Monday, February 13, 2012

ජාතික උසස් අධ්‍යාපනික ප්‍රතිපත්තියක් වෙනුවෙන්

මෙරට නොමිල අධ්‍යාපනය ආරම්භ වූයේ 1940 ගණන් වලදීය. නමුත්, අද වන විටත් අපටම කියූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිව අප කාලය ගත කරමින් සිටිමු. නොමිල අධ්‍යාපනය වෙනුවෙන් හෝ අධ්‍යාපනයක් පවත්වාගෙන යාම කෙරෙහි එවැන්නක බරපතල අවශ්‍යතාවක් නොපැවතිය ද අධ්‍යාපනික වශයෙන් සංවර්ධනය වීමේ යටි හිතක හෝ අරමුණක් පැවතිය යුතු රටක් සතුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් පැවතීම අනිවාර්ය ලක්ෂණයකි.

මෙහිදී ලියුම්කරුවා විසින්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යන්න උසස් අධ්‍යාපන ප්‍රතිප්තියක් දක්වා පසු බැස්සවීමට තීරණය කරයි. එහි අරමුණ වන්නේ, ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ආරම්භක ලක්ෂණයක් පැවතිය යුතු හෙයිනි. මේ වන විට සියයට යම් ප්‍රමාණයකට නොමිල පළමු උපාධිය පිරිනමමින් සිටින අප රට, මුදල් ගෙවීමේ පදනම මත පළමු උපාධිය ලබා දීම දක්වා ද පැමිණ ඇත. එහෙයින්, උසස් අධ්‍යාපනයේ අවස්තා හා ප්‍රමාණයන් පුළුල් වන විට, ඒ සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් හෝ පිළිගත් රේඛීය ක්‍රමවේදයක් පැවිතීම අනිවාර්ය වේ. එසේ නොවන්නට, උසස් අධ්‍යාපනය අයාලේ යාමේ අවධානමක් ඇත. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ඔවුනට අවශ්‍ය පරිදි ද රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පද්ධතිය මුදලාලිගේ හිතුමනාලයට අවාලේ යාමක් ද සිදු විය හැක.

උසස් අධ්‍යාපනය යනු, රටක පරිපාලනමය හා තීරණ ගැනීමේ හැකියාවකින් යුතු මානව සම්පත නිර්මාණය කිරීමේ තිඹිරි ගෙය වැනිය. ඒ අනුව, එවැනි පදනමක් හා අරමුණක් සහිත උසස් අධ්‍යාපනික ක්‍රියාවලියක මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත.
1. දැනගැනීම පිණිස ඉගෙන ගැනීම, ද
2. ක්‍රියාත්මක කිරීම පිණිස ඉගෙන ගැනීම, ද
3. දිවිපැවැත්ම සරි කර ගැනීම පිණිස ඉගෙන ගැනීම,
4. මුල පිරීම හෝ ප්‍රාග්ධන ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඉගෙන ගැනීම,
සහ 5. ජීවත්වීම හා ජීවත්කරවීම පිණිස ඉගෙන ගැනීම වේ.
එනම්, උසස් අධ්‍යාපනය තුළින් අවසානයේදී සමාජගත වන පුද්ගලයා රටේ අභියෝග හා අවධානම් පිළිගැනීමට හා ඒවාට මුහුණ දී නිවැරදි දිශානතිය දක්වා මෙහෙයවිය හැකි හා එසේ කළ යුතු පුද්ගලයකු විය යුතුය.

එසේම, සාමාන්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යයා තුළින් අපේක්ෂා කරනු ලබන තවත් අංග කිහිපයක් හා වැදගත් ලක්ෂණ කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත. ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් පිළිබද සාකච්ඡා කළ හැක්කේ ඒ පිළිබදව ද යම් ලෙහා ගැනීමක් සිදු කිරීමෙන් පසුවයි.
එනම්,
1. කිසියම් දෙයක් හෝ පුද්ගලයෙකු පිළිබද සමීපතම දැනුම. මෙය ලගා කරගත යුත්තේ, මුඛ පරම්පරාවෙන් උරුම වන දෙයින් පමණක් නොව. ඒ සදහා පර්යේෂණ හා හැදෑරීම් සිදු කළ යුතුව ඇත. සෙල්ලිපියේ සිට අන්තර්ජාලය දක්වාත්, නිදහස් අන්කර්ජාල වළාකුළක නිදහසේ පිරික්සීම දක්වාත් බුදුන් වහන්සේගේ සිට යේසුස් වහන්සේ මෙන්ම යාචකයා හා වීදි ගණිකාව දක්වාම පර්යේෂණමය ඥාණයක් හා අවබෝධයක් සතු විය හැකි පරිදි මෙම තත්ත්වය දියුණු විය යුතුය. අනෙකාගේ හුස්ම වැටීමේ හා කදුලක බර සහ සිනහවක සැහැල්ලුව ද වෛරයේ හා ප්‍රේමයේ ප්‍රමාණයන්ද වටහා ගත හැක්කේ එවිටයි. එසේම, තම විෂයේ පොරක් විය හැක්කේ ද එවිටයි.
2. කළින් කළට යාවත්කාලීන වන හා වැදගත් භාවයකින් යුක්තව සංවේදී වන දේ පිළිබද හැදෑරීමේ කුසලතාව. සාමාන්‍යෙයන් සිසුවා සතු විය යුතු කුසලතා මෙන්ම විශේෂ ප්‍රාගුණ්‍යයන් ලෙස දක්නා කුසලතා මේ යටතේ සාකච්ඡා කෙරේ. 
3. නව විසදුමක්, භාණ්ඩයක්, සංකල්පයක් පිළිබද නිර්මාණශිලී බව හා නිර්මාණය කිරීමේ හැකියාව. අනුකාරකවාදී භාවයෙන් මුක්ත වී අලුත් දෙයක් කරන මිනිහෙක් වීම මින් අදහස් කරයි. මයික්‍රෆෝනය ගෙන කෙළින් හිටගත් පසු, පෙර ලියා ගත් පිටපත නිවේදකයා සදාතනික පොර වන්නේය යන මානසිකත්වයෙන් අතමිදී, හැදෑරීමේ වගකීම අතට ගත් අනෙකා වෙනුවෙන් අනියම් ඉගෙනුමක් හා ඥාණයක් සමීප කරන මිනිසා වීම නිවේදකයාගේ වගකීම ලෙස පිළිගැනීම දක්වා මෙය දියුණු විය යුතුය. ආකෘතීන් පිටුපස හඹා යාම වෙනුවට සුළු හෝ වෙනස් බවකින් යුක්ත දේ කිරීමට හැකි වාතාවරණ නිර්මානය වීම උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියකදී සිදු විය යුතුය.
4. පරිකල්පනය.
5. විචාරශීලී භාවය.
6. සමාජයේ තීරණාත්මක සාධකයක් ලෙස පෙනී සිටින උසස් අධ්‍යාපන සිසුවා සතු විය යුතු වටිනාකම්.
එලෙස හදුනාගෙන තිබේ.

ඒ අනුව, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේදී සෑම උසස් අධ්‍යාපන ශිෂ්‍යයකුගේම උක්ත ලක්ෂණ අවදිකරවන හා අභිවර්ධනය කරවන ආකාරයේ පහසුකම් හා පරිසරයන් නිර්මානය කරන පරිදි ඒවා සැකසිය යුතුය. විශ්වවිද්‍යාලයන් විසින් ශිෂ්‍යයාට ලබා දිය යුතු වන ඥානය හා ආශ්‍රය විය යුත්තේ, උක්ත සදහන් මුඛ්‍ය ලක්ෂණ හා වැදගත් අංග ලක්ෂණ පිරිපුන් අධ්‍යාපනයකි. විශ්වවිද්‍යාල විසින් සකසනු ලබන සෑම පාඨමාලාවක් සදහාම විෂය කුමක් වුව ද එකී සියල්ල වර්ධනය වන ආකාරයෙන් නිර්මාණය කළ යුතු වේ.

එසේම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් උසස් අධ්‍යාපන ශිෂ්‍යයා දේශිය හරයන්ට හා වටිනාකම් වලට ආදරයක් හා ගෞරවයක් ඇති පුද්ගලයකු බවට පත් කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දිය යුතුය. ඔට ඉඩ සකසා දිය යුතුය. කළාව, සාහිත්‍යය, සංස්කෘතිය හා ඉතිහාසය හා සමාජ විඥානය මේ අතර ප්‍රධාන වේ. පාඨමාලාව සමාජ විද්‍යා පාඨමාලාවක සිට නවීන තාක්ෂණය සමග පමණක් ගණුදෙණු කරන තොරතුරු තාක්ෂණය පිළිබද එකක් වුව ද සමස්ත ප්‍රජාව පිළිබද මානව කරුණාව හා දයාව මෙන්ම ජාතිය පිළිබද ඇල්ම හා ආශාව වර්ධනය කරන්නක් සදහා සහාය වන ලක්ෂණ වලින් සමන්විත විය යුතුය. ආගමික, ලිංගික, වාර්ගික හෝ ප්‍රත්‍යන්ත දේශමය බෙදීමකින් තොර බුද්ධිමත් මිනිසා බිහි කළ හැක්කේ එවැනි දෙයක් තුළිනි. තාක්ෂණික ඥානයන් තුළින් යම් වෘත්තීමය නිපුණතාවක් වර්ධනය වුව ද රටේ තීරණාත්මක ජන කොට්ඨාශය ලෙස මානුෂීය ගුණාංග වර්ධනය කරනු ලබන්නේ මෙවැනි විෂයන් හා කරුණු මගිනි. එසේම, පටු හා ආත්මාර්ථකාමී කුහක බවින් මිදී මිනිස් සිතිවිලි වල වටිනාකම තේරුම්ගත හැකි පුද්ගලයා බිහි වන්නේ එමගිනි. තාක්ෂණික ඥානයෙන් කෙළ පැමිණිය ද මිනිස් ගති ලක්ෂණ හා සංවේදීතා මැකී යාමෙන් සිසුවා බේරා ගත හැක්කේ මෙවැනි ක්‍රමයකින් පමණි.

