Wednesday, December 5, 2012

අගවිනිසුරුවරිය ඉල්ලා අස්වෙයි ?

 අහුලාගත් හා ගොතනු ලැබූ චෝදනා 14 ක් මුල් කර ගනිමින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග චෝදනා එල්ල කර මේ වන විට මාසයක කාලයක් ඉක්ම ගොසිණි. අද වන විට අගවිනිසුරුවරිය ඉවත් කිරීමට අදාල උත්සාහය අදියර හෝ ක්‍රමවේද දෙකක් යටතේ දක්නට ලැබේ. එකක් නම් චෝදනා 14 පදනම් කර ගත් දෝෂාභියෝගය පාර්ලිමේන්තු කාරක සභාව තුළ විභාග කරමින් ඇය ඉවත් කිරීමට තරණ උත්සාහයයි. අනෙක නම්, දෝෂාභියෝගය එක් පැත්තක වේලීමට හැර ඇයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඇය එසේ කරන තත්ත්වය දක්වා පෙළඹවීමට දරණ උත්සාහයයි. ඉල්ලා අස්වීමට කරනු ලබන බලපෑම ද දෝෂාභියෝගය මෙන්ම දේශපාලන ව්‍යාපෘතියකි. දෝෂාභියෝගය විභාග කිරීම තුළින් ඉවත් කිරීම ජාත්‍යන්තරවත් ජාතිකවත් රෙජීමය ප්‍රශ්න කිරීමට ලක්වනු ඇතැයි දැනටමත් රෙජීමය විසින් වටහාගෙන ඇත. එසේ වී ඇත්තේ, දෝෂාභියෝගයට පදනම් වූ කරුණු පෙරළා අනෙක් පසට අභියෝග කිරීමට හැකි තරම් දුර්වල වන හෙයිණි. එහෙයින්, දැන් වඩා උචිත හෝ නුවණක්කාර වන්නේ දෝෂාභියෝගය තුළින් ඉවත් කිරීම නොව, බලපෑම් කිරීම තුළින් ඉල්ලා අස්වීමට සැලැස්වීම බව රෙජීමය වටහාගෙන තිබේ.

අගවිනිසුරුවරිය දෝෂාභියෝගය හමුවේ ඉල්ලා අස්විය යුතු බව මුළින්ම පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වාය. ඔහුට අනුව, චෝදනා එල්ල වූ විට - තවදුරටත් ධුරයේ රැදී සිටීම විලිලජ්ජා රහිත ක්‍රියාවකි. ආචාර්ය මර්වින් සිල්වාගේ තර්කය මෙසේ ගලපනු කැමැත්තෙමි. ඔහු නගන තර්කය අනුව, මිනී මැරීමේ චෝදනාවට අනුව විත්තිකරුවෙකු වූවෙකු නඩුව ඇසීමට පෙර ගෙල වැළලාගෙන මිය යා යුතුය. සොරකමට විත්තිකරුවෙකු වූවෙකු ස්ව කැමැත්තෙන් මිය යා යුතුය. ආචාර්ය මර්වින් සිල්වා නිර්මාණය කරනු ලබන නව නීති ආප්තයන් අනුව, නඩු ඇසීම හෝ නඩු කීම යනුවෙන් ක්‍රියාවලියක් අවශ්‍ය නැත. තමන් නිර්දෝශී බව ඔප්පු කිරීමේ යාන්ත්‍රණයක් වගඋත්තරකරුවෙකුට හෝ විත්තිකරුවෙකුට අවශ්‍ය නොවේ. කෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කළ පමණින්ම ඔහු හෝ ඇය ඊට අදාල වැරදිකරු හෝ වැරදිකාරිය වූ බව නිරායාසයෙන්ම පිළිගත යුතු වේ.

මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වන්නේ, කොළඹ හා තදාසන්න නගරයන් පුරා ‘චෝදනා 14 ක් තිබිලත් - තවම නඩු අහන්න ලැජ්ජ නැද්ද‘ යනුවෙන් ඇළවුණු පෝස්ටරයයි. ලියුම්කරුවා -ඇළවුණු- යනුවෙන් සදහන් කරන්නේ එය -අලවනු ලැබූ- කෙනෙක් පිළිබද සදහනක් නොමැති හෙයිණි. ප්‍රකාශිතයකුගේ හෝ ප්‍රකාශකයකුගේ අනන්‍යතාවක් නොමැතිව පොස්ටරයක් හෝ අත්පත්‍රිකාවක් බෙදා හැරීම සිදු කළ නොහැකිය. මරණ දැන්වීමක පවා ‘ෆුට් නෝට්‘ එකක් ලෙස ප්‍රකාශකයා සටහන් කරන රටක මෙවැනි පෝස්ටරයක ප්‍රකාශයා සටහන් නොකරන්නේ සචේතනාත්මකවය. එනම්, එවැනි සචේතනාත්මක මගහැරීමක් කරනු ලැබ ඇත්තේ එය මඩ පෝස්ටරයක් බැවිණි.

