Thursday, June 9, 2011

ස්ත්‍රියගේ සටන ස්ත්‍රිය විසින් පාවා දීම හෙවත් ස්ත්‍රීවාදය

මේ ගත කරමින් සිටින කැලැන්ඩර දින එකකදී හෝ ස්ත්‍රිය හෝ  කාන්තාව පිළිබද යම් කියවීමක් වෙනුවෙන් හේතුවක් නැත. නමුත්, කාලයකදී ඉලිප්පී එන-තවත් කාලයකදී නිද්‍රාගත වන ස්ත්‍රිය හෝ කාන්තාව සමග ස්ත්‍රීවාදය හෝ කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබද හැදෑරීමකට මෙම නොනිමිත්ත නිමිත්තක් කර ගනිමි. එමගින්, ම විසින් ස්ත්‍රිය හෝ ස්ත්‍රීවාදය පිළිබද යම් හැදෑරීමක් කිරීමට අපේක්ෂා කරනු ලබන අතර ස්ත්‍රීවාදයට මුහුණ දීමට සිදුව ඇති ප්‍රායෝගික අර්බුදය සම්බන්ධයෙන් යම් කියවීමක් සිදු කිරීමට අපේක්ෂා කරමි. මා මේ අඛ්‍යානය දෙකඩ කරමි. පළමුව ස්ත්‍රිවාදය පිළිබද යම් සංශිප්ත හැදෑරීමක් ද දෙවනුව ආසියාතික හෝ දේශිය ස්ත්‍රියට ස්ත්‍රීවාදය පවත්වාගැනීම කෙරෙහි මුහුණ පෑමට සිදුව ඇති අර්බුදය පිළිබද යම් කියවීමක් සිදු කිරීමට අපේක්ෂා කරමි.

මාක්ස්වාදය, ලිබරල්වාදය හෝ වෙනත් දේශපාලනික න්‍යායන් හෝ සමාජ න්‍යායන් මෙන් නොව, ස්ත්‍රීවාදය යනු   සමාජ-දේශපාලන-ආර්ථික වේදිකාවන් තුළ ඍජුවම පූර්ණ අර්ථනිරූපණයකට ලක් නොවූ නිරුක්තිමය ගැටළු ගණනාවක් ඇති කළ සංකල්පයකි. ස්ත්‍රීවාදය පිළිබද මූලික සමාජ ආන්දෝලනය ඇති වන්නේ දහ අට වන සියවසය තරම් වන මෑත ඉතිහාසයේ ය. මේ සදහා පෙලඹවීම කරනු ලැබූ සහේතුකය වන්නේ පීතෘ මූලික සමාජ සංවිධානය විසින් අත්පත්කරගෙන සිටි දැඩි ආධිපත්‍යය බැව් ස්ත්‍රීවාදී ඉතිහාසය විසින් ලියා තබා ඇත. මෙමගින් යම් හැදෑරීමක් කිරීමට අපේක්ෂා කරනු ලබන්නේ ස්ත්‍රීවාදය - පුරුෂ මූලික සමාජය හෙවත් පීතෘ මූලික සමාජ සංවිදානය තුළදී විකාශනයට ලක්වීම හා එහි පැවැත්ම තහවුරුකර ගැනීම පිළිබදවයි.

