Saturday, December 15, 2012

රජමැදුරේ පෙරකදෝරු දානයක්


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සම්බන්ධ දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් වීම, එය විභාග කිරීමේ පටිපාටිය හා ඊට අදාල ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතල ගැටළු නිර්මාණය වී ඇති තත්ත්වයක මේ වන විට නීතීඥවරුවන් හා නීති ක්ෂේස්ත්‍රයට සම්බන්ධ පිරිස් අධිකරණයේ ස්වාධිනතාවය මෙන්ම යුක්තිය පසිදලීමේ පිළිගත් ක්‍රම වේදයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි සටනක නියැලෙමින් සිටියි. මෙහිදී ඇත්ත වශයෙන්ම පෞද්ගලිකවම ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සම්බන්ධයෙන් මෙවැනි දෝෂාභියෝගයක් ගෙන ඒම එා ඊට අදාලව කටයුතු කළ යුතු ආකාරය ද නීති විරෝධී හා සදාචාර විරෝධී තත්ත්වයක පවතියි. එවැනි තත්ත්වයක් තුල අගවිනිසුරුවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය යන්න කියවා ගැනීමේදී එය වඩාත් ගැටළුකාරී මෙන්ම නීතිමය විධික්‍රමයන් දැඩිව ප්‍රශ්න කරන තත්ත්වයක් පවතියි. එසේම, ‘පිස්සු බල්ලන් ලවා ගේ මුර කිරීම‘ යන න්‍යාය අනුගමනය කරමින් කිසිදු සුදුසුකමක් හෝ ප්‍රවීණතාවක් නොදක්වන හා නීතිමය පදනමක් නොමැති තේරීම් කාරක සභාවක් හමුවේ මෙය විභාග කොට දැන් තීන්දුවක් ද ලබා දී ඇත.

මේ සියල්ල සිදුවෙමින් පවතින විට, අදාල කරුණ සම්බන්ධයෙන් ඍජුවම බලපෑමක් එල්ල කරන නීති ක්ෂේස්ත්‍රෙය් පිරිස් මේ සම්බන්ධයෙන් වැඩි සංවේදීතාවයකට පත්ව ඇත. ඔවුන් ද රටේ සෙසු යුක්තිගරුක හා අවම විනයක් පිළිබදව හෝ සංවේදී වන පිරිස් මෙන්ම ඉල්ලා සිටින්නේ පෞද්ගලික පළිගැනීමෙන් වියුක්තිය නීතියට අනුව මෙම ගැටළු විසදිය යුතු බවයි. මේ පිළිබද සාකච්ඡා කිරීමට ද වෘත්තීමය වශයෙන් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගැනීමට ද නීතීඥවරුන් අද (2012-12-15) දින කොළඹ නීතීඥ සංගම් මූලස්ථානයට කැදවා ඇත්තේ නීතීඥ සංගමය විසිනි. නීතීඥවරුන් සම්බන්ධයෙන් තැන් තැන් වල අටවා ගත ්දේශපාලන උවමනා මත පදනම් වූ විවිධ නීතීඥ සංගම් යනු කිසිදු වෘත්තීය අභීවෘද්ධී චේතනාවෙන් හෝ අරමුණින් ඉදි වූ ඒවා නොවේ. නිදහස් නීතීඥ සංගමය යනු රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම හා ඔවුන්ගේ එහෙයියන් සෙල කටයුතු කිරීමයි. ජාතික නීතීඥ සංගමය යනු එජාපය වෙනුවෙන් ඕනෘම දහදුරා වැඩක් වෙනුවෙන් පෙනී සිටීමයි. ජවිපෙට හා පෙරටුගාමීන්ට ද සෙසු දේශපාලන පක්ෂ වෙනුවෙන් ද මෙලෙස අටවාගත් නීතීඥ සංගම් ඇත. නමුත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු පොදු මහත් නීතීඥවරුන්ගේ අභිමථාර්ථ හා අරමුණු වෙනුවෙන් පෙනී සිටින පොදු ඒකකයයි.

නීතීඥ සංගමය අද දවසේදී කොළඹට නීතීඥවරුන් කැදවන විට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද තමන්ගේ එහෙයියන් රජගෙදරට කැදවීමට තීරණය කර ඇත. මෙහි අරමුණු දෙකක් ඇත. එකක් නම් මේ වන විට ශක්තිමත්ව පවත්වාගනිමින් යනු ලබන නීතීඥවරුන්ගේ සටන අල කිරීම හා දෝෂාභියෝග කාර්යයේදී තමන් වෙනුවෙන් ගම් මට්ටමින් කඩේ යන පිරිසක් නිර්මාණය කර ගැනීමයි. ‘නීතීඥවරුන් අර කවුද වගේ සල්ලි දෙනවනම්, ඕනැම දේයක් කරනවා‘ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිට අගවා සිටියේ, නීතීඥවෘත්තිය ද වෛශ්‍යා වෘත්තිය මෙන් එකක් බවයි. (ජනාධිපතිවරයාගේ එම කතාව) එහෙයින්, තමා ද එවැනිම වෛශ්‍යාවක් බැව් ජනාධිපතිවරයාට අමතක වන්නට ඇත. කෙසේ නමුත්, තමන්ගේ වෘත්තිය දුෂ්ඨ චේතනාවෙන් වෛශ්‍යා වෘත්තියට සමාන කළ නායකයකු හෝ පුද්ගලයකු වෙනුවෙන් තවදුරටත් කඩේ යාම - මොනතරම් නම් විලිලැජ්ජාසහගත නොවන ක්‍රියාවක් ද. ‘වේසි‘ යනුවෙන් බැණ වැදී හා සමච්චල් කර තිබෙන මොහොතකත් අරලිය ගහ මන්දිරයෙන් හිමිවන කෑම වේලේ රසය හා රාජ තේජසේ උණුසුමට ලොල්ව කටු සූප්පු කරමින්, දෙපා තවමින් මෙලෙස රෙජීමය වෙනුවෙන් කඩේ යාම නීතීඥවෘත්තියට පමණක් නොව මානව ලක්ෂණයන්ට පවා නිග්‍රහයක් නොවන්නේ ද. එහෙයින්, අද අරගිය ගහමන්දිරයේදී පැවැත්වෙන්නේ නීතීඥවරුන් වෙනුවෙන් කෙරෙන සුහද හමුවක් හෝ වෙනකක් නොව, තමන්ගේ කටු සූප්පු කරන සුහච කීකරු - කියනා ඕනෑම දෙයක් නකුට හෝ දෙකන් වනමින් අසා සිට අවසානයේදී හුරේ දමනා මෙරට අල්පයකින් ද අල්පයක් තරම් වන ‘වේස පෙරකදෝරුවන්‘ වෙනුවෙන් වන දානයක් නොවේ ද. මෙම කෑම වේල් මගින් සිදු කරගන්නේ මෙම නිවට පෙරකදෝරුවන්ගේ පිට කොන්ද තවදුරටත් කඩා බිද හෙළා තම රෙජීමයට ණය ගැති කර ගැනීම නොවේ ද.

එසේම, දෝෂාභියෝගය සම්බන්ධයෙන් අද වන විට නව තත්ත්වයන් කිහිපයක් නිර්මාණය වී ඇත. එහි ආසන්නම සිද්ධිය වූයේ මේ සම්බන්ධයෙන් ගොණු කළ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියා සිටි අදහසයි. ‘නඩුවක් අසා දඩුවම් නියම කළ හැක්කේ විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් පසු අධිකරණයකට හෝ එම බලය සහිත පුද්ගලයකුට පමණයි‘යැයි ශ්‍රේ. විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා කියා සිටියේය. එනම්, අද වන විට පරේලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරපුසාද සම්බන්ධයෙන් පවා කටයුතු කිරීමේ බලයක් නැති පාර්ලිමේන්තුව විසින් ඉන් පරිභාහිර උපරිමාධිකරණ විනිසුරුවරයෙකුගේ හෝ අගවිනිසුරුවරයාගේ කටයුත්තක් සම්බන්ධයෙන් නඩුවක් විභාග කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි.

අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝග විභාගයේදී ආණ්ඩුවේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් නීලකන්දන් හා නීලකන්දන් නීතීඥ සමාගම විසින් කථානායකවරයාට දන්වා ඇත. ඔවුන් විසින් කියා සිටි වචන හා අමතනු ලැබූ ආකාරයන් එහි පැහැදිලිව දක්වා ඇත. නමුත්, මෙහිදී කල්පනා කළ යුතු කරුණ නම් මේ වන විට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෙනස් වූ විදියකින් නිළ හෝ නොනිළ වශයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම රෙජීමයේ අණසකට යටත්ව ඇත. එවන් වාතාවරණයක රෙජීමයේ ප්‍රධානියාගේ සහෝදරයා වූ කතානායකවරයා විසින් රෙජීමයේ උවමනාව මත පිහිටවූ සභාවක හා රෙජීමයේ උවමනාව එලෙසින්ම ක්‍රියාත්මක කළ සභාවක වැරදි පිළිබද විනිශ්දය කිරීමට පෙළඹේ ද යන්නයි. එසේ ඇත්ත වශයෙන්ම සිදු ව ඇති දේ පිළිබද ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට හැකි ඍජු කොන්දකින් යුතු පුද්ගලයකු ලෙස වත්මන් කථානායකවරයා විශ්වාස කළ හැකි ද.