අධිආරක්ෂිත කළාපයක් වන උපරිමාධිකරණ සංකීර්ණයට යාබද ප්‍රෙද්ශයේ අගවිනිසුරුවරියට එරෙහිව මඩ පත්‍රිකාවක් බෙදා හරිනු ලැබීය. ජනාධිපති ආර්යාවගේ සහෝදරයාගේ නිවස බිදිණු ලැබූ හොරුන් පැය 48 ක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්වන පොලීසිය, හිරු එළිය වැටී ඇති මොහොතක බෙදනු ලබන මඩ පත්‍රිකා තොගය හෝ එසේ බෙදනු ලබන්නන් අත්අඩංගුවට ගැනීමට අසමත් වන්නේ, සැබෑ නොහැකියාව මත ද එසේත් නැතිනම් උවමනාවක් නැති කම හෝ එසේ නොකරන ලෙසට වන ආඥාවක් නිසා ද යන් ගැටළුසහගතය. 

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය නමින් වන සංවිධානයේ ගුණදාස අමරසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටින්නේ, අගවිනිසුරුවරිය බලය බෙදීමට පක්ෂ අදහසක් දක්වන හෙයින් ඇයට දිවි නැගුම විභාග නොකර සිටීමට තිබූ බවයි. එය එසේනම්, මිනී මැරීමට එරෙහි අදහසක් දරණ විනිසුරුවරුන්ට මිනී මැරුම් නඩු විභාග කළ නොහැකි ද. හොරකමට විරුද්ධ අදහසක් දරණ විනිසුරුවරුන්ට හොරකම සම්බන්ධ නඩු විභාග කළ නොහැකි ද. වනචරකමට එරෙහි අදහසක් දරන විනිසුරන්ට ස්ත්‍රී දූෂණය සම්බන්ධ නඩු ඇසිය නොහැකි ද. මෙවැනි ප්‍රකාශවල ඇති පදනම් විරහිත - හුදු පක්ෂග්‍රාහී අදහස් මෙමගින් ඉස්මතු නොවන්නේ ද. එසේනම්, තවදුරටත් අමරසේකර ප්‍රශ්න කරමි. ස්ත්‍රී දූෂණය සම්බන්ධ නඩු ඇසිය යුත්තේ වනචර කමට පක්ෂ පාතී විනිසුරන් ද? සොරකම සම්බන්ධ නඩු ඇසිය යුත්තේ සොරුන් වන විනිසුරන් ද. බලය බෙදීම සම්බන්ධ නඩුව ඇසිය යුත්තේ බලය බෙදීමට විපක්ෂ මතයක් දරණ විනිසුරකු මිස බලය බෙදීමට පක්ෂ අදහස් දරණ අගවිනිසුරුවරිය විසින් නොවන බවට ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් කියා සිටින කරුණෙහි ගැඹුරු අර්ථය එය නොවන්නේ ද.

පසුගිය දිනෙක, අගවිනිසුරුවරියට විරෝධය දක්වා රෙජීමයට පක්ෂ ත්‍රී-රෝද රථ සංවිධානයක් විසින් පෙළපාළියක් පවත්වනු ලැබීය. ඉන් පසු ඔවුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් කියා සිටියේ, ‘අපි වෙන කාටවත් කඩේ යන්නෙ නෑ. අපි කඩේ යන්නේ රට බේරාගත් ජනාධිපතිතුමාටයි‘ යනුවෙනි. එය එසේ නම්, ඔහුන් විසින් රථ පෙළපාලියක් සංවිධාන කරමින් කරනු ලැබ ඇත්තේ යටකී පුද්ගලයාගේ අවශ්‍යතාවය ද? නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ත්‍රී-රෝද රථ රියදුරන් සතු විශේෂඥ ඥානය හෝ කුසලතාවය කුමක් ද. මෙය ඉතාම නරක තත්ත්වයකි. ලියුම්කරුවා එසේ කියා සිටින්නේ, මෙවැනි තත්ත්වයක් සමාජ ගත වීම මගින් - ගමක මහේස්ත්‍රාත්වරයෙකුට අනාගතයේදී කසිප්පු නඩුවක් හෝ අසා තීන්දුවක් ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුවනු ඇත. යම් නඩුවක් සම්බන්ධයෙන් අයෙක් වරදකරුවෙකු කළහොත් හෝ යම් පක්ෂයකට අවාසි තීරණයක් ලබා දුනහෝත්, එම පාර්ශවය විසින් විනිසුරුවරයාට එරෙහිව මඩ පොස්ටර් අලවනු ඇත. පත්‍රිකා බෙදනු ඇත. අවසානයේදී පෙළපාලි යනු ඇත. මාධ්‍ය සාකච්ඡා පවත්වා සීමාවක් නැතිව විනිසුරුවරයා විවේචනය කරනු ඇත. අගවිනිසුරුවරයා සම්බන්ධ තත්ත්වය මෙයනම්, මහේස්ත්‍රාත්වරයෙකු හෝ දිසා විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් ද සෙසු විනිසුරුවරුන් සම්බන්ධ තත්ත්වය මෙය නොවන්නේ යැයි කාටනම් කිව හැකි ද. ‘යකඩ මල්ලට ගුල්ලන් ගසන්නේ නම්, පුළුන් මල්ල ගැන කවර කතාද‘ යැයි ලියුම්කරුවා ප්‍රශ්න කරමි.

මේ සියලු දේ රෙජීමය විසින් කිරීමෙන් හා කරවීමෙන් අපේක්ෂා කරන්නේ අගවිනිසුරුවරිය ඉල්ලා අස්වන තත්ත්වයට මනස සකස් කිරීමයි. නමුත්, පෙනෙන්නට ඇති දේවල් අනුව අගවිනිසුරුවරිය එවැන්නක් කිරීමට කිසිදු අදහසක් නැති තත්ත්වයක සිටියි. එසේ නම්, රෙජීමයට අගවිනිසුරුවරිය දෝෂාභියෝග නඩුවක් තුළින් පන්නා දැමීමට සිදුවනු ඇත. නමුත් රෙජීමය මෙම චෝදනා සකස් කිරීමේදී විශ්වාස කළේ, චෝදනා දැක ඒවාට බිය වන අගවිනිසුරුවරිය ලියුම් කඩදාසියකින් සිය ඉල්ලා අස්වීම යොමුකර ගම රට පවා අතහැර යනු ඇතැයි කියාය. නමුත්, එසේ නොකිරීම තුළින් මින් පෙර ඉදිරිපත් කළ වැනෙන හා ස්ථායි නොවූ චෝදනා දැන් ස්ථායී කිරීමට සිදුව තිබේ. විශ්‍රාම වැටුපක් හෝ විශ්‍රාමික අගවිනිසුරුවරයෙකුට හිමි කිසිදු වරප්‍රසාදයක් හෝ නොමැතිව ඉවත්ව යාමට සිදු වුව ද ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය කළ යුතු වන්නේ ද ඉල්ලා අස් නොවී දිගින් දිගටම සටන් කිරීම පමණක් බව ලියුම්කරුවා විශ්වාස කරමි. එසේ නොකළහොත් මින් ඉදිරියට පත්වන උපරිමාධිකරණ විනිසුරුවරන් මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ද වන විනිසුරුවරුන් ඍජුව හා අවංකව කටයුතු කිරීම ගැටළුසහගත විය හැකිය. රෙජීමයේ විශ්වාසය වූයේ දිවංගත අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා පූර්වාදර්ශය කර ගනිමින් බණ්ඩාරණායක මහත්මිය ද කටයුතු කරනු ඇතැයි කියාය. නමුත්. පූර්වාදර්ශ න්‍යාය පිළිබද රෙජීමයේ වැරදි විශ්වාසය අද වන විට ජේ. ආර්. ජයවර්ධනට කළ නොහැකි වූ දේ කරනු ලැබ ඇත. එනම්, ගැහැණියක පිරිමියෙකු කිරීමයි. අභියෝග හමුවේ පිරිමියකු පලාගිය අත්දැකීමක් ඇති රටක එවැනිම අභියෝගයක් හමුවේ කාන්තාවක විසින් පුරුෂ ධෛර්යය සහිතව සටන් කරමින් සිටියි. එහෙයින්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැහැණියක - පිරිමියකු ද කර ඇත.

