Wednesday, February 29, 2012

ස්වභාවික සම්පත් විනාශ වීම සම්බන්ධ හැදෑරීමක්


ස්වාභාවිකව පිහිටන ද්‍රව්‍ය, ශක්ති ස්වරූප සහ ජීවීන් ස්වභාවික සම්පත් ලෙස සලකනු ලැබේ. වාතය, ජලය, භූමිය, සූර්ය ශක්තිය, වෘක්ෂලතා, සත්වයෝ හා ඛණිජ ද්‍රව්‍ය ස්වභාවික සම්පත් සදහා උදාහරණ වේ.
ලෝකය තුළ ඇති ස්වභාවික සම්පත් ‘සජීව සම්පත්‘ හා ‘අජීව සම්පත්‘ වශයෙන් වර්ග දෙකකට අයත් වේ. ස්වභාවික තත්ත්ව යටතේ සජීව සම්පත් නැවත නැවත ප්‍රතිජනනය වේ. පාරිභෝජනයට ලක් වුව ද එක්තරා ප්‍රමාණයක් දක්වා ප්‍රතිජනනය වීමේ හැකියාවක් මෙම සම්පත් වලට ඇත. පරිභෝජන වේගය, ප්‍රතිජනන වේගය ඉක්මවා නොයන්නේ නම් එම සම්පත් නැවත අලුත් කළ හැකි සම්පත් ලෙස හදුවන්වනු ලබයි. කෙසේ නමුත්, පරිභෝජන වේගය, ප්‍රතිජනන වේගය ඉක්මවා යන්නේ නම් නැවත අලුත් කළ හැකි සම්පතක් වුව ද අලුත් කළ නොහැකි තත්ත්වයට පත් වේ.
ලෝකයේ අජීව සම්පත් කාණ්ඩ තුනකට වර්ග කළ හැතිය. ඇතැම් සම්පත් නිත්‍ය සම්පත් වේ. සූර්ය ශක්තිය, පිරිසිදු වාතය, පිරිසිදු ජලය ආදිය අලුත් කළ හැකි සම්පත් වේ. ප්‍රමාණයෙන් පිරිමිත වන තුන්වැනි කාණ්ඩය, වරක් භාවිත කිරීමෙන් පසු මිනිසාට ප්‍රයෝජනවත් වන කාල සීමාවක් තුළදී නැවත නොසෑදේ. මේවා අලුත් කළ නොහැකි සම්පත් ලෙස හැදින්වේ. පොසිල ඉන්ධන හා ඛණිජ ද්‍රව්‍ය අලුත් කළ නොහැකි කාණ්ඩයට ඇතුළත් වන අතර එම වර්ගයට උදාහරණ වේ.
ස්වභාවික සම්පත්වල පුළුල් වර්ගීකරණයක් පහත වගුවෙන් දක්වා තිබේ.

වගුව 1.0


ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 29% වනාන්තර වලින් වැසී පවතියි. මෙම වනාන්තර මානව වර්ගයාගේත් වෙනත් ජීවීන්ගේත් අවශ්‍යතා පිරිමැසීමට මෙන්ම ලෝක පරිසරයේ ස්වභාවය හා ගුණාත්මක බව රැක ගැණීමටත් විවිධ ආකාරයෙන් දායක වේ. මුළු මිනිස් ඉතිහාසය තුළම මානව වර්ගයාට, වනාන්තර මගින් ද්‍රව්‍යයන් හා අවශ්‍යතා ගණනාවක් සපයා දී තිබේ. ආරම්භයේදීම වනාන්තරවල තිබූ කෝටු කැබලි ඉන්ධන වශයෙනුත්, ගස්වන අතු සෙවන දෙන ස්තාන ගොඩ නගා ගැනීම සදහාත් භාවිත කෙරිණි. ඵල වර්ග, අල වර්ග හා පත්‍ර මගින් ආහාර, ඖෂධ හා පශු ආහාර සපයන ලදී. වනාන්තර පද්ධති තුළ සිටි සතුන් ද අතීතයේදී මූලික ආහාර ප්‍රභවයන් ලෙස ඉතා වැදගත් වූහ. ශිෂ්ඨාචාරය දියුණු වීමත් සමග හා නාගරීකරණය වීමත් සමගම මෙම වනාන්තර සීඝ්‍රෙයන් ක්ෂය වීම දක්නට ලැබේ.
තෙත් බිම් කොටසට අයත් කඩොලාන හා ජලාශ්‍රිත ශාක මිනිසා විසින් බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබන සම්පත් වේ. මේවා වැදගත් මත්ස්‍ය විශේෂ ගණනාවක ද, ඉස්සන්, කකුළුවන් වැනි කවච මත්ස්‍යයන් විශේෂ ගණනාවක ද පැටවුන් ඇති දැඩි වන ස්තානයන් ලෙස හැදින්විය හැක. ඒ අර්ථයෙන් බලන විට ලෝකයේ බොහෝ ප්‍රදේශවල වෙරළබඩ ධිවර කර්මාන්තය සාර්ථකව හා ස්තාවරව පවත්වාගෙන යාම සදහා කඩොලාන මෙන්ම ජලාශ්‍රිත ශාක හා වගුරු බිම් ඉතා වැදගත් වේ. මෙම කඩොලාන වෘක්ෂලතාදිය ඉන්ධන දර සදහාත් ලී දඩු, කණු ආදිය සැදීමටත් කපා හෙළණ බැවින් ඒවා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. විශේෂයෙන්ම වෙරළ ආසන්නයේ පිහිටා ඇති කොරල්පර ප්‍රජාවන් පෘථිවියේ ඇති වැඩිමඵලදායකත්වය ඇති පරිසර පද්ධතිය වහයෙන් සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. මේවායේ අධික ජෛව විවිධත්වයත් ඇති අතර එය දෙවැනි වන්නේ නිවර්තන තෙත් වනාන්තර වල දක්නට ඇති ජෛව විවිධත්වයට පමණි. මේවා මුහුදු වාසී ජීවීන් විශාල ප්‍රමාණයකට වාසස්ථාන, පෝෂණය හා බෝ වීමේ ස්තාන මෙන්ම රැකවරණය ද සපයයි. කොරළ්පර, රළ පහරට ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කිරීමෙන් යාබද මුහුදු වෙරළේ ඛාදනය සීමා කරයි. අවසාදන තැන්පත් වීම, දූෂණය, ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම හෝ හුණුගල් හෝ වෙනත් වාණිජ ප්‍රයෝජන සදහා හාරා හෝ කඩා ඉවත් කිරීම හේතුවෙන් මෙම කොරල්පර විවිධ තර්ජනයන්ට භාජනය වේ.
පෘථිවි පාෂාණ හා වායුගෝලය අතර අතුරු මුහුණත සෑදී ඇත්තේ පස් වලිනි. එය ශාක වර්ධනය සදහා මාධ්‍යය හෙවත් උපස්ථරය සපයයි. පස නොමැතිව භෞමික පරිසර පද්ධතියක් පැවතිය නොහැක. ජෛව ගෝලයේ විශාල ප්‍රදේශ පුරා පැතිර ඇති සාගර හා වායුගෝලය මෙන් නොව, පස පෘථිවිය මත පිහිටයි. සාපේක්ෂ ලෙස ඉතා තුනී වැස්මක් සාදයි. එහෙත්, මිනිසා ඔහුගේ ආහාර නිෂ්පාදනය කරගැනීම සදහා ඒ මත දැඩි ලෙස යැපිය යුතු වේ. පස සෑදීම නොනවත්වාම සිදුකරමින් සිටින කාර්යයකි. ඒ හේතුවෙන් පස අලුත් කළ හැකි වූ සම්පතක් ලෙස සැලකිය හැකිය. එසේ වුව ද, මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් පස පහසුවෙන් විනාශ වීම ද බිද වැටීම ද සිදු වේ. සාරවත් පසින් යුත් සෙන්ටිමීටර කිහිපයක ස්ථරයක් නිර්මාණය වීමට වසර සිය ගණනක සිට දහස් ගණනක් දක්වා වූ කාලයක් ගත වන නිසා, අලුත් කළ හැකි වුව ද පස යනු අලුත් කළ නොහැකි වර්ගයේ සම්පතක් බවට සීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ.
ජීවය සදහා ඛණිජ ඉතාම වැදගත් වේ. අප කෑමට ගන්නා ආහාර, බීමට ගන්නා ජලය, අප භාවිත කරන සෙසු ද්‍රව්‍ය යන මේ සියල්ලේම ඛණිජ අඩංගු වේ. ඛණිජ සම්පත් යනු, ලාභදායී ලෙස නිස්සාරණය කරගත හැකි තරමට හෝ ප්‍රයෝජනයට ගත හැකි තරමට ප්‍රමාණවත් සාන්ද්‍රණයන්ගෙන් පිහිටි පාෂාණ, ඛණිජ, රසායනික සංයෝග නොහොත් මූල ද්‍රව්‍ය වේ. ඛණිජ සම්පක් යන සංකල්පය පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ලෙස රන් හා රිදී ඉදිරිපත් කළ හැක. විවිධ වර්ගයන්ගේ ඛණීජ සම්පත් තිබේ. බොහෝ බහුල ලෙස දක්නට ඇති ලෝහ ගණයට යකඩ, ඇලුමිනියම්, ක්රෝමියම්, මැග්නීසියම්, ටයිටේනියම් සහ මැංගනීස් උදාහරණ වේ. අනෙක් අතට - තඹ, ලෙඩ්, සින්ක්, ටින්, රත්තරන්, රිදී, ප්ලැටිනම්, යුරේනියම්, රසදිය හා මොලිබිඩිනම් වැනි ලෝහ විරල ලෝහයන් හෝ ඛණිජ ලෙස හැදින්විය හැක. පෘථිවියේ ඇති ඛණිජ සම්පත් අලුත් කළ නොහැකි වන හෙයින් ඒවා ක්ෂය වෙමින් පවතියි. යකඩ හා ටින් වැනි ඛණිජ ප්‍රතිචක්‍රීකරණය කොට භාවිත කළ හැකි නම්, එම ලෝහයන්ගේ ක්ෂය වීමේ සීඝ්‍රතාවය සීමා කළ හැක. නිෂ්පාදනයේදී හා භාවිත කිරීමේදී සංරක්ෂණ ක්‍රම යෙදීමෙන් ක්ෂය වීමේ වේගය අඩු කළ හැකිය.

