Friday, May 27, 2011

ප්‍රජාතන්ත්‍රවාදී ජුන්ටාව හෙවත් දෙබිඩ්ඩෝ

අද වන විට, රටේ පැවති යුද්ධය සංඛේතීයව නිමා වී අප වසර දෙකකුත් සතියක කාලයක් ගෙවා සිටිමු. එහෙයින්, ත්‍රස්තවාදයෙන් තොර නිවහල් දේශයක අප ජීවත් වන්නේ යැයි, අප විසින්ම අපි වෙත මානසික අල්ලසක් දී හිත හදාගෙන සිටිමු. යුධ අවදියේ අප සියලු දෙනා සිටියේ යුධ මානසිකත්වයෙනි. ආණ්ඩුවේ හමුදාවන්ට පක්ෂ වූ ලංකාවේ බොහෝ දෙනා දිනන විට හුරේ දැමූහ. පසුබසින විට, වෙනත් විධියකින් හිත හදා ගත්තේය. යුද්ධයේ සංඛේතීය නිමාවෙන් පසු, සැණකෙළි-ගිණිකෙළි පවත්වා පමණක් අවසන් නොවීය.
පසුව, යුද්ධයේ වන්දිය පොදු මහත් ජනතාවගේන් දේශපාලනික වන්දියක් හෝ දඩයක් ලෙස අය කර ගැනීම ඇරඹිනි. පළාත් සභා ඡන්දය පැවැත්විණි. යුද්ධය නිමා කර දුන් නිසා, ඡන්දය දී දිනවා දෙන්නයැයි කීය. දිනවූහ. පසුව, උභතෝකෝටිකයක් නිර්මාණය විය. එනම්, යුද්ධයේ අයිතිකාරයා කවුරුන්ද යන්න බේරා ගැනීමේ අර්බුදයයි. එකේක කීවේ, සේනාධිනායකයා බවයි. නමුත්, තවකෙක් විසින් යුධ හමුදාපතිවරයා තමන් වූයෙන්, යුද්ධයේ උරුමකාරීත්වය හා ජයග්‍රහණය හිමිකම තමා සතු විය යුතුයැයි තරක කළහ. ජනාධිපතිවරණයේදී, ජනතාව එකතු වී කියා සිටියේ යුද්ධයේ හිමිකරුවා විය යුත්තේ ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ බවයි.
ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති නොවිය යුත්තේ, මන්ද යැයි සාධක හා මත ඉදිරිපත් කළෝය. ෆොන්සේකාට ඇත්තේ හමුදා පුහුණුවකි. හමුදා පුහුණුව ලද්දන් යනු සංවේදීතාවයක් නැති පිරිසකි. ෆොන්සේකාගේ විනය ප්‍රශ්න කළේය. ඡන්ද බලය හිමි නොවූයෙන් ෆොන්සේකා පුරවැසියෙක් නොවෙයි. තවත් දේ ඇත. ෆොන්සේකා කතා කරන්නට දන්නේ නැති අසමජ්ජාති කලවැද්දෙකි. හොරෙකි, කිසිදු යුධ උපක්‍රමයකින් යුක්ත නොවූ මිනිසෙකි සහ තවත් දේ අතර විය. ඔවුන්ගේ අවසන් නිගමනය වූයේ ෆොන්සේකාගේ පැමිණිම හරහා රට මිලිටරි රාජ්‍යයක් දක්වා ඇදී යනු ඇති බවයි. මුළු රටම හමුදාකරණය වී රටට කෙළවී යනු ඇතැයි ඔවුහු සිතූහ. 
