Thursday, October 27, 2011

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු දෙකක් ද

ලියුම්කරුවා විසින් මෙහි ලියා ප්‍රකාශයට පත්කළ අවසන් ලිපි තුන මගින් පශ්චාත්නූතනවාදය පිළිබද මූලික කියවීමක් සිදු කළ අතරම පසුව පශ්චාත්නූතනවාදයේ එක් ප්‍රධාන සංධිස්ථානයක් වන පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය ගැන කථා කොට ඇත. අදාල ලිපි සම්බන්ධයෙන් මධ්‍යම පරිමාණයේ ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව දක්නට ලැබුණු විට පශ්චාත්නූතනවාදය පිළිබද සමාජ කුකුසක් තවමත් පවතින බව දක්නට ලැබේ. එසේම, ඒවායින් තහවුරු වන තවත් දෙයක් ඇත. එනම්, මෙතෙක් කාලයක් පශ්චාත්නූතනවාදය යනු ආභරණයක් හෝ වාග් මාලාවේ සුන්දරත්වය ඩැහැගැනීම පිණිස හැදෑරීමකින් තොරව කියවමින් සිටි සිද්ධාන්තයක් බවයි. එහෙයින්, ප්‍රතිචාර දක්වන්නන් විසින් අසමින් සිටින ප්‍රශ්න කිහිපයකි. මෙම ලිපිය අදාල එක් ප්‍රශ්නයකට පිළිතුරු දීම පිණිස ද තවත් පශ්චාත්නූතවාදී න්‍යායේ පැහැදිලිකිරීමක් සිදු කිරීමට ද යොදා ගනිමි.

යළිදු කියමි. මෙම ලිපි මගින් පශ්චාත්නූතනවාදයේ ගැඹූරු තැන් හෝ අදාල න්‍යාය පරම වශයෙන් සාකච්ඡා කිරීමක් සිදු නොකරමි. සිදුකරමින් සිටින්නේ, ඒ පිළිබද යම් මාර්ගෝපදේශ සැපයීමක් පමණි. යම් පුද්ගලයකු පශ්චාත්නූතනවාදය පිළිබද ගැඹුරු හැදෑරීමකට රුචියක් දක්වන්නේ නම් ඒ පිළිබද අවශ්‍ය සම්පත් දායකත්වය හා න්‍යායික මගපෙන්වීම් ලබා දීමට මෙන්ම අවශ්‍ය විටකදී ඒ සදහා උචිත උදවිය සොයා දීමට ද හැකි පමණ යොමු විය හැකි බව මෙහිලා සදහන් කරමි. මේ පිළිබද යමෙක් සංවාදයට සූදානම් නම් - දැනුම බෙදා ගැනීමේ හා න්‍යායික පැහැදිළිකරගැනීම් කරගැනීම හා බුද්ධි කලම්භනය සදහා සුහද සංවාදයක පවා පාර්ශවකරුවකු වීමට කැමැත්තක් දක්වන බව ද  කියමි.

අද සවස මා ෆේස්-බුක් ඔන්ලියින් ඉන්නා විටක, මගේ කාලාන්තර මිතුරකු හා මා උගත් පාසලේ ජ්‍යෙශ්ඨයකු වූ සගයකු විසින් ප්‍රශ්නයක් ඇසීය. “මල්ලි උඹ නූතනවාදියෙක් ද“ මම ඔහුට ලබා දුන් පිළිතුර වූයේ “නැහැ. මම පශ්චාත්නූතනවාදියෙක්“ යන්නයි. එවිට ඔහු පෙරළා ප්‍රශ්න කරමින් සිටියේ, “නූතනවාදය හා පශ්චාත්නූතනවාදය අතර වෙනසක් තියනව ද“ යන්නයි. මෙම ලිපියි අදාල පිළිතුරු දැක්වීම පිණිස අවකාශ කර ගැනීමට කල්පනා කළෙමි.

ලෝකයේ බොහෝ පශ්චාත්නූතනවාදී වියතුන්ට අනුව, පශ්චාත්නූතනවාදය අර්බුදයට ලක්වන අවස්ථාවන් කිහිපයක් ඇත. එනම්, නූතනවාදය හා පශ්චාත්නූතනවාදය යන න්‍යායන් දෙකෙහි වෙනසක් ඇති ද - ඇතිනම් ඒ කවරාකාරයෙන් ද යන ගැටළුව විසදීමය. දෙවැන්න නම්, පශ්චාත්නූතනවාදය කුමන කැටගරියේ න්‍යායක්ද යන්න වෙන් කර ගැනීමයි. එනම්, ආගමක් ද - දර්ශනයක් ද - එසේත් නැතිනම් වෙනත් යමක් ද මෙහිදී ප්‍රශ්න කෙරේ. සමලිංගිකත්වය හා ස්ත්‍රීවාදය ද ඇතුළු ලිංගික කරුණු සම්බන්ධයෙන් වන පශ්චාත්නූතනවාදී සංකල්පයන් පිළිබද පොදු සමාජයේ නොපැහැදිලි අදහසයි. මෙහිදී, අද වන විට මා හට පිළිතුරු දීමට සිදුව ඇත්තේ ද මෙහි පළමු හා සුලභ ප්‍රශ්නය වන පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු එකක් ද - නැතිනම් දෙකක් ද යන ගැටළුවටයි. 

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු කාලරේඛාවකින් හෝ ඉරකින් පෙර හා පසු වශයෙන් වෙන්කළ හැකි කාල දෙකකට අයත් සිද්ධීන් දෙකක් නොවන බව පළමුවම කිව යුතු වේ. එසේ, රේඛාවකින් වෙන් කර දැක්වීම කිසිලෙසකින්වත් පහසු නොවේ. පශ්චාත්නූතනවාදීන් විසින් කියනුයේ සමාජ සබදතා පරමාණුක බවයි. සමාජය පරමාණුක බව පශ්චාත්නූතනවාදීන්ගේ පමණක් නොව සෙසු සමාජ විද්‍යාඥයින්ගේ පවා මතයයි. එසේනම්, පශ්චාත්නූතනවාදයේ පරමාණුක සංකල්පය හා සෙසු දේ වෙනස් වන්නේ කෙසේදැයි ප්‍රශ්නකිරීමකට ලක්විය හැක. එසේම, පරමාණුක ස්වභාවයෙන් භාහිරට පෙනෙන්නට ඇති මානව සබදතා අභ්‍යන්තරයේදී විඝටනය වෙමින් තිබෙන බව පොදු න්‍යාය තුළදී මෙන්ම පශ්චාත්නූතනවාදී සමාජය තුළදී ද දක්නට ඇත. එය විශේෂිත පශ්චාත්නූතනවාදී පැහැදිළි කිරීමකට පමණක් අයිති නොවේ.

