Thursday, October 27, 2011

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු දෙකක් ද

ලියුම්කරුවා විසින් මෙහි ලියා ප්‍රකාශයට පත්කළ අවසන් ලිපි තුන මගින් පශ්චාත්නූතනවාදය පිළිබද මූලික කියවීමක් සිදු කළ අතරම පසුව පශ්චාත්නූතනවාදයේ එක් ප්‍රධාන සංධිස්ථානයක් වන පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය ගැන කථා කොට ඇත. අදාල ලිපි සම්බන්ධයෙන් මධ්‍යම පරිමාණයේ ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව දක්නට ලැබුණු විට පශ්චාත්නූතනවාදය පිළිබද සමාජ කුකුසක් තවමත් පවතින බව දක්නට ලැබේ. එසේම, ඒවායින් තහවුරු වන තවත් දෙයක් ඇත. එනම්, මෙතෙක් කාලයක් පශ්චාත්නූතනවාදය යනු ආභරණයක් හෝ වාග් මාලාවේ සුන්දරත්වය ඩැහැගැනීම පිණිස හැදෑරීමකින් තොරව කියවමින් සිටි සිද්ධාන්තයක් බවයි. එහෙයින්, ප්‍රතිචාර දක්වන්නන් විසින් අසමින් සිටින ප්‍රශ්න කිහිපයකි. මෙම ලිපිය අදාල එක් ප්‍රශ්නයකට පිළිතුරු දීම පිණිස ද තවත් පශ්චාත්නූතවාදී න්‍යායේ පැහැදිලිකිරීමක් සිදු කිරීමට ද යොදා ගනිමි.

යළිදු කියමි. මෙම ලිපි මගින් පශ්චාත්නූතනවාදයේ ගැඹූරු තැන් හෝ අදාල න්‍යාය පරම වශයෙන් සාකච්ඡා කිරීමක් සිදු නොකරමි. සිදුකරමින් සිටින්නේ, ඒ පිළිබද යම් මාර්ගෝපදේශ සැපයීමක් පමණි. යම් පුද්ගලයකු පශ්චාත්නූතනවාදය පිළිබද ගැඹුරු හැදෑරීමකට රුචියක් දක්වන්නේ නම් ඒ පිළිබද අවශ්‍ය සම්පත් දායකත්වය හා න්‍යායික මගපෙන්වීම් ලබා දීමට මෙන්ම අවශ්‍ය විටකදී ඒ සදහා උචිත උදවිය සොයා දීමට ද හැකි පමණ යොමු විය හැකි බව මෙහිලා සදහන් කරමි. මේ පිළිබද යමෙක් සංවාදයට සූදානම් නම් - දැනුම බෙදා ගැනීමේ හා න්‍යායික පැහැදිළිකරගැනීම් කරගැනීම හා බුද්ධි කලම්භනය සදහා සුහද සංවාදයක පවා පාර්ශවකරුවකු වීමට කැමැත්තක් දක්වන බව ද  කියමි.

අද සවස මා ෆේස්-බුක් ඔන්ලියින් ඉන්නා විටක, මගේ කාලාන්තර මිතුරකු හා මා උගත් පාසලේ ජ්‍යෙශ්ඨයකු වූ සගයකු විසින් ප්‍රශ්නයක් ඇසීය. “මල්ලි උඹ නූතනවාදියෙක් ද“ මම ඔහුට ලබා දුන් පිළිතුර වූයේ “නැහැ. මම පශ්චාත්නූතනවාදියෙක්“ යන්නයි. එවිට ඔහු පෙරළා ප්‍රශ්න කරමින් සිටියේ, “නූතනවාදය හා පශ්චාත්නූතනවාදය අතර වෙනසක් තියනව ද“ යන්නයි. මෙම ලිපියි අදාල පිළිතුරු දැක්වීම පිණිස අවකාශ කර ගැනීමට කල්පනා කළෙමි.

ලෝකයේ බොහෝ පශ්චාත්නූතනවාදී වියතුන්ට අනුව, පශ්චාත්නූතනවාදය අර්බුදයට ලක්වන අවස්ථාවන් කිහිපයක් ඇත. එනම්, නූතනවාදය හා පශ්චාත්නූතනවාදය යන න්‍යායන් දෙකෙහි වෙනසක් ඇති ද - ඇතිනම් ඒ කවරාකාරයෙන් ද යන ගැටළුව විසදීමය. දෙවැන්න නම්, පශ්චාත්නූතනවාදය කුමන කැටගරියේ න්‍යායක්ද යන්න වෙන් කර ගැනීමයි. එනම්, ආගමක් ද - දර්ශනයක් ද - එසේත් නැතිනම් වෙනත් යමක් ද මෙහිදී ප්‍රශ්න කෙරේ. සමලිංගිකත්වය හා ස්ත්‍රීවාදය ද ඇතුළු ලිංගික කරුණු සම්බන්ධයෙන් වන පශ්චාත්නූතනවාදී සංකල්පයන් පිළිබද පොදු සමාජයේ නොපැහැදිලි අදහසයි. මෙහිදී, අද වන විට මා හට පිළිතුරු දීමට සිදුව ඇත්තේ ද මෙහි පළමු හා සුලභ ප්‍රශ්නය වන පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු එකක් ද - නැතිනම් දෙකක් ද යන ගැටළුවටයි. 

පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු කාලරේඛාවකින් හෝ ඉරකින් පෙර හා පසු වශයෙන් වෙන්කළ හැකි කාල දෙකකට අයත් සිද්ධීන් දෙකක් නොවන බව පළමුවම කිව යුතු වේ. එසේ, රේඛාවකින් වෙන් කර දැක්වීම කිසිලෙසකින්වත් පහසු නොවේ. පශ්චාත්නූතනවාදීන් විසින් කියනුයේ සමාජ සබදතා පරමාණුක බවයි. සමාජය පරමාණුක බව පශ්චාත්නූතනවාදීන්ගේ පමණක් නොව සෙසු සමාජ විද්‍යාඥයින්ගේ පවා මතයයි. එසේනම්, පශ්චාත්නූතනවාදයේ පරමාණුක සංකල්පය හා සෙසු දේ වෙනස් වන්නේ කෙසේදැයි ප්‍රශ්නකිරීමකට ලක්විය හැක. එසේම, පරමාණුක ස්වභාවයෙන් භාහිරට පෙනෙන්නට ඇති මානව සබදතා අභ්‍යන්තරයේදී විඝටනය වෙමින් තිබෙන බව පොදු න්‍යාය තුළදී මෙන්ම පශ්චාත්නූතනවාදී සමාජය තුළදී ද දක්නට ඇත. එය විශේෂිත පශ්චාත්නූතනවාදී පැහැදිළි කිරීමකට පමණක් අයිති නොවේ.

පශ්චාත්නූතනවාදය පැහැදිළි කිරීමේදී, ජනමාධ්‍ය විසින් හෝ වෙනත් දෙයක් මගින් වසගයට ලක් කිරීම හෝ ඩැහැගැනීම බොහෝ විෂයන් තුළ සිදුවන බව කියයි. පශ්චාත්නූතනවාදී ජනමාධ්‍ය යනුවෙන් අප විසින් පවා සාකච්ඡා කරනු ලැබ ඇත්තේ එයයි. සියල්ල වසගයට ලක් වීමේ ප්‍රමාණය මත තීරණය වන බව එහිදී කියා ඇත. එනම්, ජනප්‍රියත්වය හා ප්‍රාග්ධනය හමුවේ සියල්ල තීරණය වන බවත් සත්‍යය පවා තීරණය කරනු ලබන්නේ අර්ථපතීත්වයක් මගින් බව මෙහිදී සාකච්ඡා කරයි. නමුත්, නූතනවාදීන්ට අනුව මෙම අදහස නූතනවාදීන් තුළ ද ඇත. එනම්, සියල්ල තීරණය වන්නේ ධනය හා බලය මත යැයි කියනු ලබන පොදු සමාජ කියමන මගින් අදහස් කරන්නේ ද මෙයමැයි ඔවුහු කියති. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය විසින් කියනු ලබන වෙනස තව ද වෙන් කර ගැනීමට නොහැකි වීම සාධාරණය.

සාහිත්‍ය විචාරකයිනට අනුව, පශ්චාත්නූතනවාදී සාහිත්‍යයේදී සාකච්ඡා කරනු ලබන සිනමාවේ, කළාවේ හෝ වෙනයම් සාහිත්‍යයක ලක්ෂණ නූතනවාදීන් විසින් ද එලෙසින් ම පැහැදිළි කරන්නේ යැයි යන්න නූතනවාදීන්ගේ අදහසයි. සරලවම කියන්නේ නම්, ඔවුන් කියන පරිදි සිනමාව-කළාව හා සාහිත්‍ය වැනි දේ තුළද පශ්චාත්නූතනවාදය නූතනවාදය යනුවෙන් දෙකක් වෙනම දැකීම අසීරුය. දක්නට ඇත්තේ නාමික න්‍යායන් දෙකකින් ඉදිරිපත්වන එක හා සමාන දේ ය. මචාලේ බ්‍රයන් විසින් රචිත පශ්චාත්නූතනවාදී ප්‍රබන්ධ (පෝස්ට් මොඩර්න් ෆික්ෂන්) නම් කෘතියේදී ඔහු විසින් කියනු ලබන්නේ, යම් කෘතියක හෝ සාහිත්‍ය නිර්මාණයක - නූතනවාදී ලක්ෂණ හා පශ්චාත්නූතනවාදී ලක්ෂණ යන ද්විත්වයම ඇත්තේ නම්, එය විශේෂයෙන් පශ්චාත්නූතනවාදී යන කැටගරියකට දැමීම නුසුදුසුය. එය, නම් කළ යුත්තේ නූතනවාදී කෘතියක්ය යන නමින් පමණකි.  මෙහිදී විශේෂයෙන් යමක් කිව යුතු වේ. පශ්චාත්නූතනවාදය හා නූතනවාදය යනු නයා සහ අදුකොළ වැනි නිරන්තර අරගලයක යෙදෙන එකිනෙකට පටහැනි ද්විත්වයක් නොවේ. ඇතැම් විට සමානතා ද ඇතැම්විට විෂමතා ද පැවතිය හැක.  පශ්චාත්නූතනවාදී සංකල්ප තුළ සිදුවන්නේ නූතනවාදී අදහස් නව සමාජ සංස්ථාවක් වෙනුවෙන් ගැලපෙන පරිදි සංශෝදනය කොට වැඩි දියුණු කිරීම බව තේරුම් ගැනීමේ වරදක් නැතැයි කියමි. එසේම, පශ්චාත්නූතනවාදී සංකල්පයන් ගොඩනැගීම කෙරෙහි නූතනවාදී සංකල්පයන් උදව් වූ අතර පසුව අදාල නූතනවාදී අදහසට වඩා පෝෂණයෙන් ගොඩනැගුණු පශ්චාත්නූතව සංකල්පය වඩා දියුණු වූයේ යැයි කිව යුතුය. 