2011 වසරේදී ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරු පුටුවේ වාඩි කරවන විට රෙජීමය විශ්වාස කළේ. ඇය ද අශෝක ද සිල්වා වැනි අගවිනිසුරුවරයෙකු වනු ඇතැයි කියාය. නමුත්, ඇය කිසි විටෙක විශ්‍රාම යාමෙන් පසු ජනාධිපති නීති උපදේශක තනතුර ඉලක්ක කරගනිමින් කටයුතු නොකළේය. එහෙයින්, රෙජීමයෙන් ලියා එවූ නඩු තීන්දු කුණු කූඩයට විසි කර දමා ඇය නීතිමය පදනම් තුළ පිහිටා තීන්දු ලබා දීමට කටයුතු කළේය. ඇයට අගවිනිසුරුධුරයේ රැදී සිටීමට තවමත් අවශ්‍ය තරම් වයස  ඇති නිසා ඇය, වරදාන හෝ වරප්‍රසාද පිළිබද ඉක්මන් නොවුණා විය හැකිය. නමුත්, අශෝක ද සිල්වා මහතාගේ අනුප්‍රාප්තිකයා විසින් දක්වනු ලබන අශෝක ද සිල්වාට හාත්පස වෙනස් වූ හැසිරීම රෙජීමයට දරාගත නොහැකි තත්ත්වයක තුනෙන් දෙකක බලයක් සහිත රෙජීමයේ වාසිය ලබා ගැනීමට කල්පනා කළ විය හැකිය.

අද වන විට සමස්ථ අධිකරණ පද්ධතියටම රෙජීමය විසින් බලපෑම් කිරීමට උත්සාහ දරමින් සිටියි. තේමාව හෝ මාතෘකාව කුමක් වුව ද විනිසුරුවරුන් රැස්වීමක් සදහා කැදවීමේ බලය හිමි වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවටය. පසුගිය සදුදා අධිකරණ සේවා කොමිෂන් සභාව - සියලු විනිසුරුවරුන්ට කොළමට පැමිණෙ ලෙස දන්වා සිටි විට, අධිකරණ ඇමතිවරයා ඊට මැදිහත් වී එසේ නොකරන ලෙසට විනිසිරුවරුන්ට බලපෑම් කළේය. අධිකරණ ඇමතිවරයා පයිසෙකට හෝ ගණන් නොගත් විනිසුරුවරුන් සදුදා කොළම පැමිණියේ වැඩ බලන විනිසුරුවරුන් වෙත උසාවි කටයුතු භාර දී අවසනය. ඒ හේතුවෙන් අධිකරණ කටයුතු බාධාවකින් තොරව කෙරීගෙන ගියේය. වඩා වැදගත් වන්නේ ලංකාවේ ම විනිසුරුවරුන් වැඩ කරයි ද  නොකරයි ද යන්න නොව, අදාල අධිකරණය වැඩ කරයි ද නොකරයි ද යන්නය. රෙජීමය අවසන් තුරුම්පුව ලෙස රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගනිමින් ජනතාව ලවා විනිසුරුවරුන් නොමැති නිසා නඩු කල් ගියේ යැයි ප්‍රකාශ නිකුත් කළේය. ලියුම්කරුවා මෙසේ ප්‍රශ්න කරයි. මෙච්චර කාලයක් ද එම නඩු කල් ගියේ පාර්ශවකරුවන්ගේ ඇති වරදක් නිසා නොව, විනිසුරුවරුන් සේවය නොකළ නිසා බැව් කාට හෝ කිව හැකි ද. පාර්ශවයක් නඩුව රැගෙන යාමට සූදානම් නොමැති නම් දින දීම හෝ වෙනත් විකල්පයකට යාම හැර වෙනත් දෙයක් කිරීමට විනිසුරු අසුනට නොහැකිය. එම තීරණය ගැනීම සදහා විනිසුරුවරයාම සිටිය යුතුය යනුවෙන් අනිවාර්යයක් නොමැත. මෙරට සෑම අදිකරණයතම පාහේ විනිසුරුවරුන්ගේ නිවාඩු දිනවලදී හෝ වෙනත් අවශ්‍යතාවන් මත කෙරෙන ආකාරයෙන්ම සදුදා දින ද වැඩබලන විනිසුරුවරුන් මගින් නඩු කටයුතු ක්‍රියාත්මක විය. එහෙයින්, රෙජීමය ගැලරිය වෙනුවෙන් නිර්මාණය කරන තර්ක තවදුරටත් සබුද්ධික සමාජය වෙත සංවේදී නොවන බැව් කියා සිටිය යුතුය.

මේ තත්ත්වයේ ඉදිරිය මීටත් වඩා වෙනස් විය හැකිය. අගවිනිසුරුවරයාගේ උපරිම ධූර කාලය වසර 5 වන බවට ව්‍යවස්ථා සංශොද්නයක් ගෙන ඒම පිළිබද හා-හූවක් දැන් පැතිර යමින් තිබේ. මෙහිද ඇතිවිය හැකි නරක තත්ත්වය ධුර කාලය සීමා කිරීම නොව. ආණ්ඩුකාරවරුන්ගේ මෙන් ධුර කාලය සීමා කර - ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ධුර කාලය දීර්ඝ කිරීම හෝ වාර ගණන තීරණය වීම වැනි තැනට පත් විය හැකිය. ඒ අනුව, අසහාය වරප්‍රසාදයන් හිමි අගවිනිසුරු ධුරයේ වැඩි කාලයක් රැදී සිටීමට කැමැත්තක් දක්වන අනාගතයේදී පත්වන අගවිනිසුරුවරුන් වාර ගණන වැඩි කිරීමේ අභිමතය ඇති ජනාධිපතිවරයාගේ හිත දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ඇත. ඒ අනුව, වාර දෙකක් හෝ තුනක් ධුරය දරන අගවිනිසුරුවරුන් අශෝක ද සිල්වා මහතා මෙන් පසුව උපදේශක තනතුරු හා තානාපති තනතුරු හිමිකරගනු ඇති. එනම්, මෙම දෝෂාභියෝගය ආණ්ඩුව පරාජයට පත් වුවහොත් මෙවැනි සංශෝදනයක් ගෙන ඒම තුළින්, අතීතය වුණු වරද යළි කර නොගැනීමට අවශ්‍ය වටපිටාවක් සකස් කරනු ඇති. කෙසේ නමුත්, දැන් ළිදට වැටී ඇති අගවිනිසුරුවරිය ඉල්ලා අස්වීම වැනි නොහොබිනා හා පරාජිත මාවතක් තෝරා නොගෙන සටන් කළ යුතු යැයි ලියුම්කරුවා යළි යළිත් විශ්වාස කරමි. එසේ නොකළහොත් යුක්තිය සම්බන්ධයෙන් වන සමස්ථ රට වැසියාගේ විශ්වාසය පළුදු වීමට හා ජනතාව යුක්තිය පිළිබද අභිමානයෙන් දුරස් වීමටත් ඉඩ ඇත. එසේම, රෙජීමය තමන්ගේ කෙරුම්කාරකම් පිළිබද අධිතක්සේරුවකට පැමිණෙනු ඇත. මේ තත්ත්වයන් දෙකම කිසිසේත්ම රටකට සුදුසු නොවන නිසා, ළිදට වැටී ඇති අගවිනිසුරුවරිය ළිං කටෙන්ම ගොඩ ඒම මේ තත්ත්වයන් දෙකටම සාධනීය ප්‍රතිචාර දැක්වීමක් වනු ඇත.


වැඩිදුර කියවීම සදහා - 

4 comments:

තරියා said...

එල..
නියමයි..

desh දේශ් said...

owwa thermganta beri modayoth innawane. Eka modakama kiyantath be. Nehedichchakama.

Il mondo di una povera pazza said...

බොහෝ දුරට සී ජේ මැඩම් ගෙදර යන්න යයි. ඒත් ඉන් එහාට අපිට නීතියක් කියලා යමක් ඉතිරිවෙයිද කියලා ලොකු අවුලක් මට නම් තියෙන්නේ.
අඩු වැඩි වශයෙන් දැනටත් ඔය දේශපාලකයෝ නීතිය බල්ලට දාලා උන්ට ඕන හැම මඟුලක්ම කරගත්තට අපේ එකෙක් කටක් ඇරලා වචනයක් කියනවද? පස්සෙන් ගිහින් චන්දේ දාන එකයි උන්ට කඩේ යන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්න කාටවත්ම උවමනාවක් නෑ වගේ.

මාමා said...

ඔහොම නෙමෙයි මොනා උනත් අපේ මිනිස්සු වෙනස් කරන්න බෑ.... උන් එහෙම්මමයි