Wednesday, October 31, 2012

“කර්ම“ - කොන්ඩම් යූස් කරන්න එපා


මොර සූරන වැහි ඇද වැටෙමින් තිබෙන මද්දහනේ ලේක්හවුස් හන්දියෙන් බැස තෙත බරිතවම රීගල් සිනමා ශාලාව තුළට රිංගා ගතිමි. ඒ ‘කර්ම‘ චිත්‍රපටයයි. ‘මගහැර යා නොහැකි ගැහැණියකගේ කතාව‘යැයි සදහන්ව තිබිණි. මින් පෙර මෙම චිත්‍රපටය බැලූ කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් විවිධ දේ කියා ඇත. එහෙයින්, මින් පෙර නොබැලූ චිත්‍රපටයක් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක් හෝ පූර්ව විචාරයකින් පසු ඒ සියල්ල අමතක කරමින් ස්වයං විචාරයීය මනසකින් යුක්තව මෙම සිනමාව කියවා ගැනීම නැමැති ඛේදවාචකයට මුහුණ දෙමින් ජාතික ගීයට නැගී සිටියෙමි. 

නදීක යනු ස්ත්‍රියක විසින් සීමා රහිතව තවත් පිරිමියෙකු වෙනුවෙන් දෙනු ලබන පිදීම් වල ඵල නෙළමින් සිටින්නෙකි. ගණිකාවක් ඇසුරට ගිය එකෙකු සේ, මුළු ආඛ්‍යානය පුරාම ලිංගික සහවාසය හේවත් රමණයෙන් පසු, එතෙක් පවත්නා ප්‍රේමණීය හා හෘද්‍යාංගම තත්ත්වයෙන් ක්ෂණිකවම මිදී සිය වොග්ස්වගන් බීට්ල් රථයේ නැගී නික්ම යයි. එසේම, සමස්ථ ලිංගික සහවාසය පුරාම ඔහු විසින් ආවේශ වූ සල්ලාලයකු සේ ඇයගේ රසෝඝය භුක්ති විදිමින් සිටියි. එහි තැනෙක අමා මෙසේ කියා සිටියි. ‘අනේ නදී, මම කොන්ඩම් යූස් කරනවට කැමති නෑ‘. අමා යනු නදීක කෙරෙහි දැඩි විශ්වාසය තැබීම හේතුවෙන් එසේ කියනවා විය හැකිය. එසේ නොවන්නේ නම්, ගැබ් ගැනීම හෝ බඩ වීම යනු තමාගේ ක්‍රමයට අනුව ‘එච්චර දෙයක් නෙවෙයි‘යැයි ඇයට හැගෙනවා විය හැකිය. එසේ ද නොවන්නේ නම්, ලිංගික ආශ්වාදයේ උපරිමය භුක්ති විදීම කෙරෙහි කොන්ඩමය බාධාවක් යැයි තීරණය කරන ඈ, ඉනික්බිති සිදු වන්නේ කුමක් ද යන්න පිළිබද නොතකා හෝ නොසිතා, අවස්ථානුකූල උපරිම වින්දනය අපේක්ෂා කරනවා විය හැකිය. පුරුෂ ලිංගය හා ස්ත්‍රී ලිංගය එකිනෙක ස්පර්ශයේදී දැනෙන උණුසුම, හට ගන්නා තාවකාලික හෝ ආදරණීය හැගීම, ආශ්වාදය හෝ වෙනයම් හැකීමක් කෙරෙහි රබර් කොන්ඩමය බාධා කරනවාට ඇය සිය නොකමැත්ත දක්වනවා ද විය හැකිය.

