Monday, November 12, 2012

ලේ පැල්ලම - විවාහය සහ ස්ත්‍රිය

අමුවෙන්ම ලියන්නේ නම්, මෙරට වැනි දේශීය හා රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියට හිමිව ඇත්තේ ඉතාම අඩු තත්ත්වයකි. ලියුම්කරුවා විසින්ම මින් පෙර අවස්ථා ගණනාවකදී ලිපි කිහිපයක් මගින් මෙම සමාජ ක්‍රමය තුළ ස්ත්‍රියගේ වටිනාකම හා තත්ත්වය පිළිබද විවිධ දේ ලියා ඇත. තවදුරටත් එවැනි විෂයක්ම මූලික කර ගනිමින් හැදෑරීමක් වෙනුවෙන් පොළඹවනු ලැබූයේ, “එක මිනිහට ගෑණු දෙන්නෙක් ඉන්නවට වඩා, එක ගෑණිට මිනිස්සු දෙන්නෙක් ඉන්න එකේ අවුලක් තියනව“ යනුවෙන් පෙර දිනක සංවාදයක් අතර තුර මතු වූ කරුණකි. මෙය තිර කියමනක් ලෙස එළියට පැමිණෙන්නේ සීමා සහිත අවස්ථාවන් වලදී වුව ද සෑම සංස්කෘතික රාමුගත හදවතක් තුළම මෙම අදහස පැළපදියම් වී ඇති බැව් සත්‍යයකි.

ස්ත්‍රී පුරුෂ විවාහයක් තුළ දී, පුරුෂයාගේ පිරිසිදු භාවය හෝ පිරිමියා මින් පෙර සල්ලම් වී නොතිබීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන රාමුගත සංස්කෘතික සමාජය කාන්තාවගේ පිරිසිදු භාවය නිර්ණය කර ගැනීම හෝ සනාථ කර ගැනීම වෙනුවෙන් සුදු රෙදි එළීමට පෙළඹී සිටියි. එහෙයින්, ස්ත්‍රියගේ ලේ පැල්ලම යනු සමස්ථ විවාහයේම තත්ත්වය කෙරෙහි හෝ ඍජුවම ‘දීගයේ පැවතීමේ හෝ ඇරීමේ‘ තීරණාත්මක සාධකය ලෙස පවා බලපායි. එසේත් නැතිනම්, මධුසමයේ එළනු ලබන සුදු පිරුවටයේ ලේ පැල්ලමක් නොමැති වීම, කුමන හෝ ස්ත්‍රියක් ‘වෛශ්‍යාවක්‘ හෝ ‘නැට්ටුක්කාරියක්‘ යන ලේබලය ගැන්වීමට පවා සමත් වෙයි. මින් පෙර මුදලට හෝ ‘ටොක් කර‘ ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමග පවා හෝ සහවාසයේ නියැලී සිටින පිරිමියෙකු වුව ද සිය විවාහය දා ස්ත්‍රියගේ ලේ පැල්ලම අපේක්ෂාවෙන් තිගැස්මෙන් හා කුතුහලයෙන් ගත කරයි. 

කන්‍යාභාවය යනු ස්ත්‍රියගේ පරම පූජනීය මිනුම් දණ්ඩක් වන්නේ නම්, පිරිමියා වෙනුවෙන් නියම කර ඇති ඒ හා සමාන ඒකකය කුමක් ද. වෛද්‍ය විද්‍යාක්මකව එක් වතාවකදී පමණක් පිරිමි ලිංගික ක්‍රියාවලියකදී අහිමිවිය හැකි ජීව සංඛේතයක් පිරිමින් සතු වන්නේ ද. ඇතැම් අවස්ථාවන් වලදී විවිධ අයුරින් අරුත් ගැන්වෙන පරිදි එවැනි හැරවුම් ජීව වස්තුවක් පිරිමියා ද සතු වේ. නමුත්, එවැන්නක ඇති-නැති භාවය නිරීක්ෂණය කිරීමට හෝ ‘ආරංච් කර බැලීමට‘ රාමුගත සංස්කෘතික සමාජය නොපෙළඹෙන්නේ කුමන කරුමයක් නිසාදැයි නොදනිමි. ඇතැම් විට, එය එසේ වන්නේ පොදු මහත් සමාජයේම ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ පිරිමියා වීම නිසා විය හැකිය. එසේත් නැතිනම්, ලේ පැල්ලම අහිමි කාන්තාව අහිමි ස්ත්‍රිය වෛශ්‍යාවක් වන තත්ත්වයකදී ලිංගික පිරිසිදු භාවය සම්බන්ධ පුරුෂ ජීව ලක්ෂණය අහිමි පිරිමියා ‘පොරක්‘ ලෙස අභිසෙස් ගැන්වෙන නිසා විය හැකිය. ‘දොරක් ඕනැම යතුරකින් අරින්න පුළුවන්නම් ඒ දොර වැඩක් නෑ. හැබැයි එක යතුරකින් දොරවල් කීපයක් අරින්න පුළුවන්නම් ඒක සුපිරි යතුරක්‘ ලෙස සමාජ ගත කරනු ලැබ තිබීම තුළ මෙවැනි මැනීම් කෙරෙහි පෙළඹීමේ තත්ත්වයක් ඇත.

ගණිකාවක් සම්බන්ධයෙන් ලියනු ලැබූ බ්ලොග් සටහනක මෙසේ සදහන් විය. ‘මම කෝල කරල දවසක් දා ගත්ත. මගෙන් ඇහුව වයස කීයද කියල. මම කීව අවුරුදු 19 යි කියල. එතකොට ඒ කෙල්ල මගෙන් අහනව, -අනේ යකෝ, වටේ ගහන උඹලනෙ ගෑණුන්ගෙ පිරිසිදු කම හොයන්නෙ‘.

මේ පිළිබද තවදුරටත් කියවාගෙන යන විට, ස්ත්‍රිය කෙරෙහි මෙම සංස්කෘතික අසාධාරණය සිදු කිරීමේ පුරෝගාමී වගකීම ඉටු කරන්නේ හෝ පුරුෂ මූලික සමාජයක් තුළ නිර්මාණය වන පුරුෂ-පක්ෂපාත මතවාදයන් සමාජය තුළ ප්‍රචලිත කිරීමේ හා ස්ථානගත කිරීමේ කාර්යය ඉටු කරමින් සිටින්නේ කාන්තාවන්ම බැව් කිව යුතුය. ගැබ්බර මවක් බස් රථයකට ගොඩ වූ විට, ආසනයක් පැණවීම කෙරෙහි වඩාත්ම අසල වන්නේ කාන්තාවන්ම බැව් ඕනෑතරම් දැක ඇත. එසේම, එවැනි කාන්තාවන් කෙරෙහි තවත් බොහෝ කාන්තාවන් විසින් දක්වන හැගීම හා හෙළනු ලබන බැල්ම -විසේට බඩ වෙලා- වැනි එකකි. එසේම, එක දිගට ආසන්න කාලයක් තුළ දරුවන් කිහිප දෙනෙක් වැදූ මව්වරුන් පිළිබද වැඩියෙන්ම අවඥාසහගත ‘කතා හදන්නේ‘ ද කාන්තාවන් විසින්මය. තව ද, ලේ පැල්ලම කෙරෙහි උනන්දුවක් දක්වන විවාහක පුරුෂයා හැරුණු විට වෙනත් පුරුෂයකු නැති තරම්ය. නමුත්, මධුසමයේ සුදු ඇතිරිල්ල පිළිබද වැඩිම සෙවිල්ලක් හෝ අවධානයක් දක්වන්නේ දෙපාර්ශවයේම කාන්තාවන් විසිනි.

ස්ත්‍රියකගේ පැවැත්ම කෙරෙහි හා ස්වාධීනතාවය කෙරෙහි ලේ පැල්ම ඍජුවම බලපාන බැව් රාමුගත සංස්කෘතික සමාජයක් තුළ හොදින්ම දැකිය හැකි කරුණක්. විවාහයට පෙර ස්ත්‍රියකගේ කන්‍යාභාවය යම් අයෙකු විසින් සිදිනු ලැබූයේ නම් හෝ ‘සල්ලම් කළේ‘ නම් ඉනික්බිති අවදිය තුළ ස්ත්‍රියගේ තොන් ලණුව යටකී පුද්ගලයා අත පත් වන්නාක් වැනිය. රහසක් හෙළි නොකර සිටීමේ පදනම හෝ ‘භය‘ මත ස්ත්‍රිය ‘බ්ලැක්මේල්‘ කිරීම කෙරෙහි භාවිත කළ හැකි කදිම යාන්ත්‍රණයක් ලෙස ද මෙය භාවිත විය හැකිය. නමුත්, කිසි විටෙක, කාන්තාවකට පිරිමියෙකු එවැනි පදනමක් තුළ පාලනය කිරීමේ හෝ මෙහෙයවීමේ හැකියාවක් නැත. ‘ලෝකෙට කියනව, මමයි උඹේ කන්‍යාභවය නැති කළේ කියල‘ යනුවෙන් පිරිමියෙකුට කාන්තාවක් අභියෝගයට ලක් කළ හැකි වුව ද කිසිදු විටෙක ස්ත්‍රියකට එවැන්නක් සිදු කිරීමේ හැකියාවක් නැති තරම්ය.

මෙම රාමුගත සංස්කෘතික තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ ද හෝ නොවන්නේ ද යන්න තර්ක කළ හැකි තැනක ඇත. නමුත්, ලේ පැල්ලම යනු ‘සියල්ල‘ නොවන බව පමණක් කිව යුතුය. විවාහයක වටිනාකම් හා තත්ත්වයන් කෙරෙහි රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියගේ කන්‍යාභාවය සැලකිය යුතු බලපෑමක් එල්ල කළ ද එය මත සියල්ල තීරණය නොවන බව වටහා ගත යුතුය. 

6 comments:

Isuru Lakmal said...

ethama wedagath deyak lassanata liyala thiyanawa

Isuru Lakmal said...

Good Article brother every glz have to know this as soon as possible

තරියා said...

බොහෝ වෙලාවට ගැහැනියට වල කපන්නේ තවත් ගැහැනියක්....
සුදු රෙදි එලීමට පවා මුල් වන්නේ ගැහැනුන් බැවින් අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නොවේ යැයි සිතමි....

මාතලන් said...

බොහොම අගේ ඇති ළිපියක්. මා නිතර ඔබේ ළිපි කියවන්නෙක්.

අවමංගල said...

ඔබ මේ කියන සමාජ කතිකාවත සමාජය තුළ අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි කියන තැන මාත් බොහෝ කලක සිට ඉන්නවා.

වර්තමානය වෙනකොට ස්ත්‍රියකගේ පාරිශුද්ධත්වය සුදු පිරුවටයෙන් මනින්න බැහැ කියලා දන්නෝ දන්නවා. හේතුව අද වෙනකොට ශල්‍ය කර්ම මඟින් කන්‍යාභාවය නැවත පිහිටුවිය හැකි බව ඔප්පු වී තිබෙනවා. ඒ අතින් බලනකොට නුදුරේදිම පිරිමියාගේ මේ බොලඳ මධුසමයේ ආධිපත්‍යය ඔහුට නොදැනීම ශුන්‍ය වෙනවා.

කෙසේ වෙතත්, තෙලා ගෙ ලිපි හරිම තර්කානුකූලයි. මං ඔබට ගරු කරනවා. ෆේස්බුකිය හරහා වුවත් ඔබ ඉදිරිපත් කරන ඇතැම් විවාදසම්පන්න කාරණා නිසා ඔබ 'පිට කොන්දක් ඇති ජනමාධ්‍යවේදියෙක්'ය කියලා හඳුන්වන්න මගෙ හිත මට බලකරනවා.

ඔබට සුභ පැතුම්...!
ජය වේවා...

Dina Muhandiram said...

වැදගත් ලිපියක්.. එත් මොනතරම් මේ කතාකරත් තෙලා කියන විදියටම බහුතරයක් පොරවල් තාමත් මේක බලාපොරොත්තු වෙනවා. වෙනස් කරන්ඩ අමාරුයි. හැබැයි බැරි නෑ. එහෙම මේ මතය වීසිකරල දැම්ම පිරිමි සහ නැන්දම්මලා මට මුණගැහිලා තියනවා.