Sunday, December 9, 2012

කුලවාදයට නූතන සංශෝදනයක්

කුලය හෝ කුලවාදය පිළිබද අදහස මේ වන විට සියවස් දෙකකට ද එහාට දිවයන ගතානුගතික කියවීමක් බවට පත්ව තිබේ. ඉතාම කුඩා මනස් සමූහයක පමණක් හොල්මන් කරමින් සිටින කුලවාදය පිළිබද අදහස හෝ කුල බෙදීම, මේ වන විට විවාහය හෝ ඒ හා සමාන වැදගත් කමක් ඇති කීරණාත්මක අවස්ථාවන්වලදී පමණක් ඉස්මතු වන නමුත්, සමාජය තුළ ගර්හාවට හා පිළිතුලට ලක්ව ඇති ‘පැරණි මිනිසුන්ගේ ඇදහීමක්‘ බවට පත්ව තිබේ. එහෙයින් ද කුලය යනු පොදු සමාජයක් තුළ මිනිසාගේ තත්ත්වයන් හා මට්ටම් පිළිබද නිර්ණයක් වෙනුවෙන් පාරම්පරිකව තබා ගත් සාධකයක් වන හෙයින් ද කුලවාදය හෝ කුලය පිළිබද අසහස් හා මතවාදයන් යළිත් අමුතුවෙන් ලිවීමට හා කියැවීමට කාලය එළැඹ ඇතැයි විශ්වාස කරමි. කුලය පිළිබද අවසන් සීමාකිරීම අදින් වසර 200 කට පෙර, එනම් 1815 උඩරට ගිවිසුමට පෙර යුගයට අයිති එකක් බැව් නියත වශයෙන්ම කිවිය හැකිය.

ධනපති පංතියේ සූරාකෑමට එරෙහිව නැගී සිටීම සිදු වූයේ ද ධනපති පංතිය තුළින් උපන් නායකයින්ගෙන් බැවින් ද උසස් තත්ත්වයන් ඍජුව අභියෝග කළ හැක්කේ අදාල උසස් යැයි සම්මත පංතියට අභිමානයෙන් හා ඍජුව අභියෝග කළ හැකි පංතියක් වන හෙයින් ද කුලවාදය පිළිද නූතන කියැවීම ද ඇරඹිය යුත්තේ, සම්මත කුලවාදය තුළ උසස් යැයි සම්මත හා පිළිගත් කුල නියෝජනය කරනු ලබන පිරිස්ම බැව් ද සදහන් කරනු කැමැත්තෙමි.

කෙසේ වුව ද, කුලය නිර්මාණය වීමේ මූලිකම සාධකය වූයේ ඒ ඒ කාලයේදී තමන් සහ තමන්ගේ පංතිය විසින් කරමින් සිටි රැකියාව පදනම් කර ගනිමිනි. ඒ අනුව, මූලික වෘත්තිය ලෙස ගොවිතැන් කළ පිරිස් ගොවිගම ලෙසත් මසුන් මැරීමේ නිරත වූවන් කරාව කුලය ලෙසත් වළං හා මැටි ආශ්‍රිත කර්මාන්තයන්ගේ නියැළුණු උදවියගේ පංතිය කුඹළුන් වන්නේ ද එහෙයිණි. ගම තුළ රෙදි ආදිය සෝදමින් සිටි පිරිස් ඩෝබිලා වූයේය. ඒ අනුව ගත් කළ මෙම සමාජ තත්ත්වයන් හා වෘත්තීන් එම කාලයේදී නිසි බෙදීමකට අනුව සිදු වූ බවත් එවැනි බෙදීමක් සාධාරණ යැයි සිතීමට හැකි තරම් සාධකත් අතීතයේදී හමු වේ.