ස්ත්‍රීවාදී කරුණු ස්වරූප හෙවත් කියැවීම් විධි දෙකක් ඔස්සේ කියවනු ලැබීම දක්නට ඇත. එකක්, පතිවෘත්‍රාව ධෛර්‍යමත් කිරීම මගිනි. අනෙක් විධික්‍රමය නම් දේහපාලනික නාරි මෛථූනය (Political Lesbianism) කෙරෙහි සැලකිළිමත් වීමයි. බෑන්ක් නැමැත්තෙක් විසින් ස්ත්‍රීවාදය යනුවෙන් සිය, ‘ෆේසස් එෆ් ෆෙමිනිස්ම්‘ පොතේ ලියා ඇත්තේ “නිදහස් පුද්ගලයින් ලෙස ඔවුන්ගේ පොදු ස්වභාවය සම්බන්ධයෙන් ස්ත්‍රිය, පිරිමින් හා සමාන වටිනාකමක් ලබා ගැනීම“ ලෙසයි. ස්ත්‍රීවාදය යනු “සමාජ-ආර්ථික-දේශපාලන අවස්ථාවන් හා තත්ත්වයන් හිදී පුරුෂයා සමග සමස්ථානයක් වෙනුවෙන් ස්ත්‍රිය විසින් කරනු ලබන අරගලය“ලෙස මෙහි සිදු කෙරෙන වැඩි දුර කියැවීම වෙනුවෙන් සංශිප්ත අදහසක් කැටි කරමි. අවසාන වශයෙන් එය “ලිංගික සාධාරණත්වය“ යන අදහසට සමාන වෙයි. මේ බව ‘ස්පෙෂල් ෆෙමිනිස්ම්‘ හිදී රැඩ්ක්ලිෆ් රිචර්ඩ්ස් විසින් තහවුරු කරනු ලැබ ඇත.

ස්ත්‍රීවාදය ප්‍රධාන අවදි තුනක් ඔස්සේ වෙන්කොට කියවීමට ස්ත්‍රීවාදීහු පුරුදුව සිටියි. ඉන් පළමු අවදිය, ස්ත්‍රීවාදයේ ප්‍රාරම්භක අවදියයි. දෙවැනි අවදිය, ඇරඹෙන්නේ 1960 ගණන්වලිනි. තෙවැනි හා අවසන් අවදිය 1980-90 දෙදශකය පදනම් කරගනිමින් වර්ග කරයි. නමුත් රැඩිකල්වාදීන් විසින් තෙවැනි අවදිය යනු, පශ්චාත් නූතන ස්ත්‍රීවාදී අවදිය ලෙසින් හදුන්වයි. පළමු අවදිය තුළ ස්ත්‍රිය ස්වකීය ඡන්ද බලය වෙනුවෙන් පුරුෂයා සමස්ථානයට පත්වීමට සටන් කළේය. මේ වෙනුවෙන් මධ්‍යම පංතික සම්ප්‍රදායික නොවන පිරිස් හා ආගමික ව්‍යාපාරයන් අනුග්‍රහ කළේය. ඒ හරහාම ස්ත්‍රිය නොවැලැක්විය හැකි ලෙස නිශ්චිත සමාජ විවාදවලට ධනාත්මකව හා බුද්ධිමය වශයෙන් ප්‍රගතිශීලීත්වයෙන් මැදිහත් විය. ඇමරිකානු අයිතිවාසිකම් ප්‍රකාශනයන් තුළ ස්ත්‍රිය - වලංගු වස්තුවක් බවට පත් වන්නේ මෙහි යම් ප්‍රමාණයක ප්‍රතිඵලයක් ලෙසිනි. ස්ත්‍රීවාදයේ දෙවෙනි අවදිය ඡන්ද බලය ඉල්ලා සිටීමේ ප්‍රමාණාත්මක බලපෑම් ඉක්මවමින් සාධනීය බලපෑමක් කිරීමට සමර්ථ විය. මෙහිදී කරුණු කිහිපයක් බලපෑවේය. අධ්‍යාපනයේදී ස්ත්‍රිය වෙනුවෙන් වන අවකාශ දිනා ගැනීම, රැකියා හා වැටුප් අයිතීන් මෙන්ම පුද්ගලික දේ වූ පුළුල් වූ උපත් පාලන ක්‍රමවේදයන් දිනා ගැනීම වැනි දේද එහි විය. (අද වන විට, ඉතිහාසයේ ළමයින් දහයක් හෝ එවැනි සංඛ්‍යාවක් සිටි පවුල් වෙනුවට ළමයින් දෙදෙනෙක් හෝ තිදෙනෙකුගේ උපරිමයක් වූ පවුල් නිර්මාණය වන්නේ ස්ත්‍රිවාදයේ දෙවැනි අවදියේදී ස්ත්‍රීවාදය විසින් අරගලයකින් දිනාගත් යමක ප්‍රතිඵලයක් ලෙසයි.) තෙවැනි අවදියේ ඉලක්කගත කාරණා ලෙස ස්ත්‍රීවාදයේදී සාකච්ඡා වූයේ ‘බහු දේශපානය‘ පිළිබද අයිතිවාසිකම්ය. කාන්තාව පාදක වූ සමාජ සංවිධාන, දේශපාලන ව්‍යාපාර, සමාජ ක්‍රියාත්මකවීම් සිදුවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ස්ත්‍රීවාදය පිළිබද රැඩිකල් අදහසක් පැවති බව අප විසින් කියවා ගත්තෙමු. එනම්, පශ්චාත් ස්ත්‍රීවාදී (post-feminism) අවදියයි. ඔවුන්ගේ අදහසට අනුව, ස්ත්‍රිය විසින් පළමු හා දෙවන අවදිවලදී සිය ඉලක්ක සපුරාගනු ලැබ ඇත. එහෙයින්, ස්ත්‍රිවාදයේ දිගු පැවැත්මක් තවදුරටත් වලංගු නොවෙයි.

