Saturday, July 23, 2011

මම ඡන්දය නොදීමට තීරණය කළෙමි - පුද්ගලික පැහැදිලි කිරීමක්

විවිධ හේතූන් නිසා මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ඡන්ද විමසීම් කල් ගියේය. එහෙයින්, එම පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද විමසීම ජූලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය විය. ඒ අනුව, අද එම මැතිවරණය පැවැත්වෙයි. මා උපන් - මගේ නම හිමි ඡන්ද හිමි නාමලේඛනය හිමි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ද ජූලි 23 වෙනිදා පැවැත්වීමට නියම විය. නමුත්, යොදාගත් පරිදි අදාල මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොකර සිටීමට ම විසින් තීරණය කළෙමි. ම විසින් ඡන්දය නොදී සිටීම පොදු සමාජය කෙරෙහි එතරම් වැදගත් සිද්ධියක් නොවූව ද ඒ වෙනුවෙන් වන මාගේ පදනම නිර්මාණය වීමට හේතු වූ සිද්ධි අධ්‍යයනය පැහැදිලි කිරීම මගේ යුතුකමක් යැයි විශ්වාස කළෙමි. එහයින්, අදාල සාධාරණීකරණය වැඩිදුර කියවීමට ම විසින් මෙය වේදිකාවක් කර ගතිමි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව, නීති සෑදීමේ හා පාලනයේ කටයුතු වෙනුවෙන් ඍජු මා වෙනුවට ම විසින් පත් කර යවනු ලබන නියෝජිතයින් මගින් නීති සෑදීම හා පාලනයේ යෙදීම පිණිස නියෝජිතයින් තෝරා පත් කර යැවීම ආරම්භ වන්නේ, පවුර රාජ්‍යය සංකල්පයේ සංශෝදිත දියුණු ක්‍රමය ලෙසයි. ඒ අනුව, සෑම කටයුත්තක් වෙනුවෙන්ම මා වෙනුවට මගේ අභිමතාර්ථ හා අරමුණු ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතයින් ම විසින් තෝරා පත් කර යැවීම ආරම්භ විය. අද වන විට මැතිවරණ පවත්වමින් සිදු කරමින් සිටින්නේ - මා වෙනුවට මගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීම නැමති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමයයි. තවත් පැත්තකින් මෙම මැතිවරණ ක්‍රමයන් මගින් සනාථ කර සිටින්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයි.

දැන් ම විසින් නියෝජිත ප්‍රජාතන්තුවාදයේ වරප්‍රසාද භුක්ති නොවීදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනිමින්, මා සතු පරමාධිපත්‍යය කොටහ පූර්ණය නොකරගනු ලබන්නේ ඇයි දැයි කියා ම විසින් ම විමසිය යුතු වෙයි.

මෙවර පළෘත් පාලන ආයතනය වෙනුවෙන් මගේ නියෝජිතයා තෝරා පත් කර ගැනීම පිණිස දේශපාලන පක්ෂ හතරකින් හා ස්වාදීන කණ්ඩායම් දෙකකින් නම් යෝජනා කොට ඇත. එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ලංකා මහසභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයි. මෙම පක්ෂ මගින් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මගේ කිසිදු පැහැදීමක් නැත. ඉන් සමහර දෙනෙක් පෙර ප්‍රාෙද්ශීය සභාවේ මතන්ත්‍රීවරුන්ය. සමහර දෙනෙක් නවකයින්ය. පෙර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රීවරුන් හට නැවත ඡන්දයකට ඉදිරිපත් වීමට තරම් කිසිදු මානුෂික අයිතිවාසිකම් නොවන්නේය යන බැව් එක හෙළා කියමි. ආණ්ඩු බලය හිමි කර ගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බල ප්‍රෙද්ශය වෙනුවෙන් අබමල් රේණුවකුදු වැඩක් කොට නැති බැව් වගකීමෙන් කියමි. ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා හෝ මධ්‍යම රජය විසින් කරනු ලැබ හා කරමින් සිටින කාර්යයන් සදහා තම අයිතිවාසිකම ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම පමණයි. පොල්ගහවෙල බස් නැවතුම් පොළ හෝ දුම්රිය පොළ යනු අභාවයට යමින් තිබෙන පැරණි රදල වලව් වැනිය. වසර ගණනාවකින් පිළිසකර නොකරන ලද හා එසේ කිරීමට හීනයෙන් හෝ නොසිතුනු තැන් දෙකකි. පොල්ගහවෙල පොදු මහජන පොළ බල්ලෙකුට උව කෑමට යමක් අහුලා ගැනීමට තරම් පිරියක් ඇති නොකරන මඩ ගොහොරුවකි. බල ප්‍රදේශයේ කුඩා මාර්ග හා වෙනත් පහසුකම් ද ඊට නෙදෙවෙනි වෙයි. යමක් කර තිබේනම් ඒ මධ්‍යම රජය විසිනි. නමුත්, එසේ හැදින්විය හැකි කරනු ලැබූ දැනෙන වැඩක් පොල්ගහවෙලට නොවන්නේය.

මා ගොඩයෙක් බව පෙර තැනකදී කියා ඇත්තෙමි. යළිදු කියමි. මම ගොඩයෙක්මි. මගේ ගම පිහිටා ඇත්තේ - පොල්ගහවෙල නරයෙන්ද යම් ප්‍රමාණයක් දුරිණි. අපේ ගමට යාම පිණිස කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝමීටර් තුනක දුරක් යා යුතුව තිබේ. ඒ මුළු දුරම - අපේ ගමේ බොහෝ දෙනෙක් ගෙවා දමන්නේ පයින්මය. එම මාර්ගයේ මුළු දුර කිලෝමීටර හයකි. ඇතැම්හු දිනපතා කාර්යයන් සදහා මෙම කිලෝමීටර හයම පවා පයින්ම ගමන් කරයි. නමුත්, අපේ ගමට අවසන් වරට පොදු ප්‍රවාහන සේවයක් මගින් ප්‍රවාහන පහසුකම් සපයනු ලැබ ඇත්තේ මින් වසර 25 කට පෙරයි. එනම්, සුනිල් රංජන් ජයකොඩි නැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොල්ගහවෙල නියෝජනය කරන සමයේයි. ඉනික්බිති කිසිවෙක් පොල්ගහවෙල නියෝජනය නොකළ අතර - සෙස්සෝ සියලු දෙනා ඡන්ද කාලයේදී පැමිණෙන සෙසු කාලයන්හිදි ඉන්නා තැනක් වත් නොදන්නා පතෝල චරිත විය. මංගල රණරාජා, අනුරුද්ධ ජයවර්ධන, ලයනල් රාජපක්ෂ, ටිකිරි අධිකාරි ඉන් සමහරෙකි. එහෙයින්, මගේ ගම දෙස ඇසක් වත් හැර නොබැලූවෙකු වෙනුවෙන් ම විසින් ඡන්දයක් දිය යුත්තේ ඇයි දැයි මම මගෙන් ප්‍රශ්න කරමි. ‘වැඩ කිරීම‘ යනු මගේ ගම පමණක් නොවන්නේද යැයි අයෙක් ප්‍රශ්න කළ හැක. යමෙක් මගේ හෝ මගේ ගමේ මිනිසුන්ගේ නියෝජිතියකු වන්නේ නම්, ඔහු විසින් මගේ සහ මගේ ගමේ මිනිසුන්ගේ අරමුණු සහ අභිමථාර්ථ සැපිරිය යුතුය යන සරල තර්කයේ සිට මම මෙසේ කියමි. එහි ගැඹුරු අදහස ද එයම වෙයි.

දැන් ම විසින් සෙසු පක්ෂ කෙරෙහි මගේ ඡන්දය නොදීමට හේතු කියමි. ම විසින් ගෙවී මැතිවරණ තුනකදී ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ තුනකට බැව් කියමි. පළමුව එක්සත් ජාතික පක්ෂයටත්, ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයෙකුටත්, මහා මැතිවරණයේදී ඒ දෙකෙන්ම වියුක්ත වූ වෙනත් පක්ෂයකටත් ඡන්දය දුනිමි. ඒවායින්, නියෝජිතයෝ පත් විණි. නමුත්, කොළඹදී හදිසියකදී හමු වුවහොත් හැරෙන්නට ඒ කිසිදු අපේක්ෂකයෙක් මට ගමේදී හමු වී නැත. අඩුම තරමේ අපේ ගමේ වෙන කාට හෝ හමු වී නැත. ඡන්ද කාලයේදී ගම පීරණ ඔවුන් සෙවීමට ඡන්දයෙන් පසු රටම පීරිය යුතුව තිබේ. පොල්ගහවෙල ආසනය භාරව සිටි ප්‍රධාන පක්ෂ තුනේ සාමාජිකයින් අතරින් ගමට නිකමට හෝ පැමිණියේ බිමල් රත්නායක පමණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රාෙද්ශීය සභාවේ අසුන් ගෙන සිටිමින් කළ දෙයක් පිළිබද කිසිදු අදහසක් මට නැත. පළාත් සභා පිහිටුවීමේදී දිවිහිමියෙන් විරුද්ධ වූ ජ.වි.පෙ. 2009 දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය. එය සාධාරණීකරණය කිරීම ජ.වි.පෙ. සාමාන්‍ය සිරිතයි. එහෙයින්, ඔවුන් විසින් එක් ස්ථාවරයක නොසිටින්නේය යන අදහස පමණක් දැන් හැගේ. සාමාන්‍ය විපක්ෂයකින් ඉටුවිය යුතු කාර්යය පොල්ගහවෙල ප්‍රාෙද්ශීය සභාවේ විපක්ෂය වූ එ.ජා.ප.යෙන් හෝ ජ.වි.පෙ.න් සිදුව නැත. ආණ්ඩුවකින් විය යුතු කාර්යය කිසිසේත්ම ඉටු වී නැත. ඔවුන් ගොඩ යාමට උත්සාහ දරන්නේ ජනාධිපතිවරයාගේ හෝ මධ්‍යම ආණ්ඩුවේ එල්ලීගෙනය.

එහෙයින්, අවසන ලියමි. කොළඹ සිට දුරගෙවාගෙන ගොස් මගේ ඡන්ද අයිතිය භුක්ති විදීමට මා පොළඹවනු ලබන තරම් සිද්ධියක් පසුගිය වසර පහේදී මගේ ගම අයිති සභාව විසින් ඉටු කොට නැත. කොළඹට වී වැඩක් බලාගැනීමට තීරණය කළෙමි. මා ඡන්දය දීමට ගෙදර නොපැමිණිම නිසා මගේ අම්මා සහ අප්පච්චී ද ඡන්දය දීමට උනන්දු නොවෙයි. මන්දයත්, “ගෙදර පොඩි එකාගෙ ඉල්ලීමට ඡන්දය දෙන දෙමව්පියන්“ වන මගේ දෙමව්පියන්, යම් මොහොතක ම විසින් ඡන්දය වර්ජනය කරන්නේ ද එම පිළිවෙතම ක්‍රියා කිරීමට නොපැකිළෙයි. මම කැපුවත් කොළ - කැපුවත් රතු හෝ කැපුවත් නිල් නොවෙමි. ඔබට විටක මා ‘වැනෙන එකෙක්‘ යැයි කියා සිටිය හැක. නමුත්, මා දන්නා තරමින් - රටේ දේශපාලන යාන්ත්‍රණයට වඩා තීරණාත්මක වන්නේ වැණෙන ඡන්දයි. මන්දයත්, කැපුවත් කොළ - නිල් හෝ රතු වුන් සැමදා එම පක්ෂ වල සිටිද්දී ආණ්ඩු පිහිටීම තීරණය කරනු ලබන්නේ මෙම තීරණාත්මක ඡන්ද විසිනි. නමුත්, මෙවර මැතිවරණයේදී ආණ්ඩුව මාරු කිරීමට - වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ආණ්ඩුව පෙරළීමට තරම් හේතුවක් මම නොදකිමි. එයට හේතුව, මේ ආණ්ඩුව සර්ව සම්පූර්ණ යැයි මා සිතා සිටිනවා කියන මුලාව නිසා නොවේ. මේ ආණ්ඩුව පෙරළා ගෙන ඒමට තරම් විකල්ප ආණ්ඩුවක් පෙණෙන මානයකවත් නොවීමයි. එහෙයින්, කැහි ගෑණි දී - හොටු ගෑණි ගන්නවාට වඩා ඉන්නා කැහි ගෑණිම ඔහේ ඉන්නට හැරීම සුදුසු වෙයි. සජිත්ගේ හා රනිල්ගේ එ.ජා.පය හෝ සෝමවංශ සහෝදරයාගේ ජ.වි.පෙ. ආදේශකයක් වීමට තරම් නොවන්නේය. යම් මෙහොතක එසේ වුවහොත්, විදේශයක සිට හෝ පැමිණ අදාල ආදේශකය වෙනුවෙන් ඡන්දය දීමට මම සූදානම් බව ද කියමි.

පසුව ලියමි - මගේ සහ මගේ පවුලේ අයගේ ඡන්ද පත්‍රිකා මගේ ගෙදර සුරක්ෂිතව ඇත. කාට හෝ අවශ්‍ය නම් මගේ එක ඉල්ලාගෙන ගොස් හොර ඡන්දයක් දමන්න. අනිත් අයගේ කැමැත්ත විමසා ඒවා ද ඉල්ලාගෙන යන්න. අනිත් අය අකමැතිනම්, මගේ ඡන්ද පත්‍රිකාව ඉල්ලාගෙන ගොස් රිසි සේ ඡන්දය දමා ගන්න. යළිදු ලියමි - කැහි ගෑණි දී - හොටු ගෑණි ගන්නවාට වඩා ඉන්නා කැහි ගෑණිම ඔහේ ඉන්නට හැරීමට තීරණය කළ හෙයින් - ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළෙමි. ආණ්ඩුව මාරු කළ යුතුයැයි හැගෙන යම් මොහොතක් එන තුරු යළිත් ඡන්දයක් දීමට නොයමි.