නමුත්, නීට්ෂේ හා හයිඩේගර් යන දෙදෙනාට අනුව නූතනවාදය යනු තවමත් සම්පූර්ණ නොවූ න්‍යායකි. එහෙයින්, නූතනවාදී අදහස් වැඩි දියුණු කිරීම යන දෑ සිදු කිරීමට හැකි නමුත්, එමගින් පශ්චාත්නූතනවාදය යනුවෙන් අලුත් යමක් ගොඩනැගිය නොහැකි වේ. ඔවුන්ට අනුව, නූතනවාදී අදහස් පශ්චාත්නූතනවාදය දක්වා දියුණු කිරීමට උත්සාහ කළ ඇතැමුන් නූතනවාදය තුළම හිරවී හෝ නැවතී ඇත. 

අවසාන වශයෙන් සරලව යමක් කිව හැකිය. පශ්චාත්නූතනවාදය යනු, නූතනවාදියා යම් දිනක යම් තැනකින් නවතින්නේ ද එතැනින් දශමයක් හෝ ඉදිරියට පෝෂණය වූ සංකල්පයකටයි. න්‍යායකටයි. අදහසකටයි. නූතනවාදයේ අවසානය අනන්තය නම්, පශ්චාත්නූතනයාදය යනු පශ්චාත්නූතනවාදය = නූතනවාදයේ අවසාන පැහැදිළි කිරීම (නූතනවාදී අනන්තය) + 1 යන සමීකරණයටයි.

5 comments:

Anonymous said...

//පශ්චාත්නූතනවාදීන් විසින් කියනුයේ සමාජ සබදතා පරමාණුක බවයි.

මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලිකර දියහැකි නම් ස්තුතිවන්ත වෙමි

Thela | තෙලා said...

කෙටි පැහැදීම - ස්ංස්ථාවන් සියල්ලම පාහේ තවදුරටත් වෙන් කළ නොහැකි තරමටම කේන්ද්‍රීය වී ඇති අතර කිසි ලෙසකින්වත් විඝටනය කළ නොහැකි තරමටම එකිනෙක බැදී පවතියි. කළාව, හොද හෝ නරක කළාවක් යනුවෙන් දෙකක් නැත. ඇත්තේ, එසේ රේඛාවකින් හෝ මායිමකින් වෙන් කළ නොහැකි සමස්ථයකි. සමාජ සබදතා සියල්ලම පාහේ එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි තරමටම බැදී පවතියි යන්නයි.

Anonymous said...

ස්තුතියි.

Anonymous said...

සමාජ සබඳතා පරමාණුකය යන්න පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම හා බැ‍දේ.
සියල්ල එකිනෙකින් වෙන් කල නොහැකි බව සමස්තයක් බව පෙරදිග ආගමික දර්ශණ වලද කියවේ. ඕනෑම දෙයක හොඳ හෝ නරක ලෙස දෙකක් නොවන බවද ඒවා තුළ කියවේ. අවසාන වශයෙන් "මම" යනුවෙන් තනි පුද්ගල ඒකකයක්ද නොපවතින බවත් ඒ "මම" විශ්ව සමස්තයක සාම්පලයක් පමණක් යන සරළ අදහස මේ දර්ශනයන් තුළින් ගම්‍යවේ.
ඒ අනුව පශ්චාත්නූතනවාදී සමහර අදහස් පැරැණි මූළාශ්‍ර හා දර්ශනයන් හරහාම ගොඩනැ‍ගී ඇති ලෙස පැවසූවොත්?

Thela | තෙලා said...

Ow eke wereddak ne. Mokada Paschath-noothanawadaya nirmanaya wenne nirapeksha nyayak hetiyata newei. A sandaha thawath awashesha upakaara una bawa eththa.