Tuesday, December 11, 2012

ගෞතම බුදුදහම හා නූතන බෞද්ධකම - එකිනෙක පෑහේන්නේ ද

ව්‍යවහාරයේ පවත්නා අර්ථයෙන් හා සරල වශයෙන්ම සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය මිනි ඉක්බිති ව්‍යවහාර වශයෙන් බුදු දහම යනුවෙන් හදුන්වනු ලබන ලියුම්කරුවා, ලියුම්කරුවා සහ සෙසු සියලු දෙනා පිළිගන්නා ගෞතම බුදුහිමියන් විසින් දේශනා කළ ධර්මය හා අද වන විට පොදු සමාජය විසින් බෞද්ධකම ලෙස හදුනාගෙන ඇති හෝ ඒත්තු ගැන්වීමට උත්සාහ ගන්නා ක්‍රමවේදය අතර යම් නොපෑහීමක් හෙවත් පරස්පරයක් ඇතැයි ප්‍රශ්න කරයි. එසේම, මේ ලිපිය වියමන් කර අවසානයේදී ලියුම්කරුවාද බහු ජාතික සමාජගමක හෝ මිථ්‍යා දෘශ්ඨික බලවේගයක අතකොළුවක් හෝ ආධාර ලබන චරිතයක් බවට පත් වී ධර්මයට හෝ බෞද්ධ කමට ගර්හා කිරීම යත්න දරන්නේ යැයි චෝදනා ලැබීමේ අවධානමක් ද ඇති බව පැහැදිලිව හදුනාගෙන සිටිනා බව ද කියා සිටිමි. මන්දයත්, තාර්කික හෝ පදනම්ගත තත්ත්වයන් තුළ අසමත් වන කල්හි, සියල්ල එවැනි විඥානවාදී තැනකට ලගු කිරීම නූතන ලංකාවේ පොදු ව්‍යවහාර ලක්ෂණය වී ඇති බැව් දන්නා හෙයිණි.

සැ.යු. - මෙහිදී හදුන්වනු ලබන හිමිවරුන් - සමස්ථය හෝ බහුතරය නොවිය හැකිය. මෙය කියවන හිමිනමක්, එම කැටගරියට අදාල නොවන්නේ නම්, පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පිළිබද තැතිගැන්මක් හෝ ඇවිස්සීමක් ඇති නොකර ගන්නා සේකවා.

අද වන විට බෞද්ධකම හා සිංහලකම සම්බන්ධ කරමින් වෙනත් ජාතීන් සමග ඇතැම් නොහොද නෝක්කාඩු ඇති කිරීමේ හා ඔවුන් හෙළා දැකීමේ ව්‍යාපාරයක් දියත් වෙයි. මෙම ව්‍යාපාරයන්ගේ නියුතු වන්නන් ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය හෝ වෙනත් සමාජ වෙබ් අඩවි වල හැසිරෙමින් සිටින්නේ, බුදුන්ට ද පෙර යුගයේ සිට බෞද්ධකම උරුමකරගත් අය මෙනි. ඔවුන්ගේ ලිපි හෝ ඡායාරූප වල ඇත්තේ වෛරී හැගීම් හා ක්‍රොධය මිශ්‍ර ආක්‍රෝෂ රසයකි. කෙසේ නමුත්, බුදුන් වහන්සේගේ ධර්මය තුළ ඇත්තේ නිවීම, පහන්වීම හා සැනසීම ආදී වූ ශාන්ත ලක්ෂණයන්ය. එවැනි පසුබිමක් තුළ - වෛරී හැගීමකින් හා චේතනාවකින් යුක්තව පහන් හෝ සැනසිලිදායක පද්ධතියක් ආරක්ෂා කරන්නේ කෙසේ දැයි ලියුම්කරුවා ප්‍රශ්න කරමි. ඇත්ත වශයෙන්ම ඔවුන් පෙනී සිටින්නේ බුදුදහමේ චිරස්තිථිය හා ආරක්ෂාව වෙනුවෙන් බව පවසන්නේ නම්, ඔවුන්ගේ හැසිරීම ද එවැනිම ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතුය. පෙට්‍රල් ටැංකියක්, ගිනි ගොඩක් ගසා ආරක්ෂා කළ නොහැක්කා සේ, වෛරී සිතුවිලි පතුරවමින් හෝ ක්‍රෝධය ඇති කරමින් ශාන්තිනායක දහමක් හෝ පද්ධතියක් ආරක්ෂා කරන්නේ කෙසේ ද. වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් අතමිදීමේ ගාථාවන් තබන තබන පියවරක් පියවරක් පාසා ජීවන් කළ ද කෝපාවිශ්ඨ වෙමින්, ගල් ගසමින්. පිළිරූ ගිණිතබමින්, ජනයා අවුස්සමින් පෙළපාලි යමින් එවැනි සැනසීමක් උදා කරන්නේ කෙසේ ද.

