Wednesday, June 8, 2011

ජනමාධ්‍ය සකර්මණ්‍යවීම සහ නිලූප සංජයට පහර දීම

නෙත් එෆ්.එම්. රේඩියෝවේ කාලීන සිදුවීම් අංශ නියෝජ්‍ය කළමණාකරු හා බැලුම්ගල කාලීන සිදුවීම් වැඩසටහනේ නිවේදකයෙකු හා නිශ්පාදකයෙකු වූ නිලූප සංජය ලියනගේ මහතාට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ නිළ ඇදුමින් නිවසට පැමිණි කොටිකාවත්ත පොලීසියේ පිරිසක් පහර දී තිබේ. ඉන් පසු ඔහු පළමුව කොළඹ ජාතික රෝහලටත් දෙවනුව කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කරනු ලදුව තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. නිලූප සංජය ලියනගේ යනු නෙත් එෆ්.එම්. හි ප්‍රමුඛ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වනවා සේම, බැලුම්ගල වැඩසටහනේද පෙරගමන්කරුවෙකි. අප කියවිය යුතුව ඇත්තේ, නිලූපට පහර දීමේ සිද්ධියේ “ඕපා-දූප ටික“ නොව, ඒ හරහා කියවිය යුතු සමාජ තත්ත්වයන් හා පොලිස් පහර දීමට පෙර නිලූප හා නිලූපගේ සංඛේතීය නියෝජනය වූ බැලුම්ගලේ හැසිරීම පිළිබද හැදෑරීමක් කළ යුතුව ඇත. නිලූපට හෝ නිලූපගේ සංඛේතීය නියෝජනය වූ බැලුම්ගල වැඩසටහන තුළ නිලූප හා නිලූප නොවන අනෙකෙක් ප්‍රහාරක ඉලක්කයක් බවට පත් වන්නේ කවර තත්ත්වයන් තුළ ද යන්නත්, ඒ හරහා සමස්ථ ජන-මාධ්‍යය භූමිකාව හැදෑරීමත් සිදුකළ යුතුව ඇත.

බැලුම්ගල වැඩසටහන ස්වකීය ආකෘතිය කොට ගන්නේ “ජනමාධ්‍යය සකර්මණ්‍යයතා න්‍යායයි (Media Activism Theory).“ එනමින් න්‍යායක් මින් පෙර කියවා නැති හෙයින්, පෙර කියවා ඇති “අධිකරණ සකර්මණ්‍යයතාවය“ ජනමාධ්‍යය සමග ඈදීමෙන් කියවා ගත යුතුයැයි යෝජනා කරමි. මෙතෙක් ඉතිහාසයේ ගුවන් විදුලි හෝ රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍යය ස්වකීය කාලීන වැඩසටහන් ආකෘතිය කොට ගත්තේ ප්‍රවෘත්ති හෝ සාකච්ඡා වැඩසටහන් මගින් කතිකාව ගොඩ නැගීමයි. ජනමාධ්‍යෙව්දියා ‘පොදු ජනතාවගේ අතර සිට‘ සිය මාධ්‍යය මෙහෙවර ඉටු කරන ‘මෙගා‘ ප්‍රමාණයේ සතියේ දින පහේම ප්‍රචාරය වන වැඩසටහනක් දේශීය විද්‍යුත් මාධ්‍යය ඉතිහාසයේ පළමු සහ එකම වැඩසටහන ලෙස නිර්මාණය වන්නේ බැලුම්ගලයි. ආරම්භයේ සිට අවසන් වරට නිලූපට පහර දෙන දිනය දක්වාත් නිලූපට පහර දීමෙන් පසු අද හෝ අදින් පසුවත් ජනමාධ්‍යය සකර්මණ්‍යතාවය බැලුම්ගල තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. පහර දීමක් හෝ බිය වැද්දීමක් තුළින් හෝ බැලුම්ගලෙහි සකර්මණ්‍යතාවය නවතාලිය හෝ ලිහිල් කළ නොහැක්කේ වෙයි. එනම්, බැලුම්ගල ස්වකීය පෝෂක පූරකයින් හෝ නිශ්පාදකයින් කරගනු ලැබ ඇත්තේ, “පොලු පහරකට“ හෝ “කුණුහරුපයකට“ බිය වී දත් හිරිවට්ටාගන්නා ආකාරයේ “පඩියට රේඩියෝ කරන“ මිනිසුන් නොවන නිසාය. එය එසේ වූයේ නම් බැලුම්ගල වැඩසටහනේ ගුවන් කාලය රික්ත වීමට ඉඩ තිබුණේ මින් බොහෝ කාලයකට පෙරයි.

