Saturday, June 18, 2011

අශෝක ද සිල්වා - ජනාධිපති උපදේශකකමින් ඉල්ලා අස්විය යුතුයි

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා පසුගියදා ජනාධිපතිවරයාගේ ජ්‍යෙශ්ඨ නීති උපදේශකවරයා ලෙස පත්වීම් භාර ගත්තේය. (සිය විශ්‍රාම වයස සම්පූර්ණ වීම හේතුවෙන් ඔහු විශ්‍රාම ගනු ලැබූයේ මැයි මස 16 වෙනිදායි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මමත්මිය අනුප්‍රාප්ත කරනු ලබන්නේ ඉනික්බිතිවයි). එනයින්, හිටපු අගවිනිසුරුවරයා, වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙශ්ඨ නීති උපදේශකයායි. එනම්, එවකට යුක්තිය ඉටු කළ කන්‍යාව, අද වන විට ගණිකාවක් වී සිටින්නීය. උපරිමාධිකරණ විනිසුරුවරයෙක් ලෙස තිබූ අත්දැකීම් හා ජ්‍යෙශ්ඨත්වය හා තවත් දේ නිසා, එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ අනුප්‍රාප්තිකයා වූයේ අශෝක ද සිල්වා මහතායි.

ඔහු සිය ධුරප්‍රාප්තියෙන් දින කිහිපයකට පසු කියා සිටියේ, විධායකයේ පහසින් සල්ලම් වී තිබූ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ප්‍රතිස්ථාපනය කරනු පිණිස කැප වී වැඩ කරන බවයි. එනම්, නිළ බලයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අගවිනිසුරුවරයා වූ සරත් එන්. සිල්වා මහතා විසින් එම ධුරයේ බලතලයන් අයුතු අන්දමින් භාවිත කරමින් මුල් අවස්ථා අධිකරණ විනිසුරන් සිය අණසකට හා පාලනයට ගොන තිබූ බවත් එවැනි දුර්ක්‍රියා යළි සිදු නොවීමට වග බලාගන්නා බවත් දිවුරා කියා සිටියේය. සියලු දෙනාගේ අපේක්ෂාසහගත බව ප්‍රශ්න කරමින්, සිය ධූර කාලය තුළ අශෝක ද සිල්වා මහතා විසින් සිදු කළ සිය පුරෝගාමියාගේ වැරදි නිවැරදි කිරීමේ කාර්යය වූයේ, විනිසුරුවන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කිරීම පමණයි. එසේම, අශෝක ද සිල්වා මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සිය පවුලේ භූදලයක් කර ගැනීමට සියුම් ප්‍රයත්නයක් දැරීය. කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කරගනු ලැබූයේ ඔහුගේ සොහොයුරා වන ප්‍රියන්ත ද සිල්වා මහතායි. එසේම, අගවිනිසුරුවරයාගෙන් අපේක්ෂා කරනු ලබන පරිණත නෛතික අර්ථ නිරූපණයන් හෝ උපදේශයන් වෙනුවට ඔහුගේ කාලයේ දක්නට ලැබුණේ නීතියේ අවම අර්ථ නිරූපණයන් මගින් නීති ප්‍රෙව්ශයන් විග්‍රහ කරන සිද්ධීන්ය. (නිදසුන - 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධ අධිකරණ මතය දැක්වීම).

