Sunday, June 26, 2011

බැලුම්ගල ගැන. නික්මයාමට පෙර රාත්‍රියේදී...

අසනි වැස්සට - හැකි පමණ සෙවිල්ලක් විය,
රූරා වැටෙන -  මිනිසත්කමට වටිනාකමක් විය,
මියෙන මිනිසෙකුට - අමා පැන් පොදක් විය,
රුදුරු සැඩ පහරකට - වේල්ලක් විය,
ජවය පිරිපුන්ය - පෙරටත් වඩා,
අවැසි කම ඇති - පෙරටත් වඩා,
සුභ පතිමි සදාකාලික දිවියකට,
නික්මයාමට පෙර රාත්‍රියේදීත්,
යළි යළිත් සුභ පතමි මම...

ගාන්ධි ට අහිමි - නොබෙල් සාම ත්‍යාගය

මොහන්දාස් කර්මචාන්ද් ගාන්ධි පස් වරක් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නිර්දේශිත මිනිසෙක් විය. නමුත්, එක් වරක්වත් ඔහු විසින් නොබෙල් සාම ත්‍යාගය නොලද්දේ වෙයි. ගාන්ධි යනු නොබෙල් සාම ත්‍යාගය අනිවාර්යයෙන්ම ලැබිය යුතු වූ මිනිසෙක් යැයි කිසිවෙකුට තරයේ කියා සිටිය නොහැකි නොවේ යැයි සිතමි. ම විසින් එසේ කියා සිටින්නේ, ගාන්ධි හා ගාන්ධි නොවන - නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් හෝ පිරිනමනු ලැබූවන්ගේ නාම ලේඛනයේ නම් ගොත් පිරික්සීමේදී මට එසේ සිතෙන හෙයිනි. මා ගාන්ධි වාදියෙකු හෝ නොබෙල් සාම ත්‍යාගය යනු සාමයේ පරම සංඛේතය වන්නේ යැයි අදහමින් සිටින්නෙකු නොවේ. නමුත්, කුමන හෝ සම්මානයක් පිරිනැමීමේදී හෝ ඇගයීමක් කරනු ලැබීමේදී - නුසුදුස්සන් රැසක් අතර දී එය ලැබිය යුතු සුදුස්සාට ද යම් සාධාරණයක් හෝ ඉශ්ඨ විය යුතු යැයි මා දැඩිව අදහමි. තවද කියමි, සෑම විටකදීම ඇත්ත වශයෙන්ම හිමිකම් ඇති සුදුස්සා පිදුම් නොලබන්නේය යන සමාජ සිද්ධිය හොදින් දනිමි. නමුත්, යම් විටකදී හෝ එසේ විය යුතු යැයි විශ්වාස කරමි.

වැඩි දුර හාරා ඇවිස්සීමට වඩා අත්‍යාසන්නම අත්දැකීම් දෙක හරහා, නොබෙල් සාම ත්‍යාගයේ හැසිරීම පිළිබද යම් හැදෑරීමක් කළ හැකිව ඇත. අවසන් වරට නොබෙල් සාම ත්‍යාගය දිනා ගනු ලැබූයේ චීනයේ ලියූ ක්ෂියාබාවෝ (2010) සහ ඇමරිකානු ජනාධිපති බැරැක් හුසේන් ඔබාමා (2009) යන දෙදෙනායි. ඔබාමා හෝ ක්ෂියාබාවෝ යන දෙදෙනා විසින් ලෝක සාමය හෝ සුරක්ෂිතතාවය වෙනුවෙන් කරනු ලැබ ඇති ‘කෙන්ගෙඩිය‘ කුමක් දැයි මා ප්‍රශ්න කරමි.

ඔබාමා ට නොබෙල් ත්‍යාගය පිරිනැමීම වෙනුවෙන් හේතු පාඨයක් කියවනු ලැබීය. ඇත්ත වශයෙන්ම මෙය හේතු පාඨයක් නොව, සිද්ධිය සාධාරණීකරණය ගැනීම පිණිස වූ කෙදිරි ගෑමක් පමණි. “ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීම හා අන්තර්ජාතික සබදතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ අප්‍රතිහත සේවය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි කර දෙනු ලබන්නේය“ යැයි එහි සදහන්ය. අවාසනාවකට මෙන් අන්තර්ජාතික සබදතා වර්ධනය කරනු ලැබ ඇත්තේ කුමන ජාතීන් අතර දැයි යන බව හෝ එම සබදතා මගින් හිමිවන පෙර නොවිරූ ගණයේ සාම නිමිත්ත කුමක් වන්නේ ද යන්න එහි සදහන් නොවිණි. ඔබාමා විසින් ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීම කෙරෙහි - ඔබාමාගේ මැදිහත් වීමෙන් කරනු ලැබ ඇති ලෝකයේ එකම පුද්ගලයෙකුට පමණක් හිමි වන නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තරම් වටින මෙහෙවර කුමක් වන්නේ ද. බුෂ් පාලනයේදී ආරම්භ කරනු ලැබූ හෝ ඊටත් පෙර සිට පැවතෙමින් තිබී, බුෂ් විසින් ද ක්‍රියාත්මක කරනු ලැබූ විවිධ යුද්ධ වෙනුවෙන් ඔබාමා ද සිය සහාය පල කරනු ලැබීය. සහාය පමණක් නොව - ස්වකීය උපරිම ශක්ති ප්‍රමාණයෙන් එම යුද්ධ හෝ අනවශ්‍යය මැදිහත්වීම් පවත්වාගෙන යාම පිණිස කැප කිරීම් කළේය. කෙනෙකුට මෙසේ තර්ක කළ හැක.

2011 වන විට ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් රාජ්‍යයන්ගේ සේවයේ නියුතු සිය හමුදාවන් යළි කැදවා ගන්නා බවට දුන් පොරොන්දුව ඉතා සාමකාමී පරමාදර්ශී සාම ප්‍රකාශයක් යැයි ඔවුනට කිව හැක. පෙරළා ප්‍රශ්න කරමි. ඡන්ද පොරොන්දුවක් - නොබෙල් සාම ත්‍යාගයක් ලබා දීමට නිමිත්ත කර ගැනීමට තරම් නොබෙල් සාම ත්‍යාගය බංකොලොත් වී තිබෙන්නේ ද. නැතිනම්, ඒ තරමින්වත් යටකී ත්‍යාගය පිරිනැමීමට තරම් වටිනා මිනිසෙක් මේ මිහිපිට නොවන්නේ ද. ඔබාමා යනු පළමු කලු ජාතික ඇමරිකානු ජනාධිපතිවරයා වීම හරහා ජාතීන් අතර සුහදතාවය වර්ධනය වූයේ යැයි කිව හැක. ඔබාමා ජනාධිපති වීමෙන් - කලු හා සුදු අතර හෝ වෙනයම් ජාතියක් අතර සුහදතාවයක් වර්ධනය වූයේ නම් - එම සම්මානය පිදිය යුතුව ඇත්තේ එවන් සුවිශේෂී ක්‍රියාවක් කරනු ලබන මිනිසා හෝ මිනිස් සමූහය වෙනුවෙනි. එනම්, එක්කෝ සමස්ථ ඇමරිකානු ජාතියම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු වෙයි. නැතිනම්, අඩුම තරමින් අවසන් වරට විවිධ බලපෑම් හමුවේ ඔබාමා මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි යෝජනා කළ ‘ඩිමොක්‍රටික් පක්ෂයට‘ එය හිමි විය යුතු වෙයි. විටෙක මේ යෝජනාව මහා විකාරයක් විය හැක. නමුත්, මගේ විශ්වාසයේ හැටියට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුත්තේ ජනප්‍රියම හෝ ප්‍රකටම මිනිසාට පමණක් නොවේ. සාමය වෙනුවෙන් බිම් මට්ටමින් යම් සේවයක් කරනු ලබන මිනිසෙකුට වුව ද එය හිමි වීමේ ඇති වරදක් මා නොදකිමි.

දැන්, ලියූ ක්ෂියාබාවෝ විසින් නොබෙල් සාම ත්‍යාගය දිනා ගනු ලබන පදනම ප්‍රශ්න කර සිටි යුතුය. ලියූ යන චීන ජාතිකයෙකි. ජයග්‍රහණ රැසක් හිමි කරගෙන සිටින කොමියුනිට්ස් පාලනය බිද වට්ටමින් ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය ආකෘතියේ පාලන ක්‍රමයක් චීනයේ ඇති කිරීම කෙරෙහි, ලියූ විසින් දැඩි අරගලයක් දියත් කළේය. ලියූ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට හේතු සාධාරණිකරණය නොබෙල් සාම කමිටුව විසින් මෙසේ කරනු ලැබ ඇත. “චීනය තුළ මානව අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස තහවුරු කිරීම කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලැබ ඇති අවිහිංසාවාදී මෙහෙවර වෙනුවෙන්...“ යැයි එහි සදහන් වෙයි. චීනයේ මේ වන විට අරගලයක් කොට දිනාගත යුතු තරමින් මානව හිමිකම් හා නන්වැදෑරුම් නිදහස අහිමි වී තිබෙනනේ ද. දෙවැනි කරුණ නම් - ලියූ නොවන වෙනත් සුදුස්සකු එහි හෝ ඉන් පිටත නොසිටින්නේ ද යන්නයි.

බටහිර අධ්‍යාපනයක් ලබා ඇති ලියූ, කාලයක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දේශකයෙකි. නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලබන - නෝර්වේ රට සමග ලියූ ට ඇත්තේ සමීප සබදතාවයකි. ඔහු කරළියට පැමිණියේ 1989 දී චීනයේ පැවති රජයට එරෙහි ශිෂ්‍ය උද්ඝෝෂණයක් වෙනුවෙන් සහාය පල කරමිනි. එහිදී අත්අඩංගුවට ගනු ලැබූ ලියූ දෙවසරක සිර දඩුවමකට යටත් විය. පසුව - රාජාද්‍රෝහී වීමේ වරදට 2009 ජූලි මස 24 වෙනිදා සිට වසර එකොළහක සිර දඩුවමකට වටත් විය. ඔහු අද වන විට, ඉන් දෙවසරක් ගෙවා අවසන් කොට තවමත් කල් ගෙවමින් සිටින්නේ - චීනයේ ලියෝනින් ප්‍රාන්තයේ, ජින්ශ්‍යාවූ සිර කදවුරේය. ඔහු නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් සුදුසුකම් ලැබ සිටීමේ නිමිත්ත බවට පත් වන්නේ ඔහු විසින් රචිත Charter 8 (“චාටර් 8“) නම් ලේඛනයයි. ඔහු මෙහිලා සටන් කර සිටියේ සහ සටහන් කර සිටියේ - ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් දේවත්වයෙන් සලකනු ලබන බහු පක්ෂ ක්‍රමය, නිදහස් වෙළදාම හා නිදහස් ව්‍යවසායන් චීනය තුළට එබ්බවිය යුතු යැයි ඔහු විසින් යෝජනා කර සිටියේය. ඔහු කියා සිටියේ පවත්නා ආර්ථික රටාව චීනයට දැඩි තර්ජනයක් ඇති කරන බවයි. නමුත්, ඇත්ත වශයෙන්ම සැලකීමේදී දෙවන ලෝක යුද්ධය හෝ එහි පශ්චාත් අවදියේදී ‘ලෝක ආර්ථිකයේ යකා නටන්නා වූ ඩොලරය‘ හැල හැප්පීම් වලට ලක් වෙමින් පළුදු වන විට - තවමත් චීනය සිය ආර්ථිකය යම් ඒකාකාරී ත්වරණයක පවත්වාගෙන යයි. එපමණක් ද නොව, එම ඒකාකාරී ත්වරණය ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ව පවතිනා රාජ්‍යයන්ට තර්ජනයක් කිරීමට තරම් සමත්ව සිටින්නේය. එනම්, ඇත්ත වශයෙන්ම චීනයේ සිදු වෙමින් පවත්නා දේ හා සිදු වෙමින් පවතින්නේ යැයි ලියූ විසින් කියනු ලබන දේ අතර පැහැදිලි වෙනසක් හා නොගැලපීමක් ඇත. චීනය-ඉන්දියාව-බ්‍රසීලය-රුසියාව මැදිහත් වී ඇති කර ගනු ලැබ ඇති ‘බ්‍රික්‘ සංගමය හෝ එස්.සී.ඕ. සංවිධානය විසින් ලෝක මහ සුදු බලවතුනට පැහැදිලි තර්ජනයක් වී සිටියි.

එසේනම්, සත්‍ය වසන් කරමින් තර්ක කරනු ලබන ලියූ වෙනුවෙන් සම්මානයක් පුද දෙනු ලබන්නේ ඇයි. මේ වන විට ලෝක ආර්ථිකයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් චීනය විසින් මෙහෙයවනු ලබයි. මෙම තත්ත්වය බටහිරට හෝ ලෝක බලවතුනට දිරවාගත නොහැකි දෙයක් වෙයි. ඇමිරිකාවේ කෝටි තුනක් රැකියා විරහිත භාවයෙන් පෙළෙන විටත්, කෝටි හතරක් රජයේ ආහාර සලාකයෙන් යැපෙන විටත් ඇමරිකාව නොව රටක එසේ සිදු නොවීම දරා ගැනීම හෝ දිරවා ගැනීම ඔවුන්ට අපහසු කාර්යයකි. එහෙයින්, කුමන හෝ ‘ජිල්මාට්‘ එකක් දමා ඇමරිකානුවා නොවන එකා බිද වැටීම අද වන විට ඇති ඇමරිකානු සිහිනයයි. ආචාර්ය ලියූ විසින් චීනය බිදවැට්ට වීමට අවශ්‍යය ජවය චීනය තුළම සිට සපයන්නේ යැයි දැඩි විශ්වාසයක් බටහිරට ඇත. එහෙයින්, දුරින් සිට කරනු ලබන වෛරයට වඩා ලගින් සිට ආලයේ වේශයෙන් කරනු ලබන වෛරය ප්‍රබල වන්නේය යන න්‍යාය භාවිත කරමින් ඇමරිකාව චීනයට එරෙහි සිද්ධිකතනයක් නිර්මාණය කිරීම කෙරෙහි ලියූ ‘පාවිච්චි‘ කරන්නේය. ඒ වෙනුවෙන් කරනු ලබන දිරි දීමනාවක් ලෙස පමණක් ලියූ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනමයි.

යම් රටක පුරවැසියෙක් නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම රටට ආඩම්බරයකි. එහෙයින් එම සම්මානය පිළිගැනීමට හා ඇගයීමට මිනිස්සු සැණකෙලි පවත්වති. නමුත්, ලියූ වෙනුවෙන් සාම ත්‍යාගය පිරිනැමීම චීන පොදු සමාජය විසින් පිළිගනු ලබන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරකිනි. චීන ජනතාව නොබෙල් සාම ත්‍යාගයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූහ. පෙළපාලි ගියහ. මුළු මනින්ම හෙළා දකිනු ලැබුවෝය.

දැන් තවත් ප්‍රති උත්තරයක් බදිමි. ලියූ හා ඔබාමා හැර වෙනත් එකෙක් මේ ලයිස්තුවේ නුසුදුස්සන් සොයා ගැනීමට නැති හෙයින් ලියූ හා ඔබාමා පට්ට ගසන්නේ ද යන ප්‍රශ්නයට දැන් පිළිතුරු දෙමි. ඇත්ත වශයෙන්ම මගේ පිළිතුර - ලියූ හා ඔබාමා යන දෙදෙනාගේ පමණක් වුව ද නොබෙල් සාම ත්‍යාගය නුසුදුස්සන් හෝ වඩාත්ම සුදුස්සා වෙනුවෙන් නොපුදන්නේය යන නිදර්ශකය ඉදිරිපත්කළ හැකිව පැවතිය ද ඔවුන් දෙදෙනා හැර තවත් අය සිටියි.

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අරමුණ හෝ නිමිත්ත විය යුත්තේ යැයි නොබෙල් කමිටුව විසින් කියා සිටින කොන්දේසි කිහිපයකි. ජාතීන් අතර සාමය හා සුහදතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හෝ යුධමය ක්‍රියාමාර්ගයන් පාලනය කිරමින් සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් හෝ සාමය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හෝ වැඩිම හෝ හොදම සේවය කරනු ලබන පුද්ගලයා වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ ය“යැයි එහි සදහන් අරමුණුය.

වියට්නාමයේදී යුද්ධය මෙහෙයවමින් - ජන සංහාරයක් වෙනුවෙන් පිඹුරු පත් සැකසූ ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු වන හෙන්රි ඒ. කිසින්ගර් වෙනුවෙන් මෙම සාම ත්‍යාගය පිරිනමා ඇත. අනුන්ගේ රටකට ගොඩ බැස බලහත්කාරයෙන් පවත්වාගෙන යනු ලබන යුද්ධයක් මෙහෙයවනු ලබන මිනිසෙක් - සාමය වෙනුවෙන් කරනු ලබන ‘කෙන්ගෙඩිය‘ කුමක් විය හැකි ද. පසුකාලීනව යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නම කියවුණු මෙනශ්‍යාම් බෙගීම්, ෂිවෝන් පෙරස් හා යීට්සාක් රාවද් යන ඊශ්‍රායල් අගමැතිවරුන්ද නොබෙල් සාම ත්‍යාගය ගෙල පැලැන්දෝ වෙයි. මෙම අර්ථයෙන් ගත් කළ, ඉහත නාමලේඛනයට ඇතුළත් වූවාට ‘අවුලක් නැති‘ නම් කිහිපයක් ද විවිධ අවස්ථාවන් හී දී යෝජනා වී තිබේ. ඇඩොල්ෆ් හිට්ලර්, බොනීටෝ මුසලෝනි, ජෝසප් ස්ටාලිං ඉන් කිහිපයකි. ජීවත් වෙමින් සිට සාමය වෙනුවෙන් ‘මොන කෙන්ගෙඩියක්වත්‘ නොකරන ඔබාමා ට වඩා - සිය දිවි නසාගනිමින් ඇඩොල්ෆ් හිට්ලර් විසින් ලෝක සාමය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කළේ යැයි ම විසින් යෝජනා කර සිටිමි. 

දැන් මගේ හෙඩිමේ ආඛ්‍යානය දෙසට හැරෙමි. මොහන්දාස් කර්මචාන්ද් ගාන්ධි යනු නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පස් වතාවක් නම් යෝජනා වූ එකම පුද්ගලයා විය යුතුය. ඔහු සාමය වෙනුවෙන් කරනු ලැබ ඇති ‘කෙන්ගෙඩියක්‘ නැතැයි නොබෙල් සාම ත්‍යාග කමිටුව තීරණය කළ හෙයින්, නොබෙල් සාම ත්‍යාගය නොලබාම ඔහු සෑයේ පිළිස්සී ගියේය. 1948 වසර යනු නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ගාන්ධිගේ නම යෝජනා වූ අවසන් අවස්ථාවයි. ‘සුදුස්සකු මිහිපිට නොවන්නේය‘ යන නිවේදනයත් සමග 1948 දී ගාන්ධි හෝ ගාන්ධි නොවන වෙනකෙක් පවා සම්මානයෙන් නොපුදා සම්මානය පිදීම සිදු නොකළේය.