කුණු අවුස්සාගෙන ඒවා බුදිමින් ආතල් වින්දනයක් ගැනීම නොවටියි. නොකමැත්තෙමි. නමුත්, පූර්ව නිගමන හරහා පොදු පැතුම විසින් ගනු ලැබූ තීරණයේ හරය හා ප්‍රතික්ෂේප කිරීම පිණිස යොදාගත් සාධකයන් යන දෙක එකට කියවා ගත යුතු වෙයි. මා ඒ වෙනුවෙන්, ෆොන්සේකාගේ සමස්ථ පූර්ව විනිශ්චය ‘හමුදා පාලනයක්‘ යනුවෙන් කැටි කරමි. වර්තමාන පාලනය ආගමික සංස්කෘතික හා යුධ මානසිකත්වයෙන් මිදුණු ආශ්චර්යමත් පාලනයකි. සුභ අනාගතයකි. දැන් අප ගත කරමින් සිටින්නේ සුභ අනාගතය යැයි පෙර දී අනාවැකි ඵල කරනු ලැබූ යුගයේයි. ඒ සුභ වූ අනාගතය-මෙයයි මෙයයි. හමුදා පාලනය හා සුභ අනාගතය එකට ගෙන කෙරෙන කියැවීම හා පදනම්ගත සිද්ධි අධ්‍යයනය මෙසේ අරඹමි.
ෆොන්සේකා යනු හමාදාකාරයෙක් වූ හෙයින් සියල්ල හමුදාකරණය වනු ඇතැයි සිතූහ. නමුත්, අද වන විට ෆොන්සේකා නොවන අනෙකා විසින් පාලනය කරයි. එය එසේනම්, ධර්මිශ්ඨ හා ප්‍රජාතන්ත්‍රවාදී දියුණු තත්ත්වයන්ගෙන් යුතු තත්ත්වයකට පත්ව තිබිය යුතු වෙයි. එය එසේ සිදුව ඇද්ද?
නමුත්, අද වන විට දකින්නට ඇත්තේ රටම හමුදාකරණය වේ යැයි කියා ඵල කළ අනාවැකි සියල්ල අද වන විට වෙනත් මුහුණකින් ක්‍රියාත්මක වන බවයි. විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලැබූ සියලු සිසු සිසුවියන් සදහා හමුදා කදවුරු ආශ්‍රිත නායකත්ව පුහුණුවක් ලබා දීමට කටයුතු කරයි. ඉන් අදහස වන්නේ, නියම නායකයෙක් වීමට නම් හමුදා පුහුණුව අවශ්‍ය බවයි. එසේ නම්, හමුදා පුහුණුවක් පමණක් නොව, හමුදාවේ පවා නායකයාව සිටි මිනිසා නායකත්වයක් වෙනුවෙන් නුසුදුසු වන්නේ ඇයි. මෙය විසදා දිය යුතුව ඇත. එසේනම්, හමුදා පුහුණුව තුලින් කියා සිටින්නේ හමුදාකාරයා නායකත්වයට නුසුදුසු යැයි මීට මාස 16කට පෙර කී කතාව අතේ පත්තුවෙන පට්ටපල් තක්කඩි මුසාවක් බව නොවේ ද. එය එසේ නෙවන්නේ නම්, නායකත්වය වෙනුවෙන් පුහුණුව සදහා හමුදාව තෝරා ගනු ලබන්නේ ඇයි? මින් වඩා නිවැරදි ප්‍රකාශය, හමුදාකාරයා නායකත්වයට නුසුදුසුයි කියූ එදා කතාව ද, නැතිනම් නායකත්වයට පත් වන්නේ නම් හමුදා පුහුණුවක් අත්‍යවශ්‍යමැයි කියනා අද කතාව ද. දෙබිඩ්ඩන් විසින් මේ දෙබිඩික තාවට යම් පැහැදිළිකිරීමක් කළ යුතුව ඇත. එදාට වඩා අද හමුදාව විනයෙන් හෝ පාලනයෙන් වෙනස් නොවන්නේය. එදා හමුදාව අවිනවත් වූයෙනම්, ඒ අර්ථයෙන් ගත් විට වැරදි කරුවා විය යුත්තේ ද එකම අයෙක් නොවේද. එහෙයින් සහ තවත් අර්ථයන්ගෙන් විමසීමේදී සියලු විශ්ව විද්‍යාල සිසුන් වෙත හමුදා පුහුණුව ලබා දීමෙන් වැටහෙන්නේ සියලු තත්ත්වයන් හමුදාකරණය  වීම ආර්ම්භ වී ඇති බවක් නොවේද.