සීඝ්‍රයෙන් වැඩි වන ජනගහණය හා ඔවුන් විසින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට දරන පරිශ්‍රමයේදී නිරන්තරයෙන්ම පරිභෝජන වේගය වැඩිවීමක් දක්නට ඇත. ඒ හේතුවෙන් ඛණිජ සංචික ක්ෂය වීම ද සීඝ්‍රයෙන් සිදු වේ. නුදුරේදීම වටිනා ලෝහයන් ලෙස සැලකෙන, ප්ලැටිනම්, රන්, රිදී, රසදිය හා හීලියම් වැනි මූලද්‍රව්‍යයන් විරල හා දුර්ලභ ඛණිජ බවට පත්වීමේ වැඩි විය හැකියාවක් පවතියි.
මෙසේ, මෙම පරිසර ස්වභාවික සම්පත් ක්ෂය වීම හා විනාශ වීම අඛණ්ඩව සිදු වුවහොත් වැදගත් නිශ්පාදන ක්‍රියාවලි කෙරෙහි ප්‍රතිවිපාක ලෙස සිදුකරන බලපෑම් වැඩිවනු ඇත. මෙවැනි දේ සලකා බැලීමේදී පරිසර සම්පත් අනිසි ලෙස භාවිතයේ අනිසි ප්‍රතිලාභයන්ට හා ප්‍රතිචාරයන්ට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇත.

Wednesday, February 15, 2012

පොලිස්පතිවරයා, ඉල්ලා අස් නොවන්නේ ඇයි ?

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ කතාව අද වන විට උච්චතම තැනකට පත්ව ඇත්තේ, හලාවතදී දීවරයෙකු වෙඩි කා මිය යාමේ ඛේදවාචකයේ සිද්ධියත් සමගය. අදාල සිද්ධිය, පොලිස් නිළධාරියකුට නම් තවත් එක් වෙඩි උණ්ඩයක් පමණි. ධීවරයිනට එය සිය සගයකු අහිමි වීමකි. විමාධ්‍යකරුවකුට නම්, යහමින් පට්ට ගැසිය හැකි ප්‍රවෘත්තියකි. දේශපාලනඥයකුට අදාල සිද්ධිය විවිධ පැතිකඩ වලින් ගෝචර විය හැක. ඡන්ද දායකයකු අහිමි වීම - පාක්ෂිකයකුගේ මරණයක් - ආණ්ඩුව පෙරළීමට තර්කයක් ආදීන්ගෙන් එකක් හෝ තවත් දෙයක් විය හැක. කෙසේ නමුත්, අදාල සිද්ධිය කුමන අර්ථයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ද ඉතාම සරළ සිදුවීමක් නම් නොවන්නේය. එහෙයින්, සරල නොවන - බැරූරුම් දේ වෙනුවෙන් බැරූරුම් ප්‍රතිචාර දැක්විය යුතු නෙවන්නේ දැයි සමාජය විසින් ප්‍රශ්න කළ යුතුය.

ඉතිහාසය දෙස බැලීමේදී, අප රට තුළ සිදුවන පළමු විරෝධතා ඝාතනය මෙය පමණක් නොවන්නේය. අවසන් හෝ එකම ඝාතනය නොවන්නේය. මෙවැනි දේශපාලන ක්‍රමවේදයක් තුළ මෙය අවසාන එක යැයි කිසිලෙසකින්වත් විශ්වාස කිරීම ද කළ නොහැක. එසේ කරන්නේ නම්, එය විහිළුවකි. මෙම ලිපියේ වියමන් කෙරෙන්නේ - සිද්ධිය වාර්තාවීමෙන් පැය කිහිපයකට පසු, නමුත් තම වර්ගයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහික විප්ලවයකදී පෞද්ගලිකව දඩුවම් ලැබූවකු පිළිබද ආරංචියට පැය කිහිපයකට පසුවය. ඔහු දිවි දුන් පමණින් හෝ පාලකයින් විසින් එකෙක් මරා - පෙළපාලිය විසිරුවා හැරිය ද ප්‍රශ්නය විසදාගත නොහැකිව අසරණව සිටිනා තත්ත්වයකදීය. 

අපට මතක ඇති ඉතිහාසයේ, මෙවන් සිද්ධියක් වාර්තා වන්නේ, පසුගිය මැයි හෝ ජූලි මාසයේ දිනකය. පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව නැගී සිටි හෝ උසිගැන්වූ සේවකයින් විසින් සංවිධාන කළ මෙවැනිම විරෝධතාවකදී ඇගළුම් සේවකයකු මේ අයුරින්ම තුවක්කු බලයෙන් විනාශ කොට දමා, අනෙකා බිය වද්දා ජීවිතය පිළිබද වන ආශාව හා දැඩි කැමැත්ත හේතුවෙන් සෙසු කිසිවෙක් නැගී සිටීම වළක්වාලමින් සිදු කළ සිද්ධියයි. එවිට ද ලියුම්කරුවා විසින් මෙම ප්‍රශ්නයම අසා සිටියේය. අදද එම ප්‍රශ්නය ම අසා සිටිමි. 

හලාවත ධීවරයා මිය යාමේ සිද්ධියේ දේශපාලනික හරය කියවා ගත යුතුව ඇතැයි විශ්වාස කරමි. එසේ කරනු ලැබිය යුත්තේ, හැගීම්බර මිනිසෙකු විසින් පට්ට ගසමින් එකෙක් හෝ කණ්ඩායමක් ඉලක්කකර ගනිමින් පදනම් විරහිතව බැණ වැදීම හෝ ලේ පුච්චා ගැනීම වලක්වා ගැනීම පිණිසය. 

හලාවතදී ධිවරයාට වෙඩි තබන්නේ, පොලිස් නිළධාරියකු විසිනි. එසේ නොවන්නේ නම්, හමුදා නිළධාරියකු විසිනි. මේ කවරෙකු වුවත්, මෙහි ඇති දේශපාලනික හා සමාජ කාරණය පොදු එකකි. මෙම නිළධාරීන් යනු, ආණ්ඩුවේ සේවකයින්ය. එනම්, තමාට ඉහළින් සිටින නිළධාරියාගේ අණට කීකරු විය යුතු පිරිසකි. ඉහළ නිළධාරියා යනු තවත් එවැනිම අයෙකුට අවනත විය යුතු අයෙකි. නොනිමි රේඛාවක් සේ, මේ කීකරු වීම සිදු කළ යුතුව ඇත. එසේනම්, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් ද. පළමුවෙන්ම වෙඩික්කරුවා විසින් මෙහි වගකීම භාර ගත යුතුව ඇත. ඔහුට විරුද්ධව විනය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් පසුව, තවත් එවැනි අසමජ්ජාති වෙඩික්කරුවකු බිහි නොවීම සදහා අවශ්‍ය තත්ත්වයන් සැලසිය යුතුම වන්නේය. එය පමණක් ප්‍රමාණවත් වන්නේ ද. එසේ කළ පමණින්, සියලු දෝශ නිවාරණය වන්නේ යැයි කිව හැකි ද.

