Sunday, December 2, 2012

රනිල් එදිරිව (සිරස + සජිත්)

මින් වසර කිහිපයකට පෙර අතිජාත මිත්‍රයින් වූ සිරස හෙවත් එම්.ටී.වී. හා එම්.බී.සී. මාධ්‍ය ජාලය හා රනිල් වික්‍රමසිංහ යන දෙපාර්ශවය අද වන විට එකිනෙකා නුරුස්නා දික්කසාද අඹු සැමියන් සේ වී ඇත. මෙයින් ද වැඩි තරහක් පිරිමහමින් සිටින්නේ සිරස ය. එසේම, මේ සමගම තවත් දෙයක් සිරස විසින් සිදු කරමින් සිටියි. එනම්, රනිල් වික්‍රමසිංහගේ ආදේශකත්වයට වඩාත්ම සුදුසු වන්නේ ද මහින්ද රාජපක්ෂ වෙනුවට වඩාත්ම යෝග්‍ය වන්නේ ද සජිත් ප්‍රේමදාස නම් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතා බව ජනගත කරමින් සිටියි. රනිල් කෙරෙහි විරෝධාකල්පයක් මතු කරන්නේ ද සජිත් කෙරෙහි වීරාකල්පයක් නිර්මාණය කරමින් සිටින්නේ ද කුමන පදනමක් මත ද යන්න මෙන්ම සජිත් යනු රනිල් සදහා සිටිනා සුදුසුතම නායකයා ද යන්න ද වෙන් වෙන්ව හා එකට කියවා ගත යුතුය. මේ තත්ත්වය උච්චතම තැනට පත් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික සම්මේලනය අවසන් වී ඇති තත්ත්වයකයි.

සිරස යනු මහරාජාගේ හේවත් රාජා මහේන්ද්‍රන්ගේ සමාගමයි. රාජා මහේන්ද්‍රන් යනු දේශපාලනයට, ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණ - බළළුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියාන්විතයක් කෙරෙහි ප්‍රියතාවක් දක්වන්නෙකි. ඒ අනුව, මහරාජාට මන්ත්‍රීකමක් හෝ දේශපාලන පක්ෂයක තනතුරක් ලබා ගැනීම තුළින් එයට පමණක් සීමා වීමට වඩා සමස්ථ පද්ධතියක මෙහෙයුම්කරුවා වීම කෙරෙහි ප්‍රියතාවක් දක්වයි. මහරාජා 2001-04 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මගින් මෙය උත්සාහ කළේය. ඇත්ත වශයෙන්ම එය පළමු ප්‍රයත්නය නොවිණි. 1994-2001 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව මගින් ද අඩු වැඩි වශයෙන් මෙම උත්සාහය දැරූ අතර, චන්ද්‍රිකා යනු ඉක්මනින් වෙනස් වන සුළු නායිකාවක වූ හෙයින් වැඩි සබදතා පවත්වාගෙන යමින් තම අරමුණු ක්‍රියාත්මක කර ගැනීමට මහරාජා යම් ප්‍රමාණයක බියක් දැක්වීය. නමුත්, ආණ්ඩුවක් පවතින විට මාධ්‍යමය වශයෙන් අවම සහයෝගයක් හිමිවන විපක්ෂයට ජැක් ගැසීම සහ ආණ්ඩු බලයක් පිළිබද අපේක්ෂා ලබා දෙමින් තමන්ට ඕනෑ විදියට නටවා ගැනීමට පහසුතාවක් දක්වයි. එහෙයින් ද නව ලිබරල්වාදී දේශපාලන න්‍යාය එජාපයට හා මහරාජාට පොදු සාධකයක් වූ හෙයින් මහරාජා චන්ද්‍රිකාට වඩා රනිල්ට ප්‍රියතාවක් දැක්වීය.