ගාන්ධි යනු වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහු විසින් නීතී වෘත්තියේ නියැලෙමින් ‘ඔහුගේ පාඩුවේ‘ සිට මිය ගියේ නම්, සාබවින්ම ඔයිට වඩා කාලයක් ජීවත් වීමට ද ඉඩ තිබිණි. කෙසේ නමුත්, ගෙවමින් සිටි කටුක ජීවිතයට වඩා මහේෂාක්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබුණු බව නම් සහතිකය. නමුත්, ඔහු විසින් ඔහු වෙත පැවරුණු සමාජ වගකීම ඉටු කිරීම වෙනුවෙන් සියලු පුද්ගලික සැප සම්පතක්ම පාහේ ඉවත ලීය. ඔහු ඉන්දියානුවාගේ නිදහස හා සාමය වෙනුවෙන් සටන් කළේය. කොතරම් සටන් කළද, ඔහු කිසි විටෙක යුද්ධය හෝ අපරාධ ස්වභාවයේ ගැටුම් අනුමත නොකළේය. ඒ වෙනුවෙන් උඩගෙඩි නොදුන්නේය. ඔහුගේ සටන වචනයේ අර්ථයෙන්ම අවිහිංසාවාදී වූ අතර - අවිහිංසාවාදය ව්‍යාප්ත කරමින් අවිහිංසාවදය හරහා නිදහස උදා ගර ගැනීම පිණිස දැඩි වෙහෙසක් දැරීය. ගාන්ධි යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙක් අවශ්‍ය නායකයින් බිහි කළ වර්තෘවරයෙකි. ගුරුවරයෙකි. නියමුවෙකි. අද වන විටත් ඉන්දීය නිදහස හා ඉන්දියානු යහපැවැත්ම රදාපවතින්නේ ගාන්ධිගේ අත්තිවාරම මතය.  නමුත්, සාමය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය ලැබීමට ගාන්ධි සුදුසුකම් නොලැබීය.

ගාන්ධි සාම ත්‍යාගය නොලබන්නේ ඇයි. දැන් සරලව නමුත් කියවා ගත යුතුව ඇත. නොබෙල් සාම ත්‍යාග නාමාවලිය කියවීමේදී එකක් වටහෙයි. එහි ඇති නම් බොහෝමයක් කලු හෝ සුදු නමුත් ඇමිරකානු හෝ අවම වශයෙන් එම ප්‍රතිපත්ති අගයමින් සිට යම් ක්‍රියාන්විතයක යෙදුණු පිරිස්ය. එසේම, එම සම්මාන බොහෝමයක් පුද දෙනු ලැබ ඇත්තේ ඇත්ත වශයෙන්ම සාමය වෙනුවෙන් නොව - යුද්ධය වෙනුවෙන් ය. යුද්ධය වෙනුවෙන් නොවන නොබෙල් සාම ත්‍යාගය පිරිනමා ඇති අවස්ථා හා පුද්ගලයින් කිහිප දෙනෙක් පමණක් හමුවෙයි. විටෙක ගාන්ධි විසින් ඉන්දියාවේදී කරනු ලැබූ අරගලය - වෙනත් අර්ථයකින් ඇමරිකාව තුළ සිදු කරනු ලැබූ මාර්ටින් ලූතර් කිං 1963 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී එකක් අනුමානයෙන් කිව යුතුය. ලූතර් කිං ද ඇමරිකානුවකු නොවුණේ නම්, අද වන විට කිං ගේ නාමය ද මෙම ලයිස්තුවේ ඇති නමක් වී තිබෙන්නේ දැයි මගේ හිත මගෙන් ප්‍රශ්න කර සිටියි.

අවසන ලියමි. ලෝකයේ පවත්නා බලකාමී දේශපාලනය තුළ බටහිර පැවැත්ම තහවුරු කර ගැනීමේ අරමුණින් - බටහිර විසින් විවිධ දේ කරමින් සිටියි. නොබෙල් සාම ත්‍යාගය යනු එවැන්නක තවත් පැත්තක් පමණි. ඇත්ත වශයෙන්ම සාමය ඇති කිරීම කෙරෙහි නොව - බටහිර විසින් අනුමත කරනු ලබන සාමයක් හෝ ඔවුන්ගේ නැණ පමණ සාමයක් යැයි ගෝචර වන සාමයක් ඇති කිරීමට සමත් සාමයක් හෝ යම් වෙනත් විධියක් නිර්මාණය කිරීම වෙනුවෙන් දිරිදුන් මිනිසුන් වෙනුවෙන් මෙසේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලබයි. යුද්ධය වෙනුවෙන් සාම ත්‍යාගය පිරිණමමින් සාමයේ ඉශ්ඨාර්ථයන් හා අරමුණු මෙන්ම වටිනාකම් කෙලසමින් සිටිමින් මෙවන් දේ සිදු වෙමින් පවත්නා බව දැක ගැනීමට - එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල්ස් මෙහි ජීවත්ව සිටියා නම් අද වන විට ඔහු නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමක් පිළිබද යෝජනා කිරීමට ඉක්මන් වූවා වැඩියි දෝයි සිතනවා නොඅනුමානයි.

නිමිත්ත - 2010 වසර සදහා නොබෙල් සාම ත්‍යාග ලාභී ආචාර්ය ලියූ ක්ෂියෝබාවෝ එකොළොස් වසරක් වෙනුවෙන් සිර දඩුවමක් ලබා පසුගිය ජූනි 24 වෙනිදාට දෙවසරක් සැපිරීය.


Friday, June 24, 2011

රස්ටාෆේරියන් විප්ලවවාදියා - බොබ් මාලේ

ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මියාමි හීදි, ජැමයිකාවේ උපත ලැබූ රස්ටාෆේරියන් ආගම අදහමින් සිටි ගායකයකු හා වාදකයකු මිය ගියේය. නමුත්, ඔහු සැබවින්ම මිය ගිය බව දන්නා කිහිපදෙනෙක් මිස - අද වන විටත් යටකී මිනිසා ජීවත් වෙමින් සිටින්නෙකු නොවේ දැයි ප්‍රශ්න කරන පිරිස අති විශාලය. මේ මිනිසා - නමින්, නෙස්ටා රොබර්ට් බොබ් මාලේ හෙවත් බොබ් මාලේ ලෙසින් මිමිණෙන නමැති මිනිසායි. බොබ් මාලේ නැමති රස්තියාදුකාරයා අදවන විට අපේ සමාජයට වැදගත් හෝ වේදිකාවේ ඉඩක් වෙන් කළ හැකි තරමේ මිනිසෙක් වන්නේ ද. එසේ වන්නේ නම් හෝ නොවන්නේ නම් - ඒ ඇයි. බොබ් මාලේ යනු ලෝකය විසින් කතා කළ යුතුව හා ප්‍රත්‍යාවලෝකනය කරනු ලැබිය යුතුව ඇති එකෙක් ද. අප සමාජය විසින් බොබ් මාලේ පිළිබද දන්නා දේ හා ඇතැමෙක් විසින් පූර්ව කියවීමකින් වියුක්ත වූ දේ හරහා උක්ත ගැටළු කිහිපය ලිහා ගැනීම පිණිස අවකාශ වෙන් කිරීමට සිතිණි.

මාලේ මියැදී 2012 වන විට වසර 31 ක් සපිරේ. සිය භූමදානයෙන් වසර තිහක් ඉක්මවමින් සිටින මොහොතකත් මාලේ පිළිබද කතා කිරීමට දෙයක් - මාලේ විසින් ඉතිරි කළේය. බොබ් මාලේ යනු - අදරයට ආදරය කිරීම හා තම වර්ගයා වූ කල්ලන් වෙනුවෙන් වන අරගලය පිණිස, සිය ජීවිතයේ සෑම නිමේෂයක්ම වෙන් කළ එකෙකි. එසේම ස්වකීය ජීවිතයේ සැනසීම සොයාගෙන යාම පිණිස මාලේ විසින් පාරුව බවට පත් කරගනු ලැබූයේ, රස්ටාෆේරියන් දහමයි. අධිරාජ්‍යවාදයේ සෙල් පිළිමය කුඩු පට්ටම් කරනු පිණිස මාලේ විසින් සිය කුළුගෙඩිය කොට ගත්තේ - උපතින්ම හිමි වූ පසුව අවට සමාජයේ පන්නරයෙන් පෝෂණය වූ ගායන වාදන හා ලේඛන හැකියාව පමණි. මේ සියල්ල සදහා වන පාදම සපයා දීමේ වගකීම ‘බොබ් මාලේගේ මනුස්සකම‘ විසින් භාර ගත්තේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, “ලෝක සාමය හා ආදරය වෙනුවෙන් කරනු ලැබ ඇති සේවය“ වෙනුවෙන් තුන්වැනි ලෝකයේ ‘සාම පදක්කම‘ පිරිනමනු ලැබීය. මාලේ - ගායකයෙක් වාදකයෙක් හෝ ගී පද රචකයෙක් වූයේ නම්, ඔහු වෙනුවෙන් සංගීතය ආශ්‍රිත පදක්කමක් නොපුදා සාම පදක්කම පුද කිරීම දක්වා වූ දෙය, යම් අපභ්‍රන්සයක් හෝ වැරදීමක් වන්නේ ද. සුදු ජාතික පියෙකුට හා කලු ජාතික මවකට දාව ජැමෙයිකාවේ දී උපත ලබන බොබ් මාලේට, යාන්තමින් හෝ පැවති “සුද්දන්ගේ පීඩනයෙන් බේරීම සදහා වන රැකවරණය“ උපතින් වසර දහයක් ගත වෙත්ම නැති වී ගියේය. සිය පියා මව හා දරුවා හැර ගියේය. දැන්, මාලේ යනු පියා හැර දමා ගිය - කලු ගැහැණියකට දාව උපන් ඈ සමග හැදී වැඩෙන තවත් එක් කල්ලෙක් පමණි. වෙනදා දැනුණු තරම හා තීව්‍ර බව පවා ඉක්මවමින් සුද්දන්ගේ රැස් විසින් දැන් දැන් කල්ලකු වූ බොබ් මාලේ දවා අළු කිරීමට තතනන්නේය. 1950 දී ඇමරිකාවට සෙන්දුවන බොබ් මාලේ සහ සිය මව පෙරළා ජැමයිකාවට පැමිණෙන්නේ, ඇමරිකානු ආර්ථිකයේ බිද වැටීම හා වියවුල විසින් ඔවුන් කෙරෙහි ද දැඩි බලපෑම් කළ නිසා විය හැක. එසේම, ඒ කාලය යනු ඇමරිකානු කලු සුදු ගට්ටනයේ ස්පෝටන අවදියට අත්‍යාසන්න අවදියයි. යළිත් මාලේ ජැමෙයිකාවේ ස්ථීර පදිංචිකරුවෙක් බවට පත් විය.

සංගීතය විසින් සන්නිපාත තත්ත්වයට පත් කරනු ලදුව රේ චාල්ස් හා ෆැටිස් ඩොමීගේ දේවත්වයෙන් අදහමින් සිටි මාලේ, තමන්ගේ සන්නිපාතයට සමාන තත්ත්වයකින් පෙළෙමින් සිටි සගයකු වූ බනී නමින් ආදරයෙන් ඇමතූ නෙවිල් ලිපන්ග්ටයින් සමග ජෝ හිග්ස් නම් එවකට ජැමයිකාවේ ප්‍රසිද්ධ ගායකයාගේ ගෝලයන් බවට පත් විය. ඔවුහු එහිදී - සංගීතයේ අකුරු කියෙව්වේය. ආශාව හෝ උනන්දුව අභිබවා ගිය, “උණක්“ සංගීතය හැදෑරීම කෙරෙහි පැවති මාලේ හා සිය ගමන් සගයා විසින් සංගීතය නො උගත්තේය. ඔවුන් විසින් ඉගැනීම වෙනුවට සංගීතය ජීවිතය කර ගත්තේය. 1962 වසරේදී ජෝ හිග්ස් විසින් ඔප මට්ටම් කරන ලද මාලේ ගේ කෞෂල්‍යයේ කූටප්‍රාප්තිය සිදු විණි. මාලේ විසින් Judge Not සහ One More Cup of Coffee ගයනු ලබන්නේ එහිදීය. මාලේ යනු, පවත්නා ක්‍රමය අගයමින් එය සිය ප්‍රතිමූර්තිය කොට ගනිමින් ගී නො ගැයීමේ වන්දිය, නොවිකෙණෙන ගී සමුචියක ගී ගැයූවෙකු වෙමින් ගෙවීමට මාලේට සිදු විණි. අනවරත රැල්ලේ තවත් එකක් නොවූ හෙයින් මාලේගේ ගී සමුචිත ගී තැටි ගොඩේ දිනෙන් දින යට ගියා මිස, වෙළදපොල අතැර ගැණුම්කරුවෙකු සමග නොගියේය. වෙළදපොළ සාධකයට මාලේ නවතනු නොහැකි විය. කොස් සෝන් නම් නිශ්පාදන සමග සම්බන්ධ වී 1963 වසරේදී ඔහු හා සිය ගමන් සගයා වූ බොනී සමග එක්ව ‘විලින් වේලර්ස්‘ නමින් කණ්ඩායමක් උපද්දවා, එහි පියා ව තවත් නිර්මාණයක් කළේය. ඉනික්බිති, මාලේ හා ගමන් සමගයාට එක්වූ තුන්වැන්නා යන තිදෙනා සමග එක්ව නිර්මාණ කිහිපයක්ම කරනු ලැබීය.

බොබ් මාලේ යනු ලේඛකයෙකු හෝ ගේය පද රචකයෙක්ද වන්නේ යැයි යට තැනකදී කීවෙමි. විලින් වේලර්ස් හි බොහෝමයක්, ඇත්ත වශයෙන්ම හැම ගීතයක්ම වාගේ ලියනු ලැබූයේ බොබ් මාලේ විසිනි. ආදරය හා විරහව - සතුට හා වේදනාව යන පොදු අකුරුකරණයේ කුටුම්භය විසින් මාලේ සිර කරනු නොහැකි විය. තමාට තමා පවා අහිමි විය හැකි තරමේ විරෝධාකල්පයන් හා විප්ලවීය ජවයක් ජනිත කරනු ලබන දේද මාලේ විසින් ලියා - ගැයුවේය. මාලේ විවාහ විය. විවාහයෙන් ටික කලක් ගෙවී කියේය. විලින් වේලර්ස් මෙතෙක් භාවිත කරමින් සිටි ගීත ආර වූ “එස්.කේ.ඒ.“ ආර වෙනුවට - ‘රෙගී‘ සංගීත ආර සිය ආර හෝ ඌරුව බවට පත් කර ගනු ලැබීය. අධිරාජ්‍යවාදයට - වර්ණබේදවාදයට හා නිද්‍රාශීලී යටත් විජිතභාවයට එරෙහිව ඔහු විසින් ගයනු ලැබීය. අද ද මාලේ විසින් පොදු මිනිසා ද පොදු මිනිසා විසින් මාලේ ද ජීවත් කරනු ලබන්නේ වැඩි ප්‍රමාණයක් වූ, මාලේ විසින් ගයනු ලැබූ අධිරාජ්‍යවිරෝධී - ආදරණීය - විරහබර - රැඩිකල් රොක් ගීත විසිනි.

“පීඩනය දරා ගත නොහැකි තැන, මිනිසා ආගමික සැනසීම සොයා යන්නේය“ යන පොදු ධර්මතාවය බොබ් මාලේට ද පොදු විය. ඔහු විසින් සිය සැනසීම උදාකරගනු පිණිස තෝරාගනු ලැබූයේ, රස්ටාෆේරියන් දහමයි. රස්ටාෆේරියන් යනු, ඉතියෝපියාව නිජ බිම කරගත් දහමකි. නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්ටාෆේරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලුදු කරගැනීමට හෝ විච්ඡේදනයට සූදානම් නොවීය. එහෙයින්, ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකළේය. එසේම, මර්ජුවානා (ගංජා / ජොයින්ට් / මල්) සිය ආගම විසින් අනුමත කරනු ලැබූ දෙවියන් වෙත සමීප විය හැකි හා දෙවියන් විසින් අත්විදින සුවය අත්විදිය හැකි දේ යැයි පිළිගත්තේය. එහෙයින්, රස්ටාෆේරියන්වරුන් “ගංජාකාරයෝ“ද වූහ. කැරළිගැසී ගිය කොණ්ඩය ද ආගමේ උසස් කොට පිළිගත් පැවැතුමකි. One Love ගීතය මාලේ විසින් නිර්මාණය කරනු ලබන්නේ, රස්ටාෆේරියන් ආගමේ ආභාෂයෙනි. මෙය බොබ් මාලේ විසින් ගයනු ලැබූ කුළුදුල් ආගමික ආරයේ ගීතය ද වේ.ෙ

සිය බිරිද හා මව සමග දෙවැනි වරටත් ඇමරිකානු පදිංචියට යන බොබ් මාලේට එහිදී මුහුණ දෙන්නට සිදු වන්නේ පෙර අත්දැකීමෙන් වෙනස් වූ එකකි. පෙර අවස්ථාවේ ආර්ථිකය හා කලු බව හරස් විය. දෙවැනි වර, මාලේ පෙරළා ජැමෙයිකාවට හරවා යවනු ලබන්නේ - රස්ටාෆේරියන් සම්ප්‍රදායට එරෙහි බව - යි. 70 දශකය, එනම් බොබ් මාලේට විසිපස් විය සපිරෙන කාලයේ - බොබ් මාලේ විසින් කැරබියානු කළාපය වැලද ගත්තේය. මාලේගේ රෙගී සංගීතය වෙනුවෙන් ඉඩක් දීමට ජාත්‍යන්තර අයිලන්ඩ් රෙකෝඩ් සමාගම කැමැත්ත දුන්නේය. එහෙයින්, 1973 දී මාලේ ප්‍රමුඛ විලින් වේලර්ස් සිය පළමු ජාත්‍යන්තර ඇල්බමය නිකුත් කලේය. Catch a Fire එහි නම විය.

බොබ් මාලේ යනු, විප්ලවවාදියකු යැයි කියන්නේ ‘පොරත්වයක් ආරෝපණය කිරීමේ නොනිම් ආශාව සංසිදුවා ගැනීම‘ නැමති විකාරයක් නිසා නොවේ. ඒ වන විට කළාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝනය වෙමින් පැවති - මූලික හා මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැකගනු පිණිස - විප්ලවීය මැදිහත් වීමක් කෙරෙහි පිරිස් සංවිධානය කිරීමේ කාර්යය මාලේ විසින් සිදු කරනු ලැබීය. Get-up Stand-up යනු, බොබ් මාලේ විසින් සේනා සංවිධානය කරනු ලැබූ දැන්වීම බදු වූ ගීතයයි. ගීතය වටා මිනිස්සු රොද බැන්දේය. පසුව, ගීතයේ ඇති සැබෑ විප්ලවීය අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සු ක්‍රියාත්මක විය.

No Woman - No Cry ගීතය ගයන විට මාලේගේ සෙසු ගමන් සගයින් දෙදෙනා මාලේ හැර ගොස් සිටියේය. සති හතරක් තිස්සේ ‘බිල් බෝඩ්‘ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම වැජබුණු යටකී ගිතයේ සතුට විද දරාගනු රිසි, ඒ වන විට මාලේගේ ගමන් සගයා ව සිටියේ ජීවන සහකාරිය වූ සිය සෙනෙහබර බිරිද පමණි. එහෙත්, ඔවුන් දෙදෙනාට අමතරව සිය දහසක් ඉන් වින්දනය හා අර්ථය ලැබීය.

විටෙක “ස්මයිල් ජැමෙයිකා“ නම් ප්‍රසංගයකදී මාලේ ඝාතනය කිරීමට යම් ප්‍රයත්නයක් දැරීය. තවත් විටෙක, ගංජා මගඩියට උඩගෙඩි දෙමින් - අනවශ්‍ය වැදගත්කමක් නිරූපණය කරන්නේ යැයි මාලේට එරෙහිව සමාජ වරෙන්තු නිකුත් විය. නමුත්, තවදුරටත් මාලේ විසින් අදහනු ලැබූයේ - දුම් ඉරීම නම්, දෙවියන්ට ලංවීමට හැකි විදිය - ලෙසයි. සිය රස්ටාෆේරියන් ආගමේ නිජබිම වූ ඉතියෝපියාවට යාම මාලේ විසින් ජීවිතයේ ලද සුවිශේෂීම තෑග්ග ලෙස සැලකීය. ඉතියෝපියානු ගමන, මාලේගේ චිත්තප්‍රීතියේ උපරිමය ලගා කරන්නට සමර්ථ වූවා සේම - එහි වැසියන් විදිමිනි සිටින වේදනාවන් හා දුක් ගැහැට විසින් ඔහු තව තවත් මානව වර්ගයා වෙනුවෙන් සංවේදී කරනු ලැබීය. Survival ඇල්බමයේ නිමිත්ත එහි දී උපන්නකි. ඒ පුරා දිවෙන්නේ කල්ලාගේ වේදනාව හා පීඩනයයි. අධිරාජ්‍යවාදී තැලීම් පෙලීම්වලට එරෙහි රණ හඩයි. මිනිසත් බවේ කැකෑරෙන උණුසුමයි.

බොබ් මාලේ ඇන්ඩ් ද වේලර්ස්, 70 දශකයේ අගභාගය වන විට මුළු මහත් රෙගී සංගීත ලෝකයේම කිරුළු පලන්දේය.

ගංජා හා යුරෝපීය සංචාරයකදී ඇතිවූ පාදයේ තුවාල වීමක් පිළිකාවක් දක්වා උඩු දුවා තිබීම නිසා, බොබ් මාලේගේ ජීවිතයට 80 දශකය උදා වන්නේ යහපත් සෞඛ්‍යය පිරිහුණු මිනිසෙක් ලෙසයි. 71 දී හදුනාගත් පිළිකාව 1980 සැප්තැම්බර් මස 21 වෙනිදා - සිහිමූර්ජාවීමක් හේතුවෙන් රෝහල්ගත කරන විට අක්මාව - පෙහල්ල හා උදරය මෙන්ම මොළය දක්වා ද ව්‍යාප්තව තිබිණි. ‘පියවි මාලේ‘ අවසන් වරට ගී ගයනු ලැබූයේ 1981 මැයි මාසයේ දී ශාන්ත පීටර්ස්බර්ග් හීදී ය. 36 වියැති රෙගී ගායකයා හෙවත් - තවෙකෙකුගේ අර්ථෆයන් රස්තියාදුකාර ගංජාකාර ගායකයා 1981 මැයි මාසයේ 11 වෙනි දා ඇමරිකාවේ දී මිය ගියේය.


සිගි යනු මාලේ ගේ පුත්‍රයාය. ඔහු සිය පළමු බිරිද වූ රීටාට දාව උපන්නෙකි. බොබ්, මරණය පෙනෙමින් තිබෙන යාමයේදී සිගී ඇමතීය. “මුදලින් ජීවිතය මිලදී ගත නොහැකිය“යැයි හේ කීවේය. බොබ් මාලේ පොදු සමාජයට පොරක් වන්නේ එහෙයිනි. ඔහු මානව වර්ගයා වෙනුවෙන් අසහාය විප්ලවයක් දියත් කළේය. අයිතිවාසිකම් හා හිමිකම් දිනා ගැනීමට පෙළ ගැස්වීම. අවසානයේදී - ඉන් නොනැවතී ආදරය කිරීමට ඉගැන්වුයේය.


නිමිත්ත - කොළඹ ටවුන් හෝල හංදියේ ඉබාගාතේ ඇවිදිමින් සිටියෙමි. හවස තුන හමාරට ආරම්භ වන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සදහා කල්තබා පැමිණීමේ වන්දිය ගෙවමින් සිටියෙමි. රතු කොළ හා කහ වර්ණයන්ගෙන් යුතු විවිධ දේ ඇදගත් එකෙක් මා පසු කළ ගියේය. ඔහු විසින් මා හෝ මා විසින් ඔහු හදුනනු නොලබතත් - ඔහුගේ ඌරුවේ උප්පත්ති කතාව හැදෑරීම කෙරෙහි ඔහු විසින් පොළඹවනු ලැබීය. ඉනික්බිති ජාතික පුස්තකාලයේ දූවිලි මගින් යටකරගනිමින් තිබූ පොත් රාක්ක පීරමින් නිමිත්ත පාදා ගත්තෙමි. නන්නත්තාරයේ ඇවිදින විට, තුෂාර එන්. දස්කොන් විසින් ලියූ ලිපියක් ද ටිමොති වයිට් විසින් ලියනු ලැබූ, Catch a Fire: The Life of Bob Marley නම් බොබ් මාලේගේ චරිතාපදානය ද Bob Marley: Untold Stories නමින් 

Get up, stand up: stand up for your rights! 
Get up, stand up: stand up for your rights! 

Get up, stand up: stand up for your rights! 
Get up, stand up: don't give up the fight! 

Preacher man, don't tell me, 
Heaven is under the earth. 
I know you don't know 
What life is really worth. 
It's not all that glitters is gold; 
'Alf the story has never been told: 
So now you see the light, eh! 
Stand up for your rights. come on! 

Most people think, 
Great god will come from the skies, 
Take away everything 
And make everybody feel high. 
But if you know what life is worth, 
You will look for yours on earth: 
And now you see the light, 
You stand up for your rights. jah! 

Get up, stand up! (jah, jah! ) 
Stand up for your rights! (oh-hoo! ) 

Get up, stand up! (get up, stand up! ) 
Don't give up the fight! (life is your right! ) 
Get up, stand up! (so we can't give up the fight! ) 
Stand up for your rights! (lord, lord! ) 
Get up, stand up! (keep on struggling on! ) 
Don't give up the fight! (yeah! ) 

We sick an' tired of-a your ism-skism game - 
Dyin' 'n' goin' to heaven in-a Jesus' name, lord. 
We know when we understand: 
Almighty god is a living man. 
You can fool some people sometimes, 
But you can't fool all the people all the time. 

So now we see the light (what you gonna do?), 
We gonna stand up for our rights! (yeah, yeah, yeah! ) 

Wednesday, June 22, 2011

අධ්‍යාපනයේ ඉලක්ක ජය ගැනීමට නම් - 1

අද වන විට ජාතික අධ්‍යාපනය යළිත් ප්‍රතිසංස්කරණය කළ යුතු තැනකට පත්ව තිබේ. ‘ප්‍රතිසංස්කරණය‘ යන වචනයට මුලාවෙන් පවත්නා ක්‍රමයට කරනු ලබන සුළු හෝ මධ්‍යයම පරිමාණ වෙනස් කිරීම් වලින් එහා යමින් ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට හා වෙළදපොලට ගැලපෙන පරිදි අධ්‍යාපනයේ යම් විප්ලවීය වෙනසක් සිදු කළ යුතු කාලය එළැඹ තිබේ. ඒ සදහා වන, අප විසින් හදුනාගත යුතු අභියෝග හා ඒ හරහා විසදුම් නිර්ණය කරමින් ක්‍රියාත්මක කිරීමේ ක්ෂේස්ත්‍රයන් හා පැතිකඩ කිහිපයකි.

එහෙයින්, අධ්‍යාපනයේ ඉලක්ක ජයගැනීමට නම් අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ යටකී

විප්ලවීය වෙනස සිදු කළ යුතුව ඇත්තේ කෙසේ ද - යන්න පිළිබද යම් කියවීමක් සිදු කිරීමට මෙය අවකාශයක් කර ගනිමි.

සිංහලයා - දෙමළා හෝ එසේ නොවන අනෙකා යනු සියලු දෙනා වෙන් වෙන් වශයෙන් සිතමින් පසුව එකකු ලෙස සිතීමේ පටු ජාතිවාදී සිතිවිලි දුරු කිරීමේ අභියෝගය මේ වන විට අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයන්ගෙන් එකකි. වසර තිහක් තිස්සේ රුදුරු යුද්ධයක කෘර බවේ වේදනාව අප විසින් විදිමින් සිටියේ, අප විසින් ‘මගේ ජාතිය හා මගේ නොවන අනෙකා‘ යන සිතිවිල්ල පෙරදැරිව සිදු කරනු ලැබූ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසයි. එහෙයින්, අදාල ජාතිවාදී චින්තනය හා චිත්‍රය දුරු කිරීමේ හා ඝාතනය කොට වලදැමීමේ වගකීම පැවරී ඇත්තේ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටයි. කුලය හෝ තරාතිරම පිළිබද පැවති ‘ගැට්ට‘ සමනය වීමේ සිදුවූ - ‘ඉබේටම එසේ වීමේ සිද්ධිය‘ නොවන යම් ප්‍රායෝගික ක්‍රියාවක් මගින් ජාතිය - ආගම පිළිබද හැගීමේ පටු සීමාවන් වනසා දැමිය යුතු වෙයි. මගේ ආගම ඇදහීම, මගේ ආගමික ආශ්‍රයන් තුළ සිදු කිරීමේ පූර්ණ නිදහස අනුව මගේ සහ මගේ නොවන අනෙකා යන දෙදෙනාගේම ආගම වෙනුවෙන් සම අවස්ථාවන් සැලසීමට කටයුතු කළ යුතු වෙයි. මෙහිදී වඩා සැලකිළිමත් විය යුත්තේ මගේ ආගම - මගේ ජාතිය වෙනුවට - තත්ත්වයන්ට උචිත පරිදි ආගම හා ජාතිය පිළිබද පොදු ඉගැන්වීමකට යොමු වීමයි. එනම්, අධ්‍යාපනය යන්න සමානාත්මතාවය මෙන්ම අවස්ථානෝචිතභාවය යන නිශ්ඨාව ද තෘප්ත කළ යුතු වෙයි. එය එසේ කරනු ලැබිය හැකි වන්නේ කෙසේ ද.

අද වන විටපවත්නා ක්‍රමය තුළ මව් බසට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබේ. මෙගින් යෝජනා කර සිටිනුයේ මව් බස පිළිබද වන සංකල්පය වැනසීම නොවේ. එය එසේ කළ යුතු ද නොවේ. නමුත්, මව් බසේ හරයන් හා විශිෂ්ඨත්වයන් සිසුවා වෙත සම්ප්‍රේෂණය කිරීමේ වේගයට සාපේක්ෂ සමාන වේගයකින් ම මව් බස නොවන සෙසු භාෂාව සිංහලයාට දෙමළත් - දෙමළාට සිංහලත් ඉගැන්වීම සිදු කළ යුතු වෙයි. සිංහල හෝ දෙමළ මව් භාෂාව වන දරුවෙකුට සිංහල හෝ දෙමළ මව් භාෂාවන ලෙස ඉගැන්වීමට පටන්ගන්නේ කුමන මොහොතකද - එතැන් පටන්ම මව් බස නොවන අනෙක් පොදු භාෂාව ද ඉගැන්වීම ආරම්භ කළ යුතු වෙයි.

එසේ කියා සිටින්නේ, සංස්කෘතික හා ජාතීන්මය වශයෙන් ඇතිවන සංහිදියාවන් හා තත්ත්වයන් වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය බවට පත්වන්නේ භාෂාව වීම නිසාය. භාෂාවක් ඔස්සේ සන්නිවේදනය අරඹනු ලබන පරම්පරාවක් විසින්, මම නොවන අනෙකාගේ සංස්කෘතිය, සිතුම් පැතුම් හා ජීවිත පහසුවෙන් හදුනා ගනියි. අනෙකාගේ සතුටේදී අවංකව හා හරයාත්මක සතුටක් ඵල කළ හැක්කේත් - අනෙකාගේ දුකේදී අනෙකා සමග එකට සිට දුක සමනය කර ගැනීම වෙනුවෙන් වන අරගලයක් කළ හැකි වන්නේත් අනෙකා හා මා යන දෙදෙනා එකිනෙකා හොදින් හදුනාගෙන සිටින තත්ත්වයකදී පමණකි. එහෙයින්, අනෙකා කියවනු ලැබීම ආරම්භ කිරීමේ පහසුම හා යෝග්‍යයම මාර්ගය වන්නේ අනෙකා සහ මා සංවේදී වන ලෙස දියුණු ක්‍රමයකින් තොරතුරු සන්නිවේදනය කිරීමෙනි. මේ සදහා අනෙකාගේ භාෂාව මා විසින් දැන ඉගෙන සිටීමත් - මගේ භාෂාව අනෙකා විසින් දැන ඉගෙන සිටීමත් යන්න ප්‍රධාන අවිය බවට පත්වේ. තවදුරටත් අනාගතයේදී - භාෂාව යනු ප්‍රශ්න හෝ ගැටුම් වෙනුවෙන් හේතු සපයන්නෙක් බවට පත් නොවන්නට නම් එවැනි ප්‍රායෝගික තත්ත්වයක් ක්‍රියාත්මක කළ යුතු වීම කාලීන හා දීර්ඝකාලීන අවශ්‍යතාවයකි.

අද වන විට ඇමරිකාව සංස්කෘතික හා සහජීවනමය වශයෙන් දියුණු තත්ත්වයකට පත් වීම කෙරෙහි ද බහුතර සුද්දන්ගේ ඡන්දයෙන් කල්ලකු ජනාධිපති වීම දක්වා ඇමරිකාව එක් පැත්තකින් දියුණු ගමනක් පැමිණ ඇත්තේ  1950 තරම් වූ ඈත දශකකදී - අද ලංකාවේ දෙමළ හා සිංහල තරමටම අන්‍යොන්‍ය අවබෝධයේ දුර්වලා හේතුවෙන් යම් අර්බුදයන් ඇති වෙමින් තිබූ කලු සුදු අරගලය අධ්‍යාපනය විසින් විනාස කර දැමීමේ පුතිඵලයක් ලෙස බව අප පිළිගත යුතු වන අතරම එය පරම සත්‍යය ද වන්නේය.

පිරිපුන් මිනිසා බිහි කිරීමට නම්, කොදෙව්ව අතික්‍රමණය කිරීමේ පාරුව හා හබල අප විසින් අත්පත්කරගෙන සිටිය යුතු වන්නේය. අද වන විට ලෝකය එකම නූලකට හා එකම පොදු විශ්වීය සමාජයකට ඇද බැද තබනු ලැබ ඇත්තේ ජාත්‍යන්තර සංධාන භාෂාව වූ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව පිළිබද අමුතුවෙන් වැඩි සැලකිල්ලක් ලක් කළ යුතු නොවන්නේ යැයි අප සිතා සිටිය ද, මේ වන විට පවත්නා ක්‍රමයෙන් ඔබ්බට ගිය යම් දියුණු ක්‍රමයක් හා ක්‍රමවේදයන් හරහා ඉංග්‍රීසි භාෂාව ද ඉගැන්වීමට සූදානම් වීම අත්‍යාවශ්‍යය වෙයි.  කොදෙව් මානසිකත්වයෙන් හෝ දූපත් සිතිවිලි වලින් තොර වූ ඒවා අතික්‍රමණය කරනු ලැබූ මිනිසා බිහි කිරීම කෙරෙහි ජාත්‍යන්තර සංධාන භාෂාව වූ ඉංග්‍රීසි භාෂාවේ අල්ප්‍රමාණය ඉක්මවූ යම් වැඩි හැදෑරීමක් සහිත වීම වඩා උපකාරක වන්නේය. දූපත වටා ඇති සයුර - ජාත්‍යන්තරයට ප්‍රවිශ්ඨ වීම අහුරනු ලබන වැට කඩොල්ලක් කරනු ලැබ සිටින්නේ සංධාන භාෂාවේ ප්‍රමාණාත්මක අවබෝධයකින් හා කුසලතාවකින් යුක්ත නොවන නිසා ය. එය නම්, එකට ජීවත් වීමට ඉගැන්වීමයි.
2010 වසර අවසන් වන විට, ලංකාවේ පරිඝණක සාක්ෂරතාවය සියයට තිහ (30%) ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යන අතිශය සතුටුදායක ප්‍රවෘත්තිය අසන්නට ලැබිණි. එය එසේ වී තිබෙන්නේ - අඩක් ඉබේ සහ ඉතිරි අඩ, දැඩි වෙහෙසක ප්‍රතිඵලයක් ලෙසිනි. පහසු මිලට පරිඝණකයක් මිලයට ගැනීමට ඇති හැකියාව හා පරිඝණක තාක්ෂණ අධ්‍යාපනයේ යම් සීමාවක් දක්වා පහසු මිලට හා පහසු ක්‍රමයකට ඉගෙනීමට ඇති හැකියාව මේ සදහා දැඩි පිටිවහළක් විය. පහසු හා අඩු මිල තීරණය වීම කෙරෙහි - මෘදුකාංග ව්‍යාජ පිටපත් (Pirated Software) - විසින් දක්වනු ලැබූ දායකත්වය අතිමහත්ය. ඒ අනුව සාමාන්‍ය පරිඝණකයක් මූලික හෝ ද්වීතික මෘදුකාංග සංගත කරගනිමින් භාවිත  කිරීම කෙරෙහි වැය වූ මුදල රුපියල් පනස් දහසක් හෝ ලක්ෂයක් අතර හෝ ඊට අඩු මුදලක් වෙයි. ව්‍යාජ ලෙස පිටපත් කරනු ලැබූ Pirated Software විසින් පරිඝණක අධ්‍යාපනයේ ප්‍රවේශය ලංකවේ බහුතරයක් වූ පුරවැසියනට අවස්ථාව සැලසීය. ඉතාම වැඩි මුදලක් ගෙවමින් වෙළදපොලේ මිලදී ගත යතුව ඇති මෘදුකාංග, පිටපත් කිරීමේ ගාස්තුව පමණක් ගෙවමින් මිලයට ගැනීමේ හැකියාවක් දේශිය වශයෙන් බහුලව ඇත.