 මෙහිදී අගවිනිසුරුවරිය වෙත එල්ල කර ඇති චෝදනා අතර, ඇයගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ඉදිරිපත් කර නැතැයි යන චෝදනාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ ද හන්දිවල සහ කඩපිළ් වල පවා උස් හඩින් හා ‘බලාපල්ලා ගෑණිගේ හැටි‘ ලීලාවෙන් කතා කරනු දක්නට හා අසන්නට ලැබිණි. ‘බලාපල්ලා ගෑණිගේ හැටි‘ කියූ කිසි අයෙකුගේ සිත් තුළට නොනැගුණු ප්‍රශ්නයක් ඇත. එනම්, ‘හොයාපල්ලා මන්ත්‍රීන්ගේ හැටි‘ යන්නයි. විශේෂයෙන්ම මෙම තේරීම්කාරක සභාවේ සහ පාර්ලිමේන්තුවේ අති බහුතරය සමන්විත වූයේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසකගෙනි. ඒ අනුව, ආණ්ඩුවේ න්‍යාය මෙතැනට ගැලපීමට කල්පනා කළෙමි.

ගුණදාස අමරසේකර න්‍යායට අනුව, බලය බෙදීමට කැමති අයෙකුට බලය බෙදීම සම්බන්ධ නඩු විමසිය නොහැක. එය කෙතරම් විවාද සම්පන්න වුව ද ආණ්ඩුවේ මතය එයයි. එසේනම්, පෙරළා අප විසින් ප්‍රශ්න කළ යුතු දෙයක් ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ඉදිරිපත් කර නැති මන්ත්‍රීවරයෙකුට හෝ පක්ෂයක සාමාජිකයෙකුට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් නඩු විමසිය හැකි ද යන්නයි. මෙය සරලව ලෙහා ගත යුතුය. මිනී මැරීම සම්බන්ධ යම් මතයක් ඇති පුද්ගලයකු නඩු විමසීම හා මිනීමරා ඇති පුද්ගලයකු තවත් මිනීමරුම් නඩුවක් විමසීම යන කාරණා දෙක හා මෙය සමාන වේ. අගවිනිසුරුවරිය බලය බෙදීමට පක්ෂ අදහසක් දැක්වුව ද ඒ වෙනුවෙන් ඇය ක්‍රියා කර හෝ අනුග්‍රාහ කර නැත. එසේ හෙයින් ඇගේ පුද්ගලික අදහස කුමන හෝ තැනෙක තීරණාත්මකව යෙදවී නැතැයි තර්ක කළ හැකිය. තර්කයක් පමණක් නොව ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ද එයයි. නමුත්, වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි ලෙස ලබා නොදුන් පක්ෂවල සාමාජිකයින් හෝ එසේ නොකළ පුද්ගලයින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධ නඩු වීමසීම, මිනීමරුවෙකු විසින් තවත් මිනීමරුම් නඩුවක් විමසන්නාක් වැනි කරුණකි.

එහෙයින්, අනුර යාපාගේ සිට නියෝමාල් පෙරේරා දක්වා වන සාමාජිකයින් හත් දෙනා පළමුව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි විස්තර ඉදිරිපත් කර තිබිය යුතුය. එපමණක් නොසෑහේ, පක්ෂ ලෙස ගත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආදී වශයෙන් එම සාමාජිකයින් හත් දෙනාගේ පක්ෂ විසින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දී තිබිය යුතුය. 

වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධ නූතන ප්‍රතිපත්තිය, (එනම් අගවිනිසුරුවරිය විසින් ඉදිරිපත් කළ යුතුව තිබුණේ යැයි දෝෂාභියෝග යෝජනාවේ සදහන් වූ) ආකාරයට පුද්ගලිකව එක් එක් මන්ත්‍රීවරයින්ගේ පමණක් නොව ඔවුන්ගේ ලේ ඥාතීන් වන ස්වාමිපුරුෂයා, දරුවන් හා සෙසු ඥාතීන්ට අදාල වත්කම් බැරකම් ද ඉදිරිපත් කළ යුතුය. තමන් සතු පෑනේ - කොළයේ සිට තමන්ට හිමි ස්විස් හෝ වෙනත් විදේශ බැංකු ගිණුම්වල විස්තර ආදී සියල්ල ද අයත් විය යුතුය. අනෙකාට ඇගිල්ල දිගු කර පරිභව කිරීමට හෝ දඩුවම් කිරීමට පෙර තමාගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් ඍජුව පෙනී සිටීමට තරම් කශේරුක ශක්‍යතාවක් මෙම සාමාජිකයින්ට හිමිව ඇතැයි දැයි මේ වන විටත් ගැටළුකාරී වේ.

මන්ත්‍රීවරුන්ගේ හා පක්ෂවල වත්කම් බැරකම් ලබා දිය යුතු වන්නේ මැතිවරණ කොමසාරිස් වරයාටය. ඒ අනුව, ලෝක න්‍යායන් අනුව යම් පුරවැසියකු මන්ත්‍රීවරයෙකුගේ හෝ පක්ෂයක වත්කම් බැරකම් සම්බන්ධයෙන් උනන්දු වන්නේ නම් ඒ පිළිබදව දැන ගැනීමේ අයිතියක් එම පුරවැසියාට හිමි විය යුතුය. මන්දයත්, රටක උත්තරීතර වන්නේ එම රටේ ජනතාව වන හෙයින්, තමන්ගේ රටේ සිදුවන දේ හා විශේෂයෙන්ම තමන්ගේ මුදලින් වැටුප් ලබන්නන්ගේ කියුම් කෙරුම් පිළිබද දැනුවත් වීමට ඔවුන්ට අයිතියක් ඇත. මෙය දියුණු රටවල ‘තොරතුරු දැනගැනීමේ අයිතිය‘ යනුවෙන් නීතිගත කර හෝ රීතිගත කර ඇත. නමුත්, ජනතා පරමාධිපත්‍යය පිළිබද වැඩියෙන්ම උනන්දුවන රටක් වන ශ්‍රී ලංකාව තුළ එවැනි අයිතියක්ස උත්තරීතර පුරවැසියන් සතු නොවේ. ඒ අනුව, ජනතා බදුමුදල් වලට සිදුවන්නේ කුමක් දැයි සලකා බැලීමට හෝ හොයා බැලීමට ඒ රටේ ජනතාවට හැකියාවක් නොමැත. පාලක පක්ෂය විසින් එක් රජයේ නිළධාරියකුගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් වැඩිපුර උනන්දුවක් දක්වන විට - ඉටුවිය යුතු හා ඉටු කළ යුතු අනෙක් යුතුකම් තමන් විසින් ඉටු කර නොමැති බැව් අමතක වී ඇත.

අවසන ද ලියමි. නීතීඥවරුන් විසින් පෙනී සිටිය යුත්තේ ද අරගල කළ යුත්තේ ද නීතීයේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධිනත්වය, යුක්ති යුක්ත මූලධර්මයන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම, නීතීඥ වෘත්තියේ හා නීති ක්ෂේත්‍රෙය් ගරුත්වය ආරක්ෂා කර ගැනීම වැනි කරුණු වෙනුවෙනි. එසේ නොකර, බත් වේලට වෘත්තිය ගරුත්වය පාවා දීම, තේ වේලට අධිකරණයේ ස්වාධිනත්වය කෙළෙසීම, ජනපති රුව ඇති ෆයිල් කවරක් වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීම වෙනුවෙන් පෙනී සිටීම හෝ කොළඹ පෙන්වන සංචාරයක් වෙනුවෙන් සියල්ල පාවා දීම නොකළ යුතුය. අද පවත්නා මේ තත්ත්වය නුදුරු අනාගතයේදී වෙනස් මුහුණුවරකින් කරළියට පැමිණිය හැක. එවැනි අවස්ථාවකදී ද රෙජීමයට හීලෑ නීතීඥවරුන්ගේ හැසිරීම මෙලෙසම විය හැකි ද. අසල්වැසියාගේ පැළ ගිනිගනිමින් ඇති විට - තමන්ගේ පැළට ද අභියෝගයක් ඇතැයි යන පංචතන්ත්‍ර පාඨය, අරගියගහ මන්දිරයේ පුටු මතට වී අගවිනිසුරුවරිය හා සෙසු නීතීඥවරුන් විවේචනය කරමින් පවන් සළමින් සිටින සියලුම නීතීඥවරුන්ට සිහිපත් කරනු කැමැත්තෙමි.

2 comments:

Sabith said...

උපරිමයි! තමන්ගේ පොල් පරාලෙ තියාගෙන අනුන්ගෙ කෙන්ද ගැන හොයන්න යනවා. ලැජ්ජ නැතිව එක පක්ෂෙක උන්ගෙන් ඡන්ද අරං තව පක්ෂෙකට කහිනවා. ලැජ්ජ නැති යක්කු!

Anonymous said...

Kaatada a keewe?