පොදු සමාජය විසින් ජනමාධ්‍යවේදියා හෝ ජනමාධ්‍යය වැලදගනු ලබන සවිඥානික හේතු කිහිපයකි. එක්කෝ, රසවින්දනීය මාධ්‍යයක් ලෙස නැතිනම් රසවින්දනය නොවන වෙනකක් වෙනුවෙනි. අප විසින් හැදෑරිය යුතුව ඇත්තේ රසවින්දනීය මාධ්‍යයක් නොවන අනෙකක් ලෙස රේඩියෝ හැසිරීමයි.

ජනමාධ්‍යවේදියා යනු, විධිමත් ඇදුම් ඇදගත් මයික්‍රෆෝනයක් ඉදිරිපිට ඉදගෙන ස්වකීය ‘පොරත්වය‘ බෙදා හරිනා පොදු ජන සමාජයට ලගා විය නොහැකි, දුරින් සිට නැරඹීම හෝ සවන් දීම පමණක් කළ හැකි මිනිසෙක්ය යන චිත්‍රයේ රාමු කොට තිබූ සීමාව බිද දැමීම ජනමාධ්‍ය සකර්මණ්‍යතාවයේ පළමු ලක්ෂණයයි. ඕනෑම මිනිසෙක් සමග බත් පතක් බෙදාගෙන කෑමට හැකි, ඕනෑම මිනිසෙකුගේ තේ කෝප්පයකින් තේ උගුරක් බීමට හැකි, ඕනෑම ගුබ්බෑයමක ලැගීමට හැකි මිනිසෙකුට පමණක් සකර්මණ්‍යය මාධ්‍යෙව්දියා විය හැක. වෙන කිසිදු දැනුමකටත් වඩා ඔහුට අවශ්‍ය කරන්නේ “සමාජ කියැවීම“ හා “සමාජ හැදෑරීමයි“. අනෙකාගේ හදවතේ ගැස්ම හදුනාගනිමින්-ස්පන්ධනයේ රිද්මයෙන් සංඛේතීයව ප්‍රකාශ වන්නේ සතුට ද දුක ද තැති ගැන්ම ද ශෝකය ද නැතිනම් වෙනයමක් ද වශයෙන් අවබෝධ කරගැනීමේ සියුම් විඥානයක් සතු මිනිසෙක් විය යුතුයි. විදුලිය නැති ගමක මිනිසුන්, අනෙක් සියල්ලෝම විදුලියේ වරප්‍රසාදයන් භුක්ති විදින සමාජයක විදුලිය නොලැබීම නිසා භුකිති විදිමින් සිටින නිර්-වරප්‍රසාදිතයන් නිසි අයුරින් වටහා ගැනීමට නම්, ලයිට් නැති ගමක රැයක් ගත කළ යුතුම වෙයි. ස්වකීය හැගීමෙන් එම අත්දැකීම විදගනු හැක්කේ ඉන් මිස, “ඒ/සී වාහනයකින් ගොස් ගමට පොරක් ලෙස ‘බැස‘ මයික් ඇල්ලීමෙන් නොව“. මයික් එක අල්ලා රැගෙන එන ‘වොයිස් කට්‘ හරහා සමාජය කියවීමට වඩා වටින්නේ එහි වැටී සිටිමින් රැගෙන එන සැබෑ සමාජ ජීවයයි. සැබෑ ජීවය සහිත ජනමාධ්‍යකරණය සමාජහිතවාදී මාධ්‍ය ‘කෙරුවාවක්‘ වනවා සේම, පලප්‍රයෝජනයක් සහිත මාධ්‍ය ‘කෙරුවාවක්‘ ද වෙයි. සමාජය හෝ සමාජය විසින් ප්‍රශ්න කළ යුතුවන මිනිසුන් ප්‍රශ්න කිරීමට තරම් දියුණු කශේරුකාවක් මාධ්‍යකරුවාට නිර්මාණය වන්නේ අදාල සමාජ පරිහරණය හා හැදෑරීම හරහායි.

බැලුම්ගල තුළ ජනමාධ්‍යකරුවාගේ නිශ්චිත නිරූපණය වූයේ සකර්මණ්‍ය මාධ්‍යකරුවාගේ නිරූපණය බව ම විසින් කියනු ලබන්නේ සහේතුකවයි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පර්‍යන්ත වෙත ගාල් කරනු ලබන තෙල් බවුසර සදහා පුරවනු ලබන්නේ ශුද්ධ තෙල් වර්ගයක් නොවන බව බැලුම්ගල අනාවරණය කරනු ලබන්නේ ‘කවුරුවත් කියපු කතාවක් අහගෙන‘ නොවේ. ඒ බව සනාථ කරගැනීම පිණිස, බැලුම්ගල වැඩසටහනේ පූරකයින් ‘තෙල් මාෆියාවේ හදවත්‘ සිදුරු කරමින් එබී බලා සිටියේය. ඒ බව රටට කියන්නේ දෑසින් දැක බලා ‘අතේ මාට්ටු‘කර ගැනීමෙන් පසුවයි. ඒ අනුව, ඩීසල් සමග භූමිතෙල් හෝ වෙනයමක් දොළහට එක අනුපාතයෙන් මිශ්‍රකරනු ලබන බව සනාථ කළේය. දේවාල පවත්වාගෙන යමින් සිටින ඇතැම් කපුවන් විසින් හූනියම් සිදු කරනු ලබන්නේ මුදල් යෙදවූ චන්ඩින් විසින් හූනියමේ පොරොන්දු වූ පරිදි චන්ඩිකම් කරවීම මගින් බව බැලුම්ගල අනාවරණ කළේය. එසේම, පොලීසිය හෝ වෙනයම් ආයතනයන් විසින් විසදනු තබා පැමිණිල්ලක් හෝ භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් මගහරිමින් සිටි, නමුත් මහා පරිමාණයේ සිද්ධීන් විසදනු පිණිස බැලුම්ගල මැදිහත් විය. සුපිරි තරු තෝරා පත්කරනු ලබන එස්.එම්.එස්. ලක්ෂ ගණනක් හොරට යැවීම පිණිස සැකසූ ‘එස්.එම්.එස්. මැෂිම‘ පොලීසියට පවා සොයා දුන්නේ බැලුම්ගලයි. වසර හතරක් තිස්සේ, සතියකට දින පහක් කළ ‘‍කෙරුම්‘ ලිවීම බැලුම්ගල ට භාරකරන අතර, ඒවා වැඩි දුර හැදෑරීම ඔබේ වැඩ කොටසට භාර කරමි. නමුත්, මා කියමින් සිටින්නේ, සිද්ධි අත ලගට ගෙනැවිත් දෙන තෙක් නොසිටි, සිද්ධි සොයමින් සමාජය පීරමින් සිටිනා මාධ්‍යකරුවන් බැලුම්ගල විසින් නිර්මාණය කොට ඇත. එවැනි මාධ්‍යකරුවන් පිරිසක් විසින් බැලුම්ගල පෝෂණය කරමින් සිටියි.බොහෝ විට මාධ්‍යකරුවන් විසින් සිවිල් සමාජය ඉදිරියේ රුස් පෙන්වමින් ධනය සහ බලය ඉදිරියේ දණ ගසන වර්ගයේ ‘ඔෆර් එකක්‘ අපේක්ෂාවෙන් රස්සාව කරන මාධ්‍යකරුවන් නොවිනි. එහෙයින්, පැය නවයෙ ජොබ් එකක් පඩියට කරන සෙසු මාධ්‍යකරුවන් මාධ්‍යකරුවන් අතර විසිහතර පැය රස්සාව කරන මාධ්‍යකරුවන් පිරිසක් බැලුම්ගල පෝෂණය කරමින් සිටියි. සමාජය තුළ සෙසු අය අතර ‘ඕනෑවට වඩා දේවල්‘ කරන්නට යන මිනිසුනට පහර දිය යුතු යැයි තීරකයින් විසින් තීරණය කළා විය හැක.