කළෙක කියා සිටියේ, ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති හෙයින් සියල්ල අවුල් වන බවයි. එහෙයින් ක්‍රීඩාවට ක්‍රීඩාවේ වටිනාකම් අගයන වටපිටාවක් උදාකර දිය යුතු වන බවට තත්ත්වයක් නිර්මාණය විය යුතු බව කීවේය. අද වන විට, ක්‍රීඩාවද අර්ධ හමුදාකරණයකට ලක්ව ඇති බව පෙනේ. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව නම් කොට ඇත. එහි සාමාජිකයින් මෙසේයි. එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි විශ්‍රාමලත් ජෙ.නි.පොලිස්පති නිමල් මැදිවක මහතා ද සාමාජිකයෙකි. සියලුම ක්‍රීඩා සදහා අවසන් තේරීම් බලය ඇත්තේ මෙම ආයතනයටයි. දේශපාලනීකරණය වූ ක්‍රීඩාව නුදුරේදීම මිලිටරිකරණය වීමක් දකින්නට හැකි පූර්ව තත්ත්වයක් දැන් මතුව ඇත. දේශපාලනීකරණය මැඩ පවත්වන්නට යන්නේ පද්ධතිය හමුදාකරණය-මිලිටරිකරණය කිරීමෙන් ද?
උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින්, උසස් අධ්‍යාපනයට වරම් ලද සිසුන්ට හමුදා පුහුණුව ලබා දීමට තීරණය කරන විට, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට හමුදා පුහුණුවක් දීමට යෝජනා කර ඇත. අප දන්නා අධ්‍යාපන විද්‍යාවන් අනුව නම්, සියලු ගුරුවන් වඩා කැමැත්තෙන් පෙළඹිය යුත්තේ ළමා මානසිකත්වය-යෞවනෝදයේ තත්ත්වයන් වටහා ගත හැකි හා ශිෂ්‍යයා කියවාගත හැකි තරමේ දියුණු හැකියාවන් වර්ධනය වන අධ්‍යාපන විද්‍යාත්මක පුහුණු හා කියැවීම් වලටය. හමුදා පුහුණුවක් මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද? විදුහල්පතිවරයාගේ මනස තුළ හමුදා මොරාල් සංවර්ධනය කොට අපේක්ෂා කරන්නේ කුමක්ද? පාසලක් හා අධ්‍යාපන පද්ධතියක් පාලනය කරනු ලබන මිනිසෙකු වෙත අධ්‍යාපන මානසිකත්ව සංවර්ධයක් මගින් පෞරුෂය හා විනය වර්ධනය කරනු විනා වෙනත් විකල්පයක් මගින් ඇති වන තත්ත්වය මොනතරම් නම් තක්කඩි තත්ත්වයක් විය හැකිද.
මේ පූර්ව තත්ත්වයන් විසින් අනාගතයේ නිර්මාණය කරනු ලැබීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩි වැටුප් ඉල්ලා සටන් කරන විට පිටරට ගිහිං උගන්නල වැඩි ගාණක් හොයා ගන්න යැයි කියන්නේ ඇයි. සිසුවාගේ-ගුරුවරයාගේ-වෛද්‍යවරයාගේ-ගොවියාගේ ආදී වශයෙන් දිනෙන් දිණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුනගේ හැර අන් සියලු දෙනාගේ තත්ත්වයන් හා ප්‍රමිතීන්හි  සෑම අර්බුදයක් වෙනුවෙන්ම හමුදාමය විසදුම් ලබා දීමේ ගෝත්‍රික තත්ත්වයකට යමින් සිටින්නේ ඇයි. එමගින් අපට හිමි වන දේ කවරක් වුවද අහිමි වන දේ මෙයයැයි කිව නොහැකි වුවත් නුදුරේදීම යමක් අහිමි වන බව පමණක් කිව යුතු වේ. 