නමුත්, මේ වන විට දේශිය අධ්‍යාපනයේ තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ යුතුව ඇති හා ඉටු කරතැයි නියත අපේක්ෂාවක් ඇති පරිඝණක අධ්‍යාපනය මේ වන විට තර්ජනයට ලක්ව තිබේ. එනම්, යටකී ව්‍යාජ ලෙස පිටපත් කරනු ලැබූ මෘදුකාංග පිටපත් ඇතුළත් පරිඝණක හා එසේ පිටපත් කිරීමේ යෙදී සිටින පුද්ගලයින් නීතයේ රැහැණක් මගින් දඩයම් කරමින් - එම පිටපත් භාවිතයන් තුරන් කිරීමට යම් උත්සාහයක මේ වන විට රජය නිරත වෙයි. ඇත්ත වශයෙන්ම කිව යුතු කරුණක් තිබේ. හොරුන් හෝ ව්‍යාජ සම්පත් භාවිතා කරන්නන් නීතියේ රැහැණට හසු කර ගැනීම ඉතාම වැදගත් තීරණයක් හා ක්‍රියාත්මක වන්නේ නම් ඉතාම වටිනා යෝජනාවකි. නමුත්, මෙහි ඉන් වෙනස් වූ අධ්‍යාපනික ඛේදවාචකයක් නිර්මාණය වීම නැවතීමට නොහැකි වීම හා පරිඝණක සාක්ෂරතාවයේ ප්‍රමාණය බලාගෙන සිටින විට බිද වැටීම නැවතිය නොහැකි වනු ඇත. මේ සදහා යටකී ප්‍රතිපත්ති සම්පාදකයින් යෝජනා කර සිටින්නේ, නියම මෘදුකාංග පිටපත් මිලදී ගනිමින් භාවිත කිරීම හෝ ෆ්‍‘රී ඇන්ඩ් ඕපන්සෝස්‘ (Free and Open-source) මෘදුකාංග භාවිත කිරීමට හුරු වීමයි.

නියම හෝ සත්‍ය මෘදුකාංග පිටපත් මිලදී ගැනීම සදහා වැයකළ යුතු මුදල ඉතා විශාලය. පරිඝණකයේ මෙහෙයුම් පද්ධතියේ එහි ජීවනාලියයි. මේ වන විට නිකුත් වී ඇති ‘වින්ඩෝස් 7‘ මෙහෙයුම් පද්ධතියක දේශීය මිල ආසන්න වශයෙන් රුපියල් විසි පන් දහසකි. මෙහෙයුම් පද්ධතිය හා මධ්‍යම ප්‍රමාණයේ තත්ත්වයන්ගෙන් යුත් පරිඝණකයක් මිලදී ගැනීමට රුපියල් හැට දහසක් හෝ ඊට ආසන්න මුදලක් වැය වෙයි. නමුත්, මෙහෙයුම් පද්ධතිය පමණක් ඇති පරිඝණකයක් යනු - තණතිල්ලක් පමණක් ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වැනිය. එහි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නම් තණතිල්ල පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ සදහා සෙසු ද්‍රව්‍යයන් වන මෘදුකාංගයන් අවශ්‍යය වේ. මේ වන විට නිර්මාණකරණය සදහා යොදාගනු ලබන බහුල මෘදුකාංගයක් වන ‘ෆොටෝෂොප්‘ මෘදුකාංගය තනිව මිලදී ගැනීමට වැය කළ යුතු මුදල රුපියල් හැට දහසකට අධිකය. ෆොටෝෂොප් ද ඇතුළත් ඇඩෝබි මෘදුකාංග එකතුවක වෙළදපොල මිල ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ තුන ද ඉක්මයි. සාමාන්‍ය ලියවිලි සකස් කිරීමේ මෘදුකාංගය වන ‘එම්.එස්.ඔෆිස්‘ මෘදුකාංග පද්ධතිය රුපියල්  තිස් දහසකට ආසන්නය. ඒ අනුව, යටකී ප්‍රාථමික මෘදුකාංග වලින් සමන්විත පරිඝණකයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් වැය වන මුදල රුපියල් ලක්ෂ පහක් හෝ ඊට වැඩි මුදලක් ගනියි. අප දන්නා කරුණ නම්, මේ වන විට ලංකාවේ පරිඝණක මිලදී ගැනීමේදී පළමුව සදහන් කළ රුපියල් ලක්ෂයට අඩු මුදල දෙමාපියන් විසින් දරුවන්ට ලබා දෙන්නේ සිය පඩියේ සුරක්ෂිත එකතුවකින් හෝ ණය මුදලක් මගිනි. ලක්ෂයක් හෝ පනස් දහසක් ගෙවීමට ඇති හැකියාව රුපියල් ලක්ෂ පහක් ගෙවීමට ඇති හැකියාව සමග සංසන්දනයේදී - එසේ කළ හැකි පිරිස ඉතාම සීමිතය. යටකී - සංවර්ධනය වෙමින් පවත්නා හෝ තුන්වන ලෝකයේ රටක් වන අප විසින් ලිහිල් කළ යුතුව ඇති ඇතැම් තත්ත්වයන් එසේ නොකිරීම හෝ එසේ නොකිරීමට ප්‍රයත්න දැරීම මගින් ජාතික අධ්‍යාපනය දැඩි අභියෝගයකට ලක් වන අතරම, අධ්‍යාපනයේ ඉලක්ක ලගා කර ගැනීම දුරස්ථ කිරීම ද සිදු කරයි.


ශිෂ්‍යයා යනු, හුදු විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයක යෙදෙන්නෙක් පමණක් බවට පත්ව ඇතැයි යන්න අද සමාජයේ ඇති ප්‍රබල චෝදනාවකි. නමුත්, අධ්‍යාපනයේ ඉලක්ක සැබෑ ලෙසින්ම ජය ගැනීමට නම්, විභාගය දෙවැනි කොට නොතැබූ නමුත් - විභාගය තරම්ම, ජීවිතයට - දැනගැනීමට - දිවිපැවැත්මට හා ක්‍රියාවේ යෙදවීමට ඉගෙනීම යන මූලික තත්ත්වයන් ද පත්කළ යුතු වෙයි. මේ සදහා අද වන විට ක්‍රියාත්මක වෙමින් පවත්නා ‘ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය‘ යන මිථ්‍යාව වෙනුවට සැබෑ ලෙසින්ම ශිෂ්‍යයා කේන්ද්‍ර කර ගනු ලැබූ හා ශිෂ්‍යයා අධ්‍යාපනයේ කොටස්කරුවෙකු බවට පත් කිරීමේ අධ්‍යාපන විධික්‍රමයන් සකස්කළ යුතුව ඇත. ශිෂ්‍යයා තුළ දැනුම් පිපාසය ඇති කරමින් - සිසුවා යනු දැනගැනීම පිණිස ඉගෙන ගන්නා හා දැනගැනීම පිීස ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති අයෙකු බවට පත්කළ යුතු වෙයි. ‘උගත මනා ශිල්පයමැයි මතු රැකෙනා‘ යන තේමාව හෝ දැක්ම වෙනුවට ‘මතු රැකෙනා ශිල්පයමැයි උගත මනා‘ යන තත්ත්වයට දරුවා පත්කළ යුතු වෙයි. උගත් දේකින් ඵල නෙලීමට වඩා ඵල නෙලීම ඉලක්ක කරමින් ඉගැන්වීම - ඉබාගාතයේ අඹ ගසට පොලු කැසූ විට අඹ ගෙඩියක් ඉබේ වැටෙනවාට වඩා වෙනස් එකක් වූ අඹ ගෙඩියක් ඉලක්ක කරමින් පොලු ගැසීම - යන දියුණු ක්‍රමවේදය ආදේශ කළ යුතු වන කාලයක් එළැඹ ඇත. වඩා පරිපූර්ණ වූ දිවිපැවැත්මක් ඇති කිරීම කෙරෙහි මෙය රුකුළක් වනු ඇත.

අනාගතයේ විශිෂ්ඨත්වයට පත්විය හැකි තරමේ මුල පිරීමක් කිරීමට හැකි ශිෂ්‍යයකු බිහි කිරීම වෙනුවෙන් කැපවීම ජාතික අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවයකි. සැගව ඇති කුසලතාවන් ඔප් නැංවිය හැකි හා තමා තුළ දැනුම නිර්මාණශීලී ලෙස වර්ධනය කරගැනීමට පෙළබෙන තත්ත්වයක් ඇති කිරීම පිණිස ඉගැන්විය යුතු වෙයි. මේ තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ අදවන විට සිදුවන්නේ උසස් අධ්‍යාපනයේ වරම් ලද සීමිත පිරිසක් ඉලක්ක කරගනිමින් පමණි.


අප විසින් සංවර්ධිත හෝ දියුණු යැයි කියනු ලබන හා ඇත්ත වශයෙන්ම දියුණු තත්ත්වයන් පෙන්නුම් කරනු ලබන රාජ්‍යයන් අභිබවා යැමටනම්, යටකී අභියෝග හෝ ඉලක්ක ජයගැනීම කෙරෙහි හෝ යම් අවධානයක් යොමු කළ යුතු වේ යැයි මගේ හැගීමයි.



Monday, June 20, 2011

පුද්ගලික විශ්ව විද්‍යාල - එදා, අද සහ හෙට

අද වන විට, ආණ්ඩුවේ ප්‍රමාඛ සටන් පාඨයන් අතර පුද්ගලික විශ්ව විද්‍යාල සංස්ථාපනය හෝ ඊට අදාල පහසුකම් සැලසීම පත්ව තිබේ. මෙය අද හෝ ඊයේ සිට ක්‍රියාත්මක වන දෙයක් නොවන බවත්, පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් වන අදහස අලුත් එකක් නොවන බව කිව යුතු දෙයක් වනවා සේම - එසේ අමුතුවෙන් කිව යුතු දෙයක් ද නොවේ. නමුත්, අද වන විට මෙය අලුත් මාතෘකාවක් බවට පත්ව ඇති දෙයක් බව කිව යුතු වෙයි. එහෙයින්, පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් වන ඉතිහාස අත්දැකීම් හා වර්තමාන තත්ත්වයන් එකට කියවා ගනිමින් යම් හැදෑරීමක් වෙනුවෙන් පදනමක් සපයා ගත යුතු කාලයක් එලැඹ ඇතැයි සිතේ. පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් වන එදා සහ අද තත්ත්වයන් සමග එහි හෙට දවස කියවා ගැනීමට අපේක්ෂා කරමි.

අධ්‍යාපන පුද්ගලීකරණය සම්බන්ධයෙන් ජනරජ ශ්‍රී ලංකාවේ පළමු උත්සාහය ගනු ලබන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ 77 ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වරයා වූ රනිල් වික්‍රමසිංහ විසිනි. අධ්‍යාපන ක්ෂේස්ත්‍රෙය් ඇතැම් දේ සම්බන්ධයෙන් නිරීක්ෂණ හැකියාව පමණක් මධ්‍යම ආණ්ඩුව හෝ රටේ ආණ්ඩුව සන්තකයේ තබා ගනිමින් සෙසු දේ පාලනය කිරීම හා මෙහෙයවීම සම්බන්ධයෙන් වන බලය පුද්ගලික අංශයට පවරා දීමට වන යෝජනාවක් සම්බන්ධයෙන් ජනතා අදහස් වීමසීම පිණිස ‘ධවල පත්‍රිකාවක්‘ (හරිත පත්‍රිකාවක්) සකස් කලේය. එය -අධ්‍යාපන ධවල පත්‍රිකාව- නමින් හැදින්වීය. නමුත්, ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය හා සෙසු සංවිධානයන් මගින් එල්ල වූ බලපෑම් හමුවේ උක්ත යෝජනාව යළි කැදවීමට රනිල් වික්‍රමසිංහ තීරණය කරමින් ධවල පත්‍රිකාව හකුලා ගනු ලැබීය. දෙවැනි කොට, අධ්‍යාපන පුද්ගලීකරණය සම්බන්ධයෙන් වන තීරණාත්මක යෝජනාව ගෙන එනු ලබන්නේ 1983 දීය. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නමින් පුද්ගලික ආයතනයක් මගින්, වෛද්‍ය උපාධි පිරිනැමීම කෙරෙහි සියලු දේ සූදානම් කළේය. මෙම යෝජනාව හකුලා ගැන්වීම පිණිස සිය ගණනකට සිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවයන් කැප කිරීමට සිදු විය. එපමණකින් ද නොනැවතී, තවත් බොහෝ දෙනෙක් හට සිය ජීවිත පවා කැප කිරීමට සිදු විය. නමුත් අවසානයේදී ජේ. ආර්. ගේ දීර්ඝ කරනු ලැබූ 77 ආණ්ඩුව විසින් එම යෝජනාව හකුළා ගනිමින්, උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිලි හා සපයන ලද පහසුකම් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඒකාබද්ධ කිරීමට තීරණය කළේය. ඇත්ත වශයෙන්ම ඇති වී හා වෙමින් තිබූ අරගල හමුවේ වෙන කල යුතු යමක් නොවුණු තැන එසේ කිරීමට සිදු විය.  අද වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම පීඨය (රාගම වෛද්‍ය පීඨය) නමින් පවත්වාගෙන යනු ලබන්නේ එසේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙනුවෙන් සපයන ලද පහසුකම් මත පිහිටුවන ලද පසුව රජය විසින් පාලනයට ගනු ලැබූව ය. වෙනුර එදිරිසිංහ, පද්මසිරි ත්‍රීමාවිතාණ, ශාන්ත බණ්ඩාර, බාලා වැන්නන් දිවිපුදමින් රැකගනු ලැබූයේ එයයි.

පුද්ගලික ආයතන මගින් උපාධි පිරිනැමීම සම්බන්ධයෙන් යළිත් වරක් චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී ඉලිප්පිණි. එනම්, 1999 දී එවකට අමාත්‍යවරයෙක්ව සිටි කිංස්ලි ටී. වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය - සම්බන්ධ යෝජනාව හරහායි. මෙය එක් පැත්තකින් උපාධි පිරිනමන පුද්ගලික ආයතනයක් වූව ද එය පිහිටවනු ලැබූයේ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමකින් තොරව වීම වියවුලකි. එනම්, එය පිහිටවනු ලැබූයේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසයි. එනම් - බියගම අපනයන සැලසුම් කලාපයේ / ආයෝජන කළාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම හා මාලඹේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදි කිරීමේ කාර්යයන් දෙක අතර ‘කැටගරියේ‘ වෙනසක් මිස වෙනකක් එහි නොවීය. ඉන් ද පසු, යළිත් වරක් පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් වන කතිකාව ගොඩ නැගෙනුයේ 2010 එස්. බී. දිසානායක, උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් වීමෙන් පසුවයි. 2010 එස්.බී. ගේ පුද්ගලික විශ්ව විද්‍යාල යෝජනාව නම් එයයි. එම පත්වීමේ සිට මේ දක්වා නව පුද්ගලික විශ්ව විද්‍යාල දහයකට වැඩි ගණනක් වෙනුවෙන් අවසර ලබා දීමේ මූලික සංගණනයන් හා ලංසු තැබීම් සිදු වෙමින් පවත්නා කාර්යයන් අතර වෙයි.

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ යුතු බවට වන ආණ්ඩුවේ යෝජනාවේ හේතු දැක්වීම් ලෙස කරුණු කිහිපයක් දක්වමින් සිටියි.
1. උසස් පෙළ සමත් වන සෑම අයෙක් වෙනුවෙන්ම රජයේ උපාධියක් ලබා දිය නොහැකි තත්ත්වයකදී, යම් සාධාරණ මුදලක් ගෙවා උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම,
2. උසස් පෙළ සමතුන් 150,000 ක් අතරින් වාර්ෂිකව විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන 25,000 ක ප්‍රමාණයට අමතරව තවත් පිරිසකට උපාධියක් වෙනුවෙන් අවස්ථා සැලසීම,
3. උපාධි අපේක්ෂාවෙන් විදේශගත වන උසස් පෙළ සමත් නමුත් දේශීය විශ්ව විද්‍යාල ප්‍රවේශ නොලත් පිරිසගෙන් රටින් බැහැර වන මුදල් රට තුල තබා ගැනීම,
4. විදේශ සිසුන් දේශීය පුද්ගලික විශ්ව විද්‍යාල වලට පැමිණීමෙන් යම් මුදලක් විදේශයන්ගෙන් මෙරටට පැමිණීම.
             ඉන් කිහිපයකි. දැන් අප විසින් මේ එක එකක් විසදා ගත යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් වන තත්ත්වයන් තේරුම්ගත යුතු වෙයි.

අද වන විට, උපාධි ලබා දෙන පුද්ගලික ආයතන රැසක් සදහාම සිසුන් බදවා ගැනීමේදී උසස් පෙළ සමත් වීම නැමති සාධකය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන තත්ත්වයක් දක්නට ඇත. අදාල ආයතනය මගින් කරනු ලබන උපාධියේ මිලයීම ගෙවීමට හැකිවීම පමණක් හෝ උසස් පෙළ විභාගය සමත් වීමකින් තොරව වෙනත් කොන්දේසීන්ට යටත්ව උපාධියක් ලැබීමට සිසුන්ට හැකියාව ලැබී ඇත. මෙම තත්ත්වය - ඉපදීමකින් තොර විවාහ වීමක් - වැනි අපබ්‍රන්ස තත්ත්වයකි. උසස් පෙළට පෙනී සිටීමට නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතු වෙයි. එසේම, විශ්ව විද්‍යාලයක් මගින් උපාධියක් ලබා ගත හැකි වන්නේ උසස් පෙළ විභාගයේ කොන්දේසි වලට යටත්ව විෂයන් සමත් වීමෙන් පසුවයි. අද වන විට එම කොන්දේසි නම්, උසස් පෙළ විෂයන් තුන සදහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ලැබිය යුතු වෙයි. එහෙත්, අද වන විට උපාධි පිරිනමන ප්‍රමුඛ පුද්ගලික විශ්ව විද්‍යාල ආකෘතියේ ආයතන කිහිපයකම ප්‍රවේශ සුදුසුකමක් ලෙස උසස් පෙළ සමත් වීම අත්‍යාවශ්‍ය නොවේ. එක් විකල්පයක් ලෙස - දෙන්නම් කාසි වලට උපාධිය හැදෑරිය හැක. එනම්, උපාධිය හදාරමින් සිටින කාලයේදී උසස් පෙළ සමත් වී ඊට අදාල සහතික ලබා දීමයි. දෙවැනි ක්‍රමයට අනුව, උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයවත් සමත් නොවී උපාධියක් ලබා ගත හැක. එනම්, එමගින් උසස් පෙළ සමත් වන සෑම අයෙක් වෙනුවෙන්ම රජයේ උපාධියක් ලබා දිය නොහැකි තත්ත්වයකදී, යම් සාධාරණ මුදලක් ගෙවා උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම යන මූලික සංකල්පය බිද වැටෙයි. එනම්, පුද්ගලික විශ්ව විද්‍යාල ආකෘතියෙන් දැනට ක්‍රියාත්මක වන ආයතන මගින් උපාධියක් ලබා ගැනීමට උසස් පෙළ සමත්වීම අත්‍යාවශ්‍යය තත්ත්වක් නොවේ.