බැලුම්ගල සිද්ධි අධ්‍යයනයන් වෙනුවෙන් ප්‍රභයන් කොට ගනු ලබන්නේ, ලිපියක්-තැපැල් පතක්-දුරකථන ඇමතුමක් හෝ ඇතැම් විට කටකතා හෝ ඕපාදූප ය. එසේත් නැතිනම්, විදුලියනයක් (ඊ-මේල්) හෝ ෆේස්-බුක් චැට් එකක් විය හැක. මේ කුමක් වුව ද ඉනික්බිති ඒ හරහා බැලුම්ගල විසින් කරනු ලබන හැදෑරීම හෝ අධ්‍යයනය පුළුල් හා තිව්‍ර එකකි. දැන් බැලුම්ගලින් මිදී බැලුම්ගල නොවන වෙනත් දේ පිළිබද යම් ප්‍රමාණයක කියැවීමක් කළ යුතු වෙයි.

මාධ්‍යය සකර්මණ්‍යතාවයට සමාන අධ්‍යයනයන් මින් පෙර හදුනාගෙන සිටියේ ගවේශනශීලී වාර්තාකරණය ලෙසයි. විකිලීක්ස් හි ජූලියන් අසාන්ජ්, වෝටර්ස්ගේට් අනාවරණය කල බොබ් වුඩ්සන් හා කාල් බර්න්ස්ටෙයින් වැන්නවුන් හා ඒ හා සම්බන්ධ සිද්ධීන් අප හදුනාගත් එවැනි වර්ගයේ වෙනත් දේ වෙයි. නමුත්, විකිලීක්ස් හෝ වෝටර්ස්ගේට් සිද්ධි අධ්‍යයනයන් ජනමාධ්‍ය පොදු සමාජය වෙනුවෙන් සකර්මණ්‍ය කරනු ලැබූයේ නොවන්නේ යැයි තර්ක කළ හැකි තැනක ඇත. එසේම, විකිලීක්ස් හෝ වෝටර්ස්ගේට් හරහා ජනමාධ්‍ය සමාජ සකර්මණ්‍යතාවය වෙනුවෙන් යම් ප්‍රමාණයක නිදර්ශකයන් ලෙස පමණක් දැක්විය හැක. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා කෙරුණු මෙහෙවර වෙනුවෙන් ජූලියන් අසාන්ජ් වෙත හිමි වූයේ නිළ-රාජ්‍ය සිරගත කිරීමකි. ඔහුගේ සිද්ධි අධ්‍යයන න්‍යායන් හෝ සිද්ධීන්හි ඇත්ත ප්‍රශ්න කිරීම අසාන්ජ් ‘හිර‘ කළ නොහැකි නිසා අසාන්ජ් වෙනුවෙන් ලිංගික අඩත්තේට්ටම නැමති දැඩි සමාජ පිළිකුල් කැටගරියේ වරදක් පැටෙව්වේය. අසාන්ජ් එමගින් නිහඩ කිරීම හා ඒ හරහා විකිලීක්ස් ක්‍රියාන්විතය නැවතීමට යම් වීර්යයක් දැරීය. අද වන විට, නිලූප සංජය වෙත නිළ-නොවන රාජ්‍ය සිරගත කිරීමක් හෙවත් පහර දීමක් මගින් ස්වේච්ඡා නිහඩතාවක් ඇති කිරීමට යම් වීරියක් දරා ඇත්තේ ද එම අර්ථයෙන්මය. අසාන්ජ් යනු සමස්ථ පද්ධතියක ප්‍රමුඛයෙක් වූ නමුත් එහි සිටි එකම ක්‍රියාකාරිකයා නොවීය. එලෙසින්ම, නිලූප ද පොදු පද්ධතියක ප්‍රමුඛයෙක් වූ නමුත් සමස්ථ පද්ධතියේ එකම පෙනී සිටීම හෝ ක්‍රියාකාරීත්වය නොවෙයි. අසාන්ජ් හෝ එවැන්නන් විසින් කන්තෝරුවක් තුළට රිංගා ලිපි ගොනුවක් අවුස්සයි. නිලූප හෝ එවැන්නෙක් විසින් සමාජය තුළට රිංගා සමාජය අවුස්සයි. අසාන්ජ්ගේ කැටගරිය ලිපි ගොනුව හරහා පොදු ජනයා වෙත සකර්මණ්‍යය වෙයි. නිලූපගේ කැටගරිය සමාජ අර්බුදයන් නිශ්චය කරමින් ඒ වෙනුවෙන් විසදුම් සොයමින් පොදු ජනයා වෙත සකර්මණ්‍යය වෙයි. පොදු සමාජය වෙනුවෙන් පෙනී සිටීම නැමති වරදට අසාන්ජ්ගේ කැටගරිය මෙන්ම නිලූපගේ කැටගරිය ද ධනය සහ බලය හිමි පොදු සමාජය වෙනුවෙන් පෙනී සිටින බව අගවමින් පොදු සමාජය සූරාකත පැලැන්තියට අවශ්‍යම චරිතයක් හෙවත් කරදරකාරයෙක් වෙයි. අසාන්ජ්ගේ හා නිලූපගේ කැටගරිය ධනය හා බලය හිමි පාලක පැලැන්තියේ හා එම නියෝජනයන්ගේ ඉලක්කයක් බවට පත් වන්නේ එහෙයිනි. පොදු සමාජය වෙනුවෙන් කෙරෙන පෙනී සිටීම නැවතීම සදහා, අසාන්ජ් හා නිලූප නියෝජනය කරන කැටගරි දෙක වෙත පහර දෙන්නේත් සිරගත කිරීම පිණිස හේතු ආදන්නේත් ඒ නිසාය.