ඒ කෙසේ නමුත්, ධුරය දැරූ අගවිනිසුරුවරයා විසින් - සිය විශ්‍රාම යාමෙන් මාසයක් ඉක්මවීමටත් පෙර විධායකයේ උපදේශක තනතුරක් භාර ගැනීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට තරම් සිද්ධියක් වන්නේය. එනම්, විශ්‍රාම යාමෙන් පසු විධෘයකයේ උපදේශක තනතුරක් ලබා දීමට තරම් වන දැඩි විශ්වාසයක් විධායකය විසින් අගවිසිනිසුරුවරයා සම්බන්ධයෙන්, ධුරය දරන කාලයේදී දිනා ගෙන සිටිය යුතු වෙයි. එනම්, එමගින් පෙනී යන්නේ ධුරය දරන කාලයේදීත් අශෝක ද සිල්වා මහතා, ජනාධීපති මහින්ද රාජපක්ෂගේ ඉතාම කිට්ටු වන්ත හා විශ්වාසවන්ත පුද්ගලයෙක් ලෙස ක්‍රියා කොට ඇති බවයි. එක පැත්තකින් මෙය මහා අරුමයක් නොවේ. අගවිසිනිසුරුවරයා ලෙස පත්කිරීම ලැබීම කෙරෙහි යම් පුද්ගලයෙක් සුදුසුකම් ලබන්නේ නම් එමගින්ම, එම පුද්ගලයා විධායකයේ විශ්වාසය දිනාගත් අයෙක් ලෙස තහවුරු වෙයි. නමුත්, පත්වීමෙන් පසු නිර්ලජ්ජිත ලෙස විධායකය වෙනුවෙන් ‘කඩේ යාම‘ විධායකය පවා අධිකරණයෙන් අපේක්ෂා නොකරයි. දැන් සිදුව ඇත්තේ ඊට ටිකක් වෙනස් සිද්ධියකි. අගවිනිසුරුවරයා ලෙස පත්වී සිටි පුද්ගලයා විශ්‍රාම ගියේය. විශ්‍රාම යාමත් සමගම වැඩි කල් නොගොසින්ම ඔහු විධායකයේ නීතිය පිළිබද උපදේශකයා විය. අශෝක ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස දිවුරුම් දී ඇත්තේ, රජයේ නීති උපදේශකයා ලෙස ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති නීතිපතිවරයාට අමතරවයි.

රටේ උපරිමාධිකරණ විනිසුරන්ගේ හා අගවිනිසුරුවරයාගේ ක්‍රියා කලාපය අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑමක් එල්ල කරන බව නොරහසකි. මෙම තත්ත්වය ධුරය දරන අවධියේ මෙන්ම ඒ හා සමානවම විශ්‍රාම යාමෙන් පසුවද දැඩිව බලපැයි. එහෙයින්, උපරිමාධිකරණ විනිසුරුවරයෙක් විසින් විශ්‍රාම යාමෙන් පසු ක්‍රියාකළ යුතු ආකාරය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ. එමගින් ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිධි, යළිත් නීතීඤවරයෙක් ලෙස කටයුතු කිරීමට හෝ වෙනත් තනතුරක් දැරීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුට අවසර හිමි වෙයි. එම අර්ථයෙන් ගත් කළ අශෝක ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස පත් කරනු ලැබ ඇත්තේ ජනාධිපතිවරයා විසින්මය. බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වන ව්‍යවස්ථාවට අනුව, එහි වරදක් දක්නට නැත. නමුත් මෙහි බැලූ බැල්මට ඇති නොගැලපීම හා නිර්ලජ්ජිත ක්‍රියාව වන්නේ, විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතු මගින් ජනතාව ආරක්ෂා කැගඅනීමට සිටින ධුරයක් දැරූ පුද්ගලයෙක් විශ්‍රාම යාමෙන් පසු, විධායකයේ හවුල්කරුවෙක් වීමයි. සරත් එන්. සිල්වා මහතා විශ්‍රාම යාමෙන් පසු සක්‍රීයව සිය දේශපාලනික කටුයුතු වලට මැදිහත් විය. ඔහු දැඩි ලෙස විවේචනය වූයේය. එසේත් නැතිනම් වෙමින් පවතියි. එයට හේතුව වූයේ ඔහු ප්‍රසිද්ධියේම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීම් හා ක්‍රියාත්මක වීමි ප්‍රශ්න කරමින් විපක්ෂයේ මතය දරමින් සිටින නිසාය.