නමුත්, විශේෂයෙන්ම නිදහසින් පසු මෙන්ම නිදහස් සටන සදහා වන ගමන් මගේදීත් නිදහස් අධ්‍යාපනයේ තත්ත්වයන් සමගත් කුලයට හිමි වෘත්තිය හෝ සමාජ තත්ත්වයන් පවත්වාගෙන යාම හා ඇත්ත වශයෙන්ම කරනු ලබන වෘත්තිය හෝ පවත්වාගෙන යන සමාජ තත්ත්වයන් අතර වෙනසක් නිර්මාණය වීමට පටන් ගත්තේය. ජිවිතේ එක් වරක් හෝ කුඹුරකට බැස නැති හෝ අඩුම තරමේ විනෝද චාරිකාවකදී හැර කුඹුරක් දැක හෝ නැති ගොවිගම මිනිසුන් ද මුහුදු හුළගක් හෝ නොවැදුණු කරාව කුලයින් ද සක පොරුවක් දෑසින් දැක නැති කුඹළුන් ද වෙයි. එහෙයින් තවදුරටත් පැරණි බෙදීම අනුව, කුලය සැලකීම සුදුසු නොවන්නේ යැයි කියා සිටින්නේ එහෙයිණි. එසේම, ඇතැම් විට අද වන විට ජීවත්වන පරම්පරාව තමන්ගේ ලග්නය පවා නොදන්නා හෝ නොතකනා තත්ත්වයක් උඩ තමන්ගේ කුළය තුළ සැලකිළිමත්වන බවක් දක්නට නොලැබේ. විවාහයකදී පවා කුළය වැදගත් බැව් ඇතැමෙක් විශ්වාස කරන්නේ නම්, නූතන සමාජය තුළ බහුලව පවත්නා ප්‍රේම සම්බන්ධතා ආශ්‍රිත විවාහයන්ගේ දී ප්‍රේම සබදතාව ආරම්භ කරන්නේ කුලයක් තබා ඉන්නා සිටිනා තැනක් ගැන හෝ වැඩි තැකීමක් නොකරමිණි. විවාහය වැනි ඉතාම සීමිත සාධක වලදී පවා අද වන විට කුලය යන සාධකය සීමිත ප්‍රදේශ කිහිපයකට හෝ පුද්ගලයින් සමුදායකට සීමා වූ පෞද්ගලික හෝ ප්‍රාදේශීය පිළිගැනීමක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ අවසන් වරට කුලයට අදාල හැසිරීමක් පිළිබද අවම අවධානයක් හෝ යොමු කරනු ලැබූයේ වික්ටර් අයිවන් විසින් රචිත - නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිය - යන් ග්‍රන්ථයේදී පමණි. එහිදී ද 71 කැරැල්ලට සාපේක්ෂව 88-89 වකවානුවේ තරුණ නැගිටීම සැසදීමේදී කුලය යන්න ඔප්පු කර ගැනීමේ හැකියාවක් ඇති සාධකයක් බවට පත් නොවන තරම්ම බැව් ඔප්පු වී තිබේ.

ව්‍යවහාරික වහයෙන් අර්ථ දක්වන්නේ නම්, ඇතැම් විට පෙර යුගයේදී කුලීනයකු හා උසස් කුළයක පුද්ගලයින් දෙදෙනෙකු සම මට්ටමින් අසුන් ගන්නා පසුබිමක් හෝ දක්නා නොලැබුණ ද අද වන විට තමන්ගේ උසස් නිළධාරියාගේ තත්ත්වය මත මිස කුලය මත ඔහු ආමන්ත්‍රණය කිරීම කළ නොහැකි වී සිටියි. වැඩවසම් හෝ පුද්ගලික දේපල ආර්ථිකයක් තුළ කුලය යන්න අභිමානය පවත්වාගෙන යාමේ සාධයක් වුව ද මේ වන විට පවත්නා ආර්තික, සමාජ හා දේශපාලන තත්ත්වයන් තුළ එම සාධකය අවලංගු නොවී සිටීමට තරම් කිසිදු සාදාරණ පදනමක් නැති තරම්ය.

එසේ වුව ද, කුලවාදය යන්න නූතන සංශෝදනයක් හෝ නූතන භාවිතයක් තුළින් තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් පිළිබද නිර්දේශ කළ හැකි තත්ත්වයක් ඇත. එනම් මේ සදහා ද පැරණි යුගයේදී භාවිත කළ රාජකාරී ක්‍රමය හෝ වෘත්තීය තත්ත්වය සැලකිල්ලට ගත හැකිය. නමුත්, නූතන යෝජිත වර්ගීකරණය අනුව - මෙම කුලය පාරම්පරිකව පැවතීමේ පදනම වන්නේ පියාගෙන් හෝ මවගෙන් දරුවන්ට උරුම වන වෘත්තිමය තත්ත්වය පමණක් මිස වෙනකක් නොවේ.