ස්ත්‍රීවාදය, ආගමික මිථ්‍යාවන් කෙරෙහි ඍජු පහර එල්ල කිරීමට සමස් වූ දෙයක් විය. එමගින් ආගමික හා සමාජ මිථ්‍යාවන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරමින් යම් පුනර්ජීවයක් බිහි කළේය. එසේම, න්‍යශ්ඨික පවුල පිළිබද සංස්කෘතික සංකල්පයට දැඩි පහරක් එල්ල කරමින් වඩා නිදහස් වූ ලිංගික සම්බන්ධතා වෙනුවෙන් ස්ත්‍රීවාදය මං-පෙත් විවර කළේය. ස්ත්‍රීවාදය ද සමාජ න්‍යායයන් හරහා යම් හැදෑරීමකට ලක් විය. ලිබරල්වාදය තුළ ස්ත්‍රිය, පීතෘ මූලික සමාජයට එරෙහි අවියක් ලෙස භාවිත කළේය. ඔවුන්ට අනුව, අධ්‍යාපනය-දේශපාලන ප්‍රෙව්ශය-දේපල හිමිකම-සමානාත්මතාවය යන සියල්ල ලිංගභේදයකින් තොරව සියලු සමාජ කොටස්වලට හිමි විය යුතු දේ විය. නිදහස් වෙළදපොල හෝ විවෘත ආර්ථිකය මගින් ලිබරල් ස්ත්‍රීවාදීන් අර්ථගැන්වූයේ - කාන්තාව ද ඇතුළු සියලු දෙනාට නිදහස් හා සමාන පදනමක් සහිතව තරග කළ හැකි වෙළදපොලක් ඇති කළ හැකි බවයි. සමාජවාදය තුළ ස්ත්‍රීවාදය සාකච්ඡා වන්නේ, “සමාජවාදය උදා වීමට නම් ස්ත්‍රී අයිතිවාසිකම් හා නිදහස සහ සමානාත්මතාවය තහවුරු වූ තත්ත්වයකදී“ යන්නයි. එහෙයින්, ස්ත්‍රීවාදී අරගලය ශක්තිමත් කිරීම කෙරෙහි සමාජවාදය වැඩි වෙහෙසක් දරයි. මාක්ස් හා එංගල්ස් යන දෙදෙනා ලියා සිටින්නේ, “සමාජවාදය තුළ ස්ත්‍රිය නිදහස් කරගැනීමට හැකි වනු ඇත“යි කියාය. ඉන්ද පෙනී යන්නේ, ස්ත්‍රීවාදී අරගලය කුමක් වුවත්, සමාජවාදීන් හෝ මාක්ස්වාදීන් විසින් ස්ත්‍රීවාදී අරගලය හා එහි පැවැත්ම ශක්තිමත් කරන බවයි. එහෙයින්, පීතෘ මූලික සමාජ සංවිධානයට එරෙහිව අරගල කරන හා ස්ත්‍රියගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන පාර්ශව සීඝ්‍රෙයන් සමාජවාදය වැලද ගැනීමක් සිදු වූ බව ද පෙනේ. නව සමාජවාදී ස්ත්‍රීවාදය (New Socialist Feminism) මෙමගින් ගොඩ නැගෙන අතර පැරණි රාමුව ඉන් බිද හෙලෙයි.

