Sunday, December 16, 2012

පරිකල්පනය වනසා - ලෝකය විනාස කිරීම

ලෝකය විනාස වී සුන්නද්ධූලි වන තෙක් අප ඇගිලි ගනිමින් - දින ගනිමින් සිටිමු. මේ ඛේදනීය බලා සිටීම අප වෙත උරුම කර දෙනු ලැබූයේ ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස හා සිනමා නිර්මාණ වෙතින් විවිධ ආගමික විශ්වාසයන් සමාජ ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත්, මේ සියල්ල අවසානයේදී සැලසුම් කරනු ලැබූ ලෝක විනාසය දෙපා මුළටම පැමිණ ඇති අවස්ථාවේදී අප විසින් කණගාටුවිය යුතු තවත් කරුණක් ඇත. එනම්, ඉතිහාසය පුරාම සෑම සිද්ධියකදීම අනෙකා විසින් නිර්මාණය කර දෙනු ලැබූ සේයාරුවක් ඇසුරින් සංචේතනා දැක බලා ගැනීමට සිදු වීමයි. සරලවම කියන්නේ නම්, ලෝක විනාසය ද කළින් බලනු ලදුව එහි ‘රිපීට් ටෙලිකාස්ට්‘ හෙවත් ‘ලයිව්‘ එකට කළින් දර්ශන බලා යළි ‘ලයිව්‘ එක බැලීමේ අදිටනින් සිටිමු.

ලෝක විනාශය ද සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදුකරනු ලබන සමාජ විප්ලවයක් තරමටම, උද්යෝගී හා ආකර්ශණීය සිදුවීමක් වී තිබේ. ලෝක විනාශය පිළිබද සිතන විට එක් වනම ලියුම්කරුවාටනම් දැනෙන්නේ, එක් ත්‍රාසජනක අත්දැකීමක් රූපවාහිනියෙන් නරඹන්නාක් සේ අත්දැකීමක් ලබා ගත හැකි දිනක හෝ පැය කිහිපයක සිදුවීම් මාලාවක් බවයි. ලෝක විනාශයෙන් පසු, සාමාන්‍ය පරිදි ලෝක විනාශය පිළිබදව යළි සිහිකරමින් සාමාන්‍ය කටයුතු කරගෙන යාමට හැකි යැයි සිතේ. එනම්, මරණයෙන් පසු තමාගේ මළගෙදර කටයුතු සිදුවන ආකාරය සජීවීව නරඹා යළි එම කටයුතු අවසන් වූ විට සාමාන්‍යකරණය වන්නාක් වැනි හැගීමකි. මේ මනේභාවය නිර්මාණය වූයේ, ලෝක විනාශය මින් පෙර අප දැක ඇති නිසාය. ලෝක විනාශය නරඹා අවසන අප පිටතට පැමිණ කඩල-මුරුක්කු කමින් එය රසකර කතාකර අවසන දැන් සාමාන්‍ය කටයුතු කරමින් සිටිමු.

මෙහිදී මූලිකම කරුණු ඉස්මතු කිරීම සිදුවන්නේ බයිබලය ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ‘2012‘ චිත්‍රපටයයි.  මෙරට මිනිසුන් සුනාමිය විද දරා ගත්තේ සුනාමියක් පිළිබද දැඩිව සංවේදී වූ හෝ මනසට කා වැදුණු චිත්‍රපටයක්, කතාවක් හෝ අඩුම තරමේ ජනප්‍රවාදයක්වත් අසා නැති තත්ත්වයකය. (කැළණිතිස්ස රජුගේ කතාව ආගමික හා සංස්කෘතික මිශ්‍රණයක් ලෙස කියවා තිබුණ ද එය භූගෝලීය සිදුවීමක් ලෙස සංවේදී වී නොතිබිණි.) එහෙයින් එම අවස්ථාවේදී අප විසින් අත්දකිනු ලැබූ සෑම දේම අදාල අවස්ථාවේදී අපට අත්විදීමට සිදූ වූ සැබෑ දේ විය. නමුත්, ලෝක විනාසයට අදාල 2012 සිනමාපටය මගින් ලෝක විනාසය විය යුත්තේ මෙලෙසින් යැයි මේ වන විටත් නියම කර ඇත. එහෙයින්, මුහුද ගොඩ ගැලීම, අධික වර්ෂාව, කුණාටු, ටොනාඩෝ හැර වෙනත් කිසිම සිදුවීමකින් ලෝකය විනාශ විය නොහැකි බැව් මිනිස්සු පොදුවේ විශ්වාස කරති. එසේම, තවත් සමහරෙක් ‘දි ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ‘, ‘අයි ඈම් ද ලෙජන්ඩ්‘ වැනි ආකෘතීන් හරහා ලෝක විනාසය සිදු වන තෙක් බලා සිටියි. ලියුම්කරුවා කියා සිටින්නේ, ලෝක විනාසය විය හැකි ආකාරයන් සිනමාකරුවන් විසින් රාමුගත කිරීමෙන් පසු, වෙනකක් තබා ලෝක විනාසය ගැන පවා ඉන් එහා දෙයක් සිතීමට (පරිකල්පන ඥානය මෙහෙයවීමට) මෙරට වැසියන් කම්මැලි කර තිබේ.

මෙය ලෝක විනාසයෙන් අවසන් වන මව් කිරි දීමෙන් හෝ සහවාසයෙන් ආරම්භ වන තැන දක්වා දිව ගිය ඛේදවාචකයකි. ස්වාමි-භාර්යා ඒකරාශී වීම ද මේ වන විට අදාල අවස්ථාවේදී දැනෙන හැගීම් වලට අනුව සිදු වීමට ඉඩ නොදී කළා නිර්මාණයන් විසින් ඩැහැ ගෙන තිබේ. අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ හෝ ඇතැම් සීමා වලට පමණක් සීමා වූ මෙවැනි සිනමා නිර්මාණ හෝ චිත්‍රපට ඇසුරින් අදාල කෘත්‍යය ද සිදු කිරීම ආකාර කිහිපයකට සීමා කිරීම තුළින් හා එහි සුරාන්තයේ ස්වභාවය මිනිස් මනස තුළට ඔබ්බවනු ලැබීමෙන් පසුව එතැනින් එහා මිනිසුන් සිතීමට පෙළඹවීම හා ක්‍රියාත්මක වීමට පෙළඹීම නොනිළ අයුරින් ස්වයං තහංචියකට ලක් කර ඇත.

කළා නිර්මාණයන් තුළින් කළාකරුවාගේ හෝ නිර්මාණකරුවාගේ චින්තනය අනෙකාගේ පරිකල්පනය විනාශ කරමින් අභිබවා යාම, රසික සමූහයට යම් අසාධාරණයක් නොකරන්නේ දැයි සිතේ. යළිදු කියන්නේ නම්, ලෝක විනාශයේ ප්‍රකෘති අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම ලෝක විනාශය පිළිබද පරිකල්පන ඥානය මගින් ආකාර නිර්ණය කිරීමේ හැකියාව ඒ හා අනුබද්ධ චිත්‍රපට මගින් විනාශ නොකරනු ලැබ ඇතිදැයි ගැටළු සහගතය.

මෙසේ කරනු ලැබූ අවස්ථාවන් කිහිපයකි. ජැක්සන් ඇන්තනී විසින් නිර්මාණය කරනු ලැබූ ‘අබා‘ මගින් ඉතිහාසයේ ඇත්ත වශයෙන්ම සිදු වූ දේ හා ඔහුගේ නිර්මාණය තුළින් ඉදිරිපත් කළ දේ යන දෙකම සර්ව සම බවට දේශීය රසිකයා තර්ක කරන්නට පටන් ගත්තේය. විවිධ ඉතිහාස විශාරදයින් විසින් එහි අන්තර්ගතය හා කරුණු තර්ක කිරීමට භාජය කළ ද ප්‍රතිඵලයක් නොලැබුණු තරමටම ‘අබා‘ යනු ඉතිහාසය යැයි මිනිසුන් විශ්වාස කිරීමට පටන් ගත්තේය.

නූතන දරුවන්ගේ වාහන පැදවීමේ ශෛලිය හෝ විලාසය බවට පත්ව ඇත්තේ, පරිගණක ක්‍රීඩා හෝ උද්වේගකර චිත්‍රපට මගින් පෙන්වා දී ඇති ක්‍රමවේදයයි. මෙම ශෛලීන් ද යුගයෙන් යුගයට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. අපට මතක ඇති මින් දශක කිහිපයකට පෙර චිත්‍රපටයක වේගයෙන් වාහනයක් පැදවීම පෙන්නුම් කළ ද ඒ සියල්ලම පාහේ අවම නීති හෝ ආරක්ෂා කරමින් සිදු වේ. නමුත්, අද වන විට අවම නීති හෝ ආරක්ෂා නොකරමින් සිදුවන වාහන පැදවීම් නිරන්තරයෙන් දර්ශනය කිරීම තුළින්, ‘විදිය මේකයි‘ යනුවෙන් මානව සිත් තුළ පත්තියන් වෙයි. ඉන් පසුව, ඔවුන්ගේ හැසිරීම ද සම්පූර්ණයෙන්ම ඒ හා සමාන ලක්ෂණවලින් යුක්ත වේ.

යළිදු කියන්නේ නම්, ලෝක විනාසය සම්බන්ධයෙන් 2012 චිත්‍රපටය විසින් සිදු කරනු ලැබූයේ ද එය බැව් හැගේ. එහෙයින්, සරලවම කියන්නේ නම්, ලෝක විනාසයේ ආතල් එක ද අනෙකාගේ පරිකල්පනය හරහා කියවීමට යාමෙන් රසිකයාට අහිමි වී තිබේ.

වැදගත් සටහන - ලෝක විනාසය සම්බන්ධයෙන් වන අදහස් දක්වන ආගමික කල්ලිවල හෝ කණ්ඩායම් වල පැවැත්ම වෙනුවෙන්, ලෝකය නියත වශයෙන්ම විනාස විය යුතු තත්ත්වයක පවතියි. එහෙයින්, ප්‍රබල සංවිධාන හා පුද්ගලයින් වන ඔවුන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සදහා මෙන්ම අනාවැකි ‘ෆේල්‘ වීමෙන් වලක්වා ගැනීම පිණිස යම් නිර්මාණය කරනු ලැබූ සිදුවීම් මාලාවක් හෝ සිද්ධ කිරීමට ඉඩ ඇත. එහෙයින්, ආර්ථික හා දේශපාලන හැකියාවන්ගෙන් ඌණ රටක වැසියන් වන අප ඒ පිළිබදව අවධානයෙන් සිටිය යුතුයැයි විශ්වාස කරමි.

No comments: