Wednesday, June 1, 2011

පොලිස්පති ඉල්ලා අස් විය යුතුයි

IGP Dr. Mahinda Balasooriya
 “මහජන මිත්‍රශීලී වෘත්තීමය අභිමානවත් පොලිස් සේවයක් සදහා“  ඇප කැප වන්නේ යැයි දිවුරමින් නිළ ඇදුමේ තරු ගසා ගත් ආචාර්ය මහින්ද බාලසූරිය මේ වන විට ස්වකීය දිවුරුම ඉටු කිරීමට නොහැකි වූ සර්ව අසාර්ථක මිනිසෙක් බව සපථ කරමින් සිටියි. ආචාර්ය බාලසූරිය ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ව සිටියදී, පුරප්පාඩු වූ පොලිස්පති ධූරය වෙනුවෙන් නම් කිහිපයක් යෝජනා විය. ඒ වන විට, ලයිස්තුවේ මීලගට සිටි පුද්ගලයින් අතරින් ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතෛශී පුද්ගලයා වූ ආචාර්ය බාලසූරිය ඒ වෙනුවෙන් පත් කිරීමට ජනාධිපති ආචාර්ය රාජපක්ෂ කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ආචාර්ය බාලසූරිය දිවුරා තනතුර භාර ගත්තේය. තමන් විසින් මහජන මිත්‍රශීලී පොලීසියක් ඇතිකරන බවත් වෘත්තීය ගෞරත්වය හා පෞරුෂය ආරක්ෂා වන පොලිස් සේවයක් වෙනුවෙන් වැඩ කරන බවටත්, අභිමානවත් සේවයක් වෙනුවෙන් පාර කියන බවටත් ප්‍රතිඥා දුන්නේය. එවැනි ප්‍රතිඥා පොලිස් සේවයේ එතෙක් පැවති ඒවා නොවූව ද ආචාර්ය බාලසූරිය පොලිස් සේවයේ සැබෑම වෙනසක් කිරීම පිණිස තරු ගසා ගත් ‘මාරම පොරක්‘ වන්නේ යැයි පෙන්වීම පිණිස මෙවැන්නක් නිර්මාණය කළේය.

තමන් විසින් ලෝකය ඉදිරියේ දුන් පොරොන්දුවක් ඉශ්ඨ කිරීමට නොහැකි වූ විට සිය ධූරයේ හා තමන් අසුන් ගෙන සිටිනා තනතුරේ ගෞරවය පිණිස, තමන්ගේ අසමත් භාවය පිළිගනිමින් ඉල්ලා අස්වීම ‘මාරම පොරවල්‘ විසින් අනුගමනය කරනු ලබන ‘මාරම වැඩකි‘. ආචාර්ය බාලසූරිය ඉල්ලා අස්විය යුතු යැයි ලියුම්කරු විසින් යෝජනා කර සිටින්නේ ඇයි. ඒ වෙනුවෙන් ඔප්පු කළ හැකිව ඇති, ලියුම්කරුවා විසින් නියෝජනය කරනු ලබන ‘පොදු ජනයා‘ට හා ‘පොදු සමාජය‘ට තේරුම්ගත හැකි හා වැටහී ඇති ආචාර්ය බාලසූරියගේ අසමත්භාවයන් කවරේ ද. ලියුම්කරු විසින් කියවනු ලැබ ඇති සිද්ධි කිහිපයක් මෙහිලා වැඩිදුර කියැවීමට අපේක්ෂා කළෙමි. මේ සදහා වන ඌන පූර්ණයන් කර ගැනීම කියවන්නාගේ වැඩි දුර ක්‍රියාකාරකමකි.

සාමාන්‍ය ජනතාව රැස්වන හෝ ගැවසෙන ස්ථානයන් වෙත පොලිස් නිළධාරීන් රාජකාරී සදහා පිටත්ව යන අවස්ථාවන් වලදී කිසිදු සන්නද්ධ අවියක් හෝ ගිණි අවියක් රැගෙන යාම මේ වන විට තහනම් කරනු ලැබ ඇත. මේ ආචාර්ය බාලසූරියගේ ධාර්මික පොලීසියක් වෙනුවෙන් වන බොරු ප්‍රතිපත්ති මාලාවේ තවත් එකකි. මේ යෝජනාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැණකෙළි සිරිගත් ප්‍රවෘත්ති මවන්නන් බවට රාජ්‍ය මාධ්‍ය පත්විය. නමුත්, ගිණි අවි නොවූව ද පොලු මුගුරු ගෙන රැස්වීම් හා පොදු ජනයා රැස්වන ස්ථායන්හි පොලීසිය හැසිරෙන අයුරු දැක ඇත. පොලීසිය විසින් උක්ත යෝජනාව හා ප්‍රතිපත්තිය යම් තාක් දුරකට හෝ ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි පොදු සමාජය රැවටී සිටියේය. නමුත්, පොලීසිය විසින් පසුගිය මැයි 30 වෙනිදා ස්වකීය නිර්වස්ත්‍රභාවය ලොවක් ඉදිරියේ පෙන්නුවේය. තමන් විසින් තමන් නිර්වස්ත්‍ර වනවා සේම තමන් විසින් අනෙකා ද නිර්වස්ත්‍ර කරනු ලැබුවේය.

තම වෘත්තීය අයිතීන් වෙනුවෙන් සාමකාමී විරෝධයක් හා අදහස් ප්‍රකාශ කිරීමක් වෙනුවෙන් රැස්වූ සේවක ජනතාව, බලහත්කාරයෙන් කුලප්පු කරවා ඉල්ලන් කෑවේ පොලීසිය විසිනි. පොලීසියට අවශ්‍ය වූයේ ‘දැන් හැම එකෙක්ම අපි කියන දේ අහනව‘ කියන පොරත්වය ලෝකයට කියා පෑමටය. නමුත්, තරු ගසා ගනිමින් ආණ්ඩුවේ මුරබල්ලන් වූ පමණින් මිනිසුන් හෝ පොදු ජනයා තමන්ට නතු නොවන බව සංඛේතීය පොදු ජනයා විසින් පොලීසියට කියා දුන්නේය.

පොලීසිය විසින් නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු වෙයි. පොලීසියට පැවරී ඇති රාජකාරිය එයයි. නමුත්, පසුගිය මැයි 30 වෙනිදා ආචාර්ය බාලසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලීසිය මේ වගකීම ඉටු කිරීමට අසමත් විය. බලහත්කාරයෙන් සාමය කඩ කළේය. සාමය කඩ කිරීම පිණිස මිනිසුන් පෙළඹුවූයේය. පොදු දේපල වලට හානි කරනු ලැබීය. ව්‍යාපාරික හා කාර්මික දේපල විශාල ප්‍රමාණයෙන් පොලීසියේ මැදිහත් වීමෙන් සාමූහිකව ප්‍රහාර එල්ල කළේය. නිළ ඇදුමින යුත් පොලිස් නිළධාරීන් කර්මාන්තශාලා දේපල වලට හානි කරනු ලැබූ බවට සාක්ෂි සහිත වීඩියෝ පටයන් පවා ජාතික මාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණි. ඒ අනුව, පොලීසිය විසින් ස්ව මැදිහත් වීමෙන් නීතිය හා සාමය ආරක්ෂා කරනු වෙනුවට නීතිය හා සාමය කඩ කොට ඇත. ඒ වෙනුවෙන් පොධඹවනු ලැබ ඇත. මෙමගින් කියන්නේ, ගුටි කමින් වැඩක් බලා කැනීම පොලීසිය විසින් සිදුකළ යුතු බව නොවේ. ඒ වෙනුවෙන්, විනිවීදභාවයකින් යුක්ත යම් මැදිහත්වීමක් කළ යුතු වේ. කටුනායකට විශේෂ පොලිස් කණ්ජායම් යැවීම පිණිස කිසිවෙක් විසින් අණ කර නොසිටියේ යැයි දැන් පොලිස් ලොක්කන් කියයි. එසේ හෙයින්, පොලීසිය විසින් පොලීසියේ ප්‍රතිපත්ති හා රෙගුලාසි ද කඩ කොට ඇත. තම සේවයේ නීති නොරකින පොලීසිය රටේ පොදු නීතිය රකින්නේ කෙසේ දැයි  සිතා ගැනීම ඔබට හැක. එමගින් කියා සිටින්නේ, ආචාර්ය බාලසූරිය විසින් නායකත්වය දෙනු ලබන පොලිස් දෙපාර්තුමේන්තුව, එහි අරමුණු හා අභිලාෂයන් හෝ ප්‍රතිපත්තීන්ට අනුකූලව මෙහෙයවීමට ආචාර්ය බාලසූරිය අසමත්ය.

පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය / මාධ්‍ය සාකච්ඡාවකදී
එසේම, මේ වන විට පොලිස් ජීව උණ්ඩ වෙඩි පහරින් කටුනායකදී තුවාල ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙක් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.එසේ හෙයින් ඔප්පු වන්නේ, පොලීසිය විසින් ජීව උණ්ඩ සහිත ගිණි අවි කටුනායකදී භාවිත කොට ඇති බවයි. පොදු ජනයා රැස්වන ස්ථාන වලට ගිණි අවි රැගෙන යාම නොකළ යුත්තේ යැයි ප්‍රතිපත්තිමය තීරණයක් පොලීසිය හෝ රජය හෝ ආණ්ඩුව විසින් ලබා ඇති මෙහොතක පොලීසිය විසින් ගිණි අවි භාවිත කරමින්, එක්කෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් එක්කෝ පොලිස් ප්‍රතිපත්තියක් හෝ නැත්තම්, ආණ්ඩුවේ පුතිපත්තියක් අමු අමුවේ උල්ලංඝනය කොට ඇත. එහෙයින් රාජ්‍ය, ආණ්ඩු හෝ දෙපාර්තුමේන්තු ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංඝනය කරනු ලබන පොලිස් සේවයක් වෙනුවෙන් නායකත්වය දීම නැමති අසමත්භාවය හේතුවෙන් පොලිස්පතිවරයා ස්වකීය මෙහෙවර ඉටු කිරීමෙහිලා අසමත්ව සිටින්නේය. 

පොලීසිය විසින් නීතිය හෝ සාමය කඩ වී ඇති බවක් හෝ වෙඩි තැබීමක් සිදුව ඇති බව කියමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ය. මේ සම්බන්ධයෙන් සමස්ථ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු අතර, තම සේවයේ කාර්යයන් හා කර්තව්‍යයන් නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වූ හෙයින් ඒ සම්බන්ධයෙන් සිය ලැජ්ජාව පිළිගත යුතු වෙයි. එපමණක් ද ප්‍රමාණවත් නැත. වගකීමක් නිසි ලෙස ඉටු කළ නොහැකි මිනිසෙක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් චේතන ගෙවීමට හා වරප්‍රසාද ලබා දීමට රටේ ජනතාවට පිස්සු නැත. එහෙයින්, වගකීම ඉටු කළ නොහැකි තරම් බංකොලොත් භාවයට පත්ව ඇති පොලිස්පති ආචාර්ය බාලසූරිය සිය නිලයෙන් ඉල්ලා අස් විය යුතුයි.

පොලීසියේ සියලු දෙනා සිතාගෙන සිටින්නේ, නිළ ඇදුම යනු ‘තග දැමීම‘ පිණිස ආණ්ඩුවෙන් ලත් ‘ලයිසමයක්‘ ලෙසයි. එහෙයින්, පාරේදී-කාර්යාලයේදී-පොලීසියේදී හෝ වෙනයම් ඕනෑම තැනකදී තමන්ට හමුවන හා තමා ඉදිරියට එන ආණ්ඩුවේ දේශපාලනඥයෙක් හෝ එවැන්නකුගේ හෙන්චයියකු නොවන ඕනෑම පුද්ගලයෙකුගේ තරා තිරම හෝ සමාජ තත්ත්වය නොසලකමින් ‘පොලිස් පාට්‘ දමන්නට පොලීසිය පසුබට නොවෙයි. ශීෂ්‍යයින් යනු පොලීසියේ ‘බයිට් එක‘ වී තිබුණු කාලයක් අප පසු කළෙමු. (මේ වන විට ශිෂ්‍යයින් හමුදාවේ බයිට් එක වී ඇත.) මේ තරම් අවිචාරශීලී අසංස්කෘතික හා නිද්ධිත තැනකට පොලීසිය රැගෙන ආවේ ආචාර්ය බාලසූරිය නොවන්නට ඇත. නමුත්, මේ අවිචාරශීලී අසංස්කෘතික නිද්ධිත පොලිස් සේවය එම තත්ත්වයෙන්ම පවත්වාගෙන යාම ආචාර්ය බාලසූරිය විසින් සිදු කොට ඇත. මේ ආචාර්ය බාලසූරියගේ තවත් අසමත් භාවය වෙනුවෙන් නිදර්ශකයකි.

(ආචාර්ය මහින්ද) රාජපක්ෂ + බාලසූරිය
අඩුම තරමින් විශ්‍රාම වැටුප සහිත සන්ධ්‍යා කාලයකට යම් හෝ ආචාරශීලී අයිතිවාසිකමක් ආචාර්ය බාලසූරියට හිමි විය යුතු නොවේ යැයි කියමි. යුද්ධය නිමා කිරීම පිණිස යුධ හමුදාවට නායකත්වය දුන් පුද්ගලයා, යුද්ධය අවසන් කළ විටදී පවා තරු ගලවා වැටුප් හෝ විශ්‍රාම වැටුප පවා අහිමි කොට නිර්ධය ලෙස තනතුරෙන් පහ කරන්නට වීරයෙක් වන ආචාර්ය රාජපක්ෂ විසින් අසමත්භාවයේ උපරිමස්ඛානයේ සිටිනා, දිනෙන් දින පොලිස් සේවය හා එහි කටයුතු විවේචනයට හා පොදු ජනතවෙගේ දෝෂදර්ශනයට ලක් වීම නැමති ඛේදනීය යුගයක් කරා මෙහෙයවූ හා තවදුරටත් මෙහෙයවමින් සිටිනා පොලිස්පති වරයාගේ තරු ගලවා ගෙදර යවන්නට වීරයෙක් නොවන්නේ ඇයි? ආචාර්ය බාලසූරිය විසින් ඉල්ලා අස්විය යුතුය. ඔහු ඉල්ලා අස්වන්නේ නැතිනම්, ජනාධිපති ආචාර්ය රාජපක්ෂ විසින් ඔහු නිර්ධය ලෙස සේවයෙන් පහ කළ යුතු වේ. මන්දයත්, සර්ව අසමත් නිළධාරීන් වෙනුවෙන් වැටුප් ගෙවීමට රටේ පොදු ජනතාවට පිස්සු නැති බව යළිත් කියමි. ‘අපි ආණ්ඩුවට බදු ගෙවන්නෙ අසමත් රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමට නොවේ‘ය යන අදහස පොදු ජනයා තුළ ඇත. මෙය අදහසකින් ඔබ්බට යමින්, ජනතා බලකිරීමක් දක්වා යන කාලයක් වෙනුවෙන් අනුග්‍රහ නොකර වහාම ආචාර්ය මහින්ද බාලසූරිය සිය අසමත්භාවය ප්‍රකාශ කරමින්, රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා, සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු වෙයි. එසේ නොවන, කල්හි පොලීසිය යන යන තැන මීටත් වඩා විකාර නටන්නට පටන් ගනු ඇත. නාඩගම් නටනු ඇත.

ආචාර්ය බාලසූරිය විසින් කකුළුවාගේ භූමිකාව රගදක්වමින් සිටියි.  ඇදේට යන ආචාර්ය බාලසූරිය තමන් යටතේ සිටින කකුළු සංහතික කෙළින් යවන්නට වෙර දරයි. පෂමුව ද කියමි. දෙවනුව ද කියමි. තෙවනුව ද අවසන ද කියමි. පොලිස් සේවයේ තවදුරටත් ගෞරවය හා වටිනාකම වෙනුවෙන් අසමත් පොලිස් නායකයා වූ ආචාර්ය බාලසූරිය ජනතාවගෙන් සමාව ඉල්ලනු ලදුව ඉල්ලා අසිවිය යුතු වෙයි.

5 comments:

Thidas said...

මෙයා තමයි දැන් තැලෙන යකඩේ. භාරතත් උඩ පැන පැන තලන්නේ ඒකටම නේද?

Thidas said...

නිවැරදි කිරීමක්, පසිගිය දවසක පහර කෑවේ මහේස්ත්‍රාත් වරයෙක් නෙවෙයි දිසා විනිසුරු කෙනෙක්. පහර දුන්නේ පොලිසියෙන් නෙවෙයි ආමි එකෙන්. මේ ප්‍රශ්නෙ මට හිතෙන හැටියට වඩා බරපතලයි. කම්කරු නැගිටීමකට බලය පාවිච්චි කරල මැඩ පැවැත්වීම අමුතු දෙයක් නෙවෙයි. හැබැයි සාමාන්‍ය සෙබලු විනිශ්චයකාරවරුන්ට පවා පහර දෙන තැනට රට පත්ව තිබීම භයානකයි. මට හිතෙන හැටියට යුද්ධෙන් පස්සෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සිවිල් සමාජයේ පිලිගත්ත රාමුවලට හැඩගැහෙන්න තවම ආරක්ශක අංශවලට බැරි වෙලා තියෙන එක. :(

!dea365 Author said...

නිවැරදි කිරීමට ස්තූතියි.
පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බව කියා සිටියේ ඔහු මේ සම්බන්ධ ලිපිය භාර දීමට පෙරයි. ඉල්ලා අස්විය යුත්තේ පොලිස්පතිවරයා නොව ආරක්ෂක ඇමතිවරයායි. අපේ රටේ ආරක්ෂක ඇමතිකම සර්ව බලධාරී උතුමාණන් විසින් හොබවන හෙයින්, කිසි දවසක එවැන්නක් සිදු නොවන බව ප්‍රත්‍යක්ෂයි. නමුත්, ආයතන ප්‍රධානියා ලෙස හෝ පොලිස්පතිවරයා වගකීම භාරගත යුතු බව පමණක් යෝජනා කළෙමි.

samitha said...

මර්ධනයේ අවසානය එකා මත එකා මැරීවැටෙමින් ඉදිරියට යන අරගලයක් විය හැක..........!

sudheera said...

භාෂණයේ නිදහස ??? ගැටලුව තනිකරම ඇත්තේ පොලිස්පතිගේ නොවේ.. හිස්වූ පොලිස්පති පුලුවට හෙට පැමිණෙන කොතරම් අවංක,කාර්යශූර් දක්ශ පුද්ගලයෙකු උවත් සති දෙකකින් පරණ පුරුදු මොඩලයටම පත් වීම(කිරීම)ට යාණ්ත්‍රනයක් ක්‍රියාත්මක වීමය.පහලම පොලිස් කොස්තාපල් කෙනෙකු උවත් සාමාන්‍ය සිවිල් වැසියෙකුට වඩා අඩි කිහිපයක් උඩින් සිටින්නේද ඒ යාණ්ත්‍රනයේ ප්‍රතිපලයක් ලෙසිනි.කරුණු එසේ උවත් මේ සඳහා අපිද දායක වෙයි, සුද්දාගේ රටේ නම් පොලිස් නිලධාරියා officer ය,සිවිල් වැසියා sir ය.. ලංකාවේ පොලිස් නිලධාරියා sirය සිවිල් වැසියා මොකාද කියා නොදනිමි..පොඩි එකෙක් උනත් පොලිස් මාමාට බියවේ,ඇත්තටම අපිව ආරක්ෂා කරන්න ඉන්න අයට අපි බය වෙන්නේ මොකටද...? මට නොතේරෙන දේ පොඩි එකාට තේරෙනවා වියහැක... "භාෂණයේ නිදහසට සහ අදහස් ප්‍රකාශනය"???????