අප දන්නා රාජ්‍යයන් සමහරක, මෙවැනි සිද්ධීන් වු විගස විෂය භාර ප්‍රධානියා කණගාටුව හා ලැජ්ජාව මිශ්‍ර පසුතැවීමකින් යුතුව කාර්යයන් අතහැර යන්නේය. සරලවම කියතොත් ඉල්ලා අස්වන්නේය. නමුත්, අප ඉතිහාසයේ එවැනි පොරවල් හමු වන්නේ, ඉතා අල්ප තරමින්ය. යමෙකුට මෙසේ කියූ පමණින් හිටපු පොලිස්පතිවරයා සිහි විය හැක. එය වහා නිවැරදි කර ගත යුතුය. ඔහු ඉල්ලා අස් වූයේ නැත. විශ්‍රාම යාමට දින 18 ක් පමණක් ඉතිරිව සිටිය දී, කටඋත්තර දී ගත නොහැකිව සැගවීම පිණිස සිය ඉතිරිව තිබූ නිවාඩු කිහිපය භාවිත කළේය. ඉල්ලා අස්වීමක් ලෙස ඒත්තු ගැන්වීමට වෙර දැරුව ද තනි අත්ලෙන් නිරුවත වසා ගත්නාක් මෙන් හැසිරිණි.

අද ද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇත. නමුත්, වර්තමාන පොලිස්පතිවරයාට විශ්‍රාම යාම පිණිස තවත් මාස කිහිපයක් හෝ වසරකට අධික කාලයක් ඉතිරිව පවතියි. එසේනම්, තම අන්තේවාසිකයකු විසින් කරනු ලැබූ නොමනා ක්‍රියාවේ වගකීම, අදාල සුළු පාලනයේ නායකයා ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් විසින්වත් අවම වශයෙන් භාර ගත යුතුය. තමාගේ ගෝලබාලයින් නිසි විනයකින් යුතුව පාලනය කර ගැනීමට ඔහු සතු නොහැකියාව වෙනුවෙන් - තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්‍රාම වැටුපක් ලැබීම පවා ලැජ්ජා සහගත කරුණක් වන්නේයැයි පිළිගනිමින් ඉල්ලා අස් විය යුතුය. ධිවර හෝ බස් හෝ වෙනත් විරෝධතාවක් පාලනය කිරීම සම්බන්ධයෙන් වන තීරණය කිසිසේත්ම පොලිස්පතිවරයාගේ තීරණයක් නොවේ. එය සම්පූර්ණයෙන්ම දේශපාලනික තීරණයකි. විරෝධතාවක් වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය හා එහි ප්‍රබලත්වය තීරණය කරනු ලබන්නේ දේශපාලනික තීරණයක් ලෙසය. එසේනම්, දේශපාලනික තීරණයකට යටත් වීමට සිදු වූයේ නම්, පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුත්තේ කුමන  පදනමකින් දැයි සමාජය ප්‍රශ්න කර සිටිය හැක. ඇත්ත වශයෙන්ම මෙහි ඇති, දේශපාලනික හා රාජ්‍ය සේවාමය කරුණු දෙක වෙන් වෙන්ව හදුනාගත යුතුය. විරෝධතාව විසිරුවා හැරීම පිණිස වෙඩි තබන්නයැයි යන නියෝගය දේශපාලනික වුව ද - තමාගේ වැටුප ගෙවනු ලබන හාම්පුතා වන ජනතාව වෙත තුවක්කුව දිගු කිරීම පිණිස අදාල තීරණය අනුමත කිරීම පොලිස්පතිවරයා විසින් කරනු ලැබ ඇති, නොමනා හා අයුක්තිසහගත ක්‍රියාවකි. එහෙයින්, බලයට හිස නමා තම හාම්පුතාට වෙඩි තැබීම වෙනුවෙන් ඔහු ලැජ්ජා විය යුතුය. එවැනි මිනිසුන් වෙනුවෙන් නායකත්වය දීමට සිදු වීම අසමත් බවක් ලෙස පිළිගත යුතුය. එහෙයින් තවදුරටත්, ඍජුව සේවය කළ නොහැකි බව පිළිගත යුතුය. ඓහින් ම සිය සේවය තවදුරටත් කරගෙන යා නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීම වටියි. එසේ කළ යුතුව ඇත.

මෙම සිද්ධිය දෙස බැලීමේදී තවත් මූලික කරුණක් දක්නට ලැබේ. අප ගතකරමින් සිටින්නේ, පශ්චාත් යුධ සමයකි. අපට වෙඩි තැබීමක් හෝ මරණයක් යනු පුදුම වියයුතු හෝ එසේ විය හැකි තරමේ -මාර සිද්ධියක්- නොවන්නේය. අප ඇති තරම් මළ මිනිසුන් දැක ඇත. රටවැසියන් වන අප, මළ මිනිසුන් පිළිබද දක්වන්නේ නිශ්ක්‍රීය ප්‍රතිචාරයකි. එහෙයින් අප රට තුළ ඝාතනයක් යනු ප්‍රවෘත්තියක් පමණක් මිස වෙනකක් නොවන්නේය. 

යුධ හමුදා හා පොලිස් සේවයේ සියලු දෙනාගේ මොළ හැඩගසා ඇත්තේ, ප්‍රතිවාදියා විනාශ කිරීමටය. අප විසින් යුද්ධය අවසන් කරන්නේ, එම වර්ගයේ මානසිකත්වයකින් යුතු පිරිසක් මෙරට ශේෂ කරමිනි. නිරන්තරයෙන් යුධ වදිමින් සිටි ඔවුන්, මේ වන විට සිටින්නේ, දැඩි පීඩනයකිනි. අත්අඩංගුවට ගනු ලැබූ එල්. ටී. ටී. ඊ. පිරිස් පුනුරුත්තාපනය කළ ද ශ්‍රී ලංකා රජයේ හමුදාවන් සාමාන්‍ය සිවිල් සමාජයට මුදා හරිනු ලැබ ඇත්තේ එවැනි අවම පුනුරුත්තාපනය කිරීමකින් හෝ තොරවය. ඔවුන්, සාමාන්‍ය වැසියන් සේ ජීවත් වීම සිදු කරයි. නමුත්, ප්‍රතිවාදියා නැසීමේ ඒකායන අරමුණ සහිතවන යටගිය මානසිකත්වය හා උවමනාව තවදුරටත් සිත් තුළ පැළපදියම් වී තිබේ. එසේ වුව ද මේ හමුදාවන්ට නැසිය යුතු ප්‍රතිවාදීන් මුණ ගැසෙන්නේ දැන් ඉතාම කළාතුරකිනි. එහෙයින්, අළුයට සැගව ඇති ගින්දර සේ, ප්‍රතිවාදියකු හමුවන පළමු අවස්ථාවේදීම දැඩිව පීඩනයකින් යුතුව සගවා ගෙන සිටින ප්‍රතිවාදියා විනාශ කිරීමේ මානසික තත්ත්වය පොළා පනියි. ඉහළට එසවෙයි. මේ සිදුව ඇත්තේ ඒ තත්ත්වයයි. 

එහෙයින්, මින් ඉදිරියට ද සාමාන්‍ය සිවිල් සමාජයක් තුළ යුධ මානසිකත්වයෙන් යුතු මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රතිවාදියා විනාශ කිරීමේ යුධමය ක්‍රියාව - සිදු නොවීමට නම් හමුදාවන් සහ පොලීසි පුනුරුත්තාපනය කළ යුතුම වේ. සරලවම කියන්නේ නම්, කොටියා සමග සටන් කිරීම පිණිස පුහුණු කළ ව්‍යාඝ්‍රයා, සමාජගත කිරීමට පෙර - හීලෑ කළ යුතුව ඇත. එසේ නොවන තාක් කල්, ධිවර - ගොවි - කම්කරු හෝ සිසු, නොඑසේනම් වෙනත් විරෝධතාවන් තුළ හෝ ජනරාශින් තුළ මෙවැනි වෙඩි තැබීම් හා ඝාතන සුළභ වනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, සිවිල් සමාජය ද යුධකාමී වීමය. මරාගෙන මැරෙන්නට හෝ සූදානම්ව පාරට බහින තත්ත්වයක් උද්ගත විය හැක. එහෙයින්, සිවිල් සමාජය ව්‍යාඝ්‍රයාට එරෙහිව පොළු මුගුරු ගැනීමට පෙර සමාජගත කරනු ලැබ ඇති ව්‍යාඝ්‍රයා හීලෑ කළ යුතුව ඇතැයි යළිදු කියමි. 

අවසන ලියමි. ලිබියාවේ සියල්ල ආරම්භ වන්නේ විරෝධතාවක් වෙනුවෙන් එල්ල වූ වෙඩි පහරිකින් පසු විරෝධතකරුවෙකු මිය යාමෙනි. ඊජිප්තුවේ ද මිනිසුන් වීදිබසින්නේ සිය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙනි. පසුව, ඔවුන්ට එරෙහිව තුවක්කු ක්‍රියාත්මක වීම මගින් දැවැන්ත කැරැල්ලක් නිර්මාණ විය. එහෙයින්, මිනිසුන් ජීවිත පරදුවට තබා හීලෑ නොකරන ලද ව්‍යාඝ්‍රයින්ට හා ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහිව සටන් ඇරඹිමට පෙර - හාම්පුතුන් විසින් ව්‍යාඝ්‍රයින් හීලෑ කළ යුතුව ඇත.

Tuesday, February 14, 2012

මාලදිවයින් ජනාධිපති - දුර දකිනා මිනිසකු ලෙස...

ලියුම්කරුවා විසින්, මාලදිවයින් ජනාධිපතිවරයා ලෙසින් හදුන්වනු ලබන්නේ ඇත්ත වශයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයායි. මොහොමඩ් නශිඩ් ලෙස අප හදුනාගත් ඔහු මේ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස් ව නීතිය ඉදිරියේ පෙනී සිටීමට සූදානමින් සිටියි. දකුණු ආසියානු කළාපය තුළ මෑතකදී නිර්මාණය වූ දැවැන්තම හා කෙටිකාලීනම අභ්‍යන්තර කැරැල්ලට මුහුණ දීමට සිදු වූ මොහොමඩ් නශීඩ් ජනාධිපතිවරයා කරැල්ලේ කස පමණක් පුපුරමින් සිටිය දී, පෙරහැර ආරම්භ වීමට පෙර ඉල්ලා අස්වී ගියේය. නමුත්, ඔහු පලා නොගියේය. නශීඩ් විසින් කරනු ලැබූ ක්‍රියාව හෙවත් ගනු ලැබූ තීරණය ඓතිහාසික එකක් බව අප විසින් පිළිගත යුතුව ඇත. මෙම ලිපියේ වියමන් කිරීම සදහා මෙම ආඛ්‍යානය තෝරා ගනු ලබන්නේ අදාල සිද්ධි මාලාවේ වැඩි අවධානයක් යොමු නොවුණු සංකීර්ණ දේශපාලනික අරුත පිළිබද සාකච්ඡා කිරීම සදහා අවශ්‍ය මූලික වටපිටාව සපයා දීමයි.

පළමුව, මොහොමඩ් නශීඩ් යනු කවරෙක් දැයි කියවා ගත යුතුව ඇත. 1967 මැයි මාසයේ දී උපත ලද ඔහු 2008 වසරේදී මාලදිවයිනේ 4 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙයි. ඒ, අබ්දුල් ගයූම්ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.  ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමිනි. ඔහු ඒ වන විට මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් 27 වරක් සිරබත් කෑ, සමාජ ව්‍යාපාර හා දේශපාලනික නියමුවකු ලෙස මාලදිවයින් ජනතාව විසින් තේරුම්ගෙන සිටියේය. ඔහු පළමුවරට සිරගත වූයේ 1990 වසර හෝ ඒ අත්‍යාසන්න කාලයකදී ය. සන්ගු නම් දේශපාලිනක සගරාවක් වෙත ලියනු ලැබූ ලිපියක් වෙනුවෙනි. නමුත්, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සංවිධාන කළ දේශපාලනික සිරකරුවා සදහා වන සම්මානය 1991 වසරේදී ඔහුට හිමි විය. 

කාලය ගෙවී යාමත් සමග නශීඩ් 2003 වසරේදී ශ්‍රී ලංකාවේදී හා බ්‍රිතාන්‍යෙය්දී කරනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිර්මාණය කළේය. නමුත්, එම පක්ෂයේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරමින් සිටියදී ම තවත් කිහිප වරක් සිරබත් කෑම නශීඩ් ට උරුම විය. ඔහු 2008 වසරේදී මාලදිවයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, එතෙක් පැවිත ගයූම් පාලනයේ පැවති අක්‍රමිකතා හා දූෂණ මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වීම් සදහා සදාතනික නැවතුම් තිත තබනවාය යනු පොරොන්දුව ද පොදි බැදගෙනය. ඔහු එහිදී ජයග්‍රහණය කළේය. පසුව ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර 2008 වසරේ සිට පසුගිය සතියේ ඉල්ලා අස්වන තුරුම එම ධුරය දැරීය.

මොහොමඩ් නශීඩ් ගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයන් කිහිපයක් පමණක් කියවා ගනිමින්, මේ දක්වා පැමිණෙන්නේ මේ සදහා ඉතාම වැදගත් වන කරුණු කිහිපය එමගින් ආවරණය වන බවට වන විශ්වාසය නිසාය. දැන් යලිත් ආඛ්‍යානයේ මුඛ්‍ය පරමාර්තය දෙසට අවධානය යොමු කිරීම සුදුසු යැයි විශ්වාස කරමි.

මොහොමඩ් නශීඩ් කරුණු දෙකක් හේතුවෙන්, දුර දකින මිනිසෙක් යැයි හැදින්වීම සර්ව සාධාරණ බව ලියුම්කරුවා විසින් කල්පනා කරයි. එහි පළමු කරුණ වන්නේ නශීඩ්ගේ පාරිසරික හා කාලගුණික වෙනස් වීම් සම්බන්ධ දුර දක්නා නුවණ හා නිර්මාණශීලී ලෝකාමන්ත්‍රණයයි. දෙවැන්න, තම භූමියේ පළමු පුරවැසියාව සිටිය දී, සිය කැමැත්තෙන් පළමු පුරවැසි භාවයෙන් නික්ම සාමාන්‍ය පුරවැසියෙක්ව කල් ගත කිරීමට ගත් තීරණයයි. දැන් අප විසින් එක එක කරුණ අඩු වැඩි වශයෙන් කියවා ගත යුතුව ඇත. 

නශීඩ් ජනාධිපතිවරයා ලෝක දේශකගුණික විපර්යාසයන් පිළිබද දැඩි අවධානයෙන් සිටි අයෙකි. 2020 තරම් මෑත කාලයේදී මාලදිවයින් රාජ්‍යයට මුහුණ දීමට සිදුවන පාරිසරික ඛේදවාචකය පිළිබද ලෝක අවදානය දිනා ගැනීම පිණිස ඔහු විසින් යම් දෙයක් කරමින් සිටියේය. කෝපන්හේගන් සමුළුවේදී ඔහු විසින් කියා සිටින දේ මගින් ලෝකය මාලදිවයින නම් රාජ්‍යය පිළිබද කාරුණිකව හා වැඩි වටිනාකමකින් යුතුව බැලීමට පෙළඹෙව්වේය. සාමාන්‍යෙයන් අප දන්නා දේශපාලනයන් තුළ, යම් ප්‍රශ්නයක් වෙනුවෙන් බරපතල පෙනී සිටීමක් හෝ කරුණු පිළිබද අවධානයක් යොමු වන්නේ සියල්ල සිදු වී අවසන් වූ පසුවයි. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඔහු සාගරය තුළ කිමිදෙමින් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වන්නේය. එසේම, ඔහු විසින් නියෝජනය කරනු ලබන සෑම ජාත්‍යන්තර සැසියකදීම හා සමුළුවකදීම මුඛ්‍ය තේමාව කොට ගෙන කතා කරන්නේ දේශගුණික විපර්යාසයන් හරහා සිය මව්රටට කරනු ලබන බලපෑමයි. ඇත්ත වශයෙන්ම කියතොත්, නශීඩ් නම් පුද්ගලයා මාලදිවයිනට මුහුණ දීමට සිදු වන පාරිසරික ඛේදවාචකය ජාත්‍යන්තර වේදිකාවන් තුළ - පොඩි එකාගේ රචනාවේ මැක්කාගේ තැනට - රැගෙන ආවේය. නශීඩ් යනු මාලදිවයින හා සෙසු රටවල් මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින විපර්යාසයන් පිළිබද සාකච්ඡා කරන ප්‍රබලයෙක් විය. එහෙයින්ම, ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගික හා තීරණමය විසදුම් කිහිපයක් ද ලෝකය විසින් ගනු ලැබිණි.