ඔබේ ඡන්දය කල්පනාකාරීව ප්‍රකාශ කරන්න.

Saturday, July 16, 2011

Facebook වෙත තහනම් නියෝග


අද වන විට Facebook සමාජ වෙබ් අඩවිය, සමාජ වෙබ් අඩවියක සිට ඉන් එහා ගිය සමාජ අත්‍යාවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන්නේ යැයි හැගේ. Facebook සබදතාවක් නැති යෞවනයෙකු යනු, යාවත්කාලීන නොවන - හෝ යුගකාලීන මිනිසෙකු නොවන්නේයැයි අර්ථ ගැන්වෙන තත්ත්වයට පත්ව තිබෙන්නාක් වැනිය. දැන් අප විසින්, Facebook යම් ප්‍රමාණයකට කියවා ගත යුතුව ඇති කාලයක මෙන්ම, ඒ වෙනුවෙන් ඉස්මතු වෙමින් පවත්නා විකල්ප ආදේශකයන් පිළිබදව ද කතා කළ යුතුව ඇති තැනක සිටිමු.

2004 වසරේ දිනක - යම් ප්‍රමාණයක අහම්බයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වුණු Facebook සමාජ වෙබ් අඩවිය ලෝකය පුරා පැතිර යාමට ගත වූයේ වසර පහකටත් අඩු කාලයකි. එසේ හෙයින්, අදාල තත්ත්වයෙන්ම Facebook යනු මුළුමහත් ලෝකයේම අවශ්‍යතාවයක් පූර්ණය කරනු ලැබූ පූරකයක් යැයි තරක කළ හැකිව ඇත. ආරම්භයේදී, Facebook යනු සමාජ වෙබ් අඩවියක් මෙසේ විය යුතු යැයි ප්‍රතිභාවයක් පවා නැති මෙහොතක අදාල ප්‍රතිභාවය නිර්මාණය කරගනිමින් ඒ සදහා උදාහරණ සැපයූවේය. කාලයත් සමග වෙනත් සමාජ වෙබ් අඩවි ද Facebook ප්‍රතිභාවය හෙවත් ඔරිජිනල් එක කරගනිමින් බිහි විය. අද වන විට ගූග්ල් සමාගම විසින් නිර්මාණය කොට ඇති සමාජ වෙබ් අඩවිය පවා ආකෘතිමය ප්‍රතිභව කොට ගෙන ඇත්තේ Facebook බව නොරහසකි. එහෙයින්, Facebook යනු - යම් ප්‍රමාණයක සුවිශේෂී පෙරගමන්කරුවෙකු වූ බව ද නොරහසකි. Facebook යනු යුගකාලීන අවශ්‍යතාවයක් සපුරණු ලැබූ සමාජ වෙබ් අඩවියක් හෝ එය පුරෝගාමී වූයේ යැයි සදහන් කිරීම Facebook වෙනුවෙන් කඩේ යාමක් බවට ලඝු කර නොගනීවි යැයි පූර්වානුමාන කරමි. ඒ කෙසේ ද යත්, Facebook එසේ වූ බව පිළිගැනීමට අපට සිදුව ඇති හෙයිනි.

දැන් අප විසින් කියවා ගත යුතුව ඇති තවත් අන්තයක් ඇත. අද වන විට, Facebook සමාජ වෙබ් අඩවිය විත්තිකරු හෝ වගඋත්තරකරු කරමින් පණවමින් සිටිනු ලබන නඩු ප්‍රමාණය දිනෙන්න දින ඉහළ යමින් තිබේ. එය ලංකාව වැනි කුඩා රටවල හෝ සිද්ධි පිටුපස වැඩියෙන් පන්නනු නොලබන රටවල් විසින් නඩු කටයුත්තක් දක්වා දීර්ඝ නොකරගත් අවස්ථා වැඩි වුව ද ඇතැම් රටවලදී ඒ තත්ත්වය ලංකාවට වඩා බොහෝ සෙයින් වෙනස් වෙයි. Facebook වෙනුවෙන් පළමු නඩුව පැවරී ඇත්තේ, සිය සේවා සහායකයා හෙවත් ෂුකර්බර්ග්ගේ ගමන් සගයාගේ බුද්ධිමය දේපළ Facebook නිර්මාණයේදී සොරාගෙන ඇති බවට වන චෝදනාව නගමිනි. නමුත්, සෙන් ෆ්‍රැන්සිස්කෝ අධිකරණය විසින් ඒ වෙනුවෙන් ඒ තරම් බරපතල නොවන වන්දියක් ගෙවීමට නියම කරමින් නඩුව අවසන් කළේය. Facebook යනු මේ වන විට ලෝකයේ සිදු වූ මිනීමැරුම් කිහිපයකට සාක්ෂිකරුවකු වූ සමාජ වෙබ් අඩවියක් වී තිබේ. Facebook පාදක කරගනිමින් ඇති වූ යම් සිද්ධි නිර්මාණයන් ඇතැම් මිනීමැරුම් වෙනුවෙන් ඍජුවම බලපෑවේ යැයි කියූ අවස්ථා ද කිහිපයක් තිබේ. පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වන සුරක්ෂිතතාවය, අනන්‍යතාවය හා ව්‍යාජ පෙනී සිටීම් වැනි සිද්ධීන් කිහිපයක් Facebook කෙරෙහි අවධානය යොමූ වූ තැන් හෝ මාතෘකා අතර වෙයි.

මේ වන විට Facebook යනු සමාජ වෙබ් අඩවියක් පමණක් නොව. ප්‍රවෘත්ති වෙබ් අඩවියක්, විනෝදාස්වාශී වෙබ් අඩවියක් සේම දැනුම බෙදීමේ කාර්යයයේ නියුතු වෙබ් අඩවියක් බවට ද පත්ව තිබේ. දේශාපාලනික වශයෙන් තීරණාත්මක අවධියක් ද Facebook විසින් හිමි කරගෙන තිබේ. ඒ සදහා ඉතා වැදගත් නිදසුන වන්නේ, 2008 ඇමරිකානු ජනාධිපතිවරණ සටනයි. බැරැක් ඔබාමා විසින් සිය ප්‍රචාරණ යාන්ත්‍රණයේදී Facebook හරහා සිය ජනප්‍රියත්වය වර්ධනය කිරීම පිණිස වෙන් වූ කණ්ඩායමක් යොදවා තිබූ බව කියැවේ.

අද වන විට විවිධ පදනම් හේතු කොට ගනිමින්, මහජන චීනය-සිරියාව-බංග්ලාදේශය-වියට්නාමය-ඉරානය-උසබෙගිස්ථානය හා පාකිස්ථානය Facebook තම රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ ඇත. ඒ සදහා ප්‍රෙව්ශවීම රජය විසින් ම තහනම් කරනු ලැබ ඇත. ආරාධනා නොකරනු ලබන පුද්ගලයින් වැඩි වශයෙන් පුද්ගලික උත්සව අවස්ථා වලට සහභාගී වීම වැඩි වීම කෙරෙහි Facebook බලපානු ලබන්නේ යැයි කියමින් ජර්මනිය තුළ Facebook තහනම් කරනු ලැබීමට හෝ සීමා කිරීමට ඇති හැකියාව පිලිබද සොයා බැලීමට ජර්මන් රජය විසින් වර්ෂ 2007 දී විශේෂ කමිටුවක් පවා පත් කොට ඇත. නමුත්, මේ වන විට Facebook යනු ලෝක ප්‍රසිද්ධ ඇමරිකන් අයිඩ්ල්, තෘ බ්ලඩ් හා ටොප් ගියර් වැනි වැඩසටහන් වල ප්‍රමුඛ ප්‍රචාරකයෙකි. ලෝකයේ එසේ පමණක් නොව, දේශභ්‍යන්තරිකව පවා එවැනි තත්ත්වයන් ඕනෑතරම් දක්නට ඇත. නමුත්, තවත් ප්‍රවණතාවක් Facebook හා බැදී පවතියි. අද වන විට ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද කාර්යාල තුළ Facebook වෙබ් අඩවියේ ප්‍රෙව්ශ පහසුකම් කප්පාදු කරනු ලැබ ඇත්තේ, සේවකයින්ගේ කාලය Facebook සමග මිඩංගු කිරීම නිෂ්පාදන හා සේවා කටයුතු වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් කරනු ලැබ ඇති හෙයිනි.

මේ වන විට Facebook වෙනුවෙන් තීරණාත්මක තවත් නඩුවක් පැවරී තිබේ. මෙම නඩු තීන්දුව Facebook වෙබ් අඩවියේ අනාගතය තීරණය කිරීම කෙරෙහි වැඩි බලපෑමක් කරනු ලබතැයි විශ්වාස කෙරේ. Facebook තහනම් කිරීමට හෝ කෙටි කාලීන අත්හිටුවීමකට පවා යොමු විය හැකි තත්ත්වයක් උතගතව තිබේ. එසේ කළ නොහැකි යැයි යම් ආකාරයකින් විශ්වාස කළ නොහැක. වසර 150කටත් වඩා පැරණි බ්‍රිතාන්‍ය පුවත්පතක් වූ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්‘ පුවත් පත පවා තහනම් කිරීම කෙරෙහි අධිකරණය විසින් දෙවරක් නොසිතුවේය. ඔප්පුකරනු ලැබූ විශම පැවැත්ම හේතුවෙන් අද වන විට එය ඉතිහාසයේ මුද්‍රණය වූ පසුව තහනම් කරනු ලැබූ පුවත්පතක් බවට පත්ව තිබේ. Facebook කෙරෙහිද මෙම තත්ත්වය උදා විය හැකි තැනක තිබේ.

Facebook වෙබ් අඩවිය අවධානමකට ලක් විය හැකි තවත් තත්ත්වයක් මෑතකදී නිර්මාණය විය. ලෝකයේ ප්‍රධානතම ‘සෙවුම් උපකාරකය‘ වන ගූගල් සමාගම විසින් ඔවුන්ගේම සමාජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටියි. එහෙයින්, යම් අවස්ථාවක Facebook යනු තමන්ගේ නිෂ්පාදනය කෙරෙහි අවධානයමක් හෝ අභියෝගයක් වන්නේ යැයි ගූගල් සමාගම විසින් තීරණය කරනු ලැබුවහොත් Facebook තම සෙවුම් උපකාරකයෙන් ඉවත් කිරීමට ඔවුන් නොපැකිලෙණු ඇත. එවන් තත්ත්වයකදී, Facebook යනු ප්‍රෙව්ශවීමේ පහසුකම් දුර්වල වූ වෙබ් අඩවියක් වනවා නොඅනුමානය.

අවසන ලියමි. Facebook වෙත තහනම් නියෝග අත් වීමේ ඉතාම අත්‍යාසන්න අවස්ථාවක අප සිටින්නේ යැයි හැගෙමින් තිබේ. එසේ කරනු ලැබීමට, ඕනෑවටත් වඩා හේතු මේ වන විට Facebook විසින් නිර්මාණය කොට දී තිබේ. නමුත්, Facebook යනු ගෝලීයකරණ ප්‍රයත්නයේදී වැඩිම දායකත්වයක් දැක්වූ වෙබ් අඩවිය හා සමාජය බවට ඉතිහාසයේ ලියවෙනවා ද නොඅනුමානය. මන්දයත්, ප්‍රතිපත්ති වලට පමණක් සීමා වී තිබූ ගෝලීයකරණ අපේක්ෂාවන් සිහිනයක සිට යථාර්ථයක් දක්වා රැගෙන යනු ලැබූයේ Facebook විසින් බව නොබියව කියමි.

Monday, July 11, 2011

නීතිය වල්-වදියි - කැලෑ නීතිය රජයයි ( ද? )

වේලාව පස්වරු පහ පසුවී විනාඩි හතලිස් පහක් හෝ ඒ ආසන්න කාලයකි. ස්ථානය, කඩුවෙල - ලෝ ලෙවල් පාරේ කාගීල්ස් ෆුඩ් සිටිය ඉදිරිපිට. කොමර්ෂල් බැංකුව හා ටීක් ගාඩ්න් නම් තානායමක් පිහිටා ඇත්තේ ද ඒ ආසන්නයේය. පුද්ගලික කටයුත්තක් වෙනුවෙන් තවත් සගයින් කිහිප දෙනෙක් සමග, කාගීල්ස් ෆුඩ් සිටිය වෙත යමින් සිටියෙමි. ඒ ආසන්නයේ මහත් කලබැගෑණියක සිරියක් තිබූ හෙයින් අප ද සෙනග පීරමින් එහි ලගා වීමු. අප එහි යන විට එම ස්ථානයේ ලෝ ලෙවල් ප්‍රධාන මාර්ගයේ සියයකට අධික පිරිසක් රැස්වී සිටියේය. කිසිදු පොලිස් නිළධාරීයකු එහි නොවීය. පාරේ වාහන තදබදයකි. තවද කිට්ටු කළෙමු. දක්නට ලැබුණේ අශෝභන දර්ශනයකි. YD 4462, QI 0497, HL 0745 සහ TQ 7377 යන යතුරු පැදි හා ත්‍රීරෝදරථ කිහපයක්, “මහ පාරේ වීල් කරමින්“ සිටියි. මෙය මාර්ග තදබදයක් ඇති කළා සේම, පාරේ යමින් සිටි සාමාන්‍ය වැසියන් හා වාහන දැඩි අපහසුතාවකට ලක් කළේය.

