Tuesday, December 4, 2012

ජනාධිපතිකමට - සජිත්ට වඩා නාමල් - ඊටත් වඩා විමුක්ති සුදුසුයි

සජිත් ප්‍රේමදාස යනු දිවංගත ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයායි. නාමත් රාජපක්ෂ යනු ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයායි. මෙහි විමුක්ති යනුවෙන් සදහන් කර ඇත්තේ අගමැතිවරුන් දෙදෙනෙකු ආච්චී හා සීයා වන මව හිටපු ජනාධිපතිවරියක වන එමෙන්ම පියා හිටපු දේශපාලන පක්ෂයක නායකයකු වන විමුක්ති කුමාරතුංගයි.

එක්තස් ජාතික පක්ෂයේ 54 වන ජාතික සම්මේලනය අවසන් වූයේ, රනිල් වික්‍රමසිංහ යළිත් තවත් වසර 6 ක් සදහා නායකත්වයට පත්කරමිනි. ඒ අනුවම සජිත් ප්‍රේමදාස නම් වූ එජාපයේ ඔටුන්න හිමි කුමාරයාගේ ඔටුනු පැළදවීමේ උත්සවය තවත් හය වසරකින් කල් ගියේය. කූඨප්‍රාප්තිය කල් ගිය ද සජිත් විසින් 54 වැනි සම්මේලනයේදී කරනු ලැබූ කතාව මගින් වෙනත් දේශපාලනික කියවීමක් වෙනුවෙන් පාර පාදා දුන්නේය. 

ඔහු ඍජුවම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයෙන් පිටතදී ඉල්ලා සිටියි. (ඔහු පක්ෂය තුළදී එසේ ඉල්ලා සිටීමට තරම් පෞරුෂයතකින් යුක්ත වන්නේ දැයි - 54 වැනි සම්මේලනයේ ඔහුගේ හැසිරීම මගින් ප්‍රශ්න කරයි.) එසේම, මෙරට මීළග ජනාධිපතිධුර අපේක්ෂකකම ද අයැද සිටියි. මේ කරුණු දෙක වෙනුවෙන්ම ඔහු ඉදිරිපත් කරන සාධක කිහිපයකි. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයේ නායකයකුව සිටි හෙයින් ඔහුට එජාප නායකකම පරවේණි උරුමයෙන් හෝ පාරම්පරික භුක්තියෙන් හිමිය. එසේම, රණිසිංහ ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපතිධුරය දැරූ නිසා ඔහු මෙරට ජනාධිපතිධුරයට ද උරුමකම් කියයි. පරවේණියට අනුව හිමිකම් කියයි. ජනාධිපති භුක්තිය ඔහු සතුයි. ඔහුගේ දේශපාලන න්‍යාය හෝ දැක්ම කුමක් වුව ද ජනසවිය, ගම්උදාව ආදී දේ නිර්මාණය කළ පියාගේ පුතා වීම හේතුවෙන් මෙරට ජනතාව සජිත් ජනාධිපති කළ යුතුයැයි සජිත් ජනතාවට අණ කර සිටියි.

මේ සමගම තවත් කරුණු කිහිපයක් කියවා ගැනීම සදහා සිත් යොමු වෙයි. සජිත් ජනාධිපතිකම ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා මෙරට ජනාධිපති වූ හෙයිණි. එසේනම්, එම පදනම මතම මෙරට ජනාධිපතිකමට ජේ. ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන ද නාමල්, (යෝෂිත හා රෝහිත රාජපක්ෂ පුතුන්) ද  චන්ද්‍රිකාගේ පුත් විමුක්ති ද සුදුස්සන් වෙයි. සජිත්ගේ පාර්ශවයෙන් දේශපාලන උරුමය ඇත්තේ පියාට පමණි. එසේනම්, නාමල් යනු ඩී. ඒ. රාජපක්ෂ නම් ඇමතිවරයාගේ මුණුපුරායි. විමුක්ති යනු අගමැතිවරුන් දෙදෙනෙකුගේ මුණුපුරායි. සජිත්ගේ පරවේණි පදනම අනුව, සජිත් නිශේද වී යාම මෙම තර්කය තුළ වැලැක්විය නොහැක. ඒ අනුව, සජිත් පරයා නාමල් ද නාමල් පරයා පරවේණි උරුමයෙන් විමුක්ති කුමාරතුංග ද පෙරමුණට පැමිණේ. එනයින්, පියා ජනාධිපති වීම යන අතාර්කික පදනම මත සජිත්ට ජනාධිපතිකම ඉල්ලා සිටීමට තවදුරටත් ඉඩක් නැත.

සජිත්ගේ පියා ඉන්දියන් හමුදාව ගෙනැවිත් යුද්ධය පාලනය කළ නිසා, සජිත් මෙරට නායකකම ඉල්ලා සිටියි. යුද්ධය ඉවර කරනු ලැබූ මහින්දගේ පුතාට - යුද්ධය පාලනය කළ රණසිංහ ප්‍රේමදාසගේ පුතාට වඩා ැඩි අයිතිවාසිකම්ක් නැති ද. ඒ අනුව, එම තරකයේදී ද සජිත්ට වඩා නාමල් ඉදිරියෙණි. නාමල් පරයා යෑමට තම් පරවේණි සුදුසුකම් යුද්ධය සම්බන්ධයෙන් විමුක්තිට නැතත්, සජිත් පරයා යෑමට තරම් හේතු ඇත. රණසිංහ ප්‍රේමදාස සාමබ සාකච්ඡා පැවැත්වූ හෙයින් සජිත් පරවේණි අයිතිය ඉල්ලා සිටියි. ප්‍රේමදාස සාම සාකච්ඡා පැවැත්වුව ද සටන් විරාමයකට යෑමට හෝ සමත් නොවීය. චන්ද්‍රිකා රනිල් මගින් හෝ සටන් විරාමයකට ගිය හෙයින්, සජිත්ට වඩා සාමය පිළිබද අයිතියක් විමුක්තිට ඇත.

සජිත් දෙවැනි ප්‍රේමදාස යුගයක් ඉල්ලා සිටියි. සජිත් මේ වෙනුවෙන් දක්වන්නේ සුදු උදාහරණ පමණි. ජනසවිය හෝ ගම්උදාව ඉක්මවා ගිය හැට දහසක් අතුරුදන් වූ හා මිය ගිය භීෂණ සමය ද පැවතියේ පළමුවන ප්‍රේමදාස යුගයේ බව අමතක නොකළ යුතුය. ලලිත් ඇතුලත්මුදලි, රංජන් විජේරත්න වැනි දේශපාලන ඝාතන ද තවත් පුද්ගලයින් සම්බන්ධ දේශපාලන තීරණ ද ඉතිහාසයට එක් කළ ප්‍රශ්නාර්ථයන් පිටුපස සිටින්නේ ප්‍රේමදාස රෙජීමයයි. 1971 කැරැල්ල සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයක දි - කැරැල්ල මර්ධනය කිරීමට එක් කැරළිකරුවෙක් වෙනුවෙන් සත 75 ක් (උණ්ඩයක මිල) පමණක් සෑහේ - යැයි කියා සිටියේ පළමු ප්‍රේමදාසය. ඒ අනුව, වීදි සටන් හෝ උද්ඝෝෂණ සම්බන්ධයෙන් දෙවැනි ප්‍රේමදාස යුගයේ ද මෙවැනිම පිළිතුරු අපේක්ෂා කළ යුතු ද. 

ඉන්දියන් හමුදා එළවාගනිමින් ඉන්දියාව ආදී රටවල් ද චණ්ඩි විදේශ ප්‍රතිපත්තියක් තුළින් රටවල් ප්‍රමාණයක් තරහ කරගනු ලබන්නේ පළමු ප්‍රේමදාස යුගයේයි. විමුක්තිගේ සීයා හා ආච්චී නොබැදි විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් රටට ඓතිහාසික විදේශ ප්‍රතිපත්තියක අත්දැකීම උරුම කර දුන්නේය. එහෙයින්, සජිත්ට වඩා රටේ සාධනීය පරවේණි අයිතියක් විමුක්තිට ඇත. විමුක්ති හා නාමල් සම්බන්ධ විදෙස් පුතිපත්ති පරවේණි අයිතිය සැලකීමේදී ද විමුක්ති ඉදිරියෙනි.

නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් පළමු ප්‍රේමදාස යුගය පිළිබදව මෙන්ම නාමල්ගේ පර‍වේණිය පිළිබදව ද ප්‍රශ්න රැසකි. නමුත්, විමුක්තිගේ පරම්පරාව නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් නාමල්ගේ හා සජිත්ගේ පරම්පරාවලට සාපේක්ෂව හොද තත්ත්වයක් පවත්වාගෙන යයි. 

එහෙයින්, සජිත්ට වඩා නාමල්ටත් මේ දෙදෙනාටම වඩා විමුක්තිටත් - මෙරට ජනාධිපතිකම සම්බන්ධ පරවේණි අයිතියක් කියා පෑමට හැකිය. නමුත්, මේ සියලු දෙනා අවසානයේ මතක තබා ගත යුතු දෙයක් වෙයි. එනම්. මේ රට යනු කිසිවෙකුගේ පරවේණි භූදලයක් නොවේ. විලි ලැජ්ජා නැතිව, පියා ජනාධිපති වූ හෙයින් මෙරට ජනාධිපතිකමේ හෝ පක්ෂ නායකත්වයක උරුමයක් ඇති බව අද සජිත්ට හෝ නාමල්ට කියා සිටීමට හැකියාවක් නැත. එසේ කියා සිටින්නේ නම්, එය ඉතාම භයානක තත්ත්වයකි. එහෙයින්, මෙවැනි සානසික මට්ටමක සිටින ‘උරුමයක් පිළිබද කයිවාරු දොඩන‘ සජිත්ට වඩා උරුමය පිළිබද විශ්වාස කරන නමුත් කයිවාරුවට නොයන නාමල් ද මේ දෙදෙනාටම වඩා දේශපාලනය යනු උරුමයක් හෝ පරවේණියක් නොවන බව කියා සිට පැත්තකට වී සිටින විමුක්ති ද වඩා හොද මිනිසුන් වේ.