ඊට අමතරව, අදාල කාර්යය වෙනුවෙන් නශීඩ් වෙත සම්මාන කිහිපයක් ද හිමිවිය. 2010 වසරේදී ඔහු වෙනුවෙන් Champions of the Earth Award නම් සම්මානය ද Heroes of the Environment (2009) නම් ලේඛණයේ ප්‍රමුඛයෙක් ලෙස ද නම් කෙරිණි. 

ඇත්ත වශයෙන්ම මෙවැනි ලිපියක් ලිවීමට පොළඹවනු ලබන කරුණ හා ප්‍රධාන සාධකය පිළිබද අවධානය යොමු කිරීමට අවස්ථාව මෙය යැයි විශ්වාස කරමි. මොහොමඩ් නශීඩ් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වූයේ රට තුළ නිර්මානය වූ අභ්‍යන්තර ජන විරෝධතාවයයි. ජනතාව විසින් විරෝධතාවක් දැක්වූ පමණින් රටේ ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද. එසේ නොකර සිටියහොත් කළ හැකි දේ කුමක් ද. එවරනි ප්‍රශ්න නගමින් නොසිට නශීඩ් ඉල්ලා අස්වීම සිදු කරන්නේ කුමන ප්‍රබලතාවක් හේතුවෙන් ද.

මාලදිවයින යනු මෑත කාලීනව ජනමූල විරෝධතාවක් එල්ල වූ පළමු හෝ එකම රට නොවේ. ඒ සම්බන්ධයෙන් අත්‍යාසන්න අත්දැකීම් ලෝකය තුළ ප්‍රමාණවත් තරමටත් වඩා ඇත. නශීඩ් දුර දක්නා මිනිසෙක් වන්නේ, ගඩාෆි හෝ සිරියානු නායකයා හෝ ඊජිප්තු නායකයා හෝ බහරේන නායකයාට වඩා ඔහු වෙනස් වූ හෙයිනි. ජනතාව විසින් විරෝධතා දක්වන්නේ පදනමක් සහිතව දැයි ප්‍රශ්න කිරීම පළමුව සිදු කළ යුතුය. එසේනම්, අදාල කරුණු වලට පිළිතුරක් ලබා දීමේ හැකියාවක් ඇති දැයි සොයා බැලිය යුතුය. එසේ සලකා බලන විට ද හැකියාවක් නැතිනම්, රට තුළ තවදුරටත් අවුල් හෝ අර්බුද නිර්මානය කරමින් නොසිට ජනතා හඩට කල් දීම ඉතාම යෝග්‍ය දේ බව ඔහු කල්පනා කළේය. සත්‍ය වශයෙන්ම නශීඩ් ඉල්ලා අස් නොවූයේ නම් අද - මේ මොහොත වන විටත් මාලදිවයින තුළ අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී බරපතල බව උඩුදුවමින් තිබෙන්නට හැකියාව පැවතිණි. එසේ වූයේ නම්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීම් ඇති තරම් සිදුවන්නට ද හැකියාව ඇත. එවිට, දෙපාර්ශවයක් බෙදී රට තුළ යුද්ධ කිරීමට සිදු වේ. එහි පළමු ප්‍රථිඵලය වන්නේ භෞතික හා මානව විනාශයන්ය. දෙවැනි කරුණණ ලෙස රට සම්පූර්ණයෙන්ම අඩාල වේ. සංචාරක කර්මාන්තය වැනි දේ මේ වන විටත් සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත. තවදුරටත් මේ අර්බුදය උඩුදිව්වේ නම්, මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වනවා මිස පහළ යාමක් හෝ නිශ්ක්‍රීය වීමක් සිදු වන්නේ නැත.

ලිබියානු නායක ගඩාෆි විසින් සිදු කරනු ලැබූයේ, තමා සර්ව නිවැරදිය යන ස්ථාවරයේ සිට ජනතාව යනු ජාත්‍යන්තර ඇවිස්සීම් වලට අවශ්‍ය පරිදි නටන පිරිසක් බවට තේරුම් ගනිමින් කටුයුත කිරීමයි. එහි අවසාන අර්ථය වූයේ, ගඩාෆිට තමාගේ සුඛෝපභොගී ජීවිතය හා අවසානයේදී මුළු ජීවිතයම අහිමි වීමයි. ඔහුගේ පරපුරටම ජීවිතය පිළිබද වූ සුන්දර භාවය අහිමි විය. ඒ පමණක් නොව, මුළු මහත් රට වැසියාටම එය අහිමි විය. අවසනායේදී රටේ පුරවැසියාට රට ද අහිමි වී අනෙකෙකු විසින් නටවනු ලබන රූකඩ පාලනයක අන්තේවාසිකයින් වීමට සිදු විය.

ඊජිප්තුවේ හා සිරියාවේ තත්ත්වය මීට යම් ප්‍රමාණයකට සමානය. ඊජිප්තු නායකයින් තත්ත්වය ‘අල්ලාගෙන සිටීම‘ හේතුවෙන් රටේ තත්ත්වය විනාශ වීම සිදු විය. ඉතාලිය තුළ ද අදවන විටත් දේශපාලනික වශයෙන් ඇත්තේ අස්තාවරයකි. සිරියාව තුළ පවත්නා තත්ත්වය ද මීට සමානය. තවදුරටත් නායකයා රට තුළ තත්ත්වය අල්ලාගෙන සිටීම හේතුවෙන් අභ්‍යන්තරික අස්ථාවරත්වය වැඩි වෙමින් තිබේ. එහි ද අවසන් ප්‍රතිඵලය වන්නේ, රටේ පුරවැසියාට තමා නොවන අනෙකා විසින් නටවන රූකඩ පාලනයක අන්තේවාසිකයින් වීමට සිදු වීමයි. 

එහෙයින්, නශීඩ් යනු දුර දක්නා මිනිසෙක් බව කියා සිටින්නේ, තමාගේ රට පාලනය කළ යුතුතේ තමා විසින් බව ඔහු විටෙක තීරණය කළේය. ඔහු රටට අවශ්‍ය පරිදි එය සිදු කළේය. පසුව, තමාට තමාගේ රට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ විගස එහු තමාගේ රටේ තමා නොවන අනෙකා විසින් පාලනය කිරීම සුදුසු බව තීරණය කළේය. එම තීරණය මගින් සදහන් කරන්නේ, නශීඩ් යනු තමා නොවන්නේ නම් අනෙකා කවුරුන් වුව ගැටලුවක් නැත, යන්න තීරණය නොකිරීමයි. ඔහු කල්පනා කළේ, තමා හෝ තමාගේ රටවැසියා නොවන අනෙකා විසින් නටවන රෑකඩයක් වෙනුවට තමාගේ රටේ ම මිනිසෙක් විසින් එය පාලනය කළ යුතු බවයි. එහෙයින්, නශීඩ් යනු ලිබියාවට, ඊජිප්තුවට, සිරියාවට, ඉතාලියට හා තවත් සමහර රාජ්‍යයන්ගේ නායකයිනට වඩා වෙනස් වූ දුර දක්නා මිනිසෙකි. එහෙයින්, ඔහු දේශපාලනික වශයෙන් අසමත් වූවකු වුව ද දේශපාලනික දුරදක්නා බවින් පොරක් ය. 

අවසානයේදී කියමි. සෙසු රාජ්‍යයන්ගේ නායකයින් ද මෙය ආදර්ශයක් කරගැනීම වටියි.

Monday, February 13, 2012

ජාතික උසස් අධ්‍යාපනික ප්‍රතිපත්තියක් වෙනුවෙන්

මෙරට නොමිල අධ්‍යාපනය ආරම්භ වූයේ 1940 ගණන් වලදීය. නමුත්, අද වන විටත් අපටම කියූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිව අප කාලය ගත කරමින් සිටිමු. නොමිල අධ්‍යාපනය වෙනුවෙන් හෝ අධ්‍යාපනයක් පවත්වාගෙන යාම කෙරෙහි එවැන්නක බරපතල අවශ්‍යතාවක් නොපැවතිය ද අධ්‍යාපනික වශයෙන් සංවර්ධනය වීමේ යටි හිතක හෝ අරමුණක් පැවතිය යුතු රටක් සතුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් පැවතීම අනිවාර්ය ලක්ෂණයකි.