තවත් විධියකින් ස්ත්‍රීවාදය පිළිබද කියැවීමේදී සමාජය විසින් නගන ප්‍රශ්නයකි, කාන්තාව හා පිරිමියා යන ස්වභාවයන් හා ශක්‍යතාවන්ගේ ස්වභාවය ජීව විද්‍යාත්මක ව ගොඩ නගා තිබෙන්නේ ද නැතිනම් එය ගොඩනැගී ඇත්තේ සමාජයීය වශයෙන් ද යන්න. මීට ඉදිරිපත් වන පිළිතුර වන්නේ, ලිංග භේදයව නම්, සමාජයීය වර්ගීකරණයක් බවත්, පිරිමියා සහ කාන්තාව ලිංගිකමට සිද්ධියකින් වෙන් කළ නොහැකි බවත් දක්වයි. නමුත්, ලිංගික ආශාව පමණක් ලිංග භේදය මත පදනම් වන්නේ යැයි ස්ත්‍රීවාදීන් තර්ක කරයි. නමුත්, එමගින්ම කාන්තාව සහ පිරිමියා ජීව විද්‍යාත්මක වෙනස්කම් දක්වන බව තහවුරු වන්නේ යැයි යන්න මගේ තර්කයයි. සමාජයීය වශයෙන් කාන්තාව හා පිරිමියා වෙන්කොට ගන්නේ උක්ත සිද්ධීන් දෙකම ඇසුරෙන් බව තේරුම්ගත යුතුව ඇත. ජේ.එස්.මිල් විසින් කියා සිටින්නේ, කාන්තාව හා පිරිමියා යන ලිංග ද්විත්වයේ වෙනස කාන්තාවගේ තත්ත්වය බලෙන් මර්ධනය කිරීම පිණිස ආරෝපණය කොට ගත් එකක් බවයි. ජැගර් විසින් කියා සිටින්නේ, සමාජයීය වශයෙන් කාන්තාව සහ පිරිමියා සංවිධානය වූ කොටස් දෙකක් ලෙස නොපෙනී යන බවයි. තාක්ෂණය යම් ප්‍රමාණයක අවධියක් පසු කළ විට, ගර්භනීභාවය හා ප්‍රසූත කිරීම යන දෙකෙන්මත් කාන්තාව මුදවා ගත හැකි යැයි ජැගර් විශ්වාස කරයි. කෘතිම සිංචනය, නළ දරු උපත් හා ගෘහස්ත ජීවී පාලනය මගින් කාන්තාවගේ ජීව විද්‍යාත්මක ස්ත්‍රී ලක්ෂණ වලින් හා බැදීම්වලින් නිදහස් කළ හැකි බව සුලමිත් ෆයර්-ස්ටෝන් (Sulamith Firestone) විසින් කියා සිටියි. උක්ත කියවීම අනුව හැගෙන දේ නම් ස්ත්‍රිය සිය පරම එදිරිවාදියා වනාහි පිරිමියා හෝ පද්ධතියක් හෝ සංකල්පයක් ලෙස ඒ පීතෘ මූලික සමාජ සංවිධානය බවට පත් කර ගෙන ඇති බවයි.

