Wednesday, February 15, 2012

පොලිස්පතිවරයා, ඉල්ලා අස් නොවන්නේ ඇයි ?

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ කතාව අද වන විට උච්චතම තැනකට පත්ව ඇත්තේ, හලාවතදී දීවරයෙකු වෙඩි කා මිය යාමේ ඛේදවාචකයේ සිද්ධියත් සමගය. අදාල සිද්ධිය, පොලිස් නිළධාරියකුට නම් තවත් එක් වෙඩි උණ්ඩයක් පමණි. ධීවරයිනට එය සිය සගයකු අහිමි වීමකි. විමාධ්‍යකරුවකුට නම්, යහමින් පට්ට ගැසිය හැකි ප්‍රවෘත්තියකි. දේශපාලනඥයකුට අදාල සිද්ධිය විවිධ පැතිකඩ වලින් ගෝචර විය හැක. ඡන්ද දායකයකු අහිමි වීම - පාක්ෂිකයකුගේ මරණයක් - ආණ්ඩුව පෙරළීමට තර්කයක් ආදීන්ගෙන් එකක් හෝ තවත් දෙයක් විය හැක. කෙසේ නමුත්, අදාල සිද්ධිය කුමන අර්ථයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ද ඉතාම සරළ සිදුවීමක් නම් නොවන්නේය. එහෙයින්, සරල නොවන - බැරූරුම් දේ වෙනුවෙන් බැරූරුම් ප්‍රතිචාර දැක්විය යුතු නෙවන්නේ දැයි සමාජය විසින් ප්‍රශ්න කළ යුතුය.

ඉතිහාසය දෙස බැලීමේදී, අප රට තුළ සිදුවන පළමු විරෝධතා ඝාතනය මෙය පමණක් නොවන්නේය. අවසන් හෝ එකම ඝාතනය නොවන්නේය. මෙවැනි දේශපාලන ක්‍රමවේදයක් තුළ මෙය අවසාන එක යැයි කිසිලෙසකින්වත් විශ්වාස කිරීම ද කළ නොහැක. එසේ කරන්නේ නම්, එය විහිළුවකි. මෙම ලිපියේ වියමන් කෙරෙන්නේ - සිද්ධිය වාර්තාවීමෙන් පැය කිහිපයකට පසු, නමුත් තම වර්ගයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහික විප්ලවයකදී පෞද්ගලිකව දඩුවම් ලැබූවකු පිළිබද ආරංචියට පැය කිහිපයකට පසුවය. ඔහු දිවි දුන් පමණින් හෝ පාලකයින් විසින් එකෙක් මරා - පෙළපාලිය විසිරුවා හැරිය ද ප්‍රශ්නය විසදාගත නොහැකිව අසරණව සිටිනා තත්ත්වයකදීය. 

අපට මතක ඇති ඉතිහාසයේ, මෙවන් සිද්ධියක් වාර්තා වන්නේ, පසුගිය මැයි හෝ ජූලි මාසයේ දිනකය. පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව නැගී සිටි හෝ උසිගැන්වූ සේවකයින් විසින් සංවිධාන කළ මෙවැනිම විරෝධතාවකදී ඇගළුම් සේවකයකු මේ අයුරින්ම තුවක්කු බලයෙන් විනාශ කොට දමා, අනෙකා බිය වද්දා ජීවිතය පිළිබද වන ආශාව හා දැඩි කැමැත්ත හේතුවෙන් සෙසු කිසිවෙක් නැගී සිටීම වළක්වාලමින් සිදු කළ සිද්ධියයි. එවිට ද ලියුම්කරුවා විසින් මෙම ප්‍රශ්නයම අසා සිටියේය. අදද එම ප්‍රශ්නය ම අසා සිටිමි. 

හලාවත ධීවරයා මිය යාමේ සිද්ධියේ දේශපාලනික හරය කියවා ගත යුතුව ඇතැයි විශ්වාස කරමි. එසේ කරනු ලැබිය යුත්තේ, හැගීම්බර මිනිසෙකු විසින් පට්ට ගසමින් එකෙක් හෝ කණ්ඩායමක් ඉලක්කකර ගනිමින් පදනම් විරහිතව බැණ වැදීම හෝ ලේ පුච්චා ගැනීම වලක්වා ගැනීම පිණිසය. 

හලාවතදී ධිවරයාට වෙඩි තබන්නේ, පොලිස් නිළධාරියකු විසිනි. එසේ නොවන්නේ නම්, හමුදා නිළධාරියකු විසිනි. මේ කවරෙකු වුවත්, මෙහි ඇති දේශපාලනික හා සමාජ කාරණය පොදු එකකි. මෙම නිළධාරීන් යනු, ආණ්ඩුවේ සේවකයින්ය. එනම්, තමාට ඉහළින් සිටින නිළධාරියාගේ අණට කීකරු විය යුතු පිරිසකි. ඉහළ නිළධාරියා යනු තවත් එවැනිම අයෙකුට අවනත විය යුතු අයෙකි. නොනිමි රේඛාවක් සේ, මේ කීකරු වීම සිදු කළ යුතුව ඇත. එසේනම්, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් ද. පළමුවෙන්ම වෙඩික්කරුවා විසින් මෙහි වගකීම භාර ගත යුතුව ඇත. ඔහුට විරුද්ධව විනය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් පසුව, තවත් එවැනි අසමජ්ජාති වෙඩික්කරුවකු බිහි නොවීම සදහා අවශ්‍ය තත්ත්වයන් සැලසිය යුතුම වන්නේය. එය පමණක් ප්‍රමාණවත් වන්නේ ද. එසේ කළ පමණින්, සියලු දෝශ නිවාරණය වන්නේ යැයි කිව හැකි ද.