පශ්චාත්නූතනවාදය පැහැදිළි කිරීමේදී, ජනමාධ්‍ය විසින් හෝ වෙනත් දෙයක් මගින් වසගයට ලක් කිරීම හෝ ඩැහැගැනීම බොහෝ විෂයන් තුළ සිදුවන බව කියයි. පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය යනුවෙන් අප විසින් පවා සාකච්ඡා කරනු ලැබ ඇත්තේ එයයි. සියල්ල වසගයට ලක් වීමේ ප්‍රමාණය මත තීරණය වන බව එහිදී කියා ඇත. එනම්, ජනප්‍රියත්වය හා ප්‍රාග්ධනය හමුවේ සියල්ල තීරණය වන බවත් සත්‍යය පවා තීරණය කරනු ලබන්නේ අර්ථපතීත්වයක් මගින් බව මෙහිදී සාකච්ඡා කරයි. නමුත්, නූතනවාදීන්ට අනුව මෙම අදහස නූතනවාදීන් තුළ ද ඇත. එනම්, සියල්ල තීරණය වන්නේ ධනය හා බලය මත යැයි කියනු ලබන පොදු සමාජ කියමන මගින් අදහස් කරන්නේ ද මෙයමැයි ඔවුහු කියති. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය විසින් කියනු ලබන වෙනස තව ද වෙන් කර ගැනීමට නොහැකි වීම සාධාරණය.

සාහිත්‍ය විචාරකයිනට අනුව, පශ්චාත්නූතනවාදී සාහිත්‍යයේදී සාකච්ඡා කරනු ලබන සිනමාවේ, කළාවේ හෝ වෙනයම් සාහිත්‍යයක ලක්ෂණ නූතනවාදීන් විසින් ද එලෙසින් ම පැහැදිළි කරන්නේ යැයි යන්න නූතනවාදීන්ගේ අදහසයි. සරලවම කියන්නේ නම්, ඔවුන් කියන පරිදි සිනමාව-කළාව හා සාහිත්‍ය වැනි දේ තුළද පශ්චාත්නූතනවාදය නූතනවාදය යනුවෙන් දෙකක් වෙනම දැකීම අසීරුය. දක්නට ඇත්තේ නාමික න්‍යායන් දෙකකින් ඉදිරිපත්වන එක හා සමාන දේ ය. මචාලේ බ්‍රයන් විසින් රචිත පශ්චාත්නූතනවාදී ප්‍රබන්ධ (පෝස්ට් මොඩර්න් ෆික්ෂන්) නම් කෘතියේදී ඔහු විසින් කියනු ලබන්නේ, යම් කෘතියක හෝ සාහිත්‍ය නිර්මාණයක - නූතනවාදී ලක්ෂණ හා පශ්චාත්නූතනවාදී ලක්ෂණ යන ද්විත්වයම ඇත්තේ නම්, එය විශේෂයෙන් පශ්චාත්නූතනවාදී යන කැටගරියකට දැමීම නුසුදුසුය. එය, නම් කළ යුත්තේ නූතනවාදී කෘතියක්ය යන නමින් පමණකි.  මෙහිදී විශේෂයෙන් යමක් කිව යුතු වේ. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු නයා සහ අදුකොළ වැනි නිරන්තර අරගලයක යෙදෙන එකිනෙකට පටහැනි ද්විත්වයක් නොවේ. ඇතැම් විට සමානතා ද ඇතැම්විට විෂමතා ද පැවතිය හැක.  පශ්චාත්නූතනවාදී සංකල්ප තුළ සිදුවන්නේ නූතනවාදී අදහස් නව සමාජ සංස්ථාවක් වෙනුවෙන් ගැලපෙන පරිදි සංශෝදනය කොට වැඩි දියුණු කිරීම බව තේරුම් ගැනීමේ වරදක් නැතැයි කියමි. එසේම, පශ්චාත්නූතනවාදී සංකල්පයන් ගොඩනැගීම කෙරෙහි නූතනවාදී සංකල්පයන් උදව් වූ අතර පසුව අදාල නූතනවාදී අදහසට වඩා පෝෂණයෙන් ගොඩනැගුණු පශ්චාත්නූතව සංකල්පය වඩා දියුණු වූයේ යැයි කිව යුතුය. 

නමුත්, නීට්ෂේ හා හයිඩේගර් යන දෙදෙනාට අනුව නූතනවාදය යනු තවමත් සම්පූර්ණ නොවූ න්‍යායකි. එහෙයින්, නූතනවාදී අදහස් වැඩි දියුණු කිරීම යන දෑ සිදු කිරීමට හැකි නමුත්, එමගින් පශ්චාත්නූතනවාදය යනුවෙන් අලුත් යමක් ගොඩනැගිය නොහැකි වේ. ඔවුන්ට අනුව, නූතනවාදී අදහස් පශ්චාත්නූතනවාදය දක්වා දියුණු කිරීමට උත්සාහ කළ ඇතැමුන් නූතනවාදය තුළම හිරවී හෝ නැවතී ඇත. 

අවසාන වශයෙන් සරලව යමක් කිව හැකිය. පශ්චාත්නූතනවාදය යනු, නූතනවාදියා යම් දිනක යම් තැනකින් නවතින්නේ ද එතැනින් දශමයක් හෝ ඉදිරියට පෝෂණය වූ සංකල්පයකටයි. න්‍යායකටයි. අදහසකටයි. නූතනවාදයේ අවසානය අනන්තය නම්, පශ්චාත්නූතනයාදය යනු පශ්චාත්නූතනවාදය = නූතනවාදයේ අවසාන පැහැදිළි කිරීම (නූතනවාදී අනන්තය) + 1 යන සමීකරණයටයි.

Tuesday, October 25, 2011

පශ්චාත්නූතනවාදී ජනමාධ්‍යය

ලියුම්කරුවා විසින් පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ පිළිබද යම් මූලික හෙවත් ප්‍රාථමික අධ්‍යයනයක් මෙහි ප්‍රකාශයට පත්වූ මුල් ලේඛන දෙකකදී දැක්වීය. ඒ අනුව, දැන් අපට හැදෑරීමට ඉතිරිව ඇත්තේ පශ්චාත්නූතනවාදය මගින් සාකච්ඡා කරන සෙසු කරුණු පිළිබද වන හැදෑරීමයි. මේ අනුව, මෙම කියවීම මගින් පශ්චාත්නූතනවාදී හැසිරීම හොදිව් හදුනාගත හැකි, පොදු සමාජයට සංවේදී විෂයක් පිළිබද හැදෑරීමට අවකාශ වෙන් කිරීමට කල්පනා කළෙමි.

මේ අප ජීවත්වන්නේ තොරතුරු සමාජයක යන්න, ජනමාධ්‍ය පිළිබද කතා කිරීමේදී පට්ට ගසනා කියමනකි. එහි සත්‍යතාවයක් ඇත. නමුත්, ඔය කියන දේශකයින් හෝ විචාරකයින් විසින් පුම්ඹා දෙන තරමටම මේ සමාජය තොරතුරු සමාජයක් දැයි විමසා බලනු වටියි. මෙහි අරමුණ වන්නේ, මේ සමාජයේ තොරතුරුමය වටිනාකම සොයා බැලීම නොවේ. එසේ වුවත්, පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය පිළිබද කතා කිරීමේදී සමාජයේ තොරතුරුමය වටිනාකම හෝ සමාජය තුළ තොරතුරු වලට ඇති වටිනාකම හෝ තත්ත්වය පිළිබද සොයා බැලීම අත්‍යාවශ්‍යම නොවූවත් අවශ්‍ය තත්ත්වයකි.

සමාජයේ පැවැත්ම කෙරෙහි ජනමාධ්‍ය විසින් කරන බලපෑම ඉතා ප්‍රබලයි. මිනිස් ක්‍රියාකාරකම් පමණක් නොව සිතිවිලිවල හැසිරීම කෙරෙහි ජනමාධ්‍යයෙන් කරන බලපෑම වඩා ප්‍රබල වේ. අද වන විට හුස්ම ගැනීම, කෑම - බීම - ලිංගික ආශ්වාදය ඇතුළු සියලුම කාරණා පාලනය කරන සාධකය බවට ජනමාධ්‍ය පත්ව තිබේ. ජනමාධ්‍යය යනු කවර ගණයේ දේ ද යන බව කල්තබාම විසදා ගත යුතු වේ යැයි විශ්වාස කරමි. ජනමාධ්‍ය කියූ පමණින් සිහියට එන පත්තර - ටී. වී. - රේඩියෝ මෙන්ම අන්තර්ජාලය හෙවත් පරිඝණක ජාල ද දුරකථනය ද ජනමාධ්‍ය ගණයට වැටෙන බව විශ්වාසයයි. පොත-පත සහ හුවමාරු වන චිට්-තුන්ඩු පවා ජනමාධ්‍යය වේ යැයි ජනමාධ්‍ය පිළිබද විද්වතුන්ගේ අදහසයි.

පශ්චාත්නූතනවාදී සමාජය තුළ ජනමාධ්‍යයක වගකීම තොරතුරු ව්‍යාප්ත කිරීම හෝ තොරතුරු මත පදනම්ව ගොඩනැගෙන සෙසු දේ සමග පමණක් සීමා නොවේ. අද වන විට, මානව සංකල්ප වෙළද භාණ්ඩ බවට පත් කරමින් අළෙවි කිරීම ද ජනමාධ්‍ය විසින් සිදු කරයි. ඇත්ත වශයෙන්ම කිවතොත් අද වන විට ජනමාධ්‍ය විසින් කරමින් සිටින්නේ අලෙවි කිරීමේ කාර්යයි. මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය තෘප්ත කිරීම පිණිස ජනමාධ්‍ය විසින් තොරතුරු අළෙවි කරයි. විඩාව හා කාන්සිය මැඩලීමට අවශ්‍ය සුවපහස හා හවුල්කාරීත්වය අළෙිවි කරමින් සිටියි. ගැහැණිය, තම රූපශෝභාව පිළිබද තෘප්තිමත් නොවන්නේ නම් - එසේ තෘප්තිමත් විය හැකි තරමේ සාධකයන් අළෙවි කිරීම ජනමාධ්‍ය විසින් සිදුකරමින් සිටියි. සාමාන්‍යෙයන් මාධ්‍යයක වගකීම වන්නේ තොරතුරු යන්න පොදු සමාජයේ අදහසයි. එනම් මහා ආඛ්‍යානය එයයි. නමුත්, පශ්චාත්නූතනවාදය විසින් පෙන්වා දෙන පරිදි මහා ආඛායනය විසින් හදුනා නොගත් දේ නම් තොරතුරු වලින් භාහිර සෙසු දේ වන ජීවන හුස්ම වැටීමට අවශ්‍ය ආත්ම තෘප්තියේ සිට සියලු දේ ජනමාධ්‍ය විසින් අළෙවිකරමින් සිටියි.

ජනමාධ්‍යයක පරම වගකීම යනු තොරතු බෙදා දීම නම් අද වන විට ජනමාධ්‍ය විසින් ලබා දෙමින් සිටින්නේ සත්‍යය හෝ සැබෑ තොරතුරු ද යන ප්‍රශ්නය ඉස්මතු වේ. මෙහිදී, ජනමාධ්‍යයකට විශාල වගකීමක් පැවරේ. නමුත්, සෙසු තරගකාරී මාධ්‍යයන් සමග තරගකිරීමට සිදුවේ. ජනමාධ්‍යයක් විසින් සත්‍ය ප්‍රචාරය කිරීමේදී, සත්‍යයන් කිහිපයක් ඇති අවස්ථාවන් බහුලව පවතියි. එවිට, ජනමාධ්‍යයක් ආයතනයක් ලෙස ප්‍රචාරය කළ යුත්තේ අදාල සත්‍යයන්ගෙන් කවර සත්‍යය ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ. එවිට තමන් විසින් තෝරාගත යුතු වන්නේ තමන් විසින් අළෙවිකරමින් සිටින දෑ වෙත සමපාත වන සත්‍යයි. න්‍යායාත්මක පැහැදිළිකිරීමක් තුළ මෙය අපභ්‍රන්ශයක් විය හැක. එහෙයින්, අදාල සිද්ධාන්තය පැහැදිලි කිරීම කෙරෙහි උපකාර පිණිස යාබද උදාහරණයක් මෙසේ ඉදිරිපත් කරමි. මුල්ලේරියාවේදී දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් වෙඩි හුවමාරුවකට මැදි විය. අදාල කරුණ සත්‍යයකි. භාරත මිය ගිය බවත් පොදු සමාජය දන්නා පරිදි දුමින්ද බරපතල තුවාල ලැබූ බවත් සත්‍යයකි. මෙහිදී, ජනමාධ්‍ය විසින් දන්නා සත්‍යය ප්‍රචාරය කිරීමේදී තමන්ගේ වෙළද පොළට ගැලපෙන දේ සත්‍යය ලෙස වෙන් කොට ප්‍රචාරය කිරීම සිදු කළ යුතු වේ.

දුමින්දගේ සහෝදරයාගේ හිමිකාරීත්වය හිමි ආසියානු මාධ්‍ය ජාලයේ තොරතුරු සම්ප්‍රේෂණය සිදු වන්නේ දුමින්ද වෙඩි ප්‍රහාරයට ලක් වූ අයුරිණි. දුමින්ද ට එරෙහි යම් මාධ්‍යයක් විසින් මෙය වාර්තා කරන්නේ භාරත වෙඩි ප්‍රහාරයට ලක් වූ අයුරිණි. මේ කතා දෙකම හෙවත් සිද්ධි දෙකම සත්‍යය වේ. දෙදෙනාම වෙඩි කා ඇත. නමුත්, දුමින්ද වෙඩි කෑ බව කියන ඒ. බී. සී. ය භාරත ගැන හාන්කවිසියක් නොදොඩයි. මන්දයත්, ඒ. බී සී.යේ වෙළදපොළ හා අළෙවිකරුවන් සැදී ඇත්තේ එම සත්‍යය පිළිගැනීමටයි. එහෙයින්, උක්ත සත්‍ය සිද්ධියේදී ඒ. බී. සී.යට ගැලපෙන සත්‍යය කොටස පමණක් උකහාගෙන ප්‍රචාරය කිරීම ඔවුන් විසින් සිදු කරයි. එකම සිද්ධියක් දෙවිදියකට වාර්තා කරනු ලබන්නේ මාධ්‍යය විසින් තමන්ට සාපේක්ෂ සත්‍යයි. එහි වරදක් නැති බව පශ්චාත්නූතන සමාජයකදී තේරුම්ගත යුතු වේ. එනම් අප විසින් පශ්චාත්නූතන සමාජයක මාධ්‍ය පිළිබද තේරුම්ගත යුතු කරුණ වන්නේ, සත්‍යය නම් අංශුමය ලක්ෂණ සහිත එකක් බවයි. එහෙයින්, සත්‍යය එකකට වැඩි ගණනක් තිබිය හැක. පෙර ලිපියක දැක්වූ පරිදි පශ්චාත්නූතනවාදීන් විසින් ලොව පරම සත්‍යයක් නැත යනුවෙන් ද ඇත්තේ සාපේක්ෂ සත්‍යයක් පමණක් බව ද යන බව මූලධර්මයක් ලෙස පෙන්වා දෙන්නේ එහෙයිනි. ඒ අනුව, ජනමාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති කාමරයේ මේස උඩ සාපේක්ෂ සත්‍යය හා වෙළදපොළට ගැලපෙන සත්‍ය නිෂ්පාදනය කරමින් සිටියි. අංක එකේ ‘ප්‍රවෘත්ති සපයන්නා‘ වන්නේ එහෙයිනි. මෙහිදී, තවත් දෙයක් සැලකිල්ලට ගත යුතු වෙයි. සත්‍යයය දෝලනය වන්නේ ප්‍රාග්ධනය හෝ අර්ථපතීත්වයේ දෝලනය වීම සමගයි.

ඒ අනුව, මිනිසුන් විසින් වඩාත් පිළිගැනීමට ලක් වන්නේ වඩාත් ශක්තිමත් ප්‍රාග්ධනයක් හෝ අර්ථපතීත්වයක් විසින් නිර්මාණය කරන හෙවත් ‘රෝල් කරන‘ සත්‍යයයි. අප දැනගත යුතු සත්‍යය තීරණය කරන්නේ වඩාත් ශක්තිමත් ප්‍රාග්ධනයක් හිමි ජනමාධ්‍ය ආයතනය හෝ ආයතන විසිනි. 

සෙසු කරුණු ද උක්ත කරුණු හරහාම කියවා ගත හැකි වේ. ඒ අනුව, ආදරය-යුක්තිය-සාධාරණය-සාමය හෝ යුද්ධය ආදී සියල්ලටම සිදුවන්නේ එසේය. ලිබියාවේ ගඩාෆිට පහරදී ඝාතනය කිරීම කොතරම් දුරට සාධාරණ ද නැතිනම් යුක්ති සහගත ද වන්නේ ප්‍රාග්ධනය වැඩි සමාගමක් හෝ ආයතනයක් විසින් කියනු ලබන සත්‍යයි. ගඩාෆි ඝාතනය බී. බී. සී., සී. එන්. එන්., රොයිටර්ස් විසින් සාධාරණීකරණය කරන්නේ නම් ලෝකයේ සත්‍යය වන්නේ එයයි. ගඩාෆි ද්‍රෝහියෙක් වන්නේ එහෙයිනි. නැතිනම්, ගඩාෆි වීරයෙක් වන්නේ ද එසේමය. ඇමරිකානුවන් ගඩාෆි ඝාතනය “වාව්“ කීමට සිද්ධීයක් කරගන්නා විට - ලංකාවේ වැසියන් විසින් ගඩාෆි ඝාතනය “ඇමරිකානු කුමන්ත්‍රණයක් හෝ පාපයක්“ ලෙස පෙන්වා දෙන්නේ ඒ ඒ තැන්හි ප්‍රාග්ධනයේ ශක්තිමත්භාවය මතින් නිර්මාණය කරන සත්‍යය මතයි.

අද වන විට මාධ්‍යවේදීන්ගේ පැවැත්ම හා ඔවුන්ගේ කුසලතාවය රදාපවතින්නේ එහෙයිනි. යම් මාධ්‍යකරුවෙකුට, ප්‍රාග්ධනයට හෝ අර්ථපතීත්වයට හිමි පරිදි හැසිරෙන්නේ නම් - ඔහුට නියම මාධ්‍යකරුවෙක් විය හැක. 

පශ්චාත්නූතනවාදය යනු... ( 2 වෙනි කොටස )

පශ්චාත්නූතනවාදය යනු කුමක් ද යන බව කියවීම පිණිස ප්‍රාථමික කියවීම ආරම්භ කළෙමි. එසේම, පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ අතරින් ප්‍රමුඛ පෙළේ න්‍යායන් කිහිපයක් හෙවත් මූලික සිද්ධාන්ත කිහිපයක් මෙහි පළමු ලිපියේ ලියා ඇත. ඒ අනුව, මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනුයේ අදාල න්‍යායන්ගේ මීලග ලක්ෂණ කිහිපයක් පිළිබද ප්‍රාථමික කියවීමක් හෝ හැදෑරීමක් සිදු කිරීමටයි.

පෙර කී කරුණු හතරින් පසු, පශ්චාත්නූතනවාදයේ ලක්ෂණයක් සේ සලකනු ලබන්නේ සංස්කෘතික ප්‍රෙභ්දකරණය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රමිතියයි. මෙම ප්‍රමිතිකරයට අනුව, තත් කාලීන සංස්කෘතිය පිළිබද මානව අදහස පිළිබද පශ්චාත්නූතනවාදයේ අදහස ඉදිරිපත් කරයි. මහාචාර්ය ෆෙඩ්‍රික් ජෙම්සන්ට අනුව - මෙම සිද්ධාන්තය පහදන්නේ මෙසේය. සංස්කෘතිය යනු, “දැනුම විශ්වාසය, කළාව, සදාචාරය, නීති - සිරිත් - විරිත් සමාජයේ ජීවත් වන පුද්ගලයකු ලෙස ලබා ගත් පුරුදු හා හැකියා ඇතුළත් සංකීර්ණ සමස්තයයි. එසේ ම සංස්කෘකිය යනු සමාජයේ සාමාජිකයින් බෙදාහදා ගන්නා අදායන චර්යා ලෙසත් හැදින්විය හැක.‘‘ ඒ අනුව, පශ්චාත්නූතනවාදය යනු සංස්කෘතික ප්‍රෙභ්දකරණයට ප්‍රතිවිරුද්ධ අදහස් දැරීමයි. ඒ අනුව, විදග්ධ හා ජනප්‍රිය හෝ ප්‍රශස්ථ හෝ එසේ නොවන කළාවක් හෝ සංස්කෘතියක් කියා දෙකක් නැත. ඇත්තේ, එකකි. එය සංස්කෘතිය ලෙස පිළිගනියි. කෙනෙකු විසින් යහපත් ලෙස වැළදගන්නා දෙයක් තවත් අයෙක් විසින් අයහපත් යැයි විශ්වාස කරයි. නමුත්, පශ්චාත්නූතනවාදයේදී යහපත් හා අයහපත් ලෙස ප්‍රෙභ්සකරණය වූ දෙකක් නැත. භේදය වෙනුවට සංස්කෘතික සම්මිශ්‍රණය උතුම් යැයි සැලකීම පශ්චාත්නූතනවාදීන් විසින් අදහනු ලබයි. සාමාන්‍ය මිනිසාට අනුව  ජෝතිපාල යනු ජනප්‍රිය සංස්කෘතියේ ගායකයෙකි. අමරදේව යනු විදග්ධ සංස්කෘතියේ ගායකයෙකි. නමුත්, පශ්චාත්නූතනවාදයට අනුව, නියම ගායන කළාව යනු - ජෝතිගේ හා අමරදේවයන්ගේ කළාවයි.

පශ්චාත්නූතනවාදය පිළිබද හැදෑරීමේදී, තවත් සුවිශේෂී ලක්ෂණයක් පවතියි. එනම්, විසංයෝජනයයි. මෙය මෙම න්‍යායේ මූලස්ථම්භය ලෙස සලකයි. මෙය සරලව පැහැදිළි කිරීමට යම් උත්සාහයක් ගතහොත්, විචාරය කිරීම ට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. ප්‍රතිභවය හෙවත් ඔරිජිනල් එක වෙන් කොටගෙන (රවුම් කරල අරගෙන) විශ්ලේෂණය කිරීමේ පුරුද්ද මෙහිදී අදහස් කරයි. මේ පිළිබද ඩෙරීකාගේ ෆාමසි යන පොතේ වැඩි වශයෙන් කතා කරයි. මුල් කෘතිය තනිකරගනිමින් එහි අංගෝපාංග වෙන් වෙන්ව කියවා බැලීම මෙහිදී සිදු කරයි. සේකරගේ තුන්මං හන්දිය කියවන පශ්චාත්නූතනවාදියා විසින් සේකර, තුන්මං හන්දිය හා එහි සෙසු කරුණු වෙන් වෙන්ව රවුම් කරමින් කියවයි. සෙසු පුද්ගලයා මේ සියල්ල එකට ගෙන කියවයි. නමුත්, පශ්චාත්නූතනවාදියා විසින් කරන මේ හැදෑරීම සෙස්සාගෙන් වෙනස් වන්නේ, රාමු සැකිල්ලේ එක් එක් දණ්ඩ වෙත වෙන් වෙන්ව බලය යොදමින් බලඝූර්ණය සොයන්නා සේ, වෙන් වෙන්ව හැදෑරීම සිදු කිරීම නිසායි.