එතෙකින් නොනැවතී, ලෝකය පුරා යාවත්කාලීන වෙමින් පවත්නා හා ගෝලීය සමාජය පුරා ඉඩ කඩ හා වෙළදපොල අගයන් නිර්මාණය වෙමින් පවත්නා තාක්ෂණික කරුණු, භාෂාවන්, විද්‍යාවන් හා ක්‍රමෝපායන් පිළිබද සෑම සියලු දෙනාටම අධ්‍යාපනයක් ලබා දිය යුතු වේ. ශාස්ත්‍ර පීඨ සිසුවාට ඉංග්‍රීසි හෝ පරිගණක තාක්ෂණය නොහැකිය යන මුලාවෙන් බේරා ගැනීම සදහා මෙය පිටිවහලක් වේ. එසේ වූ විට, ජාතික උසස් අධ්‍යාපනයේ වර්තමාන විද්‍යාර්ථිකයා සෑම විෂයක් සම්බන්ධයෙන්ම යාවත්කාලීන වූ හා පැකිළීමකින් තොරව අවතීර්ණ විය හැකි පෞරුෂයකින් යුතු මිනිසෙක් වෙයි. මේ සදහා තෘප්තිකර අධ්‍යාපන රටාවක් හා පෙළගැස්මක් සැකසීම රජයේ වගකීමයි.

කුසලතාවන්  හා නෛසාර්ගික ශක්තීන් ඉස්මතු කරමින්, ලබා ගත් දැනුම තුළින් පරිකල්පනයේ උච්ච ලක්ෂණයන් හා විචාරශීලී බවේ ශක්තිමත් මිනිසකු බිහි කිරීම උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියකින් සිදු කළ යුතුය. එසේ නොවුණහොත්, අනාගත රටේ බලසම්පන්න පුරවැසියා විචක්ෂණයකින් හා නිර්මාණාත්මකභාවයෙන් තොර එසේම නිර්මාණය හා නව්‍යකරණී ලක්ෂණ පිළිගැනීමට තරම් ශක්තියක් නැති පුහු මිනිසකු වීම වලක්වා ගත නොහැක. පංති කාමරයේ බිත්ති හතර තුළ පොරක් වීමෙන් එහා ගොස් පොදු සමාජයේ සාධනීය මැදිහත් වීමක් හා වටිනාකමක් සහිත පුද්ගලයකු වීම එවිට සිදු වේ. අනෙකාට වෛර කරමින් හා පරිභව කරමින් කාලය ගත කරන උපාධිදාරියාගේ සිට උපාධිදාරියා යනු සාමාන්‍ය මිනිසාය යන තත්ත්වයට පත්වීම කෙරෙහි මෙය වැදගත් වේ යැයි විශ්වාස කරමි.

නිර්මාණශීලී බව මෙන්මසමාජයේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ නිපුණ විනයකින් යුතු පුද්ගලයා බිහි කිරීම ද උසස් අධ්‍යාපනයේ වගකීමක් වේ. උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියකින් එය ද අපේක්ෂා කරයි. තීරණ ගැනීම, ඍජු බව, නිවැරදි හා අවස්ථානෝචිතව වඩාම සුදුසු දේ සිදු කිරීම, සාමූහික වගකීම හා පුද්ගල වගකීම ආදිය පරිපූර්ණ කිරීම සදහා මෙම විනය වැදගත් වේ. තමා විසින් අත්පත් කරගන්නා දැනුම හා තමන්ගේ කුසලතා මෙන්ම නිර්මාණශීලීත්වය මානව වර්ගයාගේ සුභ සිද්ධිය පිණිස යෙදවීම පිණිස විනයානුකූල කිරීම සිදු කළ යුතුය. 

මෙම මූලික ලක්ෂණ වලින් යුතු උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් තුළ පිහිටා සෑම විෂයක් සම්බන්ධයෙන්ම පාඨමාලා සැකසීම සිදු කළ යුතුය. එසේ නොවන තාක්කල් තම සහෝදර වෛද්‍යවරයාගේ වතුර ටැංකියට වහ මිශ්‍ර කරන, අනෙකාගේ අධ්‍යාපන අවස්ථාව වෙනුවෙන් වෛර කරන හා කුහක චේතනාවෙන් විචාරය කරන මෙන්ම අධ්‍යාපනික ඥානය පමණක්ම යනු ජීවිතයේ පොරත්වයේ උපරිමය යැයි විශ්වාස කිරීමෙන් වලක්වා ගත නොහැක.

1 comment:

ඇඩ්ජයන්ත said...

අති විශිෂ්ටයි