Tuesday, October 30, 2012

පාන් රාත්තල 62 යි. දැන්වත් සනීප ද

මින් සති කිහිපයකට පෙර අරක්කු, බියර් හා සිගරට් වල මිළ ඉහළ දැමීමට රෙජීමය කටයුතු කළේය. මෙම තීරණය මාධ්‍ය ඔස්සේ දැනුම් දීමත් සමග පන්සල් වල හාමුදුරුවරුන් ද, නිවෙස්වල භාර්යාවන් ද සමාජයේ අමද්‍යප පිරිමින් ද වශයෙන් දහස් ගණනක් දෙනා ‘හොද වැඩේ‘ කියමින් හුරේ දමන්නට විය. ඔහුන් විසින් එසේ කර සිටීමට බලපෑ හේතූන් වූයේ, තමන් අරක්කු හා සිගරට් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වමින් සිටින බවට සමාජයට සැල කිරීමට හෝ ඇත්ත වශයෙන්ම කිසිදු වෙනත් අදහසක් නොමැතිව අරක්කු හා සිගරට් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය පක්ෂපාතාතීත්වය පෙන්වීමටය. නමුත්, අද වන විට මේ තත්ත්වය යම් දුරකට වෙනස්ව තිබේ. අන්තවාදී රෙජීම පාක්ෂිකයින් හැර සෙසු සියලු දෙනාම දන්නා පරිදි පාන් රාත්තලේ සිටම විවිධ දේවල්හි මිළ සීරුවෙන් වැඩි වෙමින් තිබේ. අයවැය ඉදිරිපත් කිරීමටත් පෙරම මෙවැනි සියුම් මිළ ඉහළ දැමීම් කිහිපයක් සිදුවීම හා ඒ ක්‍රියාන්විතය අරක්කු හා සිගරට් වලින් ආරම්භ වීම සම්බන්ධයෙන් කියාවා ගත යුතු යැයි කල්පනා කළෙමි.

ආණ්ඩුවක් විසින් භාණ්ඩ හා සේවාවන්හි මිළ වැඩි කිරීමේදී සාමාන්‍ය භාවිත කරන උපක්‍රමය වන්නේ මෙවැනි දේය. එක්කෝ, සමාජයේ බොහෝ දෙනාගේ හිත දිනා ගත හැකි භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ දමයි. මේ සදහා ප්‍රකටම දුව්‍ය වන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍යයයි. දෙවනුව, එම මිළ වැඩි කිරීම් සාධාරණීකරණය කිරීමට හා ප්‍රශංසා කිරීමට තරම් සාධාරණ කාලයක් පොදු සමාජයට ලබා දෙයි. ඒම කාලය ගත වීමේදී, අරක්කු හා සිගරට් වල මිළ වැඩි කිරීම ඉතාම සාධාරණ හා යුක්ති සහගත වන බවත්, රුපියල් දෙකකින් හෝ තුනකින් නොව ඊට වඩා වැඩි ගණනකින් වුව ද මිළ වැඩි කිරීමේ කිසිදු අසාධාරණයක් නැතැයි  පොදු සමාජය විසින් මෙම මිළ ඉහළ දැමීම පට්ට ගැසීමට පටන් ගණියි.