ස්වරූපරාගය හෙවත් නාසිස්මය (නාර්සිස්ම්) යනු පශ්චාත්නූතනවාදී ලක්ෂණයකි. මනෝජ් ප්‍රසන්න රත්නායක විසින් පැහැදිලි කරන ආකාරයට නාසිස්මය යනු, තමාට තමාගේ ප්‍රතිරූපයටම දක්වන අසීමිත ආදරයයි. ඒ අනුව, පෙනී යන්නේ නාසිස්මය හෙවත් ස්වූපරාගයට ගොදුරුවූවකු නිරන්තරයෙන් ආත්ම වන්දනාවේ යෙදෙයි. මමත්වයෙන් කටයුතු කරයි. මෙහි උච්චතම අවස්ථව වන්නේ, තමා පමණක් පවතිනවාය යන අදහසයි. ඉන් මෙහා පවත්නා, තමා තමාට ‘පොරක්‘ ලෙස සලකා කටයුතු කරයි. තමන්ගේ පිළිරුව තමන් විසින්ම නෙළාගෙන තමන් විසින්ම ගරු සත්කාර පවත්වාගන්නවා වැනි තත්ත්වයකි. සිග්මන් ප්‍රොය්ඩ්ට අනුව, සෑම මනුෂ්‍යෙයක් තුළම අඩුවැඩි වශයෙන් මෙම ස්වරූපරාගය පවතියි. එය සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයකි. මෙ පශ්චාත්නූතනවාදී ලක්ෂණයක් වන්නේ, තමාගේ භෞතික රූපයට හෝ තමාගේ කුසලතාවයන්ට හෝ හැකියාවන්ට අසීමිත ලෙස ආසරය කිරීමේ තත්ත්වයයි. පශ්චාත්නූතනවාදී නාසිස්මය පවත්නා පුද්ගලයාට, ඔහු පිළිබද විශාල විශ්වාසයක් පවතියි. එසේම, අදාල විශ්වාසය පොදු සමාජය තුළ රෝපණය කිරීමට උත්සාහ දරයි. මේ අනුව, පශ්චාත්නූතන නාසිස්මය තුළ අනෙකා නොපවතියි. තමාම පමණක් පවතියි. තවත් සරලවම කියන්නේ නම්, මහින්ද රාජපක්ෂට අනුව, යුද්ධය අවසන් කළේ මහින්දය. සරත් ෆොන්සේකාට අනුව, යුද්ධය අවසන් කළේ සරත්ය. ගේඨාභය ට අනුව යුද්ධය අවසන් කළේ ගොඨාගේ කෙරුම්කාරකමටය. මෙහිදී, මේ තිදෙනාම නාසිස්මයට අනුව හැසිරෙයි. නමුත්, මෙහිදී පශ්චාත්නූතන නාසිස්මය සාර්ථක කරගන්නේ අදාල ආත්ම වර්ණනාව පොදු සමාජය විසින් වැළද ගැනීමේ ප්‍රමාණය මතයි. 
මේ අනුව, පශ්චාත්නූතනවාදයේ මූලික ස්ථම්භයන් හතක් මේ වන විට සාකච්ඡා කොට ඇත. නමුත්, කිව යුතු ප්‍රධානය කරුණක් නම්, පශ්චාත්නූතනවාදය යනු මෙම කරුණු හත පමණක් නොවේ. එසේම, මෙහිලා දක්වා ඇත්තේ පශ්චාත්නූතනවාදයේ ගැඹුරු හා පරම අදහස නොවේ. මෙය යම් මග පෙන්වීමක් පමණයි. මෙය යම් හැදෑරීමක් වෙනුවෙන් මග පෙන්වීමක් පමණක් වන බව ද කියමි.

එසේම, පශ්චාත්නූතනවාදී සෙසු ආශ්‍රයන් හා පරිවාර කරුණු පිළිබදව ද මෙමගින් සාකච්ඡා කිරීමට හා හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින බව කියමි. අදාල කරුණු හැදෑරීමට පෙර, මෙම මූලික ලක්ෂණයන් පිළිබද දීර්ෂ ලෙස සාකච්ඡා කිරීමට ඔබට ආරාධනා කරමි.

Sunday, October 23, 2011

පශ්චාත්නූතනවාදය යනු... ප්‍රාථමික කියවීමක්

අද වන විට පශ්චාත්නූතනවාදය යන වචනය හෝ සංකල්පය පිළිබද ඇත්තේ විවිධ ආකල්පයන් හා හැමගීම්ය. පශ්චාත්නූතනවාදය යනු සමලිංගික සේවනය වෙනුවෙන් පෙනී සිටීමේ න්‍යාය හෝ සමාජ සිද්ධීන් වෙනුවෙන් කුණුහරැප අර්ථ නිරූපණ සපයමින් සිටින න්‍යායික හැදෑරීමක් ලෙස බොහෝ දෙනා සිතමින් සිටිනු දක්නට ඇත. නුමත්, පශ්චාත්නූතනවාදය පිළිබද ‘දෙන්නම් දොඩම්‘ විවේචනය කරමින් සිටින කිසිවකුත් එම න්‍යාය පිළිබද ගැඹුරු හැදෑරීමක් හෝ කියවීමක් සිදු නොකර එවැනි අදහස් හා මත දරමින් සිටිනු බව දක්නට ඇති බව දැකීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත්, පශ්චාත් නූතනවාදය යනු එක ලිපියකින් කියවා ගත හැකි සිද්ධි අධ්‍යනයක් හෝ න්‍යායක් නොවන බැව් ද සදහන් කළ යුතුය. නමුත්, ඒ පිළිබද හදාරණු ලදුව යම් ලක්ෂණමය පැහැදිළි කිරීමක් කිරීම වටින්නේ යැයි සිතණු නිසා ලියුම්කරුවා විසින් මෙහි ලිවීමට අදහස් කරයි.

පශ්චාත්නූතනවාදය පිළිබද සමාජ විද්‍යාඥයින් විසින් පවා දරණ අදහස් ඇතැම් විට හාත්පස වෙනස් අදහස්ය. රූට්ලෙජ් නම් විශ්වකෝෂය විසින් පශ්චාත්නූතනවාදය හදුන්වන්නේ, නුතනවාදයට පසුව පැමිණි ව්‍යාපෘතියක් ලෙසයි. බ්‍රිටැනිකා විශ්වකෝෂය විසින්, එය නූතනවාදයට එරෙහි ව්‍යාපෘතියක් ලෙසත් මහාචාර්ය ඤාණදාස පෙරේරා සහ දයා එදිරිසිංහ යන වියතුන් විසින් එය නූතනවාදයට එරෙහි ප්‍රතිචාරයක් ලෙසත් හදුන්වාදෙයි. එසේම, පශ්චාත්නූතනවාදය පිළිබද සොයා බැලීමේදී තවදුරටත් මීට වඩා සාර්ථක හෝ තේරුම්ගත හැකි තැනකට යා යුතුව ඇති බව හැගේ. ඉකෝ නම් විශ්ලේෂකයා විසින් මෙසේ තර්ක කරයි. ඔහුට අනුව, පශ්චාත්නූතනවාදය යනු හැම යුගයකදීම පවත්නා ඒ ඒ යුගයට යම් වෙනස්කමක් දක්වන තත්ත්වයකි. එහෙයින්, පශ්චාත්නූතනවාදය යනු 70 හෝ 8- දශකයේ ආරම්භවූවක් බව කිව නොහැක. ඉකෝගේ අදහස වන්නේ, කාලය සමග සම්බන්ධ ප්‍රවණතාවක් ලෙස නොව පරමාදර්ශී ප්‍රවර්ගයක් ලෙස අර්ථ දැක්වීය යුතු බවයි. එහෙයින්, පශ්චාත්නූතනවාදය යනු තත් කාලීන සමාජ පැවැත්මට එරෙහි ප්‍රවණතාවක් යන සරල අදහසින් තේරුම්ගත යුතු වන්නේ යැයි ව්ශ්වාස කරමි.  සංශිප්තව සැලකීමේදී, පශ්චාත්නූතනවාදය යනු සංස්කෘතික, සමාජයීය හා දාර්ශනික සංගල්පවලින් සුසැදුණු දෘශ්ඨිවාදයක් බව මනොජ් ප්‍රසන්න රත්නායකගේ අදහසයි.