මෙහිදී ලියුම්කරුවා විසින්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යන්න උසස් අධ්‍යාපන ප්‍රතිප්තියක් දක්වා පසු බැස්සවීමට තීරණය කරයි. එහි අරමුණ වන්නේ, ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ආරම්භක ලක්ෂණයක් පැවතිය යුතු හෙයිනි. මේ වන විට සියයට යම් ප්‍රමාණයකට නොමිල පළමු උපාධිය පිරිනමමින් සිටින අප රට, මුදල් ගෙවීමේ පදනම මත පළමු උපාධිය ලබා දීම දක්වා ද පැමිණ ඇත. එහෙයින්, උසස් අධ්‍යාපනයේ අවස්තා හා ප්‍රමාණයන් පුළුල් වන විට, ඒ සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් හෝ පිළිගත් රේඛීය ක්‍රමවේදයක් පැවිතීම අනිවාර්ය වේ. එසේ නොවන්නට, උසස් අධ්‍යාපනය අයාලේ යාමේ අවධානමක් ඇත. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ඔවුනට අවශ්‍ය පරිදි ද රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පද්ධතිය මුදලාලිගේ හිතුමනාලයට අවාලේ යාමක් ද සිදු විය හැක.

උසස් අධ්‍යාපනය යනු, රටක පරිපාලනමය හා තීරණ ගැනීමේ හැකියාවකින් යුතු මානව සම්පත නිර්මාණය කිරීමේ තිඹිරි ගෙය වැනිය. ඒ අනුව, එවැනි පදනමක් හා අරමුණක් සහිත උසස් අධ්‍යාපනික ක්‍රියාවලියක මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.
1. දැනගැනීම පිණිස ඉගෙන ගැනීම, ද
2. ක්‍රියාත්මක කිරීම පිණිස ඉගෙන ගැනීම, ද
3. දිවිපැවැත්ම සරි කර ගැනීම පිණිස ඉගෙන ගැනීම,
4. මුල පිරීම හෝ ප්‍රාග්ධන ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඉගෙන ගැනීම,
සහ 5. ජීවත්වීම හා ජීවත්කරවීම පිණිස ඉගෙන ගැනීම වේ.
එනම්, උසස් අධ්‍යාපනය තුළින් අවසානයේදී සමාජගත වන පුද්ගලයා රටේ අභියෝග හා අවධානම් පිළිගැනීමට හා ඒවාට මුහුණ දී නිවැරදි දිශානතිය දක්වා මෙහෙයවිය හැකි හා එසේ කළ යුතු පුද්ගලයකු විය යුතුය.

එසේම, සාමාන්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යයා තුළින් අපේක්ෂා කරනු ලබන තවත් අංග කිහිපයක් හා වැදගත් ලක්ෂණ කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත. ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් පිළිබද සාකච්ඡා කළ හැක්කේ ඒ පිළිබදව ද යම් ලෙහා ගැනීමක් සිදු කිරීමෙන් පසුවයි.
එනම්,
1. කිසියම් දෙයක් හෝ පුද්ගලයෙකු පිළිබද සමීපතම දැනුම. මෙය ලගා කරගත යුත්තේ, මුඛ පරම්පරාවෙන් උරුම වන දෙයින් පමණක් නොව. ඒ සදහා පර්යේෂණ හා හැදෑරීම් සිදු කළ යුතුව ඇත. සෙල්ලිපියේ සිට අන්තර්ජාලය දක්වාත්, නිදහස් අන්කර්ජාල වළාකුළක නිදහසේ පිරික්සීම දක්වාත් බුදුන් වහන්සේගේ සිට යේසුස් වහන්සේ මෙන්ම යාචකයා හා වීදි ගණිකාව දක්වාම පර්යේෂණමය ඥාණයක් හා අවබෝධයක් සතු විය හැකි පරිදි මෙම තත්ත්වය දියුණු විය යුතුය. අනෙකාගේ හුස්ම වැටීමේ හා කදුලක බර සහ සිනහවක සැහැල්ලුව ද වෛරයේ හා ප්‍රේමයේ ප්‍රමාණයන්ද වටහා ගත හැක්කේ එවිටයි. එසේම, තම විෂයේ පොරක් විය හැක්කේ ද එවිටයි.
2. කළින් කළට යාවත්කාලීන වන හා වැදගත් භාවයකින් යුක්තව සංවේදී වන දේ පිළිබද හැදෑරීමේ කුසලතාව. සාමාන්‍යෙයන් සිසුවා සතු විය යුතු කුසලතා මෙන්ම විශේෂ ප්‍රාගුණ්‍යයන් ලෙස දක්නා කුසලතා මේ යටතේ සාකච්ඡා කෙරේ. 
3. නව විසදුමක්, භාණ්ඩයක්, සංකල්පයක් පිළිබද නිර්මාණශිලී බව හා නිර්මාණය කිරීමේ හැකියාව. අනුකාරකවාදී භාවයෙන් මුක්ත වී අලුත් දෙයක් කරන මිනිහෙක් වීම මින් අදහස් කරයි. මයික්‍රෆෝනය ගෙන කෙළින් හිටගත් පසු, පෙර ලියා ගත් පිටපත නිවේදකයා සදාතනික පොර වන්නේය යන මානසිකත්වයෙන් අතමිදී, හැදෑරීමේ වගකීම අතට ගත් අනෙකා වෙනුවෙන් අනියම් ඉගෙනුමක් හා ඥාණයක් සමීප කරන මිනිසා වීම නිවේදකයාගේ වගකීම ලෙස පිළිගැනීම දක්වා මෙය දියුණු විය යුතුය. ආකෘතීන් පිටුපස හඹා යාම වෙනුවට සුළු හෝ වෙනස් බවකින් යුක්ත දේ කිරීමට හැකි වාතාවරණ නිර්මානය වීම උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියකදී සිදු විය යුතුය.
4. පරිකල්පනය.
5. විචාරශීලී භාවය.
6. සමාජයේ තීරණාත්මක සාධකයක් ලෙස පෙනී සිටින උසස් අධ්‍යාපන සිසුවා සතු විය යුතු වටිනාකම්.
එලෙස හදුනාගෙන තිබේ.

ඒ අනුව, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේදී සෑම උසස් අධ්‍යාපන ශිෂ්‍යයකුගේම උක්ත ලක්ෂණ අවදිකරවන හා අභිවර්ධනය කරවන ආකාරයේ පහසුකම් හා පරිසරයන් නිර්මානය කරන පරිදි ඒවා සැකසිය යුතුය. විශ්වවිද්‍යාලයන් විසින් ශිෂ්‍යයාට ලබා දිය යුතු වන ඥානය හා ආශ්‍රය විය යුත්තේ, උක්ත සදහන් මුඛ්‍ය ලක්ෂණ හා වැදගත් අංග ලක්ෂණ පිරිපුන් අධ්‍යාපනයකි. විශ්වවිද්‍යාල විසින් සකසනු ලබන සෑම පාඨමාලාවක් සදහාම විෂය කුමක් වුව ද එකී සියල්ල වර්ධනය වන ආකාරයෙන් නිර්මාණය කළ යුතු වේ.

එසේම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් උසස් අධ්‍යාපන ශිෂ්‍යයා දේශිය හරයන්ට හා වටිනාකම් වලට ආදරයක් හා ගෞරවයක් ඇති පුද්ගලයකු බවට පත් කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දිය යුතුය. ඔට ඉඩ සකසා දිය යුතුය. කළාව, සාහිත්‍යය, සංස්කෘතිය හා ඉතිහාසය හා සමාජ විඥානය මේ අතර ප්‍රධාන වේ. පාඨමාලාව සමාජ විද්‍යා පාඨමාලාවක සිට නවීන තාක්ෂණය සමග පමණක් ගණුදෙණු කරන තොරතුරු තාක්ෂණය පිළිබද එකක් වුව ද සමස්ත ප්‍රජාව පිළිබද මානව කරුණාව හා දයාව මෙන්ම ජාතිය පිළිබද ඇල්ම හා ආශාව වර්ධනය කරන්නක් සදහා සහාය වන ලක්ෂණ වලින් සමන්විත විය යුතුය. ආගමික, ලිංගික, වාර්ගික හෝ ප්‍රත්‍යන්ත දේශමය බෙදීමකින් තොර බුද්ධිමත් මිනිසා බිහි කළ හැක්කේ එවැනි දෙයක් තුළිනි. තාක්ෂණික ඥානයන් තුළින් යම් වෘත්තීමය නිපුණතාවක් වර්ධනය වුව ද රටේ තීරණාත්මක ජන කොට්ඨාශය ලෙස මානුෂීය ගුණාංග වර්ධනය කරනු ලබන්නේ මෙවැනි විෂයන් හා කරුණු මගිනි. එසේම, පටු හා ආත්මාර්ථකාමී කුහක බවින් මිදී මිනිස් සිතිවිලි වල වටිනාකම තේරුම්ගත හැකි පුද්ගලයා බිහි වන්නේ එමගිනි. තාක්ෂණික ඥානයෙන් කෙළ පැමිණිය ද මිනිස් ගති ලක්ෂණ හා සංවේදීතා මැකී යාමෙන් සිසුවා බේරා ගත හැක්කේ මෙවැනි ක්‍රමයකින් පමණි.

එතෙකින් නොනැවතී, ලෝකය පුරා යාවත්කාලීන වෙමින් පවත්නා හා ගෝලීය සමාජය පුරා ඉඩ කඩ හා වෙළදපොල අගයන් නිර්මාණය වෙමින් පවත්නා තාක්ෂණික කරුණු, භාෂාවන්, විද්‍යාවන් හා ක්‍රමෝපායන් පිළිබද සෑම සියලු දෙනාටම අධ්‍යාපනයක් ලබා දිය යුතු වේ. ශාස්ත්‍ර පීඨ සිසුවාට ඉංග්‍රීසි හෝ පරිගණක තාක්ෂණය නොහැකිය යන මුලාවෙන් බේරා ගැනීම සදහා මෙය පිටිවහලක් වේ. එසේ වූ විට, ජාතික උසස් අධ්‍යාපනයේ වර්තමාන විද්‍යාර්ථිකයා සෑම විෂයක් සම්බන්ධයෙන්ම යාවත්කාලීන වූ හා පැකිළීමකින් තොරව අවතීර්ණ විය හැකි පෞරුෂයකින් යුතු මිනිසෙක් වෙයි. මේ සදහා තෘප්තිකර අධ්‍යාපන රටාවක් හා පෙළගැස්මක් සැකසීම රජයේ වගකීමයි.

කුසලතාවන්  හා නෛසාර්ගික ශක්තීන් ඉස්මතු කරමින්, ලබා ගත් දැනුම තුළින් පරිකල්පනයේ උච්ච ලක්ෂණයන් හා විචාරශීලී බවේ ශක්තිමත් මිනිසකු බිහි කිරීම උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියකින් සිදු කළ යුතුය. එසේ නොවුණහොත්, අනාගත රටේ බලසම්පන්න පුරවැසියා විචක්ෂණයකින් හා නිර්මාණාත්මකභාවයෙන් තොර එසේම නිර්මාණය හා නව්‍යකරණී ලක්ෂණ පිළිගැනීමට තරම් ශක්තියක් නැති පුහු මිනිසකු වීම වලක්වා ගත නොහැක. පංති කාමරයේ බිත්ති හතර තුළ පොරක් වීමෙන් එහා ගොස් පොදු සමාජයේ සාධනීය මැදිහත් වීමක් හා වටිනාකමක් සහිත පුද්ගලයකු වීම එවිට සිදු වේ. අනෙකාට වෛර කරමින් හා පරිභව කරමින් කාලය ගත කරන උපාධිදාරියාගේ සිට උපාධිදාරියා යනු සාමාන්‍ය මිනිසාය යන තත්ත්වයට පත්වීම කෙරෙහි මෙය වැදගත් වේ යැයි විශ්වාස කරමි.

නිර්මාණශීලී බව මෙන්මසමාජයේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ නිපුණ විනයකින් යුතු පුද්ගලයා බිහි කිරීම ද උසස් අධ්‍යාපනයේ වගකීමක් වේ. උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියකින් එය ද අපේක්ෂා කරයි. තීරණ ගැනීම, ඍජු බව, නිවැරදි හා අවස්ථානෝචිතව වඩාම සුදුසු දේ සිදු කිරීම, සාමූහික වගකීම හා පුද්ගල වගකීම ආදිය පරිපූර්ණ කිරීම සදහා මෙම විනය වැදගත් වේ. තමා විසින් අත්පත් කරගන්නා දැනුම හා තමන්ගේ කුසලතා මෙන්ම නිර්මාණශීලීත්වය මානව වර්ගයාගේ සුභ සිද්ධිය පිණිස යෙදවීම පිණිස විනයානුකූල කිරීම සිදු කළ යුතුය. 

මෙම මූලික ලක්ෂණ වලින් යුතු උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් තුළ පිහිටා සෑම විෂයක් සම්බන්ධයෙන්ම පාඨමාලා සැකසීම සිදු කළ යුතුය. එසේ නොවන තාක්කල් තම සහෝදර වෛද්‍යවරයාගේ වතුර ටැංකියට වහ මිශ්‍ර කරන, අනෙකාගේ අධ්‍යාපන අවස්ථාව වෙනුවෙන් වෛර කරන හා කුහක චේතනාවෙන් විචාරය කරන මෙන්ම අධ්‍යාපනික ඥානය පමණක්ම යනු ජීවිතයේ පොරත්වයේ උපරිමය යැයි විශ්වාස කිරීමෙන් වලක්වා ගත නොහැක.

Sunday, February 12, 2012

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල

මේ වන විට යම් ප්‍රමාණයකට යටපත් වී තිබුණ ද අළු යට ගින්දර සේ මේ මාතෘකාව සමාජයේ හොල්මන් කරමින් සිටියි. ඊට හේතුවන්නේ, එම මාතෘකාව යටපත් වූයේ නිශ්චිත විසදුමකින් හෝ ප්‍රතිඵලයකින් පසුව නොවීමයි. එහෙයින් .වදුරටත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන පද්ධතියේ මෙන්ම ඒ දෙකම නොවන පොදු සමාජයේ හෝ පාලනයේ කාමර තුළ මේ පිළිබද සාකච්ඡා වෙමින් තිබේ. ලියුම්කරුවා විසින් මින් පෙර ලියනු ලැබූ ලිපියේදී රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල දිනා ගැනීම වෙනුවෙන් අදාල කරුණ මගින් වැඩිම බලපෑමක් සිදු කරනු ලබන හා බලපෑමකට ලක්වන පිරිස වන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ශිෂ්‍යයා හෝ පරිපාලනය (හිමිකාරීත්වය) විසින් මේ පිළිබද කතිකාවක් නිර්මාණය නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කර සිටියේය. 

උක්ත ප්‍රශ්නයට පිළිතුරු සොයමින් ගත කළ පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධ ඍජු හා සාධාරණ විසදුමක් යැයි විශ්වාස කළ හැකි පදනමක් හමු විය. මෙම ලිපිය මගින් ලියුම්කරුවා අපේක්ෂා කර සිටින්නේ ඒ පිළිබද පැහැදිලි කිරීම නොවන හෙයින්, අදාල හැචෑරීමේ සාරාංශය පමණක් දක්වනු කැමැත්තේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමක් නොකරන්නේ, අදාල පනත මගින් නියාමනය - අධීක්ෂණය හා ප්‍රමිතිගත කිරීම යෝජනා කොට ක්‍රියාත්මක කිරීම ආරම්භ වීමත් සමග එම විශ්වවිද්‍යාල පරිපාලනයන් සතුවන පරිපාලනමය ඒකාධිකාරය හා ආධිපත්‍යය ඔවුන් අතින් ගිලිහී ගොස් රජය ඒ සදහා මැදිහත් වීම නම් වූ වෙළදමය ඛේදවාචකයට ලක් වීම හේතුවෙනි.

අදාල සිසුන් අදාල මාතෘකාව සම්බන්ධයෙන් කතා නොකරන්නේ, සිසුන් විසින් කතා කළ යුතු මාතෘකා තෝරා දෙනු ලබන්නේ අදාල පරිපාලනයන් විසින් වීම හේතුවෙනි. එමගින් අදහස් කෙරෙන්නේ, ශිෂ්‍යයා විසින් යමක් කතා කිරීමේදී පරිපාලනයේ හැසිරීම පරීක්ෂා කරනු ලදුව, ඒ පිළිබද පරිපාලනය නොකමැත්තක් හෝ වැඩි සංවේදීතාවක් නොදක්වන්නේ නම්, ශිෂ්‍ය භාවයේ හා වරප්‍රසාදයේ උරුමයන් පිළිබද සලකා - සිසුන් ද ඒ පිළිබද කතා කිරීමට නොපෙළඹෙයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ශිෂ්‍යයාට ඇත්ත වශයෙන්ම උවමනාවක් පැවතිය ද පරිපාලනයේ උවමනාව එය නොවන නිසා ද පරිපාලනය හා ගැටෙන අදහස් දැරීම පැවැත්ම පිළිබද ප්‍රශ්න කරන නිසා ද ශිෂ්‍යයා තවදුරටත් නිහඩව සිටියි. මේ තත්ත්වය වෙනස් වූ එක් අවස්ථාවක් හා එක් සංවිධානයක් පමණක් මේ වන තෙක් හමු වී තිබීම, කළු නික හම්බුණාක් වැන්න.