5 comments:

තරියා said...

මං නං සජිත්ට වඩා රනිල්ට කැමතියි..
බයින්න එපා..
කැමති වෙන්න හේතුවක් තීනවා..
අනිත් එවුංට කිවුවට තේරුං ගන්නැති නිසා ඒ හේතුව මං විතරක් දැන ගත්තම ඇති..

Kenji. Japan said...

UNP එකට දැන් වෙලා තියෙන දෙයට සම්පුර්ණයෙන් වගකියන්න ඕන ප්‍රේමදාස ලොක්ක.UNP යේ හිටපු උගත් මොලකාරයෝ ටික දෙනාව දේශපාලන කුහකත්වයෙන් බේදබින්න කරල මැරුව /මැරෙව්ව.අද මහින්ද කරන පර දේශපාලනය පුරුදු කෙරුවෙ ප්‍රේමේ.අඩුගානෙ තාත්ත කරපු පර වැඩ මැකිල යන්නවත් නායකය එක්ක එකමුතුව වැඩ කරල රජයක් පිහිටවල ඇමතිකමක් අරගන ජනතාවට සේවයක් කරල ක්‍රමයෙන් එන්න එපාය.මේකා තාත්ත කරපු රෙද්දවල් කරනව කිව්වම ජනතාවට තාමත් හීන් දාඩිය දානව.UNP ය බේද කිරීමේ කොන්ත්‍රාත්තුව ලස්සනට කරනවට මාස්පතා ලක්‍ෂ ගණන් ලැබෙනව.ඒව තමයි පන්සල්/පල්ලි වලට බෙදල මුහුණ පත්තරේ දාගන්නේ.තාත්තගෙ කුහකත්වයයි,අම්මගෙ උද්දච්චකමයි පැත්තක දාල,නායකය එක්ක එකතුවෙලා ජනතාවට සේවයක් කරන්න කියල සජිත් මලයට මම කියනව.ලීඩර් කමට රනිල් මිස වෙන කිසිවකු දැනට නැත UNP යේ.[HU &P යේ ඉන්නවද දන්නෙ නැත]

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සජිතේ තාත්තා ඉන්දියන් හමුදාවේ ගේනවට මුල ඉඳලම විරුද්ධයි , ඉන්දියන් හමුදාව ආවේ ජේ.ආර්ට වැඩේ කරන්න නොදෙන නිසා රජිව්ටම බෝලේ පාස් කිරීමේ ජේඅර්ගේ උපක්‍රමයක් නිසාය කියන තත්වයෙන් ඒ දිහා බලන්න ලංකාවේ ගොඩ දෙනෙක් වගේම ප්‍රේමදාසත් දන්නේ නෑ . මිනිහා කලේ අරුන් ටික වැඩේ ඉඅවර කරන්න කලින් ආපහු යවල ගම කාපු එක . සජිත් ප්‍රවේණිය පස්සෙ ගියත් සජිත් වටේ ඉන්න අය මිනිහව නායක කමට ගේන්න හදන්නේ නම් ප්‍රේමදාසගේ පුතා නිසා නෙවෙයි මිනිහට ලංකාවේ ඡන්ද ගන්න ඕනි කපටි ටෝක්,දේශප්‍රේමි ටෝක් , උද්වේගකර ටෝක් .. ආදිය තියන නිසාත් , රනිල් මහත්තැන්ගේ කාඩ් එක අම්බානක කුඩු වෙලා නිසාත් . රනිල් කියන්නේ සජිත්ට මහින්දට ෆොන්සේකට වඩා අංග සම්පුර්න හොඳ දේශපාලන බුද්ධියක් තියන නායකයෙක් , ඒත් මහින්ද එක්ක ඡන්දෙකට රනිල් එනවට වඩා සජිත් පැමිණීමෙන් දිනන්න තියන චාන්ස් එක නම් වැඩියි මේ වෙනකොට තියන සමාජ තත්වයත් එක්ක

මාතලන් said...

නමුත් ජනතාව අතර ඉල්ලුමක් ඇත්තේ.. සජිත්ටයි.....

Kenji. Japan said...

@ මාතලන් ; මරණ ගෙවල්වලට හොයාගන ගිහිල්ල දෙන 500 යි පන්සල්/පල්ලි වලට දෙන 50,000 යි ගන්න අයද එයාගේ වටේ ඉන්න "ජනතාව"කියන්නෙ ????????????????????????????????