Saturday, October 27, 2012

කුම්බලා මාළුව

 පසුගිය දින කිහිපයක්, සේවය කළ ආයතනයට පින්සිදු වන්නට විවේකයෙන් ගත කිරීමට අවස්තාව හිමි විය. මේ විවේක කාලයෙන් වැඩි කාලයක් ගත කරනු ලැබූයේ රස්තියාදු ගැසීමට හා වල්පල් දොඩවමින් ගත කිරීමට වෙන් විය. පුස්තකාල, තේ කඩවල්, යාලු මිත්‍රාදී සහචරයන් හමුවීම, ආදරය කිරීම හා තැන් තැන් වලට වී කාලය ගත කරමින් සිටින අතර වාරයේ හමුවෙන උන් සමග කඩ දමා ගැනීම මේ කාලයේදී නොවඩුව සිදු විය. ලියුම්කරුවා, මෙම ලිපිය ලිවීම දක්වා ඒ අතරින් සිද්ධීන් දෙකක් පොළඹවනු ලැබීය.

පසුගිය සතියේ දවසක් බම්බලපිටියේ සිට දෙහිවල දෙසට යමින් සිට, වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් පාරේ බයිසිකලය නවතා මුහුදු සුළග විදිමින් විනාඩි කිහිපයක් විවේකයෙන් ගත කළේය. මේ මොහොතේ එතැන නැවතූ ත්‍රී රෝද රථ රියදුරෙකු ගින්දර විමසමින් මා වෙත පැමිණියේය. ඔහුට ම වෙතින් ගින්දර නොලැබුණ ද ඔහු හිතෛශී සිනහවක් පෑ නිසා ඔහු සමග කතාවට වැටිණි. විනාඩි කිහිපයක් පමණක් කතා කරමින් සිටින අවස්ථාවේදී ඔහු ඉතිහාසයේ කරනු ලැබූ කටයුත්තක් සම්බන්යෙන් දැඩිව කම්පා වන බව ද පසුතැවිළි වන බව ද කියා සිටියේය. ‘කවුද හිතුවෙ මල්ලි මෙහෙම වෙයි කියල. යුද්දෙ නම් ඉවර උණා තමයි, හැබැයි හතර දෙනාට නොමැරී ඉන්න මාසෙකට තිස් දාහක්වත් ඕනෙ. ඒත් කාල නෙවෙයි ලෙව කාල‘ යැයි ඔහු කියා සිටියේය.

යටකී දෙවැනි සිද්ධිය සිදු වන්නේ අද දහවල්ය. මින් පෙර සමාජවාදී පක්ෂයක පෝස්ටර් ඇලවීමේ සිට කැන්වසින් යාම හා සභාවට ඡන්දය ඉල්ලීම දක්වා දැඩි කැපවීමෙන් හා වෙහෙසින් වැඩ කරමින් සිටි ජවිපෙ කාඩරයකු නිවෙස කරා යමින් සිටිනා අතර වාරයේ, මා ගමන් ගත් බයිසිකලයට අත දමා ඔහු නග්ගවා ගැනීමෙන් පසු කතාවට වැටිණි. ඔහු ආ-ගිය තොරතුරු හා විස්තර අසා විශ්වවිද්‍යාලයේ විස්තර අසා සිටියේය. ‘බලන්න නේද පුතා, මාස තුනක් අහකටම ගියා. කිසි එකෙක් ගාණකටවත් ගත්තෙ නෑනෙ. උන්ගෙ උන්නම් රටවල්වල යවල උගන්නයි. සල්ලි තියන පංතිය ප්‍රයිවට් හරි කර ගනියි. ඒත්, මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො අනාථයිනෙ. දැන් බලන්නකො තුන්වේල කාල ඇදල ඉන්න කීයක් හම්බ කරත් බෑණෙ. රටේ නීතියක් කියල ජාමයක් නෑ.‘ යැයි ඔහු තවදුරටත් දිගින් දිගටම කියමින් සිටියේය.

මෙම සිද්ධීන් දෙකට අදාල පුද්ගලයින් දෙදෙනා නියැදියක් කර ගනිමින්, පොදු සමාජයේ බහුතරය අකමැති අවලෝකනයක් සිදු කිරීමට කල්පනා කළෙමි. මෙය බොහෝ දෙනෙකුට අමිහිරි යැයි කියා සිටින්නේ, තමන් විසින් වැරදිසහගත දෙයක් කරනු ලැබ ඇති බවට හෝ වැරදි තීරණයක් ගෙන ඇති බවට පිළිගැනීමට පුද්ගලයින් තුළ ඇති නොකමැත්ත නිසාය. එසේම, අද වන විට ජයග්‍රහණයේ සුජාත භාවය තමා සන්තක කර ගැනීමට වෙර දරන පිරිස හා පරාජයන්ගේ අවජාතකභාවය මනාව දැක බලා ගත හැකිය. යුද්ධය පහර දී අවසන් කිරීම යන ආඛ්‍යානයේදී රටේ සෑම පුද්ගලයකුම එහි ගෞරවය හෝ කීර්තිය තමා සතු කර ගැනීමට හෝ තම පිළ සතු කර ගැනීමට යත්න දරයි. නමුත්, අධිකරණයේ ස්වාධීන්ත්වය නොමැති වීම, පොලිස් රාජ්‍යයක් බිහි වීමට අවශ්‍ය වටපිටාව සැකසීම, වෛද්‍යවරයෙකු වී නිදාගන්නා දරුවන් පශු වෛද්‍යවරුන් වී අවදිවන විට මෙන්ම පෙරවරු 9.00 ට ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අළුයම 5.00 සාකච්ඡා කරන විට නෑසුනා සේ බලා සිටියි. එසේම, ඒවාහි වරද තවකෙක් වෙත හෝ අනෙකා වෙත පටවා අත පිස දමා ගැනීමට යත්න දරයි.

අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ද පෙරටුගාමීන් ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව පෙළපාලි යයි. ප්‍රජාතාන්ත්‍රවාදය - යහපාලනය - අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද මොර දෙයි. ඒ සෑම විටෙකම රෙජීමයේ පුටු අත්හැර යන්නැයි රෙජීමයට තර්ජනය කර සිටියි. නමුත්, මෙම රෙජීමය මෙතරම් හිතුවක්කාරී හා ආධිප්‍යයකින් යුතු රෙජීමයක් බවට පත් කිරීමේ ‘කැන්වසින් යාම‘ හෝ කඩේ යාම සිදු කරනු ලැබූයේ ද තමන් විසින්ම බැව් ඔවුන් කියා නොසිටියි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් චන්ද්‍රිකා වැඩි සහායක් ලබා නොදෙනා විට ජනාධිපති චන්ද්‍රිකාගේ පරම බලය පවා හමුවේ ජවිපේ ඊට එරෙහි අපේක්ෂකයා වෙනුවෙන් කඩේ ගියේය. පසුව, ඔහු ඔසවාන පැමිණ අසුන් තුළ වාඩි කරනු ලැබුයේය. දැන් දැන් රෙජීමය පට්ට ගසමින් සිටින වේගයෙන්ම හා ධෛර්යයෙන්ම රෙජීමය සිංහාරූඪ කිරීම වෙනුවෙන් කටයුතු කළේය. 

අද වන විට රෙජීමයට එරෙහිව සරසවි සිසුන් පෙළගස්වන සංජීව බණ්ඩාරලා එවකට චරිත නොවූව ද අද වන විටත් සංජීවලා පෙළගස්වමින් සිටින දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත හා පුබුදු ජයගොඩ වැන්නන් ද නලින්ද ජයතිස්ස වැන්නවුන් ද එදා සරසවි සිසුන් ලවා නගර ගම් පුරා පෝස්ටර් ඇලවෙව්වේ ද මේ රෙජීමය වෙනුවෙන්මය. දරු මුණුපුරන් වෙනුවෙන් කිරි පැකට් එකක් මිලදී ගෙනැවිත් දීමට අසමත්ව පරාජිත හා මූසල මනසින් යුක්තව හූල්ලමින් සිටින මැදිවිය පිරිමින් හා ගැහැණුන්, තරුණ තරුණියන් ලෙස එදා රෙජීමය වෙනුවෙන් කැන්වසින් ගියේය. කන්න තියන බත් පත කැප කරමින් සරම-බැණියම අදින සංවේදී රෙජීමයක් වෙනුවෙන් කැට හෙල්ලුවේය. තවත් බොහෝ දේ අඩු වැඩි වශයෙන් කරනු ලැබීය. නමුත්, එදා එසේ කර සිටි ඔවුන් අද වන විට රෙජීමයේ පරම සතුරන් වී සිටියි. ඔවුන්ට ද රෙජීමය තරම් සතුරෙකු වෙනත් නැති වී තිබේ. 

සරලවම කියන්නේ නම්, අද වන විට රෙජීමය යම් වැරදි දිශානතියක ගමන් කරන්නේ නම් හෝ වැරදි සහගත දේ කරමින් සිටින්නේ නම්, එහි වරද අදාල දේ අද වන විට කරමින් සිටි රෙජීමය ඉදිරියෙන් සේම මේ අයුරින් හිතුවක්කාර කරනු ලදුව රෙජීමය නිර්මාණය කිරීමේ දැඩි උත්සාහයක නිරත වූ හා එය සාර්ථක කරගත් වම්මු හා දේශප්‍රේමීන්ගේ නම ඉදිරියෙන් ද ලියැවේ. අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදීමේ වරද රෙජීමයේ වන අතර, අධ්‍යාපනය පිළිබද වැඩි හැගීමක් නැති රෙජීමයක් පත් කිරීම, රෙජීමය පත් කළ හා ඒ වෙනුවෙන් කඩේ ගිය අයගේ වරදකි. සෞඛ්‍යය, නීතිය හා යහපාලනය, ආර්ථිකය, ණය. මූලික හෝ මානව අයිතිවාසිකම් ආදිය පිළිබදව ද එසේමය. දඩාවතේ යන බල්ලකු නාවා පිස දමා කෑම බීම දී ගේ තුළ දමා ගත් පසු ඌ, නිවැසියන් සියලු දෙනා සපා කමින් සිටින විට, එහි වරද තනිව බල්ලා මත පටවා ඔහුට ගසා-මරා දැමීම පමණක් අසාධාරණ වේ. බල්ලා විසින් කරනු ලබන වරදවලට, ඌ ගෙතුළට වද්දා ගත් මිනිසා ද වන්දි ගෙවිය යුතු වේ.

 මෙය රෙජීමයේ වරදක් නොව. මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ තෙල් වලට රැවටී සුභ අනාගතයක් වෙනුවෙන්, සෑම දිනකම පාහේ වැරදි තේරීම් සමග හිට ගන්නා වම්මුන්ගේ හා දේශප්‍රේමීන්ගේ වරදකි. රෙජීමයට නොව, වෛර කළ යුත්තේ වැරදි දේ ජනගත කරමින් වැරදි දේ වෙනුවෙන් ජනතාව පෙළගස්වනු ලැබූ පිළටය. 2004 දී පටන් ගත් වැරදීම අඛණ්ඪවම 2005 දී ද එසේ විය. 2010 දී අනූ නවයෙන් මගහැරිණි. මෙයින් අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ යළි පත් වීම අනුමත කරන බව හෝ නැති බව නොවේ. සරත් ෆොන්සේකා පත් වීම අනුමත නොකරන බව පමණි. (සාමයට පක්ෂ වූ පමණින්, යුධ විරෝධී පෙළපාලි යා යුතු නොවේ යන තෙරේසා මව් තුමියගේ කියමන හා ගපා ගන්න.) කුම්බලා මාළු කෑ පූසන් යළි යළිත් හමු වීම වලකාලිය නොහැක. ඔවුන් වෙනුවෙන් කීමට ඇත්තේ, ඔබේ හිතුවක්කාර තේරීම නිසා අද විදවන්නේ ඔබ පමණක් නොවේ. ඒ තේරීම වැරදි බව පුණ පුණා කියා සිටි පිරිස් ද ඉන් විදවමින් සිටියි. 

1 comment:

Ksharapani said...

හම්බෙන හැම එකාම බනින්නේ ආණ්ඩුවටය. නමුත් ආයේ චන්දය දෙන්නේට ආණ්ඩුවටමය. කවුරුන් කාව රවට්ටනවාද කීමට දන්නේ නැත.....