Wednesday, February 29, 2012

ස්වභාවික සම්පත් විනාශ වීම සම්බන්ධ හැදෑරීමක්


ස්වාභාවිකව පිහිටන ද්‍රව්‍ය, ශක්ති ස්වරූප සහ ජීවීන් ස්වභාවික සම්පත් ලෙස සලකනු ලැබේ. වාතය, ජලය, භූමිය, සූර්ය ශක්තිය, වෘක්ෂලතා, සත්වයෝ හා ඛණිජ ද්‍රව්‍ය ස්වභාවික සම්පත් සදහා උදාහරණ වේ.
ලෝකය තුළ ඇති ස්වභාවික සම්පත් ‘සජීව සම්පත්‘ හා ‘අජීව සම්පත්‘ වශයෙන් වර්ග දෙකකට අයත් වේ. ස්වභාවික තත්ත්ව යටතේ සජීව සම්පත් නැවත නැවත ප්‍රතිජනනය වේ. පාරිභෝජනයට ලක් වුව ද එක්තරා ප්‍රමාණයක් දක්වා ප්‍රතිජනනය වීමේ හැකියාවක් මෙම සම්පත් වලට ඇත. පරිභෝජන වේගය, ප්‍රතිජනන වේගය ඉක්මවා නොයන්නේ නම් එම සම්පත් නැවත අලුත් කළ හැකි සම්පත් ලෙස හදුවන්වනු ලබයි. කෙසේ නමුත්, පරිභෝජන වේගය, ප්‍රතිජනන වේගය ඉක්මවා යන්නේ නම් නැවත අලුත් කළ හැකි සම්පතක් වුව ද අලුත් කළ නොහැකි තත්ත්වයට පත් වේ.
ලෝකයේ අජීව සම්පත් කාණ්ඩ තුනකට වර්ග කළ හැතිය. ඇතැම් සම්පත් නිත්‍ය සම්පත් වේ. සූර්ය ශක්තිය, පිරිසිදු වාතය, පිරිසිදු ජලය ආදිය අලුත් කළ හැකි සම්පත් වේ. ප්‍රමාණයෙන් පිරිමිත වන තුන්වැනි කාණ්ඩය, වරක් භාවිත කිරීමෙන් පසු මිනිසාට ප්‍රයෝජනවත් වන කාල සීමාවක් තුළදී නැවත නොසෑදේ. මේවා අලුත් කළ නොහැකි සම්පත් ලෙස හැදින්වේ. පොසිල ඉන්ධන හා ඛණිජ ද්‍රව්‍ය අලුත් කළ නොහැකි කාණ්ඩයට ඇතුළත් වන අතර එම වර්ගයට උදාහරණ වේ.
ස්වභාවික සම්පත්වල පුළුල් වර්ගීකරණයක් පහත වගුවෙන් දක්වා තිබේ.

වගුව 1.0


ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 29% වනාන්තර වලින් වැසී පවතියි. මෙම වනාන්තර මානව වර්ගයාගේත් වෙනත් ජීවීන්ගේත් අවශ්‍යතා පිරිමැසීමට මෙන්ම ලෝක පරිසරයේ ස්වභාවය හා ගුණාත්මක බව රැක ගැණීමටත් විවිධ ආකාරයෙන් දායක වේ. මුළු මිනිස් ඉතිහාසය තුළම මානව වර්ගයාට, වනාන්තර මගින් ද්‍රව්‍යයන් හා අවශ්‍යතා ගණනාවක් සපයා දී තිබේ. ආරම්භයේදීම වනාන්තරවල තිබූ කෝටු කැබලි ඉන්ධන වශයෙනුත්, ගස්වන අතු සෙවන දෙන ස්තාන ගොඩ නගා ගැනීම සදහාත් භාවිත කෙරිණි. ඵල වර්ග, අල වර්ග හා පත්‍ර මගින් ආහාර, ඖෂධ හා පශු ආහාර සපයන ලදී. වනාන්තර පද්ධති තුළ සිටි සතුන් ද අතීතයේදී මූලික ආහාර ප්‍රභවයන් ලෙස ඉතා වැදගත් වූහ. ශිෂ්ඨාචාරය දියුණු වීමත් සමග හා නාගරීකරණය වීමත් සමගම මෙම වනාන්තර සීඝ්‍රෙයන් ක්ෂය වීම දක්නට ලැබේ.
තෙත් බිම් කොටසට අයත් කඩොලාන හා ජලාශ්‍රිත ශාක මිනිසා විසින් බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබන සම්පත් වේ. මේවා වැදගත් මත්ස්‍ය විශේෂ ගණනාවක ද, ඉස්සන්, කකුළුවන් වැනි කවච මත්ස්‍යයන් විශේෂ ගණනාවක ද පැටවුන් ඇති දැඩි වන ස්තානයන් ලෙස හැදින්විය හැක. ඒ අර්ථයෙන් බලන විට ලෝකයේ බොහෝ ප්‍රදේශවල වෙරළබඩ ධිවර කර්මාන්තය සාර්ථකව හා ස්තාවරව පවත්වාගෙන යාම සදහා කඩොලාන මෙන්ම ජලාශ්‍රිත ශාක හා වගුරු බිම් ඉතා වැදගත් වේ. මෙම කඩොලාන වෘක්ෂලතාදිය ඉන්ධන දර සදහාත් ලී දඩු, කණු ආදිය සැදීමටත් කපා හෙළණ බැවින් ඒවා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. විශේෂයෙන්ම වෙරළ ආසන්නයේ පිහිටා ඇති කොරල්පර ප්‍රජාවන් පෘථිවියේ ඇති වැඩිමඵලදායකත්වය ඇති පරිසර පද්ධතිය වහයෙන් සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. මේවායේ අධික ජෛව විවිධත්වයත් ඇති අතර එය දෙවැනි වන්නේ නිවර්තන තෙත් වනාන්තර වල දක්නට ඇති ජෛව විවිධත්වයට පමණි. මේවා මුහුදු වාසී ජීවීන් විශාල ප්‍රමාණයකට වාසස්ථාන, පෝෂණය හා බෝ වීමේ ස්තාන මෙන්ම රැකවරණය ද සපයයි. කොරළ්පර, රළ පහරට ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කිරීමෙන් යාබද මුහුදු වෙරළේ ඛාදනය සීමා කරයි. අවසාදන තැන්පත් වීම, දූෂණය, ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම හෝ හුණුගල් හෝ වෙනත් වාණිජ ප්‍රයෝජන සදහා හාරා හෝ කඩා ඉවත් කිරීම හේතුවෙන් මෙම කොරල්පර විවිධ තර්ජනයන්ට භාජනය වේ.
පෘථිවි පාෂාණ හා වායුගෝලය අතර අතුරු මුහුණත සෑදී ඇත්තේ පස් වලිනි. එය ශාක වර්ධනය සදහා මාධ්‍යය හෙවත් උපස්ථරය සපයයි. පස නොමැතිව භෞමික පරිසර පද්ධතියක් පැවතිය නොහැක. ජෛව ගෝලයේ විශාල ප්‍රදේශ පුරා පැතිර ඇති සාගර හා වායුගෝලය මෙන් නොව, පස පෘථිවිය මත පිහිටයි. සාපේක්ෂ ලෙස ඉතා තුනී වැස්මක් සාදයි. එහෙත්, මිනිසා ඔහුගේ ආහාර නිෂ්පාදනය කරගැනීම සදහා ඒ මත දැඩි ලෙස යැපිය යුතු වේ. පස සෑදීම නොනවත්වාම සිදුකරමින් සිටින කාර්යයකි. ඒ හේතුවෙන් පස අලුත් කළ හැකි වූ සම්පතක් ලෙස සැලකිය හැකිය. එසේ වුව ද, මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් පස පහසුවෙන් විනාශ වීම ද බිද වැටීම ද සිදු වේ. සාරවත් පසින් යුත් සෙන්ටිමීටර කිහිපයක ස්ථරයක් නිර්මාණය වීමට වසර සිය ගණනක සිට දහස් ගණනක් දක්වා වූ කාලයක් ගත වන නිසා, අලුත් කළ හැකි වුව ද පස යනු අලුත් කළ නොහැකි වර්ගයේ සම්පතක් බවට සීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ.
ජීවය සදහා ඛණිජ ඉතාම වැදගත් වේ. අප කෑමට ගන්නා ආහාර, බීමට ගන්නා ජලය, අප භාවිත කරන සෙසු ද්‍රව්‍ය යන මේ සියල්ලේම ඛණිජ අඩංගු වේ. ඛණිජ සම්පත් යනු, ලාභදායී ලෙස නිස්සාරණය කරගත හැකි තරමට හෝ ප්‍රයෝජනයට ගත හැකි තරමට ප්‍රමාණවත් සාන්ද්‍රණයන්ගෙන් පිහිටි පාෂාණ, ඛණිජ, රසායනික සංයෝග නොහොත් මූල ද්‍රව්‍ය වේ. ඛණිජ සම්පක් යන සංකල්පය පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ලෙස රන් හා රිදී ඉදිරිපත් කළ හැක. විවිධ වර්ගයන්ගේ ඛණීජ සම්පත් තිබේ. බොහෝ බහුල ලෙස දක්නට ඇති ලෝහ ගණයට යකඩ, ඇලුමිනියම්, ක්රෝමියම්, මැග්නීසියම්, ටයිටේනියම් සහ මැංගනීස් උදාහරණ වේ. අනෙක් අතට - තඹ, ලෙඩ්, සින්ක්, ටින්, රත්තරන්, රිදී, ප්ලැටිනම්, යුරේනියම්, රසදිය හා මොලිබිඩිනම් වැනි ලෝහ විරල ලෝහයන් හෝ ඛණිජ ලෙස හැදින්විය හැක. පෘථිවියේ ඇති ඛණිජ සම්පත් අලුත් කළ නොහැකි වන හෙයින් ඒවා ක්ෂය වෙමින් පවතියි. යකඩ හා ටින් වැනි ඛණිජ ප්‍රතිචක්‍රීකරණය කොට භාවිත කළ හැකි නම්, එම ලෝහයන්ගේ ක්ෂය වීමේ සීඝ්‍රතාවය සීමා කළ හැක. නිෂ්පාදනයේදී හා භාවිත කිරීමේදී සංරක්ෂණ ක්‍රම යෙදීමෙන් ක්ෂය වීමේ වේගය අඩු කළ හැකිය.

සීඝ්‍රයෙන් වැඩි වන ජනගහණය හා ඔවුන් විසින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට දරන පරිශ්‍රමයේදී නිරන්තරයෙන්ම පරිභෝජන වේගය වැඩිවීමක් දක්නට ඇත. ඒ හේතුවෙන් ඛණිජ සංචික ක්ෂය වීම ද සීඝ්‍රයෙන් සිදු වේ. නුදුරේදීම වටිනා ලෝහයන් ලෙස සැලකෙන, ප්ලැටිනම්, රන්, රිදී, රසදිය හා හීලියම් වැනි මූලද්‍රව්‍යයන් විරල හා දුර්ලභ ඛණිජ බවට පත්වීමේ වැඩි විය හැකියාවක් පවතියි.
මෙසේ, මෙම පරිසර ස්වභාවික සම්පත් ක්ෂය වීම හා විනාශ වීම අඛණ්ඩව සිදු වුවහොත් වැදගත් නිශ්පාදන ක්‍රියාවලි කෙරෙහි ප්‍රතිවිපාක ලෙස සිදුකරන බලපෑම් වැඩිවනු ඇත. මෙවැනි දේ සලකා බැලීමේදී පරිසර සම්පත් අනිසි ලෙස භාවිතයේ අනිසි ප්‍රතිලාභයන්ට හා ප්‍රතිචාරයන්ට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇත.

1 comment:

Akindu Hansith said...

we should prohibit water pollution