Saturday, April 7, 2012

ජිනීවා අර්බුදය හෙවත් “මට අහිමි රට මකබෑවියං“ දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවරය නිමා වී දින කිහිපයක් ගෙවී ගියේය. එහිදී, ශ්‍රී ලංකාව සම්බන්ධ කවර වර්ගයේ හෝ යෝජනාවක්, ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් වූ පුවත කිරිසප්පයාගේ සිට වයෝවෘද්ධ මහල්ලා දක්වා දන්නා පොදු පුවතක් බවට පත්ව තිබේ. ලියුම්කරුවා විසින්, උක්ත අඛ්‍යානය පිළිබද සාකච්ඡා කිරීම සදහා මේ අවස්ථාව තෝරා ගනු ලබන්නේ, නිදා සිට අවදි වූයේ මේ මොහොතේ නිසා නොවන බව පළමුව සදහන් කළ යුතුය. පසුගිය මාසයකට ආසන්න කාලයක්, ජිනීවා සිද්ධිය පිළිබද පුළුල් හා සමාජ කියවීමක් සිදු කිරීමට කාලය වෙහෙසුවේය. එසේම, අදාල ප්‍රයත්නය හරහා බොහෝ අවධාරණය කළ යුතු වන කරුණු පිළිබද හේතු පාඨයන් මතුවන අයුරු දක්නට ලැබිණි. මෙම තීරණාත්මක කියවීමේදී ලියුම්කරුවා විසින් අපේක්ෂා කර සිටින්නේ, ජිනීවා අර්බුදය හමුවේ ඇති කරුණු කිහිපයක් පිළිබද වන ගැටලු කිහිපයක් ලිහා ගැනීමටය.

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවේදී පරාජයට පත් වූයේ, කරුණු කිහිපයක් හේතුවෙනි. මෙහි ප්‍රධානතම සාධකය වන්නේ, ශ්‍රී ලංකා විසින් තෝරාගෙන ඇති කදවුරේ ඇති අඩු ශක්තිමත්භාවයයි. එසේම, ඇතැම් විට අප විසින්, අපේ කදවුරේ සටන් සගයින් යැයි විශ්වාස කළ රටවල් පවා අප හමුවේ ද්‍රෝහීන් වී, ජුදාස්ගේ භූමිකාව රගපෑවේය. ඉන්දියාව ඒ සදහා ඇති කදිම හා වඩාත්ම සුදුසු ජනප්‍රිය උදාහරණයයි. එසේම, චීනය හා රුසියාව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තීරණය කර සිටින්නේ, ලෝකයේ බලවන්තභාවය පිළිබද අනාගත ගැටුමකදී ශ්‍රී ලංකාව යනු යුධ ස්ථානගත කිරීමක් සදහා වඩාත්ම සුදුසු හා මර්මස්ථානයක් බවට විශ්වාස කරමින් චීනය හා රුසියාව අප සමග එදා සිටම පවත්වාගෙන පැමිණෙන හිතෛශී භාවය හේතුවෙනි. ඇමරිකාව එවැනි අවස්ථාවකදී අපට එරෙහි වන්නේ, චීනයට හා රුසියාවට පක්ෂපාත ශ්‍රී ලංකාව අනාගත යුද්ධයකදී. ඇමරිකාව වෙනුවෙන් කදවුරු තැනීමට භාවිත කිරීමට ඇති නොහැකියාව නිසාය. එනම්, අනාගතයේ සිදුවන බලවන්තභාවය සම්බන්ධ ගැටළුවකදී ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් ඇති ඵලක් නැති නිසාය. කියුබාව ශ්‍රී ලංකාව වෙත සහාය දක්වන්නේ, එකක් අප සමාජවාදී රාජ්‍යයක්  බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව පිළිගන්නා නිසා මෙන්ම, ඇමරිකාව සමග කියුබාවට පවත්නා පෞද්ගලික අර්බුදය හේතුවෙනි. ඇමරිකාව විසින් ගෙන එනු ලබන ඕනෑම යෝජනාවකට විරුද්ධ වන ප්‍රතිපත්තියේ සිටින කියුබාව අප වෙත සහාය දැක්වීය. මාලදිවයින හා බංග්ලාදේශය අප වෙත සහාය දක්වන්නේ එකිනෙකට වෙනස් කරුණු දෙකක් හේතුවෙනි. බංග්ලාදේශය හා ඉන්දියාව අතර ඇති දිය යට ගින්දර සටන හේතුවෙන් ඔවුන් ද මාලදිවයිනට ආසන්නයේ ඇති, “එකම පොර රාජ්‍යය“ ශ්‍රී ලංකාව වන හෙයින් ඔවුන් ද අප වෙත සහාය දැක්වූයේ යැයි ලියුම්කරුවා කල්පනා කරයි.

