Tuesday, January 17, 2012

පුද්ගලික විශ්ව විද්‍යාල ගැන

අද වන විට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වියවුලක් බවට පත්ව තිබේ යැයි නිසැකවම කිව හැක. මේ සදහා පාදක සාධකය වන්නේ, පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය සම්බන්ධ නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානම හේතු‍වෙනි. මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ හෝ යළි කිසිදු දිනකදී ගෙන එන්නේ නැතැයි යන තැනට ආණ්ඩුවේ තීරණයක් ප්‍රකාශයට පත්වන තැනට පැමිණ තිබේ.

මෙම හැදෑරීම, හුදෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය සම්බන්ධ පනතට එරෙහි වීම හෝ එකග වීම පිළිබද එකක් නොවේ. පෙරදී කරනු ලැබූ එවැනි හැදෑරීම් කිහිපයකින් පසුව දක්නට ඇති කරුණු කිහිපයක් පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීම පිණිසය.

පළමුවම ලියුම්කරුවා විසින් මෙසේ ප්‍රශ්න කරනු ලැබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මුළු මහත් රටේම අවධානය යොමු වී තිබෙන විටදී සහ සාකච්ඡා කරමින් සිටියදී, මෙහි මූලිකම හවුල්කරැවන් වන පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මේ සම්බන්ධයෙන් කරනු ලැබ ඇති මැදිහත්වීම කවරේද. පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත නොකර සිටීමෙන් අගතියට පත්වන්නේ හෝ එසේ කර සිටීමෙන් යම් හෝ සහනයක් ලබන ඍජු බලපෑම්කරුවා වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වීම ඊට හේතුවයි. එවැනි ඉතාම බරපතල තත්ත්වයක් පවතිද්දීත් පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නිහඩව සිටීමෙන් ඇගවීමට උත්සාහ ගන්නේ කවරක් ද.

උක්ත ප්‍රධාන කරුණු කිහිපය හා පෞද්ගලික විශ්ව විද්‍යාප ශිෂ්‍යයාගේ තත්ත්වය එකිනෙක එකට කියවා බැලීමේදී දක්නට ලැබෙන කරුණු කිහිපයක් පිළිබද සදහන් කිරීම පිණිස මෙම ලිපිය අවකාශ කර ගනිමි.

පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේ නම්, එහි සම්පූර්ණ වාසිය අත්වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට බව පෙර ද සදහන් කරනු ලැබීමි. එය එසේ වන විටත්, පෞද්ගලික විශ්ව විද්‍යාල යනුවෙන් හදුන්වාගැනීමට කැමැත්තෙන් පුළ පුළා බලා සිටින ඇතැම් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන සිසුන්ගේ මනෝ භාවයන් හා තත්ත්වයන් ඇතැම් සාධකයන් හේතුවෙන් මොට්ට කරනු ලැබ හා විලංගු දා දමනු ලැබ ඇත.

1. ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය, පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන්නේ යැයි වීදි බසිද්දී - පෞද්ගලික විශ්ව විද්‍යාලයන් ස්ථාපිත කිරීමේ වැදගත්කමක් පිළිබද කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසක් පෙනී නොසිටින්නේ මන් ද.

2. පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කර ගැනීමේ බරපතල අවශ්‍යතාව ඇත්තේ එම ආයතන පරිපාලනයන්ට වුව ද ඒවාහි පරිපාලනයන් විසින් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් මෙම අවශ්‍යතාව වෙනුවෙන් අරගලයක් නොකර සිටින්නේ මන් ද.

