Monday, November 5, 2012

පට්ට ගහන - දෝෂාභියෝගය


මෙවැනි උදෘතයක් තුළ කෙරෙන හැදෑරීමක්, අමුවෙන් ලියන්න අවසරයක් හෝ එසේ කිරීමේ හැකියාවක් නැති බව පළමුවෙන්ම කිව යුතුයි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහිව මේ වන විට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කිරි බොන දරුවන් පවා දන්නා ප්‍රකට කරුණක්. මේ සම්බන්ධයෙන් වන සමාජ විග්‍රහයන් හා නෛති මූලධර්මයන් සම්බන්ධයෙන් මේ දිනවල පොදු සමාජය තුළ නැතත් විෂයානුබද්ධ තැන්වල සහ මාධ්‍ය තුළ පට්ට ගහනව. මේකෙ තියන විශේෂත්වය වෙන්නෙ මේ සම්බන්ධයෙන් කෙරෙන විලි ලැජ්ජා විරහිත විග්‍රහයන් දරාගෙන සිටීමට තරම් පවා අපහසු වීමයි.

කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකුට එරෙහි පළමු දෝෂාභියෝගය මෙය නෙවෙයි. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා චිත්ත පීඩාවෙන් යුතුව මිය යන්නේ 77-88 ජේ. ආර්. ආණ්ඩුවේ මහා බලපරාක්‍රමය යටතේ ගෙනා මෙවැනි අභියෝගයක් තුළ අඛණ්ඩ අසාධාරණකම් සමූහයකට ලක්වෙලා. නෙවිල් සමරකෝන් මහතා එවැනි චෝදනාවකට ලක් වීමට කළ වරද, ඔහු පැවැත්වූ දේශනයකදී ආණ්ඩුවේ රැකියාවන් සදහා බදවාගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන හා පදනම්ගත විවේදනයක්. “ආණ්ඩුවේ කන්තෝරු වලට ගන්න යතුරු ලේඛකයින් යතුරු ලියන මැෂිමක් දැකලවත් නෑ. ලිපිකරුවන්ගෙ භාෂා කුසලතාවය අන්තිමයි“ වගේ අදහසක් දෙන දෙයක් ඔහු උත්සවයකදි සදහන් කරනව. මේ හේතුවෙන් උරණ වුණු ජේ. ආර්. රෙජීමය ඔහුව අභියෝගයට ලක් කරනව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 107 වන ව්‍යවස්ථාව මෙවැනි දෝෂාභියෝග සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලස්වලා තියනව. ඒ විතරක් නෙවෙයි, එම ව්‍යවස්ථාවට අනුව තුනෙන් දෙකක බලයක් තියන ආණ්ඩුවකට ව්‍යවස්ථාව පවා වෙනස් කර ගනිමින් ඕනෑම නීතියක් සම්මත කළ හැකියි. නමුත්, එසේ සම්මත කරන නීති හෝ ගනු ලබන ක්‍රියාමාර්ගයන් අවශ්‍ය අවම සුදුසුකම් සම්පූර්ණ වීම පමණක් කියන සාධකය ඉක්මවා ගිහින් වෙනත් මූලධර්මයන් පවා සැලකිල්ලට ගත යුතුයි. 

2001 වසරේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වෙනුවෙන් ද මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු වෙනුවෙන් තිබුණු චෝදනාව “විෂම පැවැත්ම“. ඒ අවස්ථාව වන විට ඔහු චන්ද්‍රිකා රෙජීමයේ උදහසට ලක්ව නොසිටි නිසා සුළුතර එජාපයේ දෝෂාභියෝගයෙන් බේරෙනෙව. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව සදහන් වෙන්නෙ, “ඔප්පු කරනු ලැබූ විෂම පැවැත්ම“ කියන සාධකය. එහෙමත් නැත්තම් “දුබලතාවය“. නෙවිල් සමරකෝන් අ.වි. මහතාට එරෙහි යෝජනාවෙදි පදනම් වෙන්නෙ ඔහු ආණ්ඩුවට හෝ රෙජීමයට පක්ෂ පාතී නොවිම කියන කාරණය. යෝජනාවෙ කියන කාරණා කුමක් වුවත් යථාර්ථ සිද්ධිය එය බව නොරහසක්. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් වෙන්නෙ තැනේ හැටියට ඇණේ ගැසීමේ ක්‍රියාවලියකුත් එක්ක.