තානාපති සබදතාවක් හෝ නොමැති උගන්ඩාව වැනි රාජ්‍යයන්, ඔවුන්ගේ යම් ප්‍රතිපත්තිමය තීරනයක් නිසා යෝජනාවට විරුද්ධ වූ බව කියා සිටියේය. මීට අමතරව, චීනය හා රුසියාව ශ්‍රී ලංකාවට පක්ෂග්‍රාහී වන විට, ඔවුන්ගේ ආශ්‍රය පරිවාර රාජ්‍යයන් ද ඒ අනුව යමින් යෝජනාවට විරුද්ධ වූයේය. මෙහිදී සාකච්ඡා කිරීමේ අභිප්‍රාය වන්නේ මෙය නොවේ. නමුත්, ශ්‍රී ලංකා විදේශ සේවයේ ඇති හපන්කමක් විසින් අමුතුවෙන් ලැබුණු සහයෝගයක් නොමැති බව අප අකමැත්තෙන් වුව ද පිළිගත යුතුය. 

කෙසේ වුව ද, දැන් යෝජනාව සම්මත වී, කැළඹී තිබූ දිය සෙමින් සෙමින් සමනය වෙමින් තිබේ. තවත් විටෙක මෙය යළි කැළඹෙනු නියතය. නමුත්, දිය නිසොල්මන් වෙත්ම, එහි ගැඹුර ද වැඩි වෙමින් පවත්නා  බව අමතක නොකළ යුතුය.

මෙහි අරමුණ වන්නේ, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මෙරට වැසියන් විසින් ගත යුතු වාචික හා ප්‍රකාහනමය ස්තාවරය පිළිබද සාකච්ඡා කිරීමයි. ආණ්ඩුව කාගේ හෝ වේවා, රාජ්‍යයේ හිමිකාරීත්වය - එහි පුරවැසියන් ලෙස අප වෙත පැවරී ඇත. එහෙයින්, මෙම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම හෝ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම අප උර මත පැවරී ඇති වගකීමකි. ආණ්ඩුව සමග කිසියම් කෝන්තරයක් ඇති නම්, එය විසදා ගැනීම පිණිස ආණ්ඩුබලය හුවමාරු කර ගැනීම සදහා වන මැතිවරණයකට හෝ කුමන්ත්‍රණයකට යාමේ වරදක් නැත. ඒ සදහා යෝග්‍ය වැඩපිළිවෙළ ද එයයි. නමුත්, මොන කෙළිසෙල්ලම සිදු කිරීමට හෝ රාජ්‍යය ආරක්ෂා කර ගත යුතු වේ. එහෙයින්, ආණ්ඩුවට පක්ෂපාතී හෝ විරෝධී හෝ වේවා සියලු දෙනා - රාජ්‍යෙය් සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. 

මෙවැනි තත්ත්වයක් තුළ වුව ද, ඇතැම් හු ජිනීවා යෝජනාව සම්මත වීම මාරම ජයග්‍රහණයක් ලෙස විග්‍රහ කරයි. එතුළින්, රාජ්‍යයට කිසිදු හානියක් සිදු නොවන බවත් හානි වන්නේ ආණ්ඩුවට පමණක් බවත් කියා සිටියි. මෑත ඉතිහාසය දෙස බැලූ කල්හි, එවැනි ආණ්ඩු පමණක් පෙරළී ගිය නමුදු අදාල රාජ්‍යය සස්‍රීකව ශේෂ වූ කිසිදු රාජ්‍යයක් නොමැත. සිම්බාබ්වේ, ලිබියාව, සිරියාව මේ සදහා දන්නා පොදු උදාහරණ වේ. එහෙයින්, රාජ්‍යෙය් පැවැත්ම කෙරෙහි, පවත්නා ආණ්ඩුවේ ශක්තිමත් භාවය මෙන්ම, අභ්‍යන්තර නොවන වෙනත් බලවේගයන්ගෙන් ආරක්ෂා වී ආණ්ඩුව පවත්වාගෙන යාම යන සාධකයන් දෙකම වැදගත් වේ. එය අප විසින් පිළිගත යුතුය. 


එසේනම්, ජිනීවා යෝජනාව හෝ වෙනත් යෝජනාවක් මගින්, අභ්‍යන්තර ආණ්ඩුව භාහිර බලපෑමක් මගින් විනාශ කර දැමීමට සහාය දැක්වීම යනු, අදාල රාජ්‍යය විනාශ කර දැමීමට දක්වනු ලබන සහයෝගයක් හා සමාන බව පිලිගත යුතු වේ. එනම්, පොත්තට හානි නොකොට, මදය විකිය නොහැකි බව පිළිගත යුතුය. මෙවැනි ආකාරයේ යෝජනාවක් මගින්, ජාත්‍යන්තර මැදිහත් වීමකින් ආණ්ඩුවක් විනාශ කිරීමට සහාය දක්වන හෝ ප්‍රකාශයකින් හෝ එකගතාව දක්වන පුද්ගලයින් ඒ කෙරෙහි යොමු කරන හා පොළඹවන කරුණු කිහිපයක් ඇත. 

මෙහිදී ලියුම්කරුවා විසින් හදුනාගත් කරුණු මෙසේය. තමන්ගේ ස්ව මැදිහත් වීමෙන් හෝ ස්ව මෙහෙයවීමෙන් ආණ්ඩුව පෙරළීමට නොහැකි බව පිළිගන්නා ලක්ෂ්මන් කිරිඇල්ල වැන්නවුන්, අනුන් ලවා ආණ්ඩුව පෙරළවාගැනීමට උත්සාහ දරයි. කවදා හෝ ආණ්ඩුවක් පිහිටවිය නොහැකි බව විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ මේ පිළිබද විශ්වාසය තබයි. නමුත්, කවදා හෝ මෙරට ආණ්ඩුවක් පිහිටවිය හැකි බව විශ්වාස කරන සජිත් ප්‍රේමදාස, ටිල්වින් සිල්වා හෝ සේනාධීර ගුණතිලක මෙම යෝජනාව සම්බන්ධයෙන් දක්වන්නේ අකමැත්තක් හා විරෝධයකි. මේ පුද්ගලයින්ට ආණ්ඩු පිහිටවිය හාකි හෝ නොහැකි වුවත්, එසේ විශ්වාස කරන නිසා රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ වටිනාකම දනියි. යෝජනාව මගින් ආණ්ඩුව දඩු කදේ ගැසිය යුතු බව විශ්වාස කරන පුද්ගයින්ගේ දෙවැනි කරුණ ලෙස ලියුම්කරුවා හදුනාගන්නේ, ඔවුන්ට ආන්ඩු පිහිටවිය නොහැකි නම් හෝ පාලනය කිරීමට නොහැකි නම්, වෙනත් කිසිවෙකුට හෝ ආණ්ඩු පිහිටවීමේ හැකියාවක් පැවතිය නොහැක යන ආත්මාර්ථකාමී අදහසේ සිටින පුද්ගලයින් ය. සරලවම කියන්නේ නම්, මට බැරිනම් වෙන මොකෙක්ටවත් හැකි විය නොහැක යන තිර අධිටනේ මොවුන් සිටියි.

ආණ්ඩුව මෙහෙයවන්නේ කවුරුන් වුව ද මේ රට තුළ ජීවත්වන සියලු දෙනා වෙනුවෙන් මේ රට ආරක්ෂා කර ගැනීමේ අංශු මාත්‍රයක හෝ වකගීමක් සියලු පුරවැසියන්ට පැවරී ඇති බව අවසන ලියමි. එය වචනයකින් හෝ ඉටු කළ යුතුය. 

1 comment:

Anonymous said...

ජනාධිපති තුමා විසින් පත්කළ කොමිසමක නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස විදේශ රටවල් විසින් ඉල්ලා සිටීමේ ඇති වරද කුමක්ද? අනිත් අතට වර්තමානයේ සිදුවන පැහැරගැනීම් වැනි සිදුවීම් නිසා විදේශ මැදිහත් වීම් දෙතුන් ගුණයකින් වැඩිවීමට ඉඩ ඇති බව බලදාරීන් නොසිතන්නේ මන්දැයි නොවැටහේ.සැබවින්ම කුමන්ත්‍රණය සිදුවන්නේ තම නිවස තුලම බව වටහා නොගැනීම පුදුමයකි.