පශ්චාත්නූතනවාදය ලක්ෂණ කිහිපයකින් යුක්ත වේ. පශ්චාත්නූතනවාදයේ මූලිකම ලක්ෂණය නම් ‘මහා ආඛ්‍යානය ප්‍රතික්ෂේප කිරීම‘යි. සංස්කෘතික සිද්ධීන්ට හා සමාජයේ සම්මත යැයි පිළිගත් සිද්ධීන්ට සුජාත බවක් සපයන සිද්ධාන්තයන් මහා ආඛ්‍යානය යනුවෙන් සරලව කියවා ගත හැක. එනම්, එල්බගෙන සිටින මතවාදයන් හා බිදහෙළිය නොහැකි තරමටම විශ්වාස කරන සිද්ධීන් පිළිබද වන විරුද්ධ ප්‍රතිචාරය හෝ සහේතුක විවේචනය මෙනමින් හදුන්වයි. ඒ අනුව, පශ්චාත්නූතනවාදයේදී පොදු හා සම්මත සිද්ධීන් පිළිබද අන්ධ භක්තියක් නොදක්වයි. මේ තත්ත්වය ඉතා පහසු එකක් නොවේ. මෙවැනි සිද්ධාන්තයන් පිළිබද සමාජයෙන් එල්ල විය හැකි ප්‍රතිවිරෝධය ඉතාම විශාලය. පොදු සමාජයේ වීරයෙකු ලෙස පිළිගනිමින් සිටින පුද්ගලයකු වීරයකු නොවන බව කීමට යාමේදී සමාජය විසින් ‘පිස්සකු‘ යැයි හංවඩු ගැසිය හැක. උදාහරණයක් ලෙස, දුටුගැමූණු රජු යනු පොදු සමාජය වෙනුවෙන් පෙනී සිටි අයෙක් නොව, ඔහුගේ රාජත්වය හා රාජකීය උරුමය වෙනුවෙන් පොදු සමාජය භාවිත කළ, ‘පාවිච්චි කළ‘ අයෙක් යැයි කිව හැක. නමුත්, දුටුගැමුණු රජු යනු ජාතික වීරයෙක් හා පොදු සමාජයේ පොරකි. එහෙයින්, මහා ආඛ්‍යානය විසින් වැළදගෙන සිටින මේ අදහසට ප්‍රතිවරුද්ධව යටකී තර්කය ගෙන ඒම පොදු සමාජ විවේචනයට ලක් වීම සාධාරණය. නමුත්, දුටුගැමුණු රජු සේනා සංවිධාන කළේත්, යුධ වැදුණේත් තම රාජත්වය ආරක්ෂා කර ගැනීමේ පුද්ගලික ආත්මාර්ථීය හැගීමෙන් යැයි තර්ක කළ හැක. එවැනි, කරැණක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහලයන් විසින් රටේ පොදු බහුතර අත්කරගත් බව ද කිව හැක. පශ්චාත්නූතනවාදීයා හෝ එම සිද්ධාත්නය විසින් පොදු සමාජයේ පූජනීය ලෙස විශ්වාස කරමින් සිටින, මහා ආඛ්‍යානය ප්‍රශ්න කරයි. එය, පොදු ආඛ්‍යානයේ එල්බගෙන සිටින - වෙනත් හැගීමක් නොදක්වන අය විසින් විවේචනය කරයි. නමුත්, පශ්චාත්නූතනවාදියා පොදු සමාජයේ පොදු සිතිවිල්ල අතික්‍රමණය කරමින් මහා ආඛ්‍යානය ගැඹුරින් හදාරා, පසුව මහා ආඛ්‍යානවලින් ඉවත් වෙයි.

පශ්චාත්නූතවාදයේ දෙවැනි විශ්වාසය නම්, පරම සත්‍යයක් නොමැත යන විශ්වාසයයි. එනම්, පරම පාරිශුද්ධ සත්‍යයක් නොපවතින බවත් ඇත්තේ සාපේක්ෂ සත්‍යයක් පමණක් බවත් යන විශ්වාසයයි. පශ්චාත්නූතනවාදයේදී සත්‍යෙය් අනේකතාවය පිළිබද විශ්වාසය තබයි. සත්‍යය යනු මායාවක් බවත් පොදු ආඛ්‍යානය විසින් හෝ බහුතරය විසින් හෝ බහුතරයට පිළිගත හැකි සුළුතරය විසින් හෝ එක් අයෙක් විසින් කියනු ලබන දේ පොදු සමාජයට සාපේක්ෂව සත්‍යයක් ලෙස පිළිගනියි. එහෙයින්, නිරපේක්ෂවම සත්‍යයැයි අර්ථ ගැන්විය හැකි පරම පැවැත්මක් නොමැති බව ද විශ්වාසයයි. නීට්ෂේ නම් දාර්ශනිකයා විසින් දක්වන අයුරින් සත්‍යය යනු පුද්ගලයා විසින් නිර්මාණය කර ගන්නා ලද මායාවකි. මායාව සත්‍යයක් යැයි ව්ශ්වාස කරමින්, එය සත්‍යයමැයි ව්ශ්වාස කරගනිමින් සිටියි. මාක්ස්වාදයට අනුව, ලොව පවත්නා පරම සත්‍යය මාක්ස්වාදයයි. ට්‍රොස්ට්කිට අනුව, ලොව පවත්නා පරම සත්‍යය ට්‍රොස්ට්කිගේ අදහසයි. කිතුනුවන් විසින් පරම සත්‍යය ලෙස විශ්වාස කරන දේ බුදුදහමේදී සත්‍යයක් නොවී විසිරී යයි. බුදු දහමේ සත්‍යය ලෙස දේශනා කරන දේ, බෞද්ධයාට සාපේක්ෂව සත්‍යයක් වුවත් වෙනත් තැනකදී එය අසත්‍යයක් වෙයි. එහෙයින්, සමාජය තුළ සත්‍යයක් නැත, ඇත්තේ ඒ ඒ පොදු සමාජයට හෝ පුද්ගලයාට සාපේක්ෂ සත්‍යයක් පමණක් බව පශ්චාත්නූතවාදය සිද්ධාන්තයක් ලෙසම විශ්වාස කරයි. තවත් උදාහරණයක් ලෙස, මහා ඉහළින් පිළිගත් සොක්‍රටීස් තවත් කළෙක තුට්ටුවකට ගණන් නොගැනීමට ලක් වේ. 

පශ්චාත්නූතනවාදය තුළ විශ්වාස කරන මුඛ්‍ය සිද්ධාන්තයක් ඇත. එනම්, අධියථාර්ථයයි. මෙහි ඉංග්‍රීසි වචනය හයිපර්-රියලිටි යන්නයි. අධියථාර්ථය යනු- (1) ජනමාධ්‍ය (2) බහුජාතික ප්‍රාග්ධනය (3) භාෂාව හා දෘශ්ඨිවාදය හා (4) අන්තර්ජාලය යන සිද්ධීන් විසින් නිර්මාණය කරනු ලැබූවකි. එක් පැත්තකින්, හිට්ලර්ගේ ගොබෙල්ස් න්‍යාය ද මීට යම් සමානකරමක් දක්වයි. සිදු නොවූවක් නොව අසත්‍යයක් දිගින් දිගටම සිදු වූවා සේ පෙන්වා දීම හෝ නිරන්තර තෙපලීමෙන් විශ්වාස කරන තත්ත්වයට පත් කිරීම මෙමගින් අදහස් වේ. සිව්මාන චිත්‍රපටයක් විසින් පෙන්වන සිද්ධිය, එම සිනමා පටය නරඹමින් සිටින අවස්ථාවේදී පෙණෙමින් තිබෙන්නේ සත්‍යයක් මැයි හැගේ. නමුත්, එහි ඇති සත්‍යයක් නැතැයි නොතේරේ. සැබෑ නත්තල් ගසකට වඩා මනහරව නිර්මාණය කළ ප්ලාස්ටික් නත්තල් ගසක් ලස්සන යැයි කියමින් වැළදගනියි. කාමුක චිත්‍රපටයක හෝ නිල් චිත්‍රපට ලෙස සමාජය විසින් කොන කොට ඇති නමුත්, නැරඹීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ ප්‍රවණතාවක් ඇති චිත්‍රපටයන්ගේ දර්ශන, යථාර්ථ ලිංගික හැසිරීමකට වඩා ඉදිරියෙන් සිටියි. යථාර්ථ ප්‍රජනනයට වඩා මෙහි ඇති ප්‍රජනනය වඩාත් ප්‍රමෝදයක් ගෙන දෙයි. නමුත්, මෙවැනි කාමුක වින්දනයක් ලබා දෙන සැබෑ සහකාරියන් පොදු සමාජයේ නොපවතියි. නොසිටියි. මෙතැන මැවෙමින් තිබෙන්නේ අධියථාර්ථයකි. මෙහි සත්‍යයක් ද නැත්තේම නැත. නමුත්, මෙහි අසත්‍යයක් ද නැත්තේම නැත. මෙතැන ඇත්තේ, අධියථාර්ථයකි.

පශ්චාත්නූතනවාදයට අනුව, මිනිසා යනු භාෂාත්මක නිර්මාණයකි. මිනිසාගේ පැවැත්ම හා මිනිසාගේ හැසිරීම හෝ සම්පූර්ණයෙන්ම පාහේ මිනිසා කවුරුන් වන්නේ ද යන්න තීරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ භාෂාව මතයි. මේ අනුව, මිනිසාගේ භාෂාව කුමක් ද යන භාහිර සාධකය මත මිනිසාගේ සියල්ල තීරණය වේ. අද වන විට අප සිංහල කතා කරමින් සිටින නිසා, රට බෙදා වෙන් කළ නොයුතු බවත් - එල්. ටී. ටී. ඊ. යනු වර්ගවාදී ත්‍රස්තවාදීන් යැයි කියයි. නමුත්, අප දෙමළ බස කථා කරමින් සිටි ඔවුනට පක්ෂපාතීත්වයක් දැක්වූයේ නම්, එය දෙමළ විමුක්ති ජන අරගලයක් ලෙස අර්ථ ගන්වනු ඇත. එසේම, පලස්ථීනය වෙනම රටක් ලෙස පිළිගත යුතුද නැතිද යන කරුණේදී ඊට පක්ෂ වනවා ද නැති ද යන කරුණ තීරණය වන්නේ කතෝලිකභාවය හෝ යුදෙව්භාවය වෙනුවෙන් දක්වන නැඹුරුව මතයි. එහෙයින්, මිනිසා යනු භාෂා නිර්මිත සත්වයෙකු යැයි කියන්නේ, භාෂාව පමණක් නොව සෙසු භේදයන් මත ද බලපෑම් මත ද එය තීරණය වන නිසයි. ඔසාමා බින් ලේඩාන් ඝාතනය කිරීම, ලෝක ත්‍රස්තනායකයකු ඝාතනය කිරීමක් යැයි ඔබාමා පවසන විට ඔසාමා යනු සිය ආගමික න්‍යායන් අනුව යුධ වැදීමට උත්සාහ කළ එකෙක් බවත් එය ආගමට පටහැණි නොවන බවත් උසාමා නම් මගේ මිතුරකු කියා සිටින්නේත්, පශ්චාත්නූතවාදීන් විසින් හදුන්වනු ලබන - මිනිසා යනු භාෂාත්මක නිර්මිතයක් - යැයි කියන සිද්ධාන්තය සත්‍යයක් වන බවයි. නමුත්, පොදු ආඛ්‍යානය කියා සිටින්නේ, මිනිසා භාෂා නිර්මාණයක් නොව - භාෂාව මිනිසාගේ නිර්මාණයක් බවයි. නමුත්, ඊට අදාල සරලව ප්‍රශ්න කිරීම මෙසේයි, භාෂාව මිනිසාගේ නිර්මාණයක් නම් - භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අප එකිනෙකා විසින් සිදු කොට ඇති කෙන්ගෙඩිය කුමක් ද. එසේ වුවත්, භාෂාව විසින් මිනිසා නිර්මාණය කළ බව සාමාන්‍ය මිනිසාට පවා වැටහේ.

මෙහි දෙවැනි කොටස පසුව ලිවීමට අදහස් කරමි. උක්ත කරුණු 4 පිළිබද ගැඹුරින් හදාරණු පිණිස ආරාධනා කරමි. පශ්චාත්නූතනවාදය යනු පිස්සු විකාරයක් ලෙස හදුන්වන්නට පෙර පශ්චාත්නූතනවාදය පිළිබද හදාරන්න යැයි ආරාධනා කරමි.

මතු සබැදේ...