දෝෂාභියෝගයට අදාල කරුණු “ඔප්පු කිරීම“ සදහා යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒ වන විට එවැනි නීතියක් සම්මත වී තිබුණේ නැහැ. ජේ. ආර්. රෙජීමය ඒ අවස්ථාවෙදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78(අ) නිර්මාණය කරමින් මෙම ක්‍රියාවලිය නිර්මාණය කරනව. එහි සදහන් වෙන්නෙ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් මසක් තුළ මෙම විමර්ශනය පැවැත්විය යුතුයි යනුවෙන්. මෙහි ඇති පුදුමසහගත කරුණ නම්, විශාල ප්‍රමාණයක් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වෙනත් කිසිවක් සදහා උපරිම දිනයක් හෝ කාල සීමාවක් ලබා දී නොමැති වීමයි. රටේ විසදාගත යුතු බොහෝ දේවල් වෙනුවෙන් දින නියම නොවන මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අගවිනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝග මසක් තුළ විමසිය යුතුයි.

දැන් එකින් එක කරුණු වශයෙන් සහ අවශේෂ සිද්ධින් සමග විසදාගැනීමට කල්පනා කරමි. දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව. ඒ සම්බන්ධයෙන් යම් සාධාරණයක් පැවතිය හැකියි. දෝෂාභියෝගය ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයින් ඉදිරිපත් කිරීම කියන සාධකය. නමුත්, “නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ“ න්‍යාය මෙතැන භාවිත වෙන්නෙ, මෙම නඩුව විමසන්නෙත් පාර්ලිමේන්තුව තුළින්ම වීම හරහා. තමන් ඉදිරිපත් කරන පැමිණිල්ලක් තමන් විසින්ම විභාග කිරීමේ ඇති සාධාරණ හෝ යුක්තිසහගත පදනම කුමක් ද කියන ගැටළුව මෙතැනදි නිර්මාණය වෙනව. 

අනෙක් කරුණ, මේ වෙනුවෙන් පත් කරන සාමාජිකයින් 7 දෙනාගෙන් බහුතරය ආණ්ඩු පක්ෂයේ බව විශේෂයෙන්ම සදහන් කර තිබීම. එහි සභාපතිවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. නඩු සහ බඩු හාමුදුරුවන්ගේ වීමේ බරපතලම තත්ත්වය නිර්මාය වෙන්නෙ ආණ්ඩු පක්ෂයකින් ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර, මාසයක් කල් ගත කර ආණ්ඩුවේ බහුතරයක් අසුන්ගෙන මෙම ප්‍රශ්නය විභාග කරනව. බහුතර ආසන සහිත ආණ්ඩුවක් පවතින මෙවැනි අවස්ථාවක 107 වන ව්‍යවස්ථාවේ සදහන් අවම වශයෙන් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකක් අත්සන් කළ යුතුයි කියන කතාව ඉතාම සරල වෙනව. මෙම සිද්ධියට අදාලව මේ වන විටත් 118 දෙනෙකුම අත්සන් කරල. ඒ කියන්නෙ දෙකෙන් එකකටත් වැඩියි. යෝජනාවේ තිබෙන කරුණු ඔප්පු වුණත් නැතත්, ඔප්පු වුණ බව ඔප්පු කරන්න කාරක සභාව තුළ ඡන්දයක් තියන්න සිද්ධ වුණත් රෙජීමයේ පරාක්‍රමයට යටත් රෙජීමයේ සාමාජික මන්ත්‍රීවරුන් ඔප්පු වුණු බවට ඡන්දය ලබා දෙනව. එවැනි අවස්ථාවක දෙවැනි ඡන්ද විමසීම වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදි කවුරුන් කුමක් සදහන් කළ ද කරුණු ඇත්ත වුණත් බොරු වුණත් බහුතරයකින් සම්මත කරගන්න එක විශාල කාර්යභාරයක් නොවන තත්ත්වයට පත් වෙනව. 

යම් අයෙකුගේ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව කරුණු කිහිපයක් මත රදා පවතිනව. ‘මගේ නිදහස තීරණය වන්නේ මගේ පරිසරය මතයි‘ කියැවෙන්නෙ ඒ නිසා. කළු පැහැති මිනිසෙක් අයෙකුගේ මවගේ බෙල්ලට පිහියක් තබාගෙන, “උඹ ස්වාධීනව හිතල කියපං, මම සුදුයි නේද“ ඇහුවම අදාල පුද්ගලයා විසින් කළු හෝ සුදු බවට ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම සීමා වෙනව. එවිට තීරණය ලබා දෙන්නෙ අම්මා නිදහස් කර ගැනීමට තරම් තෘප්තිමත් උත්තරයක් මිස සාධාරණ උත්තරයක් නෙවෙයි. කිසි සේත්ම එවැනි තර්ජනයක් හෝ බලපෑමක් තුළ ස්වාධිනතාවය පිළිබද විශ්වාස කළ නොහැකියි. ඒ විතරක් නෙවෙයි, එවැනි ස්වාධීනතාවයක් අපේක්ෂා කිරීම පවා වැරදි සහගතයි. මෙම සිද්ධියේදීත් එම ස්වාධීනතාවය සම්බන්ධයෙන් සැකයක් පහළ වෙනව.

අපි දන්න සාමාන්‍ය මහේස්ත්‍රාත් වරයෙක් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් පවා පොදු සිවිල් සමාජය සමග ගැටෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඇතැම් විට තමාගෙ ස්වාමියා විනිසුරුවරයෙක් වූ විට, නීතීඥ වෘත්තියට සමුදුන් කාන්තාවන් මේ රටේ අතිමහත්. සෙසු රැකියාවන් සම්බන්ධයෙනුත් එලෙසමයි. නමුත්, අගවිසිනිසුරුවරිය සම්බන්ධ කාරණාවෙදි, භාර්යාව අගවිනිසුරු වන විට ස්වාමි පුරුෂයා මුල්‍ය ආයතනය ප්‍රධානියෙක්. මුදල (සර්පයා) සම්බන්ධ කටයුතු ඉතාම ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු දෙයක්. මෙතැනදි එම තනතුරු දෙකම එකිනෙකා විසින් බලපෑම් කෙරෙන තත්ත්වයට පත් වෙනව. මේ අවස්ථාව ඍජුව බලපෑම් කිරීම ලැජ්ජාසහගත නිසා අදාල පද්ධතිය වෙනුවෙන් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්න යොදා ගත් උපක්‍රමයක් හා සමානයි. එක්කෝ පත්කරනු ලබන තැනැත්තන්ට ද එසේ නොමැති නම් ඒවා භාරගන්නා පුද්ගලයින්ට ද අවම වශයෙන් ලැජ්ජාවක් හෝ න්‍යායික අවබෝධයක් තිබිය යුතුයි.

එසේම, මෙම අභියෝගය එල්ල කිරීම ඉතාම යුක්ති සහගත බව කිවීම සදහා කරුණු කිහිපයක් භාවිත කරනව. එකක් මෙය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් කියන කාරණය. අපි දන්නව, මේ රෙජීමය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ හෝ පටුනේ සිට පසුපිට දක්වාම මුද්‍රණය කර ඇති සෑම අකුරක්ම අත්හදා බලනා හෝ ක්‍රියාවේ යොදවන තත්ත්වයක් දක්නට ඇති බව. 18 වැනි සංශෝදනය ව්‍යවස්ථාගත කිරීම මෙහි එක් අවස්ථාවක්. නමුත්, සෑම කාන්තාවකටම ඇත්තෙ ස්ත්‍රී ලිංගික අවයව නම්, සංසර්ගය කළ හැක්කෙ පුරුෂයකුට හා ස්ත්‍රියකට නම්, එහෙයින් මව සමග ලිංගික සංසර්ගය කිරීම උචිත නොවන්නේ නොවේ යැයි තර්ක කිරීම මොනතරම් නම් අසංස්කෘතික හා නිර්ලජ්ජිත කරුණක් ද. මෙහිදී ද සිදු වන්නේ එලෙසයි. ජේ. ආර්. පට්ට ගසමින් ජේ. ආර්. ගේ අකුරු වල ඉස්පිළි පාපිළි පවා රෙජීමයේ වාසියට යොදා ගන්නා තත්ත්වයකි. 

නෛතික තත්ත්වය අනුව, විධායකයට ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට නෛතික පදනමකින් තොරව බලපෑම් කළ නොහැක. එසේම. මෙම ආයතන තුන කෙරෙහිම පිහිටා ඇත්තේ පවරා දෙනු ලැබූ පරමාධිපත්‍යයයි. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් හැර ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් හා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අධිකරණ වෙත පවරා දී තිබේ. අගවිනිසුරුවරයකු ප්‍රශ්න කළ හැකි අධිකරණ බලය පාර්ලිමේන්තුවට පවරා ගත හැකි දැයි ගැටළුව නිර්මාණය වන්නේ මෙහිදීය. වැට මායිම බෙදා ගැනීමේ ක්‍රම වේදය වෙනුවෙන් පවා ‘උචිත අධිකරණ‘ පිහිටුවා බලය පවරා ඇති විට මෙවැනි භාරදූර මාතෘකාවක් සම්බන්ධයෙන් මෙවැනි අවිධිමත් පටිපාටියක් නම් කිරීමේ පදනම කුමක් ද. එම පාර්ලිමේන්තු කාරක සභාවට සාමාජිකයින් පත් කිරීමේ බලය තුළ එම මන්ත්‍රීවරුන්ගේ කිසිදු සුදුසුකමක් හෝ දක්වා නොමැත. මේ වෙනුවෙන් නීතිය හෝ නීතිමය මූලධර්මයන් පිළිබද කිසිදු දැනුමත් නොමැති මන්ත්‍රීවරයන් පවා පත් කිරීමේ හැකියාවක් ඇත. මෙය ද මෙම ක්‍රමවේදයේ නිශේදනීය තත්ත්වයකි.

එසේම, 107 ව්‍යවස්ථාව හා 78(අ) ස්ථාවර නියෝග භාවිත කිරීම වලක්වාලමින් 2001 වසරේ ජූනි 6 වැනි දා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කොට පිළිතුරු ලබා නොදුන්න ද ‘බැලූ බැල්මට විමසීමට සාධාරණ පදනමක් ඇත‘ යන පදනමේ සිට 2001 වසරේ 297 හා 298 යන මූලික අයිකිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර ලබා දී ඇත. 

නෛතික පදනමක් නැති වුව ද මෙම දෝෂාභියෝගයේ තවත් ඇතුළාන්ත කතාවක් ඇත. මෙම දෝෂාභියෝගය කතානායකවරයාට භාර දීමේ පූරෝගාමී චරිතය වූයේ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. ඇය විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය කියා සිටියේ, අගවිනිසුරුවරියගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේ ද විෂමාචාර චෝදනා ඇති බවයි. පවිත්‍රා වන්නිආරච්චි යනු කවුරුන්දැයි දන්නෝ හොද හැටි දනියි. තමන්ගේ හෙළුව දෑතින් වසා ගෙන සිටිමින්, තවත් අයෙකුගේ හෙළුව පෙන්වා කොක් හඩලා සිනා සෙමින් ඒ බව උජාරුවට කියා සිටීම මොනතරම්නම් ඛේදනීය තත්ත්වයක් ද.

 කෙසේ නමුත්, පොදු පුරවැසියන් වන අප විසින් අප සන්තක දේපලක් වන පරමාධිපත්‍ය බලය පවරා දුන් ආයතන තුළ ඒවා කෙළෙසින් ක්‍රියාත්මක වන්නේ දැයි බලා සිටීම අප සතු යුතුකමකි. වරදක් ඇත්නම් ඊට දඩුවම් දීම කළ යුතුය. නමුත්, නිසි අධිකරණයකින් වැරදිකරුවකු වන තෙක් ඔහු හෝ ඇය සැකකරුවෙකු පමණක් කියන නීතියේ පූර්ව නිගමනයවත් ආරක්ෂා විය යුතුය. මේ සිද්ධියේදී තීන්දුව ලියා අවසන ගොනු කරනු ලැබූ නඩුවක් තුළ දක්නට ඇති තත්ත්වය දක්නට ලැබීම ද “පරිස්සම් වෙලා - යටත් වෙලා- කියන දේ අහගෙන හිපටල්ලා“ යැයි අධිකරණ පද්ධතියට කෙරෙන අනතුරු ඇගවීමද නරක පූර්වාදර්ශයකි. 

මෙවැනි ස්ද්ධියක් මතු වීමට ආසන්නතම හේතුව වූයේ අධිකරණ සේවා කොමිෂන් සභාව (සභාපති - අගවිනිසුරු) විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපියකි. එහි අධිකරණයට ස්වාධිනව කටයුතු කිරීමට අවස්ථාව අහිමි වී ඇති බවට සන් කර සිටියේය. නීතියට අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී ඇත. එසේ නම්. එවැනි දඩුවම් දීමකින් තොරව මෙවැනි ලිපියක් මගින් සිය අසරණතාවය කියා සිටීමට අධිකරණය පෙළමෙන්නේ ඇයි. විශ්වාස කළ හැකි හේතුව නම්, එවැනි දඩුවම් දීමක් කළ නොහැකි පුද්ගලයකු විසින් එවැනි බලපෑමක් කර සිටින බවයි. මෙරට තුළ එවැනි බලයක් ලබා දී ඇති එකම පුද්ගලයකු පමණක් සිටියි. ඒ විධායකයේ ප්‍රධානියා කෙරෙහි පවරා දී ඇති මුක්තිය හරහාය.

පුද්ගල චරිත වෙනුවෙන් නොව, පද්ධතිමය වටිනාකම් වෙනුවෙන් පෙනී සිට එම පද්ධතිමය හරයන් ආරක්ෂා කර ගත යුතුව ඇත. 

2 comments:

Anonymous said...

අනර්ග ලිපියක්

Anonymous said...

අනර්ග ලිපියක්