අප දන්නා රාජ්‍යයන් සමහරක, මෙවැනි සිද්ධීන් වු විගස විෂය භාර ප්‍රධානියා කණගාටුව හා ලැජ්ජාව මිශ්‍ර පසුතැවීමකින් යුතුව කාර්යයන් අතහැර යන්නේය. සරලවම කියතොත් ඉල්ලා අස්වන්නේය. නමුත්, අප ඉතිහාසයේ එවැනි පොරවල් හමු වන්නේ, ඉතා අල්ප තරමින්ය. යමෙකුට මෙසේ කියූ පමණින් හිටපු පොලිස්පතිවරයා සිහි විය හැක. එය වහා නිවැරදි කර ගත යුතුය. ඔහු ඉල්ලා අස් වූයේ නැත. විශ්‍රාම යාමට දින 18 ක් පමණක් ඉතිරිව සිටිය දී, කටඋත්තර දී ගත නොහැකිව සැගවීම පිණිස සිය ඉතිරිව තිබූ නිවාඩු කිහිපය භාවිත කළේය. ඉල්ලා අස්වීමක් ලෙස ඒත්තු ගැන්වීමට වෙර දැරුව ද තනි අත්ලෙන් නිරුවත වසා ගත්නාක් මෙන් හැසිරිණි.

අද ද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇත. නමුත්, වර්තමාන පොලිස්පතිවරයාට විශ්‍රාම යාම පිණිස තවත් මාස කිහිපයක් හෝ වසරකට අධික කාලයක් ඉතිරිව පවතියි. එසේනම්, තම අන්තේවාසිකයකු විසින් කරනු ලැබූ නොමනා ක්‍රියාවේ වගකීම, අදාල සුළු පාලනයේ නායකයා ලෙස පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් විසින්වත් අවම වශයෙන් භාර ගත යුතුය. තමාගේ ගෝලබාලයින් නිසි විනයකින් යුතුව පාලනය කර ගැනීමට ඔහු සතු නොහැකියාව වෙනුවෙන් - තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්‍රාම වැටුපක් ලැබීම පවා ලැජ්ජා සහගත කරුණක් වන්නේයැයි පිළිගනිමින් ඉල්ලා අස් විය යුතුය. ධිවර හෝ බස් හෝ වෙනත් විරෝධතාවක් පාලනය කිරීම සම්බන්ධයෙන් වන තීරණය කිසිසේත්ම පොලිස්පතිවරයාගේ තීරණයක් නොවේ. එය සම්පූර්ණයෙන්ම දේශපාලනික තීරණයකි. විරෝධතාවක් වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය හා එහි ප්‍රබලත්වය තීරණය කරනු ලබන්නේ දේශපාලනික තීරණයක් ලෙසය. එසේනම්, දේශපාලනික තීරණයකට යටත් වීමට සිදු වූයේ නම්, පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුත්තේ කුමන  පදනමකින් දැයි සමාජය ප්‍රශ්න කර සිටිය හැක. ඇත්ත වශයෙන්ම මෙහි ඇති, දේශපාලනික හා රාජ්‍ය සේවාමය කරුණු දෙක වෙන් වෙන්ව හදුනාගත යුතුය. විරෝධතාව විසිරුවා හැරීම පිණිස වෙඩි තබන්නයැයි යන නියෝගය දේශපාලනික වුව ද - තමාගේ වැටුප ගෙවනු ලබන හාම්පුතා වන ජනතාව වෙත තුවක්කුව දිගු කිරීම පිණිස අදාල තීරණය අනුමත කිරීම පොලිස්පතිවරයා විසින් කරනු ලැබ ඇති, නොමනා හා අයුක්තිසහගත ක්‍රියාවකි. එහෙයින්, බලයට හිස නමා තම හාම්පුතාට වෙඩි තැබීම වෙනුවෙන් ඔහු ලැජ්ජා විය යුතුය. එවැනි මිනිසුන් වෙනුවෙන් නායකත්වය දීමට සිදු වීම අසමත් බවක් ලෙස පිළිගත යුතුය. එහෙයින් තවදුරටත්, ඍජුව සේවය කළ නොහැකි බව පිළිගත යුතුය. ඓහින් ම සිය සේවය තවදුරටත් කරගෙන යා නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීම වටියි. එසේ කළ යුතුව ඇත.

