු නොවනු ඇත.

එහෙයින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ජවිපෙ ආකෘතියේ තවත් වෙනත් පක්ෂයක් හෝ ජවිපෙන් කැඩී වෙන්ව ආ කොටසක් විසින් අටවාගත් පක්ෂයක් යන මනෝභාවය, පුරවැසි මනසින් වියුක්ත කිරීමේ දැවැන්ත අභියෝගය ඔවුන් වෙත පැවරී ඇත. ගම්මට්ටමින් විහිදී සිටින, මින් පෙර ශ්‍රී ලංකා හෝ යූඑන්පී හෝ ජවිපෙ හෝ වූ කිසිවෙක් විසින් හෝ පෙර අත්දැකීම් හෝ පූර්ව විවේචනයකින් තොරව ආදරයෙන් වැලද ගන්නා පක්ෂයක් බවට, එම පක්ෂය පත් කිරීම ඔවුන් හමුවේ ඇති අභියෝගයකි. නමුත්, ජවිපෙ මතකයන් හා මුහුණු සමග ජනගත වන මෙම පක්ෂයට එම අභියෝගය ජයගත හැකි එකක් දැයි ලියුම්කරුවා විසින් ප්‍රශ්න කර සිටිමි. එය ජයග්‍රහණය කිරීම වෙනුවෙන්, පක්ෂය තුළ ඇති යාන්ත්‍රණය හෝ ජවිපෙ නොවන බවත් මෙය සාමාන්‍ය දේශපාලන පක්ෂයක් ලෙස මිනිසුන්ට සංවේදී කිරීම වෙනුවෙන් පෙරටුගාමීන් විසින් තෝරා ගෙන ඇති මාවත කවරක් දැයි ලියුම්කරුවා ප්‍රශ්න කරමි.

ඔබේ කළාව හෝ ඔබේ ආර්ථිකය ද තවදුරටත් ජවිපෙ විසින් විටින් විට ඉස්මතු කරනු ලැබූ හා භාවිත කරනු ලැබූ සමාජවාදී කළාව හෝ ආර්ථිකය වන්නේ නම්, ජවිපෙ අතහැර පෙරටුගාමීන් වටා රොක් වීමට තරම් ඇති සාධාරණ පදනම කුමක් ද. එය ජවිපෙට සමාන වන්නේ නම්, ජවිපෙන් බිදී ආ පෙරටුගාමීන් වෙනුවෙන් සහාය දැක්වීම වෙනුවට, දන්නා හදුනන ජවිපෙටම සහාය දැක්වීමට මිනිසුන් පෙළඹී සිටීමේ ඇති වරද කුමක් ද. ජවිපෙ විසින් කියමින් සිටි, සියල්ල ජනසතු කිරීමේ හා සමාජවාදී විප්ලවයක් විසින් මෙරට ආර්ථිකය හා සමාජ පද්ධතියේ සිදු කරනු ලබන විපර්යාසය සම්බන්ධයෙන් මෙරට ජනතාව කවර ප්‍රමාණයෙන් පැහැදීමක් ඇති කර ගෙන සිටියි ද. සමාජවාදී විප්ලවයක් හෝ එවැනි විප්ලවයක උත්සාහයක් පිළිබද මෙරට ඇති අතීත අත්දැකීම් දෙක වන 71 සහ 88-90 අවධි දෙකේ භීෂණකාරී අත්දැකීම් දෙකෙන් මිනිසුන් මුදවාගනිමින්, සමාජවාදී විප්ලවය යනු අතිශය සුන්දර වූ එකක් බවට පුරවැසි මනසට ඒත්තු ගන්වන්නේ කෙසේ ද. එසේ කළ යුතු වන්නේ, මෙරට තවත් එවැනි විප්ලවයක්, කැරැල්ලක් හෝ උත්සායක් වෙනුවෙන් මෙරට පුරවැසියන් දක්වන අකමැත්ත හා භීතියයි.

ගොවියා හා කම්කරුවා මෙන්ම මෙරට පීඩිත පන්තිය පෙරටුගාමීන් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ කුමන පදනමක් නිසාදැයි සාවදානව ප්‍රශ්න කරමි. ඉතාම මිහිරි හා ආකර්ශනීය මෙන්ම මරාගෙන මැරීමට වුව ද පෙරට ඒමට තරම් ආශ්වාදයක් සපයනු ලබන සමාජවාදී ආමන්ත්‍රණ විධික්‍රමය නිසා ද. ඒ සියලු ආකර්ශනීය කතා වෙන් කොට එකින් එක විමසීමේදී, මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් ඔබ කෙරෙහි විශ්වාසය තැබීමට ඇති සාධාරණ විශ්වාසය කුමක් ද. සමාජවාදී විප්ලවයේ හැඩරුව කුමක් ද. එහිදී, කිසිවෙක් මිය නොයන්නේ ද. කිසිවෙකු අතුරුදන් නොවන්නේ ද. ඒ වෙනුවෙන් නායකත්වය ලබා දෙන්නේ කවරෙක් විසින් ද. එසේම, සමාජවාදී විප්ලවයෙන් පසු මෙරට ස්ථාපිත කරනු ලබනඅ ාණ්ඩුවේ නායකයා කවු ද. කියුබාව විසින් එම විප්ලවය සිදු කිරීමේදී පිදෙල් ඒ වෙනුවෙන් පෙනී සිටියේය. එසේම, ඒ වටා ශක්තිමක් නායකත්ව පරපුරක් අසුන් ගත්තේය. නව සමාජවාදී රාජ්‍යයේ නායකයා වන්නේ, අතුරුදන්ව සිටින කුමාර් ගුණරත්නම් ද. සේනාධිර ගුණතිලක ද. නැතිනම් පුබුදු ජයගොඩ ද. එසේත් නැතිනම්, විප්ලවයේ උච්චතම මොහොතේ දී සරත් ෆොන්සේකා වැන්නෙක් කුලියට ගැනීමට නියමිත ද.

එහෙයින්, අවසන ලියමි. මේ රාත්‍රියේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය තීරනය වනු ඇති. පක්ෂයක් පිහිටුවීමෙන් හා එහි කාරක සභා හෝ නායකයින් පත් වීමෙන් පමණක්, එසේත් නැතිනම් උද්ඝෝෂණයකින් පමණක් මෙරට බලය පෙරළිය නොහැකි බව පිළිගත යුතු නොවේ ද. අතීත අත්දැකීම් හා බයංකාරබව සමග ජීවත්වන පුරවැසියන් විපල්වයක් හෝ කැරැල්ලක් වෙනුවෙන් යොමු වීමේ වියහැකියාව ඉතාම අල්පය. එහෙයින්, මෙරට බලය අල්ලා ගත හැක්කේ ඡන්දයකින් පමණක් බව විශ්වාස කළ යුතු නොවේ ද. එහෙයින්, ගල් අහුරක් අතැති, අලුත උපන් දරුවකු වන ඔබ මහා සාගරය හරහා ගල් පාලමක් තැනීම සදහා වෙර දරමින් සිටින මොහොතේ දී ඔබට අවැසි ගල් හා ගඩොල් වැඩි කර ගැනීම වෙනුවෙන් භාවිත කරන ප්‍රායෝගික යාන්ත්‍රණය කුමක් ද. ඒ පිළිබද අවදියෙන් සිටිමු. 

එසේම, 1815 දී උඩරට ගිවිසුමෙන් යටත් වූ ශ්‍රී ලංකාව 1948 දොලපදේණි නිදහස හිමිවන තුරුම නිදහස වෙනුවෙන් පවා අරගලයකට උත්සාහ කොට ඇත්තේ, 1818 දී හා 1848 දී පමණි. අවසන් වසර 100 පුරා කිසිදු අරගලයක් හෝ නොමැත. භාහිරින් පැමිණ සිටි බලවේගයන් එලවාගැනීම කෙරෙහි පවා දේශභ්‍යන්තරික අරගල කිරීමේ පසුගාමීන් වූ මෙරට දේශපාලන පුරවැසියා, දේශභ්‍යන්තරික බලවේගයන් පන්නා දැමීම වෙනුවෙන් උදේ අවදි වී පෝලිමේ ගොස් ඡන්දය දීමකින් සහාය දැක්වීමෙන් පරිභාහිර වෙනත් විකල්ප අරගලයකට හෝ කැරැල්ලකට යොමු වීමේ හැකියාවක් ඇති ද.
තවද ලියන්නේ නම්, පෙරටුගාමීන් අරගල කළ යුත්තේ මෙරට ඉතිහාසයේ බලවත්ම රෙජීමය වූ මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව පමණක් නොවේ. පසෙකින් සජිත් හා රනිල් වැනි දක්ෂිණාන්ශිකයින් ද තවත් පසෙකින් ඔවුන්ගේම පූර්ව සටන් සගයින් වූ ජවිපෙ හා සෙසු සමාජවාදීන් හා තවත් නොපෙණෙන හා නොදන්නා බොහෝ දෙනෙක් සමග ඔවුන්ට සටන් කිරීමට සිදු වනු ඇත. අවසන ප්‍රශ්න කරමි. විසිතුරු වේදිකාවකින් හා සුන්දර වදන් පෙළකින් ඔබ්බට ගිය සැබෑ සමාජ හිතවාදී යැයි ඔබ විශ්වාස කරන දේශය නිර්මාණය කිරීම වෙනුවෙන් සටන් කිරීමට ඔබ සමග සිටින පිරිස ප්‍රමාණවත් වන්නේ ද.

කෙසේ නමුදු, ආදරණීය සහෝදරවරුණි, සංශෝදනය කරනු ලැබූ හා රටට අනන්‍ය වූ සමාජවාදී හෝ වෙනත් දේශපාලන න්‍යායක් හරහා අදට වඩා හොද හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබ විසින් දක්වන උත්සාහය අගය කරමි. හිස නමා ආචාර කරමි. නමුත්, එහි ප්‍රායෝගිකත්වය හා ගැලපීම ද යුගික වාතාවරණය ද ලියුම්කරුවාගේ සිත ලියුම්කරුවාගෙන් ප්‍රශ්න කර සිටින නිසා, ලියුම්කරුවා පෙරටුගාමී සමාජවාදීන් වන ඔබෙන් ප්‍රශ්න කරමි.

Saturday, April 7, 2012

ජිනීවා අර්බුදය හෙවත් “මට අහිමි රට මකබෑවියං“ දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවරය නිමා වී දින කිහිපයක් ගෙවී ගියේය. එහිදී, ශ්‍රී ලංකාව සම්බන්ධ කවර වර්ගයේ හෝ යෝජනාවක්, ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් වූ පුවත කිරිසප්පයාගේ සිට වයෝවෘද්ධ මහල්ලා දක්වා දන්නා පොදු පුවතක් බවට පත්ව තිබේ. ලියුම්කරුවා විසින්, උක්ත අඛ්‍යානය පිළිබද සාකච්ඡා කිරීම සදහා මේ අවස්ථාව තෝරා ගනු ලබන්නේ, නිදා සිට අවදි වූයේ මේ මොහොතේ නිසා නොවන බව පළමුව සදහන් කළ යුතුය. පසුගිය මාසයකට ආසන්න කාලයක්, ජිනීවා සිද්ධිය පිළිබද පුළුල් හා සමාජ කියවීමක් සිදු කිරීමට කාලය වෙහෙසුවේය. එසේම, අදාල ප්‍රයත්නය හරහා බොහෝ අවධාරණය කළ යුතු වන කරුණු පිළිබද හේතු පාඨයන් මතුවන අයුරු දක්නට ලැබිණි. මෙම තීරණාත්මක කියවීමේදී ලියුම්කරුවා විසින් අපේක්ෂා කර සිටින්නේ, ජිනීවා අර්බුදය හමුවේ ඇති කරුණු කිහිපයක් පිළිබද වන ගැටලු කිහිපයක් ලිහා ගැනීමටය.

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවේදී පරාජයට පත් වූයේ, කරුණු කිහිපයක් හේතුවෙනි. මෙහි ප්‍රධානතම සාධකය වන්නේ, ශ්‍රී ලංකා විසින් තෝරාගෙන ඇති කදවුරේ ඇති අඩු ශක්තිමත්භාවයයි. එසේම, ඇතැම් විට අප විසින්, අපේ කදවුරේ සටන් සගයින් යැයි විශ්වාස කළ රටවල් පවා අප හමුවේ ද්‍රෝහීන් වී, ජුදාස්ගේ භූමිකාව රගපෑවේය. ඉන්දියාව ඒ සදහා ඇති කදිම හා වඩාත්ම සුදුසු ජනප්‍රිය උදාහරණයයි. එසේම, චීනය හා රුසියාව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තීරණය කර සිටින්නේ, ලෝකයේ බලවන්තභාවය පිළිබද අනාගත ගැටුමකදී ශ්‍රී ලංකාව යනු යුධ ස්ථානගත කිරීමක් සදහා වඩාත්ම සුදුසු හා මර්මස්ථානයක් බවට විශ්වාස කරමින් චීනය හා රුසියාව අප සමග එදා සිටම පවත්වාගෙන පැමිණෙන හිතෛශී භාවය හේතුවෙනි. ඇමරිකාව එවැනි අවස්ථාවකදී අපට එරෙහි වන්නේ, චීනයට හා රුසියාවට පක්ෂපාත ශ්‍රී ලංකාව අනාගත යුද්ධයකදී. ඇමරිකාව වෙනුවෙන් කදවුරු තැනීමට භාවිත කිරීමට ඇති නොහැකියාව නිසාය. එනම්, අනාගතයේ සිදුවන බලවන්තභාවය සම්බන්ධ ගැටළුවකදී ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් ඇති ඵලක් නැති නිසාය. කියුබාව ශ්‍රී ලංකාව වෙත සහාය දක්වන්නේ, එකක් අප සමාජවාදී රාජ්‍යයක්  බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව පිළිගන්නා නිසා මෙන්ම, ඇමරිකාව සමග කියුබාවට පවත්නා පෞද්ගලික අර්බුදය හේතුවෙනි. ඇමරිකාව විසින් ගෙන එනු ලබන ඕනෑම යෝජනාවකට විරුද්ධ වන ප්‍රතිපත්තියේ සිටින කියුබාව අප වෙත සහාය දැක්වීය. මාලදිවයින හා බංග්ලාදේශය අප වෙත සහාය දක්වන්නේ එකිනෙකට වෙනස් කරුණු දෙකක් හේතුවෙනි. බංග්ලාදේශය හා ඉන්දියාව අතර ඇති දිය යට ගින්දර සටන හේතුවෙන් ඔවුන් ද මාලදිවයිනට ආසන්නයේ ඇති, “එකම පොර රාජ්‍යය“ ශ්‍රී ලංකාව වන හෙයින් ඔවුන් ද අප වෙත සහාය දැක්වූයේ යැයි ලියුම්කරුවා කල්පනා කරයි.

තානාපති සබදතාවක් හෝ නොමැති උගන්ඩාව වැනි රාජ්‍යයන්, ඔවුන්ගේ යම් ප්‍රතිපත්තිමය තීරනයක් නිසා යෝජනාවට විරුද්ධ වූ බව කියා සිටියේය. මීට අමතරව, චීනය හා රුසියාව ශ්‍රී ලංකාවට පක්ෂග්‍රාහී වන විට, ඔවුන්ගේ ආශ්‍රය පරිවාර රාජ්‍යයන් ද ඒ අනුව යමින් යෝජනාවට විරුද්ධ වූයේය. මෙහිදී සාකච්ඡා කිරීමේ අභිප්‍රාය වන්නේ මෙය නොවේ. නමුත්, ශ්‍රී ලංකා විදේශ සේවයේ ඇති හපන්කමක් විසින් අමුතුවෙන් ලැබුණු සහයෝගයක් නොමැති බව අප අකමැත්තෙන් වුව ද පිළිගත යුතුය. 

කෙසේ වුව ද, දැන් යෝජනාව සම්මත වී, කැළඹී තිබූ දිය සෙමින් සෙමින් සමනය වෙමින් තිබේ. තවත් විටෙක මෙය යළි කැළඹෙනු නියතය. නමුත්, දිය නිසොල්මන් වෙත්ම, එහි ගැඹුර ද වැඩි වෙමින් පවත්නා  බව අමතක නොකළ යුතුය.

මෙහි අරමුණ වන්නේ, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මෙරට වැසියන් විසින් ගත යුතු වාචික හා ප්‍රකාහනමය ස්තාවරය පිළිබද සාකච්ඡා කිරීමයි. ආණ්ඩුව කාගේ හෝ වේවා, රාජ්‍යයේ හිමිකාරීත්වය - එහි පුරවැසියන් ලෙස අප වෙත පැවරී ඇත. එහෙයින්, මෙම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම හෝ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම අප උර මත පැවරී ඇති වගකීමකි. ආණ්ඩුව සමග කිසියම් කෝන්තරයක් ඇති නම්, එය විසදා ගැනීම පිණිස ආණ්ඩුබලය හුවමාරු කර ගැනීම සදහා වන මැතිවරණයකට හෝ කුමන්ත්‍රණයකට යාමේ වරදක් නැත. ඒ සදහා යෝග්‍ය වැඩපිළිවෙළ ද එයයි. නමුත්, මොන කෙළිසෙල්ලම සිදු කිරීමට හෝ රාජ්‍යය ආරක්ෂා කර ගත යුතු වේ. එහෙයින්, ආණ්ඩුවට පක්ෂපාතී හෝ විරෝධී හෝ වේවා සියලු දෙනා - රාජ්‍යෙය් සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. 

මෙවැනි තත්ත්වයක් තුළ වුව ද, ඇතැම් හු ජිනීවා යෝජනාව සම්මත වීම මාරම ජයග්‍රහණයක් ලෙස විග්‍රහ කරයි. එතුළින්, රාජ්‍යයට කිසිදු හානියක් සිදු නොවන බවත් හානි වන්නේ ආණ්ඩුවට පමණක් බවත් කියා සිටියි. මෑත ඉතිහාසය දෙස බැලූ කල්හි, එවැනි ආණ්ඩු පමණක් පෙරළී ගිය නමුදු අදාල රාජ්‍යය සස්‍රීකව ශේෂ වූ කිසිදු රාජ්‍යයක් නොමැත. සිම්බාබ්වේ, ලිබියාව, සිරියාව මේ සදහා දන්නා පොදු උදාහරණ වේ. එහෙයින්, රාජ්‍යෙය් පැවැත්ම කෙරෙහි, පවත්නා ආණ්ඩුවේ ශක්තිමත් භාවය මෙන්ම, අභ්‍යන්තර නොවන වෙනත් බලවේගයන්ගෙන් ආරක්ෂා වී ආණ්ඩුව පවත්වාගෙන යාම යන සාධකයන් දෙකම වැදගත් වේ. එය අප විසින් පිළිගත යුතුය. 


එසේනම්, ජිනීවා යෝජනාව හෝ වෙනත් යෝජනාවක් මගින්, අභ්‍යන්තර ආණ්ඩුව භාහිර බලපෑමක් මගින් විනාශ කර දැමීමට සහාය දැක්වීම යනු, අදාල රාජ්‍යය විනාශ කර දැමීමට දක්වනු ලබන සහයෝගයක් හා සමාන බව පිලිගත යුතු වේ. එනම්, පොත්තට හානි නොකොට, මදය විකිය නොහැකි බව පිළිගත යුතුය. මෙවැනි ආකාරයේ යෝජනාවක් මගින්, ජාත්‍යන්තර මැදිහත් වීමකින් ආණ්ඩුවක් විනාශ කිරීමට සහාය දක්වන හෝ ප්‍රකාශයකින් හෝ එකගතාව දක්වන පුද්ගලයින් ඒ කෙරෙහි යොමු කරන හා පොළඹවන කරුණු කිහිපයක් ඇත. 

මෙහිදී ලියුම්කරුවා විසින් හදුනාගත් කරුණු මෙසේය. තමන්ගේ ස්ව මැදිහත් වීමෙන් හෝ ස්ව මෙහෙයවීමෙන් ආණ්ඩුව පෙරළීමට නොහැකි බව පිළිගන්නා ලක්ෂ්මන් කිරිඇල්ල වැන්නවුන්, අනුන් ලවා ආණ්ඩුව පෙරළවාගැනීමට උත්සාහ දරයි. කවදා හෝ ආණ්ඩුවක් පිහිටවිය නොහැකි බව විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ මේ පිළිබද විශ්වාසය තබයි. නමුත්, කවදා හෝ මෙරට ආණ්ඩුවක් පිහිටවිය හැකි බව විශ්වාස කරන සජිත් ප්‍රේමදාස, ටිල්වින් සිල්වා හෝ සේනාධීර ගුණතිලක මෙම යෝජනාව සම්බන්ධයෙන් දක්වන්නේ අකමැත්තක් හා විරෝධයකි. මේ පුද්ගලයින්ට ආණ්ඩු පිහිටවිය හාකි හෝ නොහැකි වුවත්, එසේ විශ්වාස කරන නිසා රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ වටිනාකම දනියි. යෝජනාව මගින් ආණ්ඩුව දඩු කදේ ගැසිය යුතු බව විශ්වාස කරන පුද්ගයින්ගේ දෙවැනි කරුණ ලෙස ලියුම්කරුවා හදුනාගන්නේ, ඔවුන්ට ආන්ඩු පිහිටවිය නොහැකි නම් හෝ පාලනය කිරීමට නොහැකි නම්, වෙනත් කිසිවෙකුට හෝ ආණ්ඩු පිහිටවීමේ හැකියාවක් පැවතිය නොහැක යන ආත්මාර්ථකාමී අදහසේ සිටින පුද්ගලයින් ය. සරලවම කියන්නේ නම්, මට බැරිනම් වෙන මොකෙක්ටවත් හැකි විය නොහැක යන තිර අධිටනේ මොවුන් සිටියි.

ආණ්ඩුව මෙහෙයවන්නේ කවුරුන් වුව ද මේ රට තුළ ජීවත්වන සියලු දෙනා වෙනුවෙන් මේ රට ආරක්ෂා කර ගැනීමේ අංශු මාත්‍රයක හෝ වකගීමක් සියලු පුරවැසියන්ට පැවරී ඇති බව අවසන ලියමි. එය වචනයකින් හෝ ඉටු කළ යුතුය.