උක්ත කියැවීමෙන් ඉනික්බිති, සංශිප්ත අදහසක් ගැනීම පිණිස සමාජ සකර්මණ්‍යය මාධ්‍යකරුවා හා වෘත්තීය මාධ්‍යකරුවා දෙදෙනා වෙන් වෙන්ව කියවිය යුතු වෙයි. වෘත්තීය මාධ්‍යකරුවා ‘අතේ රෝල් කාරයෙකි‘. නිරන්තරයෙන් සොයමින් සිටින්නේ සාදා නිම කරන ලද සිද්ධී හෝ ප්‍රවෘත්තීන්ය. ඔහු විසින් සිදු කරනු ලබන්නේ අදාල නිම-සිද්ධිය වාක්‍යය කිරීම පමණයි. රිය අනතුරක් වූ බවත් ඉන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් කොපමණ ද යන්න වාර්තා කිරීම හෝ ලියා දැක්වීම වෘත්තීය මාධ්‍යවේදියා විසින් සිදු කරයි. නමුත්, සමාජ සර්මණ්‍යය මාධ්‍යකරුවා ඉන් වෙනස් වෙයි. ප්ලේන්ටියක් හෝ බත් මුලක් සූදානම් කරමින් රිය අනතුරු බහුල පාරක් අයිනේ දින ගණනක් වුව ද කල් මරමින් සිට රිය අනතුරු බහුල වීමට හේතු හෝ ආශ්‍රිත සිද්ධීන් දැඩිය අධ්‍යයනය කරයි. ඔහුට හමුවන්නේ නිමි-ප්‍රවෘත්ති නොව. අමු-ප්‍රවෘත්තීන්ය. අමු-ප්‍රවෘත්ති හෝ අමු-සිද්ධි වාක්‍යය කිරීම නිමි-ප්‍රරවෘත්ති වාක්‍යය කිරීමට වඩා වෙනස් වෙයි.