කරත්ත පැදවූවන් සියලු දෙනා කරත්ත කරුවන් වූයේ නම්, එය ඔවුන්ගේ කුලය පිළිබද මුඛ්‍ය සාධකය වන්නේ නම් ද අද වන විට ත්‍රී-රෝද රියදුරන් හා ටැක්සිකරුවන් හෝ රියදුරන් එවැනි වර්ගීකරණයක් තුළ එකම කුලයකට වර්ග කළ හැකිය. ඔවුන්ගේ සමාජ තත්ත්වයන්, ආර්ථික හැකියාවන් හා දේශපාලනික පසුබිම අත්‍යාසන්න එක සමාන බවක් දැක්වීම ඊට හේතුවයි. පෙර යුගයේ පියාගේ කරත්තය පුතාට උරුම වුව ද නූතන අධ්‍යාපන පසුබිම අනුව, රියදුරු කුළයේ පියාගේ දරුවා ගුරු-කුළයට අයත් ගුරුවරයෙකු විය හැකිය. ඔහු ගුරුවරයෙක් වූ පසු ඔහුගේ සමාජ තත්ත්වය, ආර්ථිකය හෝ දේශපාලනය මෙන්ම සෙසු තත්ත්වයන් තමාගේ පියාගේ කුලයට අනුබද්ධ නොවන අතර ඔහුට හා ඔහුගේ කුලයට අනන්‍ය වේ. නීතීඥවරුන් සියලු දෙනා තමන්ගේ පූර්ව කුල සාධකය තුළ කුමන තත්ත්වයන් තුළ ස්ථානගත වී තිබුණ ද අද වන විට සමාන තත්ත්වයකට පත්ව ඇති හෙයින් නූතන කුළ වර්ගීකරණයට අනුව ඔවුන් එම කුලයට අයත් විය යුතු නොවේ ද. වෛද්‍යවරුන් ද මාධ්‍යවේදීන් ද තොරතුරු තාක්ෂණ ශිල්පීන් ද ස්වභාවය අනුව විවිධ ව්‍යාපාරිකයින් ද ඉංජිනේරුවරුන් ද ඔවුන්ගේ සමාජ, ආර්ථික, පැවතුම් හා දේශපාලන තත්ත්වයන්ට අනුව කියවා ගැනීමේ දී නූතන අනන්‍ය කුළයන් තුළ ස්ථානගත විය යුතුය.

කුලය පිළිබද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ද කුලය රදා පවතින්නේ කරමින් සිටින හෝ කරන ක්‍රියාවන් අනුවය. මෙය වසල හෝ බමුණු යන සරල බෙදීමෙන් එහා ගිය වෘත්තීමය හෝ ක්‍රියාමාර්ගිකමය කාර්යයන් පදනම් කරගනිමින් සිදු කරන බෙදීමක් වෙනුවෙන් ද ආශ්‍රය කරගත හැකිය. අද වන විට පැවිදි වීම ද කුලය මත සිදු වීම දක්නට ලැබේ. නමුත්, මෙහි ද ඇත්තේ කුලයන් දෙකකි. ඇත්ත වශයෙන්ම සසර කළ කිරී පැවිදි වූවන්ගේ කුලය හා ව්‍යාපාරික පදනමක් හෝ භූදල් රැකීමේ අරමුණින් පැවිදි වූවන්ගේ කුලයයි.

කුළය යන සාධකය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම, යුතුකම් ඉටු කිරීම, තත්ත්වයන් පවත්වාගෙන යාම ආදී කරුණු වලදී අතීතයේදී ද පිටිවහලක් විණි. අද වන විට ද අප පූර්ව කුළවාදයේ විවිධ කුලයන් තුළ ස්ථානගත වුව ද තත් කාලීන වෘත්තීන් අනුව කරමින් සිටින්නේ ඒ සමාන දේවල් සමුදායකි. ජනමාධ්‍යවේදීන් අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙති. ඔවුන් පොදුවේ යුතුකම් ඉටු කරති. වර්ජන හෝ උද්ඝෝෂණ ආදිය ද එසේමය. මේ තත්ත්වය පෙර කුළයන් තුළ ද දක්නට ලැබිණි. කරත්ත බදු ඉහළ දැමූ විට කරත්තකරුවන් කුලයක් ලෙස ඊට විරෝධය දැක්වූවා සේ අද වන විට බස් හෝ කුලී රියදුරන් සිය විරෝධය දක්වයි. මෙහි ඇති වෙනස වන්නේ, කරත්තකරුවන් ඔවුන්ගේ කුලයෙන්ම ඔවුන් වී සිටීම හා නූතන රියදුරන් පූර්ව කුල වර්ගීකරණයේ විවිධ කුල වලට වී සිටීමයි. යුක්තිය හා සාධාරණත්වය අභියෝගයට ලක්වන විටදී වීදි බසිනු ලැබූ නීතිඥවරුන් පූර්ව නිගමනයන් අනුව එක් එක් කුලයන්ගේ ස්තානගත වී සිටි අය බව සත්‍යයක්. නමුත්, ඔවුන් අද වන විට පෙනී සිටින්නේ තමන්ගේ නූතන කුලයේ අවශ්‍යතා, යුතුකම් හා වගකීම් වෙනුවෙන්ය.

කුළවාදය බහුලවම හා ස්ථායීවම පැවති ඉන්දියාව තුළ ද අද වන විට කුලවාදය පිළිබද වෙනස් දැක්මක් ඇති වී තිබේ. ඉන්දීය නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ පුරෝගාමිකු හා ජාතික කොඩියේ නිර්මාතෘ සංසදයේ සාමාජිකයකු වූ අම්බෙඩ්කාර් යනු කුලීන පවුලක සාමාජිකයෙකි. කුලවත් පිරිමින් හා ගැහැණුන් නිදහස වෙනුවෙන් පසුගැමී මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ද කුලවත්භාවයට අදාල සාධාරණයක් ඉටු නොකරද්දී ද අම්බෙඩ්කාර් අධ්‍යාපනය තුළින් වෙනස් කර ගත් කුලයක සිට ඒ  වෙනුවෙන් යුග මෙහෙවරක් ඉටු කළේය. මායාවතී නම් වූ කුලීන කාන්තාව අද වන විට ඉන්දියාවේ කුලවතුන් බහුල ප්‍රාන්තයක් තුළ මහ ඇමතිකම දරමින් සිටියි. ඉන්දියාවේ පළමු කතානායකවරිය වන මීරා කුමාර් දාලිත් නම් හීන කුලයකට අයත් කාන්තාවකි. ජනාධිපති කේ. ආර්. නාරායන ද අගවිනිසුරුවරයෙකු වූ ජී. කේ. බාලක්‍රිශ්නන් ද හීන කුල වල සිට ඉන්දියාවේ ඉහළම තනතුරු වෙත පැමිණි අය වෙති. ලංකාව සම්බන්ධයෙන් ද මෙවැනි උදාහරණ ප්‍රමාණවත් තරම් ඇත. 

නීතිය තුළින් පවා කුලවාදය වෙනස් කිරීමේ යත්නයක් දරා ඇති බව කුලය පිළිබද අදහස වැඩිපුරම දැරූ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නීතීන් දෙස බැලීමේදී දක්නට ඇත. ප්‍රවේශ අයිතිය හා නිදහස සම්බන්ධ මූලික අයිතිවාසිකම් වලදී,  කුලය ආගම භාෂාව හෝ ජාතිය අනුව වර්ග කළ නොහැකි බවත්, ඒ මත ප්‍රවේශ හැකියාවන් සීමා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(3) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ සමානම තත්ත්වයක් ඉක්දියානු ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව තුළින් ද දක්වා ඇත. ඉන්දියාව තුළ ද සලකා බැලීමේදී දක්නට ඇති තත්ත්වය වන්නේ කුලය මත පදනම්ව ඇත්ත වශයෙන්ම කරතැයි අපේක්ෂා කළ හැකි රැකියාවන්, සමාජ ආර්ථික පසුබිම් හා තත් කාලයේදී ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවත්නා දේ හා කරමින් සිටින වෘත්තීන්, ආර්ථික හා සමාජ හැසිරීම්වල වෙනසක් ඇති බව යැයි, කුලවාදය පිළිබද ඉන්දියානු කොමිෂන් සභා වාර්තාවේ පවා සදහන් වේ. 1995 වන විට ඉන්දීය රැකියා නියුක්තිකයින්ගෙන් සියයට 17.2 ක් පමණ කුලීනයින් වූ අතර, එම රැකියාවන් එකක් හෝ ඔවුන්ගේ කුලයට අනුව ඇත්ත වශයෙන්ම හිමි රැකියාවන් නොවන බව ද එම වාර්තාවේ සදහන් විය. මීට අමතරව ඉන්දියාව තුළ ‘ඒ‘ ශ්‍රේණියේ රැකියාවන්හි නියුක්ත කුලීනයන් ප්‍රතිශතය සියයට 10 පවා ඉක්මවා ඇත. අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ මෙවැනි සංගණනයක් පවත්නා නොමැති නමුත්, මෙරට ද තත්ත්වය මෙසේ හෝ මෙය පවා ඉක්මවා යා හැකි බැව් සදහන් කර හැකිය.