උක්ත කරුණු දෙක එකට කියැවීමේදී මෙවැන්නක් හැගේ. එසේනම්, පෞද්ගලික අධ්‍යාපන ආයතන ශිෂ්‍යයා සහ පරිපාලනය විසින් - භාහිර පාර්ශවයන් වන ජාතික විශ්ව විද්‍යාල පද්ධතියෙන් හා සිවිල් සමාජයෙන් පැමිණෙන චෝදනා නිහඩව සිට අනුමත කරන්නේ දැයි ගැටළු සහගත වේ. උපාධියේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මේ වනතාක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සයිටෙම්, ඇපිට් හෝ වෙනයම් ආයතනයක් සාධනීය පෙනී සිටීමක් නොකර ඇත. එසේ නොකර සිටින්නේ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වන චෝදනා එම ආයතනයන් විසින් පිළිගනු ලබන නිසාදැයි සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

එසේම තවත් ඉතා වැදගත් කරුණක් පිළිබද අවධානය යොමු කරනු වටියි. එනම් තම උපාධියේ කීර්තිය හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් හා බරපතල වුවමනාවක් පැවතිය ද එසේ කිරීමේ හැකියාවේ - කොන්ද අදාල පරිපාලනයන් විසින් කඩා බිද දමා ඇත. නොඑසේනම් එසේ කර සිටියහොත් ඍජු හෝ වක්‍ර පළිගැනීමට ලක් වන්නේ යැයි ඇතැම් සැකයක් උද්ගත විය හැක. එහෙයින්, අදාල නැති දේ වලට මැදිහත් වී නොසිට - දෙන දෙයක් වළදා වෙනදෙයක් බලාන සිටීමේ න්‍යාය අනුගමනය කිරීමේ තත්ත්වයට බංකොළොත් වී තිබේ. එනම් පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතනයන්ගේ ඉගෙනුම ලැබීම යනු ටියුෂන් යෑමකින් එහා ගිය දෙයක් නොවන තත්ත්වයට පත්ව තිබේ.

පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් තුළ සිසු ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, සිසුන් සංවිධානය කිරිම හා සිසු කටයුතු වෙනුවෙන් නායකත්වය ලබා දීම යනාදිය නොකළ යුතු දැඩි වරදසහගත හා කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම් ලෙස හන්වඩු ගසා සිටින තත්ත්වයක් මේ වන විට පෞද්ගලික ආයතනයන් තුළ දක්නට ඇත. ඒ  අනුව, මෙම ආයතනයන්ගේ සිසුන් - තමන්ගේ පාඨමාලාව හෝ පුරුෂභාවය හෝ අභියෝගයට ලක් කරමින් සිටියදීත් නිහඩව ගල් ගිල්ලාක් මෙන් සිටින්නේ මෙම ඛේදවාචකය හේතුවෙනි. උපාධියේ හා පාඨමාලාවේ ගෞරවය හා කීර්තිය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාව ඇතත්, පෞද්ගලික විශ්ව විද්‍යාල අයැද සිටින මුදලාලිලා හෝ ඔවුන්ගේ එහෙයියන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. ඒ අනුව, අද වන විට මෙරට යොවුන් බුද්ධිමත් පරපුර යැයි කියනු ලබන කණ්ඩායමේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මුදලාලිගේ වෙළද අවශ්‍යතාවේ තරමින්ය. 

යළිදු ලියනු කැමැත්තෙමි. පෞද්ගලික විශ්ව විද්‍යාල බවට මේ වන තෙක් පත්ව නොමැති නමුත් එසේ වීමේ බොදවුණු සිහිනයක් දකිමින් සිට බොදවුණු සිසු පරපුරේ සිහිනය දැකීම පිණිස අයැද සිටීමේ හිමිකම හා අවස්ථාව මුදලාලි විසින් අහිමි කරනු ලැබ ඇත. යම් හෙයකින්, ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට එරෙහි සාධනීය අරගලයක් කරන විට දී, ඒ හා සමානම පුතිවිරුද්ධ බලවේගයක් ගොඩනැගීමට හැකි තරම් තත්ත්වයක් සදහා අවශ්‍ය වටපිටාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් තුළ ද ඇති වී තිබුණේ නම්, එම සිසුන් විසින් කරනු ලබන සහේතුක කරුණු දැක්වීම් වලින් පසුව පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීම පවා සිදු කර ගැනීමට හැකියාව තිබිණේ යැයි දැඩිව විශ්වාස කරමු. පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන්නේ යැයි ලිපි සිය ගණන් ප්‍රකාශ කරන විට දී, පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අවශ්‍ය වන්නේ යැයි කියා සිටීමට ලිපියක් ප්‍රකාශ කර ගැනීමට - ජනමතයක් හා බලපෑම්සහගත වටපිටාවක් නිර්මානය කිරීමට සමත් නොවන්නේ ඇයි.