කැයැවීම අවසන ලියන්නට ඇත්තේ, හමුදා නිළධාරියා හැර අන් සියලු දෙනා හමුදාකරණය වූ තත්ත්වයක් තුළ බිහිවන්නේ ජුන්ටාවකි. ඉතාම දරුණු ඒකාධිපති හා දෘඪ පාලනයකි. මේ රටේ බහුතරය-සාතිශය බහුතරය ඔබ වෙනුවෙන් ඡන්දය ලබා දුන්නේ, හමුදා මානසිකත්වයෙන් යුත් මිනිසෙකුට වඩා ගමේ-ගොඩේ මිනිසුන් සමග සිටිනා සංවේදී නායකයා හා රට යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක ගමන් කරවිය හැක්කේ ඔබට යැයි සිතූ නිසාය. එහෙව්, සංවේදී සිවිල් මිනිසා වූ අප හමුදාව නොවන සිවිල් පද්ධතිමය හමුදා තත්ත්වයකට නොකමැති බව පමණක් කියමි. ආදරණීය ජනාධිපතිතුමණි, සංස්කෘතික අපි තවමත් කැමතියි, සිවිල් සමාජයක් තුළ සිවිල් මිනිසුන් සේ ජීවත් වන්නට. ප්‍රජාතන්තුවාදී ජුන්ටාවක් නැමති දෙබිඩි තත්ත්වයට අප ප්‍රේම නොකරමු.
තවලම් කාරයාට කියා දිය යුත්තේ තවලම් යන හැටි මිස, දඩයම් කරන හැටි නොවේ. දඩයම ඉගැන්වි යුත්තේ දඩයක්කාරයාටය.

(පසුව ලියමි - මෙය සිද්ධි අධ්‍යයනයක් නොහොත් සිද්ධි කියැවීමකි. ආණ්ඩුවෙන් මට මෙච්චර කාළෙකට කිසිම හොදක් හෝ නරකක් වී නැත. නමුත් නරකක් නොවීම නිසා, මට ආණ්ඩුව සමග වෛරයක් හෝ ක්‍රෝධයක් නැත. ඇත්තේ සිද්ධීන්ගේ අවුල් සහගත බව සමග ගැටුමකි. ආණ්ඩුවේ ගමන් මගට උපදෙස් දීම හා දිශානතිය මෙහෙයවීම විපක්ෂයේ හා ජාතික මාධ්‍යෙය් වගකීමයි. විපක්ෂය හා ජාතික මාධ්‍යය යන දෙකම කඩේ යන මුට්ටි අල්ලන එහෙයි කියන තත්ත්වයකදී විකල්ප මාධ්‍යයන් විසින් ප්‍රශ්න කරනු ලැබීම පොදු සමාජ තත්ත්වයකි.)

1 comment:

Thidas said...

කතාව ඇත්ත. නමුත් මේ මුලු ආණ්ඩුවම තනිකර ම උභතෝකෝටිකයක් නේ. මං කියන්නේ, සමාජවාදයත් එක්ක නිදියල ධනවායත් එක්ක නැගිටින, භෞමික අඛණ්ඩතාවත් එක්ක නිදියල බලය බෙදීමත් එක්ක නැගිටින, මේ වගේ ආණ්ඩුවක් ලෝකෙ වෙන කොහෙ හරි තියෙනවද? එක කොනක් කියන ඒව අනික් කොනට පෑහෙන්නේ නෑ. උදේට කියන් කතාව නෙවෙයි රෑට. මුලු ආණ්ඩුවම එකම එක පරස්පර විරෝධීතාවක්. එහෙම එකේ ඔය වගේ දෙයක් ගැන දෙවිදිහක කතා තියන එක මහ ලොකු දෙයක් නෙවෙයි