ලියුම්කරුවා විසින් මේ ලිපිය ලිවීමට අදහස් කරන්නේ, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනතක් මගින් කළ යුතු දේ පිළිබද කරනු ලැබූ හැදෑරීමේ කරුණු බ්ලොග් පාඨක සමාජය වෙත සංවේදී කිරීම පිණිසය. එනම්, ලියුම්කරුවා විසින් හදුනාගත් පරිදි - උපාධි පිරිනැමීමේ අවස්තාව ලබා දීමට අමතරව ඉතාම වැදගත් යැයි සැලකෙන ප්‍රධාන කරුණු තුනක්, නීතියක් මගින් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වෙත ලබා දිය යුතු වේ.

උපාධි පිරිනැමීමේ බලය ලබා දෙනු ලබන සෑම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක්ම, රජය විසින් පත් කරනු ලබන ස්වාධින හා පිළිගත හැකි නියාමනික කණ්ඩායමක් විසින් ප්‍රමිතිගත කළ යුතු වේ. මෙම ප්‍රමිතිය යන්නට අදාල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය සතු ඉඩමේ ප්‍රමාණයේ සිට ලබා දෙන උපාධිය දක්වා සියල්ල අන්තර්ගත විය යුතු යැයි ලියුම්කරුවා විශ්වාස කරන්නේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් තරමට යම් උසස් අධ්‍යාපන ආයතනයක් පිළිගැනීමට නම්, සිසුන්ට අත්‍යාවශ්‍ය වන අධ්‍යයන හා අධ්‍යයන නොවන ක්‍රීඩා, සුභසාධන, සමාජ අත්දැකීම්, කළාව, සාහිත්‍යය හා සංස්කෘතිය ආදිය මෙන්ම විවේකය ද භුක්ති විදිය හැකි පරිසරයක් පිළිබද අවදානය යොමු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නේ නම් මිස ඒ වෙනුවෙන් අවසරය ලබා නොදිය යුතුය. අවශ්‍ය විද්‍යාගාර, දේශන ශාලා, පුස්තකාල, ඉගෙනීමේ හා කියවීම් ශාලා ආදිය ද මෙයට අයත් වේ. අදාල ප්‍රමිතීන් නියම කිරීම මෙන්ම එම ප්‍රමිතීන් පවත්වාගෙන යන්නේ ද පිළිබද සොයා බැලීමේ මෙන්ම එවැන්නක් නිසි ලෙස සිදු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් නීතිමය රාමුවකින් පිළිබයම් ලබා දීමේ හැකියාවක් ඇති කළ යුතුය.

එසේම, අදාල උපාධි පාඨමාලාවන් සදහා බදවා ගනු ලබන ශිෂ්‍යයාගේ ප්‍රවේශ සුදුසුකම් හා ප්‍රවේශය සදහා බලපාන අවම සුදුසුකම් හා පරිසාධන මට්ටම් පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුය. එහිදී, අවම වශයෙන් ජාතික වශයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීමේ කඩඉම් ලකුණු ප්‍රමාණය වන සාමාන්‍ය සාමාර්ථ තුන සැලකිය යුතුය. එසේම, සිසුවා අයදුම් කර සිටිනු පාඨමාලාව, අදාල සිසුවාගේ උසස් පෙළ පාඨමාලාව හා මෙන්ම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ අදාල පාඨමාලාව සදහා බදවාගනු ලබන උසස්පෙළ විෂය ධාරාවන් හා සැසදෙන්නේ දැයි විනිශ්චය කළ යුතුමය.
එපමණක් නොව, අදාල විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමේ කටයුතු කරමින් සිටින හා ඒ සදහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය ආචාර්යවරුන් ප්‍රමාණය හා ඔවුන්ගේ කුසලතා පිළිබදව ද රජයේ මැදිහත් වීමෙන් සලකා බැලිය යුතුය. අදාල කුසලතා මට්ටම් රජය විසින් යෝජනා කරනු ලබන ප්‍රමිතිගත මට්ටමක් ඉක්මවා තිබීම අත්‍යාවශ්‍ය වන්නේ යැයි විශ්වාස කරමි. එසේ නොවුන හොත් විය හැක්කේ, අවශ්‍ය තරම් පීඨ හා පාඨමාලා ආරම්භ කොට නිසි අවශ්‍යතාවන් සපිරිය නොහැකි ආචාර්ය මණ්ඩලයක් යටතේ පුම්බාගත් උපාධියක් ලබා දීම නම් ඛේදවාචකයට මුහුණ දීමට සිදු වීමයි.

ඒ සෑම කරුණක් මෙන්ම, පාඨමාලාවන්ගේ ප්‍රමිතිය හා එවැනි උපාධියක් ලබා දීමට තරම් ශක්තිමත් පදනමක් සහිත පාඨමාලා අන්තර්ගතයක් අදාල විශ්වවිද්‍යාලයේ පාඨමාලා පටුනේ ඇති දැයි සොයා බැලීම මෙන්ම ඒ සදහා යෝජනා කිරීම රජය විසින් සිදු කළ යුතුය. පාඨමාලාවන් රජය විසින් නියම කරනු ලබන මණ්ඩලයක් හෝ කොමිෂන් සභාවක් විසින් අනුමත කළ යුතු අතර විභාග පැවැත්වීම හා පිළිතුරු පත්‍ර ඇගයීම ආදිය ද එමගින් අධීක්ෂණය කළ යුතු වේ. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මේ වන විට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වඩා ගුණාත්මක හා යාවත්කාලීන පාඨමාලා පටුනක් දැනටමත් පවත්වාගෙන යන්නේ නම්, එය අහිමි කොට ප්‍රමිතිය පහළ දැමිය යුතුය යන පටු හා කාලකණ්නි යෝජනාව ඉන් අදහස් නොවේ. නමුත්, පාඨමාලාවන්ගේ අන්තර්ගතය සම්බන්ධයෙන් මුදලාලි කේන්ද්‍ර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට අමතරව අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම හා ජනතාව විසින් පවරනු ලැබූ යුතුකමක් කරමත පින්නාගෙන සිටින රජය විසින් සිදු කළ යුතුමය.

අධ්‍යයන කටයුතු පිළිබද සොයා බැලීමට හෝ ප්‍රමිතිගත කිරීමට මෙන්ම ශිෂ්‍යයාගෙන් අයකරනු ලබන පාඨමාලා ගාස්තුව පිළිබදව ද රජයේ නියාමනය සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවන්නේ නම්, එක් එක් උසස් අධ්‍යාපන ආයතනය විසින් තමන්ට හිතුමනාපයේ අය කිරීම් ක්‍රමවේදයකට යොමු වීම නැවැත්විය නොහැක. එක් විශ්වවිද්‍යාලයක් පාඨමාලාව රුපියල් ලක්ෂ 6 කට උපාධිය දක්වා උගන්වමින් සිටියදී තවත් විශ්වවිද්‍යාලයක් ලක්ෂ 20 ක් හෝ ලක්ෂ 2 ක් වැනි මුදලට මෙවැනි උපාධි ලබා දීමේ අවධානමක් ඇත. එහෙයින්, ගාස්තු අයකිරීම ප්‍රමිතිගත කළ යුතු මෙන්ම ඇත්ත වශයෙන්ම එම ගාස්තු ප්‍රමිතීන් අනුගමනය කරන්නේ දැයි අධීක්ෂණය කළ යුතු වේ.

යළිදු කියමි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ස්ථාපිත කොට ඒ වෙනුවෙන් බලය පැවරීම සිදු කළ යුතු යුගයක අපි සිටිමු. නමුත්, එම බලය පැවරිය යුතු වන්නේ මුදලාලි සතුවන ඒකාධිකාරය තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙස නොව. ශිෂ්‍යයාට හා ජාතික උසස් අධ්‍යාපන වෙත වැඩි වාසි අත්වන හා අදාල පාඨමාලාවන් හදාරන සිසුන්ගේ සුරක්ෂිතතාවය මෙන්ම අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තහවුරු කළ හැකි පරිදිය.