රනිල් වික්‍රමසිංහගේ හැසිරීම හරියටම අවබෝධ කර ගැනීමට 2001-04 ආණ්ඩුව ප්‍රමාණවත් නොවීය. නමුත්, සටන් විරාම ආදී මහරාජාගේ කුලය ප්‍රිය කළ දේ රනිල් සිය දේශපාලන න්‍යාය කර ගැනීම නිසා, එවකට ගැටුමක් නොමැතිවම රනිල්ට පක්ෂග්‍රාහී විය. යුද්ධයට කැමති මහින්දට වඩා සාමයට කැමති රනිල් කෙරෙහි දක්වන කැමැත්ත නිසා 2005 වන විට ද මහරාජා රනිල් වෙනුවෙන් පෙනී සිටියේය. තම වර්ගයා සහ කුලය කෙරෙහි මහින්ද විසින් කරනු ලැබූ අසාධාරණය ඉවසාගත නොහැකි මහරාජා 2010 මැතිවරණයේදී සරත් වෙනුවෙන් පෙනී සිටියේය. එසේම, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සදහා සිංහල මූලික නායකයකුගෙන් පහරක් වදින නිසා ද 2010 දී මහරාජා මහින්දට එරෙහි විය. සරත් ෆොන්සේකා යනු ඒ අවස්ථාවේදී එල්ලී ගොඩ යා හැකි කවරෙකුගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරමින් සිටීම සහ දේශපාලනයක් වෙනුවට පළිගැනීමක් හා රැල්ලක් වෙනුවෙන් දේශපාලනය කළ සරත් බා ගැනීම මහරාජාට වැඩි වෙහෙසකර වූ එකක් නොවිණි. යන එන අතක් හෝ වෙනත් වේදිකාවක් තුළ ඉඩක් නොවූ තත්ත්වයක සරත් ද ඕනෑම කොන්දේසියකට එකගව මහරාජාගේ ව්‍යාපාර තුළ සිය සෙල්ලම් ඉදිරිපත් කළේය.

මේ තත්ත්වය වෙනස් වන්නේ, 2010 න් පසුවය. රනිල් යනු මහරාජාගේ න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවිය හැකි හෝ පමණ ඉක්මවා මහරාජා කෙරෙහි විශ්වාසයක් නොතබන හා ඒ මත නොයැපෙණ එකෙක් බව වටහා ගත් විට, රනිල්ගෙන් තමාට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි බව මහරාජා තේරුම් ගත්තේය. අද වන විට ශ්‍රී ලංකාවේ සිටින ලොව පිළිගත් රාජ්‍යතාන්ත්‍රික දේශපාලකයින් දෙදෙනාගෙන් එකෙක් වන රනිල්, තවදුරටත් ‘එයාර් ටයිම් එක‘ පෙන්වා හෝ වෙනත් දේ ලබා දෙමින් ඩැහැ ගැනීමට නොහැකි බව තේරුම් ගත්තේය. එසේම, මැතිවරණ කිහිපයකින් අසමත්ව සිටි රනිල්ට එරෙහිව මාධ්‍ය මගින් මතයක් නිර්මාණය කර රනිල් එළවා දැමීම තුළින්, රනිල් තමාට නොනැමීමේ පළිය ගැනීමට හැකි වෙතැයි මහරාජා විශ්වාස කළේය.

ඒ තත්ත්වයන් තුළ, මහරාජා විසින් රනිල් ඉවත් කිරීමේ ක්‍රියාන්විතය මෙන්ම තමාට පක්ෂපාත නායකයකු සොයා ගැනීම ද ආරම්භ කළේය. සජිත් ප්‍රේමදාස යනු ඉතාම සුළු මානසික අල්ලසකින් හෝ හීන කන්දරාවක් මවා දී ඉතා පහසුවෙන් බා ගැනීමට හැකි එකෙකු බව වැටහී ගියේය. ඒ අනුව, ජනපදනමක් තුළ ප්‍රේමදාස පියාට ඇති ගෞරවය හා සජිත්ට ඇති සිහින අපේක්ෂාවන් ඒකරාශී කරමින් මහරාජා සජිත් තැනීම ආරම්භ කළේය. නිකොලායි මැකියාවලීගේ කුමාරයා පොතට අනුව, එකෙක් තැනීමට නම් - ඔහු තනනවා මෙන්ම අනෙකා නැසීම ද කළ යුතුය. මහරාජා එය ආරම්භ කළේය. මංගල සමරවීර යනු රනිල් මහරාජා කෙරෙහි නැමීම පාලනය කළ අයෙක් බව පැහැදිලිව දැනගෙන සිටි නිසාම මහරාජා මංගලට ද දැඩිව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඒ අනුව, සජිත්ට පක්ෂ නායකත්වයේ සිහිනය මහරාජා විසින් පටවනු ලැබීය. ගුවන් විදුලි හා රූපවාහිනී වෙත වොයිස් කට් දීමෙන්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් හා මාධ්‍ය මගින් පොර ටොක් නිකුත් කිරීමෙන් ජාතික නායකයකු බවට පත්විය හැකි යැයි දැඩිව විශ්වාස කළ සජිත් හා සජිත්ගේ ගෝලබාලයින් මහරාජාට හසු විය. නතු විය. 