‘පංච තන්ත්‍රය‘ පොත රචනා කළ විෂ්ණු ශර්මන් විසින් එහි කදිම වැකියක් ලියා ඇත. ‘අසල්වැසියාගේ පැළ ගිණිගන්නා විට, ඔබේ පැළට ද අවධාමක් ඇති යැයි සිතන්න‘ යැයි ඔහු ලියා ඇත. අසල්වැසියා මිතුරකු හෝ සතුරෙකු වේවා, ඔහුගේ නිවෙස ගිණිගණිමින් තිබෙන මොහොතක ‘අසාධාරණ සල්ලි වලින් හදාපු ගෙහල්‘, ‘ඔහොම වෙලා මදි‘, ‘හොද වැඩේ‘ ආදී වශයෙන් කියමින් අසල්වැසියාගේ නිවෙස ගිණි ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය හෝ කැමැත්ත දක්වමින් සිටින විටදී, තමාගේ නිවෙසට ද එම ගිණි දැල් පැමිණෙන තුරු දැනෙන්නෙ ම නැත. අද වන විට සෙසු භාණ්ඩ හා සේවාවන්ගේ මිළ ඉහළ යෑම සම්බන්ධයෙන් ද මෙරට පුරවැසියන්ට අත්ව ඇත්තේ එවැනි ඉරණමකි. සිගරට් හා අරක්කු වෙනුවෙන් හුරේ දමමින් සිටින විටකදී, පාන් පිටි කිලෝවක මිළ ඉහළ යන තුරුම නොදැනුනේය. පාන් පිටි මිළ ඉහළ යාම පිළිබද අදහා ගැනීමත් පෙරම, පොදු සමාජයේ ලාභදායීම ආහාරයක් වන පාන් ගෙඩියේ ද මිළ ඉහළ ගියේය. 

නමුත්, මෙවැනි තත්ත්වයක් තුළ වුව ද රෙජීමයකට ජනතාවගේ ඇස් වසාන සිටීමට හැකි උපක්‍රමයන් ඇත. එකක් ආගම හෝ ජාතිය පිළිබද හැගීම උද්දීපනය කිරීමයි. අද වන විට නොනිළ වශයෙන් එය සිදු වෙමින් තිබේ. සියලු ගැටළු හා අර්බුද වසා දැමීම සදහා ජාත්‍යාලය හා ආගම් ආලය ජනගත කිරීම ප්‍රමාණවත් වේ. එසේත්, නැතිනම් විජාතික බලවේගයක් හෝ පරණ පම්පෝරියක් යළි මිනී වළකින් ගොඩ දමා ගෙන විකුණාගෙන ජීවත් විය හැකිය. අත්‍යාවශ්‍ය භාණ්ඩ හෝ සේවාවන්ගේ මිළ නිරන්තරයෙන් ඉහළ ගිය ද මෙවැනි අවිචාරශීලී පොදු සමාජයක් එකම මාතෘකා කිහිපයකින් පමණක් වුව ද අන්දවාගෙන සිටීමේ හැකියාවක් 1948 ට පෙර සිටම ද ඉන් පසුව බහුලව ද 77 න් පසු අති බහුලව ද 2008 න් පසු සම්පූර්ණයෙන්ම ද වශයෙන් දක්ට ඇත.

අරක්කු හා සිගරට් මිළ වැඩි කරන විට අමද්‍යපයන්, හාමුදුරුවරුන් හා කාන්තාවන් ඊට දැඩිව පක්ෂපාතීත්වය දක්වයි. ඩීසල් හෝ පෙට්‍රල් මිළ වැඩි කරන විට ‘අපිට වාහන නෑනෙ. ඕන දෙයක් කරපුවාවෙ‘ ය යන හැගීමෙන් ජීවත් වන සමාජ කුහකයින්ගේ පක්ෂපතාතීත්වය හිමි වෙයි. වාහන සදහා බදු වැඩි කරන විට ද එසේමය. ඊර්ෂ්‍යාව හා කුහකත්වය තුළින් ඊට අදාල පක්ෂපාතීත්වය නිර්මාණය වෙයි. වී කිලෝවක ගැණුම් මිළ ශත 50 කින් ද හාල් කිලෝවක විකුණුම් මිළ රුපියල් 5 කින් පමණ වැඩි කර ගොවියන්ගේ ද හිත දිනා ගනියි. දේශප්‍රේමී කතා කියමින් දේශප්‍රේමීන්ගේ ද පන්සල් හා පල්ලි වෙනුවෙන් කොඩි පූජා කරමින් හා විවෘත කිරීම් වෙනුවෙන් පණිවිඩ යවමින් ඔවුන්ගේ ද සිරකරුවන්ට අහේතුක සමාවන් ලබා දෙමින් ඔවුන්ගේ ද විපක්ෂයට කෑම බීම දී ඔවුන්ගේ ද හිත දිනා ගනමින් සිටියි. එවැනි වට පිටාවක් නිර්මාණය කර අවසානයේදී, හාල් කිලෝව ද ළූණු ලුණු පොල් අල ආදී සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යන්ගේම ද මිළ ඉහළ දමයි.

ඇතැමුන් රෙජීමය කෙරෙහි අප්‍රසාදය හෝ රෙජීමයේ වැරදි සහගත සේ සම්බන්ධයෙන් නොකමැත්ත නොදක්වන්නේ විවිධ වරදාන හා වරප්‍රසාදයන් නිසාය. ‘අපේ නංගිට රස්සාව දුන්නෙ ප්‍රේමදාස මහත්යනෙ‘ යැයි කියමින්, යටකී රෙජීමයේ සෑම හොද හෝ එසේ නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන්ම දිවි හිමියෙන් සිය පක්ෂපාතීත්වය දක්වයි. පෙර දිනෙක ලංකාවේ ප්‍රකට හා පළමු පෙළේ ව්‍යාපාරිකයෙකු මේ දිනවල ව්‍යාපාර සදහා කිසිදු සුදුසු වාතාවරණයක් හෝ ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණ වී නොමැති බව ද විශ්වාසයක් නොමැති බව ද කියා සිටියේය. නමුත්, ඔහු අවසානයේදී කියා සිටියේ, ‘මොනව වුණත්, නිදහසේ නාගදීපෙත් වැදගත්තැකිනෙ‘ යැයි කියාය. තම තමන් කැමති විෂයන් මගින් රෙජීමය තමන් අමන්දානන්දයට පත් කර ඇති නිසා, එක්කෝ සෙසු දේවල් නොපෙණේ. නැතිනම්, නොදැක්කා ලෙස සිටීමට සිදු වේ.

2 comments:

Ravin said...

මචං භාරත,

උඹ අයිති කටුසු වර්ගලටද නැත්නම් වෙන මොකක් හරි අමුතු වර්ගලකටද කියල මේ හිතා ගන්න බැරුව ඉන්නෙ.

ඈ බං. මේ බ්ලොග් එක ලියබ උඹමද අර යුක්ති ඒකධීර කියල හිපාටුව එක්ක,‘සිසු හැරවුම් ව්‍යාපාරය‘ කියල අටවගත්තු පඩංගුවෙ ජාතික සංවිධායකද මොකද්ද එකා විදියට හිටියෙ. කොහොමද බං, උඹ ඔය තරම් දිව ගොඩක ගැරඩියෙක් විදියට ඉන්නෙ.

අර හිපාටුව ලෙක්චර්ස්ලට විරුද්ධව බඩු දාන්න කතා කරනකොට උගෙ පඩංගුවෙම ලැගල හිටපු තෝ ෆේස්බුක් එකේ 6% GDP ෆ්‍රොපයිල් පික් එක දාගෙන හිටියෙ ඇඳුම් ඇදලද බං. උඹල වගේ ජඩයො තමයි මේ රට කන්නෙ අවස්තාවාදී පරයො

Thela | තෙලා said...

උඹට සාපේක්ෂව එහෙම වෙන්න පුළුවන්. සමාජවාදී බොල්ෂවික් දේශපාලන පක්ෂයක් තුළවත් ඒකීය අදහසක් නැති සංක්‍රාන්තියක අපි ඉන්නෙ. රෙජීමය වෙනස් කරන්න ඕනෙ, රෙජීමය තුළ ඉදගෙන. සියයට හයට මම පෞද්ගලිකව එකගයි. මම කොහෙවත් ඒකට විරුද්ධ වෙලා නෑ. යුක්තිට වෙනම පෞද්ගලික අදහසක් ඇති. මේ වන විට එහෙම සංවිධානයක කිසිම තනතුරක් මම දරන්නෙ නෑ. කාලයක් විජිතලා, අනුරලා චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ඇමතිලා. හැබැයි තවත් කාලෙකදි ඒ ආණ්ඩුවෙම,විපක්ෂෙ. හිතන විදිය වෙනස් කර ගනිං මචං.