Monday, June 6, 2011

ජාතිවාදයේ පියා - ඝාතනය කළ යුතුව ඇත

අද වන විට අප ජාතිවාදය හා ජාතිකවාදය යන හීසර වලින් වෙන් වෙන්ව හා සියල්ල එක්වී විදවමින් සිටිමු. මේ වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන් ද. මේ කුමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක ද? අප විසින් ජාතිවාදයේ හෝ ජාතිකවාදයේ පදනම ඇති කරමින් මෙම අවුල් සහගත තත්ත්වය ඇති වීමට පදනම සපයන්නේ කවුරුන් විසින් කොතැනදීද. අවුල ලිහා ගැනීමට නම් අප විසින් මේ ඛේදනීය මූලධර්මයන්ගේ හා මතයන්ගේ පදනම කියවා ගත යුතුව ඇත. අප වියවුල ලිහීම ඇරඹිය යුත්තේ වියවුලේ ආරම්භයේ හෝ පදනමේ සිටයි. සිංහලයා - දෙමළා - මුස්ලිම්කාරයා - හෝ වෙන එකෙක් වීම වෙනුවට අපට විකල්ප මිනිසෙක් විය හැකි තත්ත්වයක් ඉතිරිව තිබේද. අප විසින් පෝෂණය කළ යුත්තේ සිංහලයා - දෙමළා - මුස්ලිම්කාරයා ද. නැතිනම් වෙනම මිනිසෙක් වන විකල්ප මිනිසාද. මේ කියැවීම ඒ වෙනුවෙන් කරනු ලැබූ කියැවීමක් හා යම් හැදෑරීමක් වෙනුවෙනි.

උපුටා ගැනීම, 1956 රාජ්‍ය භාෂා පනත - “2. The Sinhala language shall be the one official language of Ceylon: Provided that where the Minister considers it impracticable to commence the use of only the Sinhala language for any official purpose immediately on the coming into force of this Act, the language or languages hitherto used for that purpose may be continued to be so used unit 1 the necessary change is effected as early as possible before the expiry of the 31st day of December, 1960, and, if such change cannot be effected by administrative order, regulations may be made under this Act to effect such change.“ එස්. ඩබ්ලිව්. අර්. ඩී. බණ්ඩාරණායක විසින් එ.ජා.ප. ආණ්ඩුව පෙරළමින් ‘අත‘ ලකුණ යටතේ වූ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් දුන් පොරොන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම පනත ඉදිරිපත් විය. බණ්ඩාරණායක විසින් සිංහල ජාතිවාදය, දෙමළ හා අනෙක් ජාතීන් සමග ඝට්ටනය කරමින් ස්වකීය මැතිවරණයේ දී තම පක්ෂය දිනවා ගැනීම පිණිස යොදා ගත්තේය. දෙමළා හෝ අනෙකා දැකීමට හෝ අකමැති තත්ත්වයක් නිර්මාණය කරමින් සමස්ථ සිංහලයාගේ ඡනද පදනම සිංහලයා-දෙමළ හෝ අනෙකා යනු වෙන් වෙන් වූවන් නොවන බව කියූවන් අතර දේශපාලනික පොරත්වයක් නිර්මාණය කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරණායක සිංහල ඡන්ද පදනමකින් ඡන්දය දිනා ගත්තේය. මෙහිදී ප්‍රශ්න කළ යුතුව ඇත්තේ බණ්ඩාරණායකගේ 56 මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගෙනා ඡන්ද පොරොන්දු පමණක් නොව, බණ්ඩාරණායක විසින් තම ජාතිවාදී අදහස් ක්‍රියාත්මක කිරීම අරඹන්නේ කොතැන සිට ද යන්නයි. ඇත්ත වශයෙන්ම බණ්ඩාරණායක 56 දී සිදු කරනු ලබන්නේ එතෙක් තමා තුළ හෝ තමා සමග සිටි කිහිප දෙනෙක් සමග එක්ව හා තනිව පෝෂණය කොට ගත් ජාතිවාදී ආකල්ප ජාතිකව ව්‍යාප්ත කිරීම පමණයි.

