Sunday, June 12, 2011

දේශීය අරගල, විප්ලව නොවන්නේ ඇයි

මතක ඇති ඉතිහාසයේ විප්ලවය ස්වරූපයේ අරගල කිහිපයක් වෙනුවෙන් උත්සාහ දැරීම්, අපේ සහ අපේ පියවරුන්ගේ පරම්පරාවේදී දක්නට ලැබිණි. ඒ කිසිවක් සමාජ විප්ලවයක් කරා දුර දිග ගිය හෝ ඒ තරම් සාර්ථක ඒවා නොවීය. විප්ලවමය ආකෘතියකින් හා අරමුණකින් තිඹිරිගෙයි පිඹුරු සකසන එවැනි ක්‍රියාදාමයන්, සමාජ විප්ලවයක් දක්වා නොගොස් අසාර්ථක වන්නේත්, ඉන් පසුව අරගලයේ ප්‍රමුඛයින් සුන්නද්ධූලි වී යන්නේත්, අරගලය තුළ පවතින කුමන දුර්ගුණාංගයක් නිසා ද. නැතිනම්, එසේ අරගලය දියාරු වී යන්නේ ඇයි. මේ පිළිබද යම් හැදෑරීමක් කර අවසන් කර තිබිය යුතුව ඇති වකවානුවක් උදා වෙමින් තිබෙන්නේ යැයි හැගේ. එහෙයින්, අරගලයක් විප්ලවයක් දක්වා දුර දිග නොගොසින් - එහි අතර වාරයේ තැනකදී දියාරු වී යනු ලැබීමට ඇති සාධක කවරක් ද යන්න පිළිබද යම් හැදෑරීමක් වෙනුවෙන් මානසික හා ශාරීරික විවේවකයක් උදා කරගත්තෙමි. එහිදී, යම් සිද්ධි අධ්‍යයනයක් හා න්‍යායාත්මක කියවීමක් පූර්ණය කර ගැනීමට හැකි විණැයි සිතමි. වැඩි දුර කියවීම හා හැදෑරීම බෙදා ගැනීම පිණිස මෙතැනින් අවකාශයක් ගොඩලගමි.

“71 කැරැල්ල“ නමින් 1971 දී සමාජ අරගලයක් ඇති විය. නමුත්, අරගලය අවසන් වූයේ “රැජිනට එරෙහිව අවි එසවීම“ නම් වරදකට සිය දහස් ගණනක් විලංගු ලෑමෙන් හා තවත් සංඛ්‍යාත්මකව නිශ්චය කර ගැනීමට නොහැකි වූ පිරිසක් අවසන් ගමන් යාමෙනි. “1988/89 භීෂණය“ හෙවත් “තරුණ නැගිටීම“ නමින් තවත් සිද්ධියක් සිදු විය. මෙහිද ප්‍රතිඵලය පූර්ව අත්දැකීමට වඩා වැඩි වෙනසක් නොවීය. 88/89 භීෂණයේදී සිදුවූ බරපලම වෙනස වූයේ, පූර්ව අත්දැකීමට වඩා වැඩි පිරිසක් අතුරුදන් වීමයි. උක්ත මහා ප්‍රමාණයේ අරගල වලින් වියුක්ත වී ගිය ‘චූල අරගත‘ කිහිපයක්ම පිළිබද ඉතිහාසයේ සිද්ධි වාර්තා වෙයි. ඒවායින් කිහිපයක්, තත්කාලීන අරමුණු ක්‍රියාත්මක කරගැනීම පිණිස සිදු වූ ඒවා මිස ඉන් එහා ගිය සමාජ විප්ලවක් ඉලක්ක කොටගත් ගණයේ ඒවා නොවීය. එහෙයින්, ඒවායින් ඇතම් ඒවායේ පරමාර්ථ සපථ විය. ඇතැම් ඒවා නිශ්ඵල අරගලයන් පමණක් විය. පොදුවේ කරනු ලබන හැදෑරීමකකදී දක්නට ඇති පොදු තත්ත්වය නම්, පූර්වයේ ඇතිවූ කිසිදු අරගලයකින් පසු පූර්ණ සමාජ විප්ලවයක් ඇති නොවීමයි. යම් හෙයකින් ඒ කිසිදු අරගලයකින් සමාජ විප්ලවයක් අපේක්ෂා නොකර සිටියේ නම්, සමාජ අරගලයක් ඇති නොවීම සාධාරණ වේ. නමුත්, ඒවායෙන් වැඩි ප්‍රමාණයක් සමාජ විප්ලවයක් අපේක්ෂාවෙන් කළ හෙයින්, එම අරමුණු සාර්ථක නොවීම නිසා අසාර්ථක අරගල යැයි කියා සිටිමි.

පූර්ව අරගලයන්ගේ සමාජ විප්ලවීය වටිනාකමේ තරම නිශ්චය කිරීම පිණිස කල් මැරීම නොකළ යුතු වෙයි. අප විසින් කියවා ගත යුතුව ඇත්තේ, සමාජ විප්ලවයක් වෙනුවෙන් මූලික වන අරගලයේ මූලික ලක්ෂණ හා හැසිරීම් කවරාකාරයේ විය යුතු ද යන්නයි.

මා මේ වෙනුවෙන් න්‍යායයික හා ප්‍රායෝගික අධ්‍යනය කරගනු ලබන්නේ, කියුබානු විප්ලවයේ වැඩි වගකීම් සහිත මැදිහත් කරුවෙක් වූ ආදරණීය අර්නස්ටෝ චේ ගෙවාරා (චේ ගුවේරා) හරහායි. මා මේ සදහා සාධාරණ හේතු දැක්වීමක් කරමි. චේ යනු පළමුව අරගලයක් කරමින් ඒ හරහා පොදු සමාජ විප්ලවයක් කියුබාව වෙනුවෙන් පණ දුන් මිනිසෙකි. දෙවනුව, යම් හේතූන් නිසා බොලීවියාවේදී චේ අරගලය - අරගලයක්ව පැවති පදනම් තත්ත්වයේදීම පරාජය වූවා පමණක් නොව, ඒ හරහා චේ ට චේ පවා නැති විය. එහෙයින්, යම් අරගලයක් - සාර්ථක පොදු සමාජ විප්ලවයක් කරා මෙහෙයවීමේ ක්‍රමය මෙන්ම අසාර්ථ වීමක් දක්වා බිද වැටීමේ ක්‍රමය පිළිබදවත් චේ වැඩි දැනුමකින් යුක්ත මිනිසෙකි.

මුල් අවදියේදී, තමන්ගේ හේමලයාවත් විශ්වාස කරන්ඩ එපා. හිතවත් ගැමියන්, ඔත්තුකාරයින්, කැලෑ පාරවල්, මග පෙන්වන්නන් සැම විටම සැක කරන්න.
                                        (ගෝතමාලා ජාතික එල්. පැතෝජෝ - චේ ගෙවාරාට ලියූ ලිපියකින්)

විප්ලවයේ පළමු න්‍යායිකය කොට ගත යුත්තේ, සැකය බව චේ ට ලැබෙන උපදෙසක කියයි. 71 දී හෝ 88/89 දී ලත් අත්දැකීම් ඇසුරින් අප පැහැදිලි කරගනිමු. අරගලයේ තත්ත්වයන් හා පිළිවෙත් අඩාල කිරීම පිණිසවන සහාය අභ්‍යන්තරිකව ලබා දිණි. සරලව කියන්නේ නම් විප්ලවයේ හවුල්කරුවන් විසින් විප්ලවය පාවා දුන්නේය. එහෙයින්, කිසිදු අරගලයකදී තමාගේ සිට අනෙකා දක්වා වන කිසිවෙක් පිළිබද දැඩි විශ්වාසයක් ගොඩ නගා ගත යුතු නොවේ. නමුත්, කිසිදු විටකදී අරගලයේ සහයෝගී පිරිස් තම අනෙකා සැක කරනු ලබන බව අනෙකාට නොපෙන්විය යුතු වෙයි. එසේ වුවහොත් තත්ත්වය තවත් පැත්තකින් නරකට හැරෙයි. තම සටන් සගයින් විසින් අනෙකා සැක කරමින් සිටින බව දැනෙන විට, පාවා දී හෝ පාවා දීමකින් තොරවම අරගලයේ හවුල්කරුවන් අරගලය තුළ අක්‍රීය වීමට හෝ තවදුරටත් රැදී සිටීම වෙනුවට අතහැර යාම සිදු වෙයි.

අරගලයක් ලෙස ගොඩනැගෙන විප්ලවයේ ප්‍රමුඛ පදනම ශක්තිමත් වීමට හා ඒ ශක්තිමත්භාවය වැඩි වර්ධනය වෙමින් පවත්වාගෙන යාමට නම්, අරගලයේ නායකයින් - ජනතාව සමග සංවේදී සංසර්ගයක් - කළ යුතු ව චේ කියයි. ප්‍රජාව හා ඔවුන්ගේ ගැටළු හදුනා ගැනීම හා ඒ වෙනුවෙන් ඇත්ත වශයෙන්ම පෙනී සිටීම සදහා යටකී සංවේදී සංසර්ගය අනිවාර්ය වෙයි. “අපි ගැමි ජනතාවගේ අත්‍යාවශ්‍ය අංගෝපාංග බවට පත් විය“ යැයි සියරාවේදී චේ ලියයි. අරගලයේ ප්‍රමුඛයින් විසින්, තමන් නායකයින් හෝ මෙහෙයවන්නන් ලෙස පෙනී සිටින තාක්කල් අරගලය වෙනුවෙන් එක්වන ජනතාමය ජීවයේ එකතු වීමේ සීඝ්‍රතාවය අඩු වේගයක් ගනියි. අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අරගල වෙනුවෙන් පිරිස් බලය එක් වීමේ දැඩි උනන්දු හීනතාවයක් දක්වන්නේ මේ නිසාය. එනම්, එ.ජා.ප.ය තම අරගලයේ ජනතා ජීවය සමග යටකී සංවේදී සංසර්ගය කරමින් නොසිටියි. එහෙයින්, ජනතාව විසින් අරගලය අරගලයක් ලෙස හදුනා නොගන්නවා සේම, අරගලයේ පදනම ශක්තිමත් කිරීමක් වෙනුවෙන් කිසිදු පෙලඹවීමක් නොදක්වයි. නමුත්, අරගලයේ ප්‍රමුඛයින් විසින්, පොදු සමාජය සමග කරනු ලබන සංවේදී සංසර්ගය විසින් ජීව ගුණය ප්‍රසූත කිරීමේ හැකියාවක් ඇති වෙයි. ඉනික්බිති, මිනිස්සු අරගලය සග එක් වෙයි. මිනිස්සු හා පදනමක් සහිත අරගලයක් විසින් විප්ලවයක් ගොඩ නැගීම සිදු කරයි. “... වඩා සංයමයකින් යුක්ත තීරණාත්මක බලවේගයක් බවට පරිවර්ථනය වීම පිණිස, ජනතාව සමග ඇති වූ සංවේදී සංවාදාත්මක සංසර්ගය හේතු වූයේ“යැයි චේ ගෙවාරා පවසන්නේ එහෙයිනි.

ප්‍රජාව සමග පවත්නා සංවේදී සංවාදය අනෙක් වැදගත් කරුණයි. නිරන්තරයෙන්, අරගලයේ පදනම හා දිශානතිය පිළිබද ප්‍රජාව හැදෑරීමට ලක් කළ යුත්තේය. භාහිරින් හා අභ්‍යන්තරයෙන් පැණ නගින ප්‍රතිවිරෝධ හා පතුරුවාලීම් වලින් මිදී අරගලයේ අඛණ්ඩභාවය රක්ෂා කරගත හැක්කේ එවිටයි. එය චේ ගෙවාරා විසින් හදුන්වනු ලබන්නේ “ජනතාව සමග සමගාමී සංවේදීභාවය“ ලෙසයි. “සංවාදය පිළිබද න්‍යායට අනුව, විප්ලවයේ කුමන හෝ අවස්ථාවක ජනතාව හා සංන්නිවේදන සංසර්ගයෙන් තොර විය නොහැක“ යැයි චේ තවදුරටත් පැහැදිලි කරයි. එනම්, අරගලයක් තුළ සෑම නිමේෂයකදීම තත්කාලීන තත්ත්වයන් පිළිබදව ස්වකීය අරගලයේ හවුල්කරුවන් දැනුවත් කළ යුතුව ඇත. ඉලක්ක ජය ගැනීම - පසු බැසීම - පරාජය වීම - න්‍යායික වෙනස් වීම් - දිශානතියේ වෙනස් වීම් - සහ සෙසු දේ සියල්ල සිට අරගලයේ සගයන් හෙවත් සටන් සගයන් දැනුවත් කිරීම අරගලයේ ප්‍රමුඛයින්ගේ වගකීමයි. ඒ වෙනුවෙන් වන ශක්තිමත් සන්නිවේදන සංසර්ග ජාලයක් පවත්වාගෙන යා යුතු වෙයි. එපමණක් නොව, නිරන්තරයෙන් - කියන දේ කිරීමටත්, කරන දේ කීමටත් - කැමැත්ත දැක්විය යුතු වෙයි. අද වන විට එ.ජා.ප.ය හෝ ජ.වි.පෙ. විසින් මෙහෙයවනු ලබන අරගලයන්ගේ මේ තත්ත්වය දක්නට නොහැක. මා මෙහිදී කියා සිටින්නේ ජ.වි.පෙ. නිත්‍ය සාමාජිකයින් සමග කරන සන්නිවේදන සංසර්ගය පිළිබද නොව. පොදු සමාජයේ සැගව සිටින, පක්ෂ සාමාජිකයින් නොවන අනෙකා වෙත මෙකී සන්නිවේදන සංසර්ගය ඔවුන් විසින් නිසි පරිදි නොකරන්නේ යැයි කියමි. එ.ජා.ප.ය යනු සන්නිවේදන සංසර්ගයකින් හෝ සෛද්ධාන්තික හැසිරීමකින් යුක්ත නොවන පිරිසකි. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සම්මත වීමට පෙර ඊට සිය විරුද්ධත්වය පොදු සමාජය වෙත දක්වන එ.ජා.ප. නායකයින් ඉන් දින කිහිපයකට පසු අරගලයේ එදිරිවාදියා සමග තේ බොමින් අරගලයේ මෙතෙකේ කරනු ලැබ ඇති තත්ත්වයන් පාවා දීම අරගලයේ පුමුඛයින් විසින්ම සිදු කරයි. එහෙයින්, ප්‍රජාවගේ සිත් තුළ අරගලයේ තත්ත්වයන් පිළිබද තමන් දැනුවත් දේ පිළිබද සැකයක් ඇති කරයි. මෙසේ කරනු ලබන දෙබිඩි දේ තුළින් ප්‍රජාව සමග වඩා වැදගත් හා තීව්‍ර සන්නිවේදන සංසර්ගයක් කළ නොහැක. මෙය දැඩි අමානුෂික තත්ත්වයකි. චේ පැහැදිලි කරන පරිදි, “විප්ලවයේ ක්‍රියාකාරකම් සැබවින්ම දයා-කරුණා-මෛත්‍රිෙයන්-නිහතමානීභාවයෙන් බර සන්නිවේදනයෙන් අනූනව, විමුක්තිදායක වීම සදහා මානුෂික විය යුතු වේ“.

විප්ලයක් නිර්මාණය විය යුත්තෙ ජීවිත භක්තියෙනි. ජීවිත ප්‍රතිනිර්මාණය හෝ විප්ලවයක් අනායාසයෙන් සිද්ධ නොවන්නේය. එහෙයින්, සෑම විටම අරගලයක් සිය හෙඩිම කරගත යුත්තේ පොදු සමාජ තත්ත්වයන්ය. එය සීමිත පංතියක හෝ කණ්ඩායමක අවශ්‍යතාවය මත නිර්මාණය වී පොදු සමාජය තුළට ඔබ්බවනු ලබන එකක් වීමට වඩා විය යුත්තේ, පෙදු සමාජයේ පොදු තත්ත්වයන් හරහා අරගලයට හේතු සොයාගෙන එය නිසි ලෙස විප්ලවයක් කරා මෙහෙයවීමයි. 18 වෙනි සංශෝදනයට එරෙහි අරගලය විප්ලවයක් නොවන්නේ, එය පොදු සමාජය විසින් දෘෂ්‍යමාන කරගෙන තිබූ එකක් නොවීමයි. 71 හා 88/89 සිද්ධීන් යම් ප්‍රමාණයකින් හෝ සාර්ථක වන්නේ සන්නිවේදනීය හා සංවාදමය සංසර්ගය ශක්තිමක්භාවයකින් යුක්ත වූවා සේම, අත්‍යාසන්නයේදී යට කී “සමාජ අවශ්‍යතාවයන් පදනම්ව අරගලය නිර්මාණය වීම“ යන සාධක හේතු කරගනිමිනි.

ම විසින් මගේ හැදෑරීම තවදුරටත් කරගෙන යමි. නමුත්, ආශ්‍රය කියැවීමට යම් සාරාංශයක් ලියමි. දේශීය වශයෙන් අරගල ලෙස නිර්මාණය වන දේ විපල්වයක් කර වැඩි දියුණු නොවන්නේ ඇති සංසර්ගමය දුර්වලතා තුනක් නිසාය. එකක්, සමාජ සංවේදී සන්නිවේදන සංසර්ගයයි. දෙවැන්න, සමාජ සංවේදී සංවාද සංසර්ගයයි. තෙවැන්න, සමාජ අවශ්‍යතාවක් අනුව අරගලයක් නිර්මාණය කිරීමට තරම් සංසර්ගික කුසලතාවක් ප්‍රමුඛයින් සතු නොවන නිසාය. අවසානයේදී, අරගලයක් මෙහෙයවීම පිළිබද ප්‍රජාවගේ සිත් තුළත්, ප්‍රජාව පිළිබද ප්‍රමුඛයින්ගේත් ඇති දැඩි විශ්වාසයයි. එහෙයින්, දේශීය අරගලයන් සමාජ විප්ලයක් දක්වා ව්‍යාප්ත වීමට හෝ සංවර්ධනය වීමට නම් මීට වඩා සංවර්ධිත “විප්ලවීය න්‍යාය, සෛද්ධාන්තික හා ප්‍රායෝගික හැදෑරීමක්“ කළ යුතුව ඇත. දැනට එවැන්නක් සිදු නොවී තිබේ. 


2 comments:

udayar said...

I appriciate your attempt and the analysis.Today it is important task we have to re think and to give for the society. All the best

Thela | තෙලා said...

thanks udayar