ඇතැම් හිමිවරු ධර්ම දේශනා නමින් ආරම්භ කරන දේශනාවල ඇත්තේ ජාත්‍යාලය හෝ වෙනත් දේශපාලනික කරුණු වලින් යුක්ත වන කතාය. බුදුදහමට අනුව, දේශපාලනය හෝ වෙනත් එවැනි මෙලොව යහපත හෝ පරළොව සුගතිය සදහා හේතු නොවන කතා සියල්ල දෙතිස් කතා නමින් කාණ්ඩ කර - බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේක කොට ඇත. නමුත්, අද හිමිවරුන්ගේ ඇතැම් දේශනා වල ඇත්තේම එවැනි දෙතිස් කතාය. රට බේරා ගැනීම, සටන් කිරීම, යුද්ධ කිරීම හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රමදාන කිරීම වෙනුවෙන් අනුග්‍රාහ කිරීම බුදුන් වහන්සේගේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයින්ගේ මුඛ්‍ය කාර්යයක් නොවේ. යමක් වෙනුවෙන් ධර්මානුකූල පියවර පෙන්වා දීම හා නියාමනය කිරීම බුදුන් වහන්සේ විසින් පවා සිදු කර තිබුණ ද යුද්ධ කිරීම සදහා කඩු පොළු අමෝරාගෙන සටන් බිමට පිවිසෙන්නයැයි කිසි විටෙක බුදුන් වහන්සේ නොවදාලේය. එපමණක් නොව. එවැනි ක්‍රියා අනුමත කළේ හෝ නැත. නමුත්. අද වන විට හමුදාවන් සහ සිවිල් සංවිධානවල සටන් කිරීමේ හා වෙනත් සමාජ ව්‍යාපාරයන්ගේ කටයුතුවල පෙරමුණ ගෙන සිටින්නේ බුදුන් වෙනුවෙන් ද සංසාරය අවබෝධ කර ගැනීම වෙනුවෙන් ද පැවිදි වුණු හිමිවරුන්ය. උන්වහන්සේ නොදැනුවත්වම, වෙනත් අරමුණක් ඇතිව වීදියකට පිවිස, දැන් වෙනත් අරමුණක් වෙත ලගා වෙමින් සිටිනා පිරිසක් බවට පත්ව ඇත.

1980 දශකයේ මෙරට ජාතිවාදී කෝලාහළ සදහා පෙරමුණ ගත් හා ඒවා අවුළුවනු ලැබූ උද්යෝගී පිරිස් වූහ. නමුත්, එවැනි ඛේදවාචකයන් බිහි කිරීම තුළින් පීඩාවට පත් වූයේ හෝ දුක්වූයේ හෝ විදවන්නේ ඔවුන් පමණක් නොවන බව සත්‍යයකි. එහෙයින්, කිහිප දෙනෙකුගේ දේශපාලන උවමනාවන් මත මතු වී ක්‍රියාත්මක වන මෙම ඊනියා බෞද්ධකම සම්බන්ධ කරුණු ද දේශපාලන ව්‍යාපෘතියක එක් පැතිකඩක් ලෙස හැදින්විය හැකිය. මෙවැනි කරුණු මගින් යම් ගැටුමක් හෝ වෙනත් ඛේදවාචකයක් ඇවිලී ගියහොත්, ඉන් වන්දි ගෙවීමට සිදු වන්නේ සමස්තයටම බැව්ද සිහියේ තබා ගත යුතුය.

ඇතැම් ජාතීන්ගේ ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට ඇතැම් නූතන බෞද්ධයින් හඩ නගයි. නමුත්, කළ යුතුවන්නේ ඇත්ත වශයෙන්ම එය නොවේ. එවැනි ජාතියක ව්‍යාපාර තුළින් ජාතියට යම් අවධානමක් ඇති බැව් හැගෙන්නේ නම් ඔවුන් හා නිතරගයෙන් ජයගත හැකි හෝ තරග කර හැකි ව්‍යාපාර වෙනුවෙන් උදව් දීමය. හිමිවරුන් නම්, එවැනි ව්‍යාපාර දියුණු කිරීම සදහා අවශ්‍ය ව්‍යාපාරික ඥානය බුදුදහම අනුසාරයෙන් ලබා දීමයි. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ව්‍යග්ගපජ්ජ සූත්‍රය මගින් ව්‍යාපාරයක් දියුණු කිරීමේ ක්‍රමෝපායන් පෙන්වා දී ඇත. ඒ කිසිම තැනක, අනෙකාගේ ව්‍යාපාර බිද දැමීම මගින් හෝ ගිණි තැබීම මගින් ව්‍යාපාර දියුණු වන බව දක්වා නොමැත. අදාල ක්‍රමවේදයන් අනුව තමන්ගේ ව්‍යාපාර දක්ෂව හා සියුම්ව පවත්වාගෙන යන කල්හි, සෙසු ව්‍යාපාර අභිබවා මෙවැනි ව්‍යාපාර දියුණු වීම වැලැක්විය නොහැක. නමුත්, වෙසක් පෝ දිනකට හෝ පන්සලක් පැත්ත පලාතේ නොයන. ෆෙස්බුක් බෞද්ධයින් සිතා සිටින්නේ ෆේස්බුක් ෂෙයාර් හා කොමෙන්ට් තුළින් අනෙක් ව්‍යාපාර බිද දමා තවත් ව්‍යාපාර දියුණු කර හැකි බවයි.

ඇතැම් පිරිස බුදුන්වහන්සේට පවා නිගා කරමින් සිටින පසුබිමක, අප නිහඩව සිටීම නිවට කමක් යැයි කෙනෙක් තර්ක කළ හැකිය. එම තර්කය එසේ නම්, මෙලොව හොදම නිවටයා වන්නේ ද බුදුන් වහන්සේය. තමන් වහන්සේට ගර්හා කළ හා නිගා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිවක් කියා නොසිටි උන්වහන්සේ නිහඩව සිටියහ. එය නිවට කමක් ද. ඇත්ත වශයෙන්ම නිවටයින්ගේ හා ප්‍රඥාවන්තයින්ගේ වෙනස එයයි. බුදුරුවක් සහිත මේස් ජෝඩුවක් අළෙවි කළ බවට කියමින්, කඩ ගිණි තියමින්. ගල් මුල් ගසමින් සංහාරයක් ඇති කිරීමට උත්සාහ කළහොත් එවැනි තත්ත්වයක් තුළින් වටිනා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය හැකත දේපල ද එසේය. එවැනි අවස්ථාවන්වලදී බුදුන්වහන්සේ කියා සිටියේ, ඒ පිළිබද කිසිවක් නොතකා - එවැන්නක් නොවුණා සේ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. ඕනෑම පුද්ගලයකු තමන් කරන කාර්යය සම්බන්ධයෙන් යමෙක් උනන්දු වන බව දුටු විට එය යළි යළිත් කරයි. ඒ අනුව, අද මේස් ජෝඩුවකට සංහාරයක් ඇති කිරීමට හැකි නම්, ඔවුන් ඊලගට එය ඉක්මවා ගිය වෙනත් සංහාරයක් වෙනුවෙන් ආරාධනා කරනු ඇත. එවැනි තත්ත්වයන් තුළට පැටලීමට යාමෙන් සිදු වන්නේ වටිනා කාලය විනාස වී යාම හා  ජීවිත විනාස වී යාමයි. ඒවාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් - විරුද්ධ වන අරමුණින් හෝ ලබා දීමෙන් ඔවුන්ගේ අරමුණු ඉටු වේ. මෙවැනි සරල තත්ත්වයක් හෝ තේරුම් ගැනීමට උත්සාහ නොගන්නා නූතන බෞද්ධයින් මෙවැනි තත්ත්වයක් දුටු විට මහා නාඩගම් නටා යළිත් නිග්‍රහ කරනුයේ - බුදුන් වහන්සේටම නොවේ ද.

සිද්ධාර්ථයන් වහන්සේගේ කුලය වූ ශාක්‍යයන් සමූල ඝාතනය වූ යුද්ධයක් පිළිබද අප අසා ඇත. ඒ අවස්ථාවේදී ශාඛ්‍යයන් අනුගමනය කළ තත්ත්වය හා එවැනි පසුබිමක නූතන බෞද්ධයින් අනුගමනය කරන්නේ සමාන තත්ත්වයක් ද. එසේ ද නොවේ. එම යුද්ධයේදී ජීවිතය බේරා ගැනීම, ජාතිය බේරා ගැනීම හෝ වෙනත් කුමන අරමුණක් වෙනුවෙන් හෝ ඔවුහු බුදුන් වහන්සේගේ ධර්මයේ සදහන් නිවීම ඉක්මවා නොගියේය. අවසන් ප්‍රතිඵලය වූයේ ශාඛ්‍යයන් සමූල ඝාතනය වීම හා ශාඛ්‍ය වංශය දැඩි අවධානමකට ලක්ව වදව යාමේ තර්ජනයට පවා මුහුණ දීමයි. නමුත්, අදද ඔවුන් අභිමානවත් හා පෞඩ ජාතියක් ලෙස ඉතිහාසය හදුන්වන්නේ - ඔවුන් ලේඛණගත පෞඩත්වය හෝ ඔවුන් විසින් සංශෝදනය කරගත් බෞද්ධකමක් වෙනුවෙන් සටන් නොකර - සැබෑ බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටි නිසාය. බුදුන්වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරීමේ යහපත් විපාක ඔවුන් අදද විදිමින් සිටින අතර, ඝාතනය කිරීමේ හා අපරාධ කිරීමේ අනෙකාගේ සාපය ඔවුන් විසින්ම විදවමින් සිටිනු ඇත. 

පසුගිය දිනෙක මෙම ආගම්වාදී කරුණු පිළිබද සාකච්ඡා කරමින් සිටින විට එක් භාවනායෝගී හිමි නමක් මෙසේ කියා සිටියේය. ‘ස්වාමීන්වහන්ස උන් දැන් හැම තැනම ව්‍යාප්ත වෙලා. ටික කාලෙකින් මේ රටම අල්ලයි.‘ යැයි එහි සිටි එක් අයෙක් කියා සිටියේ. ‘වෙන්න පුළුවන්. බුදුන්වහන්සේ දේශනා කළා, කාලයත් එක්ක ලෝකෙ මිනිස්සු පිිහෙනව කියල. මේ අය පිරිහුණු උදවිය. හැබැයි අපි ආයෙ ආයෙත් ඉපදුණොත් මේ පිරිහුණු මිනිස්සුත් එක්ක ආයෙ ආයෙ හැප්පෙන්න වෙනව. ඉතිං, අපිට කරන්න තියෙන්නෙ, බුදුන්වහන්සේ දේශනා කළ ඒ නිරාමිස සුවය කරා ලගා වෙන්න අප්‍රමාදී වෙන එක.‘

නූතන බෞද්ධකම හා බුදුන්වහන්සේ දේශනා කළ දේ අතර පරස්පරයන් කියවා ගැනිමට ඔබට ඉතිරිය ශේෂ කරමි. බුදුදහම යනු දේශපාලන ව්‍යාපෘතීන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් භාවිත කෙරෙන උද්යෝගී සටන් පාඨයක් හෝ බෞද්ධකම යනු ට්‍රෙන්ඩ් එකක් නොවන බැව් තරයේ විශ්වාස කරමි. බුදුදහම ආරක්ෂා කර පෝෂණය කිරීමේ වගකීම රජයන් විසින් මගහරිමින් සිටින විට, මෙවැනි ව්‍යාපෘතීන් හරහා එම විලිලැජ්ජාව වසා ගැනීමේ තත්ත්වයක් ඇති කර ධර්මය විකෘති කිරීම හෝ ශාසනය පිරිහීමට ඉඩ හැරීම යන බිල්ලට සැබෑ බෞද්ධයින් හසු නොවී සිටිය යුතු නොවේ ද.

1 comment:

මයියා ( Mayya) said...

බෞද්ධකමයි, සිංහල බෞද්ධකමයි එකක් නොව දෙකක් විදිහට දැක්ක එක ගැන සතු‍ටුයි....මම කැමතියි ඕක බෞද්ධකමයි, සිංහල බෞද්දකමයි, සිංහලකමයි කියලා තුන් විදිහකට දකිනවා නම්....