උක්ත කාර්ය බහුල වේලාවේ ලෝ ලෙවල් පාරේ පිරිසක් විසින් නටමින් සිටි නාඩගම හෙවත් “වීල් කිරීමේ සංදර්ශනය“ ආසන්නයේ කිසිදු පොලිස් නිළධාරියෙක් නොවීය. ආසන්නයේ සිටි පුද්ගලයකුගෙන් ඇසූ විට කියා සිටියේ මෙම නොහොබිනා සංදර්ශනය පැය භාගයකටත් වැඩි කාලයක සිට කරමින් සිටින බවයි. යම් කටයුත්තක් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකොට ඔවුන් වෙත දෝෂාරෝපණය කිරීම නොවටිනා නිසා, අදාල නීති විරෝධී නොහොබිනා කටයුත්ත සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට පුද්ගලිකවම මැදිහත් විය. 2011 ජූලි 10 වෙනිදා ඉරිදා, පැය 17.45 ට නවගමුව පොලිස් ස්ථානය ඇමතීමි. නමුත් එම දුරකථනය කාර්ය බහුල විය. පසුව පැය 17.47 ට 119 දුරකථන අංකයෙන් හදිසි පොලිස් තොරතුරු මැදිරිය අමතමින් සිද්ධිය පිළිබද, මගේ අනන්‍යතාවය හෙළිදරව් කරනු ලැබූ පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඔවුන් මා විමසා සියලු තොරතුරු විමසීය. මා ඔවුන් දැනුවත් කළෙමි. අප එහි ද පැය භාගයක කාලයක් සංදර්ශනයේ නොහොබිනා ආතල් එක විදිමින් සිටියෙමු. මාර්ග තදබදය වැඩි වුව ද සැණකෙළිය සදහා තව තව අයත් එක් වුව ද පොලීසිය එහි නො ආවේය. නවගමුව පොලිස් ස්ථානයේ සිට සාමාන්‍ය වාහනයක් එහි පැමිණීමට විනාඩි විස්සක උපරිම කාලයක් ප්‍රමාණවත් වෙයි. (මේ සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ පට සාක්ෂි වශයෙන් පුද්ගලිකව මා සතුවත්, පොදුවේ අපේ කණ්ඩායමේ සෙසු සගයින් සතුවත් පවතියි.)

කිසිවෙක් විසින් “වීල් කිරීමේ“ ආතල් එක ගත්තාට අපිට ඇති කැසිල්ලක් නැති බැව් මෙහිලා මුලින්ම කිව යුතු වෙයි. නමුත් මෙහි අප විසින් කියවා ගත යතු දේ කිහිපයක් ඇත. ඒ ශ්‍රේණියේ මාර්ගයක - වැඩියෙන්ම වාහන ගමන් කරමින් සිටින සවස පහ හෝ ඊට ආසන්න කාලයේදී, පුද්ගලික දේපලක සිරි ගනිමින්, ආතල් ගැනීමට හෝ යකා නැටීමට හැකි වන සේ මානසික තත්ත්වය දියුණු කර ගැනීමට තරම්ම අද වන විට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම හා නීතිය හා සාමය සුරැකීමේ ක්‍රියාවලිය “ජෝක් එකක්“ හෝ “ගොන් පාට් එකක්“ වී තිබේ. අප විසින් එය කියවා ගැනීම වටියි.

පොලීසිය වෙත පැමිණිල්ලක් කළ විටෙකදී, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී නීතිය හා සාමය ආරක්ෂා කළ යුතුව තිබෙන අවස්ථාවකකදී හෝ ස්වභාවයෙන්ම එසේ නොකරන තත්ත්වයකට පොලීසිය පත්ව ඇත්තේය යන තක්සේරුව සමාජය විසින් දැනටමත් නිර්මාණය කොට ගෙන හමාරය. එහෙයින්, පොලීසිය කිසිම විටෙක ඉක්මනින් ක්‍රියාත්මක නොවන්නේ යැයි යන මතය ද සමාජයේ සියලු දෙනා සතුව හෝ අතිශය බහුතරය සතුව ඇත. එහෙයින්, කිසිදු බයකින් හෝ සැකයකින් තොරව, ඉර එළිය පවා නැති රාත්‍රියකදී මෙන්ම ඉර මුදුන් වූ මද්දහනකදී ද දවසේ ඕනෑම වේලාවකකදී ද නීතිය හා සාමය කඩ කිරීමට පෙළඹෙයි. උක්ත කඩුවෙල ලෝ ලෙවල් පාරේ ආතල් ගැනීම වෙනුවෙන් එහි සිටි තරුණයින් පෙළඹෙන්නේ නීතිය පිළිබද හා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන තම තක්සේරුව මොනවට කියා පාමිණි. අදාල සිද්ධියෙන් පීඩාවට පත්වන හෝ යම් අගතියකට පත්වන පාර්ශවයන් විසින් ‘ඇග බේරාගෙන මාරු වී යාම‘ට පෙළඹෙන්නේ ද පොලීසියට පැමිණිලි කිරීමකින් පසු අතවන ඉරණම හෝ ක්‍රියාත්මක වීම කෙරෙහි තමන් සතුව ඓතිහාසික අවබෝධයක් ඇති හෙයිනි. පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යාමේදී හෝ එසේ කර සිටීමේදී, පොලීසිය විසින් දක්වනු ලබන ප්‍රතිචාරයන්ගේ සුන්දරත්වය හා විනයානුකූලභාවය කියා පෑම පිණිස, මේ වන විට අදාල මාතෘකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රමාණයේ ඉලක්කමම සෑහේ යැය සිතේ. පොලීසිය ක්‍රියාත්මක නොවීම, යනු නීතිය ක්‍රියාත්මක නොවීම වන්නේ යැයි කියා සිටීම පොදු සමාජයට හෝ සිවිල් සමාජයට පූර්ණ සත්‍යයක් වන්නේය. එහෙයින්, කඩුවෙල ලෝ ලෙවල් පාරේ පමණක් නොව ලංකාවේ සෑම තැනකම පාහේ අපරාධ හා අපරාධ නොවන, නමුත් නීතිය කඩ කිරීම් ප්‍රමාණයේ ඉහළ යාමට වගකිව යුතු වෙයි.

නව පොලිස්පතිවරයා පත් වීමෙන් පසු, ස්ථාන මාරු කිහිපයක් සිදු කොට ඇත. මේ හා සම්බන්ධ තර්ක දෙකක් ඇත. එකක් නම් මැතිවරණයක් ප්‍රකාශ කොට තිබියදී, රාජ්‍ය නිළධාරීන්ගේ ස්ථාන මාරු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට අයිතියක් නැත. එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ඍජු හා වක්‍ර බලපෑමක් ඇති කරයි. එසේම, ස්ථාන මාරු කිරීම් වලින් ඉලංගකෝන් මහතා පෙන්වීමට හෝ කියා පෑමට උත්සාහ කරන්නේ කුමක් ද යන්න කියවා ගත යුතුව ඇත. හිටපු අග විනිසුරු සරත් සිල්වා මහතා විසින් ඇතැම් සිද්ධින්හිදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදෙව්වේය යන නීති විශාරද අදහස් සමාජයේ ඇසෙන සමයක අශෝක සිල්වා මහතා අගවිනිසුරු පදවියට පත්විය. ඔහු විසින් ද හිටපු මුල් අවස්ථා විනිසුරුවරුන් කීප දෙනෙක් ස්ථාන මාරු කළේය. ඒ අවස්ථාවේදී, නීති විශාරදයින් කියා සිටියේ “යමක් කළ බව පෙන්වීම පිණිස“ එවැන්ක් කළා මිස එය විසින් යම් සාධනීය වෙනසක් සිදු නොවූ බවයි. මෙහිලා, ඉලංගකොන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයයි. යමක් කළ බව හා කරමින් සිටින බව පෙන්වීම පිණිස, ස්ථාන මාරු කිහිපයක් සිදු කොට ඇත. නමුත්, පොලීසිය විසින් ඉටු කළ යුතු කාර්යයන් ඉටු කිරීමට පොලඹවන හෝ මෙහෙයවන තරමේ දෙයක් දැනේනට කිරීමක් මේ වන තෙක් සිදු කොට නැත.

යළිත් කඩුවෙල සිද්ධිය දෙස හැරෙන්නෙමි. පාරේ ගමන් කරමින් සිටියදී, යම් හේතුවක් නිසා සුදු තනි ඉරක් හෝ කහ ඉරක් කැපී යාම සිදු වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පොලිස් නිළධාරියා විසින් නියම කරනු ලබන අල්ලස් මුදලක් ලබා දීමට සිදු වීම හෝ ඒ සදහා එකග නොවන්නේ නම් හෝ අදාල පොලිස් නිළධාරියා අදාල අවස්ථාවේ අල්ලස් නොගන්නේ නම් හෝ අල්ලස් නොගන්නේ නම් උසාවි යාමටය. නමුත්, පැමිණිල්ලක් විධිමත් අයුරින් කර සිටි විටකදී පවා, අමු අමුවේ පොදු සමාජයේ ඉදිරියේ වීරත්වය පෙන්වමින්, බීමතින් පාරේ පෙන්වමින් සිටින සැණකෙළි නැවැත්වීමට හෝ ඒවාහි නිරතවන්නන් හට දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලියට අවශ්‍ය විධායක ක්‍රියාව ඉටු කර දීමට පොලීසිය නොපෙළඹෙන්නේ ඇයි. අද වන විට පොලීසිය යනු, ධනය හා බලය ඉදිරියේ දණින් වැටී ධනය හා බලය ලෙවකමින් තෘප්තිමත් කරන තරම් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇතැයි යන සමාජ මතය මෙමගින් සපථ නොකරන්නේ ද. YD 4462, QI 0497, HL 0745 සහ TQ 7377 යන යතුරු පැදි හා ත්‍රීරෝදරථ පාරේ ටික දුරක් තුළ ඉතාම වේගයෙන් ගමන් කරයි. ඉන් පසු, බීමතින් හා පියවි සිහියෙන් සිටි සහචරයන්ගේ ආතල් නාදයන් හමුවේ, පළමු ඉදිරිපස රෝදය ද පසුව පසුපස රෝදය ද ඔසවයි. ඔවුන්ගේ ආතල් එක අවසන් වන තුරු, සෙසු පොදු සා සිවිල් වැසියන් තමන්ගේ ජීවිතයේ ආතල් එක කුඩු කරගනිමින් ලත විය යුතුය. පාරේ වාහන පාලනය කරනු ලබන්නේ ‘වීල් ගැන්සිය‘ විසිනි. ඒ වන විට පාර ඔවුන්ගේ පුද්ගලික භූදලයකටත් වඩා පුද්ගලික වී තිබිණි. සෙසු වාහන පාරේ යා යුත්තේ, ‘වීල් ගැන්සියේ කෙළි සෙල්ලම්‘ මදකට නැවතූ විටදීය. එසේ සංදර්ශනය ඉදිරිපත් කරමින් සිටි බොහෝ දෙනෙක් හිස් වැසුම් හෝ හෙල්ටම් පැළද නොසිටියේය. බීමතින් සිටි බව, මින් පෙර මත්පැන් පානය කොට ඇති හෝ එසේ කර තිබෙන අයෙකු දැක ඇත්තෙකුට පවා පහසුවෙන් හදුනා ගත හැකි වෙයි. පොලීසිය විහිළුවක් වී සිටි මොවුන් - පොලීසිය එතැනට පැමිණේ හෝ එමගින් පොදු ජනතාවට බාධාවක් ඇති වේය යන ලැජ්ජාව හෝ ඔවුන් සතුව නොවීය. මෙය පොදු සමාජය තුළ මහත් ඛේදවාචකයකි.

දැන් අතිරේඛ යමක් කියවා ගත යුතු වන්නේ යැයි සිතුවෙමි. මෙය නම් මැතිවරණ කාලයයි. අභිනව කඩුවෙල නගර සභාව වෙනුවෙන් ද ඡන්දය පවත්වයි. මෙතැන වීල් කරමින් සිටියේ කඩුවෙල “වීල් පාක් එකේ කොල්ලෝ“ය. එහෙයින්, ඡන්දයක් වෙනුවෙන් මෙවැනි සමාජ අතිශය වැදගත් වෙයි. යම් හෙයකින්, මොවුන් විසින් මෙම නීති උල්ලංඝනය කිරීම කරණකොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ නම්, ඉතාම ඉක්මනින් මැදිහත් වී ඔවුන් නීතිමය විධානයකින් තොරවම නිදහස් කරගැනීමේ අරගලය දියත් කිරීමට දේශපාලන නියෝජිතයින් හෝ ඡන්ද අපේක්ෂකයින් මැදිහත් වනු නො අනුමානියි. අවනීතිය රජයන බව දන්නා පොදු සමාජයක් තුළ, එම රැකවරණය පිළිබද විශ්වාසය තබා මෙසේ යකා නැටීම සිදු කරන්නේය යන්න අමුතුවෙන් තේරුම් ගැනීමට තරම් දෙයක් ඇති දෙයක් නොවේ. මොවුන් විසින්, අපරීක්ෂාකාරී ලෙස රිය පදවමින් සිටියි. මොවුන්, හිස් වැසුම් රහිතව යතුරු පැදිවල ගමන් කරයි. අනවශ්‍ය ලෙස මාර්ග තදබදයක් නිර්මාණය කරයි. නීති විරෝධී ලෙස දකුණෙන් වාහන පදවයි. බීමතින් රිය පදවයි. මහජනයාගේ නිදහසට හා පැවැත්මට හානිකර අයුරින් හැසිරෙයි. මෙපමණක් නොව, අනේක විධි නීති උල්ලංඝනය කරයි.