ඉන්දියාව හා ලංකාව යන රටවල් දෙක තුළම කුලය පිළිබද පැහැදිලි බෙදීමක් දක්නට ඇත්තේ අති බහුතර ජනසමාජය තුළයි. ශ්‍රී ලංකාව තුළ එය සිංහල ජනසමාජය තුළ ද ඉන්දියාව තුළ එය හින්දු ජනසමාජය තුළ ද වේ. නමුත්, මුස්ලිම් හා ක්‍රිස්තියානි පරිසරයන් තුළ ඇති කුල බෙදීම අද වන විට යම් ප්‍රමාණයකට ඔවුන්ගේ වෘත්තීන්, ආර්තික හා සමාජ සාධකයන් මත වෙනස් වී ඇති අයුරු දක්නට ඇත. සිංහල හා හින්දු ජනසමාජය තුළ විය යුතුව ඇත්තේ ද එම තත්ත්වයයි. 

පැරණි ශ්‍රී ලංකාවේ කුල බෙදීම පිළිබද තවදුරටත් කියවාගනු ලබන්නේ නම්, සිංහල මූලික සමාජයෙන් උපන් කුල ක්‍රමයක් මෙන්ම දෙමළ ආභාෂයෙන් උපන් කුල ක්‍රමයක් ද මෙහි වෙයි. ඇතැම් විට සංස්කෘතීන් දෙක හා පසුබිම් අතර පවත්නා සමානතාවයන් හේතුවෙන් මේ සමාන බව දක්නට ලැබෙනවා ද විය හැක. කෙසේ නමුත්, උඩරට හා පහතරට යන පොදු බෙදීමකින් ආරම්භ වූ විට පැරණි ජන සමාජය තුළ බෙරවයන්නන් - බෙරව, සීනි සාදන්නන් - හකුරු හෝ වහුම්පුර (දේව), පහත්ම කුල වල අය රොඩී හා කින්නර ආදී වශයෙන් ද වර්ග කර තිබූ අතර, මැදි කුල ලෙස වර්ග කර තිබුණේ සලාගම හා දුරාව වැනි කුලයන්ය. රාජකාරී ක්‍රමය තුළ වැඩි අවකාශයක් හිමිකර ගෙන සිටි උසස් තත්ත්වයේ කුල වූයේ රජ, බමුණු. වෙළද හා ගොවි කුලයන්ය. මෙරට රජ කුලයක පුද්ගලයකු අවසන් වරට රජකම් කර ඇත්තේ ද මින් වසර ගණනකට පෙරය. එවැනි පසුබිමක් තුළ වුව ද අදටත් රදල පංතියේ කුළයක් පවත්වාගෙන යයි. රජකමට කුලයෙන් උරුම වූවන් වෙනත් විවිධ වෘත්තීන්ගේ නියැලෙමින් සිටින විටදී. රජගෙදරට වද්දා ගැනීම හෝ තහනම් කළ කුළ වල මිනිසුන් පවා රජකම් කර ඇත. එසේම, කෘෂිකර්මාන්තය හෝ ගොවිතැන නුදුටු එම වර්ගයට අයත් කුලවල අය අද වන විට ඇත්ත වශයෙන්ම බහුලය. කිසිදු පදනමක් නැතිව පවත්වාගෙන යන කුලවාදය පිළිබද නූතන අදහස, ඉහළට එන පුද්ගලයින් පහත් කර තැකීමේ හීනමානය පවත්වාගෙන යාමට පමණක් භාවිත කරන බවක් පමණක් කිව හැකිය. රණසිංහ ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා හා සම්බන්ධ තත්ත්වය මේ සදහා කදිම උදාහරණ දෙකක් ලෙස දැක්විය හැකිය.