දැන් පළමු කොටසින් ලබා ගත් අදහස සමග දෙවැනි කොටස කියවීමට අපේක්ෂා කරමි. ආසියාතික හා දේශීය සමාජ හා සංස්කෘතික පිහිටීම් සමග පොදු ස්ත්‍රීවාදී සංකල්පය කියවාගත යුතුය. ආසියාතික කාන්තාව කොතෙක් දුරට ස්ත්‍රීවාදී නිදහසක් පිළිබද කතා කළ ද, කාන්තාවගේ අවයව පූර්ණය වීම ඇරඹීමටත් පෙර සිටම-තවත් ස්ත්‍රියක් වූ අම්මා විසින් ස්ත්‍රිය කෘතිම හා සීමිත චරිතයක් වෙනුවෙන් හුරු කිරීම දක්නට ඇත. ස්ත්‍රිය විසින් ම ස්ත්‍රියගේ යුක්තිය-සමානාත්මතාවය හෝ අයිතිවාසිකම් සීමා කරන තත්ත්වයක් තුළ ස්ත්‍රියට ස්ත්‍රීවාදී අරගලයක් පවත්වාගෙන යා හැකි ද. මෙය, ස්ත්‍රීවාදයට එරෙහි පීතෘ මූලික සමාජ සංවිධානාත්මක බලපෑමක් නොවන එකකි. එසේම, ලේලිය පාලනය කරනු ලබන්නේ නැන්දම්මා විසිනි. ලේලියගේ හැසිරීම, වෛවාහක ස්වාධීනතාව හා පැවැත්ම යන සියල්ල නැන්දම්මාගේ නිර්දේශ හා සීමා කිරීමි තුළ සිදු වෙයි. පිරිමියා හෝ ස්ත්‍රිය යන ලිංගික පරතරය වෙනුවට ස්ත්‍රිය සහ ස්ත්‍රිය අතර යම් ලිංගික පරතරයක් නිර්මාණය වී ඇති බව පෙනේ. සති පූජාව හෝ  කාන්තාව යටපත් කරනු ලබන සංස්කෘතික කාරණා නිර්මාණය වන්නේ ස්ත්‍රියගේ පැවැත්මේ දිගුවක් ලෙසයි. මේවා පුරුෂයින් විසින් නිර්මාණය කොට පවත්වගෙන යාම හා තහවුරු කිරීම පිණිස කාන්තාවට භාර දී ඇති බවත්, ඒ ආශ්‍රයෙන් කාන්තාව විසින් නොපිරිහෙලා ඉටුකරමින් සිටින බවත් පෙනේ.එහෙයින්, ආසියාතික හෝ දේශීය ස්ත්‍රියට මවට හෝ නැන්දම්මාට එරෙහි ස්ත්‍රීවාදී අරගලයක් කළ යුතුව තිබියදී, පිතෘ මූලික සමාජ සංවිධානයට එරෙහි අරගලයක් කිරීමේ සාධාරණ අයිතිවාසිකමක් ඇති කරයි ද. පුරුෂ බලය සංස්කෘතිය තුළ දැඩිව පවතින බව පැහැදිලිය. නමුත්, එකී පුරුෂබලය නිර්මාණය කරනු ලැබ ඇත්තේ කාන්තාවගේ පැවැත්ම හා හැසිරීම තුළින් බව කාන්තාව තේරුම්ගත යුතු වෙයි. බටහිර හා අනෙකුත් සමාජ සංවිධාන වල පිරිමියා විසින් ලිංගික ෆැසිස්ට්වාදී ස්වභාවයන් රක්ෂණය කොට පවත්වාගෙන යනු දක්නට ඇත. පුද්ගලික, දේශපාලන, භාෂා, විද්‍යා, දර්ශනය වැනි දේ මුල් කරගනිමින් පුරුෂ ආධිපත්‍යය හෙවත් පීතෘ මූලිකවාදය මුල් බැසගෙන තිබෙන බව සත්‍යයකි. කාන්තාවගේ සිතුවිලි මුළුමනින්ම පිරිමියා වසින් යටත් කරනු නොලැබුවද ඇතැම් සාධනීය විෂයයන් එසේ සිදු කොට ඇත.

නමුත්, උක්ත සිද්ධි අධ්‍යනයේදී ඇතැම් කාරණා මගින් ස්ත්‍රිය විසින්ම ස්ත්‍රිය එරෙහි වීම තරම්ම පිරිමියා විසින් ස්ත්‍රියට එරෙහි වන්නේ දැයි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරයි. එනම්, ස්ත්‍රියගේ සටන පාවා දෙනු ලැබ ඇත්තේ ස්ත්‍රිය විසින්ම නොවේ ද...

2 comments:

chitts said...