සජිත් ප්‍රේමදාස අද සිටින්නේ සරත් ෆොන්සේකා 2010 දී සිටි තත්ත්වයේය. ඔහුට කවුරුන් හෝ විවේචනය කරමින්, පක්ෂය දෙකඩ කරමින් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ගත් තීරණයන්ට එම අවස්ථාවේදී අත උස්සා පසුව එළියට පැමිණ සිරස මයික් එකට පළු පැලෙන්නට දොස් නගනා අසමජ්ජාති හා පහත් දේශපාලනය ආරම්භ කළේය. ඒ අනුව, 2011 පක්ෂ සමුළුවේදී සිරස බලන පාක්ෂිකයින් විසින් රනිල් එලවා සජිත් පත් කර ගනු ඇතැයි සජිත් විශ්වාස කළේය. ඔව්. පාක්ෂිකයින් ද එසේ උත්සාහ කළේය. ඒ සජිත් යනු 1994 දී නිදහස් පක්සයට චන්ද්‍රිකාගේ පැමිණීම වැනි මහත් ආන්දෝලනාත්මක පිපිරීමක් වනු ඇතැයි විශ්වාස කළ හෙයිණි. නමුත්, පැවති මැතිවරණ වලින් තමන්ගේ ප්‍රාෙද්ශීය සභාව පවා රැක ගැනීමට නොහැකි වූ සජිත් මහකොළඹ හෝ රැක ගත් රනිල් සමග සටන් කිරීම තේරුමක් නැති දෙයක් බවට පාක්ෂිකයින් වටහා ගත්තේය. මා එසේ කියා සිටින්නේ, 2011 දී මරාගෙන මැරී හෝ සජිත් නායකත්වයට පත් කිරීමට අරගත කළ දහස් ගණනකින්, 2012 පක්ෂ සමුළුව වන විට ඉතිරිව සිටියේ අල්පයක් තරම් පිරිසකි. අවසර ලත් අය අතරින් 337 ක් තරම් සොච්චමක් වූ ඒ පිරිස අනෙක් අයගේ සමච්චලයට හා විවේචනයට ලක් වනු දෑසින් දුටුවෙමි. එසේම, සජිත්ට ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සිට රවී කරුණානායක දක්වාත් කොළඹ නගර සභා කෝටාවේ පාක්ෂිකයින්ගේ සිට ත්‍රිකුණාමලය ආසනයේ පාක්ෂිකයින් දක්වාම බැණ වැදුණේ, ‘කණ වැන්දුම් ගැහැණියක සේ තැන් තැන් වල පක්ෂේ ප්‍රශ්න කතා කරළ. පක්ෂේ විනාස කළා‘ යනුවෙනි. රනිල් වික්‍රමසිංහට පිළිකණු වලට වී දෙහි ඇඹුල් ඇතිව බැණ වදින සජිත්, දුටු විගස ‘ගුඩ් මෝනිං සර්, කියා රනිල්ට යාමට ඉඩ දී මුහුණ සගවාගෙන බයාදු භාවයකින් ඉවත් විණි.‘ අඩුම තරමින්, ගාමිණී ජයවික්‍රම අඩ ගසා ‘සිට් ඩවුන් හියර්‘ යනුවෙන් කියා ‘මෙතනින් ඉදගනින්‘ වැනි ලීලාවෙන් රනිල්ට යාබද පුටුව නොපෙන්වන්නට සජිත්ට රනිල් සමග එකට අසුන් ගැනීමට හෝ පෞරුෂයක් නොවීය. සජිත් 2012 සම්මේලනයේදී කතා කරන විට පාක්ෂිකයින් ඔහුව සමච්චලයට ගත්තේය. අවසන ඔහුට, ‘අනේ මටත් චාන්ස් එකක් දෙන්න‘ කියා පාක්ෂිකයින්ගෙන් බයාදු ලෙස ඉල්ලා සිටීමට සිදු විය. සජිත් මුළු පක්ෂ සම්මේලනය තුළම වේදිකාවට වී තම ජංගම දුරකතනය දිහා බලාගෙන හෝ ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් තරවටු කරමින් දුන් උපදෙස් අසා සිටියා විණා, පාක්ෂිකයින්ගෙන් පිරි සමුළුව දිහාවත් නොබැළුවේය.

දැන් යළිත් සිරස හා සජිත් කියවා ගත යුතුය. සිරස විසින් කරමින් සිටින්නේ, රනිල්ගෙන් කර ගැනීමට බැරී වූ දේ සජිත්ගෙන් කර ගැනීමටය. සජිත් දැඩිව සිතා සිටින්නේ මාධ්‍ය තුළින් මිනිසුන්ට දැක බලා ගැනීමට සැලැස්වූ පමණින් සියල්ල හරි කියාය. මා ප්‍රශ්න කරමි. දේශිය හෝ ජාත්‍යන්තර ඉතිහාසය තුළ මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලැබූ නායකයා කවු ද. එසේ නිර්මාණය කළ අල්පයක් තරම් හෝ එකෙක් හෝ අතරින් දීර්ඝ කාලීන පැවැත්වමක් පැවති නායකයි කවු ද. අයි.ටී.එන්. හි දිග්විජය කළ සුධර්මන් රදලියගොඩ කෙළින්ම ඣන්දයට පැමිණ පරාද විය. මනූෂ හා බුද්ධික පතිරණ මාධ්‍යෙව්දීන් වුව ද ඔවුන්ට ජන පදනමක් තිබිණි. නමුත්, බුද්ධික පතිරණ ද අද වන විට මාතර දිස්ත්‍රික්කය තුළ ස්ථායීතාවය ප්‍රශ්න කරමින් සිටින චරිතයකි. මිලින්ද මොරගොඩ දේශපාලනය කළේ මාධ්‍ය භාවිත කරමින් පමණි. නමුත්, දශකයකට පසු අද වන විට මිලින්ද යනු කවුරුන්දැයි මිනිසුන් ප්‍රශ්න කරයි. මහින්ද යනු ජනපදනමක් තුළ දේශපාලනය කළ අයෙකි. රනිල්, බණ්ඩාරණායකවරුන් හා සෙසු සියල්ලෝ ද එසේය. ලෝකයම ගත් කළ එසේ මාධ්‍ය විසින් නිර්මාණය කර විශාල පැවැත්මක් තහවුරු ගත ගත් අය නැත. ඒ සදහා අවශ්‍ය වන්නේ ජන පදනමයි. අද වන විටත් ලෝකයම ආදරය කරන ගාන්ධි හෝ මාර්ටින් ලූතර් කිං නිර්මාණය වන්නේ ජනපදනමක් මත මිස මාධ්‍ය මගින් නොව. (එකදු හෝ උදාහරණයක් ඇති නම්, කියවීමේදී සටහන් කරන්න - ඔබට අභියෝග කරමි).

සජිත් යනු මේ අවස්ථාවේ කාගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරිමින් සිටින, දෙවැනි ප්‍රේමදාස කෙනෙකු නොව දෙවැන් ෆොන්සේකා කෙනෙකි. පළමුව පක්ෂයෙන් ඉඩක් ස්වභාවයෙන් ලැබේ යැයි විශ්වාස කළේය. එසේ නොවන විට පක්ෂය දෙකඩ කරමින් පක්ෂපාත කණ්ඩායමක් නිර්මාණය කර ගත්තේය. නමුත්, අද වන විට ඔහු කඩාගෙන ගිය පක්ෂයේ කණ්ඩායම ද යළිත් ගඩාගෙන ගොස් ඇත. කරූ විසින් සජිත් අත්හැරියේය. මෛත්‍රී ගුණරත්න, ශිරාල්, රෝසි ආදීන් සජිත් සමග වැඩි ඇයි හොදයියක් නොමැත. 2012 සම්මේලනයේදී ප්‍රමාදවී පැමිණි දයාසිරි සජිත්ගේ කතාවටත් පෙරම නැගිට ගියේය. දයාසිරිට ද දැන් සජිත් යනු පොර ටෝක් පමණක් ඇති, කිසිවක් කර කියා ගත හැකි අයෙක් නොවන බැව් වැටහී ඇතැයි විශ්වාස කරමි. පරිණත නොවූ ළදරුවෙකු විසින් තම පියාගෙන් ගෘහ මූලික කම ඉල්ලා සිටින්නාක් සේ ‘මමත් බඩු පෙන්නන්නම්‘ යැයි කියමින් ජනාධිපති අපේක්ෂක කම අයැද සිටින සජිත් තමන්ට බා ගැනීම තුළින් ඉතිහාසය පුරා මහරාජාගේ සිහිනය වූ, ක්‍රියාකාරී දේශපාලනයකින් වියුක්තව රට පාලනය කිරීමේ හා මෙහෙයවීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වෙතැයි ඔහු විශ්වාස කරයි. 


අවසන ලියමි. තුන්වන ලෝකයේ රටක දේශපාලනය කළ රණසිංහ ප්‍රේමදාසගේ දෙවැනි යුගයක් තවදුරටත් නූතන ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ. ආර්ථිකය, නීතිය, යහපාලනය හෝ විදේශ ප්‍රතිපත්තීන් වැනි ගැඹුරු හා දුරදක්නා දේශපාලන ප්‍රතිපත්තීන් පිළිබද කිසිදු අදහසක් හෝ දැක්මක් නැති සජිත්, කුණු කාණු, වලවල් සහිත පාරවල් ආදිය පිළිබද කතා කරමින් කරන ගැලරියේ දේශපාලනයට - යළි පිවිසීමට ශ්‍රී ලාංකිකයින් අකමැතිය. සජිත් යනු බණ්ඩාරණායක පවුලේ අනුර තරම්වත් එකෙකු නොවේ. සජිත්ගේ පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් සජිත් රටේ ජනාධිපති කිරීමට මෙරට පුරවැසියන්ට ඇති උවමනාව කුමක්දැයි ප්‍රශ්න කරමි.

ලියුම්කරුවා විසින් සජිත් මින් වසරකට පවා පෙර ද ප්‍රශ්න කළේ, සජිත් යනු අසමත් චරිතයක් බැව් එකළම වැටහුණු නිසාය ...
http://idea365.blogspot.com/2011/05/blog-post_5174.html

10 comments:

මාතලන් said...

මගේ පෝස්ට් එක ගැන කවුරුන් හෝ ප්‍රශ්න කලහොත් මා ලියන්නට සිතූ දේ ඔබේ ළිපියේ අඩංගුව තිබේ. එකසත් ජාතික පක්ෂ නායකයාගේ සිත් දිනාගෙන සිටි ජනප්‍රිය තරුණ දේශපාලඥ්ඥයින් වූ දයාසිරි, සුජීව, හා බුද්ධිකට කළ අපරාධය කවදා හෝ සජිත්ට පල දෙනු ඇත. කරූට සිඳුවූ දෙයට නම් මාතලන්ගේ කිසිම කනගාටුවක් නැත. මා දුටු දුර්වලම දේශපාලඥයා කරූ ජයසූරියයි.

Sabith said...

එක්සත් ජාතික පක්ෂයේ ගොඩයෑම ඇත්තේ සජිත්ගේ අතේයැයි විශ්වාස කල බහුතරයක් පිරිසකගෙන් එකෙකි මා. නමුත් අදවන විට සජිත් තමන්ගේ දේශපාලන මන්ධබුද්දීකභාවය සහ අසමත් බව දිනෙන් දින ඔප්පු කරමින් සිටි. එහි කූටප්‍රාප්තියයි අපි සංවත්සරය දා වේදිකාවේ දුටුවේ!

Sandeepa Virajith said...

රනිල් ට දිනන්න බරි නම් දිනන්න පුලුවන් කෙනුකට දෙන්න ඔනා...මිනිස්සු ලගට යන්නෙ නෑතිව සජිත් ට බෑනල වඩක් නෑ.. නගරෙ මිනිස්සුන්ගෙන් විටරක් UNP එක දිනවන්න බෑ.ගමට යන්න ඔන.. එක තෙරෙන්නෙ නෑති මිනිස්සු ඉන්නකන් දිනන්නත් බෑ

Anonymous said...

your post is highly commended.we need people who could think like you.keep it up.congrat.

මාරයාගේ හෝරාව said...

බොහෝම නිවැරදි ප්‍රකාශනයක්...

Kenji. Japan said...

ඇත්ත ඇසින් දුටුවකු සේ ලියා කියවන්ට සැලසීම ගැන ලේඛකයාට ස්තුතිය පුදකරමි!!!සිහින කුමරා සමග ප්‍රේමදාස යුගයකට නැවත යාමට සිහින දකින අයට කියවන්නට කදිම ලිපියකි.හැකිනම් මෙම ලිපිය පුවත්පත්වල පලකරන්න.කියවන්නට සැලසීම ගැන මාතලන්ට ස්තුතිය!

Sarath Perera said...

Well-said!

erangalivez said...

niyamai..ela

මාමා said...

හ්ම්... කතාව ඇත්ත.. එහෙමයි කියල ඉන්න එකා තියන් ඉන්නත් බෑ...
මූත් නාහෙන් අඩනවා දකින වෙලාවක් ඇත්නම්....
කාට කියන්නද ඕවා....

Terence Perera said...

ඉතාමත් කුහක ආකාරයෙන් කරුණු පෙන්වාදෙන මේ ලියුම්කරු, පැහැදිලිවම රනිල් නමැති වැඩ බැරි පුද්ගලයා වෙනුවෙන් අමු අමුවේම පෙනී සිටින කඩේ යන ලියුම් කරුවෙකි. සත්‍ය කරුණු තමන්ට ඕනා ආකාරයට ඉතා නින්දිත අයුරින් වෙනස් කොට ඇත.