එපමණක් නොව, නූතන රැකියාවන් හා ගැලපෙන පරිදි ප්‍රතිසංශෝදනය කිරීමට හෝ නොහැකි තත්ත්වයට පැරණි කුලයන් යටපත්ව තිබේ. සරල උදාහරණයක් ලෙස වෛද්‍යවරුන් ගත් කළ ඔවුන්, අහිකුණ්ටක ද බඩහැල ද බත්ගම ද බෙරව ද දේව ද ගොවිගම ද හන්නාලි ද හුණු ද කින්නරය ද නවන්දණ්ඩ ද පමුණු ද පණ්න ද පණික්කි ද පට්ටි ද පොරවකාර ද රදළ ද රජක ද රොඩිය ද නොවෙති. ඒ එක් කුලයක් හා සබැදෙණ රැකියාවක් වෛද්‍ය වෘත්තියට අදාලව නොවෙයි. එය එසේනම්, නූතන වර්ගීකරණය අනුව වෛද්‍යවරුන් යනු නව කුලයක් නොවන්නේ ද. නීතීඥවරුන්, ගණකාධිකරුවරුන්, මාධ්‍යවේදීන්, රියදුරන් ගුරුවරුන් හෝ අප දන්නා සමාජ තත්ත්වයන් ද එසේමය. අද වන විට සංස්කෘතික මධ්‍යස්ථාන වල බෙර වැයීම සිදු කරන්නේ  බෙරවාය කුලයේ මිනිසුන් නොවන වෙනත් පූර්ව කුලයන්ගේ පුද්ගලයින් බව ද දක්නට ලැබේ. කරණවෑමියන් සියල්ලෝම පණික්කියන් නොවන අතර, පණික්කියන් සියලු දෙනා ද අද වන විට සැලොන් දමාගෙන කොණ්ඩා කැපීම සිදු කරන්නො නොවෙති. එහෙයින්, කුලය (caste) වෙනුවට සමාජ (community) ඇසුරින් නිර්මාණය වන කුළ ක්‍රමයක් අවශ්‍ය වේ.

එහෙයින්, මේ තත්ත්වය වෙනස් වීමේ සමාජ කතිකාවක් අවශ්‍ය නොවන්නේ ද. තවදුරටත් පැරණි කුල බෙදීම වලංගු වන්නේ කුමන තත්ත්වයක් උඩදැයි ප්‍රශ්න කළ යුතු නොවේ ද. 

2 Click Here to Comment:

Anonymous said...

ඉස්සෙල්ලම මේක කියල දෙන්න ඕන අපේ ගණගෙඩියන්ට. උන්දැල තමයි කුල වශයෙන් නිකාය බෙදාගෙන සිංහලයා බේද කරන්නේ

Anonymous said...

කැම්පස් එකේ මම දන්න හොඳ ගැහැනු ළමයෙක් හිටියා.හරිම ලස්සනයි.පොහොසත් සැපට හැදුනු ළමයෙක්.දෙමව්පියොත් උගත්.මට හැමදාම හිතුනා අනේ මේ ළමයා වගේ වෙන්න ඇත්නම් කියලා.ඒක යාලුවෙකුට කිව්වම එයා කිව්ව, අපොයි එයාගෙ සර්නේම් එක දැක්කද? එයාලා ලෝ කාස්ට් නේ කියලා.ඇත්තටම මට ඒ ලමයා ගැන මුකුත් නරකක් හිතුනේ නැහැ.ඒ ලමයා අපිට වඩා පහත් කර ගන්න අපිට තියන එකම හේතුව ඒ කාස්ට් කතාව විතරයි.ඉතින් මගේ යාලුවා ඒක පාවිච්චි කරලා හිත සනසා ගත්තා.ඉහල ඉන්න අය අපිට වඩා පහත් කියලා අපිට හිත හදා ගන්න තියන දෙයක් තමයි කුලවාදය කියන්නේ.