තවද ලියමි. අපේ රට තුළ - කිසිදු පුද්ගලයකු නැතිව හෝ නීතිය බලාත්මක කිරීමෙන් පමණක් සියක් වසරක් හෝ රට පාලනය වන්නට තරම් ප්‍රමාණවත් ප්‍රශස්ත නීති ඇත. නමුත්, වැරැද්ද ඇත්තේ නීතිය තුළ නොවේ. නීතිය කඩ කරන හෝ නීතිවිරෝධී ලෙස හැසිරෙමින් සිටින කල් ගෙවමින් සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ආයතනය වන පොලීසිය යනු විහිළුවක් වී තිබේ. එහෙයින්, නීතිය ද විහිළුවක් වී තිබේ. එසේම, ඕනෑම නීතියක් කඩ කරමින් පොලීසිය විසින් යම් අවස්ථාවක අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙක් වෙනුවෙන් එක්කෝ ඍජුවම දේශපාලනඥයෙක් හෝ අඩුම තරමේ එවරන්නෙකු හදුනන පුද්ගලයෙක් හෝ පෙනී සිටියි. එවිට, නීතිය බල්ලාට දමා දේශපානඥයා දෙයියා කිරීමට සිදු වෙයි. එසේ සිදු වීම දැන් දැන් අකමැත්තෙන් නොව, පොලීසිය විසින් කැමැත්තෙන්ම සිදු කරයි. අනෙක් පැත්තෙන් ගත් කළ, පීඩාවට පත් වන්නෙක් හෝ එවැනි පාර්හවයක් විසින් පීඩාව මගහරවා ගැනීම පිණිස නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට යාම, නීතිය ක්‍රියාත්මක වීමේ පරම පාරිශුද්ධභාවය විසින් ම සීමා කොට තිබේ. 

අද වන විට සියල්ල පොලිස්කරණය වී තිබේ. එහෙයින්, පොලීසිය විසින් පොලීසියට පැවරී ඇති රාජකාරිය මැරයන් වෙත Out-Source කොට ඇත. මැරයන් හා බලසම්බන්නයින් විසින් පොලීසියේ රාජකාරිය ඉටු කරයි. පාරේ නීති තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි. මාර්ගයේ ගමන් කළ යුතු පිළිවෙල නීතිය තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි. එසේ නොවන්නේ නම්, කොළඹ - අවිස්සාවේල්ල හරහා රත්නපුර හා බදුල්ල ලෝ ලෙවල් පාර හරස් කරමින් සවස පහට පමණ හිතුමනාපේ යතුරු පැදි හා ත්‍රීරෝදරථ වීල් කරමින් සැණකෙළි පවත්වන්නේ කෙසේද. පොලීසිය විසින් කරමින් සිටින්නේ, අස්සයා පැණ ගිය පසු ඉස්තාලය වසා දැමීමේ කාර්යයි. එසේ ද නොහැකි වූ විට ඉස්තාලය වසා දැමීම වෙනුවට ඉස්තාලය “වනසා“ දමයි. එවිට, අස්සයෙක් පැණ ගිය බව ඔප්පු කිරීමට ඉස්තාලයක් නැති වෙයි.

පොලිස්පතිවරයා වෙත ලියමි. රට තුළ අසමජ්ජාතිකම් හා මැර ක්‍රියා මෙන්ම රිසි සේ සිදුවන නීති කඩවීම් වෙනුවෙන් මුළුමනින්ම වගකිව යුතුව ඇත්තේ, ඔබ විසින් පසුගිය ජූලි පළමු වනිදා සිට නායකත්වය දෙනු ලබන සහ ඔබ විසින් 1982 දී සහකාර පොලිස් අධිකාරී වරයෙකු ලෙස සේවයට බැදුණු, ශ්‍රී ලංකා පොලීසිය නොවන බව කිව හැකි ද? 

අවසන ලියමි. “මේ නාඩගම් බලනවාට වඩා හොදයි ප්‍රභාකරන්ට හරි යටත් වුනානම්“ කියන පාපකාරී හා පශ්චත්තාපීමය හැගීම සමාජය තුළ රෝපණය වීමෙන් හා පැතිර යාමෙන් වලක්වාගැනීමේ ප්‍රමුඛ වගකීම ඔබ සතු වේ.

video
video

video

video

Saturday, July 9, 2011

මහින්ද දිනුම් - සුඩානය පරාදයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ලොක් සිතියම වෙනස් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය 193 වෙනි සාමාජික රට ලෙස අප්‍රිකානු කලාපයේ රටක් පිළිගත් බව ප්‍රකාශ කළේය. එහි අගනුවර ද පිළිගත්තේය. එහි නායකයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අධිකරණ පද්ධතිය ද ජනාධිපතිවරයා ද පිළිගත්තේය. අප පෙර හදුනා ගෙන සිටි සුඩානය නැමති ඒකීය ස්වාධීන රාජ්‍යය දැන් ලෝක සිතියමේ අපට හමු නොවේ. පෙර සුඩානය පැවති තැන ඇත්තේ උතුරු සුඩානය හා දකුණු සුඩානය නැමති එකිනෙකින් වෙන්ව ගිය රාජ්‍යයන් දෙකකි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම්, සුඩාන භූමි ප්‍රදේශයේ සීමාව අඩු වී එහි දකුණු දෙසින් දකුණු සුඩානය ලෙස නව රාජ්‍යයක් බිහිවී තිබේ. එහි රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා වන්නේ 2005 වසරේ සිට සුඩානයේ උප ජනාධිපතවරයාව සිටි සැල්වා කීර් මයාදිත් නැමැත්තෙකි. ජූබා යනු නව රාජ්‍යෙය් අගනගරයයි. දකුණු සුඩානය ස්වාධීන ස්වෛරී රාජ්‍යක් ලෙස පසුගිය ජූලි 8 වෙනිදා එරට වේලාවෙන් රාත්‍රී 11.45 ට එහි ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. මධ්‍යම රාත්‍රිය උදා වෙත්ම සුඩාන ධජය බිම හෙලා දකුණු සුඩාන ජාතික ධජය ගුවනට එසේව්වේය. මැදියම් රැයේදී සුඩානය විමුක්තිය ලැබීය.

දැන් අප විසින් කියවා ගත යුතු සිද්ධීන් කිහිපයක් ඇත. එකක් සුඩානය - සුඩානය හා දකුණු සුඩානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් වීම දක්වා ගමන් මගයි. අදාල නව රාජ්‍ය පිළිගැනීම සැණකෙළියක තත්ත්වයෙන් මිදී, යථාර්තයේ සිද්ධියක් කියවා ගත යුතුව ඇත. එසේම, අප විසින් තවත් හැදෑරිය යුතු දෙයක් ඇත. එනම්, අද හෝ ඊයේ සුඩානයට වූ දේ අපට සිදු වූ අතීත අවස්ථාවක් ඇත. එසේම, ඊටත් වඩා - ඉතාම ඛේදනීය ලෙස එවැන්නක් විය යුතුව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාවක් ඇත. මේ සිද්ධීන් දෙක ද අප කියවා ගත යුතුව ඇත.

පළමුව මා මෙවැන්නක් කියවමි. ලංකාව රාජධානී සමයක් ගත කරමින් සිටියේය. පසුව, පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් යටත් කරගනු ලදුව, අවසානයේ ද එංගලන්තයට අප යටත් වීමු. 1815 මාර්තු 2 වෙනිදා හෝ ඊට අත්‍යාසන්න දිනකදී ලංකාව විසින් එතෙක් ඔසවමින් සිටි සිංහ කොඩිය වෙනුවට එය බිමට ඇද දමා කතිර කොඩිය අසහට එසෙව් පුවතක් අපි අසා ඇත. ඒ අප විසින් අවිච්ඡින්නව රැගෙන ආ අපේ කොඩිය අපිට අහිමි වූ පළමු අවස්ථාවයි. යළිත් අප (ලාංකිකයින්) විසින් කරනු ලැබූ අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1948 දී අපේ කොඩිය එසවීමේ පූර්ණ හිමි කමක් අපිට හිමි විය. මෙය අප විසින් පමණක් මුහුණ දුන්නක් නොවීම නිසා මෙය මහා ඛේදනීය තත්ත්වයක් නොවන්නේ යැයි කියමි. මන්ද, අපේ නිදහස තීරණය වන්නේ අවට වට පිටාව මතයි. අපට නිදහස අහිමි වන විට - අවට වටපිටාවට ද නිදහස අහිමි වී තිබිණි.

දැන් ම විසින් කියා සිටි ඉතාම ඛේදනීය ලෙස අපේ කොඩිය හෝ එහි වෙණ වැටෙන සීමාව අහිමි විය හැකිව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාව පිළිබද හැදෑරීම පසෙකින් තබා සුඩානය දෙසට හැරෙමු. සුඩානයේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන් සුඩාන මධ්‍යම පාලනය ප්‍රතික්ෂේප කළේය. ඒ 2005 දී පුපුරා ගිය ඉන් වසර කිහිපයකට පෙර උද්ගත වූ සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි. පසුව ඔවුන් විසින් ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ට හිතවත් රාජ්‍යයන් සමග සුහද වී 2005 ජූලි 9 වෙනිදා නිළ නොවන අයුරින් සීමා මායිම් ලකුණු කර ගත්තේය. ඉනිදු පසු ඔවුන් විසින් දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජාත්‍යන්තර තත්ත්වයන් නිර්මාණය කර ගත්තේය. ඒ අතරවාරයේ ඩාෆූර් ප්‍රෙද්ශයේ නොනිමි සටන් දියත් කළේය. දකුණු සුඩානයේ ස්වාධීන හෙවත් ස්වස්ථානික වූ ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගත්තේය. අධිකරණ පද්ධතියක් සකසා ගනිමින් අධිකරණ කටයුතු දියත් කරමින් සිටියේය. සුඩානයේ උප ජනාධිපතිවරයාව සිටිමින් මයාදිත් විසින් දකුණු සුඩානයේ නායකත්වය දියත් කළේය. එහි අතුරු කාර්යයක් ලෙස - දකුණු සුඩානය වෙනුවෙන් ඩයස්පෝරාවක් නිර්මාණය කරගනිමින් ඊට අවශ්‍ය ජාත්‍යන්තර කරුණාව හා අවධානය දිනාගත්තේය. 

සුඩානය දෙකඩ කිරීමට මයාදිත් උත්සාහ කරමින් සිටියදී, ඕමාර් අල් බෂීර් (සුඩාන ජනාධිපති) නිහඩ හා නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළේය. ඩාෆූර් කලාපයේ සටන් වෙනුවෙන් නේටෝව පවා මැදිහත්වන තුරු පාඩුවේ සිටියේය. ජාත්‍යන්තරය තුළ සුඩුනය වෙන් කිරීමට එරෙහි හඩක් නිර්මාණය කරනු වෙනුවට - සුඩානය බෙදිය යුතු වන්නේ යැයි වැනි අදහසක් ස්ථාපනය වන තුරු පාඩුවේ සිටියේය. බෂීර් විසින් යුද්ධයක් කිරීමට හෝ සාර්ථක යුද්ධ උපක්‍රමයක් තුළින් ඩාෆූර් බේරා ගනිමින් පසුව ඒකීය සුඩානය ආරක්ෂා කර ගැනීමට සමර්ථ නොවීය. එහෙයින්, වැඩි වැඩියෙන් මයාදිත් ප්‍රමුඛ සටන්කාමීන් ශක්තිමත් විය. එපමණක් ද නොව - ඔවුන්ගේ සටන ජාත්‍යන්තරය තුළ පවා සනාථ විය. වෙනකක් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා සථාන වීමට ඉඩ සලසා ගත්තේය. එහෙයින්, අද වන විට මයාදිත්ගේ නායකත්වයෙන් යුතු දකුණු සුඩානය බිහි විය.

Salva Kiir Mayardith
සුඩානයේ කතාවේ සාරාංශය එසේ විය. දැන් ම විසින් අපේ කතාව හැදෑරීම අරඹමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් කරනු ලැබූයේ ද මයාදිත් විසින් සුඩානය තුළ දියත් කළ අරගලයමය. මයාදිත් පළමුව, දේශ සීමා වෙන් කර ගත්තේය. ප්‍රභාකරන් ද ඊලමේ දේශසීමා ප්‍රකාශයට පත් කළේය. පසුව, ඔවුන්ගේම කියා ව්‍යවස්ථාදායකයක් හා පාලනයක් ඇති කර ගැනීමට මයාදිත් සමත් විය. ප්‍රභාකරන් විසින් ද නො නිළ ආණ්ඩු පාලනයක් හා ව්‍යවස්ථාදායකයක් දියත් කළේය. අධිකරණ පද්ධතිය ද එසේම ය. ප්‍රභාකරන්ගේ සිහින ඊළම තුළත් මයාදිත්ගේ සිහින දකුණු සුඩානය තුළත් නඩු ඇසීම පිණිස අධිකරණයක් සාදා ගත්තේය. මයාදිත් විසින් සුඩානයේ යහපාලනය බිදීම පිණිස සටන් කළේය. ප්‍රභාකරන් ද එසේමය. බෝම්බ, තර්ජන, පිපිරවීම් වැනි සියල්ල සිදු කළේය. නො නිළ හමුදාවක් ස්ථාපිත කර ගත්තේය. මයාදිත් විසින් ජාත්‍යන්තරය තුළ සිය සිහින දකුණු සුඩානයට තත්ත්වයන් දිනා ගැනීම පිණිස කටයුතු කළ අයුරින්ම - ඇතැම් විට ඊටත් වඩා ප්‍රභාකරන් ජාත්‍යන්තරය තුළ පුබල විය. සිහින ඊළාම් ඩයස්පෝරාව සිහින දකුණු සුඩාන ඩයස්පෝරාවට වඩා ශක්තිමත් විය. රටක පිළිගැනීම දිනා ගැනීම වෙනුවෙන් මයාදිත් ඇමරිකාව මිතුරු කරගත්තේය. ප්‍රභාකරන් විසින් කැනඩාව, ඇමරිකාව හා නෝර්වේ රාජ්‍යයන් ඒ සදහා යොදා ගත්තේය.

ඕමාර් අල් බෂීර් නිදා සිටියේය. ලංකාවේ ද ජේ.ආර්. ගේ සිට ප්‍රේමදාස, ඩී.බී., චන්ද්‍රිකා හා රනිල් යන සියලු දෙනාම එදා වේල පිරිමසා ගැනීම වෙනුවෙන් යුද්ධ කළේය. සාකච්ඡා කළේය. හරියටම ඒ සියල්ලම තනිව බෂීර් විසින් ද කළේය. සුඩානයේ යුද්ධය තීරණාත්මක වන විටත් සුඩාන නායකයා වූයේ බෂීර්මය. ලංකාවේ තත්ත්වය තීරණාත්මක වන විට නායකත්වය මාරු විය. ඒ පතෝල චන්ද්‍රිකා වෙනුවට - කොච්චි මහින්ද පත්වීමෙනි. සුඩානය තවදුරටත් පතෝල බෂීර් විසින් මෙහෙයවමින් සිටියේය. බෂීර් සාමකාමී යුද්ධයක් කළේය. මහින්ද විසින් යුධකාමී යුද්ධයක් කළේය. සුඩානයේ හා ලංකාවේ තත්ත්වය ඉන් වෙනස් විය. මහින්ද විසින් සිහින දකිමින් සිටි ස්වාධීන රාජ්‍යයේ නායකයා විය හැකිව සිටි මිනිසා නසා දැම්මේය. බෂීර් විසින් සිහින රාජ්‍යෙය් නායකයා විය හැකි පුද්ගලයා රැක ගත්තේය. බෂීර් විසින් නයාට කිරි පෙව්වේය. මහින්ද විසින් නයා කූඩු කළේය. නැත. ඔහු නයා කූඩු කලා නොව - නයා කුඩු කළේය. මයාදිත් නම් නයා බෂීර්ට දශ්ඨ කරමින් සිහිනය දිනා ගත්තේය. මහින්ද විසින් ප්‍රභාකාරන් නැමති නයා කුඩු කරමින් සිහිනය ද කුඩු කර දැම්මේය. එහෙයින්, මයාදිත් නව රාජ්‍යයක් පිළිබද සිහිනය මැදියම් රැයේදී සැබෑ කරගත්තේය. නව ඊළමක් පිළිබද සිහිනය ද රැගෙනම ප්‍රභාකරන් මිහිදන් විය.

ලංකාවේ දී මහින්ද දිනුවේය. සුඩානයේදී මයාදිත් නැමති සිහිනධාරියා දිනුවේය. ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යක් විය. සුඩානය තවදුරටත් ඒකීය නොවීය. එසේ නොවන්නේය. දැන් ලංකාව තවදුරටත් එකම ජාතික කොඩියකින් හදුනාගත හැකිව තිබියදී, නිසි කළට නිසි ප්‍රතිකර්ම දියත් නොකිරීම නිසා පෙර පැවති සුඩාන භූමිය සෙවන ලබන්නේ එකිනෙකට වෙනස් කොඩි දෙකකිනි.

Omar-Al Basheer
තවත් කිව යුතු දෙයක් ඇත. ඕමාර් අල් බෂීර්ට හෝ සැල්වා කීර් මයාදිත් හට මානව හිමිකම් උල්ලංඝන චෝදනා නැත. මන්දයත්, ඇමරිකානුවාගේ හෝ එක්සත් ජාතීන්ගේ අභිමථාර්ථ හා අභිලාෂයන් ඔවුන් විසින් දිනා දී ඇත. ඔවුන්ට අවනත වී ඇත. ඕමාර් බෂීර්, ඇමරිකාවට අවනත වී රට දෙකඩ වන්නට ඉඩ හැර - බලා සිටි නිසා දැන් ඕමාර් බෂීර් යනු නියම නායකයෙකි. මිනිස් අයිතිවාසිකම් රැකදුන් මිනිසෙකි. ඇමරිකාවටනම්, ඇමරිකාව විසින් ඉදිරි සාම නොබෙල් ත්‍යාගයට පවා නිර්දේශ කිරීමට බැරි නැති මාරම පොරකි. නමුත්, මහින්ද එසේ නොවෙයි. ඇමරිකාව හෝ වෙනත් බටහිරක්, ඊළමක් වෙනුවෙන් ඇගිලි ගනිමින් සිටියදී මහින්ද ඊළම වෙනුවෙන් නොහැරුණේය. එහෙයින්, මහින්ද යනු කියන දේ නාසන - නාහෙට නාහනා අමණයෙක් ලෙස හදුන්වා දෙමින් ඔහු චුත කිරීමට දැන් වෙර දරයි.

අවසන ලියමි. අද වන විට අප තවදුරටත් ඒකීය රාජ්‍යයක් ලෙස සිටින්නේ මහින්දගේ ඇති නාහෙට නාහනා ගතිය නිසාය. මහින්ද ද කීකරු හා නාස් ලණුවෙන් පාලනය කළ හැකිව තිබූ අවංක - ඕමාර් බෂීර් වැනි හිමිකම් සනාථ කරන එකෙක් වූවානම්, අද වන විට අපේ අසල්වාසී රට වන්නේ උතුරෙන් ඉන්දියාව නොවේ. උතුරෙන් හා අපට ඊළාම් රාජ්‍යය මැයිම් වන්නට ඉඩ තිබිණි. අප තවදුරටත් දූපතක් නොවන්නේය. එසේ වූයේ නම් අප තුන් පැත්තක් මුහුදින් වට වූ අර්ධද්වීපයකි. ලෝකයේ දසවැනියට ලොකුම රට වූ සුඩාන දැන් විශාලත්වයෙන් පසු බැස ඇත. අපට ද සිදු වන්නට තිබුණේ එයම බව නො සිතෙන්නේ ද. ම විසින් මහින්ද දිනුම් යැයි කියන්නේ ඒ අර්ථයෙනි. බෂීර් පරාද යැයි කියන්නේ ද ඒ අර්ථයෙනි. 

Friday, July 8, 2011

SLPL අවලංගුයි වෙයි - ආතල් කුඩු වෙයි

SLPL Logo
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු අන්තර්වාර පාලක මණ්ඩලය (අතුරු කමිටුව) විසින් යෝජනා කර තිබූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, යොදා ගත් පරිදි නොපවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයා විසින් තීරණය කොට ඇති බවට වන ප්‍රවෘත්තියක් ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම වසරේ නියත වශයෙන්ම එම තරගාවලිය යළි නොපැවැත්වෙන බවත්, එවැන්නක් ලබන වසරේදී පවත්වන්නේ ද යන්න මෙතෙක් තීරණය කොට නැති බවත් ඔහුගේ නිවේදනයේ සදහන්.

 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක ආතල් ගැනීමට අප සිහින දකිමින් සිටියෙමු. අපිටත් වඩා  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සපැමිණීම සිහිනයක් කොට ගෙන සිටියේ හෙට දිනයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලෝකය දිනන්නේ යැයි තිර අධිශ්ඨානයක සිටි - ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ය. මෙම  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තීරණය හිටපු ක්‍රිකට් අතුරු කමිටුව විසින් ගනු ලැබූවකි. නමුත්, මේ සදහා අවශ්‍යය තත්ත්වයන් සම්පාදනය කෙරෙහි, අමාත්‍යංශය ද සූදානමින් සිටියේය. හිටපු ක්‍රිකට් ලොක්කන් හෝරුන් යැයි කියමින් - ඔවුන් පත් කරනු ලැබූ ඇමතිවරයාම හෝ ආණ්ඩුවම හෝ විසින් ඔවුන් පන්නා දමා නව අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළේ පසුගිය දින කිහිපයේදීය. ඒ අනුව නව  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නොපවැත්වීමට තීරණය කරනු ලබන්නේ එම කමිටුව විසින් පාලනය කරනු ලබන සමයේදී වීම විශේෂත්වයකි. මේ සිද්ධිය ක්‍රීඩා අර්ථයෙන් කියවීමට වඩා ලංකාවේ පොදු සමාජ සිද්ධීන් අර්ථයෙන් කියවා ගැනීම සුදුසු යැයි සිතේ.

අපේ මුළු ඉතිහාසයම මෙවැනි භ්‍රාන්ත වී ගිය ප්‍රතිපත්ති වලින් නො අඩු ඉතිහාසයකි. එකම ඇමතිවරයාම යටතේ වුව ද අමාත්‍යංශ ලේකම්වරයා මාරු වූ විට ප්‍රතිපත්ති වෙනස් වේ. නැතිනම්, එකම ආණ්ඩුවකදීම වුව ද ඇමතිවරයා මාරු වූ විට ප්‍රතිපත්ති වෙනස් වේ. එවන් තත්ත්වයක් උඩ ආණ්ඩු මාරු වීමක් ගැන කතා කිරීමට පවා අවශ්‍යය නොවේ. අප දන්නා සිද්ධීන් කිහිපයකි. සමගි පෙරමුණු ආණ්ඩුව - මහවැලිය අවසන් කිරීමට දින යොදාගෙන තිබුණේ 2000 වසරේදීය. ඒ අනුව මහවැලිය උතුරින් මුහුදට වැටීමට සැලැස්වීම එහි සිහිනය විය. නමුත්, 77 දී ආණ්ඩුව මාරු විය. ජේ. ආර්.ගේ ආණ්ඩුව විසින් මහවැලිය - කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නමින් නම් තැබුවේය. විසි පස් අවුරුදු ව්‍යාපෘතියක් වසර පහකට කැටි කොට - පවර් ප්ලේ - සංවර්ධනයක් ඇති කරමින් මහවැලිය ත්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මේය. විසිපස් අවුරුද්දක් කල්මැරීමට තැත් කළ මහවැලිය පස් අවුරුද්දකින් නිමා කළේ යැයි පුරසාරම් දෙඩෙව්වේය. බැලූ බැල්මට ඒය මාරම සිද්ධීයකි. නමුත්, වැඩිමනක් කියවා බලන විට - මහවැලියේ මව් ව්‍යාපෘතියට අනුව සැලසුම් කොට තිබූ ඒවායින් බොහෝ යෝජනා කඩිනම් මහවැලියේදී හැලී ගියේය. ව්‍යාපෘති වාර්තාවන්ගේ පිටු බලාන ඉන්නා විට ඉරී-ගැලවී ගියේය.
SLPL Dream Teams

2000 චන්ද්‍රිකා ආණ්ඩුවේ චන්ද්‍රිකා බේරා ගැනීමේ බලෑණිය වූයේ ජ.වි.පෙ.ය. ජේ.වී.පී. මන්ත්‍රීවරුන් වූ අනුර දිසානායක හා බිමල් රත්නායක කෘෂිකර්ම අමාත්‍යංශය භාර ගත්තේය. ලංකාවේ වැව් දස දහසක් හෑරීම සිය ප්‍රමුඛ කාර්යය කරගත්තේය. මේ වැව් හාරන උත්සව වලට සහභාගී වූ ආණ්ඩුවේ ඇමතිවරුන් ම කියා සිටියේ - මේ ව්‍යාපෘතිය පරාක්‍රමබාහු පරපුරේ එකක් බවයි. එය මාරම ව්‍යාපෘතියක් ලෙස අර්ථ ගැන්වීය. නමුත්, 2001 දී ආණ්ඩුව පෙරළී යළිත් 2004 දී සංධානය ආණ්ඩුව පිහිටුවීය. එහිදීත්, ජ.වි.පෙ. ආණ්ඩුවේ සිටියේය. නමුත්, යළි වැව් හෑරීමට ජ.වි.පෙ. නොගියේය. අඩුම තරමේ තත්කාලයේ ධුරය දරමින් සිටි ඇමතිවරයා ලවා, 2001 දී නැවතුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හෝ උත්සුක නොවීය. ඇතැම් වැව් මඩ ගොහොරු කරනු ලදුව අතහැර දැමුවේය. පරාක්‍රමබාහු යුගයට සමාන කරමින් වේදිකා හෙල්ලූ ඇමතිවරුන්ම - වැව් හෑරීම නොමනා අඥාන ක්‍රියාවක් යැයි එම වේදිකාවලම පසුකාලයකදී පට්ට ගසමින් ජ.වි.පෙ. හෑල්ලු කළේය. ඇමති මාරු විය. වැව් - මඩ පොකුණු විය. අඩුම තරමේ ප්‍රතිපත්තිගරුක ජ.වි.පෙ.ට පවා වැව් ටික අමතක විය.

වෙළදපොලේ බාල පෙට්‍රල් තිබුණෝතින් ඉල්ලා අස්වන්නේ යැයි වගේ අදහසක් එන පරිදි ඇමතිවරයා පෙර දිනක පොර ටෝක් එකක් දෙයි. පසුව, වෙළද පොලේ බාල පෙට්‍රල් ඇති බව ඔහුම පිළිගනියි. එසේනම්, පෙර කියූ පරිදි ඉල්ලා අස්වන්න යැයි යෝජනා කර සිටි විට කියා සිටින්නේ “මම එහෙම කියල නෑ“ යනුවෙනි. එසේ නොකීව ද විලිලැජ්ජාවක් තිබේ නම් ඉල්ලා අස්වීම සදහා ඇගිල්ලෙන් අණින තුරු සිටින්නේ නැත. ලැජ්ජාව වසා ගැනීම පිණිස - වරද පිට පටවාගෙන දමා යාම සිදු විය යුතුය. දැන් ලංකාවේ ක්‍රමය එයයි. එවිට, වෙන ඇමතිකමක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වුවත් - ටික කාලයකට ප්‍රතිපත්ති රකින්නේ යැයි ඉගි කරනු ලබන පොරක් විය හැක. (උදාහරණ - හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය. කටුනායක සිද්ධියේ වැරදිකරු වීම ස්ව කැමැත්තෙන් භාරගෙන ඉල්ලා අස්වූවා යැයි හගවා නිවාඩු දැම්මේය. වරදට දඩුවම ලෙස තානාපති කමක් දී රටින් පිටුවහල් කරනු ලැබීමට සූදානම් යැයි ආරංචි ඇත.)

සුභ අනාගතයක පෙර නිමිති දකිමින් සිටිනෝ වෙමු. ආසියාවේ ආශ්චර්ය උදා වන තුරු ජනේලයෙන් ලෝකය දෙස බලාගෙන හූල්ලමින් සිටින්නෝ වෙමු. මහින්ද චින්තනයේ හෝ එහි දෙවැනි කොටස වූ මහින්ද චින්තන ඉදිරි දැක්මේ ඇති දේ ප්‍රායෝගික විය යුතුය. අඩුම තරමේ එකම ආණ්ඩුපාලනයකදී හෝ ගනු ලබන තීරණ හෝ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති නියත හෝ සමගාමී විය යුතු වෙයි. එසේ නොවන්නේ නම් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු වෙයි. අද වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැටුප වෙනුවෙන් ලන්සු දමන තත්ත්වයට පත්ව ඇත්තේ මේ ජාතික ප්‍රතිපත්තියක් අහිමි වීමේ ඛේදවාචකයේ ප්‍රතිඵලයක් ලෙසයි. ආකර්ශනීය බස් දොඩමින් පටු දේශපාලන වාසි තකා විශ්ව විද්‍යාල සිසුන් බා ගැනීමට හැකිව ඇත්තේ ජාතික ප්‍රතිපත්තියේ ඇති හිඩැස නිසාය.

ලංකාවේ ප්‍රතිපත්ති නුවන් හෙට්ටිආරච්චිගේ රගර් ගැහිල්ල හා සමානය. උදේට කැන්ඩි ටීම් එකටද - දවල්ට නේවි ටීම එකට ද ක්‍රීඩා කරන ඔහු යළිත් සවස් වරුවේ කැන්ඩි ටීම් එකට ක්‍රීඩා කරයි. ඒ සියල්ල අවසානයේ ඔහු වැරදි කරු වෙයි. අවසානයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) හා 34(1) ව්‍යවස්ථා අනුව ජනාධිපති පොදු සමාව හිමි වෙයි. දැන් නුවන් හෙට්ටිආරච්චි වරදක් කොට නැත. වඩා වැදගත් වන්නේ සමාව දීම නොව. විලි ලැජ්ජා නැති ලෙස එවැනි නීති කඩ කරමින් සිට වැරදි කරු වූ පසු සමාව දෙන්න යැයි වැද වැටීමයි. එවැනි එකෙකු සිරගත කිරීම පවා ජාතික ධනයට අපරාධයක් වන හෙයින්, සමාව දී වැඩක් බලාගෙන ඉන්නා ලෙසත්, යළිත් පැත්ත පළාතේ නොඑන ලෙසත් අවවාද කොට එළවා ගැනීම වටියි. 

Sports Minister M. Aluthgamage (MP / Kandy Dist.)
එහෙයින්, ඇමතිවරුන් විසින් දෙබිඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම  නැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුව ඇත. 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිද වැටෙන්නේ ද මෙවැනිම - ඇමති හිතලූ සහ  ඇස්පනාපිට ප්‍රතිපත්ති බිදී යාම වැනි කරුණු නිසාය. ඒවාට නිසි පිළියම් දිය යුතුව ඇත. 

අද වන විට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සිදුව ඇත්තේ ද යටකී ඉරණමට මුහුණ දීමටයි. ආණ්ඩුව හෝ ඇමතිවරයා නොව - පරිපාලනයේ ඉතාම පහල අධිකාරියක් වූ පාලක මණ්ඩලයේ අතුරු කමිටුව මාරු වූ විටදීම පෙර යෝජනා වීසි වෙයි. මෙම කමිටුව ඡන්දයකින් පත්වූයේ නම් එසේ වීම සාධාරණ යැයි සිතන්නට පුළුවන. නමත්, මෙම කමිටුව පත්කරනු ලබන්නේ ද පෙර කමිටුව පත්කරනු ලැබූ ඇමතිවරයාම ය. ආණ්ඩුව පෙර එකමය.  ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ආතල් එකට වඩා මෙය වඩාත් වැඩි ආතල් එකක් සපයයි. ප්‍රතිපත්ති පිට ප්‍රතිපත්ති මුද්‍රණය කරමින් රට පුරා බෙදා හැරිය ද ඒවාහි ඇති එක් පාපිල්ලක ඉස්පිල්ලක දෙයක් හෝ ක්‍රියාත්මක නොවන්නේ නම් ඉන් කිසිදු ඵලක් නැත. ඇති එකම ප්‍රයෝජනය - බත් ගෙඩියක් බැද ගැනීම පිණිස ලොකු පත්තරයක් නොමිලේ හම්බ වීම පමණි. ඒ ආතල් එක හැර වෙනත් කිසිදු ආතල් එකක් නැත.

අවසන ලියමි. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් සංවිධාන කළ යුතුව තිබුණේ සහ එසේ කළ යුතුව ඇත්තේ - ඉන්දියානු හෝ වෙත් විදේශ ක්‍රීඩකයින් සහභාගී වන අයි.පී.එල්. වැනි සැණකෙළියක අවශ්‍යතාවය සපුරාගැනීමට නොවන්නේ යැයි මගේ හැගීමයි. ඉන්දියාවට සැණකෙළි කළ හැක. යහමින් මුදල් ඇත. යහමින් තරග දිනා ඇත. එසේම, යහමින් දෙවැනි හා තෙවැනි පෙළක් ද ඇත. ඒ නිසා, දෙවැනි හා තෙවැනි පෙළ ක්‍රීඩකයින්ගේ රැස් පෙන්වීමට හා තව තවත් මුදල් ඉපයීමට අයි.පී.එල්. සංවිධාන කළේය. නමුත්, අපිට එවැනි සැණකෙළි කරන්නට තරම් යහමින් මුදල් නැත. ඉන්දියාව ෆ්‍රයිඩ් රයිස් කන විට අපි සම්බෝලයි බතුයි හෝ කමින් ජීවත් වෙයි. වඩා වැදගත් එයයි. එසේම, ලංකාව සතුව ශක්තිමත් දෙවැනි පෙළක් හෝ තෙවැනි පෙළක් නැත්තේම නැති වුව ද ඇත්තේ ම නැත. එහෙයින්, අප කළ යුතුව ඇත්තේ - ක්‍රිකට් විකිණීමට හැකි පමණ ක්‍රිකට් සංවර්ධනය කර ගැනීමයි. ලංකාවේ ප්‍රීමියර් ලීග් සංවිධාන කළ යුතුව ඇත්තේ ලංකාවේ දෙවැනි පෙළක් සොයා ගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවය තෘප්ත කරගැනීම පිණිසයි. ඉන් පසු අප විසින් ඔවුන් පදම් කළ යුතුව ඇත. එසේ පදම් කිරීමෙන් පසු - ඔවුන් වෙනත් රටවල ඩොමෙස්ටික් තරග සදහා විකිණිය හැකිව ඇත. අද එස්.එල්.පී.එල්. සංවිධාන කරමින් අපේක්ෂා කරන මුදල් ඉපයීම හා දෙවැනි පෙළ ශක්තිමත් කිරීම එසේ ද කළ හැකිව ඇත. SLPL යොදාගත් පරිදි - හැකි පමණ පැවැත්විය යුතු යැයි යන්න මගේ පුද්ගලික අදහසයි. අය අපිට ඇති පරිදි හා හැකි පරිදි කළ හැකිව තිබිණි. මන්දයත්, Something is Better Than Nothing නිසාය. ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතුව ඇත.

Proposing Dy. Ministers
තවත් යමක් ලියමි. යෝජනා කරමි.  ක්‍රීඩා ඇමති කම වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ නොවන - ක්‍රීඩාවේ හය හතර දන්නා මිනිසෙක් දැන්මම සොයා තබා ගැනීම සුදුසු වන්නේ යැයි ජනාධිපතිවරයාට ඉගි කරමි. කුමක් හෝ ක්‍රීඩාවක් ආදරයෙන් කරනු ලැබ ඇති - ක්‍රීඩාවේ ජීව ගුණය හදුනණා - ප්‍රතිපත්තිගරුක ලෙස යමක් කළ හැකි කොන්දක් ඇති මිනිසෙක් ඒ වෙනුවෙන් අවශ්‍යකර තිබේ යැයි කියමි. තව තවත් ඉගි කරමි. අඩුම තරමේ නියෝජ්‍ය ඇමතිකමවත් එවැන්නෙකුට දී ක්‍රීඩාව රැක ගැනීමට කටයුතු කරන්නේ නම් වටින්නේය. ඥාතිකම් අදාල නැත. සුදුස්සෙක් සිටින්නේ නම් - නො ඥාතියා සේම ඥාතියා ද ඒ සදහා ගැලපෙන්නේය. ආරක්ෂක ලේකම්කම දෙන විට කෑ ගැසූ එකෙක්වත් දැන් කටක් නොඅරින්නේ ඒ තේරීමේ වරදක් පෙන්විය නොහැකි නිසාය. එහෙයින්, ක්‍රීඩාවේ අභිවෘද්ධිය තකා ද එවැනිම තේරීමක් කළ යුතු කාලය එළැඹ ඇතැයි කියමි.

Wednesday, July 6, 2011

ජොතිපාල ඇත්තටම පොරක් ද

එච්. ආර්. ජෝතිපාල යනු අදින් වසර 24 කට පෙර අදවන් දිනක මිය ගිය සාමාන්‍ය ගායකයෙකි. නමුත්, ජෝති මිය යන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසින්ම නොවේ. ඔහු මිය යනු ලබන්නේ, අනාගතය වෙත මාතෘකා හා අවකාශ අවස්ථා සපයා දුන් අවස්ථා සලසන්නෙකු ලෙසයි. ජෝතිගේ මරණය සිදුවූ ජූලි මස 7 වෙනිදා අත්‍යාසන්න වෙමින් පවත්නා විට - අපේ කාර්යාල වල කළා හා සංස්කෘතික හෝ නිර්මාණ අංශයන්හි උදවිය දැඩි තකළ බලකාරී කරයි. ජෝති ගැන කියවීමට වැඩි කාලයක් වැය කරයි. ජෝතිගේ ඥාතීන් හා හිතවතුන් සොයා ගැනීම පිණිස දසත අමතයි. ජෝති ගැන ලියවුණු පොත-පතෙහි කතෘවරුන් හබා යයි. අඩුම තරමේ - ජෝති සමග එකට මතුවිත තොල ගෑවෙකු හෝ හොයා ගැනීමේ නොනිමි අරගලයක් දියත් කරයි. ඒ කුමක් සදහා ද. ඇත්ත වශයෙන්ම, ජෝති යනු ඒ තරම් මහන්සියෙන් වෙහෙසී යමක් කළ යුතුව ඇති අනුස්මරණීය හෝ සදානුස්මරණීය මිනිසෙක් වී සිටින්නේ ද. කියවා ගත යුතු දේ කිහිපයකි.

ජෝති යනු මියයන විට - ගැලරියට ගී ගයන ලපයි සිපයි ගායකයෙක් යැයි සම්භාවනීය කුලයේ විවේචනයට ලක්ව තිබිණි. ඊට හේතු කීපයකි. රාගයට හෝ පොතේ ඇති ලතාවට ගී ගයන සම්භාවනීය හා ‘සිරා සංස්කෘතික‘ පොරවල් අභිබවමින් ලවක් දෙවක් නැතිව ගැලරිය අමතමින් සිටින ජෝති ලංකාවේ නන් දෙස හදවත් විසින් වැලද ගනිමින් සිටියි. සම්භාවනීයයන් හට මෙය දරා ගැනීමට හෝ දිරවා ගැනීමට නොහැකි මහා ඊර්ෂ්‍යාවක් ජනිත කරන සිද්ධි මාලාවක් වූයේ නම් - එහි ඇති වරදක් මා නොදකිමි.

දැන් අප විසින් ජෝති ගැන යමක් කියවා ගත යුතු කරුණු කිහිපයක් ඇත.

පළමු අදියර
70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව,  ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි.  මරදානේ සිංදු  කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්‍යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.

දෙවැනි අදියර
මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද  කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ. 
ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.

තුන්වෙනි අදියර
කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.
පුරුෂ යුග ගී
  1. මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල
  2. පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල
  3. අපි සන්තෝසෙන් ඉන්නේ -  මිල්ටන් පෙරේරා
  4. තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්
ස්වතන්ත්‍ර නිර්මාණ
  1. ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න
  2. අමර පෙම් ලතාවේ - සරත් දසනායක
  3. වාසනාව දොර ඇරලා - එම
  4. සල් සපු නා - එම
  5. සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්
හින්දි කොපි
විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.

එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්‍රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.
ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි. 

අවසන් අදියර
1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්‍රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.
ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.

අද වන විට සියලු මාධ්‍යන් විසින් ජෝති වන්දනා කරමින් සිටින්නේ අනෙකක් නිසා නොවේ. දහස් ගණනක් වූ ජෝතිගේ සිංදු නෙවන්නට අද වන විට රේඩියෝ හෝ එෆ්. එම්. නාලිකා වල පැවැත්ම පිළිබද සිතා ගන්නටත් බැරි ඛේදනීය තත්ත්වයකට පත්ව තිබෙතැයි සැක කළ හැකිය. යටකී පරිදිම, අද වන විට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් - ඒ අතරිනුත් රේඩියෝ සියල්ලම පාහේ ගීත පදනම් කරගත් වැඩසටහන් ප්‍රචාරය කරන්නන්ය. එහෙයින්ම, ජෝති යනු ඔවුන්ගේ-අපේ ගුවන් කාලය ජනතා කැමැත්ත දිනා ගත හැකි පරිදි යමක් කරගැනීමට හොදම මාර්ගයයි. අද වන විට මාධ්‍ය විසින් ජෝති විසින් සැමරිය යුතුව ඇත. මන්දයත්, රේඩියෝ පවතින්නේ ජෝති මත පදනම්වම නොවූවත් - ජෝති විසින් වැඩසටහන් බොහෝමයක් තීරණය කරනු ලැබ ඇති බව ද රේඩියෝ වල පැවැත්ම තීරණය කර දෙනු ලබන බවත් පිළිගත යුතු සත්‍ය තත්ත්වයකි.

Tuesday, July 5, 2011

සංගා - ද්‍රෝහියෙක් වීම

කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ නිත්‍ය නියාමක කඩුලු රකින්නා බවට දැන් පත්ව සිටියි. කණ්ඩායමේ සිටින, ජ්‍යෙශ්ඨම ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙකි. නමුත්, සංගා මෙතැනදී කතා නායකයා බවට පත් කර ගනු ලබන්නේ ඒ කිසිවක් නිසා නොවේ. ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයට අනුබද්ධ මැරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන “ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය“ නම් දේශනය පැවැත්වීමට ඔහු ආරාධනා ලැබීය. මෙම ආරාධනා ලැබීම සුවිෂේශී සිද්ධියක් බවට පත් වන්නේ, මෙම දේශනය පැවැත්වීමට මීට පෙර ඇරයුම් ලැබූවන්ගේ නාමලේඛණය සැසදීමේදීය. එය පැති කීපයකින් වැදගත් වෙයි. එකක් නම්, තවදුරටත් සක්‍රීය වෘත්තියේ යෙදෙමින් සිටින ක්‍රීඩකයින් අතරින් මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබූ ලෝකයේ පළමු හා එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ඔහු එම දේශනය වෙනුවෙන් ඇරයුම් ලද ලාබාලතම ක්‍රීඩකයා හෝ පුද්ගලයා වෙයි.

කුමාර් සංගක්කාර විසින් මෙරිලිබෝන්, ස්පිරිට් ඔෆ් ක්‍රිකට් දේශනය පසුගිය සදුදා පවත්වනු ලැබීය. මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබීය විසින් සංගා පොරක් බවට පත් කිරීමට සමත් විය. එනම්, මෙතෙක් නොවූ විරූ සුවිශේෂ අවස්ථාවක් සංගා දිනා ගැනීමත් සමගයි. නමුත් සංගා විසින් දේශනය පැවැත්වීමත් සමග, දැන් ඔහු පොරක් වීමේ සිට ද්‍රෝහියෙක් වීම දක්වා රැගෙන යාමට යම් ප්‍රයත්නයක් දරමින් සිටියි. ඔහු විසින් උක්ත කතාවේදී කියනු ලැබූ කරුණක් සම්බන්ධයෙන් - ක්‍රීඩා පරිපාලනය හොදහැටි කුපිත වී සිටියි. එනම්, ලංකාවේ ක්‍රිකට් වලින් දේශපාලනය වෙන් කළ යුතුයැයි යන සංගාගේ යෝජනාව - මහින්දානන්ද අලුත්ගමගේට ඩෝන් යැවීමට සමත් වී තිබේ. මාධ්‍ය නිවේදනයක් ලෙස - සංගාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්නයැයි අලුත්ගමගේ ක්‍රිකට් අතුරු කමිටුවට යෝජනා කළ බව දැනගත් වහාම මට හැගී ගියේ, “ඇත්ත තිත්තයි“ කියන කතාවයි.

සංගාගේ මුළු කතාව සම්පූර්ණයෙන් ඇසූවෙමි. එහි මුළු කාලය විනාඩි හැට දෙකකි. සංගා කතාව ආරම්භ කරනු ලබන්නේ, ලංකාවේ ඉතිහාසය පිළිබද සැකවින් නමුත් පුළුල් විග්‍රඑයක් කරනු ලැබීය. දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් හිමි රාජ්‍යයට ක්‍රිකට් ක්‍රීඩාව හිමිව ඇත්තේ, බ්‍රිතාන්‍යයන් විසින් කරනු ලැබූ බලහත්කාරකමක ප්‍රතිඵලයක් ලෙස බව සංගා කියා සිටියේය. එම ක්‍රිකට් සුද්දාගේ ආකෘතියෙන් මුදවාගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ, අර්ජුන රණතුංගට බවත්, ලෝකයේම ක්‍රිකට් සැණකෙළි සිරියක් කරා රැගෙන යාමේ ප්‍රමුඛ වගකීමක් - අරවින්ද - ගුරුසිංහ - සනත් හා කලූ විසින් කරනු ලැබ ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගතිය වෙනුවෙන් රංජන් මඩුගල්ල හා රොෂාන් මහානාම වැනි අය දැඩිව කැපවී ඇති බවත් දැඩිව කියා සිටියේ යැයි සංගා කීවේය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දේශීය සලකුණ මුත්තයියා මුරලිදරන් බව සංගා නොබියව කීවේය. ඒ ක්‍රිකට් ගැන ක්‍රීඩකයින් ගැන සංගා කියූ වැදගත් දේය.

ක්‍රීඩාවේ ජීව ගුණය ගැන සංගා කතා කරමින් සිටියි. ක්‍රිකට්හි ජීව ගුණය පවත්වාගෙන යාම කෙරෙහි, ක්‍රීඩාවේ ස්වාධිනත්වය ක්‍රීඩාව කෙරෙහි පැවතිය යුතු බව සංගා විසින් කීවේය. සංගා එය ස්වර්ථයෙන් පහදනු ලැබීය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය දැන් දැන් බි්‍ වැටෙමින් තිබෙන්නේ - ක්‍රිකට් වෙත සිදු වෙමින් පවත්නා දේශපාලනික මැදිහත්වීම වැඩි වෙමින් පවතින නිසා බැව් හේ කියා සිටියේය. ජීව ගුණය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රීඩාවේ ස්වාධිනත්වය දැන් දේශීය වශයෙන් හිමිව නැති බව හේ කියා සිටියේය. ෆයර් වනු ලදුව, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංගා ගැන පරීක්ෂණයක් පවත්වන්න යැයි කියා තර්ජනය කර සිටින්නේ, එහෙයිනි. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බැව් අමුතු කුණුහරුපයක් නොවේ. එය බැලූ බැල්මටම පවා දැක්ක හැකි ඉතාම සරල දෙයකි. නමුත්, මෙතෙක් කල් සිංහලෙන් හෝ සිංහල පත්තර වලින් පමණක් දකිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනීකරණය - ක්‍රිකට් මහගෙදරදී කියා පෑම මගින් ක්‍රීඩාව දේශපාලනීකරණය කරමින් සිටින මිනිසුන්ට එල්ල වූණු අතුල් පහරක් වැනිය. එම කතාව අතුල් පහරක් බැව් දැන් දැන් හොදින් දකිමින් සිටියි. මන්දයත්, ක්‍රීඩාව මෙතෙක් කල් දේශපාලනීකරණය වූ බැව් හෝ එසේ වෙමින් තිබෙන බැව් නොදකිමින් සිටි මහින්දානන්ද දැන් අවදි වී තිබේ.

මහින්දානන්දගේ අවදි වීම වැදගත් සිද්ධියකි. නමුත්, නින්දෙන් අවදි වූ මහින්දානන්ද දැන් පොල්ලක් අතැතිව සැරි සරයි. ඒ හොරා ඇල්ලීමේ මුවාවෙණී. නමුත්, මේ වන විටත්, මහින්දානන්ද පොල්ල උලුක් කර ගනිමින් මාන්නාගෙන සිටින්නේ හොරා දෙසට නොවේ. ඔත්තු කාරයා දෙසටයි. ඇතැම් විට - ඔත්තු කාරයා සුන්නද්ධුලි කිරීමෙන් හොරකම් ගැන කියවෙන දේ නවතින්නේ යැයි මහින්දානන්ද සිතා සිටිනවා විය හැක. ඒ මහින්දානන්දගේ දැනුමේ හැටිය.

දැන් අප විසින් සංගා නිතර්කයෙන්ම පොරක් කිරීමට පෙර ඔහු පොරක් වීම දක්වා කතාව ගොඩනැගෙන්නේ කෙසේ දැයි කියවා ගත යුතුව ඇත. සංගා යනු - ටෙනිස් ක්‍රීඩාවට ජාතික වර්ණ ඇති පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පසුව, නීති ශිෂ්‍යෙයක් ලෙස සුදුසුකම් ලබන සංගා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස සිය නීතිඥබාවයේ සිහිනය දැකීම බලහත්කාරයෙන් මගහැරියේය. සංගා ක්‍රිකට් නොගැහුවානම් - අද වන විට අප කුමාර් චොක්ෂානන්ද සංගක්කාර නමින් හදුනාගන්නේ,  ප්‍රමුඛ යොවුන් නීතිඥවරයෙක් බැව් විශ්වාසය. ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා වන්නේ - මහින්දානන්ද කැබ්නට් ඇමතිවරයෙකු වීමට බොහෝ කලකට පෙරයි. මහින්දානන්ද හොර ඡන්ද දමමින් චාටර් වෙමින් සිටියදී - ජීව ගුණයෙන් පිරිපුන් ක්‍රිකට් කණ්ඩායම ලෙස සංගාගේ නායකත්වයෙන් පිට පිට දෙවර්ශයක්ම ලංකාව ලෝක සම්මාන දිනා ගත්තේය. එනම්, මහින්දානන්ද අජීවිව සිටිය දී සංගා ජීවයෙන් සිටියා යන්නයි. මහින්දානන්ද බලයට කෑදර - තනතුරු හා තානාන්තර පිටුපස යමින් වැද වැටෙමින් සිටි මිනිසෙකි. නමුත්, සංගා යනු ලෝකයේ අංග දෙකට පැමිණි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ව මැදිහත්වීමෙන් අතහරිනු ලැබූ සුවිශේෂ මිනිසෙකි. සංගාට ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටියිත. එහෙයින් ක්‍රිකට් යනු සංගාගේ ජීවිතයයි. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. මහින්දානන්දට එසේ පෙනී සිටීමට තමන් විසින් ආදරය කරනු ලබන හෝ විශිෂ්ඨත්වයක් දක්වනු ලබන දෙයක් නැත. එහෙයින් - යමකට පෙම් කිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට හේ නොදනියි.

දැන් අප විසින් අනාගතයේදී මුහුණ දීමට සූදානම් විය යුත්තේ කවරක් වෙනුවෙන් ද. මා කල්තබා ම කියමි. සංගා යනු ද්‍රෝහියෙක් හෝ රට පාවාදුන්නෙකු ලෙසින් නම් කිරීමට ඉතාම අත්‍යාසන්න අවධියේ අප සිටිමු. ඒ වෙනක් නිසා නොවේ. ලංකාවේ ක්‍රිකට් විකිණීම නිසා හෝ ක්‍රිකට් පාවාදීම වැනි සිද්ධීන් නිසා නොවේ. සංගා විසින් ලංකාවේ ක්‍රිකට් යනු දේශපාලන මාෆියාවක් යැයි පවසමින් - ලෝකයේ සෑම තැනකම සිද්ධ වෙමින් පවතින්නේ මෙය යැයි කියා සිටියේය. ඉනික්බිති ඔහු කියා සිටියේ - මෙම දේශපාලන ඛේදවාචකයෙන් ක්‍රිකට් බේරාගැනීමෙන් පසු පමණක් - ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඇති වන බවයි. මා ද අවසානයේ කියා සිටින්නේ එයයි.

Saturday, July 2, 2011

රෙජීමය වෙනස් නො කොටම...

හේතු පාඨය - 


“පවත්නා ක්‍රමය වෙනස් කිරීම“ යන න්‍යායික අරගලය අදවන විට යල් පැන ගිය න්‍යායක් බවට පත්ව තිබේ. ඒ, පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් කිසිවෙක් විසින් නොදකින නිසා නොවේ. පවත්නා ක්‍රමයන් වෙනස් කිරීම වෙනුවෙන් විප්ලව කිරීමට තරම් සුදුසු තත්ත්වයන් අද වන විට අවට සමාජයේ අවශ්‍යය තරමින් හෝ අත්‍යාසන්න තරමින් නොපැවතීම ඊට හේතුව විය හැක. තවත් පැත්තකින් කියන්නේ නම්, එරෙහි වී සිට පවත්නා ක්‍රම වෙනස් කිරීම නැමති අරගලය දියත් කරනු වෙනුවන සහජීවනයෙන් මෙහෙයවීම යන අරගලය දියත් කිරීම නූතන ලෝකයේ දක්නට පැවතීමයි. පවත්නා ක්‍රමය වෙනස් කළ යුතුව ඇති තැනක ඇති ද. එසේත් නැතිනම්, පවත්නා ක්‍රමය වෙනස් කළ යුතුව ඇති නම් - එම අභිමතාර්ථයන් ඉශ්ඨ කරගැනීම පිණිස, එරෙහි වීම හැර වෙනයම් න්‍යායික හෝ ප්‍රායෝගික ප්‍රයත්නයක් දැරිය හැකි ව ඇති ද.

කියුබාවේ පැවති ඇමරිකානු හිතවාදී බැටිස්ටා පාලනය තත්ත්කාලීන පවත්නා ක්‍රමය වන විට - එය යෝග්‍ය නොවන්නේ යැයි යන නිගමනය හේතුවෙන් පිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ චේ ගෙවාරා වැනි නායකයින් එක්ව ‘එරෙහි‘ විප්ලවයක් කරමින් එම පවත්නා ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අරගලයක් කළේය. ඔවුන් එසේ විප්ලවයක් කිරීම වෙනුවෙන් පෙළඹුනු ප්‍රධාන හේතුව වූයේ, පවත්නා ක්‍රමය - එම ක්‍රමයට එළැඹෙමින් දිශානතිය වෙනස් කිරීම නැමති සහජීවනීය කාර්යය ඉටු කිරීම නොකළ හැකි තත්ත්වයක් පවතින විටදී ය. වියට්නාමය තුළ සිදු වූයේ මීට වඩා වෙනස් සිද්ධියකි. එය යම් ආකාරයක යටත් විජිත ස්වභායේ පාලනයකින් මිදීම වෙනුවෙන් කරනු ලැබූ අරගලයකි. යටත් විජිතයක් සමග සහජීවනයෙන් කටයුතු කිරීම නොකළ හැකි එකකි. ඉන්දියාව හෝ ලංකාව විසින් එක්සත් රාජධානියට එරෙහිව කරනු ලැබූයේත් එවැනි අරගලයකි. වෙනත් ආකාරයකින් හෝ සහජීවනීය ස්වභභාවයකින් පවත්නා ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දෙමින් දිශානතිය වෙනස් කළ නොහැකි තත්ත්වයක පවතිනා විට දී ඊට එරෙහි වීම යම් සාධාරණ හෝ ප්‍රායෝගික ස්වභාවයක් ගනියි.

දැන් අප විසදාගත යුතු තැනක් ඇත. දේශිය වශයෙන් පවත්නා ක්‍රමය හෝ ව්‍යූහය යම් ආකාරයක වෙනස් කිරීමක් කළ යුතුව ඇති තැනක පවතියි ද. එසේ කළ යුතුව ඇති ද. අප විසින් විසදා ගත යුතු කරුණු දෙකක් ඇත. කුමක් හෝ පවත්නා ක්‍රමයක් වෙනස් කරන්නේ නම් - ඊට විකල්ප ආදේශකය කවරක් ද යන්න පැහැදිලිව දක්නට තිබිය යුතු වෙයි. අද වන විට ලංකාවේ පාලනය හෝ පවත්නා ක්‍රමය වන මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු තැනක ඇති ද. එසේ යෝජනා කර සිටීමේ යම් පදනමක් ඇති ද. මහින්ද රාජපක්ෂ රෙජීමය පාලන බලය අත්පත් කරගනු ලබන්නේ 2004 වසරේදී හෝ 2005 දී ය. ම විසින් 2004 දී මහින්ද රාජපක්ෂ රෙජීමය බලයට පත්වූයේ ද යැයි සැක සහිත ලෙස ඒ වර්ෂය 2005 වන්නේ යැයි පවසන්නේ එකම එක හේතුවක් නිසාය. එනම්, 2004 සිට 2005 නොවැම්බර් දක්වා පැවතියේ අර්ධ රාජපක්ෂ හා අර්ධ කුමාරතුංග රෙජීමයකි. එහෙයින් පූර්ණ රාජපක්ෂ රෙජීමයක් පිළිබද අපට අදහසක් පහළ වන්නේ 2005 දීය. 2005 දී අණසකට යටත් කරගනු ලබන රාජපක්ෂ රෙජීමය - එසේ බලයට පත්වන්නේ අද වන විට එහි ප්‍රධාන විරුද්ධ වාදියා වන ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිවය. අනෙක් පැත්තෙන් කියවා ගන්නා විට, ජ.වි.පෙ.ද ප්‍රාර්ථනා කර සිටියේ රාජපක්ෂ රෙජීමයයි. ජ.වි.පෙ. මෙන්ම සෙසු බහුතරයකගේද අපේක්ෂාවන් සපථ කරමින් 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූයේය. අද වන විට ද රෙජීමයේ බලමෙහෙයන්නා ඔහුමය. නමුත්, අද වන විට - රෙජීමයේ පදවිප්‍රාප්තිය පිළිබද සොදුරු සිහින දකිමින් සිටි ජ.වි.පෙ. විසින් රාජපක්ෂ රෙජීමයට එරෙහි වෙමින් සිටියි.

ජ.වි.පෙ. නිරන්තරයෙන් සිහින දකිමින් සිටියේ බලයට පත්වන ඕනෑම රජයක මෙහෙයුම් හා තීරණාත්මක සාධකය බවට පත්වෙමින් සිය පැවැත්ම තහවුරු කරගැනීමටයි. 2001 දී යම් ප්‍රමාණයකින් එය කරගැනීමට ජ.වි.පෙ. සමර්ථ වූ අතර 2004 දී වැඩි වශයෙන් දක්ෂ විය. එ වන විට කාණ්ඩ දෙකක් වශයෙන් පැවති, කුමාරතුංග රෙජීමයේ හා රාජපක්ෂ රෙජීමයේ තීරණාත්මක සාධකය වීමට ඔවුන් යම් කාලයක් සමත් වීය. නමුත්, 2008 අගභාගය හෝ 2009 වන විට සම්ස්ථයක් ලෙස ජ.වි.පෙ. විසින් පවත්වාගෙන සිටි ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීමේ ඒකාධිකාරය බිද වැටිණි. ඊට හේතු වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් ජ.වි.පෙ. අතහැර ආණ්ඩුවට එක් වීමත් සමගය. එනයින්, මෙතෙක් පවත්වාගෙන සිටි සහජීවනීය වශයෙන් දිශානතිය වෙනස් කිරීමේ - ජ.වි.පෙ. හැකියාව ජ.වි.පෙ.ට අහිමි විය. ජ.වි.පෙ. දේහපාලනික වශයෙන් මානසික ඇදවැටීමකට ලක් විය. එහෙයින්, පෙර පැවති තීරණාත්මක අධිකාරී බලය අත්පත් කරගැනීම පිණිස ජ.වි.පෙ. විසින් නොනිමි අරගලයක් දියත් කරමින් සිටියේය. 2010 වන විට එහි බරපතල අවශ්‍යතාවයක් ජ.වි.පෙ.ට දැනිණි. එහෙයින්, පෙර පැවති තීරණාත්මක සාධකය වීමේ තත්ත්වය යළි උදා කර ගැනීම පිණිස මරුවිකළෙන් මෙන් දැගලූයේ යැයි කියන්නේ නම් යම් නිවැරදිබවක් ඇතැයි සිතේ. 2010 දී ජ.වි.පෙ. අවශ්‍යතාවය ඉශ්ඨ කරගැනීම සදහා ඔවුන් විසින් ඉත්තා කරගනු ලැබූයේ සරත් ෆොන්සේකාය. ඔහු තම ඉත්තා කරගනු ලැබූ බව ඔවුන් විසින්ම පිළිගනිමින් සිටීම මගින් එය සපථ වෙයි.

නමුත් මා දකිනා පරිද්දෙන්, පවත්නා ක්‍රමයේ වෙනසක් සිදු කිරීම වෙනුවෙන් අරගලයක් කිරීම පිණිස මෙය කාලය නොවේ. එනම්, සිස්ටම් එක වෙනස් කිරීම පිණිස මෙය කාලය නොවන්නේය. ඊට හේතු දෙකක් සාධාරණ ලෙස මම දකිමි. එකක්, සිස්ටම් එකට අවශ්‍යව ඇත්තේ, විප්ලවීය වෙනසක් හෝ ආදේශකයක් නොව, යම් සංශෝදන කිහිපයක් පමණි. එම සංශෝදන කිහිපය කිරීම වෙනුවෙන් කැප වීම වඩා සාර්ථක සිස්ටම් එකක් වෙනුවෙන් සිහින දකිනා අයගේ වගකීම විය යුත්තේය. ඒ වෙනුවෙන් ඔවුන් විසින් අරගලයක් කළ යුතුව ඇති බව පමණක් පිළිගනිමි. යම් තැනක වරදක් හෝ අඩුපාඩුවක් දකින්නේ නම්, එතැන වෙනස් කිරීම පිණිස වැඩි වෙහෙසක් දරනු මිස - සිස්ටම් එක සම්පූර්ණයෙන් රිප්ලෙස් කිරීමක් වෙනුවෙන් ප්‍රයත්න දැරීම නුවණක්කාර නොවන්නේය.

අනෙක් පැත්තෙන් සලකා බැලීමේදී, පවත්නා ක්‍රමයක් වෙනස් කරමින් ආදේශ කළ යුත්තේ හෝ රිප්ලේස් කළ යුතුව ඇත්තේ - පවත්නා සිස්ටම් එකට වඩා යෝග්‍ය හෝ ‘මාර‘ එකකි. එවැනි සිස්ටම් එකක් අද වන විට විකල්පයක් ලෙස නොවීම අද වන විට මුහුණ පා ඇති ප්‍රබලම ගැටළුවයි. පවත්නා ක්‍රමය වෙනස් කරමින් ආදේශ කළ හැකි - සියලු ක්ෂේස්ත්‍රයන්ගෙන් අනූන සිස්ටම් එකක් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස සතු නොවන්නේය. ඊටත් වඩා - සිස්ටම් එකේ වෙනසක් පිළිබද දැඩිව කතා කරන ජ.වි.පෙ. සතුව කිසිසේත්ම එවැන්නක් තිබෙන බවක් නොදකිමි. “එන එන හැටියට ගහ උළුවස්සා“ න්‍යාය දේශපාලනික වශයෙන් ගැලපෙන ආදේශකයක් නොවන්නේය. ආදේශකයන් ලෙස හදුනාගත හැකි ක්‍රම දෙක තුළම ඇත්තේ එවැනි විසදුම් පමණි. එහෙයින්, රෙජීමය වෙනස් කරමින් ආදේශ කිරීමට තරම් දියුණු තත්ත්වයක් ඔවුන් සතු නොවන්නේ යැයි කියමි.

පවත්නා ආර්ථික ක්‍රමය හෝ මුල්‍ය පාලනය වෙනුවෙන් එ.ජා.ප.ය හෝ ජ.වි.පෙ. විසින් යෝජනා කර සිටින - රටකට ප්‍රායෝගිකව යෝග්‍ය වන ආර්ථික ප්‍රතිපත්තිය කවරක් ද. අධ්‍යාපන - සෞඛ්‍යය හෝ කෘෂිකාර්මික එසේත් නැතිනම් සංස්කෘතික ප්‍රතිපත්තිය කවරක්ද. එසේ එකිනෙක පිළිවෙළින් යෝජනා කිරීමට තරම් විකල්පයක් අද වන විට ඔවුන් සතු වන්නේ නොවේ යැයි හැගේ.

එහෙයින්, අවසන ලියමි. සිස්ටම් එක වෙනස් කිරීම හෝ රෙජීමය වෙනස් කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ - යම් සාර්ථක ස්වභාවෙන් ගමන් ගන්නා මෙම රෙජීමයේ දිශානතිය යහපත් අතට හැරවීම හෝ වඩාත් යහපත් අතට හැරවීම පිණිස දායකත්වය ලබා දීමයි. මගී ප්‍රවාහන දුම්රියක් වෙනුවට - බට්ටා වෑන් එකක් ආදේශ කිරීම උචිත නොවන්නේය. අඩුම තරමේ - දොර දෙකේ බසයක් හෝ නොවටින්නේය. කළ යුතුව ඇත්තේ, දුම්රිය පීල්ලේ දාවනයට අදාල තම තම නැණ පමණ සහාය දුම්රිය වෙත ලබා දීමයි. වඩා හොද ප්‍රවාහන සේවයක් වෙනුවෙන් යැයි කියමින් - දුම්රිය පීලි පන්නවා - ඒ වෙනුවෙන් බට්ටා වෑන් හෝ ලොරි බාග යෙදවීම මගින් සිස්ටම් එක තවත් අවුල් සහගත තත්ත්වයකට ගෙන යනවා මිස - වඩා යහපත් දිශාවකට යොමු කළ නොහැක්කේය. කළ යුතුව ඇත්තේ - සිස්ටම් එක රී-බිල්ඩ් කිරීමට හෝ රෙපයාර් කිරීමට තම ඥානයන් හා නුවණ යෙදවීමයි. තවද කියමි. ලොරියක ගමන් බලය මදි වන විට - ආදේශ කළ යුතුව ඇත්තේ වැඩි බලයකින් යුතු ලොරි එන්ජිමක් මිස - බයිසිකල් හෝ අත් ට්‍රැක්ටර් එන්ජිමක් නොවේ.

හේතු පාඨය අවසන්


මේ වෙනුවෙන් සංවාද කිරීම පිණිස ඔබට ආරාධනා කරමි.