පියල් විසින් නියෝජනය කරමින් සිටින්නේ, අනුන්ගේ ප්‍රේම කරුමයන් තමන්ගේ කර ගනිමින් කර ගන්නා අති බහුතර ‘අවංක‘ ප්‍රේමවන්තයින්ගේ සංඛේතයකි. පියල් විසින් අමා කර ගසනු ලබන්නේ ඇයි. නදීක ශාරීරික වශයෙන් ලබා ගන්නා ලිංගික ආශ්වාදය හෝ කායික පහස ඇසින් හා කණින් පමණක් ලබා ගත් නිසා ද. එසේ නොවන්නේ නම්, නදීක සමග උද්‍යෝගයෙන් හා රාගික බවේ උපරිමයෙන් රමණය කරමින් සිටින අමා සමග එවැනිම ලිංගික අත්දැකීමක් තමා ද සන්තක කර ගැනීමේ අරමුණින් ද. මුල් කාලීනව ඔහු විසින් ඇත්ත වශයෙන්ම කරමින් සිටින්නේ, අටේ හෝ හතේ පංතියේදී පත්තර තට්ටුව යට ඇති ‘වැල‘ පත්තර පාසලට ගෙනැවිත් හොර රහසේ බලමින් ගන්නා ආතල් එක ගැනීමටයි.

පියල්ට නදී දර්ශනය වන්නේ, සිය මවගේ වියෝවත් සමග මානසික වශයෙන් දැඩි බිද වැටීමකට ලක්ව ඇති අවස්තාවකය. ඔහුට දාරක ස්නේහය අහිමි වී තිබේ. ‘නෑ, තාත්ත කොච්චර කීවත්, මම ගෙදර එන්නෙ නෑ. නෑ, නෑමයි‘ කියමින් ගාලු කොටුව දිගේ ඇවිද යයි. එසේ කිරීමට ඔහුට සිදු වන්නේ, ඔහුගේ එකම මානසික සහන සපයන්නා වූ සුරතල් පූසාගේ ජීවන රටාව සම්බන්ධයෙන් පවා සමාජයීය ප්‍රතිවිරෝධය එල්ල වෙමින් තිබෙනා විටය. ‘මල්ලි, උඹ නාට්‍ය කරන්න යනකොට ඔය පූසාවත් අරගෙන පලයංකො. දවල්ට පුදුම වදයක් දෙන්නෙ‘ යැයි ඔහුගේ වීදි සගයෙකු ඔහුට කියා සිටියි. අවුරුදු තිහකට කිට්ටුව ජීවත් වන්නෙකුට, දාරක ස්නේහය අහමි වීම, ගෙදර අපායක් වීම හා සමාජය එරෙහි වීම යන කරුණු මගින්, ඔහු අනාථයකු බවට පත්ව සිටියි. එහෙයින්, ගිලෙමින් තිබෙන ආත්මයට හුස්මක් අවශ්‍යව තිබේ. අමාත ඔහුට හමු වන්නේ එවිටයි. එසේම, සෙසු ගමන් සගයින් සියලු දෙනා විවාහ වී හෝ ආදරවන්තයින් වී සිටින අවස්තාවක තනිකඩයකු වී සිටීමට සිදු වීම නම් වූ ඛේදනීය ඉරණම ද ඔහුට හිමිව තිබේ.

මිෂෙල් යනු කලකින් යළි සිය රටට පැමිණි නමුත්, සමාජයීය වහයෙන් පෙර පැවති කිසිදු සබදතාවයක් ඉන් පසු යාවත්කාලීන නොවූ ස්වකීය ආත්මයට සාපේක්ෂව පොදු සමාජය තුළ හුදෙකළා වූ ගැහැණියකි. එසේම, ඈ යළි සිය රට පැමිණෙන්නේ, ඇත්ත වසන් කිරීමකින් හෝ ඉතාම කෙටි කාලයකින් අසු විය හැකි පරිදි බොරුවක් ලෙස වසන් කර ගත යුතුව ඇති කර්ම විපාකයක් ද සමගිනි. ඇය පියවුරු පිළිකා රෝගිනියකි. ඇතැම් විට, ‘කොන්ඩම් යූස් කරන්න එපා‘ යනුවෙන් ඇය කියා සිටින්නේ, සියල්ල අහිමි වීමට මොහොතක් ඇති විට අහිමි වෙතැයි යන ආශ්වාදය හෝ රැක ගැනීමේ අදිටනින් විය හැකිය.

නදීක ජීවත් වෙන්නෙ නදීකගෙ ආත්මය තුළ පමණයි. අමා ගැබ් ගන්නවාට නදීක බයයි. ඔහුගේ ශුක්‍ර ධාතුවෙන් ගැබ් ගන්නා අමාට, දරුවා හදා සිටීමෙන් වලකින්න යැයි ඔහු බල කර සිටියි. එසේම, අමා පියවුරු පිළිකාවකින් පෙළෙන බවට ඔහුට සදහන් නොකිරීම සම්බන්ධයෙන් සහවාසය අතරතුර දී පවා ඔහු දැඩිව ප්‍රශ්න කරයි. ආදරය කළ යුත්තේ පරිපූර්ණ හෝ සම්පූර්ණ හෝ ගැහැණියකට පමණක්ය යන ආත්මාර්ථකාමී හැගීම නදීක තුළ හොල්මන් කරනව. එහෙම නෙවෙයිනම්, ‘ඒකිට මොනව වුණත්, මම ඒකිත් එක්ක ජීවත් වෙනව‘ කියන පියල්ගේ තත්ත්වයට ඔහු පත් විය යුතුය.

අවසානයෙදි, රට යන්න පැය කිහිපයක් පමණක් තිබියදිත්, අමා නදීක වෙනුවෙන් නිර්වස්ත්‍ර වෙනව. එය ද අවසන් වන්නේ, ශුක්‍රාණු පිටවීමෙන් පසු, අදාල ගණුදෙණුව අවසන් වීමෙන් පමණක්ව. ඇය වෙනුවෙන් ජීවිතයක් ලබා දීම කෙරෙහි නදීක උත්සුක නොවන්නේය. නදීක යනු අත්ලේ රේඛා මගින්, ‘යන්තරයක් වගේ මිනිහෙක්‘ව සටහන්ව තිබෙන්නෙක් වැනිය. ඔහු, අමා වෙනුවෙන් ගබ්සාකිරීමට හෝ පියවුරු පිළිකාවට අදාල බෙහෙත් වේල පවා ලබා දෙන්නේ, ‘බල්ලන්ට ලෙළි පොල් දාන්නාක්‘ සේය. අමා නදීක අත්හැර පියල්ව තෝර ගන්නව. අමා පියල් සමග නික්ම ගිය ද නදීක ඇය හඹා යාම නවත්වන්නේ නැති අතර හඹා යන්නේ ද නැත. අමා ඇදිවතේ මුත්‍රා ගියාම අතින් අල්ලල හෝදන්නෙ පියල්, අමාගෙ යට ඇදුම් ද ඇතුළු ඇද අවසන් වූ රෙදි හෝදන්නෙ පියල්. අමාගෙ ලේ වමනය වෙනුවෙන් දෑත දිගු කරන්නෙ පියල්.