දැන් කියවා ගත යුතුව ඇත්තේ, නිලූපගේ හෝ අසාන්ජ්ගේ කැටගරිය වන සමාජ සකර්මණ්‍යය මාධ්‍යකරුවා පාලනයේ හෝ පාලන ඒජන්තයින්ගේ ඉලක්කයක් වීමට හා වෘත්තීය මාධ්‍යකරුවා එසේ ඉලක්කයක් නොවීමට හේතු කවරක් ද යන්නයි. නිමි-ප්‍රවෘත්ති වාක්‍යය කරනු ලබන්නා එහිදීද යම් සීමාවන්ට ලක් කිරීමට වැඩි වෙහෙසක් ගත යුතු නොවෙයි. ලිපියක්-ඉල්ලීමක් හෝ දැන්වීමක් ඒ සදහා ප්‍රමාණවත් වෙයි. සමාජ සිද්ධීන් අමුවෙන් ප්‍රශ්න නොකරන හේ, කිසි විටෙක අදාල සීමා කිරීම් ප්‍රශ්න කිරීමට කිසි සේත් නොපෙළඹෙයි. නමුත්, ලිපියකින්-දැන්වීමකින් හෝ ඉල්ලීමකින් සමාජ සකර්මණ්‍යය මාධ්‍යකරුවා සීමා කළ නොහැක. එසේ වීමට හේතුව වන්නේ, නිරන්තර සමාජ ප්‍රශ්න කිරීමක සිටින සකර්මණ්‍යය මාධ්‍යකරුවා අදාල සීමා කිරීමේ ලිපිය-දැන්වීම හෝ ඉල්ලීම ද පැකිලීමකින් තොරව ප්‍රශ්න කරයි. එවිට, අදාල ප්‍රශ්න කිරීම් වෙනුවෙන් සහේතුක පිළිතුරු නැති තැනකදී ප්‍රති-උත්තරයක් ලෙස කළ හැකි දේ වන්නේ ප්‍රශ්න කිරීමේ ප්‍රභවය විනාශ කිරීමයි. විටෙක, අතුරුදන් කිරීමකින් ද විටෙක මරා දැමීමකින් ද තවත් විටෙක පහර දීමකින් හෝ සිරගත කිරීමකින් එම ප්‍රතිඋත්තරය පූර්ණ කරයි. අද වන විට, නිලූප සංජය ලියනගේ හෝ එම කැටගරිය වෙත ප්‍රතිඋත්තර ලෙස දෙමින් සිටින්නේ එයයි.

අවසන කියමි. ඉලක්කයක් නොවන තාක්කල් මාධ්‍යකරුවා යනු මැස්ස ගසන අතට වැවෙන පතෝල වැලක් වැනිය. මාධ්‍යකරුවෙක් යැයි කියමින් සමාජ සකර්මණ්‍යය මාධ්‍යවේදීයාගේ කැටගරිය තුළ සිටිනේ ඉලක්ක බවට පත් වූවන්ට. එම කැටගරියේ සිටින සියලු දෙනා ඉලක්ක බවට පත් වන්නේ සමාජ ක්‍රමය තුළ නිරායාසයෙනි. ජූලියන් අසාන්ජ් සිරගතව සිටින්නේත්, නිලූප සංජය රෝහල්ගතව සිටින්නේත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්ව සිටින්නේත්, ලසන්ත වික්‍රමතුංග මියගොස් සිටින්නේත් එහෙයිනි. එසේම, මහින්ද අබේසුන්දර ආණ්ඩුවේ පත්තරයක ප්‍රධාන කර්තෘ වී සිටින්නේත්, ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ සිටින්නේත්, සරත් කෝන්ගහගේ රූපවාහිනී සභාපති වූයේත් එසේ නොවුනු හෙයිනි.

5 Click Here to Comment:

Anonymous said...

nilupata policeten gahuwe private hethuwak nisa kiyala balumgala programme ekedima kiuwa.ekata wena idea denna hadanna epa....eka hoda ne..api aththa katha karanna one....

!dea365 Author said...

mama methana kiyala ne policien gehuwe media scene ekak nisa kiyala. Aye paarak kiyawanna. Nilupata gehuwa hethuwak mama kiyala ne. Eka pahara kana kenage pudgalika unath Rajakarimaya unath, Police paharadeemak.

samitha said...

ඔබ විශ්වාස කරන්නා වූ දෙය වෙනුවෙන් පෙනී සිටින්න...........1310

Chinthaka said...

ණිලූපගෙ පහරදීමට හේතුව මෙතනදි කියලම නෑ,,, දෙබිඩි වාර්තාකරනයක් වගෙයි පේන්නෙ,, එලොවටත් නෑති මෙලොවටත් නෑති පෑහෑදිලි කිරීමක්,,,,

Anonymous said...

kauda yako kiyanne meka warthakaranayak kiyala. @Chinthaka - warthakarana kiyawanda nam Paththara News balapan