බණ්ඩාරණායකයන්ගේ ජාතිවාදයේ ඉතිහාසය 56 සිට වසර 20 ක් තරම් ආපස්සට දිවෙන සාක්ෂි සහිත එකකි. ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරගැනීම පිණිස 1919 දී ලංකා ජාතික සංගමය බිහි විය. ප්‍රතිපත්තියෙන්ම ලංකා ජාතික සංගමය හෝ ජාතික සංගමය ලෙස හැදින්වූ එහි කියැවූයේ, ජාතික සංගමය යනු සියලු ජාතීන්ගේ එකමුතුවෙන් බිහිවන නිදහස දිනා ගැනීම අරමුණු කොට ගත් සංවිධානයක් බවයි. නමුත්, 1930 දශකයේ මැද භාකය වන විට බණ්ඩාරණායක විසින් ජාතික සංගමයේ සමස්ථ ජාතික පදනම අභියෝගයට ලක් කරමින් සිංහල ජාතිවාදය ශක්තිමත් කිරීමේ උත්සාහයක් දියත් කෙරිණි. එනම්, ජාතික සංගමයේ කටයුතු විවේචනය කරමින් හා ඒවාට සහභාගී නොවී කඩාකප්පල් කිරීමේ වෙර වීරිය දරමින්, ‘සිංහල මහ සභාව‘ පිහිටුවීය. දේශීය උගත් ප්‍රභූන්ගේ බහුතර අපේක්ෂාව වූයේ ජාතික නිදහසයි. නමුත්, ඉණ්ඩාරණායක වැනි සිංහල ජාතිවාදීන්ගේ අරමුණ වූයේ සිංහල රාජ්‍යයක් තුළ වූ නිදහසකි. ඇතැම් විට සිංහල ජාතිවාදී නිදහසක් පිළිබද බණ්ඩාරණායකගේ අදහස අධිරාජ්‍යවාදීන් විසින් ශක්තිමත් කළ එකක් හෝ එසේ ශක්තිමත් කරමින් සිටි එකක් විය හැක. බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව දෙකඩ කිරීම සදහා මුස්ලිම් ජාතිවාදය ‘පාවිච්චි‘ කළේ මොහොමඩ් අලි ජින්නා හරහාය. එවැනිම අයුරින්, සියලු ජාතීන් පිළිගත් ශක්තිමත් රටක් වෙත නිදහස ප්‍රධානය කරනවා වෙනුවට සිංහල හා සිංහල නොවන වශයෙන් බෙදී ගිය රටවල් දෙකකට නිදහස ලබා දෙමින් සදාකාලික වියවුලක් ජනිත කරන්නට ‘සුද්දන්ගේ ඔළුවෙ තිබ්බ අදහස‘ බණ්ඩාරණායක හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සාහ දැරුවාද විය හැක. කෙසේ හෝ බණ්ඩාරණායකයන් විසින් ජාතික සංගමයෙන් සිංහල ජාතිවාදීන් සූක්ෂමව ‘බා ගත්තේය‘. මේ නිසාම, ජාතික සංගමයේ සියලු ජාතීන් නියෝජන පදනම ක්‍රමයෙන් දුර්වල වන්නට පටන් ගත් අතර සෙසු ජාතීන් සමහරක් ද ජාතික සංගමය හැර ගියේය. දුවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ හා යෝනක සංගමය බිහි වන්නේ එහි ප්‍රතිඵල ලෙසයි. පළමුව, ජාතිවාදී රාජ්‍ය බෙදීමක් වෙනුවෙන් බණ්ඩාරණායක ද දෙවනුව සෙසු ජාතිවාදීන් ද කටයුතු කළේය. නමුත්, මෙහි ඉතාම නරක වූ පූර්වාදර්ශය සපයනු ලබන්නේ සිංහල ජාතිවාදය ඔටුන්න කරගත් බණ්ඩාරණායක විසිනි.

පසුව, එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමේ මූලික සාකච්ඡා සදහා ජාතික සංගමයේ සියලු ප්‍රමුඛපෙළ නායකයින් සහභාගී වුව ද, එහි නම ‘ලංකා ජාතික සංගමය‘ වූ හෙයින් තමා ඒ සදහා සහභාගී නොවන බව බණ්ඩාරණායක විසින් ඩී.එස්. සේනානායක් දුරකථනයෙන් අමතා කීවේය. (රංජිත් කීර්ති තෙන්නකෝන් / මහා සම්ප්‍රදායේ කථාව). නමුත්, පසුව එ.ජා.ප.යේ උප සභාපති වූ බණ්ඩාරණායක නිරන්තරයෙන් උත්සාහ දැරූයේ සිංහල ජාතිවාදී පදනමක් ඇති කරමින් සෙසු ජාතීන් නොසලකා හැරීමටයි. නමුත්, 47 මැතිවරණයෙන් පසු සේනානායකයන් අගමැති වීමත් සමග, බණ්ඩාරණායක එම ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති විය. එහෙයින් ජාතිවාදී සංගල්ප එම ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කිරීමට වැඩි අවස්ථාවක් නොවීය. සේනානායකයන්ගේ වියෝවෙන් පසු අගමැතිකම අපේක්ෂා කර සිටියද එය නොලැබීම හා කෙසේ හෝ අගමැති විය යුතු යැයි යන හැගීම පැවතීම නිසා කවර හෝ ක්‍රමයකින් අගමැති වීමේ උත්සාහයක් බණ්ඩාරණායකයන් සතු විය. සියලු ජාතීන් පිළිබද එ.ජා.ප.ය මේ වන විට කතා කරමින් සිටි හෙයින්, බණ්ඩාරණායකය අගමැති වීමට නම් සියලු ජාතීන් නොවන වෙනයමක් පිළිබද කතා කළ යුතුව තිබිණි.

50 දශකයේ මුල්භාගයේ පක්ෂය ‘කඩාගෙන යන‘ බණ්ඩාරණායක, තම අගමැති සිහිනය සැබෑගර ගැනීම පිණිස සිංහල ඩාතිවාදය පාවිච්චි කළේය. සිංහලකම - මේ රට සිංහල රට - සිංහල භාෂෘව හැර වෙන යමක් නැත යන ජාතිවාදී සංකල්පයන් රට පුරා වපුරමින් ස්වකීය සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් වෙර දැරීය. බහු වාර්ගික බහු ආගමික මූලයන්ගෙන් බිහි වූ එ.ජා.ප.යට බණ්ඩාරණායක මහතාගේ සිංහල-බෞද්ධ බලවේගයේ අනුගාමිකත්වය ගැලපුනේ නැත. බණ්ඩාරණායකයන් මැතිවරණය දිනා ගැනීමත් සමග, ජාතිවාදය ව්‍යවස්ථාගත කළේය. ඒ, 1956 රාජ්‍ය භාෂා පනත මගිනි. මෙම පණත පැණවීමත් සමග, දෙමළ මුස්ලිම් හා සිංහල නොවන බොහෝ පාර්ශවයන් ‘සිංහල ආණ්ඩුව‘ සමග දැඩි වෛරයක් ඇති කර ගත්තේය. ඇතැම් විට මෙය බද්ධ වෛරයක් දක්වා දිග් ගැස්සීම, 70 දශකය වන විට ශක්තිමත් ත්‍රස්තවාදයක් දක්වා දිග්ගැස්සීමට හේතු වූවා විය හැක. යම් හෙයකින් බණ්ඩාරණායක වෙත බ්‍රිතාන්‍යයන් විසින් අලි-ජින්නාට ගෙනා යෝජනාව ගෙනාවේ නම්, බණ්ඩාරණායකගේ ජාතිවාදී අදහස් හරහා බණ්ඩාරණායකයන් විසින් බ්‍රිතාන්‍යයන්ට එකග වනවා නොඅනුමානයි. මා එසේ කියා සිටින්නේ, එක පැත්තකින් බණ්ඩාරණායක යනු ඉතාම ඉක්මනින් අගමැති වීමේ දැඩි ආශාවකින් හා උනන්දුවකින් සිටි අයෙකි. අනෙක් පැත්තෙන් ඔහු සිංහල ජාතිවාදය වපුරමින් සිටි අයෙකි.

අද වන විට, සිංහල හා සිංහල නොවන තත්ත්වය යම් අයුරකින් සමනය වෙමින් පවතියි. නමුත්, අතැමුන්ගේ යටි හිත් තුළ තවමත් සිංහලයෙකු වීමේ කාලකන්නි තේජස හා සිංහලයෙකු නොවීහේ වෛරී මානසිකත්වය නැත්තේ ම නොවේ. දැන් කළ යුතුව ඇත්තේ, සිංහලයා සහ සිංහලයා නොවන වශයෙන් බේද බින්න වෙමින් තවදුරටත් ඇණ කොටා ගැනීමේ ‘බණ්ඩාරණායක න්‍යාය‘ වෙනුවට වෙනයමක් සොයා ගැනීමයි. ඒ වෙනයම, විය යුත්තේ ජාතිවාදය නොව, ජාතිකවාදය යැයි යෝජනා කරමි. ජාතිකවාදය යනු ශ්‍රී ලාංකිකයා සහ සහ අනෙකා යැයි කෙරෙන බේද කිරීම් සහිත ‘විමල් වීරවංශ න්‍යායෙන්‘ එහා ගිය එකක් විය යුතු වෙයි. ලෝකයට ලොකු කතා කියමින් ලෝකය සමග හැප්පීම නැමති, කලු ගලේ ඔළුව ගසා ගැනීමේ මහා අරගලය වෙනුවට ලෝකය සමග එකතු වී ලෝකයෙන් වාසි ගැනීමේ යම් ක්‍රම්‍යක් පිළිබද සිතිය යුතු වෙයි. ඒ සදහා ධන-ජාතිකවාදී ආකල්ප පෝෂණය කර ගත යුතු වෙයි.

ධන-ජාතිකවාදය පෝෂණය වීම කෙරෙහි ද පදනම් පෝෂකය වන්නේ, ජාතිවාදී ආකල්පයන්ගේ ප්‍රමාණයයි. මේ අපේ රට හෝ අපේ උන් විසින් කරවන ආණ්ඩුවක් යැයි පිළිගැනීමට සියලු මිනිසුන් සූදානම් විය යුතු වෙයි. එසේම, අවංකවම සියලු ජාතීන්ගේ ආණ්ඩුවක් බව හැගෙන-දැනෙන අයුරින් ආණ්ඩුව කරවීමට ආණ්ඩුව සමර්ථ විය යුතු වෙයි. සියලු ජාතීන්ගේ ආණ්ඩුවක් වීම හරහා සියලු ජාතීන්ට ආණ්ඩුව සියලු ජාතීන්ගේ බව වැටහෙයි. එහෙයින්, රට ද සියලු ජාතීන්ගේ රටක් වෙයි. ජාතිකත්වය පෝෂණය වෙමින්-රට වෙනුවෙන් යමක් සිදු වන්නේඉනික්බිතිවයි.

එහෙයින්, බණ්ඩාරණායකගේ පටු ජාතිවාදී හැගීමි සහ ආකල්ප දැන් සමාජය විසින් ඝාතනය කළ යුතුව ඇත. ජාතිවාදයේ සංඛේතීය පිය වන, බණ්ඩාරණායක සහ එම මූලයන් සමාජයීය ඝාතනයකට ලක් කළ යුතු වෙයි.  ජාතිවාදී බණ්ඩාරණායක පමණක් නොව, පටු ජාතිකවාදීන් ද සමාජයීය වශයෙන් ඝාතනය කළ යුතුව ඇත. දැන්, ඉන් එහා යමක් සිතිය යුතුව ඇත.

2 comments:

basura eranga said...

කියල වැඩක් නෑ අයිය සම්පූර්ණ ඇත්ත කතාව................

basura eranga said...

කියල වැඩක් නෑ අයිය සම්පූර්ණ ඇත්ත කතාව................