ඉහත කරුණු හා ඒ සම්බන්ධ ආත්ම සාකච්ඡාවන් අවසානයේ දී ඔබ ද යමක් තේරුම් ගත යුතුව ඇත. ජාතික විශ්ව විද්‍යාලයන් විසින් - සමාජ වගකීම් ඉටු කරමින් සිටින, බුද්ධිමය සංවාදයක යෙදෙන අධ්‍යයනයක් සහිත සිසුවා නිර්මාණය කරමින් එනම්, පරිකල්පනීය මිනිසා බිහි කරමින් සිටිය දී - මුදල් මත පදනම්ව උපාධි අවස්ථා ලබා දෙන ආයතනයන් විසින් සිදු කරමින් සිටින්නේ, විෂය නිර්දේශයේ අවශ්‍ය අවමය සම්පූර්ණ කර ගැනීමේ පටු සටනක් පමණි. ඔබට සමාජ වගකීමක් ඇති නමුත් ඔබ එය ඉටු නොකරන්නේ මන් දැයි - ප්‍රශ්න කර සිටින විට මෙම මුදල් අධ්‍යාපන ආයතන කියා සිටින්නේ “ඉගෙන ගන්න කාළෙ අනිත් ඒව වැඩක් නෑ“ කියාය. එසේ නම් සරලවම අසා සිටිය හැක්කේ, ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නූගත් ද. උගතා බිහිවෙමින් සිටින්නේ වසර 10 ක් තරම් මෑත ඉතිහාසයේ සිට පමණ ද. ඇත්ත වශයෙන්ම එයට හේතුව එය නොවේ. කඩේ පවත්වාගෙන යා යු ත්තේ මුදලාලිට අවශ්‍ය පරිදිය. එහෙයින්, සියලු දෙනා මුදලාලි විසින් පමණක් පාලනය කරනු ලබයි. නිර්මාණය කරනු ලබන උපාධිදාරියාගේ සෙසු වටිනාකම් අධ්‍යාපන මුදලාලිට කිසිලෙසකින්වත් නොවටින්නේය. ඔහුට අවශ්‍ය කරන්නේ උපාධි සහතිකයේ තත්ත්වය පමණයි. එහෙයින්, මුදල් මත පදනම්ව උපාධිය ලබා ගත් මුදලාලිට සුවච කීකරු සිසුවා හෙවත් ‘බුම්මට්ටයා‘ නිර්මාණය වේ.
අවසානයේදී මෙසේ කියනු කැමැත්තෙමි. පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවයි. නමුත් ඇත්ත වශයෙන්ම එය ආණ්ඩුවේ කාර්යය නොවේ. යම් පෞද්ගලික පරිපානයකට හෝ සිසුවකුට අවශ්‍ය නම් සංවිධානාත්මකව ඔවුන් විසින් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එය පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට එරෙහි සටන හා ශක්තිමත් විය යුතුය. මෙරට අනාගත බුද්ධිමතුන් වන වර්තමාන සිසුවා විසින් කරනු ලබන කරුණු දැක්වීමේ හා අරගලයේ ප්‍රමාණය අනුව, පනතක් ගෙන ඒම අවශ්‍ය වන්නේ ද නැති ද තීරණය කළ යුතුය. අද වන විට - එසේ පණතක් ගෙන ඒම නැවතී ඇත්තේ එහෙයිණි.

පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් විසින් අදාල පනත අවලංගු කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල සිසුවාට වෛර කරයි.  නමුත්, ඇත්ත වශයෙන්ම ඊට එරෙහිව වෛර කළ යුතුව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ කොන්ද කඩා බිද දමා සංවිධාන ශක්තිය හා බුද්ධිමය සංවාදය ශුන්‍ය කරනු ලැබූ පරිපාලනයට එරෙහිව බව පමණක් කියා සිටිනු කැමැත්තෙමි. 

Wednesday, January 11, 2012

ශිෂ්‍ය දේශපාලනය සහ වගකීම

පූර්ව පැහැදිලි කිරීම
ශිෂ්‍යයා යනු දේශපාලනය නොකළ යුතු හුරතලෙකු යැයි නිශ්චය කිරීමෙන් වලකින්න යැයි කෙරෙන පූර්ව ආයාචනය සමග මෙම කියාවීම ආරම්භ කරමි. මෙහිදී, ශිෂ්‍යයා යැයි පොදු හැදින්වීමට ලක් කරනු ලබන්නේ වැඩි වශයෙන් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්ගේ ඉගෙනුම ලබමින් සිටින පිරිස්ය. පොදු ආඛ්‍යානයේ ඇතැම් තැන්හි පාසල් ශිෂ්‍යයා පිළිබදව ද සහේතුකව සදහන් කිරීමට සිදු වනවා විය හැක.


කියැවීම
අද වන විට ශිෂ්‍ය දේශපාලනය යනු ජාතික දේශපාලන මඩ ගොහොරුවේ එරෙන තැන් ගොඩ කර ගැනීම පිණිස පාවිච්චි කරමින් සිටින වැලි කොට්ටා තරම් වී ඇති බව නිසැකය. එය එසේ වී ඇත්තේ, ශිෂ්‍යයා විසින් හෝ දේශපාලනික න්‍යාය පත්‍රයන් විසින් හෝ යන දෙකෙන්ම ශිෂ්‍ය දේශපාලනයේ හරය හදුනා නොගැනීම වීම කණගාටුවට කරුණකි. එය එසේ වන්නේ යැයි කියමින්, දේශපාලනයෙන් ශිෂ්‍යයා ඉවත් විය යුතු විය යුතු වන්නේ හෝ ශිෂ්‍ය දේශපාලනයේ උර මත පැටවී ඇති වගකීම හෑල්ලු වීම හෝ කිසි ලෙසකින්වත් සිදු නොවන්නේය. අද වන විට ශිෂ්‍ය දේශපාලනයේ හා ජාතික දේශපාලනයේ හැසිරීමේ ඛේදනීය ලක්ෂණයන් දක්නට ලැබෙමින් තිබෙන විට-ඒ පිළිබද යම් හැදෑරීමක් සිදු කිරීම කෙරෙහි පොළඹවනු ලැබීමි.

ව්‍යාකූල හා අවුල් සහගත වී ඇති මෙම හැදෑරීමේ ආඛ්‍යානය සීරුවට ලිහා ගත යුතුව ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු 18 වයස් සම්පූර්ණ කරනු ලැබූ ඡන්ද අයිතිය ද හිමි පුරවැසියෙකි. ඔහුට ද දේශපාලනය කිරීමේ නීත්‍යානුකූල අයිතියක් ඇත. එසේම, එම අයිතිය කිසිලෙසකින්වත් ඇහිරිය නොහැක්කේය. එය නම්, තත් කාලීන බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සනාථ කොට ඇති මූලික අයිතියක් පවා වන්නේය. සාමාන්‍ය පුරවැසියාට මෙන්ම, යූ ඇන් පී-ජේ වී පී-සන්ධාන හෝ ශ්‍රී ලංකා කාරයෙකු ලෙස දේශපාලනය කිරීම කිසි ලෙසකින්වත් ශිෂ්‍යයා කෙරෙහි තහනම් නොවන්නේය. මෙම හැදෑරීම තුළ සාකච්ඡා කරනු ලබන්නේ එසේ කරනු ලබන දේශපාලනයේ දී ශිෂ්‍යයාගේ හැසිරීම නොව. ශිෂ්‍යයා ශිෂ්‍යයකු ලෙස පෙනී සිටිමින් කළ යුතුව ඇති දේශපාලනයයි.

මා උපාධිය හදාරමින් සිටින එක් අධ්‍යාපන ආයතනයක දේශපාලනික අධබාල තර්ජනීය ලීලාවෙන් මෙසේ කියා සිටියේය. “මේක ඇතුළෙ දේශපාලනේ කිරීම තහනම්“. එය එසේ වන්නේ නම් මෙසේ පැහැදිළි කරමි. ඇරිස්ටෝටල් විසින් කියා ඇත්තේ, ‘මිනිසා දේශපාලනික සත්වයෙකි‘ බවය. ඔහු විසින් එසේ කියා සිටින්නේ, මිනිසා හා දේශපාලනික ඥානයන් අතර වෙන් කළ නොහැකි සබදතාව නිසාය. යටකී අධබාලයාගේ ප්‍රකාශය සත්‍ය වීමට නම්-යටකී ආයතනය තුළ සිටිය යුත්තේ මිනිසුන් නොවිය යුතුය. මිනිසෙකු වන්නේ නම් ඔහු දේශපාලනික සත්වයෙක් විය යුතුය. යමෙකුට දේශපාලනය කිරීම තහනම් කරනු ලබන්නේ නම්-ඉන් කියැවෙන්නේ ඔහු මිනිස් බවින් මිදවීමයි. එය මනුෂ්‍යත්වය හා මිනිසත්භාවයට එරෙහි කරනු ලබන අපරාධයකි.

දේශපාලනය යනු දේශය පාලනය කිරීම යන්න, දේශපාලන විද්‍යාවේ ‘අ‘යන්න හා සමානය. එනම්, දේශය හා එහි පුරවැසියා හා සම්බන්ධ සකලවිද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති වැදගත් දේ කෙරෙහි ඇති සාධනීය වටිනාකම් ගොඩනැගීමයි. ආරක්ෂාව, අධ්‍යාපනය, කළාව, යැපීම, පෝෂණය ආදීය එයට අයත්ය. ඒ අනුව ගත් කළ, ශිෂ්‍ය දේශපාලනය යනු ශිෂ්‍යයා හා සම්බන්ධ සකලවිධ ක්‍රියාකාරකම්ය. අධ්‍යාපනය, කළාව, පෝෂණය, වින්දනය, නිදහස හා ස්වාධීනත්වය මෙන්ම වින්දනය කිරීම ද මීට අයත්ය. එහෙයින්, විශ්ව විද්‍යාලය තුළ නිසි අධ්‍යාපනය ලැබීම මෙන්ම විනෝද චාරිකාවක් යාම, ආදරය කිරීම, නිදහස භුක්ති විදීම, මුදල් ගෙවීමක් මගින් කැන්ටිමකින් නිසි පෝෂණීය හා සාධාරණ ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම අනෙකා සමග රාශිගත වීම යන්න සියල්ල ඒ යටතට වටේය යන්න හැගීමයි. 

පැය දෙකක හෝ තුනක දේශනයකට සහභාගී වීම දේශපාලනික කරුණකි. ව්‍යවසායට සුදුසු යාවත්කාලීන වූ අධ්‍යාපනයක් ලැබීම මෙන්ම, දේශකයා විසින් කරනු ලබන දේශනය රසවත් හෝ හරවත් නොවන්නේ නම් ඊට විරුද්ධව යම් සංඥාමය හෝ ඍජුමය විරුද්ධතාවක් දැක්වීම ශීෂ්‍යයා සතු අයිතිවාසිකමකි. රසවත් හෝ හරවත් නොවන දේශනයකින් නැගිට යාමේ අයිතියක් ශිෂ්‍යයා සතු විය යුතු වේ. එසේම, විධිමත් පටිපාටීන්ට අනුව විභාගයකට පෙනී සිටීමේ හා ප්‍රතිඵලයක් ලැබීමේ අයිතියක් හිමි වේ. එය ආචාර්යවරයා කැමති වුව ද නැති ද නිරායාසයෙන්ම ශිෂ්‍යයා සතු වන හිමිකමකි.

එසේම, පොදු ක්‍රියාකාරකම් සංවිධානය කිරීම හා පවත්වාගෙන යාමේ මෙන්ම එය පොදු ශිෂ්‍යයාගේ සුභ සිද්ධියට සුදුසු වන පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් හා වගකීමක් ශිෂ්‍යයා සතු වන්නේ ය. වේදිකාවක දී ජාතිකානුරාගී ගීයක් හෝ ප්‍රේම ගීතයක් ගැයීමට මෙන්ම විප්ලවීය හෝ අරගලකාරී ගීයක් ගැයීමට ද විරහව හා කාලකණ්නි සත්‍යය හගවන ගීයක් ගැයීමට ශිෂ්‍යයාට හිමිකමක් ඇත. එය මිනිසෙකු හා පුරවැසියකු යන දෙවර්ගයෙන්ම ශිෂ්‍යයා ලබන දායාදයකි. එසේ වීම, ශිෂ්‍යයාට එරෙහි ආචාර්ය බලවේග ගොඩ නගා ශිෂ්‍යයාගේ මතු දියුණුව කාබාසිණියා කිරීමට තරම් බරපතල වරදක් නොවන්නේය.

මහපොළ ලැබීමට ශිෂ්‍යෙයක් සතු හිමිකමක් ඇත. එය ලැබිය යුත්තේය. එය නොලැබෙන්නේ නම්, මහපොළ ඉල්ලා සිටීමේ අයිතියක් ශිෂ්‍යයකුට ඇත. එසේම, එය ලබා දෙන තෙක් අරගල කිරීමට ශිෂ්‍යයාට හිමිකමක් ඇත. දැවැන්ත අරගලයක් දක්වා උඩු දුවන තුරු නිදා සිටිනවා ද නැතිනම් ලැබිය යුතු දේ නිසි ලෙස ලබා දෙනවා ද යන්න තීරණය කිරීම ශිෂ්‍යයා නොවන ශිෂ්‍යයාට බලපාන අනෙකා සතු තීරණයකි. එසේ ද නොලැබෙන්නේ නම්, නොලැබෙන බව දන්වමින් සිය ප්‍රකාශනය කිරීමට ශිෂ්‍යයාට අයිතියක් ඇත. එය පෝස්ටරයක්, බැනරයක් හෝ විරෝධතා පෙළපාලියක් විය හැක. වරදක් ඇති බව පෙන්වූ විට වරද නිවැරදි කර ගැනීම යට කී අනෙකාගේ දෙයකි. නමුත් අවාසනාවට අද සිදුවෙමින් තිබෙන්නේ, යම් වරදක් ඇති බව පෙන්වා දුන් විට, වරද තවදුරටත් වරදක් ව ම පැවත, වරද පෙන්වා දුන් එකා වැරදිකාරයෙකු ලෙස දඩුවම් ලැබීමයි. පංති තහනමක්, විනය පරීක්ෂණයක් හෝ ශිෂ්‍ය භාවය අහිමි වීම ඒ අතර විය හැක. 

ආදරය කිරීමේ, ආදරය ඉල්ලා සිටීමේ හා ආදරය ප්‍රකාශ කිරීමේ නිදහස හා හිමිකම සෑම සත්වයෙකුම සතු දෙයකි. ආදරය කිරීම හෝ යටකී ආදරණිය ප්‍රකාශනයක හවුල්කාරයෙකු වීම ශිෂ්‍යයා විසින් වන්දි ගෙවීමට ලක් වන තරමේ කරැමයක් වන්නේ නම් ඒ සමාජය නොදියුණු හා ගෝත්‍රික වන්නේය. තව ද කියමි. ආදරය නොදැනෙන්නේ නම්, ඒ මිනිසා වෙනස් කළ යුතු වන්නේය. ආදරය කිරීම නොදැනෙන්නේ නම් ඒ සමාජය වෙනස් කළ යුතුය. එම සමාජය ගෝත්‍රික හා නොදියුණු බවින් මුදවා ගත යුතු වේ. පෙම්වතිය හා පෙම්වතා එකට ඉදගෙන සිටින විට කන්‍යාභාවය පරීක්ෂා කිරීමට යෝජනා කිරිමට තරම් කරුණක් වන්නේ නම්, ඒ මිනිසාගේ මානුෂීය ලක්ෂණ පරීක්ෂා කිරීමට තරම් බරපතල සිද්ධියකි. එසේම, ආදරය කිරීම හෝ ආදරයෙන් විලාප දීම විනය පරීක්ෂණයකට තරම් දෙයක් නම් එය ද විනය පරීක්ෂණයේ හවුල්කරුවන්ගේ තත්ත්වයන් පරීක්ෂා කළ යුතු තරමේ සිද්ධියකි.

ස්වාධිනව හා නිදහසේ කාලය ගත කිරීමට හෝ ගිමන් හැරීමට ස්ථානයක් තෝරා ගැනීමේ සිට පොදු ශිෂ්‍යයාගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම දක්වා යන සියල්ල ශිෂ්‍ය දේශපාලනයයි. එහෙයින්, ශිෂ්‍ය දේශපාලනය යනු අනිවාර්යයෙන්ම විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතනයක් තුළ තිබිය යුතු එසේම, විධිමත්ව සංවර්ධනය කළ යුතු අනිවාර්ය උපාංගයක් වේ. අදාල උපාංගයේ සමාජ වගකීම් ඉශ්ඨ කිරීම අවස්ථානෝචිත පරිදි ශිෂ්‍යයා විසින් ඉටු කිරීම ද ශිෂ්‍යයාගේ උර මත පැටවෙන වගකීමක් හා යුතුකමක් වන්නේය.

එපමණක් ද නොව, ශිෂ්‍යයා යනු අනාගත පරිනත පුරවැසියායි. එහෙයින්, පුරවැසි අයිතිවාසිකම් හා පුරවැසි කරැණු වෙනුවෙන් මැදිහත් වීමේ හා පෙනී සිටීමේ අයිතියක් ද ශිෂ්‍යයා සතු වේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම. රටේ සෞඛ්‍ය අසරණ තත්ත්වයකට පත් වීම. පාසල් හා ද්වීතීය අධ්‍යාපනයට කණ කොකා හැඩීම මෙන්ම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ සිට ගමක පාරට තාර දැමීම දක්වා කරුණු කෙරෙහි, අඩු වැඩි වශයෙන් මැදිහත් වීමේ අයිතියක් හා හිමිකමක් ශිෂ්‍යයා සතු වේ. මන්දයත්, ශිෂ්‍යයා යනු අනාගත හෝ ඇතැම් විට වර්තමානයේදීත් දේශයේ පරිණත පුරවැසියා වීම හේතුවෙනි. 

දේශපාලනික අධබාල තත්ත්වයෙන් අතමිදී, වගකීම් සහගත මිනිසෙකු වීමට ආරාධනා කරමි. එසේම, ඔබේ දේශපාලනික නොවන අනෙකා-දේශපාලනික නපුංසක භාවයෙන් හෝ වද භාවයෙන් මුදවාගෙන පෘශ්ඨිමත් හා ඍජු මිනිසෙකු කිරීමේ කටයුත්ත වෙනුවෙන් නායකත්වය හා පෙරමං ගැනීමට ආරාධනා කරමි. මෙරට නොමිලයේ අධ්‍යාපනය කියා දෙයක් නැත. ඇත්තේ, පෙරගෙවුම් හා පසුගෙවුම් අධ්‍යාපලනයකි. එක්කෝ, පාන් ගෙඩියේ කිරි පිටි පෙට්ටියේ සිට ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීම දක්වාත් හුස්ම ගැනීමේ සිට මිය ගිය පසු වැලළීමට ඉඩක් වෙන් කර ගැනීම දක්වා සිදු කරනු ලබන ගෙවීම් වලින් අප අධ්‍යාපනය වෙනුවෙන් වක්‍රව මුදල් ලබා දෙමු. එසේත් නැතිනම්, පාඨමාලා ගාස්තු හෝ විභාග ගාස්තු ගෙවීමේ යන ඍජු කරුණු මගින් අප අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීම සිදු කරමු. 

ශිෂ්‍යයා දේශපාලනය කිරීම හෝ සමාජ වගකීම වෙනුවෙන් පෙනී සිටීම යනු, රටේ සල්ලි වලින් පිණට ඉගෙන ගෙන රටට ද්‍රෝහි වීමක් නොව. ඒ සෑම ශිෂ්‍යයකු විසින් ම අඩු වැඩි වශයෙන් තම අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමි සිදු කොට ඇත. එසේ නොවන්නේ නම්, අනාගතයේ දී අදාල ගෙවීම් නියත වශයෙන්ම සිදු කරනු ඇත. එහෙයින්, ශිෂ්‍ය දේශපාලනය යනු මිනිසාගේ හා ශිෂ්‍යයාගේ අයිතිවාසිකම් මෙන්ම යළිදු කියමි, වගකීමක් හා කාර්යයක් වන්නේය.