දැන් සලකා බලන විට අශෝක ද සිල්වා මහතාගේ සහ සරත් එන් සිල්වා මහතාගේ සැලකිය යුතු වෙනසක් නොවේ. දක්නට ඇති එකම වෙනස, සරත් එන් සිල්වා මහතා විපක්ෂයේ දේශපාලනය සක්‍රීයව කිරීම හා අශෝක ද සිල්වා මහතා ආණ්ඩුවේ දේශපාලනය තෝරා ගැනීමයි. අශෝක ද සිල්වා මහතා විසින් ඍජු දේශපාලනික පත්වීමක් ලබා ගැනීම හෝ ජනාධිපතිවරයා විසින් නිර්ලජ්ජිත ලෙස එසේ සිදු කිරීම තවත් අපකීර්තිමත් සම්ප්‍රදායක් මහ ඉහළින් ආරම්භ වීමක් සේ අදුරු අනාගතයක පෙර නිමිති පහළ වෙමින් තිබේ. මෙම පත්කිරීම පමණක් නොව, කිසිදු හිරිකිතයකින් තොරව මෙම තනතුර භාර ගැනීම ඊටත් වඩා නිර්ලජ්ජිත ක්‍රියාවකි. අශෝක ද සිල්වා මහතාගේ බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවකට අනුව දේශිය ජනාධිපතිවරයා අත්තනෝමතික විධායක බලයක් ක්‍රියාත්මක කරන ධූරයකි. ඒ අනුව, මේ වන විට අශෝක ද සිල්වා මහතා එම අත්තනෝමතික විධායක බලයක් ක්‍රියාත්මක කිරීමේ ධුරයේ උපදේශකයෙකි. තවත් පැත්කින් බැලූ විට, ජනාධිපතිවරයාට නීතියේ රැකවරණය සහිතව සිය අත්තනෝමතිකත්වය ක්‍රියාත්මක කිරීම පිණිස උපදෙස් දීම දැන් සිදු කරන්නේ, ජනාධිපතිවරයා අත්තනෝමතිකයැයි කියමින් සිටි පුද්ගලයා වන අශෝක ද සිල්වා මහතා  විසින්මය.

දැන් අප විසින් කියවා ගත යුතු හා තේරුම් ගත යුතු තවත් දෙයක් ඇත. එනම්, විශ්‍රාම යාමෙන් පසු ඩනාධිපතිවරයාගේ උපදේශක තනතුර ලබන්නට තරම් විධායකයේ විශ්වාසය දිනා ගැනීම පිණිස, ධුරය දරන විටදී අශෝක ද සිල්වා මහතා ඊට අදාල පදනම සපයා ගත් බවයි. එමගින් පෙනී යන්නේ, අගවිනිසුරුවරයා ලෙසින් කටයුතු කරමින් සිටියදී අශෝක ද සිල්වා මහතා කටයුතු කොට ඇත්තේ නීතියේ ආධිපත්‍යය හෝ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි සැලකිලිමත් වීමට වඩා, විධායකයේ හිත දිනා ගැනීමේ අරමුණින් බවයි. විශ්‍රාම යාමෙන් පසු ආණ්ඩුවේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන්, අශෝක ද සිල්වා මහතා ඔහු දරමින් සිටි අගවිනිසුරුකම කැප කළේ හෝ පාවිච්චි කළේ දැයි දැන් සැකයක් මතු වෙමින් පවතියි. ඉතිහාසයේ කිසිම අවස්ථාවක, විශ්‍රාමික අගවිනිසුරුවරයෙකු විසින් නිර්ලජ්ජිත ලෙසින් මෙවැනි දේශපාලන පත්වීමක් භාරගෙන නොමැත. උදාහරණයකට හෝ ගත හැකි එකම සිද්ධිය නම් සුප්පයියා ශර්වානන්ද අගවිනිසුරු තුමන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය භාර ගැනීම පමණයි. නමුත්, අශෝක ද සිල්වා මහතා භාර ගෙන ඇත්තේ ඊට වඩා දේශපාලනීකරණය වූ - දේශපාලනික වශයෙන් අන්තවාදී විය යුතු ජනාධිපති උපදේශක තනතුරකි.


ඇත්ත වශයෙන්ම මේ වන විට සිදු වෙමින් පවතින මෙවැනි නරක පූර්වාදර්ශයන් වහාම නැවතිය යුතු වෙයි. එසේ නොවුනහොත් අනාගතයේ පත්වන සියලු අගවිනිසුරුවරුන් හා විනිසුරුවරුන් පවා, ගෞරවනීය විශ්‍රාම ජීවිතයකින් තොර වන දේශපාලනික ප්‍රභූ චරිතයක්ව විශ්‍රාම දිවිය ගත කිරීමේ සිහිනය සැබෑ කරගනු පිණිස ස්වකීය ධුරයන් හි කටයුතු මෙහෙයවනු ඇත. එමගින්, සිදු වන්නේ අධිකරණයේ ස්වාධිනත්වය පමණක් නොව අධිකරණය පිළිබද ඇති විශ්වාසය හා නීතියේ ගෞරවය අමු අමුවේ එකිනෙකාගේ දේශපාලනික සිහින වෙනුවෙන් කැප කිරීමයි. විශ්‍රාම යාමෙන් පසු ඉතාම ඉහළ වැටුපකට හා වෙනත් වරප්‍රසාදයන්ට හිමිකම් කියන අගවිනිසුරුවරයන්ට එසේ හිමි කර දෙනු ලැබ ඇත්තේ, වෙනත් වරදාන හා වරප්‍රසාද කෙරෙහි සිත් පහල වීමෙන් මුදවා ගැනීමටයි. නීතිය සම්බන්ධ ස්වාධින කොමිෂමක් හෝ වෙනත් ලාභ නොලබන ජාත්‍යන්තර තනතුරක් දැරීමට හිමිකම් පවරා දී තිබුණ ද මෙවැනි සර්ව දේශපාලනික තනතුරක් වෙනුවෙන් පත්වීම විශ්‍රාමික අගවිනිසුරුවරයෙකුගෙන් කිසිසෙත්ම අපේක්ෂා නොකරයි. එහෙයින්, අශෝක ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාගේ නීති උපදේහක තනතුර භාරගනිමින් සිදු කොට ඇත්තේ, අපකීර්තිමත් සම්ප්‍රදායක් වෙනුවෙන් මූලාරම්භය සැපයීමකි. එසේම, පූර්වාදර්ශයක් සැපයීමයි. එහෙයින්, අධිකරණයට හෝ නීතියේ පැවැත්මට අඹමල් රේණුවක හෝ ගෞරවයක් හෝ එසේ සිදු විය යුතු යැයි විශ්වාස කරන්නේ නම්, අශෝක ද සිල්වා මහතා විසින් ම තමන් ඇරඹූ මෙම අපකීර්තිමත් හා නිර්ලජ්ජිත සම්ප්‍රදායට නැවතුම් තිත තැබිය යුතු වෙයි. එහෙයින්, අධිකරණයේ විනිසුරුවරුන්ගේ ගෞරවය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය හා වෙනත් ගෞරවනීය දේ තහවුරු කිරීම පිණිස, ඔහු විසින් භාර ගෙන ඇති ජනාධිපති නීති උපදේහක තනතුරින් ඉල්ලා අස් විය යුතු වේ යැයි යෝජනා කරමි. එය එසේ නොවන්නේ නම්, ඉතිහාසයේ පහළ වූ විධායකයේ අතකොළුවක් බවට අධිකරණය පත් කරමින් වෘත්තීය ආචාරධර්ම දුරාචාරයේ පිළිකන්නට ඇද දැමූ සිය පුරෝගාමියා වූ ඉතිහාසයේ පහළ වූ නිර්ලජ්ජිතම හා නීතිය යනු තමන්ට සිතෙන දේ යැයි සිතා සිටි සරත් එන් සිල්වා මහතා අභිබවන තරමේ නිර්ලජ්ජිත පුද්ගලයෙක් බවට පත්වීමට ඉඩ තිබේ. පුද්ගලිකව එවැන්නක් අශෝක ද සිල්වා මහතාට ‘OK‘ වුව ද නීතියේ පැවැත්ම හා අධිකරණයේ ගෞරවය වෙනුවෙන් එය  ‘OK‘ නොවන්නේය. ඓහිය්න් යළිදු කියමි. අධිකරණයේ හා විශ්‍රාමික අගවිනිසුරුවරයා ය යන ගෞරවය තහවුරු කරගිනිමින් ජනාධිපතිවරයාගේ නීති උපදේශක තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් යෙහෙකි.

No comments: