Saturday, June 4, 2011

ගබ්සාකිරීම තහනම් (සියල්ල විසදේද?)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙසේ කියයි. ‘ලෝකය පුරා වාර්ෂිකව අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 40-50 ත් අතර සංඛ්‍යාවක් සිදු වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සිය කළලය ගබ්සා කිරීමට තීරණය කිරමින් එය ක්‍රියාත්මක කරනු ලබන, සරලවම අවසානයේ ගබ්සාවට ලක්වන කාන්තාවන්ගේ සංඛ්‍යාව දිනකට 125,000කි. මෙය ආසන්න වශයෙන් එක තත්පරයකට එක් ගබ්සාවකි.‘

ඒ ලොක්ය ගැන කියන කතාවෙන් අප විසින් අප සමාජය කියවනු ලැබිය යුත්තේය. ලංකාව තුළ සිදුවන අනපේක්ෂිත හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් ප්‍රමාණය කොතරම් ද? මෙහි ප්‍රතිඵලයක් ලෙස, නීති ගත කොට නොමැති තත්ත්වයකදී වුව ද දේශීයව සිදුවන ගබ්සාවන්ගේ ප්‍රමාණය කොතරම් ද. අනපේක්ෂිත හෝ පූර්ව සැලසුමකින් තොර ගැබ් ගැනීම් ඇති වීමේ හේතු හා ගැබක් ගබ්සා කිරීම දක්වා හිත හදා ගන්නා සහ අවසානයේ ගබ්සාවක් සිදු කරගන්නා තත්ත්වයට පත් වීමට හේතු කවරක්ද. සමාජය විසින් හෝ නීතිය විසින් ගබ්සාකිරීම නොකළ යුත්තක් හෝ ඒ වෙනුවෙන් සීමා පණවා තිබියදීත්, දේශීයව ගබ්සාකිරීම් වැඩි ප්‍රමාණයක් දිනකට සිදුවන තත්ත්වයට පත්ව ඇත්තේ ඇයි. මේ සියල්ල කියවා අවසන, නීති විරෝධී ගබ්සාව හෝ සම්පූර්ණයෙන්ම ගබ්සාව නැමති සිද්ධි සමූහය එකිනෙක එක්ව කියවා ගත යුතුව ඇත.

ගබ්සාව හා ඒ හා සම්බන්ධ දේශීය ඉලක්කම් සහිත හැදෑරීමක දී, අප නොසිතූ බොහෝ දේ අපට වැටහෙමින් තිබේ. දේශීයව ගබ්සාවක් කළ හැක්කේ යැයි නීතියෙන් විධිවිධාන සලස්වා ඇත්තේ එකම සීමිත අවස්ථාවකකදී පමණි. එනම්, මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සද්භාවයෙන් කරනු ලබන ගබ්සාවක් සදහා පමණක් ඒ යටතේ අවසර හිමි වෙයි. නමුත්, දේශීයව ගබ්සාව පිළිබද සොයා යාමේදී ගබ්සාවන් සිදුවන්නේ, උක්ත ප්‍රතිපාදනයේ සලස්වා ඇති හෙඩිමෙන් ම දැයි ප්‍රශ්නකාරී වෙයි.

වාර්ෂිකව සිදුවන දේශිය ගබ්සාවන්ගෙන් සියයට 31.6ක්ම සිදු වන්නේ තවත් දරුවෙක් සදහා වන අවශ්‍යතාවයේ ශූන්‍යභාවය නිසාය. එක්කෝ දැනට සිටිනා හෝ අවසන් දරුවා ඉතාම කුඩා වයසේ සිටින්නෙකු වීමයි. එසේම, ඉතිරියෙන් සියයට 23.1ක් සදහා ඔප්පුකරගනු ලැබ ඇති හේතුව වී ඇත්තේ, ආර්ථික අපහසුව හෝ ‘තවත් එකෙක්ට කන්න දෙන්න බැරි කම‘යි. සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සදහා මසකට රුපියල් 36,000කවත් අවම වැටුපක් අවශ්‍ය බව 2009 මහබැංකු වාර්තාවෙන් කියා සිටියි. ඒ අනුව, ආසන්න වශයෙන් එක් දරුවෙක් හා දෙමාපියන් දෙදෙනා සිටින පවුලක් වෙනුවෙන් රුපියල් 27,000කවත් මුදලක් අවශ්‍යය වෙයි. අද වන විට දේශීය වේතනයන්ගේ ප්‍රමාණය සැලකීමේදී පවුලේ එක් අයෙක් හෝ ඊට වැඩි පිරිසක් උපයමින් ලබන ආදායම රුපියල් 27,000 ඉක්මවන ප්‍රතිශතය, දරුවා සහ දෙමාපියන් දෙදෙනා සිටින පවුල් සංඛ්‍යාවට කිසිසේත්ම සමාන නොවෙයි. මෙවන් තත්ත්වයකදී එක් දරුවෙක් හෝ නඩත්තු කළ නොහැකි තත්ත්වයක සිට තවත් දරුවෙක් වෙනුවෙන් සිය නිවසේ අවකාශ වෙන් කරන්නේ කෙසේ ද? තවත් දරුවෙක් වෙනුවෙන් තමන් සූදානම් නොවීම හේතුවෙන් සංඛ්‍යාත්මකව වාර්ෂිකව ගබ්සාවන් මෙතරම් ප්‍රමාණයක් සිදු වීමට හේතුව වන්නේ, ‘උන්ගෙ තියන පව්කාර කමට ගබ්සා කරන නිසා‘ නොවන බව වටහා ගැනීමට හැකි වෙතැයි සිතමි.

මේ වන විටත් ස්වකීය පවුල සැලසුම්කොට හමාර වී ඇති පවුල් වල සාමාජිකයින් විසින්, පවුලේ සම්පූර්ණභාවය ඉක්මවා යාමට ඇති අකමැත්ත නිසා සිදුකරගනු ලබන ගබ්සාවන්ගේ ප්‍රමාණය සියයට 22.5කි. ‘පවුල සැලසුමු කරල ඉවරනම් තවත් උන් හදන්නෙ මොන කෙන්ගෙඩියට ද‘වැනි ස්වයං ප්‍රශ්න කිරීමක් විසින් ඔබ යම් අවුල්සගත තත්ත්වයකට පත් වන්නේ නම්, ආර්ථික තත්ත්වය - සමාජ පසුබිම - පුද්ගලික සම්පත් වල ප්‍රමාණය වැනි කරුණු සසදමින් ඒ අවුල නිරාකරණය කර ගනිමින් කියවා ගැනීම ඔබට භාර කරමි. ගැබ් ගැනීමේදී සිදු වූ යම් සෞඛ්‍යයමය කාරණයක් හේතුවෙන් ගබ්සාවක් වෙත යොමුවන ප්‍රමාණය වාර්ෂික ගබ්සාවන්ගේ ප්‍රමාණයෙන් සියයට 13.1කි. නමුත්, ගබ්සාවක් කර ගැනීම ඉතාම සාධාරණ වේ යැයි නිශ්චය කළ හැකි මෙම සෞඛ්‍යය හේතූන් පවා අභිබවමින් සිටින තවත් හේතුවක් වෙයි. එනම්, දැනටමත් වැඩී ඇති දරුවන් සිටින නිසා තවත් ලාබාල දරුවෙක් යෝග්‍ය නොවන්නේ යැයි යන ස්ථාවරයෙන් සිදුවන වාර්ෂීක ගබ්සාවන්ගේ ප්‍රමාණය සියයට 18.2කි.

ගබ්සාවන් සිදු කරගනු ලබන්නේ ‘වෛශ්‍යාවන්‘ හෝ ‘අනාචාරී ගැහැණුන්‘ යැයි සිතමින් සමස්ථ ගබ්සා කිරීමේ ක්‍රියාවලිය ‘කුණුහරුපයක්‘ ලෙස කැටි කොට කියවා තිබුණේ නම්, දැන් අදාල හැදෑරීමේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම පිණිස කියවා ගනු වටියි. මේ වන විට සමස්ථ ගබ්සාවන්ගෙන් වැඩි ප්‍රමාණයකට හේතු හැදෑරූ නමුත්, මේ වන තෙක්ම ‘අනාචාරය‘ හෝ ‘වෛශ්‍යාවෘත්තිය‘ හේතුවෙන් ගබ්සාවන් සිදුවන්නේ යැයි අපට කියැවීමට හමු නොවිණි. ගබ්සාව වෙත කාන්තාවන් යොමු වන්නේ, දැඩි මානසික පීඩනයකින් හා ව්‍යාකූල මනසකින් යුක්තව බව සැබෑය. නමුත්, ගැබ ගබ්සා කරනවා හැර සිදු කිරීමට වෙනයම් විකල්පයක් ඇත්තේම නැති මොහොතක පමණක් ගබ්සාවක් වෙනුවෙන් යොමු වීම පොදු ගැහැණිය විසින් සිදු කරන බව කිව යුතුය. සරලව කියන්නේ නම්, ගබ්සා කිරීම පුරුද්දක් කරගත් හෝ ජීවිතාංගයක් කොට ගත් කාන්තාවන් පොදු සමාජය තුළ ඇත්තේම නැති තරම්. ඔබ දන්නා එකෙකු හෝ දෙකෙකු ඔබේ මතකයේ ඇති පමණින් ඒ සමස්ථ සමාජය නොවන්නේය යන බව සීරුවට කියවා ලිහා ගත යුතු කරුණකි.

