Sunday, February 12, 2012

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල

මේ වන විට යම් ප්‍රමාණයකට යටපත් වී තිබුණ ද අළු යට ගින්දර සේ මේ මාතෘකාව සමාජයේ හොල්මන් කරමින් සිටියි. ඊට හේතුවන්නේ, එම මාතෘකාව යටපත් වූයේ නිශ්චිත විසදුමකින් හෝ ප්‍රතිඵලයකින් පසුව නොවීමයි. එහෙයින් .වදුරටත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන පද්ධතියේ මෙන්ම ඒ දෙකම නොවන පොදු සමාජයේ හෝ පාලනයේ කාමර තුළ මේ පිළිබද සාකච්ඡා වෙමින් තිබේ. ලියුම්කරුවා විසින් මින් පෙර ලියනු ලැබූ ලිපියේදී රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල දිනා ගැනීම වෙනුවෙන් අදාල කරුණ මගින් වැඩිම බලපෑමක් සිදු කරනු ලබන හා බලපෑමකට ලක්වන පිරිස වන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ශිෂ්‍යයා හෝ පරිපාලනය (හිමිකාරීත්වය) විසින් මේ පිළිබද කතිකාවක් නිර්මාණය නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කර සිටියේය. 

උක්ත ප්‍රශ්නයට පිළිතුරු සොයමින් ගත කළ පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධ ඍජු හා සාධාරණ විසදුමක් යැයි විශ්වාස කළ හැකි පදනමක් හමු විය. මෙම ලිපිය මගින් ලියුම්කරුවා අපේක්ෂා කර සිටින්නේ ඒ පිළිබද පැහැදිලි කිරීම නොවන හෙයින්, අදාල හැචෑරීමේ සාරාංශය පමණක් දක්වනු කැමැත්තේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමක් නොකරන්නේ, අදාල පනත මගින් නියාමනය - අධීක්ෂණය හා ප්‍රමිතිගත කිරීම යෝජනා කොට ක්‍රියාත්මක කිරීම ආරම්භ වීමත් සමග එම විශ්වවිද්‍යාල පරිපාලනයන් සතුවන පරිපාලනමය ඒකාධිකාරය හා ආධිපත්‍යය ඔවුන් අතින් ගිලිහී ගොස් රජය ඒ සදහා මැදිහත් වීම නම් වූ වෙළදමය ඛේදවාචකයට ලක් වීම හේතුවෙනි.

අදාල සිසුන් අදාල මාතෘකාව සම්බන්ධයෙන් කතා නොකරන්නේ, සිසුන් විසින් කතා කළ යුතු මාතෘකා තෝරා දෙනු ලබන්නේ අදාල පරිපාලනයන් විසින් වීම හේතුවෙනි. එමගින් අදහස් කෙරෙන්නේ, ශිෂ්‍යයා විසින් යමක් කතා කිරීමේදී පරිපාලනයේ හැසිරීම පරීක්ෂා කරනු ලදුව, ඒ පිළිබද පරිපාලනය නොකමැත්තක් හෝ වැඩි සංවේදීතාවක් නොදක්වන්නේ නම්, ශිෂ්‍ය භාවයේ හා වරප්‍රසාදයේ උරුමයන් පිළිබද සලකා - සිසුන් ද ඒ පිළිබද කතා කිරීමට නොපෙළඹෙයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ශිෂ්‍යයාට ඇත්ත වශයෙන්ම උවමනාවක් පැවතිය ද පරිපාලනයේ උවමනාව එය නොවන නිසා ද පරිපාලනය හා ගැටෙන අදහස් දැරීම පැවැත්ම පිළිබද ප්‍රශ්න කරන නිසා ද ශිෂ්‍යයා තවදුරටත් නිහඩව සිටියි. මේ තත්ත්වය වෙනස් වූ එක් අවස්ථාවක් හා එක් සංවිධානයක් පමණක් මේ වන තෙක් හමු වී තිබීම, කළු නික හම්බුණාක් වැන්න.

ලියුම්කරුවා විසින් මේ ලිපිය ලිවීමට අදහස් කරන්නේ, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනතක් මගින් කළ යුතු දේ පිළිබද කරනු ලැබූ හැදෑරීමේ කරුණු බ්ලොග් පාඨක සමාජය වෙත සංවේදී කිරීම පිණිසය. එනම්, ලියුම්කරුවා විසින් හදුනාගත් පරිදි - උපාධි පිරිනැමීමේ අවස්තාව ලබා දීමට අමතරව ඉතාම වැදගත් යැයි සැලකෙන ප්‍රධාන කරුණු තුනක්, නීතියක් මගින් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වෙත ලබා දිය යුතු වේ.