//නමුත්, උක්ත සිද්ධි අධ්‍යනයේදී ඇතැම් කාරණා මගින් ස්ත්‍රිය විසින්ම ස්ත්‍රිය එරෙහි වීම තරම්ම පිරිමියා විසින් ස්ත්‍රියට එරෙහි වන්නේ දැයි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරයි. //
ස්ත්‍රිය එසේ වන්නේ නම් එසේ වී ඇත්තෙ ඇයි ??

//එකී පුරුෂබලය නිර්මාණය කරනු ලැබ ඇත්තේ කාන්තාවගේ පැවැත්ම හා හැසිරීම තුළින් බව කාන්තාව තේරුම්ගත යුතු වෙයි.// තවදුරටත් පැහැදිලි කරනවාද ?

//පිතෘ මූලික සමාජ සංවිධානයට එරෙහි අරගලයක් කිරීමේ සාධාරණ අයිතිවාසිකමක් ඇති කරයි ද// අනිවාර්යයෙන්ම ඔවු අරගලය කල යුත්තේ නන්දම්මාට විරුද්දව නොව නැන්දම්මාව බිහිකල සමජ ක්‍රමයට එරෙහිවය


දේපල ක්‍රමය පවතින විටක ස්ත්‍රිය ද පුරුශයගේ දේපලක් බවට පත්වෙයි
එසේ වූවිට තම පවැත්ම
තහවුරු කර ගැනීමට තමන් අයත් වන පුරුෂයාගේ/ පුරුෂ කාන්ඩයේ පැවැත්ම , තත්වය ආරක්ෂා කරගත යුතුවේ
එහිදී ස්ත්‍රිය තමා අයත් වන පුරුෂයාගේ අයිතිය ගැන තරජනයක් විය හකි තවත් ස්ත්‍රියක් සමග ගටීමත් ඇය පෑගීමත්, තමන් අයත් වන පුරුෂයාගේ පන්තියට තර්ජනය වන්නන් සමග ගැටීමත් සිදුවේ
එම නිසා මෙය සම්පූර්‍ණයෙන් විසදෙන්නේ දෙපල පිබඳ පිලිබඳ ගැටලුව අවසන් වූ පසුවයි (ස්ත්‍රිය තවදිරටත් පුරුෂයාගේ දේපලක් නොවන විටයි ) කොමියුනිස්ට් සමජයක් බිහිවූ පසුවයි
ඔන්න ඔහොම කතාවක් මා කියෙව්වා කියලා මතකයි

අපේසමාජයේ මේ තත්වය වැඩි කොමුයුනිස්ට් සමාජයට යන මාර්ගයේ අප තවමත් පහල අඩියක සිටින බැවිනි ????

ස්ත්‍රීවාදය said...

ස්ත්‍රීවාදය යනු අන් කවරක්වත් නොව පිරිමි විරෝධයකි.හොදම නිදසුන පිරිමි විරෝධී නීති පැනවීමත් පවුල බිද දැමීමත්ය.සමාජ ව්‍යුහය බිද දැමීමෙන් මාක්ස් පැවසූ යන්ත්‍රක සමාජය බිහිවීම කෙසේ වෙතත් සමාජය නන්නත්තාර වේ.පිරිමි විරෝධී නොවී ස්ත්‍රීවාදී විය නොහැක.ස්ත්‍රීවාදීන් සැමියාට,පියාට ,පුතාට වෛර කරති.එය අවිඥානකය.ස්ත්‍රීවාදීන් නිරීක්ෂනය කරන්න.ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිරීක්ෂනය කරන්න.මාක්ස්වාදය දනපතියා කෙරෙහි නිර්මානය කරන වෛරය ස්ත්‍රිය ,පුරුෂයා කෙරෙහි දක්වන වෛරයක් බවට පෙරලා ගැනීමෙන් ස්ත්‍රීවාදය බිහි වී ඇත.ජෙනී මුරේ පුතු හදුන්වන්නේ පුංචි සතුරන් ලෙසයි.60,70 දශකයේ ස්ත්‍රීවාදීන් ගේ ප්‍රකාශ කියව බලන්න.ස්ත්‍රීවාදීන් තම පුතුන්ට කරන වෙනස්කම් බලන්න.එහි භයානකකම පෙනේවි.
http://sthreevaadaya.blogspot.com/