එසේම, එම ආයතනයන්ගේ ඉගැන්වීම් සිදු කරනු ලබන ආචාර්යවරුන්ගේ සුදුසුකම් නිර්ණය කිරීමේ විධික්‍රමය හා මිමි සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතු වෙයි. මුදල පමණක් ඉලක්ක කර ගනන්නා ඇතැමුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුගෙන් සිසුන්ට සම්ප්‍රේෂණය විය යුතු සරල සාමාන්‍ය දේ පවා සම්ප්‍රේෂණය කිරීමට සමත් නොවන්නේය. ඉලක්කගත ලෙස පුද්ගලික පලිගැනීම් හා විනිවිධභාවයකින් තොර ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආදී අධ්‍යයනික මෙන්ම සිවිල්මය ආචාරධර්ම පවා දැඩි ලෙස ප්‍රශ්න කරන තත්ත්වයන් මෙම ආයතන වල මේ වන විට පත්ව තිබේ.

පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් වන පළමු තර්කය දැනට පිහිටුවා ඇති පුද්ගලික අධ්‍යාපන ආයතන මගින් පවා තෘප්ත නොකරන්නේ යැයි අපි කියවා ගතිමු. දෙවැනි තර්කය ලෙස ඉදිරිපත් කරනුයේ, උසස් පෙළ සමතුන් 150,000 ක් අතරින් වාර්ෂිකව විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන 25,000 ක ප්‍රමාණයට අමතරව තවත් පිරිසකට උපාධියක් වෙනුවෙන් අවස්ථා සැලසීම යන්නයි. අද ලාංකීය අධ්‍යාපන ක්‍රමය යනු නිදහස් අධ්‍යාපන තත්ත්වයක් හෝ නොමිලේ අධ්‍යාපන තත්ත්වයක් යැයි වැරදියට වටහා ගැනීමෙන් වැලකිය යුතු වෙයි. මෙය - පෙර ගෙවුම් අධ්‍යාපනයකි. අප විසින් පරිහරණය කරනු ලබන සෑම දෙයක් සදහාම ගෙවනු ලබන බදු සම්බන්ධයෙන් වන සංයුතියට ‘අධ්‍යාපනය‘ද ඇතුළත් විෂයකි. ඒ අනුව බිළිදාගේ නැපියේ සිට - මරණ දැන්වීමක් මුද්‍රණය කිරීම දක්වා කාර්යයේදී අප විසින් ගෙවනු ලබන දේ සදහා අප විසින් ගෙවනු ලබන බදු මගින් අධ්‍යාපනයට අදාල වියදම් රජය විසින් වක්‍රව අය කර ගනු ලබයි. අප වෙත පසුව අධ්‍යාපනය ලබා දීම පිණිස වෙන් කරනු ලබන්නේ ඒ මුදල්ය. අනෙක් පැත්තෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ලබා ගන්නා විදේශ ණය ගෙවීම සිදු කරන්නේ ද මහජන මුදලිනි. එහෙයින් අධ්‍යාපනය යනු නොමිලයේ එකක් නොව - පෙර ගෙවුම් එකකි. එම නිසා අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් රජය මහජනතාව කෙරෙහි බැදී සිටියි. එනම්, පොදු සමාජයට අධ්‍යාපනය යනු ‘වරප්‍රසාදයක් නොව - අයිතිවාසිකමකි‘. ඓහයින්, සිය පුරවැසියනට අධ්‍යාපනය ලබා දීම හා ඊට අදාල පහසුකම් සැලසීම රජයේ ඍජු වගකීමකි.

අනෙක් අතින් කියවා ගන්නා විට, අධ්‍යාපනය යනු රටේ ජීව නාලිය බදු කේන්ද්‍රීය හා තීරණාත්මක විෂයකි. එහෙයින්, අධ්‍යාපනය වැනි තීරණාත්මක හා රජය විසින් ඍජුව අධීක්ෂණය කරමින් මෙහෙයවිය යුතු විෂයක් මෙහෙයවීම ‘මුදලාලිවරුන්ට‘ හෝ ආයෝජකයින්ට ලබා දීම රටේ අනාගතය දැඩි අවධානම් තත්ත්වයකට මෙහෙයවන්නකි. මේ වන විට - අධ්‍යාපනය යනු විකුණුම් භාණ්ඩයක් හෝ සේවාක් තරම් වෙළද ද්‍රව්‍යයක් වී ඇති බව පෙනේ. ඊට අදාල සාක්ෂි ඉහතින් දැක්වීමු. මෙහිලා තවද පැහැදිලි කරමි. ආයෝජන මණ්ඩලය යටතේ ව්‍යාපාරයක් ලෙස අදාල අධ්‍යාපන ආයතන පිහිටුවයි. එනම්, එම ආයතන පිහිටුනු ලබන්නේ අධ්‍යාපන පනතකින් හෝ නීතියකින් නොවේ. කෙළින්ම වෙළද ව්‍යාපාර ආකෘතියේ සිද්ධියකිනි. එහෙයින්, පුද්ගලික අධ්‍යාපන ආයතන යනු මුදලාලිවරුන් හා ආයෝජකයින් විසින් අධ්‍යාපන අර්ථයකින් තොරව වෙළද අර්ථයකින් මෙහෙයවනු ලබන බවට වන විවේචනයෙන් බේරීමට තරම් හැකියාවක් හෝ සාධාරණ තත්ත්වයක් නැත.

පසුගිය වසරේ දිනක එස්. බී. දිසානායක ඇමතිවරයා මාලඹේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට පැමිණ විශේෂ දේශනයක් පැවැත්වීය. ඔහු එහිදී, අදාල ආයතනය හා පුද්ගලික අධ්‍යාපන ආයතන හෝ පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළේය. විදේශ ශිෂ්‍යයින් දේශීය පුද්ගලික සරසවි තුලට පැමිණීමේ වාසිය ලෙස ඔහු පෙන්වා දුන්නේ - එහෙම උණාම, ලංකාවෙ කෙල්ලන්ට චොයිස් තියනව - යනුවෙනි. එසේම, ඔහු විසින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වූ එයින් බිහි කිරීමට අපේක්ෂා කර සිටින්නේ තොරතුරු තාක්ෂණික ක්ෂේස්ත්‍රය දිග් විජය කළ හැකි අයෙක් බව නොකීවේය. ඇතැම් විට, එමගින් එවැන්නෙක් බිහි විය යුතු නොවේ යැයි ඔහු සිතුවා විය හැක. නැතිනම්, එවැන්නකින් එවැන්නෙක් බිහිකළ නොහැකි බව ඔහු සිතුවා විය හැක. කෙසේ නමුත්, එස්. බී. ගේ සිහිනයක්ව ඇත්තේ එමගින් - ලෝක රූප සුන්දරී තරගයට සහභාගී කරවිය හැකි සිසුවියක් බිහිකිරීම - බව කීවේය.

දැන් අප කියවා ගත යුතුව ඇත්තේ, පුද්ගලික විශ්ව විද්‍යාල  (SLIIT, NIBM, APIIT, ACBT, ICBT,...) මගින් උපාධි ලබා ගැනීමට අපේක්ෂා කරන පංතිය කවුරුන්ද යන්නයි. ඉතාම සුළුතරයක් හැරුණු විට, ලියාපදිංචි වී සිටින සාතිශය බහුතරය මධ්‍යම පංතියේ දෙමාපියන්ගේ දරුවන්ය. අද වන විට මධ්‍යම පංතිය යනු, මොන දේ හරි කරමින් තම දරුවන්ට ඉගැන්වීම ප්‍රමුඛ කාර්යය කොට ගත් පංතියයි. එහෙයින්, තමා විසින් ගෙවීමට සූදානම් මිලට හා සැපයීමට සූදානම් තත්ත්වයන්ට අනුකූලය කවර වර්ගයේ හෝ උපාධියක් ලබා දීමට සූදානම් ආයතනයක් පමණක් නොව, සිල්ලර කඩයකට හෝ තම දරුවා ඇතුළක් කරමින් තම දරුවාට උපාධියක් ලබා දීමට දෙමාපියන් පෙළඹිම පුදුමයට කරුණක් නොවේ. එහෙයින්, අද වන විට ඉන් වාසි ගනිමින් සිටින්නේ අධ්‍යාපනය හෝ උපාධි ලබා දෙන වර්ගයේ වෙළද ව්‍යාපාරයි.

එසේම, ප්‍රායෝගික තත්ත්වය ගැන සැලකීමේදී තවත් නොදුටු ඛේදවාචකයක් සැගව තිබෙනු දක්නට ලැබේ. එනම්, කුමන හෝ වර්ගයක උපාධියක් පිරිනැමීමේ නිදහස යම් ආයතනයක් වෙනුවෙන් පවරා දී ඇති තත්ත්වයක් මගින් බිහිවන උපාධිධාරියා රැකියාවක් සොයා ගෙන යාමේදී අර්බුදයකට ලක් වෙයි. බහුල හා ජනප්‍රිය විෂයන් මත පිරිනමන උපාධියක් ලබා ගිනිමින්, සමාජයට අවතීර්ණ වූ විට රැකියාවක් සොයා ගැනීමේ දැවැන්ත අවුලකට ඔහු මුහුණ පායි. මීට හේතුව වී ඇත්තේ ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට සරිලන පරිධි උපාධි හෝ අධ්‍යාපන පාඨමාලා ගලපමින් නිර්දේශ නොකිරීමේ හා තෝරා නොදීමේ වියවුලයි. අද වන විට, තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් දේශීය වශයෙන් වාර්ෂිකව දෙදහසක් හෝ ඊට වැඩි පිරිසක් රැකියා වෙළද පොලට පිට කරයි. නමුත්, වාර්ෂිකව මෙසේ පිටවන උපාධිධාරීන් සදහා එම අනුපාතයට සරිලන රැකියා අවස්ථාවන් රට තුළ දක්නට නැත. එසේම, උපාධියට සරිලන ගෙවීමක් කරමින් රැකියාවක් ලබා දීමට සුදානම් තත්ත්වයක් ද දක්නට නැත. එහෙයින්, උපාධිය වෙනුවෙන් මාසිකව රුපියල් විසි දහසක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන සිසුවා, අදාල මාසික ගෙවීමට අමතරව සෙසු වියදම් ලෙස තවත් අවැනිම මුදලක් වැය කරයි. නමුත්, අද වන විට රැකියා වෙළදපොලට සාපේක්ෂ රැකියා අපේක්ෂකයින් බිහි නොකිරීමේ ඛේදවාචකය නිසා ඉගෙනීමේදී එක් මාසයකදී ගෙවූ මාදල ඉපයීමට ඇතැම්විට මාස හතරක් පමණ ගත කළ යුතු වෙයි. එසේම, තවත් සමහර ප්‍රකට ආයතන විසින් මිලයට ගන්නා මෙවැනි උපාධිධාරීන් කාලයක් නොමිලයේ සේවයේ යෙදවීමෙන් පසු, නිසි ගෙවීමක් නොකරම හිතු මනාපයේ පිට කිරීම ද දක්නට ඇත. එසේ වන තත්ත්වයක් තුළ තවත් අලුතින් අතිරේඛව නව පුද්ගලික විශ්ව විද්‍යාල හෝ එම ආකෘතියේ ආයතන බිහිකිරීම මගින් මෙම තත්ත්වය තවත් උග්‍රවනවා මිස, යටකී සත්භාවයෙන් යුතු අරමුණු ඉශ්ඨ කරගැනීම පහසු නොකරන්නේය.

ලංකාව තුළ ජාත්‍යන්තර පාසල් සම්බන්ධ ප්‍රවණතාවය වර්ධනය වන්නේත් මෙවැනිම වැතැවරණයකින් යුතුවය. නමුත් අද වන විට ජාත්‍යන්තර පාසල් හෝ ඒවාහි අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වාගේම, ඒවාහි ආචාර්යවරුන්ගේ ප්‍රමිතීන් සම්බන්ධයෙන් ද ඇත්තේ දැඩි ව්‍යාකූල බවක් හා දුක්ඛිත තත්ත්වයකි. කිසිදු ක්‍රමවත් භාවයකින් තොරව අධ්‍යාපනය ලබා දෙමින් සිටින සාතිශය බහුතරයක් වූ ජාත්‍යන්තර පාසල් හරහා බිහි වන මිනිසාගේ තත්ත්වය සම්බන්ධයෙන් වන ව්‍යාකූලභාවය දැන් දැන් අපි විදිමින් සිටිමු. අධ්‍යාපනය ලබන අවධියේදී සංවර්ධනය විය යුතු කළාව, ක්‍රීඩාව, සාහිත්‍යය, මානූෂීය ගුණාංග, ආගම හෝ වෙනත් සංස්කෘතික තත්ත්වයන් එවැනි පාසල් හරහා ගොඩ නැගෙන්නේ ඉතාම අල්ප වශයෙනි. අද වන විට පුද්ගලික විශ්ව විද්‍යාල හෝ එම ආකෘතියේ ආයතනයන්ගේ තත්ත්වය ද එසේමය. ගෙවනු ලබන මුදලට සරිලන අධ්‍යාපනයක් ලබා දී කෙසේ හෝ උපාධියක් ලබා දී සිසුවා පිට කිරීම හැරුණු විට වෙනත් ජීවිතය හා ජීවත්වීම සම්බන්ධ දේ පිළිබද මේවාහී සංවේදීතාවය ඉතාම දුරවලය. විශ්ව විද්‍යාලයක කාලය ගත කරන ශිෂ්‍යෙයක් විසින් අත්යිදිය යුතු - කළාව, සාහිත්‍යය, සමාජ විචාරය, ක්‍රීඩාව, පොදු වැඩ හා සාමූහික ක්‍රියාකාරකම් සේම මිනිස් සංහතියේ බිහිවීමේ සිටම මිනිසාගේ පරම ලක්ෂණයක් වූ දේශපාලනිකභාවය පිළිබද වන තත්ත්වයක් වන දේශපාලනය, සංවාද වැනි දේ වෙනුවෙන් ඉඩ සැලසීම මේවා මගින් සිදු කරන්නේ ඉතාම අල්පවය. එනම්, සරලව කියන්නේ නම්, පුද්ගලික විශ්ව විද්‍යාල වල මේ වන විට අරමුණ වී ඇත්තේ - සල්ලි දෙනවනම්, උගන්වන්නම් - අවසානෙදි උපාධිය දෙන්නම් - මෙතන ඇවිත් ජීවත් වෙන්න හරි ජීවිතය ඉගෙන ගන්න හරි දගලන්න එපා යන ආඥාදායක ඉගියයි.

මේ සියලු තත්ත්වයන් හමුවේ, දැන් අප විසින් කළ යුතුව ඇත්තේ කුමක්ද. එනම් පුද්ගලික විශ්ව විද්‍යාල වල හෙට දවස විය යුත්තේ කුමන පදනමක්ද. පළමුව කළ යුතුව ඇත්තේ - තව තවත් පුද්ගලික විශ්ව විද්‍යාල දුසිම් ගණනින් ඉදි කිරීමට ඉඩම් වෙන් කර දීම නොව. දැනට පවත්නා යම් ප්‍රමිතියකින් යුත් එවැනි ආයතන රජයේ ඍජු අධීක්ෂණයට හා මෙහෙයවීමට යටත් කර ගත යුතුය. එමගින්, මුදලාලිලා මගින් අධ්‍යාපනය තීරණය කිරීම වෙනුවට මුදලාලිලා සතුව ආයතනයක් ලෙස ඒවා පවතින විට රජය මගින් සිය මෙහෙයවීමෙන් අධ්‍යාපන ප්‍රමිතීන් නිරීක්ෂණය කිරීමයි. උපාධි පාඨමාලා සදහා බදවා ගනු ලබන අවම සුදුසුකම ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට බදවා ගනු ලබන අවම සුදුසුකම බවට පත්කළ යුතු වෙයි. එනම් - උසස් පෙළ හෝ අසමත් අයට පවා උපාධියක් ලබා ගැනීමට ඇති සිල්ලර උපාධි ක්‍රමය අහෝසි කරමින්, පොදු සමාජයේ හා පොදු සිසුවාගේ සුභසිද්ධිය තකා උපාධියේ ගෞරවය හා ප්‍රමිතිය දියුණු කළ යුතු වෙයි. අධ්‍යාපන පාඨමාලාවන්ගේ හා ආචාර්යවරුන්ගේ තත්ත්වයන් හා පටිපාටීන් සම්බන්ධයෙන් රජය විසින් හෝ ඊට අදාල රාජ්‍යය ආයතයන් විසින් තීරණාත්මක මැදිහත්වීමක් කළ යුතු වෙයි. ව්‍යාපාරිකයින්ගේ භිමතය පරිදි තීරණය කරමින් සිට පාඨමාලා ගාස්තු හා අයකිරීම් යම් නියාමනයකට ලක් කළ යුතු වෙයි. රාජ්‍ය ආයතන යනු, ආයෝජන මණ්ඩලය හෝ වෙළද ව්‍යාපාර නඩත්තුකරන ආයතන නොව, අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීමක් ඇති ආයතන විය යුතු වෙයි. ඉනික්බිති, පුද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යාද අනෙක් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ සිසුවා හා සමාන කළා-සමාජ-සාහිත්‍ය-ක්‍රීඩා-දේශපාලන-මානූෂීය ගුණාංගයකින් යුත් පුග්ලයෙක් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් හා සෙසු පහසුකම් සැපයිය යුතු වෙයි.

මේ සියල්ලට වඩා තවත් වැදගත් දෙයක් වෙයි. එනම්, පුද්ගලික විශ්ව විද්‍යාල මගින් උපාධි පිරිනමනු ලබන විෂයන් හා ක්ෂේස්ත්‍රයන් සම්බන්ධයෙන් යම් පාලනයක් තිබිය යුතු වෙයි. ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුව රැකියා වෙළදපොලේ ඇති ඉඩ පහසුකම් පිළිබද කරනු ලබන පූර්ව හා පුළුල් සංගණනයකින් පසු පමණක් අදාල විෂය සම්බන්ධයෙන් උපාධි පිරිනැමීමේ අවස්ථාව ලබා දිය යුතු වෙයි. එසේම - උපාධිධාරීන්ගේ ප්‍රමාණය පෙර කරනු ලබන දූරදර්ශී සංගණනයකින් පසු වාර්ෂිකව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මගින් සැකසීමකින් පසු පුද්ගලික විශ්ව විද්‍යාල වලට නිර්ණය කළ යුතු වෙයි. ‘රොත්ත පිටින් උපාධි අරං - රොත්ත පිටින් කාලකණ්නි වීම‘ නැවතීමට ඇති එකම මග මෙයයි.

යළිදු අවසානයේදීත් කියමි. තව තවත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට කාලය මෙය නොවේ. මේ කාලය යනු, දැනට පවත්වාගෙන යන සිල්ලර හා තොග උපාධි කඩ සහ යම් ප්‍රමිතියකින් යුත් ආයතන විධිමත් නියාමනයකින් දිශාභිමුඛ කිරීමේ කාලයයි. එසේ නොවුනහොත් - පුද්ගලික විශ්ව විද්‍යාල හා ඒවාහි උපාධිවල තත්ත්වය දැන් දැන් ජාත්‍යන්තර පාසල් වලට හිමිව ඇති ඉරණමට ලක් වීමෙන් බේරා ගත හැකි නොවේ.

මට, මගේ සිහිනය අහිමි වී ඇත

අද වන විට, මම යනු මම නොවන තත්ත්වයකට පත්ව සිටියි. එනම්, මම යනු මම නොවන අනෙකෙකු විසින් පාලනය වනු ලබන තත්ත්වයකට පත්ව ඇත. තවත් සරලව කියන්නේ නම්, මට ජීවත් වීමට සිදුව ඇත්තේ මම හෝ මම තත්ත්වයේ නොව. අනෙකා සහ අනෙකා විසින් පාලනය කරනු ලබන තත්ත්වයේය. පිරිමියා යනු ගැහැණියක් විසින් හෝ එම පිරිමියා නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත් වූවෙකි. කාන්තාව යනු පිරිමියකු විසින් හෝ එම කාන්තාව නොවන වෙනකෙක් විසින් පාලනය කරනු ලබන හා මෙහෙයවනු ලබන තත්ත්වයට පත්ව තිබේ. මේ අපබ්‍රන්ස කතාව හෝ තේරුම් ගැනීම සංකීර්ණ වී ඇති දේ පිළිවෙළින් ලිහා ගැනීමට සිදුව ඇත. එය යම් ප්‍රමාණයකට සරල කොට කියවා ගැනීමෙන් තත්ත්වය පිළිබද යමක් වටහා ගැනීමට හැකි වෙතැයි සිතමි.

“මට, මා අහිමි වීම“ හෝ “මට, මගේ සිහිනය අහිමි වීම“ යන හෙඩිම් දෙකෙන් හදාරනු ලබන දේ පැහැදිලිව කියවා ගැනීම පිණිස යම් වැඩි ප්‍රමාණයක ආත්ම හැදෑරීමක් අවශ්‍ය කරයි. ම විසින් උත්සාහ කර සිටින්නේ උක්ත හෙඩිම විඥානයෙන් කියවා ගැනීමට හා වැඩිදුර හැදෑරීම පිණිස ‘කොණක්‘ අල්ලා ගැනීමට පොටක් පාදා දීම නම් වූ ඉතාම සරල උදව්ව පමණයි. ඉන් එහා යමක් හැදෑරීම පිණිස ඔබේ විඥානය වෙහෙසවිය යුතු වේ.

මම කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ‘මම කැමතියි ලෙක්චර් හෝල් එකක - මගෙ පෙම්වතිය සමග දෙතොල් චුම්බනය කරන්න‘. නමුත්, ම විසින් මා පුශ්න කර සිටින්නේ ‘අනිත් උන් මොනව නොකියයි ද‘ යන අතිශය පරායක්ත සිතිවිලලයි. ඒ අනුව, මගේ සිහිනයන් හා මගේ අසමජ්ජාති හැගීම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අනෙකා හෝ මම නොවන වෙනකෙක් විසින් කවරාගාරයේ බලපෑමක් මා කෙරෙහි සිදු කරයි ද. ඒ බලපෑමේ ප්‍රමාණය කුමක් වුව ද එමගින් සිදු වන්නේ මගේ සිහිනය, මට අහිමි වීම නැමති ඛේදවාචකයයි. තවද කියමි. ‘මම කැමති උසස් පෙළට පුරාවිද්‍යාව හදාරන්න‘. නමුත් මට තියන අවුල, ‘පුරා විද්‍යාව හදාරනව කීවම සමාජය තුළ ඇති විද්‍යා විෂයන් හදාරන එකාට සාපේක්ෂ වටිනාකමේ බිදවැටීම - මගේ තත්ත්වයට බලපෑම් කිරීමයි‘. එහෙයින්, අනෙකාගේ ඍජු පාලනයෙන් හා මෙහෙයවීමෙන් තොරවම මා අනෙකාගේ වක්‍ර පාලනයට හා මෙහෙයවීමට ලක් වෙයි. එහෙයින් මගේ පුරා විද්‍යා සිහිනය මවිසින් අනෙකාට පාවා දී වෙනතක් බලා ගිනියි.

මට, මම අහිමි වන්නේ මෙසේය. මුදල සහ සෙසු දේ යන සියල්ල මගේ වන තත්ත්වයකදී - මම ඉඩමක් මිලට ගෙන මගේ ‘ගෙදර‘ ඉදිකිරීමට පටන් ගනියි. නමුත්, ම විසින් සිතා සිටින්නේ මේ ගෙදර මගේ හෝ මට අවශ්‍යය විදියට ඉදි වන බවයි. නමුත්, ඇත්ත කතාව එය නොවෙයි. ඉඩම තෝරා ගන්නේ මගේ අභිරුචිය සම්පූර්ණයෙන්ම තෘප්ත වන තැනක සිට නොව. නිවසට අදාල සැලසුම් ඇදීමේදී මගේ යම් කැමැත්තක් එහි නිරූපණය වුව ද එහි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ මගේ අභිරුචිය නොවේ. එසේම, ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ මම නොවන පෙදරේරුවෙක් හෝ අත්වැඩ කාරයින්ගේ එකතුවකගේ අවශ්‍යතාවය අනුවයි. එසේ ඉදිවන නිවස මගේ යැයි මා සිතා සිටිය ද, එහි සමස්ථය කියවා ගත් විට වැටහෙන්නේ මුළු නිවසම ඉදිව ඇත්තේ මගේ සිහිනයේ තරමට හෝ විදියට නොවේ. එනම්, මට-මගේ සිහිනය අහිමි වී ඇත.

ම විසින් තෝරාගනු ලැබිය යුතු කෑම කීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු බීම තීරණය කරනු ලබන්නේ අනෙකායි. ම විසින් ලැබිය යුතු අදුම හෝ පැලදුම අනෙකා විසින් තීරණය කරනු ලබයි. එනම්, මා මෙහෙයවනු ලබන්නේ අනෙකෙකු විසිනි. මා කැමතිම බීම ලෙස ‘පෙප්සි‘ තෝරා ගත යුත්තේ ලසිත් මාලිංග හෝ ටී.එම්.ඩිල්ෂාන් විසින් කරනු ලබන පෙන්වීම් හරහායි. එසේ නොවේ නම්, අප විසින් ජීවිතය බ්ර්ර්ර් කර ගත යුතුව ඇත. එසේ කිරීම සදහා කෝක් බී ගත යුතු වෙයි. ගැහැණියක් අනිවාර්යයෙන්ම, සිය මයිල් බාගත යුතුව ඇත. එය, අනෙකා විසින් අනිවාර්යයක් බවට පත් කොට ඇත. එසේනම්, වීට් ගා මයිල් ටික බා ගත යුතු වෙයි හෝ අතිශය වේදනාබරිත වූ වැක්ස් කිරීමක් තෝරා ලත යුතුය. එසේත් නැතිනම්, ඉතාම ප්‍රායෝගික වන රේසරයකින් මයිල් බෑම දක්වා හෝ තත්ත්වයකට යා යුතුය. අවසාන අවශයෙන් සිද්ධ විය යුත්තේ - කුමන ක්‍රමයකින් හෝ මයිල් ටික බා ගත යුතුය. සෙක්සි හෝ මොඩර්න් යුවතියක් වීම කෙරෙහි, මයිල් බෑම අනිවාර්යයක් බවට අනෙකා විසින් පත් කොට ඇත.

පිරිමියෙකු විසින් සිය රැවුළ බෑම හෝ කොන්ඩය කැපීම මින් යමක් වෙනස් කමක් දැක්වූව ද පිරිමියාගේ කොන්ඩය හා රැවුළ බෑම මීට යම් සමාන කමක් දක්වයි. පහුගිය දවසක, පංති මිතුරකුගේ ආච්චී කෙනෙක් මිය ගියාය. අපි මළ ගෙදර යන විට අපේ කණ්ඩායමේ සියලු දෙනාගේ කොණ්ඩ වැවී තිබුණේ, කාලකණ්නි හා අසමජ්ජාති විධියටයි. ඒවා නඩත්තු කිරීම හැර වෙනත් වැදගත් හා අවශ්‍යයැයි කියා සිතූ දේ අප සතු වූයෙන් කොන්ඩය හා ඇතැමුන්ගේ රැවුළ පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීය. මළ ගෙදරට පැමිණි සියලු දෙනාගේ මාතෘකාව වූයේ ආච්චීගේ මියැදීම හෝ වෙනකක් නොව, අපේ උන්ගේ කොණ්ඩා සහ රැවුල් අසමජ්ජාති ලෙස වැවී තිබීම නැමති අතිශය කාලකණ්නි සිද්ධිය පිළිබදවයි. ඒ අනුව, කොණ්ඩය කැපීම හැර වෙනත් යම් විකල්පයක් නොවන තරමටම පත්විය. එහෙයින්, මට මා බවට පත් වී අඩුම තරමේ මගේ අසමජ්ජාති කොණ්ඩය මට අවශ්‍යය විධියට වැවීමට හැරීමටවත් නිදහසක් හෝ අයිතියක් - එසේත් නැතිනම් නිවනක් අපට හිමි නොවේ. එහෙයින් ද කියමි, - අප කොණ්ඩය කැපිය යුතු වෙයි. එසේ කැපිය යුතු වන්නේ මව පියා හෝ වෙනත් අනෙකෙකුගේ රුචිකත්වය පරිද්දෙනි. අඩුම තරමේ ඒ කිසිවක් නැතත් කොණ්ඩය කැපීම කරණවෑමියාගේ රුචිකත්වය පරිදි පාවා දීමට පවා සිදු වෙයි. එහෙයින්, මගේ ඇගේ වැවෙන කොණ්ඩය මගේ අසමජ්ජාතිකමට සාපේක්ෂව වැවීමට හැරීමටවත් අනෙකා විසින් ඉඩ සලස්වා නොමැත.

මා විසින් කසාද බැදිය යුතු වන්නේ මගේ සිහිනය නොවේ. එය තෝරා ගැනීමේදී සමස්ථයෙන් වැඩි කොටසක්,අනෙකාගේ දේවල් මත යාපෙන්නට සිදු වෙයි. පළමුව ප්‍රේම කිරීමට කෙල්ලක සොයා ගත යුතුව ඇත්තේ  - අවට වටපිටාවට සාපේක්ෂවයි. මට ඉතාම හොද යැයි මා සිහින දකිමින් සිටින උපාසිකාවක වෙනුවට - මට වඩා යෝග්‍ය වන්නේ යැයි අනෙකා විසින් තීරණය කරනු ලබන ගණිකාවක මගේ ප්‍රේම වන්තිය කර ගැනීම කෙරෙහි පොළඹවයි. එහි, විලෝමය ද සත්‍යයයි. ලිංගික සංසර්ගයකින් පසු විවාහ වීම මගේ අභිරුචිය වුවත් අනෙකා විසින් එය සීමා කරනු ලබයි. එහි  ද විලෝමය ද සත්‍යය වෙයි. මා මගේ මගුල දා ඇදිය යුතු ඇදුම තීරණය කරනු ලබන්නේ සම්ප්‍රදාය හෝ සංස්කෘතිය - සමාජ සම්මතයන් ලෙස පෙනී සිටින මම නොවන අනෙකා විසිනි. ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇදගෙන මගුල් පෝරුවේ සිටීමට කැමති වුවත් අනෙකා විසින් එය විකාරයක් යැයි කියමින් මගේ සිහිනය අනෙකාට සාපේක්ෂ මට්ටමට කප්පාදු කරනු ලබයි.  මගේ මගුල දා මා කෑම පිගාන බෙදා ගත යුත්තේත්, වතුර වීදරුවක් තොල ගෑ යුත්තේත් අනෙකාගේ චිත්තප්‍රීතිය පිණිස මිස මගේ පිපාසය හෝ කුසගින්න මත නොවේ. අනෙකාගේ සම්මතයන්ට සාපේක්ෂව මා මගේ කුසගින්න - පිපාසය සේම අඩි සලකුණු හා හුස්ම ගැනීම ද පාලනය කරගත යුතු වෙයි. මා එසේ නොකලද අනෙකා විසින් එවැන්නක් දක්වා මා මෙහෙයවනු ලබයි. ම විසින් මගේ බිරිදගේ අත ඇල්ලිය යුකු වේලාව තීරණය කරනු ලබන්නේ නැකත්කරුවා විසිනි. අනෙක් බොහෝ සිහින ද එවැනි තත්ත්වයක් ගනියි.

සමස්ථයක් ලෙස ගත් විට අප ජීවත් වන්නේ අනෙකා මුල් කරගෙනයි. එවැනි තත්ත්වයකදී සැබෑ ස්වරූපය යටපත් වෙමින් අප ඇන්දීමට ලක් වීමට හෝ ඇන්දවීමට ලක් වීමට ඇති ඉඩ ඉතා වැඩිය. අද වන විට සිදුව ඇත්තේ එයයි. එහෙයින්, අනෙකාගේ දෑත් තුළ ළදරුවෙක්ව වැඩෙන අපේ සිහින අනෙකාගේ අතැගිල්ලෙන් තීරණය වෙයි. අප සිනාසෙන්නේ අනෙකා අපිව අන්දවා බලහත්කාරයෙන් සිනහා ගන්වන විටදීය. අප ඇඩිය යුතුතේ අනෙකා අප සිනහා ගස්වන්නට රුචියක් නොදක්වන විටදීය. එහෙයින්, මුළුමනින්ම අනෙකා විසින් අපිව අන්දවා ඇත. අප විසින් නගිමින් සිටින්නේ, අනෙකා විසින් සාදා දෙනු ලැබූ - අප විසින් නැග්ග යුතු යැයි නිශ්චය කොට ඇති ඉනිමගකය. නොයෙසේ නම්, අනෙකා මත තමා යැපෙන තත්ත්වයක් තුළදී, ‘මම‘ යනු අනෙකා විසින් තීරණය කරනු ලැබූ මාර්ගයක අනෙකාගේ කැමැත්ත පරිදි ගමන් කරන මිනිසෙකි. එහිදී, අපට නැවතීමට සිදු වන්නේත් - ගමන් කිරීමේ වේගය නිශ්චය කරගත යුතු වන්නේත් අනෙකාගේ අභිරුචිය මත මිස, ‘මගේ‘ අභිරුචිය හෝ කැමැත්ත මත නොවේ. එසේත් නැතිනම්, අනෙකා හෝ පහසුවෙන් හදුනාගත හැකි අනෙකා වන පොදු සමාජය විසින් අන්දවන ලද රෙද්දකින් විලි වසා ගනිමින් - අඩ නිර්වස්ත්‍රව සිටිය ද අප විසින් විළි වසා ගෙන සිටිමු යැයි සතුටු වීමට සිදුව ඇත. 

මෙවැනි ඇන්දවීමකට හසු වූ විට, මීලගට කරන වැඩේ නම් මේ සියල්ල අනෙකෙක් පිට පටවා වේදනාව තුරන් කරමින් හිත හදා ගැනීමයි. මේ සදහා පට්ට ගැසීමට ලක් වන්නේ බහුල වශයෙන් මීඩියා - රේඩියෝ හෝ ටෙලිවිශන්ය. එහෙයින්, අපි ඇන්දවී සිටීම කෙරෙහි වරද අප විසින් මීඩියා මත පටවා හිත හදා ගිනියි. නැතිනම්, අනෙකෙක් මත පටවයි. මේ සියල්ල සිදුවන්නේ - මීඩියා බලපෑමෙන් බව සරලව ලඝු කොට ගැනීම අද වන විට පොදු සමාජය හෙවත් අනෙකා විසින් අපට හුරු කර ඇති විධික්‍රමය වෙයි. එහෙයින් - අප විසින් අනෙකා පිට වරද හෝ දෝශය පටවා සියල්ල මැනේජ් කර ගැනීමට හා සතුටු වීමට හෝ හිත හදා ගැනීමට පෙළඹෙයි. එසේ නොවන්නේ නම්, කළ යුතුව ඇත්තේ කුමක්ද.

පළමුවෙන්ම තමාගේ සිහිනය අනෙකා තුළ ජීවත් කිරීමේ න්‍යාය හදුනාගනිමින්, ඉන් මිදීමට වෙර දැරිය යුතු වෙයි. අනෙක් සියලු දෙනාම අනෙකා මත යැපෙමින් මයිල් බාමින් සිටින විට, මයිල් බෑම මට සාපේක්ෂව අවශ්‍යයක් නොවන මම වන යුවතියක් මයිල් බෑමෙන් වැලකී සිටීම සිල්පදයක් ලෙස රැක ගනිමින් තමා අනෙකා මත ජීවත් කරවීමෙන් වැලකීමට සමස් විය යුතුවෙයි. සියලු දෙනා කෝක් හෝ පෙප්සි බොමින් සිටියදී - සුපිරි වෙළද සැලකින් වෙනිවැල් ගැට කෝප්පයක් බීමට තරම් අනෙකාගෙන් තමන් මුදවා ගැනීමට සමර්ථ විය යුතු වෙයි. තවත් අර්ථයකින් මෙසේ කියමි. විවාහයකට පෙර කෙන්දරයක් බැලීමට මගේ පෙම්වතියගේ මව යෝජනා කලේය. ඇය, අනෙකා මත යැපෙමින් එසේ යෝජනා කළා යැයි සිතමි. ‘කෙල්ල දුන්නෙ කෙන්දරේවත් බලන්නෙ නැතුවද‘ යන අනෙකාගේ ප්‍රශ්න කිරීමට, කට උත්තර නැති වෙතැයි සිතුවා විය හැක. කේන්දරය ගලපමින් පොරොන්දම් බැලුවෙමු. කේන්දර හා පොරොන්දම් නොගැලපෙමින්, වෛවාහක සිහිනය හැදිගෑවී ගියේය. එය එසේ හැදි ගෑවෙන්නට හේතු වන්නේ, මගේ වෛහික අනාගතය අනෙකා සමග සසදමින් සිටිමින් තීරණය කළ නිසාය. එසේනම්, සිහිනය අනෙකා මත පැවැදීමට සූදානම් නොවූයේ නම් හෝ අනෙකා මට ප්‍රශ්නයක් නොවූයේ නම් විවාහය විවාහයක් ලෙස සිදු වන්නට ඉඩ තිබේ. එහෙයින්, අනෙකා මත යැපීමෙන් වැලකීමට මා හෝ මගේ පෙම්වතිය සූදානම් නොවන නිසා විවාහය හැදිගෑවී ගියේය.

එහෙයින්, තමාගේ සිහිනය අනෙකා මත ජීවත් කරමින් මීඩියා හෝ අනෙකා ප්‍රශ්න කරමින් නොසිට, තමා විසින් තමා කියවා ගැනීමට හා තමා හැදෑරීමට සිදුව ඇත. එහෙයින්, ෆැන්ටසිය කියවා ගත යුතුව ඇත. මට මගේ සිහිනය අහිමි වීමෙන් වැලකී සිටිය හැක්කේ සහ ඉන් ආරක්ෂා විය හැක්කේ උක්ත ෆැන්ටසිය ලිහා ගැනීමෙන් පමණි. සරලවත් - සංශිප්තවත් අවසානයේදීත් ලියමි. මට මගේ සිහිනය සැබෑ කර ගත හැක්කේ මම, මම වීම තුළින් ම පමණි. එහෙයින්, ම විසින් මා සොයා ගත යුතුව ඇත. අද වන විට මා පත්ව ඇත්තේ, සමීකරණයේ පරායක්ත විචල්‍යය බවටයි. නමුත්, ෆැන්ටසියෙන් මිදීම පිණිස නම්, තමා පරායක්ත විචල්‍යය ලෙසින් හැසිරිය යුත්තේ තමාම ස්වායක්ත විචල්‍යය වන සමීකරණයක් තුළ වේ. එනම්, තමාගේ පරාවර්තනීය සෙවනැල්ල විය යුත්තේ තමාම මිස අනෙකා නොවන බව වටහා ගත යුතු වෙයි.

Saturday, June 18, 2011

අශෝක ද සිල්වා - ජනාධිපති උපදේශකකමින් ඉල්ලා අස්විය යුතුයි

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා පසුගියදා ජනාධිපතිවරයාගේ ජ්‍යෙශ්ඨ නීති උපදේශකවරයා ලෙස පත්වීම් භාර ගත්තේය. (සිය විශ්‍රාම වයස සම්පූර්ණ වීම හේතුවෙන් ඔහු විශ්‍රාම ගනු ලැබූයේ මැයි මස 16 වෙනිදායි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මමත්මිය අනුප්‍රාප්ත කරනු ලබන්නේ ඉනික්බිතිවයි). එනයින්, හිටපු අගවිනිසුරුවරයා, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙශ්ඨ නීති උපදේශකයායි. එනම්, එවකට යුක්තිය ඉටු කළ කන්‍යාව, අද වන විට ගණිකාවක් වී සිටින්නීය. උපරිමාධිකරණ විනිසුරුවරයෙක් ලෙස තිබූ අත්දැකීම් හා ජ්‍යෙශ්ඨත්වය හා තවත් දේ නිසා, එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ අනුප්‍රාප්තිකයා වූයේ අශෝක ද සිල්වා මහතායි.

ඔහු සිය ධුරප්‍රාප්තියෙන් දින කිහිපයකට පසු කියා සිටියේ, විධායකයේ පහසින් සල්ලම් වී තිබූ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ප්‍රතිස්ථාපනය කරනු පිණිස කැප වී වැඩ කරන බවයි. එනම්, නිළ බලයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අගවිනිසුරුවරයා වූ සරත් එන්. සිල්වා මහතා විසින් එම ධුරයේ බලතලයන් අයුතු අන්දමින් භාවිත කරමින් මුල් අවස්ථා අධිකරණ විනිසුරන් සිය අණසකට හා පාලනයට ගොන තිබූ බවත් එවැනි දුර්ක්‍රියා යළි සිදු නොවීමට වග බලාගන්නා බවත් දිවුරා කියා සිටියේය. සියලු දෙනාගේ අපේක්ෂාසහගත බව ප්‍රශ්න කරමින්, සිය ධූර කාලය තුළ අශෝක ද සිල්වා මහතා විසින් සිදු කළ සිය පුරෝගාමියාගේ වැරදි නිවැරදි කිරීමේ කාර්යය වූයේ, විනිසුරුවන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කිරීම පමණයි. එසේම, අශෝක ද සිල්වා මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සිය පවුලේ භූදලයක් කර ගැනීමට සියුම් ප්‍රයත්නයක් දැරීය. කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කරගනු ලැබූයේ ඔහුගේ සොහොයුරා වන ප්‍රියන්ත ද සිල්වා මහතායි. එසේම, අගවිනිසුරුවරයාගෙන් අපේක්ෂා කරනු ලබන පරිණත නෛතික අර්ථ නිරූපණයන් හෝ උපදේශයන් වෙනුවට ඔහුගේ කාලයේ දක්නට ලැබුණේ නීතියේ අවම අර්ථ නිරූපණයන් මගින් නීති ප්‍රෙව්ශයන් විග්‍රහ කරන සිද්ධීන්ය. (නිදසුන - 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධ අධිකරණ මතය දැක්වීම).

ඒ කෙසේ නමුත්, ධුරය දැරූ අගවිනිසුරුවරයා විසින් - සිය විශ්‍රාම යාමෙන් මාසයක් ඉක්මවීමටත් පෙර විධායකයේ උපදේශක තනතුරක් භාර ගැනීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට තරම් සිද්ධියක් වන්නේය. එනම්, විශ්‍රාම යාමෙන් පසු විධෘයකයේ උපදේශක තනතුරක් ලබා දීමට තරම් වන දැඩි විශ්වාසයක් විධායකය විසින් අගවිසිනිසුරුවරයා සම්බන්ධයෙන්, ධුරය දරන කාලයේදී දිනා ගෙන සිටිය යුතු වෙයි. එනම්, එමගින් පෙනී යන්නේ ධුරය දරන කාලයේදීත් අශෝක ද සිල්වා මහතා, ජනාධීපති මහින්ද රාජපක්ෂගේ ඉතාම කිට්ටු වන්ත හා විශ්වාසවන්ත පුද්ගලයෙක් ලෙස ක්‍රියා කොට ඇති බවයි. එක පැත්තකින් මෙය මහා අරුමයක් නොවේ. අගවිසිනිසුරුවරයා ලෙස පත්කිරීම ලැබීම කෙරෙහි යම් පුද්ගලයෙක් සුදුසුකම් ලබන්නේ නම් එමගින්ම, එම පුද්ගලයා විධායකයේ විශ්වාසය දිනාගත් අයෙක් ලෙස තහවුරු වෙයි. නමුත්, පත්වීමෙන් පසු නිර්ලජ්ජිත ලෙස විධායකය වෙනුවෙන් ‘කඩේ යාම‘ විධායකය පවා අධිකරණයෙන් අපේක්ෂා නොකරයි. දැන් සිදුව ඇත්තේ ඊට ටිකක් වෙනස් සිද්ධියකි. අගවිනිසුරුවරයා ලෙස පත්වී සිටි පුද්ගලයා විශ්‍රාම ගියේය. විශ්‍රාම යාමත් සමගම වැඩි කල් නොගොසින්ම ඔහු විධායකයේ නීතිය පිළිබද උපදේශකයා විය. අශෝක ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස දිවුරුම් දී ඇත්තේ, රජයේ නීති උපදේශකයා ලෙස ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති නීතිපතිවරයාට අමතරවයි.

රටේ උපරිමාධිකරණ විනිසුරන්ගේ හා අගවිනිසුරුවරයාගේ ක්‍රියා කලාපය අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑමක් එල්ල කරන බව නොරහසකි. මෙම තත්ත්වය ධුරය දරන අවධියේ මෙන්ම ඒ හා සමානවම විශ්‍රාම යාමෙන් පසුවද දැඩිව බලපැයි. එහෙයින්, උපරිමාධිකරණ විනිසුරුවරයෙක් විසින් විශ්‍රාම යාමෙන් පසු ක්‍රියාකළ යුතු ආකාරය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ. එමගින් ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිධි, යළිත් නීතීඤවරයෙක් ලෙස කටයුතු කිරීමට හෝ වෙනත් තනතුරක් දැරීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුට අවසර හිමි වෙයි. එම අර්ථයෙන් ගත් කළ අශෝක ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස පත් කරනු ලැබ ඇත්තේ ජනාධිපතිවරයා විසින්මය. බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වන ව්‍යවස්ථාවට අනුව, එහි වරදක් දක්නට නැත. නමුත් මෙහි බැලූ බැල්මට ඇති නොගැලපීම හා නිර්ලජ්ජිත ක්‍රියාව වන්නේ, විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතු මගින් ජනතාව ආරක්ෂා කැගඅනීමට සිටින ධුරයක් දැරූ පුද්ගලයෙක් විශ්‍රාම යාමෙන් පසු, විධායකයේ හවුල්කරුවෙක් වීමයි. සරත් එන්. සිල්වා මහතා විශ්‍රාම යාමෙන් පසු සක්‍රීයව සිය දේශපාලනික කටුයුතු වලට මැදිහත් විය. ඔහු දැඩි ලෙස විවේචනය වූයේය. එසේත් නැතිනම් වෙමින් පවතියි. එයට හේතුව වූයේ ඔහු ප්‍රසිද්ධියේම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීම් හා ක්‍රියාත්මක වීමි ප්‍රශ්න කරමින් විපක්ෂයේ මතය දරමින් සිටින නිසාය.

දැන් සලකා බලන විට අශෝක ද සිල්වා මහතාගේ සහ සරත් එන් සිල්වා මහතාගේ සැලකිය යුතු වෙනසක් නොවේ. දක්නට ඇති එකම වෙනස, සරත් එන් සිල්වා මහතා විපක්ෂයේ දේශපාලනය සක්‍රීයව කිරීම හා අශෝක ද සිල්වා මහතා ආණ්ඩුවේ දේශපාලනය තෝරා ගැනීමයි. අශෝක ද සිල්වා මහතා විසින් ඍජු දේශපාලනික පත්වීමක් ලබා ගැනීම හෝ ජනාධිපතිවරයා විසින් නිර්ලජ්ජිත ලෙස එසේ සිදු කිරීම තවත් අපකීර්තිමත් සම්ප්‍රදායක් මහ ඉහළින් ආරම්භ වීමක් සේ අදුරු අනාගතයක පෙර නිමිති පහළ වෙමින් තිබේ. මෙම පත්කිරීම පමණක් නොව, කිසිදු හිරිකිතයකින් තොරව මෙම තනතුර භාර ගැනීම ඊටත් වඩා නිර්ලජ්ජිත ක්‍රියාවකි. අශෝක ද සිල්වා මහතාගේ බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවකට අනුව දේශිය ජනාධිපතිවරයා අත්තනෝමතික විධායක බලයක් ක්‍රියාත්මක කරන ධූරයකි. ඒ අනුව, මේ වන විට අශෝක ද සිල්වා මහතා එම අත්තනෝමතික විධායක බලයක් ක්‍රියාත්මක කිරීමේ ධුරයේ උපදේශකයෙකි. තවත් පැත්කින් බැලූ විට, ජනාධිපතිවරයාට නීතියේ රැකවරණය සහිතව සිය අත්තනෝමතිකත්වය ක්‍රියාත්මක කිරීම පිණිස උපදෙස් දීම දැන් සිදු කරන්නේ, ජනාධිපතිවරයා අත්තනෝමතිකයැයි කියමින් සිටි පුද්ගලයා වන අශෝක ද සිල්වා මහතා  විසින්මය.

දැන් අප විසින් කියවා ගත යුතු හා තේරුම් ගත යුතු තවත් දෙයක් ඇත. එනම්, විශ්‍රාම යාමෙන් පසු ඩනාධිපතිවරයාගේ උපදේශක තනතුර ලබන්නට තරම් විධායකයේ විශ්වාසය දිනා ගැනීම පිණිස, ධුරය දරන විටදී අශෝක ද සිල්වා මහතා ඊට අදාල පදනම සපයා ගත් බවයි. එමගින් පෙනී යන්නේ, අගවිනිසුරුවරයා ලෙසින් කටයුතු කරමින් සිටියදී අශෝක ද සිල්වා මහතා කටයුතු කොට ඇත්තේ නීතියේ ආධිපත්‍යය හෝ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි සැලකිලිමත් වීමට වඩා, විධායකයේ හිත දිනා ගැනීමේ අරමුණින් බවයි. විශ්‍රාම යාමෙන් පසු ආණ්ඩුවේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන්, අශෝක ද සිල්වා මහතා ඔහු දරමින් සිටි අගවිනිසුරුකම කැප කළේ හෝ පාවිච්චි කළේ දැයි දැන් සැකයක් මතු වෙමින් පවතියි. ඉතිහාසයේ කිසිම අවස්ථාවක, විශ්‍රාමික අගවිනිසුරුවරයෙකු විසින් නිර්ලජ්ජිත ලෙසින් මෙවැනි දේශපාලන පත්වීමක් භාරගෙන නොමැත. උදාහරණයකට හෝ ගත හැකි එකම සිද්ධිය නම් සුප්පයියා ශර්වානන්ද අගවිනිසුරු තුමන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය භාර ගැනීම පමණයි. නමුත්, අශෝක ද සිල්වා මහතා භාර ගෙන ඇත්තේ ඊට වඩා දේශපාලනීකරණය වූ - දේශපාලනික වශයෙන් අන්තවාදී විය යුතු ජනාධිපති උපදේශක තනතුරකි.


ඇත්ත වශයෙන්ම මේ වන විට සිදු වෙමින් පවතින මෙවැනි නරක පූර්වාදර්ශයන් වහාම නැවතිය යුතු වෙයි. එසේ නොවුනහොත් අනාගතයේ පත්වන සියලු අගවිනිසුරුවරුන් හා විනිසුරුවරුන් පවා, ගෞරවනීය විශ්‍රාම ජීවිතයකින් තොර වන දේශපාලනික ප්‍රභූ චරිතයක්ව විශ්‍රාම දිවිය ගත කිරීමේ සිහිනය සැබෑ කරගනු පිණිස ස්වකීය ධුරයන් හි කටයුතු මෙහෙයවනු ඇත. එමගින්, සිදු වන්නේ අධිකරණයේ ස්වාධිනත්වය පමණක් නොව අධිකරණය පිළිබද ඇති විශ්වාසය හා නීතියේ ගෞරවය අමු අමුවේ එකිනෙකාගේ දේශපාලනික සිහින වෙනුවෙන් කැප කිරීමයි. විශ්‍රාම යාමෙන් පසු ඉතාම ඉහළ වැටුපකට හා වෙනත් වරප්‍රසාදයන්ට හිමිකම් කියන අගවිනිසුරුවරයන්ට එසේ හිමි කර දෙනු ලැබ ඇත්තේ, වෙනත් වරදාන හා වරප්‍රසාද කෙරෙහි සිත් පහල වීමෙන් මුදවා ගැනීමටයි. නීතිය සම්බන්ධ ස්වාධින කොමිෂමක් හෝ වෙනත් ලාභ නොලබන ජාත්‍යන්තර තනතුරක් දැරීමට හිමිකම් පවරා දී තිබුණ ද මෙවැනි සර්ව දේශපාලනික තනතුරක් වෙනුවෙන් පත්වීම විශ්‍රාමික අගවිනිසුරුවරයෙකුගෙන් කිසිසෙත්ම අපේක්ෂා නොකරයි. එහෙයින්, අශෝක ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාගේ නීති උපදේහක තනතුර භාරගනිමින් සිදු කොට ඇත්තේ, අපකීර්තිමත් සම්ප්‍රදායක් වෙනුවෙන් මූලාරම්භය සැපයීමකි. එසේම, පූර්වාදර්ශයක් සැපයීමයි. එහෙයින්, අධිකරණයට හෝ නීතියේ පැවැත්මට අඹමල් රේණුවක හෝ ගෞරවයක් හෝ එසේ සිදු විය යුතු යැයි විශ්වාස කරන්නේ නම්, අශෝක ද සිල්වා මහතා විසින් ම තමන් ඇරඹූ මෙම අපකීර්තිමත් හා නිර්ලජ්ජිත සම්ප්‍රදායට නැවතුම් තිත තැබිය යුතු වෙයි. එහෙයින්, අධිකරණයේ විනිසුරුවරුන්ගේ ගෞරවය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය හා වෙනත් ගෞරවනීය දේ තහවුරු කිරීම පිණිස, ඔහු විසින් භාර ගෙන ඇති ජනාධිපති නීති උපදේහක තනතුරින් ඉල්ලා අස් විය යුතු වේ යැයි යෝජනා කරමි. එය එසේ නොවන්නේ නම්, ඉතිහාසයේ පහළ වූ විධායකයේ අතකොළුවක් බවට අධිකරණය පත් කරමින් වෘත්තීය ආචාරධර්ම දුරාචාරයේ පිළිකන්නට ඇද දැමූ සිය පුරෝගාමියා වූ ඉතිහාසයේ පහළ වූ නිර්ලජ්ජිතම හා නීතිය යනු තමන්ට සිතෙන දේ යැයි සිතා සිටි සරත් එන් සිල්වා මහතා අභිබවන තරමේ නිර්ලජ්ජිත පුද්ගලයෙක් බවට පත්වීමට ඉඩ තිබේ. පුද්ගලිකව එවැන්නක් අශෝක ද සිල්වා මහතාට ‘OK‘ වුව ද නීතියේ පැවැත්ම හා අධිකරණයේ ගෞරවය වෙනුවෙන් එය  ‘OK‘ නොවන්නේය. ඓහිය්න් යළිදු කියමි. අධිකරණයේ හා විශ්‍රාමික අගවිනිසුරුවරයා ය යන ගෞරවය තහවුරු කරගිනිමින් ජනාධිපතිවරයාගේ නීති උපදේශක තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් යෙහෙකි.

Friday, June 17, 2011

ජූලියන් අසාන්ජ් වෙනුවෙන් - පෙනී සිටිමි

පසුගිය වසර පහක් තිස්සේ හරි හැටි ලිපිනයක් පවා නොතිබුණු, ජූලියන් අසාන්ජ් අද වන විට සමාජය ඉදිරියේ ප්‍රශ්නකාරී මිනිසෙක් වී සිටිනවා සේම කතිකාවක් නිර්මාණය කළ මාධ්‍යකරුවෙක් වී සිටිනවා දැක්ක හැකිය. අසාන්ජ් ගේ ජාතිය - පැවැත්ම - කුලය හෝ භාෂාව ආදී වන සමාජය විසින් හැල්මේ ප්‍රශ්න කරමින් සිටින පුද්ගලිකත්වය හෝ අසාන්ජ්ගේ මාධ්‍යවේදී නොවන භූමිකාව පිළිබද ම විසින් හදාරා නැත්තෙමි. මා විසින් එසේ නොකරනු ලබන්නේ, අසාන්ජ්ගේ පුද්ගලික ජීවිතය හැදෑරීමට කල් වෙහෙසීම මගින්, මාධ්‍යකරුවා ලෙස අසාන්ජ් හැදෑරීමට ඇති කාලය මිඩංගු කිරීමට මම නොකමැති නිසාය. සරලව කියමි. ප්‍රියංකා චෝප්‍රාට අනියම් පෙමක් තිබෙන බව දැන ගැනීමට තරම් මට කැසිල්ලක් නැත. නමුත්, කලාව කියවීම පිණිස ප්‍රියංකාගේ රංගනය හැදෑරීමට මට කැසිල්ලක් ඇත. අසාන්ජ් සම්බන්ධයෙන් ද මට ඇත්තේ එවැනි අදහසකි. නමුත් තවද කියමි, මාධ්‍යකරුවා ලෙස අසාන්ජ් කියවීමේදී අත්‍යාවශ්‍යෙයන්ම කියවිය යුතු දේ අතිශය පුද්ගලික හෝ වේවා, ඒවා හැදෑරීම පිණිස ම විසින් අසාන්ජ් භාවිත කරමි.

අසාන්ජ්ගේ මවගේ දෙවෙනි විවාහයේ පියා විසින් අසාන්ජ් හදුන්වා දෙන්නේ - හොද සහ නරක පිළිබද සියුම් සංවේදී තීව්‍ර වූ දරුවෙක් - ලෙසයි. ඒ කතාව කියන විට අසාන්ජ් වයස පහ හෝ හය ඉක්මවූවා පමණි. අසාන්ජ් යනු, මිනිසා විසින් මිනිසා පීඩනයට පත් කිරීම පිළිබද තමා විසින් දැඩි නොකමැත්තක් දක්වන්නෙක් - සිය සුළු පියා අසාන්ජ් වැඩිදුර කියවයි. අසාන්ජ්ගේ ජීවිතයට සමාජ පන්නරය ලබා දෙන්නේ, අසාන්ජ්ගේ මවගේ අවිචාරවත් දිවි පැවැත්මයි. ඕ නිරන්තරයෙන් විවාහ වූවාය. එසේම, නිරන්තරයෙන් වාසස්ථාන මාරු කළාය. එසේම, අසාන්ජ් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම පිණිස ‘ගෘහස්ථ පාසල‘ ද සමග පාසල් තිස් හතකට (37)  අසාන්ජ් ඇතුළත් කොට තිබේ. අසාන්ජ් සිය ජීවිතය පුරා එකිනෙකින් වෙනස් වූ නගර පනහක ජීවත් වූවෙකි. ලෝකයේ හැම දේශාංශයකින්ම හෝ කලාවකින්ම එකිනෙකට වෙනස් සමාජයක් හා හැසිරීම් සහිත සමාජයීයයන් බිහි කරන හෙයින්, අසාජන්ජ් විසින් ආශ්‍රය කරනු ලබන මිනිසුන් විසින් අසාන්ජ් පෝෂණය කරනු ලැබ ඇතැයි කිව හැකිය. මවගේ අසංස්කෘතික හැසිරීම හා සංක්‍රමණයන් නිසා මහත් පීඩාවට හා වෙහෙසට පත් වන අසාන්ජ් මිනිස් සිතෙහි වේදනාව හා පීඩනය පිළිබද යම් ප්‍රමාණයක වැඩි අවබෝධයක් ලබා ගැනීමට සමත් වූවා විය හැක.

මැක්සිම් ගොර්කි ලියා ඇති පරිදි, අයාලේ ගිය එකාගේ සරසවිය වන්නේ මහා සම්මත සමාජයයි. දේශන ශාලාවක ඇති සීතල කරනු ලැබූ - කුෂන් පුටු හෝ ප්‍රොජෙක්ටර් මගින් කෙරෙන විධිමත් අධ්‍යාපනයෙන් ලගා කරගනු ලබන වේදිකාවේ කැමරාවක් ඉදිරියේ සිනහසෙමින් පළදින උපාධි ලෝගුවෙන් හිමි වන දේට වඩා බොහෝ දේ සමාජය විසින්, අපේ ඇදි වත පවා සොරකම් කරමින් සිටිමින් අපිට උගන්වයි. බුදුන් - ජේසුන් - අල්ලා සේම වෙදා - ඇදුරා - පෙරකදෝරුවා - ඉංජිනේරුවා වැන්නන් ද දෙමළා - සිංහලයා - මුස්ලිම්කාරයා යන සියලු දෙනා සමග හොරා සහ උපාසකයා ද එකට සැරි සරන්නේ ගඩොල් බිත්තියෙන් මායිම් නොවූ සමාජ සරසවිය තුළයි. එහෙයින්, කිසිදු න්‍යායික හෝ සෛද්ධාන්තික විධිමත් අධ්‍යාපනයක් නොමැතිව හැදෑරීම හා කියවීම තුළින් පමණක් මාධ්‍යකරුවෙක් බවට පත් විය. 

අසාන්ජ් වසර 2006දී බ්ලොග් අඩවියක් ආරම්භ කළේය. එම වසරේදී අසාන්ජ් විසින් තිසීස දෙකක් ලියමින්, අසාන්ජ්ගේ සමාජ කියැවීම අරඹයි. එහිදී පළමුව අසාන්ජ් විසින් සාකච්ඡා කරනු ලබන්නේ ‘රෙජීමයේ මුහුණත වෙනස් නොකරමින් සිට, පවත්නා තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට රෙජීමය මෙහෙයවනු ලැබීම‘ පිළිබදවයි. මේ හරහා විකිලීක්ස් හා අසාන්ජ් පිළිබද යම් ප්‍රමාණයක කතිකාවක් නිර්මාණය විය. අසාන්ජ් සතුව ‘මීඩියා අයිඩෙන්ටියක්‘ නොවීය. සාදයකදී හෝ මහමගදී අයෙක් වෙත දීමට ‘විසිටින් කාඩ්‘ එකක් නොවීය. ඊ-මේල් (විදුලියනයක්) එකක් හා ‘ෆේස්බුක් ඉඩමක්‘ පමණක් අසාන්ජ් ඔහුගේ නමින් අත්පත් කර ගත්තේය. අඩි අට-දහය කාමරයක හැඩිවී ගිය මේසයක් උඩ තබා තිබූ ‘ලැප්-ටොප්‘ පරිඝණකයක් හා ඩොන්ගලයක් මානාගෙන, තොරතුරු දඩයම ඇරඹූවේය. ඇතැම් දේ සම්බන්ධයෙන්, අසාන්ජ් බරපතල ලෙස විවේචනය විය. දෝෂදර්ෂණයට ලක් විය. එපමණකින් නොනැවතුනු අසාන්ජ්ට එරෙහි උපහාස හා අපහාස සුනාමි ද ඇති විය. සියල්ල අසාන්ජ් විසින් විද දරාගෙන සිටින්නේ, අසාන්ජ් අනෙකා අභිබවමින් හෝ අභිබවා සිටින නිසාය. අසාන්ජ්ට පෙණෙන සීමාව හෝ අසාන්ජ්ට ඇසෙන සීමාව අනෙකාට ගෝචර නොවීය. විටෙක අසාන්ජ් ‘ගොන් පාට්‘ කාරයෙක් වූ අතර, විටෙක ‘පිස්සෙක්‘ විය. නමුත් මේ සියල්ල ගෝර්කිට අනුව, අසාන්ජ්ගේ සරසවියේ දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් හෝ විද්‍යාගාර පර්යේෂණ විය. 

‘වානේ පන්නරය ලබන්නේ තලන තලන තරමට‘ යැයි ‘වානේ පන්නරය ලැබූ හැටි‘ කෘතියෙහි පෙරවදනෙහි ලියයි. සියල්ල මතින් ලබා ගත් පන්නරය හරහා, ජූලියන් අසාන්ජ් විසින් විකිලීක්ස් නමින් ඩොමේන් නෙම් (Wiki-leaks - Domain Name) එකක් ලබා ගනිමින්, සිය ක්‍රියාන්විතය අරඹයි. ඇතැම් පුවත්පත් විසින් අසාන්ජ් යනු විකිලීක්ස්හි නිර්මාතෘවරයා හෝ අධ්‍යක්ෂවරයා ලෙසින් හදුන්වනු ලබන විට අසාන්ජ් තම භූමිකාව පිළිබද දරන්නේ ඊට හාත්පස මතයකි - මා ම විසින් මා නිර්මාතෘවරයා යැයි හදුන්වා ගැනීමට නොකමැත්තෙමි. ( "I don't call myself a founder"). ඒ සදහා අසාන්ජ් විසින් ප්‍රගතිශීලී සහේතුකකිරීමක් සිදු කොට ඇත - ම විසින් සිදු කරනු ලබන කාර්යය තවත් සහෝදර මාධ්‍යකරුවන් කිහිප දෙනෙකුගේ වෙහෙසක ප්‍රයත්නයන් වන්නේය. එහෙයින්, ම විසින් මා නිර්මාතෘවරයා යැයි කියා ගැනීම අසංස්කෘතික වේ. අසාන්ජ් විසින් මාධ්‍යකරණය සම්බන්ධයෙන් නව ප්‍රවණතාවක් හෙවත්, න්‍යායක් හදුන්වා දුන්නේය. මාධ්‍යකරණය තුළ ‘විනවිදශීලී‘ සහ ‘විද්‍යාත්මක‘ ප්‍රවේශයක් අසාන්ජ් විසින් නිර්මාණය කළේ යැයි කිව හැක.

තමාගේ හෝ හැකිනම් අනෙකාගේ නිර්මාණයක හිමිකාරීත්වය හෝ ගෞරවය තමා සන්තක කර ගැනීමේ දැඩි අරගලයක් කරමින් සිටින වැඩි පිරිසක් හමුවන හා දක්නට-අසන්නට ඇති තත්ත්වයකදී හා කාලයකදී, අසාන්ජ් නිරන්තරයෙන් පුද්ගලිකත්වයෙන් තොර වූ පොදු හිමිකමක් වෙනුවෙන් අරගල කරයි. අසාන්ජ් විසින් ආදරයෙන් හදා වඩා ගනු ලබන්නේ ‘ජූලියන් අසාන්ජ්‘ නම් වූ ඒක පුද්ගල කීර්ති නාමය නොව. ‘විකිලීක්ස්‘ නම් වූ පොදු සමාජ වස්තුවේ කීර්තිනාමයයි. නමුත්, අසාන්ජ්ගේ පුද්ගල කීර්ති නාමය වැඩි වර්ධනය වෙයි. නිර්මාණ හෝ වාර්තා හෝ විකිලීක්ස් හි වෙනයමක් වෙනුවෙන් හිමි වන ගෞරවය අසාන්ජ් විසින්, විකිලීක්ස් හි සියලු දෙනා සමග ආදරයෙන් සමව බෙදා ගත්තේය. නමුත්, එරෙහිව එන අභියෝග අවලාද අපහාස හෝ එන්තරවාසි වෙනුවෙන් ලිපිනය හෝ විත්තිකාරීත්වයේ නාමය පිරිනමණු ලබන්නේ අසාන්ජ් විසිනි. පොදු සමාජයක් වෙනුවෙන් පෙනී සිටින අසාන්ජ්, පොදු සමාජය වෙනුවෙන් විත්ති කූඩුවේ සිට පිළිතුරු දීමට සූදානම් විය. අද වන විට අසාන්ජ්, ‘ඉලක්කයක්‘ වී ඇත්තේ අසාන්ජ්ගේ පොදු සමාජ පෙනී සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. 

මාධ්‍යකරණය පිළිබද අසාන්ජ් නියම පොරක් වීම කෙරෙහි ස්වභාවික මූලාරම්භය තබන්නේ, 2008 දී සිදුකරනු ලබන ‘ගුවන්තනාමෝ බේ‘ සිර කදවුරේ සිද්ධී වාර්තාකරණයක් හා 2007 ජූලි 12 වෙනිදා සිදු කරනු ලැබූ ‘බැග්ඩෑඩ් ගුවන් ප්‍රහාර‘ වීඩියෝ පටය හරහායි. වසර 2006 දී ‘කවුන්ටර්-පන්ච්‘ (CounterPunch) පුවත්පත විසින් අසාන්ජ් පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. එනම්, අසාන්ජ් යනු, ‘ඔස්ට්‍රේලියාවේ සිටි දැවැන්තම හදුනා නොගත් හැකර් අසානජ්ය‘. දි ඒජ් (The Age) දිනපතා පුවත්පත විසින් අසාන්ජ් හදුන්වා දෙනු ලැබූයේ, ‘අන්තර්ජාල නිදහසක් වෙනුවෙන් සන්නද්ධ සටන්කරුවා‘ යනුවෙනි. අසාන්ජ්ට අනුව, අසාන්ජ් යනු - ‘ආත්මාර්ථකාමියෙක්‘

අසාන්ජ් ආත්මාර්ථකාමියෙක් වන්නේ සියලු මාධ්‍යකරුවන් ‘රෙජීමයට සාපේක්ෂව ආත්මාර්ථකාමී විය යුතු වන්නේය‘ යන අදහසින් යැයි මා අනුමාන කරමි. අසාන්ජ් කිසි විටෙක පොදු සමාජයේ සාධාරණත්වය හා  සුරක්ෂිතතාවය වෙනුවෙන් කරනු ලබන පෙනී සිටීම කිසිවෙක් වෙනුවෙන් කැප නොකළේය. පාවා නොදුන්නේය. එසේ, කරමින් නොසිටින්නේය. ‘ඕක ලියන්න එපා‘, යැයි අණ කර සිටීමකට හෝ ඉල්ලා සිටීමකට තබා කාරුණික ඉල්ලීමකට පවා අසාන්ජ් අවනත නොවීය. ‘ජීවිතේ ගැන හිතපං‘ වැනි මිත්‍රෙව්ශ තර්ජන පවා අසාන්ජ් නැවතීමන සමර්ථ නොවීය. ‘බඩු කාරයෙක්‘ හෝ ‘කොල්ලො කාරයෙක්‘ යන අන්ත නිර්ලජ්ජිත ක්‍රියාවන් පවා පාවා දෙමින් අසාන්ජ් නැවතීමට ගත් ප්‍රයත්නයන් සාර්ථක නොවිණි. අවසානයේදී, ‘උපත් පාලන කොන්ඩමයක් භාවිත නො කරමින් රමණය කිරීම‘ යන්න විසින් අසාන්ජ් සිරගත කිරීමට සමත් වුව ද අසාන්ජ් එයට ද අවනත නොවීය.

අසාන්ජ් මාධ්‍යවේදියෙක් ලෙස පිළිගැනීමට කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ඕස්ට්‍රේලියානු රජයද හැර කිසිදු රජයක් මෑතක් වන තෙක්ම සූදානම් නොවීය. එසේ වූයේ, අසාන්ජ්ගේ හෙලිදරව්වන් හෝ වාර්තාකරණයන් පිළිබද ‘අදහාගැනීමට‘ කිසිවෙක් සමත් නොවීම හා ‘දිරවා ගැනීමට අපහසු වීම‘ය. නමුත්, අසාන්ජ් ‘ද ක්‍රයි ඔෆ් බ්ලඩ්‘ ලිපිය වෙනුවෙන් ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්‘ නම් රාජ්‍ය නොවන සංවිධානයකින් ‘නව මාධ්‍ය සංවිධාන සම්මානය‘ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් 2008 දී ලබා දෙමින් යම් ප්‍රමාණයක අගැයීමකට ලක් වෙයි. අසාන්ජ්, ගවේෂණශීලී මාධ්‍යවේදියෙකු ලෙස පිළිගනු ලබන්නේ, Center for Investigative Journalism විසිනි. අසාන්ජ් නමට පූර්විකා කියවමින් ප්‍රධානය කරනු ලැබූ සම්මාන ද රාශියකි. TIME සගරාව මගින් පැවැත්වූ මත විමසුමක් මගින් වසරේ සම්මානනීය පුද්ගලයා ලෙස, 2010 දී ‘සෑම් ඇඩම්ස් සම්මානය‘ ලබා දුන්නේය.


අවසන ලියමි. මගේ කියැවීමට අනුව ජූලියන් අසාන්ජ් යනු, පොදු සමාජය හෙවත් ‘සරසවියේ මිතුරන් හා ඇදුරන් වෙනුවෙන් සංවේදී‘ වූ මිනිසෙකි. ඔහු කීර්තිය හෝ ලාභ අපේක්ෂාවෙන් යතුරු ලියනය නොකළේය. ‘හැක්‘ කිරීමට දරණ සෑම ප්‍රයත්නයම ‘ආතල් ගැනීම‘ නැමති පටු අරමුණින් එහා ගිය අනෙකක් වෙනුවෙන් කළ එකකි. සෑම අකුරක්ම අසාන්ජ් පිළිවෙළින් ලියනු ලබන්නේ, ‘හොද මිනිහෙක්‘ වීම හෝ ‘ඇග බේරා ගනිමින් සම්මාන ගැනීම‘ යන අරමුණු යටි හිතේ තබා ගනිමින් නොවේ. අසාන්ජ් විසින් සම්මාන ප්‍රධාන උත්සව හෝ සම්මාන වෙනුවෙන් කිසිදු අයදුම්පතක් යොමු කළ බවකට සාක්ෂි හමු නොවෙයි. එහෙයින්, ‘මීඩියා අයිඩෙන්ටියක්‘ හෝ සාදයකදී - මහමගදී අයෙක් වෙත දීමට ‘විසිටින් කාඩ්‘ එකක් හෝ නොමැතිව ඊ-මේල් (විදුලියනයක්) එකක් හා ‘ෆේස්බුක් ඉඩමක්‘ පමණක් ඔහුගේ නමින් අත්පත් කර ගනිමින් අඩි අට-දහය කාමරයක හැඩිවී ගිය මේසයක් උඩ තබා ගත් ‘ලැප්-ටොප්‘ පරිඝණකයක් හා ඩොන්ගලයක් මානාගෙන, බ්ලොග් අඩවියක් හරහා තොරතුරු දඩයම ඇරඹමින් අද වන විට, ‘යුක්තිය වෙනුවෙන් කෑ මොර දීමේ වරද‘ට ‘ඉලක්කයක්‘  වීම දක්වා දුර ගමනක් ගිය හා අනන්තයට මෙපිටින් නවතින්නේ කොතැනදැයි නිසි අනාවැකියක් කිව නොහැකි තැනක් දක්වා යමින් සිටින, ‘අප සමාජය වෙනුවෙන් පෙනී සිටින‘ මිනිසා වන ජූලියන් පෝල් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටිය නොයුත්තේ ද.