උපාධි පිරිනැමීමේ බලය ලබා දෙනු ලබන සෑම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක්ම, රජය විසින් පත් කරනු ලබන ස්වාධින හා පිළිගත හැකි නියාමනික කණ්ඩායමක් විසින් ප්‍රමිතිගත කළ යුතු වේ. මෙම ප්‍රමිතිය යන්නට අදාල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය සතු ඉඩමේ ප්‍රමාණයේ සිට ලබා දෙන උපාධිය දක්වා සියල්ල අන්තර්ගත විය යුතු යැයි ලියුම්කරුවා විශ්වාස කරන්නේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් තරමට යම් උසස් අධ්‍යාපන ආයතනයක් පිළිගැනීමට නම්, සිසුන්ට අත්‍යාවශ්‍ය වන අධ්‍යයන හා අධ්‍යයන නොවන ක්‍රීඩා, සුභසාධන, සමාජ අත්දැකීම්, කළාව, සාහිත්‍යය හා සංස්කෘතිය ආදිය මෙන්ම විවේකය ද භුක්ති විදිය හැකි පරිසරයක් පිළිබද අවදානය යොමු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නේ නම් මිස ඒ වෙනුවෙන් අවසරය ලබා නොදිය යුතුය. අවශ්‍ය විද්‍යාගාර, දේශන ශාලා, පුස්තකාල, ඉගෙනීමේ හා කියවීම් ශාලා ආදිය ද මෙයට අයත් වේ. අදාල ප්‍රමිතීන් නියම කිරීම මෙන්ම එම ප්‍රමිතීන් පවත්වාගෙන යන්නේ ද පිළිබද සොයා බැලීමේ මෙන්ම එවැන්නක් නිසි ලෙස සිදු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් නීතිමය රාමුවකින් පිළිබයම් ලබා දීමේ හැකියාවක් ඇති කළ යුතුය.

එසේම, අදාල උපාධි පාඨමාලාවන් සදහා බදවා ගනු ලබන ශිෂ්‍යයාගේ ප්‍රවේශ සුදුසුකම් හා ප්‍රවේශය සදහා බලපාන අවම සුදුසුකම් හා පරිසාධන මට්ටම් පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුය. එහිදී, අවම වශයෙන් ජාතික වශයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීමේ කඩඉම් ලකුණු ප්‍රමාණය වන සාමාන්‍ය සාමාර්ථ තුන සැලකිය යුතුය. එසේම, සිසුවා අයදුම් කර සිටිනු පාඨමාලාව, අදාල සිසුවාගේ උසස් පෙළ පාඨමාලාව හා මෙන්ම ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ අදාල පාඨමාලාව සදහා බදවාගනු ලබන උසස්පෙළ විෂය ධාරාවන් හා සැසදෙන්නේ දැයි විනිශ්චය කළ යුතුමය.
එපමණක් නොව, අදාල විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමේ කටයුතු කරමින් සිටින හා ඒ සදහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය ආචාර්යවරුන් ප්‍රමාණය හා ඔවුන්ගේ කුසලතා පිළිබදව ද රජයේ මැදිහත් වීමෙන් සලකා බැලිය යුතුය. අදාල කුසලතා මට්ටම් රජය විසින් යෝජනා කරනු ලබන ප්‍රමිතිගත මට්ටමක් ඉක්මවා තිබීම අත්‍යාවශ්‍ය වන්නේ යැයි විශ්වාස කරමි. එසේ නොවුන හොත් විය හැක්කේ, අවශ්‍ය තරම් පීඨ හා පාඨමාලා ආරම්භ කොට නිසි අවශ්‍යතාවන් සපිරිය නොහැකි ආචාර්ය මණ්ඩලයක් යටතේ පුම්බාගත් උපාධියක් ලබා දීම නම් ඛේදවාචකයට මුහුණ දීමට සිදු වීමයි.