‘උඹ මැරෙන එකේ තේරුමක් තියනව ද‘ ප්‍රසන්න ජයකොඩි ජීවත් වීම යනු විදවීම හෝ අපේක්ෂා රහිතව කාලය ගත කිරීම බවට පත් කර ගත්තවුන්ගෙන් ප්‍රශ්න කරනව. ඔහු කියන්නේ, ‘ජීවත් වෙලා තේරුමක් නෑ‘ කියන එකම වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙ අහනවත් එක්කම එවැනි තත්ත්වයකට පත් වුණ කෙනෙකුගෙන් තමන්ගෙ හෘදය සාක්ෂිය අහන ප්‍රශ්නෙ, ප්‍රසන්න අමුවෙන් අහනව. ‘උඹ ජීවත්වෙන ඒකෙ තේරුමක් තියනව ද‘. මානව ලක්ෂණයන්ට අනුව, මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිහෙකුට ‘මැරියං‘ කියල කීවම ජීවත් වෙන්න ඕනෙ කියල හිතෙනව. උඹ මැරෙන එකේ තේරුම මොකද්ද කියල ඇහුවම, මැරෙන්නවත් සුදුසු තත්ත්වයක නොසිටිනා බව සන් කරනව. එසේම, ජීවත් වෙන එකේ තේරුමක් තියනව ද කියල අහනකොටම, තේරුමක් ඇතිව ජීවත් වීමේ අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නව. පියල් වෙනුවෙන් ජීවත් වීමේ අපේක්ෂාව ලබා දෙන්නෙ, ඔහුව මැදිකරගත්ත මේ ප්‍රශ්නෙ වෙන්න පුළුවන්. 

යටකී වේදිකා නාට්‍ය තුළ, තවත් දෙබසක් තුළින් භාහිරට නොපෙන්වන නමුත්, අභ්‍යන්තරය තුළ කැකෑරෙමින් තියන පියල්ගේ හා නදීකගෙ අභ්‍යන්තර ආඛ්‍යානය කියවනව. අමා යනු නදීක වෙනුවෙන් සියල්ල ලබා දුන් අයෙක්. නමුත්, දැන් වන විට අමා පියල්ගේ දේපලක්. ස්වභාවික ස්ත්‍රී ලක්ෂණයන් අනුවම, ගෑණු වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, නදීකව අත්හැරපු අමා, යළිත් අවස්තාවක පියල් අත්හැර නදීක වෙත යෑමේ අවධානමක් තියනව. ‘උඹ ජීවත්වෙනවට මම බයයි‘, මේ පියල් විසින් නදීකට කියා සිටින දේ. එතකෝට, නදීක ‘මම මැරෙන්න බයයි‘ කියන්නෙ ඇයි. තවමත්, නදීක තුළ අමා යළි පැමිණෙතැයි අපේක්ෂාවක් තියනව. එතකොට, අමාගෙ ජිවිතයෙන් නදීක මිය යාම එවැනි දෙයක් සිදු නොවීමට නියත හේතුවක්.

අවසානයේදී, ප්‍රසන්න ‘කර්ම‘ අවසන් කරන්නෙ සාම්ප්‍රදායික තැනකින්. ‘ඒකි බඩ වෙලා ආවත් මම ඒකිට ආදරෙයි‘ කියන ටිපිකල් නැත්තම් පොදු සමාජ වාග් භාවිතය සිනමාවක ලියන්න ප්‍රසන්න උත්සාහ කරල. කර්ම කියවගෙන යනකොට, තවමත් නොතේරෙන දේවල් කිහිපයක් තියනව. නාට්‍ය පුහුණුවීම් අවසන් වෙලා යළි පැමිණෙමින් එන විට, කෝච්චියක් පැමිණීම හා ඉනික්බිති සිදුවන දේවල් සමූහය ගොන් පාර්ට් එකක් සේ හැගේ.

ඒ වගේම, ශුක්‍රාණු ස්ත්‍රී ලිංගය තුළට ඇතුළු වන බව දැන දැනත් සංසර්ගයේ යෙදෙනෙ විධික්‍රමයක් හා එවැන්නක් සිදු වූ බව දැන ගත් වහාම, සිදු කිරීමට විවිධ විසදුම් ඇති බව හොදින්ම දන්නා සමාජයක් තුළ කොන්ඩමයක් නැතිව රමණය කිරීමෙන් පසු, ගැබ් ගැනීමක් දක්වා නාගරික තරුණියක රුගෙන යාමේ අභිප්‍රාය කුමක් ද? එක්කෝ, නාගරික තරුණියන් කොටට ඇන්දාට, නිදහසේ රමණය කළාට, ඉංග්‍රීසි සිංදු ඇහුවට, ඉංග්‍රීසියෙන් කතා කළාට, පුද්ගලික රෝහල් වල ප්‍රතිකාර ලැබුවට - අනවශ්‍ය ගැබ් ගැනීමකින්වත් වැලකී සිටීමට නොදන්නේ යැයි ඒත්තු ගැන්වීමට විය හැකිය. ඒක වෙන්න තිබුණේ, කොන්ඩම් එකක් දාල රමණය කළාට පස්සේ, කොන්ඩම් එක පුපුරළා ශුක්‍රාණු පිටවීමක් වගේ දෙයක්. එක්කෝ, භාහිරින් කරපු දේකින් නොසැලකිල්ලෙන් සිදු වන ගැබ් ගැනීමක්. ඔහු එක තැනකදි ඒක හොදින් නිරූපණය කරල, ගැබ් ගැනීම කියන තැනදි අසමත් වෙනව.

පියල් මී පාසනම් තියන්නේ පූසාව එළියට දාල දොර වහල. පූසා මී පාසනම් කන්නෙ පියල් නොදැනුවත්ව දොරෙන් රිංගලා ඇවිත් මීයන් අල්ලන්න ගිහිං. අමාව ගැබ් ගන්න තිබුණෙත් එහෙම. නදීක කොන්ඩමයක් දාල අමා සමග රමණය කරනව. වැරදීමකින් යටකී පරිදි ශුක්‍රාණු පිටවෙලා අමා ගැබ් ගන්නව. පූසාට වෙච්ච දේ අමාට වෙනව. ප්‍රසන්න සංඛේතය හරිහැටි භාවිත කළ ද මෙතැනිදි අසමත්. 

7 Click Here to Comment:

මුදියන්සේ said...

ලියවිල්ල නම් සුපිරිය
චිත්තර පටිය ගැන අදහස් දැක්වීමට නොහැක්කේ මෙතෙක් එය බැලීමට ලැබුනේ නැති නිසාය

Anonymous said...

යකෝ මෙන්න මාර විචාරකයෙක්....

//ස්වභාවික ස්ත්‍රී ලක්ෂණයන් අනුවම, ගෑණු වෙනස් වෙන්න පුළුවන්.//

කියල විචාරයේ සදහන් වෙනවා. කොහෙද ඔය ස්වාභාවික ස්ත්‍රී ලක්ෂණ තියෙන්නේ. විකාර ගෑනු චපලයි කියන බමුණු මතයම වෙන විදියකින් කියල..මෙනතරම් නොගැඹුරුයිද? ‍මොනතරම් පසුගාමීයිද?.
විචාරයක් කියල මේකේ ඇති හරයක් නැහැ වගෙයි.. මුලින් විස්තර කරල තියෙන අර ලිංගික දේවල් කිසිම පදනමක් හෝ විදාරාත්මක මෙහෙයක් ඉටු කරන ඒව නෙවෙයි.. ඒව විචාරයට අදාළ වෙන්නෙ ‍කොහෙ‍ාමද කියල පැහැදිලි කරන්න ඔබට පුළුවන්ද? මේක ඒ චිත්රපටියේ ලිංගික පාර්හ්වයට අදාළව කරන විචිරයක් නම් ඔය ටික අදාළ කරගන්න තිබුණා. ඒත් මෙතැන ලියල තියෙන්නේ නිකම් චිත්රපටියේ තියෙන දේවල් නැවත නැවත හැදින්වීමක් විතරනෙ.
ඒක කො‍හොමද විචාරයක් වෙන්නේ

ඔය ලිංගික කරුණු දෙක තුනක් එහෙට මෙහෙට කරලා ටිකක් අසම්මත විදියට ලිව්ව කියල ඒක පශ්චාත් නූතන වාදයක් වෙන්නේ නැහැ..විචාරයක් වෙන්නෙත් නැහැ.කුණුහරුප කිව්වට කමක් නැහැ. කුණු රසය අවුස්සන්නේ නැතිව.. අර්ථජනනනයක් වෙන විදියට.. අම්මටසිරි.. පට්ට්කතාව.. වගේ ප්‍රතිචාර මේ සමහර විට ලංකාවේ ලියැවිච්ච පශ්චාත් නූතනවාදී විචිරවල මතුපිට හැඩය විතරක් මේ ලේඛකයා ග්‍රහණය කරගෙන තියෙනවා වෙන්නැති. මට නම් මේක විචාරයක් නෙවෙයි විකාරයක්..

Anonymous said...

ප්‍රසන්න ගේ සමත් අසමත් භාවය මුලු ප්‍රකාශනයටම අදාළව කළොත් නේද හොඳ. කොන්ඩම් පාවිච්චි කරන නොකරන එක ප්‍රජතාන්ත්‍රිකව පුද්ගලික කැමැත්ත මත තීරණය වෙන දෙයක් මිසක් එක එක සෞඛ්‍ය පාඩම් වලට අනුව වෙන දෙයක් නෙවෙයි. එහෙම වුනාම කියමුකෝ.. කෝ ගබ්සා කර ගැනීමේ අයිතිය. යන්නේ කොහෙද මල්ලෙ පොල් කතා නොකියා.. කර්මය ආශ්‍රිත න්‍යාය ඔස්සේ ෆිල්ම් එක තේරුං ගන්න උත්සාහ කරන්න.

Anonymous said...

mat me film eka beluwa,,,, tama terum ganna amarui mokada film eke une kiyala

Anonymous said...

"කර්ම" බැලුවෙමි. ආරම්භයේ සිට අවසානය තෙක්ම දෑස දල්වා එය කියවන්නටද උත්සාහ කළෙමි.

මම හිතන විදිහට පියල් අමාට ළං වුණේ ඔය කියන විදිහේ බලාපොරොත්තුවකින් වෙන්න බැහැ. පියල්ගේ අම්මා මැරුණා. අම්මාගේ මරණය ගැන පියල්ගේ හිතේ තියෙන්නෙ වරදකාරී හැඟීමක්. අවසන් මොහොත තෙක් අමාට සත්තු කිරීම තුළ තිබෙන්නේ එම වරදකාරී හැඟීමෙන් පෙළන ලද ඔහුගේ කර්මය ගෙවෙන හැටි නෙවෙයිද? එය මා දකින්නේ ඒ අයුරිනි.

ගැහැණියකගේ ජීවිතයේ ඇති සොඳුරුතම සිහිනයක් වන්නේ මවක වීම බව මගේ විශ්වාසය. එය බටහිර පන්නයේ ගැහැණියකටද, ගැමි ගැහැණියකටද කියා වෙනසක් නැහැ. තමා මරණය අද්දරක සිටියද සහජාසය විසින් මෙහෙයවනු ලදුව දරුවෙකු ලබා ගැනීමට අමාට සිතීම ස්වභාවිකය. එහි ඇත්තේ ගැහැණියකගේ ආත්ම නිරූපණයයි.

මී පාසානම් කෑ බළලාගෙන් නිරූපණය වෙන්නෙත් පියල්වම තමයි.. ඒකම වෙනත් විදිහකට කියනවානම් හරියට පහන් සිලකට ඇදෙන පළගැටියෙක් වගේ. කර්මය වෙත ඇදෙන එක සක්කරයටවත් නවත්තන්න බෑ.

ඔන්න ඕකයි මම දැකපු කර්මය

Morabba de morabba said...

නියමයි අවසාන චේදයේ සංකේත භාවිතය පිලිබඳ නිවැරදි කිරීම කදිමයි

supun madushan said...

චපලයි තමයි යකෝ එක තේරුනේ නැති උන් ඉන්නව නම් ඉක්මනටම තේරෙත්වා