දරුවෙක් පිළිසිද ගැනීම සදහා සුදුසු වයස යැයි සම්මත උපරිම වයස් ප්‍රමාණය වූ වයස අවුරුදු 40 හෝ ඒ ආසන්න වයසක් පසුකළ පසු ඇතිවන ගැබ් ගැනීම්, ගබ්සාකිරීම් මගින් නවතා දැමීමට වාර්ෂිකව පෙළඹෙන ප්‍රමාණය සියයට 12ක් තරම් වෙයි. තමන සහ තම දරුවා රැකබලා ගැනීම පිණිස රක්ෂණිකයෙකු හෝ ආරක්ෂකයෙකු, එසේත් නැතිනම් කාත්-කවුරුවත් නැති කම හේතුවෙන් සිය ගැබ ගබ්සා කිරීමට පෙළඹෙන කාත්නාවන්ගේ ප්‍රමාණය වාර්ෂිකව සියයට 11.1කි. අවිවාහක ගැබ්ගැනීම් හේතුවෙන් සියයට 6.4ක්ද, විවාහයෙන් ආසන්නතම කාලයේදී ගැබ්ගැනීම නිසා සියයට 5.3ක්ද ගබ්සා කිරීම කෙරෙහි පෙළඹෙයි. අනාචාරය හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් පාදක කොටගත් ගබ්සාව සියයට 4.7ක් වෙයි. විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටීම හෝ රැකියාවක් කිරීම පිණිස ගැබ්ගැනීම ‘වාතයක්‘ වීම නිසා සිදුවන ගබ්සා කිරීම් සියයට 5.4කි. (මෙහි ප්‍රතිශත අගයන් සියයට සියය ඉක්මවා සිටින්නේ, ඇතුම් ගබ්සාවන් සදහා හේතු ලෙස එකකට වඩා වැඩි ප්‍රමාණයක් දක්වන හෙයිණි. දත්ත පිළිබද වැඩි දුර කියැවීම පිණිස, http://www.fpasrilanka.org/downloads/Unsafe%20Abortions%20in%20Sri%20Lanka%20.pdf)

දැන් එකිනෙකින් කියවාගත් කරුණු එක්ව හැදෑරිය යුතු යැයි සිතමි. ගබ්සාව නීතිගත කිරීමෙන් හෝ නීත්‍යානුකූල ගබ්සාව සදහා වන තත්ත්වයන් හා කොන්දේසි ලිහිල් කිරීම නොකළ යුත්තක්ද. එසේ කළ යුතු වන්නේ නම්, ‘ගබ්සා කිරීම‘ සෙල්ලමක් වනු ඇතැයි යම් අවධානමක් ඇති ද. අප දන්නා දේශීය සමාජය යනු - ගබ්සාව පමණක් නොව වෙනත් ඔය වර්ගයේ යමක් කරගැනීමට අවශ්‍ය වන්නේ නම් කෙසේ හෝ ඒ දේ කරගන්නා සමාජයකි. එහෙයින් ගබ්සාව නීතිගත නොකර තිබෙන තාක්කල් ගබ්සාවන් සිදු නොවන්නේ යැයි හිත හදාගැනීමේ හැකියාවක් ලාංකීය සමාජයට කිසිදු හැකියාවක් නැත. ගබ්සාව නීතිගත නොකරන තාක් ගබ්සාවන්ගේ ප්‍රමාණය හෝ ගබ්සාව නැවතී තිබෙන්නේ නැති බව, දේශීයව වාර්ෂිකව සිදු වන නීතිවිරෝධී හා සම්මත තත්ත්වයන්ගෙන් පරිභාහිර ගබ්සාවන්ගේ ප්‍රමාණයේ ඉලක්කම් බැලීමේදී පෙනේ. මෙහි ඇති සංඛ්‍යාවන් යනු සමස්ථය ද නොවන බව වටහා ගත යුතු වෙයි. දැන් අප විසින් ප්‍රශ්න කරගත යුතුව ඇත්තේ, ගබ්සාව නීතිගත කිරීමෙන් හෝ එහි සීමාවන් යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීමෙන් පසු ගබ්සාව සෙල්ලමක් වී, ‘හැම ගෑණිම ගබ්සා කරගන්න‘ තත්ත්වයකට පත් වන්නේ දැයි යන ප්‍රශ්නයයි.

කළලයක් සමයේ, ගබ්සාකර ගත යුතුයැයි සිතුණු කිසිදු කළලයකින් උපන් මිනිසෙක් මිහිපිට නොසිටිනා තරම් වෙයි. මේ වන විට දේශීය වශයෙන් නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන සිය-දහස් ගණනක් පවත්වාගෙන යයි. විවිධ බෙහෙත් හා ඖෂධ මගින් හෝ වෙනයම් ක්‍රම මගින් ගබ්සා කිරීම සාමාන්‍ය පරිදි සිදු වෙයි. මෙහි වෙනස ඇත්තේ, ඒවා සමාජය විසින් ‘අනාචාරී කාන්තාවන්ගේ ක්‍රියා‘ යැයි සිතා සිටින නිසා, අදාල සිදුකිරීම් සියල්ල රහසේ හා වැඩි මිලක් අය කරමින් සිදු කරයි. ඇතැම්, සුදුසුකම් හෝ නිසි පුහුණුවක් නොලත් ‘හොර වෙදුන්‘ විසින් කරනු ලබන ගබ්සාවන් හේතුවෙන් සිදුවන මාතෘ-මරණ හා මරණාසයන්න තුවාල හෝ සදාකාලික ලිංගික හෝ කායික දුබලතා වැඩි වශයෙන් වාර්තා වෙයි. ඒ නීතිගත නොවූ තත්ත්වයක් උඩ ගබ්සා කිරීමේ ප්‍රතිඵලයයි. එසේම, ගබ්සා කළ යුතුව ඇතත්, ගබ්සා නොකරන කලල පසු කලෙක දරුවන් වීමේ ප්‍රතිඵලයන් පිළිබදවත් යම් හැදෑරීමක් අවශ්‍ය වෙයි.

‘අපේ ගමේ එක ගෙදරක, අපි කතාවට කියන්නෙ චීනෙ කියල. පුංචි පුංචි ළමයි ඉන්නව අටක් දහයක්. තාත්තට හරි රස්සාවක් නෑ. කරන්නෙ කුලී වැඩ. ළමයිට මන්ධ පෝෂණේ. එක එක ජාතියෙ ලෙඩ.‘ යැයි දිනක් ගමන් සගයෙක් විසින් මා සමග කීවේය. එම පවුලේ ආර්ථිකය හා සම්පත් තත්ත්වයන්ගේ පුමාණය මත දරුවන් අට දෙනෙක් යනු දරාගත නොහැකි ප්‍රමාණයක් බව ප්‍රත්‍යක්ෂ කරුණකි. යහපත් ආර්ථික තත්ත්වයක් නොතිබියේදී තව තවත් දරුවන් හැදීම හෝ නියමිත වයස් ප්‍රමාණයන්ගෙන් යුක්ත නොවන දරු පඩිපෙළක් බිහි වීමේ ප්‍රතිඵලය වන්නේ ගබ්සාවෙන් අත්වන ප්‍රතිඵලයට වෙනස් වුණු ඛේදනීය තත්ත්වයක් උදා වීමයි. යම් හෙයකින් ගබ්සාව නීති ගත කත සිද්ධියක්ව පැවතියේ නම් මේ ඛේදවාචකය තරමක් හොදින් විසදෙන්නට ඉඩ තිබිණි.

ගබ්සාව නීතිගත කිරීම හෝ එහි සීමාවන් සැහැල්ලු කිරීම පිළිබද සුදුසු ද නැති ද යන අවුල ලිහා ගැනීම මදකට නවතා, අනපේක්ෂිත හෝ සැලසුම් නොකළ ගැබ්ගැනීම් වෙනුවෙන් වන හේතූන් පිළිබද යම් හැදෑරීමක් කළ යුතු වෙයි. අනපේක්ෂිත ගැබ් ගැනීම් සදහා හේතුව අනාචාරය හෝ වෛශ්‍යා වෘත්තිය නොවන බව දැනටමත් පසක් වන තරමටම අප විසින් ගැඹුරින් කියවා ගත්තෙමු. පූර්ව සැලසුම් නොකළ ගැබ් ගැනීමක් සිදුවන්නේ, අසීමිත ලිංගිකාශාව හෝ ‘විසේ‘ නිසාද? මිනිසා මානව සංහතියේ උප්පත්තියෙන්ම දේශපාලනික හා ලිංගිකාශා උත්තේජන තත්ත්වයන් රැගෙන එයි. එහෙයින්, තවකෙකුගේ ලිංගිකාශාවේ හෝ සංවාසයේ ප්‍රමිතීන් යෝජනා කිරීමට අනෙකෙකුට කිසිදු හැකියාවක් නැත. සංවාසයේදී, ‘ශුක්‍රාණු පිට නොවන්නේ නම්‘ අනපේක්ෂිත ගැබ් ගැනීම් නවතින්නේය යන, ප්‍රාථමික ලිංගික කාරණා හෝ පූර්ණය නොවූ තර්කයන් මෙහිලා අපේක්ෂා නොකරමි. එසේ වන්නේ නම්, ඒ වෙනුවෙන් වන යම් විකල්පයක් උපයෝගී කරගත යුතු වෙන්නේ යැයි යෝජනා කරමි.

අනපේක්ෂිත ගැබ් ගැනීම් නැවතීම කෙරෙහි ලබා දිය හැකි දීර්ඝ කාලීන වූ විසදුම වන්නේ, ලිංගික අධ්‍යාපනය කවදුරටත් ‘කුණුහරප ඉගැන්වීමක්‘ ලෙස නොසලකමින්, ඒ පිළිබද වැඩි අවකාශයක් සහිත ඉගැන්වීමක් සිදු කිරීමයි. තමන්ට දරුවෙක් අවශ්‍යය ද නැති ද යන්න තීරණය කිරීම සමාජයේ සිටින බොරු ‘සාරධර්මවාදීන්ට‘ නොව ඒ බව තීරණය කිරීමේ අයිතිය දෙමාපියන් වෙත පැවරිය යුත්තයෙ. ඒ අනුව, ගබ්සාව යම් ප්‍රමාණයකට සීමාවන් සැහැල්ලු කරනු ලැබූ පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක සිද්ධියක් කළ යුතු වෙයි. ගබ්සාවක් කරන විට එසේ කළ බව දැනගත් විට, ‘අනේ ළමය අපිට දුන්නනම් හදා ගන්නවනෙ‘ යැයි කියමින් ආචාරශීලී සානුකම්පිත බවක් දක්වන පොදු සමාජය විසින්, යම් හෙයකින් දරුවා ප්‍රසූත කළේනම් ‘කිරි පිටි පෙට්ටියක් තරම දෙයක් හෝ‘ දරුවා වෙනුවෙන් ලබා දීමට කටයුතු නොකරන තරම්ය.

ගබ්සාවක් කළ යුතුව පැවති කළලයක් දරුවෙක් ලෙස ප්‍රසූත වීමෙන් පසු, එක්කෝ එම දරුවා සමාජයේ නිසි දරුවෙක්ට හිමි තත්ත්වය අහිමි දරුවෙක් බවට පත් වෙයි. නැතිනම්, දෙමාපියන්ගේ ආර්ථික දුර්වලතා හේතුවෙන් දරුවෙකුට හිමි විය යුතු තත්ත්වයන් හිමි නොවන අයෙක් බවට පත් වෙයි. එසේත් නැතිනම්, ‘පාරේ දමා ගිය අනාථයෙක්‘ බවට පත්වෙයි.

ගබ්සාවට එරෙහි වන්නන්ගේ හේතු දැකවීම කවරක් ද? ගබ්සාව නීති ගත කිරීම හෝ සීමාවන් ලිහිල් කිරීම මගින් ආගමික පරිසරයට දැඩි කැළලක් වන්නේය. එසේ නොවන්නේ නම්, අගමික හා සංස්කෘතික ලාංගීයභාවය විනාශ වෙයි. දැන් මා පෙරළා ප්‍රශ්න කරමි. මේ වන විට දුම්පාලනය නීත්‍යානුකූල තත්ත්වයක සිට නීතියෙන් දැඩි සීමා පැණවූ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. මේ සදහා පෙරමුණ ගත්තේ ආගමික පදනම සිය ප්‍රතිපත්තිය කොට ගත් ජාතික හෙළ උරුමයයි. මේ හේතුවෙන් දුම්පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රමාණාත්මක අඩුවක් වී නැතැයි සුරාබදු සමීක්ෂණ වාර්තා පවසයි. මිනී මැරීම හෝ ස්ත්‍රී දූෂණය ‘ඇපත් නැති‘ වරදක් බවට පත් කොට ඇත. එහෙත්, දේශීය වශයෙන් සිදුවන සන්නද්ධ ත්‍රස්තවාදී හෝ කැරලි නොවන සිවිල් සමාජ මිනීමැරීම් ප්‍රමාණය අඩු වී තිබෙන්නේ ද. දුම්වැටියක මිල වැඩි කළ පමණින් භාවිතය අඩු වන්නේ ද. එසේත් නැතිනම් මිල අඩු වූ පමණින් දුම්පානය වැඩි වන්නේ ද. එමගින් සනාථ වන්නේ, මිල මත හෝ සීමා කිරීමේ ප්‍රමාණය හෝ මත ඉල්ලුම හෝ භාවිතයට බලනොපායි. නමුත්, මෙය ගබ්සාව සමග කියැවීමේදී, මගේ මවට හෝ ඔබේ මවට මා හෝ ඔබ ගබ්සා කිරීමට අවශ්‍ය වූයේ නම් අද වන විට මා හෝ ඔබ මෙහි නොවෙයි. එනම්, සමාජ අවකාශයන්ගේ ප්‍රමාණය ලිහිල් වූවා හෝ දැඩි වූවා ය යන කරුණ හේතුවෙන් ගබ්සාවන්ගේ ප්‍රමාණය වැඩි වන්නේ හෝ අඩු වන්නේ නැති බව තේරුම් ගැනීම ස්වයං කියවීමකින් හා හැදෑරීමකින් සනාථ කරගත යුතු වන ගැඹුරු කියවීමක් විය හැක.

ගබ්සාකිරීම තහනම් වූ පමණින් හෝ එසේ කර සිටීම තවදුරටත් පවත්වාගෙන යාමෙන් සියල්ල විසදේ ද? එහෙයින්, ගබ්සාව සම්බන්ධයෙන් වන සමාජ කියැවීම හා ඒ සම්බන්ධයෙන් වන මතය කාලීන සංවර්ධනයකට ලක් විය යුතු යැයි යෝජනා කරමි. 

3 comments:

sudheera said...

"අනපේක්ෂිත ගැබ් ගැනීම් නැවතීම කෙරෙහි ලබා දිය හැකි දීර්ඝ කාලීන වූ විසදුම වන්නේ, ලිංගික අධ්‍යාපනය කවදුරටත් ‘කුණුහරප ඉගැන්වීමක්‘ ලෙස නොසලකමින්, ඒ පිළිබද වැඩි අවකාශයක් සහිත ඉගැන්වීමක් සිදු කිරීමයි" සම්පූර්ණයෙන්ම එකඟවෙමි.. බහුතරය තවමත් ලිංගිකත්වය,ලිංගික අධ්‍යාපනය ආදිය ඉතාම ස්වාභාවික, සාමාන්‍ය දේවල් ලෙස පිළිගැනීමට අවස්ථිතියකින් පෙලේ.. 7,8 වසරවල කොල්ලන් සෞඛ්‍ය විෂයේ අදාල පාඩම සාකච්චා කරන්නට තියෙන හිරිකිතයම වැඩිහිටි පරපුරටද ඇත.අඩුම ගානෙ ෆාමසියකට ගිහින් කොඳුරන්නේ නැතුව කට ඇරලා කොන්ඩම් එකක් ඉල්ලා ගන්න ගට තියෙන්නේ කීයෙන් කීදෙනාටද..?. සංස්කෘතිය කියන මායාවෙන් මිදිලා, විවෘතව හිතන්න මිනිස්සු පෙළඹෙනකං ගබ්සාව මහා පාපයක් වෙලා තියේවි,(සමහර ආගම් අනුව)පවුල් සැලසුම මහා පාපයක් වෙලා තියේවි.සංස්කෘතියේ ආගමේ ආශිර්වාදයෙන්, අම්මට අප්පට කොන්ට්‍රෝල් නැතිව එලිය දකින සුවහසක් දරු පැටව් බඩගින්නේ ඉඳීවි....

Haru said...
This comment has been removed by the author.
Haru said...

Good work dude. A similar post is there in my blog. Hope you'd like to go through it.