ඒ සෑම කරුණක් මෙන්ම, පාඨමාලාවන්ගේ ප්‍රමිතිය හා එවැනි උපාධියක් ලබා දීමට තරම් ශක්තිමත් පදනමක් සහිත පාඨමාලා අන්තර්ගතයක් අදාල විශ්වවිද්‍යාලයේ පාඨමාලා පටුනේ ඇති දැයි සොයා බැලීම මෙන්ම ඒ සදහා යෝජනා කිරීම රජය විසින් සිදු කළ යුතුය. පාඨමාලාවන් රජය විසින් නියම කරනු ලබන මණ්ඩලයක් හෝ කොමිෂන් සභාවක් විසින් අනුමත කළ යුතු අතර විභාග පැවැත්වීම හා පිළිතුරු පත්‍ර ඇගයීම ආදිය ද එමගින් අධීක්ෂණය කළ යුතු වේ. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මේ වන විට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වඩා ගුණාත්මක හා යාවත්කාලීන පාඨමාලා පටුනක් දැනටමත් පවත්වාගෙන යන්නේ නම්, එය අහිමි කොට ප්‍රමිතිය පහළ දැමිය යුතුය යන පටු හා කාලකණ්නි යෝජනාව ඉන් අදහස් නොවේ. නමුත්, පාඨමාලාවන්ගේ අන්තර්ගතය සම්බන්ධයෙන් මුදලාලි කේන්ද්‍ර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට අමතරව අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම හා ජනතාව විසින් පවරනු ලැබූ යුතුකමක් කරමත පින්නාගෙන සිටින රජය විසින් සිදු කළ යුතුමය.

අධ්‍යයන කටයුතු පිළිබද සොයා බැලීමට හෝ ප්‍රමිතිගත කිරීමට මෙන්ම ශිෂ්‍යයාගෙන් අයකරනු ලබන පාඨමාලා ගාස්තුව පිළිබදව ද රජයේ නියාමනය සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවන්නේ නම්, එක් එක් උසස් අධ්‍යාපන ආයතනය විසින් තමන්ට හිතුමනාපයේ අය කිරීම් ක්‍රමවේදයකට යොමු වීම නැවැත්විය නොහැක. එක් විශ්වවිද්‍යාලයක් පාඨමාලාව රුපියල් ලක්ෂ 6 කට උපාධිය දක්වා උගන්වමින් සිටියදී තවත් විශ්වවිද්‍යාලයක් ලක්ෂ 20 ක් හෝ ලක්ෂ 2 ක් වැනි මුදලට මෙවැනි උපාධි ලබා දීමේ අවධානමක් ඇත. එහෙයින්, ගාස්තු අයකිරීම ප්‍රමිතිගත කළ යුතු මෙන්ම ඇත්ත වශයෙන්ම එම ගාස්තු ප්‍රමිතීන් අනුගමනය කරන්නේ දැයි අධීක්ෂණය කළ යුතු වේ.

යළිදු කියමි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ස්ථාපිත කොට ඒ වෙනුවෙන් බලය පැවරීම සිදු කළ යුතු යුගයක අපි සිටිමු. නමුත්, එම බලය පැවරිය යුතු වන්නේ මුදලාලි සතුවන ඒකාධිකාරය තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙස නොව. ශිෂ්‍යයාට හා ජාතික උසස් අධ්‍යාපන වෙත වැඩි වාසි අත්වන හා අදාල පාඨමාලාවන් හදාරන සිසුන්ගේ සුරක්ෂිතතාවය මෙන්ම අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තහවුරු කළ හැකි පරිදිය.

1 comment:

Anonymous said...

මේ ලිපිය මගින් පෞත්ගලික විශ්වවිද්‍යාල වල තත්වය පවත්වාගෙන යායුතු ආකාරය ගැන හොඳ විමසුමක් කරලා තියෙනවා, නමුත් මේ පෞත්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුන් ගැන, උපාධිධාරීන් ගැන වගේම ඔවුන්ගේ දැනුම මට්ටම ගැන ලොකු උනන්න්දුවක් දක්වන්නේ ඉන් පිටවන උපාධිධාරීන් හෝ ඔවුන්ගේ දෙමවුපියන් හෝ නෙමේ, රාජ්‍ය විශ්වවිධ්යාල වල සිසුන්, හා උපාධිධාරීන්. පෞත්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුන්ට ඔවුන් උගත් දෙය ගැන හෝ රැකියාවක් ලබාගැනීම සමබන්දෙයන් හෝ තම අධ්‍යාපනය ලැබුවේ පෞත්ගලික විශ්වවිද්‍යාලයක බව ප්‍රශ්නයක් නැත්නම් අනිත් උදවියට ඒ පිළිබඳව විමසීමට ඇති උවමනාව ගැන නම් මට පැහැදීමක් නැහැ. ස්තුති!