මෙම සිද්ධිය දෙස බැලීමේදී තවත් මූලික කරුණක් දක්නට ලැබේ. අප ගතකරමින් සිටින්නේ, පශ්චාත් යුධ සමයකි. අපට වෙඩි තැබීමක් හෝ මරණයක් යනු පුදුම වියයුතු හෝ එසේ විය හැකි තරමේ -මාර සිද්ධියක්- නොවන්නේය. අප ඇති තරම් මළ මිනිසුන් දැක ඇත. රටවැසියන් වන අප, මළ මිනිසුන් පිළිබද දක්වන්නේ නිශ්ක්‍රීය ප්‍රතිචාරයකි. එහෙයින් අප රට තුළ ඝාතනයක් යනු ප්‍රවෘත්තියක් පමණක් මිස වෙනකක් නොවන්නේය. 

යුධ හමුදා හා පොලිස් සේවයේ සියලු දෙනාගේ මොළ හැඩගසා ඇත්තේ, ප්‍රතිවාදියා විනාශ කිරීමටය. අප විසින් යුද්ධය අවසන් කරන්නේ, එම වර්ගයේ මානසිකත්වයකින් යුතු පිරිසක් මෙරට ශේෂ කරමිනි. නිරන්තරයෙන් යුධ වදිමින් සිටි ඔවුන්, මේ වන විට සිටින්නේ, දැඩි පීඩනයකිනි. අත්අඩංගුවට ගනු ලැබූ එල්. ටී. ටී. ඊ. පිරිස් පුනුරුත්තාපනය කළ ද ශ්‍රී ලංකා රජයේ හමුදාවන් සාමාන්‍ය සිවිල් සමාජයට මුදා හරිනු ලැබ ඇත්තේ එවැනි අවම පුනුරුත්තාපනය කිරීමකින් හෝ තොරවය. ඔවුන්, සාමාන්‍ය වැසියන් සේ ජීවත් වීම සිදු කරයි. නමුත්, ප්‍රතිවාදියා නැසීමේ ඒකායන අරමුණ සහිතවන යටගිය මානසිකත්වය හා උවමනාව තවදුරටත් සිත් තුළ පැළපදියම් වී තිබේ. එසේ වුව ද මේ හමුදාවන්ට නැසිය යුතු ප්‍රතිවාදීන් මුණ ගැසෙන්නේ දැන් ඉතාම කළාතුරකිනි. එහෙයින්, අළුයට සැගව ඇති ගින්දර සේ, ප්‍රතිවාදියකු හමුවන පළමු අවස්ථාවේදීම දැඩිව පීඩනයකින් යුතුව සගවා ගෙන සිටින ප්‍රතිවාදියා විනාශ කිරීමේ මානසික තත්ත්වය පොළා පනියි. ඉහළට එසවෙයි. මේ සිදුව ඇත්තේ ඒ තත්ත්වයයි. 

එහෙයින්, මින් ඉදිරියට ද සාමාන්‍ය සිවිල් සමාජයක් තුළ යුධ මානසිකත්වයෙන් යුතු මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රතිවාදියා විනාශ කිරීමේ යුධමය ක්‍රියාව - සිදු නොවීමට නම් හමුදාවන් සහ පොලීසි පුනුරුත්තාපනය කළ යුතුම වේ. සරලවම කියන්නේ නම්, කොටියා සමග සටන් කිරීම පිණිස පුහුණු කළ ව්‍යාඝ්‍රයා, සමාජගත කිරීමට පෙර - හීලෑ කළ යුතුව ඇත. එසේ නොවන තාක් කල්, ධිවර - ගොවි - කම්කරු හෝ සිසු, නොඑසේනම් වෙනත් විරෝධතාවන් තුළ හෝ ජනරාශින් තුළ මෙවැනි වෙඩි තැබීම් හා ඝාතන සුළභ වනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, සිවිල් සමාජය ද යුධකාමී වීමය. මරාගෙන මැරෙන්නට හෝ සූදානම්ව පාරට බහින තත්ත්වයක් උද්ගත විය හැක. එහෙයින්, සිවිල් සමාජය ව්‍යාඝ්‍රයාට එරෙහිව පොළු මුගුරු ගැනීමට පෙර සමාජගත කරනු ලැබ ඇති ව්‍යාඝ්‍රයා හීලෑ කළ යුතුව ඇතැයි යළිදු කියමි. 

අවසන ලියමි. ලිබියාවේ සියල්ල ආරම්භ වන්නේ විරෝධතාවක් වෙනුවෙන් එල්ල වූ වෙඩි පහරිකින් පසු විරෝධතකරුවෙකු මිය යාමෙනි. ඊජිප්තුවේ ද මිනිසුන් වීදිබසින්නේ සිය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙනි. පසුව, ඔවුන්ට එරෙහිව තුවක්කු ක්‍රියාත්මක වීම මගින් දැවැන්ත කැරැල්ලක් නිර්මාණ විය. එහෙයින්, මිනිසුන් ජීවිත පරදුවට තබා හීලෑ නොකරන ලද ව්‍යාඝ්‍රයින්ට හා ඔවුන්ගේ හාම්පුතුන්ට එරෙහිව සටන් ඇරඹිමට පෙර - හාම්පුතුන් විසින් ව්‍යාඝ්‍රයින් හීලෑ කළ යුතුව ඇත.

No comments: